Showing posts with label සම්මාන ජය. Show all posts
Showing posts with label සම්මාන ජය. Show all posts

Saturday, 24 April 2021

බවදුක - කේ. (කාශ්‍යප) එස්. පෙරේරා

 ධර්මසිරි බණ්ඩාරනායකගේ බවදුක සහ බවකර්ම චිත්‍රපටි බැලීම ට පෙර, ඊට මුල් වූ නවකතාව කියවමියි සිතුවේ මීට වසර 4ට 5ට පමණ පෙර විය යුතුය. එම අදහස ඇති ව අවසානයේ, වසර ගණණාවක් තුල මගැරී,  බවදුක, සහ බව කර්ම ලෙස කොටස් දෙකකින් සපිරි, 1964 හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ බවදුක නවකතාව කියවීමි. තරමක් අදට නුහුරු බසකට, ආසන්න ( තරමක් පැරණි; වරෙක බණකතා සාහිත්‍ය මතක් කරවන සුළු ) බසකින්  ලියැවී ඇති. එම බස නිසාම කියවීමේ වේගය අඩාල විය. එහෙත් එම බස නිසා ම රසවිඳිය හැකි අවස්ථා බොහෝ විය.



  "උපනුන් මරා දැමීම පාපයෙකැයි ඇදහූ හෙයින්, කිරි දරුවන් ගේ කුළල් ඔවුන්ගේ දෑතින් නොමිරිකුණාහ. යේසුස් වහන්සේගේ උපත පමා වනු කැමති සර්වබලධාරි යෙහෝවං වහන්සේ යෙරුසලමේ ගැබිනි මාතාවන්ගේ ගැප් සිර කළාක් මෙන්, තමනට දරුවන් නො වදා කුස තුළ ගල් කරගැනීමේ හැකියාවක් තුබුණේ නම්, බත්ගම එකියකුදු දරුවන් නො වදන්නට ඉඩ තුබුණේය." (192 පිටුව)
අදාළ යුගය 1900 සියවසේ දෙවෙනි දශකයයි. පේදුරු නම් ගුණවත්, නැටුමට දක්ෂ, පොලිස් සේවයේ බැඳී සිටි අප කතා නායකයා ය.  ඔහු විශ්වාස කල අයුරෙන් පූරුවේ කරුමයක් පළ දිමෙන්,  එම කාලය ගෙන ආ යම් සමාජ නොපනත්කමක් හේතුවෙන්, යම් අඩුවක් ඇති කාන්තාවක් සමග විවා පත් වැ, එම අඩුව පිළිබඳව සිත් සදා ගැනීමට අසමත් වන්නේ, ඇය අතැර යාමට නොහැකි තරම් ඈ වෙත කාමුකාශාවෙන් ද පෙළෙන්නේ, කෙමෙන් තම දිවි අසාර්ථක කොට ගෙන, තම අඹුවගෙන් යැපෙන්නත්, ඒ හේතුවෙන් ම ඇගෙන් මහත් අවඥ්ඥාවටත් ලක් වන්නේය. අප කතුවරයා මුලදී,  කර්මය යැයි සිතා, තමන් වෙත එන දුක් අනුභවයෙන්, අතීරණයෙන් පෙළීමේ මුග්ධබව අපූරුවට  කියාපාන්නක් මෙනි.

එහෙත් නවකතාව කෙමෙන් වඩා පුළුල් පරාසයකට පැතිරෙන්නෙ, පේදුරු ව පසුබිමට යොමු කරමිනි. අප ගම් වල පන්සල් වලින් ගැමියනට විය යුතු කාරිය නොවීමෙන්, අනේක ක්‍රිස්තියානි නිකායන් ගම් වල පැතිරීම, කුල පීඩනය හේතුවෙන් අඩු කුලයේ ඇත්තන්, අඩ-මිනිසුන් තරමින් තැකීම, 1915 දී මුස්ලිම් කෝලහාල, ගම්මුලාදෑනි-ආරච්චි පැලැන්තියේ අසාධාරණකම් ආදිය තුලින් නවකතාව ඉදිරියට ඇදෙයි.  පේදුරු ගේ දරු පරම්පරාව තුරුණු වියට පත් වත්ම ඔහු තම පුතුන්ගේ පවා ගැරහුමට ලක්වේ. අප කතුවරයා අයෙකු ගුණවත් වීම සහ තරමක හෝ නැණවත් වීම යනු අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන බවකි අඟවන්නේ. 

නවකතාව අවසානයට ලක්වත් ම, අපට වඩා ක්ෂාත්ක්ෂාත් වන්නේ, කතුවරයා ජාතක කතා ආර  ආභාෂයට ගෙන තම නවකතාව නිමවා ඇති බවකි. මේ කොටස, සලකන්න:

"ගෙදර සිටි තරුණ මෙහෙකරුවන් වහා ඔවුන්ගේ ගම්වලට පිටත් කළ හේ, ගෙදරින් පිට කිසිම ගෙදරකට නොයන ලෙස ඇයට උවදෙස් දුන්නේය. තමා හැර ලෝකයේ සිටින සෑම තරුණ මහලු මිනිසෙකුම උපදංස රෝගයෙන් පෙළෙන බව කියා, මිනිසුන් දුටුවිට ආසාවට වඩා භීතියක් උපදින අන්දමේ දුරාවබෝධයක් ඇය තුළ පැළකරවන්න ඔහු ගත් උත්සාහය බෙහෙව....'සූතිකා චිකිත්සා' නම් පොතක සමාජරෝග පිළිබඳ  කාණ්ඩය ඇයට ඇසෙන සේ ඔහු කියැවූයේ, භීතිය හා සැකය ඇයගේ හද තුළ වගා වඩා පතිභක්තියත්, ඇදහීමත් නඟාලීමේ බලවත් ආසාවෙකිනි." (277 පිටුව )
එහෙත් නවකතාවේ අවසන් පිටු 15 තුල සිදුවීම් පෙළගැසෙන්නේ, තරමක් අභව්‍ය ලෙස ය. වසර ගණණාවක් කොහේ සිටියේදෝයි නොදැන සිටි කිහිප දෙනෙකුගේ අහඹු හමුවීමත්, ලෝභ දෝෂ මෝහ යන තුන හේතුවෙන් විඳිනා මිනිස් භවයන් ගැන කියවෙනා ධර්ම පාඩමක් ලෙසිනි. මෙම දුර්වල, ප්‍රචාරාත්මක අවසානය පොතේ සමස්ත වටිනාකමින් සැලකිය යුතු අගයක් අඩු කලේය ( අවසන් විග්‍රහයේ වර්ග කිරීම තරමක් අඩු එම නිසාය). එහෙත් එම අවසානය කරා එන තෙක් උක්ත යුගය ගැන අපූරු විස්තරයන් රැගත් නිර්මාණයකි. එම යුගයේ බත්ගම කුල ඇත්තන් එතරම් ම සමස්ත සමාජයෙන් පිළිකෙව් කලේ ද යන්න මම නොදනිමි (එය විශ්වාස කරලීමට අපහසු තරම් ය - එහෙත් තතු නොදැන තිරණයකට නො එමි ).

මෙම නවකතාව 1964 හොඳම නවකතාව තේරුම් ගත හැක ( එහෙත් ඒ වනවිට ද කරුමක්කාරයෝ, විරාගය අප සාහිත කෙතේ බිහි වී ඇති බව අමතක කල නොහැක ).  එම කාලයට සාපේක්ෂව මෙය රසවත් නවාකතාවකි. එනුමුදු වර්තමානයේ ද ඉතා සාර්ථක නවකතාවකට ඇවැසි වස්තු බීජ ඕනැ තරම මෙහි ඇත. බණ්ඩාරනායකයන් එම සුදුසු බීජ පමණක් ගෙන වඩා සාර්ථක චිත්‍රපටියක් සාදන්නට ඇතැයි විශ්වාස කරමි ( නොබෝ දිනකින් එය නැරඹීමට සිතා සිටිමි. 'පනාපුත්‍රගේ මතක වස්තුවේ', ඇන්තනී බවදුක ගැන කරන ආවර්ජනයන්ද එම ආශාව එකල වැඩීය )

මීට වසර පනස් පහකටත් පෙර යුගයක අප නවකතාවේ විකාශනයේ එක් අවස්ථාවක් ලෙස මෙය කියවිය යුතු බව විශ්වාස කරමි. යම් දුර්වලතා ඇතත්, රස විඳිය හැකි අවස්තා ඊට වඩා බහුල බව නොකියාම බැරි ය.

ශානරය - නවකතා
මුල් මුද්‍රණය - 1964; මෙම පිටපත, තුන්වෙනි මුද්‍රණැයෙනි (2016 - සූරිය )
ශ්‍රේණිගත කිරිම - ***1/2

Saturday, 16 January 2021

රිදුම් පිරි පිරිමැදුම් - අනුරාධා නිල්මිණි

 2019 වසරේ ප්‍රකාශිත කාව්‍ය සංග්‍රහයන් දහයක් කියවීමට තෝරා ගත්ත ද, 2020 අවසන් වද්දී ද මා කියවා තිබුනේ ඉන් පහක් පමණි ( මෙය පස්වැන්නයි). ඉතිරි පහ,  2021 දී කියවීමට හැකි වේ දෝ යන්න සැක, පැරණි කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් කියවීමට ද සිතා ඉන්නා නිසා ය. 2020 ප්‍රකාශ වූ සංග්‍රහයන් ද තව ටික දොහකින් මේ ගොන්නට එකතු වනු ඇත. මේ සියල්ල අඟවන්නේ, 2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීමට තෝරා ගත්තා වැඩිය කියා ය. 2020 කාව්‍ය සංග්‍රහයන් තෝරා ගනිද්දි ඒ ගැන අවධානය යොමු කල යුතුව ඇතත්, කාව්‍ය සංග්‍රහයන් පිළිබඳ නිසි ඇගයීමක් අප රට නොවෙනා හෙයින්, පාඨකයකු තෝරා බේරා කාව්‍ය සංග්‍රහයන් කියවන්නේ කෙසේ ද යන්න ම ගැටළුවකි - ඒ සීමිත කාලයක් තුල, සහ අන් විවිධ වර්ගයේ පොත් අතර කවි පොත් වලට කොපමණ ඉඩක් යොමු කල යුතු ද යන කාරණාවේ දිගුවකි. වෙසෙසින් පොතක් කියවා අවසානයේ, ඉන් රසයක් නොලබන්නේ නම්, එම කාල ආයෝජනය පිළිබඳ පාඨකයකුට පහන් සිතක් ඇති නොවේ. පෙර කී, මා කියවූ පොත් 5 අතර අවම වශයෙන් එවන් පහන් සිතුවිලි ඇති නොකල, සම්මාන නිර්දේශ ලත් එක් පොතක්  වෙයි. එහෙත් අනුරාධා නිලිමිණි ගේ මේ සංග්‍රහය කියවීමට තෝරගැනීම ගැන නම් මා මහත් සතුට ට පත් වෙමි. එය යම් සම්මානයක් දිනූ බව මතක මුත්, එය කුමක් දැයි මතකයට නොනැඟේ.

ඉදින් එම සංග්‍රහය කෙසේ ද ? නිදසුන් කිහිපයකින් සහ, සමස්ත අදහස් කිහිපයකින් ඒ ගැන මෙසේ අදහස් දක්වමි;


 තරමක ගුප්ත, එහෙත් යම් හුරුකමක් ද ඉඟිකරන ස්ථානයක් ගැන කවි පංතියකි, "එය කුඩා වන පෙතකි".

"මේ වනපෙතට පිවිසුම
යතුර හා රහස් අංකය
ඇතත්, හැම හදක ම
අනබිරහස් මංජුසා තුළ
ඒ, දෙස බලා නිහඬ ව
හිත හදාගනු මිස"
අප සැම ගේ සිත් වල ම ඇති වඩාත් ගැඹුරු තැනක් ගැන, එහි ඇති පසුතැවීම් හේතුවෙන් ම බොහෝ කෙනෙකු එය සැමදා වසා තබා ගැනීමට කැමති තැනක් ලෙස කිවිඳිය කියා පායි. කිමද, එහි ගිය අයෙක් කෙසේද යත්:

 "කලාතුරකින්වත් හමුනොවෙයි
සංචරණයට යන කෙනෙකු
එහි,
සතුටු මුහුණින්
කිසි දින"
තරමක කෙටි කවක් වුව, ඒ තුල බොහෝ දේ කියවෙන අපූරු කවියකි, "හුදකලාවත් හොඳ ම, මිතුරෙක් තමයි කෙනෙකුට"

"ජීවිතේ දුක අහන, මතුපිට
 කතා නැතුවට
 හුදෙකලාවත්, හොඳම මිතුරෙක්
 තමයි කෙනෙකුට"
අප රට තවමත් අයෙක් ගේ ජීවිකාව අනුව, ඔහු ට හෝ ඇයට හෝ කෙරෙන සැලකිල්ල තීරණය වේ. දැන් දැන් එළිපිට එය එතරම් නොපෙන්වුව ද, ඔවුන් කොන් කරන තීරුව හිත් කොන් වල ඇත.
"තණකොළ කපන
තණකොළ වගේ පොඩිවෙන 
අති බිම හෙළන
ළිඳ, වසුරු වළ ඉහදෙන
ගස් ඇද නමන
කම්බි නූලෙන් බැඳ දෙන
අය කොන් කරන
තීරුව තිබුණෙ හිත්වල"
තමන් නොලබන, අන් කෙනෙක් ලබන අසම්මත පෙමක රසයක් පීළිබඳ ඉවකින්, හිත කීරි ගැසීමක් කියැවෙන කවියකි, "නා මෙණෙවියක් වෙසෙයි හද තුළ"
"කන්තෝරු අහවර ව
එ'ගෙහිමි එන්නට
අඩහෝරාවකට පෙර
'හෙට වෙනකම් පාළුයි පැටියෝ' යි
මුමුණන
ඇගේ උන්මාද ස්වරය
කන්බෙරය කීතු කොට
හදවට ඇතුළු වන විට"

 කාන්තාවක් බොහෝ විට වට පිට සංඥ්ඥා මගින් බොහෝ දේ කියවයි. ඊට ප්‍රතිචාර දැක්වන්නේ තෝරා බේරා, ඉඳහිට වුවද, එම සංඥ්ඥා සමූහය අප වන් සංස්කෘතික පරිසරයක එය සැම දා අත්දකින විචිත්‍ර වූ  අත්දැකීම් ගොන්නක් විය යුතු යැයි සිතමි. සංඥ්ඥාවන් දීමේ පාර්ශවයේ අයෙක් ලෙස, විටෙක කාන්තාවක් තරම් සංඥ්ඥාවන් ගැන ඉවක් අපට නැති වීමට ද පුළුවන් බව,  මේ කෙටි කව මට  සිහිපත් කලේ ය.

"වැහුණු දොරවල් ඇරගෙන
කැඩුණු බස්වල හොටගෙන
මුහුණු මත ඇවිත් ලි්‍වෙන
හැඟීම් තිබේ, සමහර

ගැහැනු විතරක් ම කියවන!"

ගජමන් නෝනා හා ඩොයිලි අතර වූ තරඟයට කවි ලිවීමක් විෂය කොට ගෙන නිමැවුණු "ඩොයිලිට හිතෙනවා" රසවත් කවියක් වන්නේ, දයානන්ද ගුණවර්ධනගේ "ගජමන් පුවතේ" සමහර ජවනිකා සිහියට නංවමිනි.

 "ඩොයිලි: පිරුවට හොඳයි, කහටක් නැති අඟනුන්ට                  
                   කොරතොට හොඳයි, තව සිංහල උගනින්ට
                   උඩරට මාල බෝගම්බර ගිල්වන්ට
                   ඩොයිලිට හිතෙනවා, පාත ම ඉඹගන්ට

 ගජමන්: ලැබිණි මෙ' ලියමන යළි ලියමි, නොලියමි
                 ඔබින කතා දැයි සුද්දෙකුට නොඅසමි
                 රකින ඒජන්තකම්, මෙහව් කවි බැඳි
                 ඉඹින තැන පසුව මා ලියා දන්වමී."


මෙවන් රස ගුලාවන් වන් කවි සංකල්පයන් ට අමතරව සම කාලීන සමාජ දේශපාලන කාරණා නිමිති කල ගත් කවි  රැසක් ද මෙහි අපට හමු වේ. පාස්කු ප්‍රහාරය පසුව ඇති වූ උග්‍ර "සිංහල" කම ( "පපුවෙන් සිංහල ගලනව"), ගල්කිස්සේ රැඳවුම් මධ්‍යස්ථානයක සිටි රොහින්ග්‍යා සරණාගතයින් පිරිසකට එරෙහිව 2017 දී ඇති වූ  ප්‍රහාරය ("ඉතින්, සමා ඉල්ලමි"), අප රට ජ්‍යේෂ්ඨ ගායකයකු තරුණ කාන්තාවක් විවා පත් කොට ගත් විට ඔහුගේ පුතුන්ගේ ප්‍රතිචාරය  ("ඉනාව ම එක හිනාවකි පුත") පීලීබඳ එම ගායකයාගේ දෘෂ්ඨිකෝණය, ලක්ෂ්මි අගාර්වාල් මුල් කොට ගෙන ලියැවුණු "අග්නි දෙවඟන", දකුණින් යන අය උතුරේ දකින්නට බලාපොරොත්තු වන්නේ කුමක් ද යන ප්‍රශ්ණය මතු කෙරෙන "නන්දිකඩාල් පසු කොට" කවි පංතියත් මීට නිදසුන් ය. මේ සෑම මාතෘකාවක් ම කවි සිතක් තුලින් දකින ආරෙකින්, තෙතමනයකින් ලියැවී ඇත්තේ පාඨකයාට එම කාරණා පිළිබඳ සියළු පැති වෙත බලන මෙන් කෙරෙන නිහඬ බලකිරීමක් සමගය.


පෙර කී පරිදි 2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන්  5ක් කියවා ඇත ( ඉම තව දුරය, ක්වොන්ටම් භෞතික සංකාරා, මොන තරම් අවුලක්ද , හම්බාවා, අනෙක්වා ය). ( සන්තාන ගීතිකා, පිපී අනවැති නුරා මල් තරු පෙති, රන්වන් පත්, සරමිණි සුමුගුව සහ එහෙම වරදක් කරලා නෑ මම,  කියවීමට ඉතුරුව ඇත ). මෙය කියවීමට පෙර මොන තරම් අවුලක් ද සහ හම්බාවා, මා වඩාත් රස විඳි සංග්‍රහයන් විය එනුමුදු, මෙහි කවීත්වය, මැයන් හි විවිධත්වය, වරෙක මතුවන ස්ත්‍රීත්වය 2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන්ගෙන් ම මෙතෙක් වඩාත් රස විඳි සංග්‍රහය මෙය බව පැවසීමට පුළුවන.  ඒ අනුව, 2019 ප්‍රකාශ වූ විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහයක් බව කීමට කරුණු කාරණා දැනට යෙදී ඇත.


ශ්‍රේණි ගත කිරීම - ****1/2
කාව්‍ය
සන්ථව ප්‍රකාශනයකි (2019)

Monday, 16 November 2020

මකර තොරණ - ප්‍රභාත් ජයසිංහ



හොඳම කෙටි කතා සංග්‍රහය, 2016 - රාජ්‍ය සාහිත්‍ය සම්මාන

   "වයඹ දිග වැසියෙකුගේ දින සටහන්" නමින් වූ වෙනස් ම ආරක කෙටි කතා සංග්‍රහයක් මා කියවූවේ 2012 දී පමණ ය. ඉන් අනතුරුව කතුවරයාගේ දේවාකන්‍යා නමින් වූ කෙටි කතා සංග්‍රහයක් ප්‍රකාශ වූ ව ද, එය කියවීම පැහැර හැරියෙමි. 2016 දී ප්‍රකාශ වූ "

  "පොලිස් නිලධාරියා මරුට" කෙටි කතාව, වත්මනෙහි දේශපාලනික වූ පොලිසිය, එහි ඉහ වහා ගිය දූෂණය, කිසිදු කාරණාවක් පිළිබඳ සත්‍ය අවබෝධ කරගැනීමේ අපහසුතාව යන වත්මන් තත්ත්වයන් කෙටිකතාව නම් කලා මාධ්‍ය හරහා ගෙන හැර දක්වයි. කීමට ඇත්තේ කරුණුකාරණා අවුස්සා අවුස්සා යන මාධ්‍යවේදියෙකු එතරම් ව්‍යාකූල වනවානම්, සාමාන්‍ය ජනතාව වන අප ගැන කුමන කතා ද යනුවෙනි.

 "හොකී විතවුට් ස්ටික්ස්", මෙහි එන මා සිත් ගත් කෙටිකාවකි. කොටුවේ දුම්රිය ඉස්ටේසමේ බෝම්බයෙන් මිය ගිය එකම පාසලක ට අයත් හොකී ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඔවුන්ගේ මරණයෙන් වසර ගණණාවකට පසුව එක් වී වත ගොත සොයා බලයි. ඒ වන විට වෙනස් වී ඇති ඔවුන්ගේ පවුල් පසුබිම්, දේශපාලන පසුබිම් ඉදිරියේ ඔවුන් කෙතෙරම් අසරණ වන්නේ ද යත්, නැවත මිනී පෙට්ටි තුලට රිංගීම ඇත්තෙන්ම වඩා හිතකර බව ඔවුන් අවබෝධ කර ගනී.
මකර තොරණ" පාඨක අවදානයට ත්, ප්‍රසාදයට ත් ලක් වීම හේතුවෙන්, මීට මාස එකහමාරකට පමණ කියවූයේ ය.

සංග්‍රහයට නම දුන් කෙටිකතාව මෙහි තෙවැන්නයි. වර්තමාන දායකසභා වල ඇපයට පත් වූ අප පන්සල් වලට පත් ව ඇති ඉරණම ගැන නිර්මාණයකි "මකර තොරණ". ලේඛකයා තමාට සමාජයට කීමට ඇති පණිවුඩය තම නිර්මාණය තුලට පරිපූර්ණ ලෙස අන්තර්ගත කොට තිබුණ ද, එය පාඨකයා වෙහෙසකරවන කියවීමකි. ඒ, ලේඛණය ආයාසකාරි අභ්‍යාසයක් වූ නිසා යැයි හැඟෙන නිසා ය. පිටු පණහක ප්‍රමාණයක් දිගැරෙන කෙටි කතාව අසාර්තක යැයි කීමට ඉක්මන් නොවූව ද, ලේඛකයා ගේ දේශපාලනය නිර්මාණයේ රසවත් බවට පාරාවළල්ලක් වූ බවයි මගේ අදහස.

ලාංකීය විශ්ව විද්‍යාල පද්ධතිය වෙත සෝපාහාසකාරි බැල්මක් එල්ල කරන, එහි සිටින සමහර චරිත එතන යම් සාර්තක්තවයකට පැමිණියේ කෙසේදෝයි යන්න සෝදිසි කරන ආරේ නිර්මාණයකි, "එකමත් එක චරිතාපදානයක්" වූ කෙටි කතාව.

"අවුරුදු ගානක් අග සති දෙකක්" වූ කලි මෙහි එන යම් සංවේදිතාවක් පෙන්වන සාර්ථක කෙටිකතාවකි. තරුණයෙක්, ඔහුගේ පැරණි පෙම්වතිය සහ වත්මන් පෙම්වතිය යන චරිත තුනක්, තරුණයාගේ රෝගි තත්ත්වයක් මතු වූ විට හැසිරෙන ආකාරයත්, මිතුරියක් සහ පෙම්වතියක් අතර රේඛාව එහා මෙහා වෙන ආකාරයත් පෙන්වන අපූරු නිර්මාණයකි. මෙහි එන අනෙක් බොහෝ නිර්මාණ මෙන් ආයාසකාරි කියවීමක් නොවේ.

"කාලක ජාතකය", විශ්වාසය සහ ආගම කෙසේ වර්ධනය විය හැකි ද, එහි මූලාරම්භයේ සත්‍ය ස්වභාවය කෙසේ වී ද යන්න පිළිබඳ සිතීමට පාඨකයා යොමු කරනා ආකාරයේ කෙටි කතාවකි. මා රස විඳි කෙටි කතාවකි.

යම් අය තම පැවැත්ම සඳහා "සුදු වෑන්" පැමිණ ඔවුන් පහර ගනිතැයි පැතූ සැටි ද,  සංකේතීය වශයෙන් හෝ ඒ සඳහා ඔවුන්ගේ පෞරෂය පවා දන් දී රාජ්ය නොවන සංවිධාන සන්ධර්භය තුල තම පැවැත්ම තහවුරු කරගත් අයුරුත්, උපහාස මුඛයෙන් කියවෙන නිර්මාණයකි, මෙහි එන අවසන් කෙටි කතාව.  මා රස විඳි කෙටි කතාවකි.

  සමස්තයක් ලෙස, කතුවරයා බොහෝ අවස්තා වල ඔහුට කීමට ඇති සමාජ දේශපාලන විවේචනය, සෝපහාසය සමඟ මුසු කොට නිර්මාණය කල කෙටි කතා සතෙකි. මේ කර්තව්‍ය ලේසි පහසු කටයුත්තක් යැයි සිතිය නොහැක. ඒ, ඔහු එම සමාජ-දේශපාලන කාරණාව විචාරනවා හැරෙන්නට තම දේශපාලන න්‍යාය පත්‍රය නිර්මාණය තුලට ඔබ්බවා නැති හෙයිනි. එනුමුදු, ඔහුගේ අරමුණ ක්ෂාත් ක්ෂාත් කරලීමේ දී කෙටි කතාවේ රසවත් බවට යම් මිලක් ගෙවීමට සිදුව ඇතැයි සිතේ. වරෙක මෙහි එන කෙටිකතා කියවීම ආයාසකාරි වන්නේ ඒ නිසා ය. ඉන් නිර්මාණ අසාර්ථක යැයි නොකියවේ. කිම ද සමාජ-දේශපාලන විචාර අපක්ෂපාතීව වරෙක යතාර්තය තුලත්, වරෙක ඉන්ද්‍රජාලික යතාර්තය තුලට  ගෙන ඒම ම සියුම් නිර්මාණාත්මක කර්තව්‍යයකි. වර්තමානයේ පිහිටා, රෝගී සමාජය දෙස විචක්ෂණ නෙතකින් බලා, එය හැකි තරම් මධ්‍යස්ථ ස්ථානයක සිත විචාරා, නිර්මාණාත්මක සන්දර්භයක් තුලට ගෙන ඒම, පැසසිය යුතු කර්තව්‍යයකි. එහෙත් 2016 ප්‍රකාශ වූ හොඳම කෙටි කතා සංග්‍රහය, මට නම් මෙය නොවේ. කාලිදාස! කල් ඉකුත් වී නොමැත සහ දුෂ්ඨකමේ සෞන්දර්‍යය රත්මලානේ තවත් කතා, කියවීමට ඉතුරු වී ඇති සන්දර්භයක දී, මා එරික් ඉලයප්ආරච්චිගේ බැග්ඩෑඩ් මීට වඩා රසවිඳි බව පමණක් කියා සිටිමි.
(2017 සැප්තැම්බර් මස දාහත් වන දින ලියූ ලිපියකි )

Tuesday, 27 October 2020

ඉතා කෙටි කලබල සිහින - යශෝධා සම්මානි ප්‍රේමරත්න

 අවුරුදු 3ට පමණ පෙර මිල දී ගෙන, කියවීම මගැරෙච්චි කාව්‍ය කෘතියකි. පොත් කියවන මිතුරියක්, මෙහි එන වෙඩිවර්ධනගේ "විප්‍රලාපි කවි" මුල් කර ගත් "බසු කවිය" ගැන රචනාවක් පිළිබඳ හටගත් සාකච්ඡාවක් හේතුවෙන්, උඩින් පල්ලෙන් බලලා, මෙහි එන කව් නිර්මාණ කිහිපයක රසය විඳ, "ඔහේ කියවලා දානවා", කියා සිතී, කියවූවකි.



පෙර කීවාක් මෙන් කවි පොත ඇරඹෙන්නේ "විප්‍රලාපි කවියෙහි හැඩතල සහ 'බසු' කවියෙහි බස", මැ ඇති හරවත් ලිපියකිනි ( එය, මේ වන විට  වෙඩිවර්ධන සමඟ "විප්‍රලාපි කවිය" පිළිබඳ පිලිසඳරකට හේතු වී ඇත.). යශෝධා ගේ සමහර කවි වල ඇති විප්‍රලාපි කාව්‍ය ලක්ෂණ වෙඩිවර්ධන මතුකර ඇත. ඒ විප්‍රලාපි ඉංග්‍රීසි කවියේත්, සිංහල කවියේත් නිදසුන් සමඟය. වෙඩිවර්ධන ගෙනහැර දක්වන නගා මැරූ අල කාව්‍ය සංග්‍රහය මා සතු වුව ද, එය කවරයෙන් කවරයට කියවා නැත. ඒ අතරේ කුමාර හෙට්ටිආරච්චි විප්‍රලාපි කවියේ කොතැන රැඳෙන්නේ ද යන්න ද සිතිය යුතුය. කිම ද වෙඩිවර්ධන විප්‍රලාපි කවිය ගැන කියූ පමණින් ( සහ එම වදනේ අරුත් වටහා ගත් සැනින් ) මා මතකයට නැගුනේ හෙට්ටිආරච්චිගේ කවිය යි. එය තවම දිගැරෙන කතාවකි. දැන්, "බස්සි" වෙතට යොමු වෙමි.

මෙම කවි පොත කියවන්නියකට, සංග්‍රහයේ එන විප්‍රලාපි කාව්‍ය නිර්මාණ  කිහිපය ගැන වෙඩිවර්ධන අපූරු රචනාවක් කොට ඇති නිසා, මා මෙහි යොමු වන්නේ එම ලක්ෂණ වලින් තොර, මා රස විඳි කවි පංති කිහිපයක්  නිදසුන් කර ගන්නට ය.

පිරිමින් ට ගැහැනු හිසරද "පුරුදු" ය. කෝකටත් තෛලයක් වීමේ අවස්ථා එමට ය. කිවිඳිය ගැහැණු හිසරද ගැන කියන්නේ මෙසේය:

"පමණ දැන හිසේ තැවරිය යුතු
බිඳු දෙකක් හිතේ ඉහිරිය යුතු
පිරිමි ඇස්වලින් සැඟවිය යුතු
මිහිරි රහසක්ව පැවතිය යුතු"

                 කවි පංතියෙන් වෑහෙන "කොලොප්පම්කාරීකම", ගැහැණියගේ "ඇතුවත් බැරි -නැතිවත් බැරි"  කමටත්, ස්නේහවන්ත හුරතල්කමටත් සාක්ෂි දෙන්නාක් මෙනි. අපූරුතම කවි පංතියකි.

රාජකාරියේ නියැලෙන කාන්තාවන් තම දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ පාසැල් වැඩ වෙනුවෙන් වෙහෙසෙන්නේ ඇත්තෙන්ම, ඊටම ආවෙණීක "ස්මාට්" කෙටි ක්‍රම භාවිතයෙනි. එම වැඩ ටික පියෙකුට කියූ විට, ඉතා පහසුවෙන්, "මට වෙලා නෑ" කියා ඇඟ බේරා ගන්නා අවස්ථා ඇත.  පැරණි කවි පංතියක රීතිය පවත්වමින්, නූතන කවක් නිමවන්නි, එම ස්මාට් අම්මා ගැන මෙසේ පවසන්නීය.       

"ඔන්ලයින් කඩවීදි  ගානේ
පැකට් කල ඔළිඳ, මදටිය හොයා ඇහිදිම්මා
දොළොස්වෙනි තට්ටුවෙන්
ගෙවත්තේ සුවඳ මල් පුබුදුවා ගන්න හැටි
දහ අතේ කල්පනා කරන්නී ගෙල නම්මා"               

කලබලකාරි මොහොතවල් තත්පර අතර සිතුවිලි දිවෙනා දිශාවන් අනේකය. ඒවා තුල කවි නිමිති ද බොහෝය. ඒත් ඒවා පෝෂණයට ඉවරයක් වෙද ?

"ශීත ඍතුව එළඹි කාලෙක,
මටත් මවතැකි දිග සිහින,
ගෙලෙහි මෆ්ලරයක් බැඳ,
කිමිදෙමින් උණු උණු සිහින,
 
අතැඟිලි වාරු තිබුණොත්,
අකුරු කර අමුණා තියන්නම්,
දුම් දාන උණු උණු සිහින."
    ( ඉතා කෙටි කලබල සිහින )

වාර්ෂිකව සැප්තැම්බරයේ පැවැත්වෙන  පොත් සල්පිල කවදා පටන් ගත්තේ දැයි මට් අමතක නැත. 2011-2015 අතර කාලය ඇර, වසරක් පාසා ම එහි ගිය බව නම් දන්නේ ය. අයෙකුගේ ජීවිත කාලයෙන් එය සැලකිය යුතු කාලයකි. සමහර කියවන්නියකගේ වෙනස්වීම් එම සල්පිලේ ගන්නා පොත් වලින් වුව මිණිය හැකිය.

"'සයිබ සාහිත්‍යෙ වයිබර් ලකුණ'
අතට ගෙන බලමි, ආපහු තබමි
රජ කතා, යුද කතා, බොළඳ ආදර කතා
නොදැක්කා වගේ ඔහෙ සැරිසරමි

'හිනාවෙන සාදුගේ' දේශනා පොත් දෙකක්
'ත්‍රිපිටකේ සිංහලෙන්' වෙළුම් හතරත් අටත්
තුරුළු කරගෙන දාහෙ පටි ගනිමි
'නිවන් මඟ' මගහැරීමෙන් තැවෙමි."

                                 ( චාරිත්තරෙට වගෙයි )

මේ ලිපිය කියවන්නියකට, කවි පොත කියවීමට උත්තේජනය උදෙසා  සඳහන් කල නිදර්ශන සෑහේ යයි සිතමි. නූතන සිංහල කවියක අපූරත්වය විඳ ගන්න මෙම කවි පොත නොපැකිල කියවන්න. 2016 වසරේ නිර්මාණශීලී නවක දායකත්වය වෙනුවෙන් ගොඩගේ සම්මානය දිනා ගත් නම් මෙය ඇත්තෙන් ම අපූරු ම කාව්‍ය සංග්‍රහයකි. ඇගේ බුහුටි වදන්, තත්කාලීන සිදුවීම්, උපහාස රසය, සමාජ විවේචන වලින් සපිරි මෙම කවි අතර ඉවත දැමිය හැකි යැයි සිතිය හැකි අවමය. කවි පංතියෙන් කවි පංතියට අලුත් මැයකි. 2019 ප්‍රකාශ වූ කවි පංති කියවිම් දුක් විඳිමින් සිටි මා හට සෝමවීර ගේ "අප දෙදෙන මැද මහ මුහුද" සහ යශෝධාගේ "ඉතා කෙටි කලබල සිහින" හේතුවෙන්, රස විඳීමට කවි කියවීමක් අවස්තාවක් උදා විය. කවි පංති 41කින් සපිරි මෙම කාව්‍ය සංග්‍රහයත්, චොකලට් පෙට්ටියක් වැනිය.   අර, ෆොරස්ට් ගම්ප් ගේ අම්මා කිවූ පරිදි, "You never know what you're gonna get" ම ය - කවි පංතියෙන් පංතිය එතරම් විචිත්‍රවත් ය. 

****1/2
කාව්‍ය - 2015 දෙසැම්බරයේ 
කර්තෘ ප්‍රකාශනයකි.


 

 






Saturday, 24 October 2020

නිෂ්ක්‍රාන්තිය - සුනේත්‍රා රාජකරුණානායක

සම්මාන නිර්දේශ වල හොඳ පැති ඇත.  



ලංකාවේ ප්‍රවීණතම කතුවරියක වුව ත්, ඇගේ නවකතා ම දහයක් කියවා ඇතත්, අප තරමක් විශ්වාස කරනා පාඨක ප්‍රජාවගේ අදහස් අනුව, මෑතක කතුවරිය ලියූ ජයන්, ශ්‍රී කාන්ත්, සෞම්‍යාලෝකනය සහ මියුරු හඬ යන කෘතීන් කියවීම අතහැරියෙමි. එහෙත් දැන් නිෂ්ක්‍රාන්තිය ගොඩගේ සම්මානය දිනා, සහ ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණ ඇත. මෙම ජයග්‍රහණයන් මෙම කෘතිය කියවන්නැයි අප ට බල කර බව ය සත්‍යම කරුණ ( නැතිනම් මා මුලින් කියවීමට තෝරාගත්  2019 ප්‍රකාශ වූ නවකතා 15 හි, මෙම කෘතිය නොතිබිණි - මෙයත් සමඟ එය 16ක් බවට පත් විය). ඒ පසුබිම මතය, මා නවකතාව කියවීම ට යොමු වූයේ - නැතිතිනම් පාඨකයින් මේ කෘතිය  ගැන මිශ්‍ර අදහස් ය පළ කර ඇත්තේ.

ඉතින් එසේ කියවීමට පෙළඹුන පොත කොහොමද ?

මෑතක මා කියවූ හොඳම ආරම්භයක් තිබූ නවකතාව නිසැක වශයෙන් ම මෙය විය යුතුය. පිටු 40ට වැඩි පළමු පරිච්ඡේදය ආයාසයකින් තොරව කියෙව්වේ, මතකය පමණක් නොව තමන් කවුරුන්දැයි ද යන්න අමතක වූවකු ගේ  ගැටළුපිරි මානසිකත්වය පිළිඹිබු වන අයුරෙන් ලියැවී ඇති නිසා ය . මේ නම් අපූරුම පොතකැයි සිතමින්, මා ඉදිරියට කියවාගෙන ගියෙමි.  වඩා කෙටි දෙවෙනි, තෙවෙනි පරිච්ඡේද වල ආඛ්‍යායන හසුරුවන්නේ, අර පෙර කී මතකය අහිමි වූ කත ගේ උදව්වට පැමිණි ග්ලෝරි නම් තරමක් වියපත් කතයි. පාසැල් ගිය කාලය මතක් කරමින් ඇදෙනා මෙම කොටස් වල ඊට ම  ආවෙණික රිද්මයක් ගෙනෙන්නේ එම විශ්‍රාම සුවයෙන් වෙසෙන කතුන්ගේ දිවි පෙවෙතට ගැලපෙන අයුරිනි; ඒ අතර මතකය අහිමි ඇය, කවුරුන්ද, යන ගැටළුව සියළු දෙන අතර පවති. කෙමෙන් කෙමෙන් එම මතකය අහිමි වූ කත ගේ මතකය නැවත ලැබීමත් සමඟ නවකතාවේ ආඛ්‍යායනය මහනුවරට මාරු වෙයි. මෙතෙක් වේලා පාඨකයා අඳුරේ තැබූ ඇගේ කතාව කෙමෙන් කෙමෙන් පිටු පුරා ඇදෙන්නේ jig-saw ( ජිග්සෝවක් ) හැදෙන්නාක් මෙනි. ඊට තැනින් තැන වර්ණයක් ගැනෙන්නේ මෙවන් අදහසකිනි:

"ලංසි මිනිස්සු රිටායර් වෙලා ඒ පතිවලට ගියා. පෙන්ෂනර්ස් පරඩයිස් කියලා නුගේගොඩට කිව්වේ. නාවල ඇලේ වතුර ඔහොම නරක්වෙලා නෑ. මිනිස්සු මාළු අල්ලන හින් දිය පහර." (128 පිටුව)

මෙහි සෙවනැලි 1980 දශකය සහ 1990 දශකයේ මුල දක්වා තිබූ බව මතක් කරන්නේ, කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ ඒ වන විට ද සැලකිය යුතු බර්ගර් ප්‍රජාවක් වාසය කල බවත් අප කොලු වියේ එම කොලුවන් සමඟ කෙළිදෙලෙන්, රස්තියාදුවෙන් කල් ගෙවූ බවත් මතක හෙයිනි. නව යොවුන් වියට පා තබමින් සිටිය දී, 88-89 සමයේ රටේ භීෂණය එම තීව්‍රතාවෙන් ම අපට නොදැනුනේ, ඒ බර්ගර් ආශ්‍රය නිසා යැයි අද ආපසු හැරි බලනා කල අපට හැඟේ.

මෙහි එන ජයමංගලා ගේ තරමක් නිදහස් දිවිපෙවෙත ගැන කියවෙන කොටස ද රසවත් ය. මවක් වශයෙන් ඈ ව තුලනමය ඇගයීමකට ලක් කිරීම,  මෙම නවකතාවට වටිනාකමක් ගෙනදෙන්නීය. තැනෙක ඇගේ දියණිය ජයමංගලා කතාවක දී මෙවන් අදහසක් ප්‍රකාශ කරය: 

"මානව සමාජ සංවිධානගත වෙනකොට නීති හදා ගත්තාට ආගම්වලින් නීති පැනෙව්වට මනුස්ස ප්‍රාණීයෝ හැම වෙලාවෙම යටි හිතෙන් ඉන්නේ ඒ හිරගෙවල්වලින් පිටත වෙන්නැති." ( 186 පිටුව )

එම මවගේ සහ දියණියගේ සම්බන්ධය ගැන, අන් තැනෙක, දුව වරෙක මෙසේ ද කියයි"

"අනේ ඔයා බැංගලෝර් යනකල් ධර්ම කතා තිබුණේ නැහැනෙ. මාව හදුවෙ දහම් පාසලකටවත් යවන්නේ නැතුවනේ" ( 301 පිටුව)

එසේ වුවද, ජීවත් වෙමින් එම ජීවිතය ඉගෙන ගත් එම මව ( අන් මගක් ඊට වෙත් ද?), මෙම ආත්ම විශ්වාසය තම දියණියට ලබා දෙන්නේ ඇය විවා ගිවිස ගද්දීය:

"ඔයාගෙ සත්‍යයන් අසත්‍යයන් වුණොත් එහෙම නැත්තං ඔයා තෝරාගත්තු මාර්ගයේ අතරමං වෙන්න ගත්තොත් එහෙම ඕනම වෙලාවක හරිලා එන්න බයවෙන්න එපා. ආයෙමත් පටන් ගන්න එක දුකක හරි වරදක හරි හිරවෙලා ඉන්නවට වඩා හොඳයි" ( 200 පිටුව )

ඉතින් එක් මනසකට විඳිය හැකි තරමකට වඩා ප්‍රශ්ණ ඇතිවීමට පෙර යුගයේ,  ඔවුන් දෙපළගේ ජීවිත එලෙස ය.  එහි අසම්මතයේ යම් ඡායාවක් තිබුන ද , අවංකතවයෙන් පරිපූර්ණය. ජීවිතය විඳින්නෝය. නවකතාව ඉන්දියාවේ චෙන්නායි නුවරත්, පසුව ජයමංගලා දීර්ඝ කලක් වෙසෙන හිමාචල් ප්‍රදේශයේ ටිබැට්  ක්ෂේම භූමයක් වෙතටත් යොමු වන්නේ, පිළිවෙලින්, අප කතා නායිකාවගේ ඉතිහාස කතාවත්, ජයමංගලා ගේ දිවිසැරියේ දිශාවත සමඟය. මාධ්‍යවේදීන් දඩයම, දේශපාලඥ්ඥයින්ගේ මනදොළ වෙනුවෙන් ඕනෑම දෙයකට යොමු වීමට ඇති නොපසුබෑම ආඛ්‍යායනය මතු කර ඇත්තේ චෙන්නායි, ශ්‍රී ලංකාව යැයි වෙනසක් නැති බවක් ඒත්තු ගැන්වෙන අයුරිනි. කතුවරිය ඉඟි කරනුයේ, මුහුණ දෙන අසාධාරණකම් අතින් එතරම් වෙනසක් නොවූවත්, ඉන්දියානු මහජනතාව පාරට බැහීමට ලාංකිකයාට වඩා සූදානම් බවකි. කතුවරිය ඍජුව පවසා නොසිටියා ද, දිවියට "නියමිත රේල්ලුවෙන්" නොපිට පැන සීරුවට ජීවත් වන්නන්ට වඩා, තම දිවිය සිත්සේ විඳින්නන්ට මුණ ගැහෙන අපූරු චරිත හේතුවෙන් ජීවිතයේ රස උත්තේජනය වැඩි වන්නා සේ ම, විඳින්නට වෙන කම්පනයන් ද එලෙසම ය. නවකතාවේ මැද කොටස වැඩි පමණක් මේ නිදහස් ජීවිතය ගෙනෙනා අලංකාරයත්, වර්තමාන කලාපීය දේශපාලන වටපිටාව ගෙනෙන අස්ථාවරත්වයත් අපුරුවට ගෙනහැර දක්වා ඇතැයි සිතුනි.  බොහෝ චරිත නවකතාව තුලට පැමිණීම, කෙටි කලකින් ම  ඉවත් ව යෑම තුලත්, හිමාචල් ටිබැට් මෙහෙණිනියන් ගේ ජීවන රටාව ආදියත්, ඉවසිලිවන්ත නොවෙන කියවන්නියක් වික්ෂිප්ත කිරීමට ඉඩ ඇත - එය පාඨකයකු සෙමින් කියවා රස විඳිය යුතුය.   මේ කෘතියේ ඇති එක් ධනාත්මක ලක්ෂණයක් නම්, කියවීමට අලසකමක් ඇතිකරනා බවකින් තොර වීමය. හිමාචල් විස්තර වරෙක වැඩි යැයි නොසිතුනා ද නොවේ. ජයමංගලාගේ ආඛ්‍යායනයක් ලෙස දිගැරෙන හිමාචල් විස්තරය, කෘතියේ දිගම පරිච්ඡේදය වන්නේ ය.

එහෙත්, නවකතාව අවසන් කර ඇති ආකාරය පිළිබඳ අයෙකුට සතුටු නොවන්නේ නම්, එය එතරම් අහේතුක ද නොවේ. නවකතාව ට උක්ත යුගය අනුව, එම සිදුවීම භාවිතාකිරීම නුසුදුසු යැයි කිව නොහැක. එහෙත් පිටු පසු කවරයේ කියවෙන පරිදි,

"මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද, නීතිය ද, නිෂ්ක්‍රාන්තියට පත්වන්නට ඉඩ දිය නොහැකි ය",

යන්න නවකතාව ට පසුව පැමිණි සටන් පාඨයක් මෙනි; පසුකල්පනාවක් මෙනි; නවාකතාවේ අවසන ලියාගෙන එද්දී අප රටේ සිදු වූ එම අවාසනාවන්ත සිද්ධිය, මුළු පොත ගැන සාරාංශ වාක්‍යයක් ලෙස ඉදිරිපත් කරලීම පිළිබඳ, එතරම් පැහැදීමක් මා තුල් ඇති නොවිණි. එය නවකතාවේ පරිපූර්ණත්වයට යම් පළුද්දක් ඇති කරයි.  මාධයවේදීන් සහ නිදහස් මිනිසුන් හට දේශපාලන හස්ථයන් මගින් සිදු වූ අඩත්තේට්ටම් දීර්ඝ ලෙස නවකතාවට එක්කොට තබා, අවසන් මොහොතේ දරුණු ආගමික අන්තවාදී සිදුවීමක කම්පනය හේතුවෙන්, නවාකතාවේ ගලායෑම ට වැරෙන් පහරක් එල්ල වූ ලෙසය මට හැගුණේ. සමහර දෙබස් වලින් පවා, ජන කොට්ඨාශයක් ඒකාකෘතිකරණයකට ලක්වන්නේ දො යි සැක සිතේ.

"ඒගොල්ලො මං මුළාවෙලා වුණාට අපි එහෙම වෙන්න හොඳ නැහැ. එතකොට ඒගොල්ලන්ගෙයි අපෙයි වෙනසක් නෑ" ( 341 පිටුව )

නවාකතාවේ චරිතයක දෙබසක් ලෙස මෙය සාධාරණ යැයි අයෙකු ට විග්‍රහ කල හැකි වුවත්, කතුවරිය පවා යම් කම්පනයක් තුල හිඳිමින් ම නවකතාව අවසන් කලාදෝ කියා සිතුණි. මෙම අසහනකාරී කාලයේ මෙවන් අදහස් මතුවීම  අස්වාභාවික නොවැතැයි, කෙනෙකුට කිව හැක. එහෙත් මෙම සිද්ධිය වඩා සවිස්තර ලෙස නවකතාව තුලට ගෙනැවිත් නැති විටෙක, එය නවකතාව සමාප්තයට පමණක් භාවිත වන හෙයින්, ඉන් නවකතාවට එතරම් සේවයක් නොවේ. කිමද, එකොලොස් වැනි පරිච්ඡේදය වන තෙක් ම තුබූ සිදුවීම් බහුල නිසා, ස්වභාවික සමාප්තියකට ඕනැ තරම් මෙහි අවකාශ තිබුණි. ඇරත්, උක්ත ආගමික අන්තවාදය, අන් දවසක වඩා සවිස්තර රචනයකට මාතෘකාවකට හසු කරගැනීමට තරම්  හැකියාවක් කතුවරිය සතු බව අප සියළු දෙන දනිති.

ඒ සියළු සිද්ධීන් මධ්‍යයේ වුව, සමස්ත වශයෙන් මා බොහෝ රස විඳි නවකතාවකි. අවසන් පිටු දහයේ හදිසිය සමස්ත නවකතාවේ රසාස්වාදයට කෙරෙන හානිය නොසැලකිය හැකි තරම් යැයි අයෙක් පැවසුවහොත්, මා ඊට ද විරුද්ධ නොවනු ඇත. මෙම කෘතියට ලැබුණු සම්මාන සහ නිර්දේශ සාධාරණ බව හැඟේ.

****
2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 8
සරසවි ප්‍රකාශනයකි






Saturday, 12 September 2020

විතණ්ඩ සමය - එරික් ඉලයප්ආරච්චි

(පළමු වරට 2016 අගෝස්තු මස 14 වන දින පළ කල ලිපියකි.)

එරික් ඉලයප්ආරච්චිගේ "විතණ්ඩ සමය" කියවූවෙමි. මේ කෘතියේ දෙවෙනි වර කියවීමයි ( පළමුවැන්න මීට සිව් වසරකට පමණ පෙර ය ).

බගන්දරා වලින් පටන් ගන්නා මාහිමගොඩැල්ල නම් මීගමුව ආශ්‍රිත ගම්මානයේ කුසුමාවති සහ ඇගේ පවුලේ උදවියගේත්, ඒ වට පිටාවේ තත්කාලීන රටේ සිදුවීම් අනුසාරයෙනුත් ගෙතුණු  නවකථාව, එහි දෙවෙනු අදියර ට පා තබන්නේ මධ්‍ය ලක්ෂය මීගමුව නගරය කොට ගෙන සේය. මද්දුමිලා, මාඕ මාස්ටර්, නීටා යන චරිත සමඟ නවකථාව තවමත් සුපොෂිත මුත්, කුලසිරි ද ප්‍රධාන චරිතය ද යන්න කුකුසක් වන තරමට ධනවත් බෙල්ලන ව්‍යාපාරික පවුලත්, වෙළඳාම කේන්ද්‍රීය වූ මීගමුවේ, ලයනල්, ඇන්ටනි වන් චරිත පිළිබඳ අවධානය යොමුකෙරේ. 


මේ යුගය විතණ්ඩ සමය නම් ලද්දේ ඇයි දැයි කුකුස් දනවන කාරණාවකි. නවකථාව හැඳුන්වනු වස් සිඛවලද අටුවාවෙන් ගෙනහැර දක්වන්නේ විතණ්ඩවාදය ද ලෝකයාතවාදයකි, සසර දිගු කරනු වස් භාවිත හේතුවාදයකි, වශයෙනි. බගන්දරා කෘතියේ දී සියදෝරිස් දැඩි සමාජවාදි මතයේ එල්බ, අකර්මන්‍ය ජීවිතයක් ගතකරනුයේ මුත්, මෙහි එන නාගරික වෙළඳ ප්‍රජාව, තම අරමුණ සහ ඔවුන් ට දැනෙන අයුරෙන්, තාවකාලික හෝ හිතසුව උදෙසා, ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙන්නෝය ; ඔවුන්ගේ මතවාද යනු වර්තමාන වටපිටාව සහ වාසිය උදෙසා භාවිත එකකි.

මේ නවකථාවේ උක්ත කාලපරාසය අසූව දශකයේ මැද භාගය ය.  කොටි ත්‍රස්තවාදී ක්‍රියා වලින් දකුණ පෙළුණු යුගයකි එය. ඉදින් රටේ තිබුණු අනාරක්ෂිත තත්ත්වය ද මේ නවකථාවේ සැලකිල්ලක් මතු වන මාතෘකාවකි. ලේඛකයා මෙතෙක් කලක් සමගියෙන් විසූ ජන වර්ග සහ ජාතියක් තුලින් එය බිඳි යන්නේ කෙසේ ද යන්න ගැන ද උපෙක්ෂක ව තම විචාරක නෙත යොමු කරන්නේ මීගමුව ම නිදසුනක් කරගෙන ය. සිංහලත්වය වෙනුවෙන් පෙනී සිටින්නෝ සියළුදෙනා බෞද්ධ නොවන වග ට මෙහි කරුණු කියවේ.


මෙහි සමහර සිද්ධීන් සත්‍ය සිදුවීම් යැයි සිතේ. මරදාන බෝම්බය වන් සුපැහැදිලි සිද්ධීන් නොව, මෙහි එන  මීගමුවේ මහින්ද මාර්කැට්ටුවේ ගිනිතිබීම ආදි සිද්ධීන් ගැන ය මා පවසන්නේ. ඒ පිළිබඳ දත් අයෙක් වෙත් නම් අප දන්වනු මැනවි.


විතණ්ඩ සමයෙන් ඔබ්බට ඉලයප්ආරච්චි කියවීම: - මේ නවකථාවේ රිද්මය ගැන ද යමක් කීම උචිත යැයි සිතේ. බගන්දරා හැට හැත්තෑව දශකයේ වේගයෙන්, මන්දගාමීව ගලාගිය යුගයක්   පිළිබඳව ය. එහෙත් ධාවනාකාරි අසූව දශකය මීට සාපේක්ෂව වෙනස් ය ( අසූව දශකය ට සාපේක්ෂව අද යුගය විදුලි කෝච්චිය ක් ආකාරයට ය; නුමුත් එය අනෙකකි, නවකථාව ට අදාළ නැත ).එම යුගයේ වූ වෙනස්කම් රැසකි; ඒවාද වේගයෙන් සිදු වුණි. සමහර වැදගත් සිද්ධියක් තවත් දෘෂ්ඨිකෝණයෙන් නොවැදගත්ය. ඒ අනුව ෂෙල්ටන්ගේ මරණය සිදුවීම නවකථාවට එය සිදුවන විට මාතෘකා නොවේ. එය අතීතකාලයෙන් සාපේක්ෂ වශයෙන් අඩු වැදගත්කමෙන් කියවෙන්නකි.  මරදාන බෝම්බයෙන් පසුව සිදුවීම් ගැන කථා කෙරුණ ද, ඉන් අනතුරට පත් වූවන් කෙලෙස ඊට ගොදුරු වී ද යන්න සඳහන් නැත.පළමු වතාවේ නවකථාව කියවන විට මේ වේගයේ වෙනස මට  නවකථාව රස විඳීමට බාධාවක් විය. සමහර විට මට අවශ්‍ය වූයේ තවත් බගන්දරා වේගයෙන් දිගැරෙන නවකථාවක් වන්නට ඇත. එහෙත් මෙය නැවත කියවන විට කතුවරයාගේ වේගවත් ආඛ්‍යායනය නවකථාවේ යුගයට උචිත බව වැටහේ. එපමණක් නොව කතුවරයා මින් මතුව, මෑත යුගයන් අලලා ලියූ ලලිත සමය සහ පාදයාත්‍රා කෘතීන්හි ද මේ වේගවත් ආඛ්යායන දැකිය හැකිය. එය සැම අයුරින් ම ඒ වකවානුවට උචිතය. විතණ්ඩ යුගයෙන් පසුව ලියැවුණු ආදරයේ සිමෙන්ති ( එය නැවත හැත්තෑව දශකයේ මුල් වකවානුව අලලා ලියැවුණකි - අන් දිනෙක සාකච්ඡා කල යුතු වෙනමම කථාවකි ) නැවත බගන්දරා නවකථාවට ආසන්න වේගයෙන් දිගහැරෙන්නකි. ඉලයප්ආරච්චි තම ආඛ්යායනන් උදෙසා මේ පිළිබඳව සැලකිලිමත බව මම සිතමි. ඔහුගේ කියවන නවකථාවක් පාසා, අද වන විට පරිණතම සිහළ නවකථාකරුවා ඔහුම යැයි මට තහවුරු වේ. මා තවම ඔහුගේ කෙටි කථා කියවා නැති හෙයින් ඒ ගැන නිහඬ මුත්, ඔහුගේ කවි බොහෝ සෙයින් රළු, හැඟීමෙන් අල්ප, උපෙක්ෂක නිරීක්ෂණයන් මෙන් ය. එහි සුන්දරත්වයක් නැත්තේත් නොවේ. එහෙත් ලක්ෂාන්ත අතුකෝරාළ, මංජුල වෙඩිවර්ධන ආදී නව යුගයේ කවියන්ගේ භාෂා පෙළහැර ඉදිරියේ, හේ තවත් එක් කවියෙක් පමණකි.

(  මේ මෙම කෘතියේ දෙවෙනි කියවීමයි - පළමුවැන්න 2012 සැප්තැම්බර පහළොව ලෙස, එදවස ලියූ සටහනක සඳහන් ය. කලක් මේ කෘතිය මුද්‍රණයේ නොතිබීම හේතුවෙන්, මෙම වාර දෙකේ දි ම කොළඹ මහජන පුස්තාලයෙන් ගෙන කියවූවෙමි. පළමු වර කියවීම, එකල මා සේවය කල දෝහා නුවර සිට ඊද් (Eid) නිවාඩුව අලලා ලංකාවට ආ විටය. ඉන් අනතුරුව 2017 මෙහි අලුත් මුද්‍රණයක් නිකුත් ව ඇත. )

****
ගොඩගේ මුද්‍රණයක් ( 2002 / 2017 )

Friday, 4 September 2020

මොන තරම් අවුලක්ද - අජිත් තිලකසේන

 ( 2020 හොඳම කාව්‍ය සංග්‍රහයට විද්‍යෝදය සම්මාන )








සමහර කවි පොත් තියෙනවා කියවා ඉවර කරන්න බැරි

නෑ, නෑ, අනෙක් සාමාන්‍ය කවි පොත් වලට ත් වඩා..

එක්තරා නිශ්චිත මොහොතක ට, සිද්ධියකට අදාළ හැඟීම් පෙළක්...

එවගේ හැඟීම් පෙළක්, කවියා ගේ ම රළු වචන පාවිච්චි කරලා ලිව්වාම, ඒවා එක පාරට ම වදින්නේ නෑ...

 හතර පස් පාරක් කියවන්න වෙනවා...

එතකොට අමුතු ආස්වාදයක් තැපෑලෙන් වගේ එනවා

 දවස දෙක තුනකට පස්සෙ, කලිං වැදිච්චි නැති කවියක් කියෙව්වාම,  පැහැදිලිව  පෙනෙන්න ගන්නවා ..

නැත්තං කලිං දවසේ පෙනිච්චි ටිකවත් පේන්නැතුව තවත් අසරණ වෙනවා

මොන තරම් අවුලක්ද

එතකොට මේ පිටු 51 ට, කවි පංති 23 ට සීමා වෙච්චි කවි පොත කියවලා ඉවර උනා කියන්නේ ම, මුලාවක් ද

සමහර කවි වැන් ගෝ (  වැන් ගොෆ් / වන් ඛො ) ගේ චිත්‍ර වගේ

ඔහු ම හඳුන්වා දුන් අකුරු ඌරුවක් පාවිච්චි කලා ම,  වියුක්ත බව තවත් දැනෙනවා

ඉතින් මම මට ම කියා ගන්නවා මම කවි පංති 23 කියෙව්වා කියලා..

මං මාව ම විශ්වාස කරයි ද  මට ම විශ්වාස නෑ...

 ඔහුගේ තරුණ කවි වලට  උදාහරණ කීපයක් මේ ලියවිල්ල අස්සෙ  එල්ලනවා, අකුරු රටාවේ අපූරුව මට ලැබිලා තියෙන කීබෝඩයෙන් මවන්න බැරි හින්දා... 

 

 

මොන තරම් අවුලක්ද

මට වඩා තිලකසේන කියවන්න පුලුවන් කෙනෙක් මේ අවුල ලෙහනවා නම්...






****
(2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීම - 3)

සරසවි ප්‍රකාශන (2019)

Saturday, 29 August 2020

මැරීන් ඩ්‍රයිව් - අනුරසිරි හෙට්ටිගේ

 

මෙය ලේඛකයාගේ මා කිය වූ තෙවෙනි කෙටිකතා සංග්‍රහයයි ( මීට අමතරව ඔහු ගේ නවකතා ද හතරක් කියවා ඇත.) දිමියා සහ සිංහබාහු එනකං, යන ඔහු ගේ මීට කලින් ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් උදෙසා අනේක සම්මාන ඔහු ට හිමි විය. මෙම සටහන තබන්නෙ   හේ "මැරීන් ඩ්‍රයිව්" සඳහා රජත පුස්තක සම්මානය ද, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උදෙසා නිර්දේශ වී ද ඇති වටපිටාවකය ( ලේඛකයා ගොඩගේ සම්මාන සඳහා සම්බන්ධ බැවින් එම සම්මානයට තම පොත ඇතුලත් කර නැතුවා මෙනි ). පෙර කී කෘති දෙකේ, මා රසවිඳි කෙටිකතා මෙන් ම, මා එතරම් ප්‍රිය නොකල කෙටි කතා ද විය. ඔහු වෙසෙසින් පීඩිත පංතියේ මිනිසුන් ගේ චරිත ඉදිරිපත් කරනා අයුරු අපූරු මුත්,  රටේ දේශපාලන තත්ත්වයන් තම නිර්මාණ වලට ඇතුලත් කර කෙරෙනෙ අවස්ථාවන් හි, දේශපාලනය, කෙටිකතාවට ඔරොත්තු නොදෙන අයුරකින් නෙරා ඒම මාගේ රසවිඳිමට බාධාවක් විය ( එය පුද්ගලික රසඥ්ඥතාව පිළිබඳ ගැටළුවක් විය හැකිය ).

අප රට සමාජ දේශපාලන මාතෘකා කතාව ට ගැනෙනා  නිර්මාණ වල ස්වභාවික බව අඩුය. නැතිනම් පණිවුඩය මතුකරලීමට දරණ තැතේ දී, එය නිර්මාණයේ හැඩය විකෘති කරලමින්, එය දේශපාලන පණිවුඩයකට පාරුවක් වෙන අවස්ථා බහුල ය.  තරුණ නිර්මාණකරුවෙකු, විචාරකයකු වන සුදර්ශන සමරවීර ගෙ පැසසුම් කියවා, ප්‍රියන්ත ලියනගේ කොට තුවක්කු කියවීමට ඇරඹුව ද, අප රට සමස්ත සමාජ දේශපාලන ගැටළු තම නිර්මාණය නියෝජනය කරලීමට යත්න දැරීම හේතුවෙන්, රසවත් ආඛ්‍යායනයක්, ඉන් මතුවීමට තුබූ හොඳම නිර්මාණයෙන් මෙපිට අවසන් වූවාදෝ යැයි සිතුණි. මංජුල වෙඩිවර්ධන, ඉසුරු ප්‍රසංග සහ එරික් ඉලයප්ආරච්චි වැනි අය මෙම සමබර කර්තව්‍යය සාර්ථකව මීට පෙර ඉටු කල තිබුන ද, කත්‍යානා අමරසිංහ, ලියනගේ අමරකීර්ති සහ අනුරසිරි හෙට්ටිගේ  මෙම සියුම් ගැලපූම් සූත්‍රය ගොඩනගා ගැනිමේ දී මීට පෙර අභියෝග වලට මුහුණ දී ඇත. බටහිර ලේඛකයින් වඩා සාර්ථක ලෙස උපහාසය සමාජ දේශපාලන විචාරය උදෙසා ඔවුන්ගේ ප්‍රබන්ධ සාහිත්‍යයේ දී භාවිත කරයි. Paul Beatty ගේ The Sellout උපහාස භාවිතාවට කදිම නිදසුනක් වන අතර (අමරකීර්ති ද මෙම උපහාසය තම සමාජ දේශපාලන නිරීක්ෂණයන් ට සාර්ථකව භාවිත කල අවස්ථා නැතුවා නොවේ.) , Anna Burns ගේ The Milkman කදිම ඒකපාත්‍ර ආඛ්‍යානයකට ආනත රටාවක් භාවිතාවෙන්, එවකට මුළුමහත් අයර්ලන්තයම රෝගී කල දේශපාලනය, තම නිර්මාණය තුලට කාවද්දා ගැනීම සාර්ථක ව සිදුකල අයුරු , නිදසුනකි. මෙම නිර්මාණ දෙකම Man Booker සම්මානයෙන් පිදුම් ලත් හ.   ඉතින් මෙවන් අත්දැකීම් මත සිට, මෙම සංග්‍රහය විවෘත මනසකින් කියවා ඇගයීමට යත්න දරන්නෙමි.

මැරීන් ඩ්‍රයිව් කෙසේද ? ඔහු "කෙටිකතාව - කතාන්දරයෙන් ඔබ්බට", ලෙස නම් කල


පෙරවදනක මෙසේ පවසයි;

 

"කෙටිකතාව ඇසුරෙහි කතන්දරයක් සොයන පාඨක සමාජයක, නව්‍ය වින්දන කලාපයක් උත්පාද කළ හැකි හොඳ ම මාර්ගය වන්නේ, මෙය කතාන්දරයක් නොවේ යයි හැඟෙන ඉංගිති සමඟ සිය ප්‍රබන්ධය ගොඩ නැංවීමයි."

පළමු කෙටිකතාවේ දී ම ඔහු මෙම ක්‍රියාව පසක් කරයි. "ජිවිතයට සමීප ව" කෙටි කතාවේ සේනාරත්න මහතා  අවුරුදු හැටක් ම  ආලයක් නොවිඳ සිට, ඒ ගැන පළමු බලාපොරොත්තුව හමුවේ හැසිරුණු අසරණ අයුරු පාඨකයා බොහෝ සංවේදි කිරීමට සමත් ය. කතුවරයා මෙම දසුන් පෙළ අපූරුවට නිමවා ඇත. එහෙත් එතැනින් කතුවරයා කතාන්දරය, වෙනස් මගක ගෙනියන්නේ පෙරවදනේ ඔහු කී පරිදි ය. අයෙක් "සේනාරත්න" ව විහිළුවට ගත්තේ ද? අචලා මනසින් එතරම් වැටීමට මෙම සිද්ධියට ඇගේ සැබෑ සම්බන්ධය කුමක් ද - එය කෙටිකතාවෙන් පරිබාහිරව පාඨකයා පාදා ගත යුත්තක් ද ?

හෙට්ටිගේ, අප රට සමාජ දේශපාලන ගැටළු තම කෙටිකතාවට නතු කරලීමට කැමැත්තේ, මෙම සංග්‍රහයේ පළමු සමාජ-දේශපාලන කෙටිකතාව ලෙස, "තාත්තලාගේ කතාව" හමු වේ. එක් පරපුරක තාත්තලා ට නැති වූ දෙයත්, ඊළඟ පරම්පරාවේ හැසිරීම් හේතුවෙන් විඳිනා වේදනාවනුත් චිත්‍රණය කරමින් ලියූ කෙටි කතාව කි. එහෙත් කාරණාව වන්නේ, කතුවරයා මෙහි ගෙන හැර දක්වන කාරණා සත්‍යය වුව ද, මෙම කියනා මාතෘකාවේ නැවුම් බවක් නොවීම ය.

තාක්ෂණය කෙතෙරම් පිම්මේ ඉදිරියට ඇදුන ද, සමහර සමාජයන් මිත්‍යාවනට ඇති විශේෂ නැමියාව නොවෙනස් වේ. අනෙක් අතට මිනිසුන් අසරණ වූ කල, පිදුරු ගසක හෝ එල්ලීමට ඇති ඉඩකඩ වැඩිය. අන් අය මිත්‍යාවේ ගිල්වීමෙන් මුදල් හම්බ කරගන්නා අය, භාවිත කරන්නේ ම මෙම අසරණකමයි. මෙහි එන "කහපාට මිනිස්සු" කෙටි කතාව ද, මිනිසුන් සහ ගැහැණුන් ඇන්දීමත්, එය කෙරෙන් ක්‍රමවේදයේ සියුම් බවද ප්‍රකට කරලීමට යත්න දරා ඇත. කතුවරයා තම පණිවුඩය ප්‍රකට කරලනු වස් සාර්ථක උපක්‍රමයක් නිමවා ඇත.  භාවිත ප්‍රයෝගයේ විශ්වාසනීයත්වය දෙවෙනි තැනට පත් ව ඇත.

වර්තමාන පවුල් සංස්ථාවන් ඔවුන්ගේ ප්‍රශ්ණ නිරාකරණයට අන් අය භාවිත කරලීමට නො පැකිළේ. එවන් අවස්ථාවක් පාදක කරගෙන ලියූ සාර්ථක කෙටිකතාවකි, "මැරීන් ඩ්‍රයිව්". ජීවිතයට සමීප ව හි දි සිදු කල ආකාරයෙන් පාඨකයා ට හිස් තැන් පිරවීමට ඉඩ තබමින් සිදු කල නිර්මාණයකි.

පීඩිත පංතිය ට ඉතිහාසයේ තිබූ සමාජ සමීකරණයන් ද, වර්තමාන සමීකරණයන් හි ද, අනාගතයේ දී ගොඩ නැගෙන සමීකරණයන් වල දී ද, ඔවුනගේ අවාසිය ම ප්‍රතිඵලයක් වන අයුරින් දිගැරෙන අයුරු පෙන්වා දෙන අපූරු කෙටි කතාවකි, අපට මීළඟට හමු වනුයේ. ඓතිහාසික ගැමුණු-ස්වර්ණමාලි පුරාවෘත්තය ආභාෂය කරගෙන, වර්තමානයට ගැලපුමකි, "බැස පලයන් ස්වර්ණමාලි". කෙටිකතාව  රසවත් ය. මේ පුරාවෘත්තයම භාවිත වූ, මෙම වසරේ මා කියවූ දෙවෙනි කෙටි කතාව මෙයයි ( අනෙක සුමුදු නිරාගි ගේ චිත්ත වග්ගයේ නැති කතාවක් ය).

 

"නමට අගින් උඹ අප්පුහාමි කියලා පාවිච්චි කරන එකට මං කැමතියි... නමකින් ආගම මනින එක ගොත්‍රිකයි කොල්ලෝ... මිනිස්සු තමයි ලෝකය... මිනිස්සු තමයි ආගම... මිනිස්සු තමයි හැමදේම.."
ලේඛකයාගේ ජාතීන් අතර ඇති ගැටුම් ගැන ඉඟි කරන කෙටිකතා පිළිබඳ මා එතරම් කැමැත්තක් නැතත්, ඉම්‍රාන්ගේ භවන්තර චාරිකාව නම් වූ, කෙටි කතාව ට මම ප්‍රිය කරන්නෙමි.  එය සමස්ත වශයෙන් සාර්ථක නිර්මාණයකි. මට නිරායාසයෙන් මතකයට නැගුනේ මෑතක මුස්ලිම් ජාතිකයෙකු අප රට අධිකරණ ඇමති බවට පත් වූ කල, සමාජ මාධ්‍ය ජාල හරහා ඔහු ට නැගුණු විරෝධයයි. අප රට තවම, අන් ජනවර්ගයකට අයත් කෙනෙකු සැලකිය යුතු තනතුරක ට පත් වුවහොත්, ඔහු ගේ හෝ ඇය ගේ අවංකබාවය ප්‍රත්‍යක්ෂ කරනු වස්, බහුතර ජාතියේ අයෙකු ට වඩා වැඩි මහන්සියක් දරීමට අවශ්‍ය වේ. ඒ අතර ම හැම දා තම වාසිය උදෙසා "හැම දා ආණ්ඩුවේ ඉන්නා" දේශපාලඥ්ඥයින් යහමින් වැජඹේ. ඉම්‍රාන් ට තමන් කවුදැයි ඔප්පු කරලීමට තම රහසඟ පෙන්වීම අවශ්‍යවීමේ රූපණයෙන්, මෙම අසාධාරණය, සාමාන්‍ය මිනිසුන් ගේ මට්ටමේ සිට බැලීමට අපට බලකරයි.

මෙම කෙටි කතා සංග්‍රහයේ එන කෙටි කතා හයෙන් බහුතරයක් රසවින්දෙමි.  ඇත්තෙන් ම තරමක් සාම්ප්‍රදායික රටාවක නිර්මාණයක් ලෙස දැකිය හැක්කේ, තාත්තලාගේ කතාවක් පමණි. විටෙක කතුවරයා තම පණිවුඩය ඒත්තු ගැන්විමේ තැත, කෙටිකතාවේ කලාත්මක බවට බරක් වුව ද, ධනාත්මක ලක්ෂණ ඍණාත්මක ඒවා ට වැඩි ය. මා මීට කලින් කතුවරයා ගේ කියවූ සංග්‍රහයන් ට වඩා මෙය රස වින්දෙමි යැයි ද වරෙක සිතේ ( එහෙත් ඒවා කියවා යම් කලක් වේ ). 2019 ප්‍රකාශ වූ, මීට වඩා රසවිඳි  සංග්‍රහයන් මා දැනටමත් කියවා ඇති මුත්, අනේක සම්මාන උදෙසා මේ කෘතිය ලැබූ නිර්දේශයන් ගැන විවේචනයක් කරලීම නොහැකි  තරමට මෙහි සාධනිය ලක්ෂණ ඇති බව කිව යුතුම ය. විශේෂයෙන්, කතුවරයකු ලෙස, ඔහු තමාව ම අතික්‍රමණය කරලීමට යත්න දරා ඇති බවකි හැඟෙනුයේ - එය ම ජයකි.

(2019 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 6 )

***1/2
කෙටිකතා
ගොඩගේ ප්‍රකාශනයක්
2019

 



Friday, 21 August 2020

විශ්‍රාමික පෙම්වතිය - එරික් ඉලයප්ආරච්චි

මෙය පිටු 160ක් පුරා කෙටි කතා 15කින් සුපෝෂිතය - චයිනා ටවුමෙන් පාඨකයා ට ජනිත වූ යම් අපැහැදීමක්, අවිශ්වාසයක් මේ සංග්‍රහය මගින් මුලුමනින් මුලිනුපුටා දමන්නට සමත් වේ. 2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් අතරින් මා කියා නිම කල සිව්වැන්න මෙයයි - "ගැහැණු පිරිමි මල් පලතුරු" වන්, පරිසමාප්ත සංග්‍රහයක්, මෙම සංග්‍රහය මට "වසරේ හොඳම කෙටි කතා සංග්‍රහය" වීම වලක්වන මුත්, කිසිදු සැකයකින් තොරව, බැග්ඩෑඩ්, ලේ විල සහ ඩාන්ටේ වන්, කතුවරයා ගේ මෑත කාලීන් ඉතා සාර්ථක කෙටි කතා සංග්‍රහයන් සමඟ එක පෙළට තැබිය හැකි කෘතියකි - ඒ අතර පළ වූ එකම තරමක් අසාර්ථක කෙටි කතා සංග්‍රහය වූ චයිනා ටවුම ට පමණක් රජත සම්මානය ලැබීම දෛවයේ සරදමක් මෙනි.

භික්ෂු වාට්ටුව
- අවාසනාවන්ත පස්කු ප්‍රහාර සිද්ධියත්, ඉන් පසුව හට ගත් මුස්ලිම් විරෝධයත් අලලා ලියූවකි. එරික් යම් යම් අදහස් ගම්‍ය කරනු වස් භාවිත කොට ඇති රූපන, හෝ පාත්‍ර වර්ගයාගේ සිතුවිලි ඔහුගේ නිර්මාණ ශක්තියට දෙස් තියයි.

"එම විශාල ලොකය සහරා වාලුකා කාන්තාර දර්ශනයක් ලෙස දස අතේ දුවන හාමුදුරුවන්ගේ මනසේ ඇඳුණේය... රැලි ගැසුණු වැලි පොළොවේ විශාල පඹයින් වැනි පතොක් වැවී ඇත. තෙතමනයක ලකුණක්වත් නැත... ගෙයක් දොරක් කාමරයක් කුටියක් නැතිව දොර පමණක් වැල්ලේ සිටුවා එම දොර ඉබි යතුරු දමා තරයේ වසා තිබේ.... උස බාමියන් පිළිමය එක ඇසිල්ලකින් අළු දූලි වී යනු ඥානාරාම දුටුවේය. ටික වෙලාවකින් ඥානාරාම දැක්කේ තම කහ සිවුර ලේ වැකී රතු වී ඇති බවකි" (16-17 පිටුව )

අභිනික්මන - වෙනස් වූ නගරයක්, පෙර කලෙක මෙන් ලබැඳියාවන් දැන් අඩු වූ නගරයක් ගැන සාංකාවක්, පුද්ගල සම්බන්ධතාවකට සම කරමින් ලියූ vignette ආකාර නිර්මාණයකි. කෙටිකතාව ආරම්බය වෙසෙසින් ආකර්ශනීය ය.
"ඉස්සර මීගමුව ප්‍රමාද වී අඳුර ගලන දුම්කොළ ටවුමක්, බයිස්කෝප් ටවුමක්,   කැවුම් ලෑතර ටවුමකි. එහි සිටි කිසිවකුට දුම්කොළ ගන්ධය මඟ හැර සිටින්නට නොහැකි විය. දුම්කොළ තෝරන පොල් අතු මන්දිර අතිවිශාල ඒවා වූ අතර කිසියම් නිහතමානිකමකින් යුතුව පාරට බෑවුම් වන ලොකු වහලින් යුතු විය. කැවුම් හා ලෑතර තිබුණේ එළවළු මාකැට්ටුවේ විවෘත දොරකඩය. චිත්ත ඇඳ ගත් ගැහැනු වට්ටි, හට්ටි හා බෝතලවල දමා ගෙන විකුණූහ.

හිටිහැටියේ සියල්ල වෙනස් විය. බීඩි බීම හා දුම්කොළ කෑම නතර විය. අංගුලිමාල පෙන්වා විවෘත කර තිබුණු රාජ් හෝල් ගිනි තබන ලද අතර රීගල්, නඩරාජා හා මීපුර තියටර් එකපස එක වැසී ගියේය. රුක්මනී හදිසි රිය අනතුරකින් මිය ගියාය. මඤ්ඤොක්කා හේනේ සිදු කරන ලද භූමදානය වෙනුවෙන් අතිවිශාල ජනකායක් එක්‍ රොක් වුණු අතර මහනගර සභාවට පැමිණි මොහිදින් බෙග් බුද්ධං සරණං ගීය ගායනා කරන්නා සේ හඬ නඟා ඇඬුවේය. ඉන් පසු මීගමුව ටවුම වෙනුවෙන් අඬන්නට කඳුළු නැති විය."
(50 පිටුව )     
එරික් මෙම කෙටි සංග්‍රහය මීගමුව ආශ්‍රිත සංස්කෘතික සිදුවීම් වලට මුල් තැන දී ඇති සේය.  1960 දශකයේ රා පෙරීමට ඉන්දියාවේ සිට පැමිණි තරුණයෙකු අලලා ලියැවුණු අපූරු කෙටිකතාවකි, කමලනාත් නම් වහලා. නැවත ඉන්දියාවට මාසිකව යම් මුදලක් යැවීමට සිදුවීම හේතුවෙන් ද, අප සියළු දෙනා පොදු වේ යම් ආකාරයකින් අන් අයට සේවයක් සැපයීමට බැඳී තිබීම හේතුවෙන් ද, 'වහලා' යන සංකල්පය පිළිබඳ යම් ගැඹුරකින් කතාවෙන නිර්මාණයකි.

එරික් ගේ නිර්මාණ මට රුචි වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඔහු තම නිර්මාණ හරහා ගෙනෙන මනෝභාවයන් ය - එය වරෙක වචානයට නතු කර ගැනීම උගහටය. මෙම කෙටි කතා සංග්‍රහයේ විශේෂයෙන් අප ට හමුවන සම්මතාකාරයෙන් ඈත් චරිත මෙම මනෝභාවයන් හී තීව්‍රතාව වඩවයි. නූතන සිළිඳු කෙනෙකු ලෙස අප කතුවරයා දකින ඔලම්මා ( සිළිඳුගේ දියණිය ) ගෙ පියාවය. ඔලම්මාගේ පියා දඩයක්කාරයකු ව සිට, නීතියේ තහංචි හේතුවෙන් දැදුරු ඔය නිම්නයෙන් කල්පිටියට පැමිණියේ තම ප්‍රියතම කර්තව්‍යයේ යෙදීමට ය.

සරසවි පෙමක් ඇවෑමෙන් දිගු කලකට පසුව පෙම්වතා නැවත පෙම්වතිය වෙත පැමිණීමක් මාතෘකා කොට ගෙන ලියැවුණු විශ්‍රාමික පෙම්වතිය, මෙම සංග්‍රහයේ ප්‍රමුඛ අඳුරු ව්‍යාකූල මනෝභාවයන් හා සංඝත වූවකි. තුන්වන පාර්ශවයක් වන කථකයා ට ඇය හමුවන්නේ සීතල නුවර එළියේ දී ය. ඔහු ගේ ප්‍රේමය ඇය ප්‍රතික්ෂේප කල ද, ඇගේ දසුනකින් ඔහු පිනවන්නට තරම් සෙනෙහසක් තවම ඈ තුල පවතින්නී ද ?

මෙම කෙටි කතා සංග්‍රහයේ එරික් යම් ආකරයකට විවිධත්වයක් ගෙනෙමින්, පර්යේෂණ කොට ඇති බවක් පෙනී යයි. "නාට්‍ය අනුවර්තනය", එවන් නිර්මාණයකි. චොකොෆ්ගේ චෙරි උයන, අසාර්ථක වූ තේ වත්තක් සහ එහි ආර්ථික අහේනියට පත් වූ අයිතිකරුවන් ට අනුවර්තනය කරමින් ලියැවුන්නකි. පර්යේෂණාත්මක ලක්ෂණ හේතුවෙන් එහ් වැදගම්මක් තිබුන ද මා වඩාත් රස විඳි නිර්මාණයක් නොවේ.

නෙරුඩා සහ වැල්ලවත්තේ චණ්ඩාල කුල ස්ත්‍රියක් අතර ඇති වූ සබඳතාව මුල් කොට ගෙන එය නූතන මිඩියකුත්, තම රැකියාව හොඳින් ඉටු කරලීම පිළිබඳ යම් අභිමානයකින් හැසිරෙන කාන්තාවක්, විශ්වාස කල නොහැකි ආරකින් නෙරුඩා ගේ චරිතෝපදානයක් වෙත ඇලීමක් ඇති කරගන්නේ, ඒ අතීත බැඳීමේ සිට ඇදී එන අපැහැදිලි හුයක් නිසා ද ? (යකඩ බාල්දිය )

පශ්චාත් යුද තත්වයේ දැඩි ජාතිකත්වයකට අප රට බහුතර මතය පෙළ ගැසීම, එරික් ගේ මෑත කාලීන සාහිත්‍යයේ වෙසෙස් විචාරයාට නතු වන්නකි. ඇමේසන් ගින්න මගින් ද, වෙසෙසින් විදෙස් රට වල ඉඳිමින් ලාංකීය අනන්‍යතාව කෙරෙහි බැඳීම පිළිබඳ අපූරු දිගැරීමකි. 

පල්ලියවත්ත දූපතේ සිට, කල්පිටියට එන ගමනක හමු වූ අයෙකු, සහ ඔහු විකිණීමට සිත සාදා ගන්න උත්සාහ දරණ යතුරු පැදියට ඇති බැඳීමත්,  එම කටුක මුත් ඊට ආවේණික අලංකාරිත්වය රැගත් පරිසරයේ විස්තරත්, අවාරිස්ගේ යතුරුපැදිය කෙටිකතාව රසවත් කරයි.

මේ කෘතියට කලින් එරික් මෙහි භාවිත සමහර කෙටිකතා ආකාර භාවිත කොට නැත.  මැටි කෝප්පය, ගල් ඔරලෝසුව හා කපුරු බෝල සලකන්න - එහි මිතුරන් තිදෙනෙකු කැස්බෑව-වාද්දුව මාර්ගයේ ගොස් දොඩම්ගොඩින් අධිවේගි මාර්ගයට ප්‍රවිශ්ටව, අනතුරුව ගාලු කොටිව ට යති. මෙහි ඇත්තේ ඒ ගමන'තර ඔවුන්ගේ  අත්දැකීම් ආශ්‍රයෙන් කියූ තරමක් අසාමාන්‍ය කතා තුනකි - අපිට මහදහවලේ තම වයස්ගත අඹුව සමග රති සම්බෝයගේ යෙදෙන කට්ටඩියෙක්, කුල බේදය නො අඩු යාපන කෝවිලක ශබ්ද පූජාව සහ පල්ලි ගොඩනැගිල්ලක තිබූ දීර්ඝ කාලයක් ක්‍රියා විරහිතව තිබූ ඔර්ලෝසුවක් සෑදීමට පැමිණි ස්විස් ජාතිකයකු පිළිබඳ අතුරු කතා තුනක් හමු වේ.

මීගමුවේ ටවුමේ අස්සක් මුල්ලක් නෑර ඇවිද, එහි අතුළු කතා, සරල ලෙස ජීවත් වුවද සැලකිය යුතු චරිත ආදිය මේ සංග්‍රහයේ තරම් අප හට හඳුන්වා දී නැත. පෝසත්තු ද එවන් මීගමු නගරයේ කතාවකි. මුදල් යහමින් තිබීම තමන් ට හුරුපුරුදු ජීවිතය අතැරීමට හේතුවක් නොවේ.  මේ කෙටිකතාවේ කියන දේ ට වඩා අඟවා කොකියන දේ වැඩිය. පිටු 160 ක් පුරා කෙටි කතා පහළොවකින් සපිරිය - ඉන් බහුතරය

කුණුකාරයෝ මගින්, අප කතුවරයා කසල ඇදීම රැකියාවක් ලෙස කරන පිරිස් අනුසාරයෙන්, ඔවුන්ගේ දිනචරියාව අනුසාරයන් නිර්මාණයක් කරලීමට යත්න දරා ඇත. සංග්‍රහයේ එන එතරම සාර්ථක නොවන කෙටි කතාවකැයි සිතුණි.

ලලිත සමය වූ කලි, "මාස්ටර්" ගේ රැස් මඩල යට ජීවත් වෙන අන් චරිතයන්ගේ නවකතාවකි. සංගීත ඊශ්වර විසංතිය ද, එවන් අවශේෂ චරිතයන් ඔහුගේ ඇවෑමෙන්, ඔහුගේ රැස් මඬලක මතකය විකුණමින් ජීවත් වන්නන් ගැන ගෙතූවකි. එනමුදු මෙහි එන සාර්ථක බවින් තරමක් අඩු කෙටි කතාවකි.

රාජ්‍ය තන්ත්‍රයේ සේවය යුක්ත වූවෙකුට හොඳක් අසා ගන්නේ කලාතුරකිනි. ෂයිලොක් නම් කෙටිකතාව ට මුල් වී ඇත්තේ ඉංග්‍රීසි කථිකාචාර්‍ය පුතෙකු සහ විශ්‍රාම වයසෙන් පසුව ද, රාජ්‍ය තන්ත්‍රයේ ව්‍යාපෘති වල නියැළි තාත්තෙකු අතර දිගින් දිගට ගැටෙමින් ඇදෙන පිළිසඳරකි. කියවීමට තුඩු දෙන ලෙස ඇදී යන රසවත් නිර්මාණයකි.

 හුදෙක් අධ්‍යාපනය අයෙකු ගේ ආර්ථික තත්ත්වය තීරණයට හේතු වන්නේ නැත. ඉතා හොඳින් උගත්,  සමාජයේ පිළිගැනෙන අය හා මුසු ව, පසු කාලීනව ආර්ථික අහේණියකින් යුතුව සුළු රැකියා කරන, මත් පැන  ට ලොල් වූ පුද්ගලයින් අප සමාජයේ ඇත. එවන් අයෙකු ගැන, සමාජයේ හැංගී ඉන්නා උගතුන් බුද්ධිමතුන් ගැන අපූරු කියවමකි, ඈබට්.

ඉතින්,  යම් සුවිශීෂි බවක් දරන අප්‍රකට චරිත, සිදුවීම්, කාලයත් සමඟ වූ වෙනස්කම්, තමන් උපන් ප්‍රදේශය වූ මීගමුවේ අපූරු විත්ති ආදියෙන් සුපෝෂිත රස ගුලාවකි, මෙම කෙටි කතා සංග්‍රහය.  මෑත ඉතිහාසයේ බොහෝ අප්‍රකට සිදුවීම් සිදු වූ,  ඇතුලෙහි දැල් වූ  කහ පාට  විදුලි බුබුලක එළිය, පොල් අතු අතරින් පිටතට කාන්දු වන, සවස් යාමයේ පොල් අතු මන්දිරයක දර්ශනයක, ගුප්ත බවක්, කාංසාවක්, නිවීමක් මෙන්ම ව්‍යාකූලභවක් ද, මෙම සංග්‍රහය මගේ මනසේ මවයි. මෙවන් සර්ථක කෘති කියවන කල, ලේඛකයාගේ මුල් කාලින් කෙටි කතා කියවීම දිනෙන් දින කල් දැමීම, අපරාදයක් බවකි හැඟෙන්නේ.

(2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් කියවීම - 4)

****1/2
කෙටිකතා - 2019
ගොඩගේ ප්‍රකාශනයකි.

Monday, 6 July 2020

මතක වස්ත්‍ර - ඤාණවිපුල මුණසිංහ


කලකින් අපූරු සිංහල නවකතාවක් කියවූවෙමි. කරුමක්කාරයෝ, විරාගය, ගන්ධබ්බ අපධානය, මිරිඟුව ඇල්ලීම, බගන්දරා, සුද්දීලාගේ කතාව, මහාසාමි, සද්ගුණාකාරය වන්, කියවා අවසන සිතුවිලි වල අතරමං වන අත්දැකීමක් වින්දෙමි ( කළු, පවුරු බැඳි රාජ්‍යය සහ ප්‍රංශ පෙම්වතා ද ඊට ආසන්නයට පැමිණි නවකතා ලෙස සලකමි ).

නවකතාව 1960 වසර හා ඒ ආසන්න යුගය අලලා ලියැවී ඇත. තම වැඩිමල් පුතු සිවිල් සේවකයෙකු වීම හේතුවෙන්, ඔහු ගේ මව සහ පියා තම පුතුගේ අනාගතය පිළිබඳව හැසිරෙන අත්තනෝමතික අයුරු මෙම නවකතාවේ මුඛ්‍ය කාරණාවයි. සත්‍ය වශයෙන් ම මේ නවකතාව කියවා අවසන් වූ විට මහත් කෝපයක් හට ගත්තේ ය. වැඩිහිටි තරුණ විය ට පැමිණි තම දරුවෙකු පිළිබඳව, ඉතා අසාධාරණ ලෙස බලපෑම් කරලමින් ඔහු ගේ හෝ ඇය ගේ ජීවිතය කණපිට පෙරලීම කුමන අයුරකින් හෝ සමාව දිය නොහැකි කාරණාවක් බව මා තරයේ විශ්වාස කරමි. ඔවුන් තම අරමුණු ඉටුකරගැනිම වෙනුවෙන් යෙදෙනා නින්දිත උපක්‍රම ජුගුප්සාජනකය. කෝපයක් හට ගත්තේ අදට ත් අප රට වන් සංස්කෘතීන් හි වැඩිවිය ට පත් වූ තම දරුවන් මත පූර්ණ අණසක දෙමවුපියන් විසින් දැරීම හේතුවෙනි.  තරුණියන් විෂයෙහි මේ තත්වය වඩාත් බලවත් ය. නවකතාව අනාගතයේ කියවන්නියකට සිදු වන 'නාස්තිය' (spoiler යන අර්ථයෙන් ) අහිමි කරනු වස් මේ මධ්‍ය කාරණාව ගැන තව දුරටත් නොපවසමි.

එහෙත් මෙම නවකතාව පෝෂණය කරනා අවශේෂ දෑ බොහෝ ය. මා මුඛ්‍ය කාරණාවෙන් පරිබාහිරව, ඊට නිදසුන් කිහිපයක් මගින් මෙම නවකතාවේ රසවත් බවට සාක්ෂි පහත ලෙස පෙන්වා දෙමි:

අප කතානායකයාගේ විශ්ව විද්‍යාල සමකාලීනයෙකි, K.N.O. - ඔහු එහි අවශේෂ චරිතයකි.

තවත් තැනෙක 'විරාගෙ' ගැන අපූරු ම සඳහනකි. ඊට පෙම් නොබැඳීම ට සාහිත්‍යලෝලියෙකුට නො හැකිය.
"'නෑ... මට ආයිත් සැරයක් කියවන්න හිතුනා. සරෝජිනීගෙ යෝජනාවට කැමති උනා නං අරවින්ද අකාලෙ මැරෙන්න වෙන්නෙ නෑ... නේද?'
'අරවින්ද අකාලෙ මැරුණෙ නෑ. ඌ ඌට ඕනැ විදිහට ජීවත් වෙලා ලස්සනට මැරුණ'"
                                                                                                                        ( 104 පිටුව )
ආටානාටිය සූත්‍රය පිළිබඳ කියවෙන අවස්තාවක් ද මහත් රස වින්දෙමි.
"ආටානාටිය කියන්නට කෙසෙල්හේනාවේ සෝමාරාම හාමුදුරුවන්ට ගහන්න කෙනෙක් තාම ඉපදිලා නැතැයි මාමා නොයෙක් විට කියනු මම අසා ඇත්තෙමි. ආටානාටිය සූත්‍රය හාමුදුරුවරු කියන හැටි අසන්නට මා තුළ මහත් ආසාවක් ඉපදී ඇත.

කුම්භාංඩ වා කුම්භාංඩී වා කුම්භාංඩ පෝතකෝ වා කුම්භාංඩ පෝතිකා වා...

.... මහා ගොඨයිම්බර ගතියක් මා තුළ මතුවේ" ( 167-168 පිටු )
ඉතින් මෙවන් කොටස් වලට නොබැඳී ඉන්නේ කෙලෙස ද ? මා ද අමනුස්සයෙක් මෙන් ආටානාටිය ශ්‍රවණයට ලොල් ය.

1960 දශකයේ ද සමහර හාමුදුරුවරු ගැන විවේචන අද වාගේ මය:
"අනෙක් හාමුදුරුවරු කතා කෙළේ මගේ ඨානාන්තරය ගැන ය. ඒ පට්ටමින් පංසාලට ලද හැකි ඵල ප්‍රයෝජන ගැන ය. වෙද හාමුදුරුවෝ හල්ලන කන්දෙන් අක්කර පහළොවක් පංසලට ලබා ගත හැකි උපක්‍රමයක් ගැන මගෙන් ඇසූහ. එය කළ නොහැකි බව මම කීවෙමි" ( 217 පිටුව)
( කියවද්දි ඇති වෙච්චි සතුටක තරම :) )

අමරදේවයන් ද සිටිති;
"ගොයම් කැපූ වෙල් යායෙන් මතු වන නැවුම් සුවඳ නැහැයේ ගෑවෙයි. මට සිහි වූයේ, ටිකිරි ලියා, ජන ගායනාවෙහි එක් ගීතයක අමරදේව 'ඕ' කාරය ඇල්ලු සැටිය"
                                                                                                    (222 පිටුව )
මේ ගීතය මා අසා නැත - කරුමෙක මහත! ( මට මතකයට නැගුණේ 'සාර සංග්‍රහයේ" එන, 1988 ඔක්ස්ෆර්ඩ් සරසවියේ පෙරදිග භාෂා අංශයේ පැවති Sinhala Music, A variety of traditions" නම් දේශනයයි. එම දේශනය පුරාවට සරච්චන්ද්‍රයන්ට ඇවැසි නිදසුන් සඳහා ගායනාවෙන් පෝෂණය කර තිබුනේ අමරදේවයන් ය. අද තරමට තාක්ෂණය නොදියුණු යුගයක් හෙතුවෙන්, එවන් අවස්තා අපට සදහටම මගැරී ගොසිනි.)

නවකතාවේ එක් කලෙක අප කථානායකයා සේවය කරනුයේ හම්බන්තොට කච්චේරියේ ය. මේ එහි එන කොටසකි.
"අප දෙදෙන වැඩියත්ම ප්‍රිය කෙළේ තිස්සමහාරාමය හරහා තණමල්විලට ගොස් අනුක්කංගල මැදින් වැටී ඇති මහා ඝන වනාන්තරය ඔස්සේ මීගහඡඳුරට යාමටය. ලෙනාඩ් වුල්ෆ් ගේ බද්දේගම නවකතාවේ සිළිඳු බදුලු උසාවියට ගොස් ඇත්තේ අනුක්කංගල හරහා වැටී ඇති මේ අඩි පාරෙන් විය යුතුය. මේ වැඩ අවසන් වූ පසු ඒ පාර දිගේ බදුලු යා යුතු  යයි මට සිතිණ."
                                        ( 247 පිටුව )

මෙහි කතානායකයා තම සිතුවිලි ඔස්සේ යෙදෙන ගමන්, ඔහු ගේ තීරණ, ඔහු ගේ පසුබෑම්, දෙමව්පියන්ගේ බලපෑම් හේතුවෙන් සමාජවාදය ගැන විශ්වාස කරන විවෘත මනසක් ඇති ඔහු පත් වන අසරණබාවය ආදිය පිළිඹිබු කොට ඇති අයුරු අපුරුය. අප රට ඉහළ තානාන්තර ඇත්තෙකු ගේ රැස් වැදීමට බාහිර සමාජය බොහෝ දේ කිරීමට පසු නොබාන බව පෙන්වා ඇති අයුරු පාඨකයා ට ඇස් දෙක මැදට වැරෙන් පහරක් වැඩෙනා සේ දැනේ. අද ට ද අප මුහුණුපොත ආශ්‍රයෙන් මෙවැනි තත්ත්වයන් දකී. මෙය අප රට සමාජයේ ඇති පිළිණු බව පසක් කරයි. වරෙක මෙය චාරිකා, සාහිත්‍ය, සංගීතය පිළිබඳ සියුම් රසවත් ඇඟවුම් පළ කරයි. මේ කෘතියේ ලේඛකයා අවිවාදයෙන් ම සුවිශේෂිම පුද්ගලයෙකු ව ඉන්න ට ඇත. ඔහු අප හැර ගොස් බොහෝ කල් වුවද ඔහු ලියූ එකම කෘතිය වන මෙය මගින්, අපි ට ඔහු කුමන අයුරේ පරිපූර්ණ මිනිසෙකුව වසන්න ට ඇතැයි ද යන්න ගැන යම් ඉඟියක් ලබා දෙයි.

                                     

මෙම නවකතාව සොයගෙන කියවීමට පෙළඹුනේ, එය 1996 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනීම හේතුවෙනි ( මා හෙමිහෙමිහිට මගැරුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන ජයග්‍රහණය කල කෘති කියවීමේ උත්සාහයක යෙදෙමි ). මට ලැබුණු පිටපතේ මුල් පිටුව හෝ පැහැදිලි නැත. පසුව මේ කෘතිය ගැන සෙවීමේදී දැන ගත්තේ, කතුවරයා අප පරිවර්තන සාහිත්‍යයේ යෙදෙන චන්දන ගුණසේකරයන්ගේ නැසීගිය මාමණ්ඩිය බවයි. ඔහු පළ කල 'පෝස්ටුවකින්' මෙම පිටකවර ඡායාරූපය උකහාගත්තෙමි. චන්දන මට පසු ගිය දවසක කීවේ තමන් මීළඟට ලංකාවට ආ පසු මෙහි අලුත් මුද්‍රණයකට මුල පුරණ බවකි. අපි සියළු දෙනා ඒ සඳහා ඔහු ට යම් පීඩනයක් එල්ල කල යුතු යැයි සිතමි :) . එතරම් කල් ඉවසන්න බැරි කියවන්නියක් වෙත් නම්, කොළඹ මහජන පුස්තකාලයෙන් මා පරිශීලනය කල "ලෙලි ගිය" එහෙත් පිටු නො අඩු පිටපත කියවිය හැකිය ( එය මා මේ සතියේ නැවත බාරදෙමි )

Thursday, 18 June 2020

කතිරිනාගෙ සනුහරේ - ගුණසිංහ හෙට්ටිආරච්චි

(1985 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව)

මෙම නවකතාව ට මුල් වූ සමාජ වටපිටාව, උපක්‍රම ආදිය නැවුම් නැත - එය සැබෑ ලෝකයේ ද ඉතා සුලභ වූ හෙයින්, එය තේරුම් ගත හැක. 1980 දශකයෙ මුල් භාගය හා සසඳද්දී මෙය සැලකිය යුතු සාහිත්‍යමය වෑයමක් බව පිළිගත යුතුය. ලේඛකයා ගේ පළමු නවකතාව වුව ද,  මෙහි ඇති චරිත වල ඇති "අළු පැහැ" ස්වභාවය සහ සිදුවීම් වල විශ්වාසනීයත්වය ඔහු කෙරෙහි  පැහැදීමක් ඇති කරවයි. වසර 35ක් තුල නවකතාව තරමක් වියපත් වී අති බව සැබවි. එහෙත් මෙහි ඇති සාර්ථක ලක්ෂණ ඇඳින ගැනීමට එය බාධාවක් නොවේ.

    කේ. ජයතිලක ගේ පීතාමහ සහ චරිත තුනක් මතකයට ආවේ, මෙහි එන විවිධ චරිතයන් ගේ හැසිරීම් සලකද්දී ය. එහෙත් මෙහි එන විජේලිස්, ඉසා නොවේ. ඉසා ගේ ඉසිවර ගුණාංග ( හෝ තවෙකෙකු ට රැවටෙන සුළු ගුණාංග )  විජේලිස් ට නැත ; නැතිනම් ඔහු පිටු දකී - ඔහු ජීවිතයෙන් පාඩම් උගත්තෙකි. මුලින් අහිංසක බවක් පෙන්නුම් කල ද, වෙළඳාමට යොමු වූ විට කපටිකම නිසි පරිදි භාවිතකරන්නෙකි - හිතමිතුරුකම නිසා වෙළ හෙළඳාම පාඩු නොකර ගන්නෙකි.  ඒ අතින් බැලූ කල, මේ නවකතාව, "සෑම මිනිසෙකුට ම ජීවිතය මගින් යම් අවස්තාවක් ලබා දේ - එය භාවිත කිරීම ඔහු ගේ සාර්ථකත්වයට හේතු වේ", යන  කාරණාව කියා පාන්නාක් මෙනි. ("There is a tide in the affairs of men / Which, taken at the flood, leads on to fortune" - විලියම් ශේක්ස්පියර් ගේ ජූලියස් සීසර් නාට්‍යයෙන් )

සැලකිය යුතු කොටස් වශයෙන්, දරිද්‍රතාවෙන් පීඩිත දරු කැලකින් තරමක් දියුණු වූ අයෙකු, අන් අය කෙරෙහි නොතැකීම මහත් වූ දුර්ගුණයක් සේ සැලකීම සංස්කෘතික ලක්ෂණය වෙසෙස් තැනක් ගනී. පවුලේ සෑම දරුවාට ම සම අවස්ථා හමු නොවූ බැවිණි, සාර්ථකත්වයට පත් වූ කෙනා අන් අය ට සැලකිය යුත්තේ - එය දරිද්‍රතවයේ ම දිගුවකි. උක්ත නවකතාවේ ගබිරියෙල් ඉස්කෝල මහතා, ස්වභාවිකව ම ආත්මාර්ථකාමයට යොමු ගුණාංග ඇති චරිතයකි. තම මෑණියන්ගේ භූමිදානය දින ඔහුගේ සිතුවිලි, ඉතා දක්ෂ ලෙස අප කතුවරයා, එම චරිතය පිරීක්සීමට භාවිත කොට ඇත. එහි ඇති ආත්ම වංචනය ඉතා ස්වභාවික ලෙස පෙන්නුම් කොට ඇත.

"අන්තිමේ දී විජේලිස් දණ නමා මෑණියන්ගේ වළ වැන්දේ ය. සෝමාවතිය ද වැඳ වැටුණා ය. ගබිරියෙල්ගේ හිතට මහත් මදි කමක් දැනිණ. ' අම්මට මං ගෞරව කරන්නෙ හිතෙන්' ඔහු හිතුවේ ය" ( 2 පිටුව )
වරෙක, කතිරිනා ආවේගයෙන් ගබිරියෙල් ට දොස් කියන්නේ, තම සහෝදර සහෝදරියන්  ගැන නොසලකා ජීවත් වන තම වැඩි මහළු පුතුට දොස් තියමිණි.

"'මගේ මොළේ හොඳයි බොලව්. තොපේ මොළ තමයි නරක් වෙලා තියෙන්නෙ. අරකි අහරෙ අපා දුක විඳිනව යම පල්ලන්ට අහුවෙලා. විජේලිස් මගෙ රත්තරං පුතා, ඌත් දංකොටුවට නැහෙනව. උඹ විතරක් පුතේ මං උන්න ද  මළා ද කියලවත් බලන්නේ නෑ. උඹව ආකාහෙං පහළ වුණේ නෑ ගබිරියෙල් පුතේ. මං උඹව වැදුව.'"( 69 පිටුව )

ගබිරියෙල් සහ විජේලිස් ගේ සොහොයුරිය වන සෝමාවති මුල් කොට ගෙන ඇති වන ආරවුල, අප ගම් ගොඩ වල ඇති වන ආරේ ඉතා බිහිසුණු එකකි. එහි මූලය, ව්‍යාප්තිය, එය උඩු දිවීමට හේතු වූ පුද්ගල භාවයන්  ඉතා  නිර්ව්‍යාජ ලෙස පෙන්වා ඇත. හදිසි කෝපය, බිහිසුණු ප්‍රචණ්ඩත්වය, උදහසෙන් මුග්ධ කරලවූ හැසිරීම්, අනෙකා ගේ දෘෂ්ටිකෝණයක් ගැන අවදි නොවීම , සොහොයුරා ගේ "ස්ත්‍රී" ප්‍රශ්ණ වලට ඔහු ගේ පවුලේ අන් ස්ත්‍රීන් ගේ බලවත් බලපෑම ( මව සහ සොහොයුරිය ) වැනි, සුළු ආරවුලක් මිණීමැරුමකට පෙරලිය හැකි ආරේ සිදුවීමක්, අප කතුවරයා පිටු තුනක් පමණ පුරාවට විස්තර කොට ඇත ( 87-90 පිටු ).

සෝමාවති ගේ චරිතය බැලුවහොත්, 1970-1980 දශක වල පමණක් නොව, අද ද මොනයම් දුක් අනුභවයෙන් හෝ තම විවාහ පුරුෂයා කෙරෙහි බැඳී සිටින දකුණු ආසියාතික කාන්තාව ට නිදසුනකි.  ප්‍රේමය,  දික්කසාදයකින් ද නැවැත්විය නොහැක්කක් බව පෙන්වා දෙයි. මට අජිත් තිලකසේනයන්ගේ "මන්දා", නම් අපූරු කාව්‍ය මතකයට නැංවීය.


මෙහි මුද්‍රණය ගැන ද යමක් සඳහන් කල යුත්තේ, ඉන් 1980 දශකය පොත් මුද්‍රණය වූ එක් ආකාරයක් ඉන් පෙන්වන හෙයිනි. මෙම නවකතාව බුද්ධිමය දේපළ පනත යටතේ වෙළඳ අමාත්‍යාංශය මෙහෙය වූ 1982 දීප ව්‍යාප්ත නවකතා තරඟයෙන් ජයග්‍රහණය කොට ඇත. 1985 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය. කෘතිය මුද්‍රණය වී ඇත්තේ "සීමාසහිත සතොස මුද්‍රණාලයෙනි". නවකතාව ට ISBN අංකයක් නොමැත.  මෙය අද ට මුද්‍රණයේ නැතැයි සිතමි ( මා කියවූ පිටපත කොළඹ මහජන පුස්තකාලයෙනි ).


 කියවීමට පිටපතක් ලැබුනහොත්, අප රට මෑත ඉතිහාසයේ, ජීවිතය "සරි කරගැනීමට" අවස්ථා මද යුගයක් පිළිබඳ උපේක්ෂාවෙන් පිරී විමසුම් නෙතකින් නිර්මාණය වූ සාර්ථක නවකතාවක් කියවීමේ අවස්ථාව උදා වනු ඇත. ( ලේඛකයා ගේ ඡායාරූපය, 2018 හෝ 2019 වසරේ ඔහු ගේ කුඹල් මැන්ඩිය නවකතාව පිළිබඳ වූ සංවාදයක් රැගත් පුවත් ලිපියකින් උකහා ගත්තකි. එම නවකතාව පිළිබඳ තවත් පුවත්පත් ලිපියක් ලෙස ධනාත්මක විචාරයක් රංජන් අමරරත්න දිණමිනට ලියා ඇත)

Wednesday, 10 June 2020

අදිසි නදිය - කපිල කුමාර කාලිංග

2019 ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගත්තේ වූද, එම වසරේ ම රාජ්‍ය සාහිත්‍ය සහ ගොඩගේ සම්මාන උදෙසා නිර්දේශ වූ ද, කපිල කුමාර කාලිංග ලියූ, "අදිසි නදිය" නවකතාව කියවා හමාර කලෙමි.

මීට පෙර කතුවරයා ගේ නවකතා තුනක් කියවා තිබුණි - පියැසි කවුළුව, කන්දේ වීදිය, සහ සැප්තැම්බරයේ දිගු දවසක් ඒවාය. මේ සෑම නිර්මාණයක ම අඩු වැඩි වශයෙන් වූ ගුප්ත ආර ( එය කන්දේ වීදිය හි, බෙහෙවින් අඩු ය), මෙහි උපරිමයෙන් ඇත. ලංකාවේ මධ්‍යම පළාත ට අයත් නගරයකට යම් භූ විෂමතාමය සමානතාව දැක්වෙතත්, කතුවරයා අවධානය දිනා ගැනීමට බලාපොරොත්තු වූ විෂය එවන් එක් නගරයකට වඩා බෙහෙවින් පුළුල් ය. දීර්ඝ කාලයක් මිනිසුන්ගේ නිදහස සීමා කිරීම හේතුවෙන් මිනිසුන්ගේ වීරිය බිඳලෑම,  ඉහළ නිලධාරි මඬුල්ල ට සහ ඔවුනගේ පවුල් වලට  පමණක් සීමා වූ විශේෂ අවස්ථා පැවතීම, අන්ධ භක්තියෙන් යුතු තම ජීවත් වෙන නගරයට පෙම් බැඳීම,  සුරාව භාවිතය ට නගරවාසීන් ව වැඩි වැඩියෙන් රුකුල් දී ඔවුන්   ඊට බැඳ තබා ගැනීම, මාධ්‍ය නිදහස සීමා කිරීම සහ මාධ්‍ය වේදීන්ගේ නිර්මාණ ශක්තිය විවිධාකාරයෙන් අඬපණ කිරීම මේ නගරයේ දීර්ඝකාලීන ලක්ෂණ ය. මෙහි වෙසෙසින්, මාධ්‍ය කරුවන් ගේ නිර්මාණ කටයුතු වලට ස්වයංක්‍රීය බවක් යන්ත්‍රාණුසාරයෙන් ගෙන ඒමේ කාරණාව මා අවධානය දිනා ගත්තේ, එය ඍජුව ජෝර්ජ් ඕ'වෙල් ගේ 1984 නවකතාවේ එක්තරා අවස්තාවක්  මතකයට නැග ඒමට සමත් විම හේතුවෙනි.
"මාධ්‍යවේදියාටත් පෙර ලිපිය ලියැවෙන්නට ගනී. මුල දී මාධ්‍යවේදියාට දැනුණේ මෙය මඳක් පහසුවක් මෙනි. එහෙයින් ඔවුහු අලස වූහ. යන්ත්‍රයටම සිය රාජකාරිය පවරා දුන්හ. කීප දෙනෙක්, යන්ත්‍රයට වහල් නොවී, නිදහස් මතික ලෙස කටයුතු කරන්නට පෙළඹුණ නමුදු, ක්‍රමයෙන් ඔවුනට වැටහී ගියේ එය 'වාරණ මණ්ඩලයක්' ලෙස ද ක්‍රියා  කරන බවය."
(250 පිටුව)

සිය රාජකා1984 කෘතියේ, කම්කරු පංතිය තෘප්තිමත් ව තබා ගනු වස් යන්ත්‍ර්‍රාණුසාරයෙන් ලිංගිකත්වය හුවා දැක්වෙන බාල නවකතා ආදිය නිමැවේ. එම කර්තව්‍ය උදෙසා "ප්‍රබන්ධ දෙපාර්තමේන්තුවක්" ද විය. මාගේ කියවීම ට අනුව නම්, කතුවරයා ඉන් ගම්‍ය කරනුයේ "ඩිස්ටෝපියානු" නවකතාවකින් කොටසකින් ආභාෂයක් ලබා ගැනීමට වඩා, අනාගතයේ බිහි විය හැකි "ඩිස්ටෝපියානු" දේශයක් කුමනාකාරයෙන් ඉන් ආභාෂයක් ලබන්නේ ද යන්න විය යුතුය.

එනුමුදු, මෙම නවකතාව හුදෙක් 1984 හි සිංහල ආදේශයක් නොවේ. නැත; අප ලේඛකයා මවනා ප්‍රබන්ධමය නගරය වඩවඩාත් මතක් කරනුයේ ඔබ අප සැම දන්නා කුඩා දිවයිනකට ය. නගරයෙන් පිටවීමේ වාරණය යන කාරණවෙන් වෙනසක් වී ද, "රට වෙනුවෙන්" සියල්ල විඳ දරා ගැනීමේ ප්‍රවණතාව උසස් ලෙස රාජ්‍ය අනුග්‍රහ කරලීමේ ප්‍රවණතාව ඇතුළු අනේක කියුම් කෙරුම් ඊට දෙස් දෙයි. ප්‍රබන්ධමය නවකතාවක ට උචිත ලෙසින්, එහි අතිශයෝක්තියක් ඇති බැව් සැබවි - එහෙත් සමස්ත ප්‍රවණතාව යන්න පිළිබඳ එහි "අප පාඨකයන" ට 2084ක පණිවුඩයක් නොගෙන්නේ යයි කිව නොහැක. එහෙත් මේ කියනා 2084 ද පාඨකයා මවා ගත යුත්තේ වර්තමාන පරිසරයක් තුල දී ය. එවන් "තාක්ෂණික" ප්‍රශ්ණ මෙම ආඛ්‍යායනයේ වුවද, සමස්ත ආකෘතිය හා පණිවුඩය පැහැදිලිය. අනෙක් අත ට අප ට මෙහි හමුවන නගරය විනාශය කරා ඇදෙන එකකි. එය ගොඩගත නොහැකි එකකි. නාය යන, ජලයෙන් යට වෙන, පණුවන් ගසන එකකි - කතුවරයා සාර්ථක රූපක භාවිත කොට ඇති බවට සැක නැත. එහෙත් ඔවුන් ට බලෙන් පෙවූ වට්ටෝරූ කතාන්දර හේතුවෙන් ඔවුන් ව අවසන් මොහොත දක්වාම අකර්මන්‍ය කොට තිබිණි.
"අවසානයේ දී මිනිසුන් නගරය අතහැර යාමට පටන් ගෙන ඇත. අතීත ශ්‍රී විභූතිය, උදාර සංස්කෘතිය, නගර ප්‍රේමය වැනි මන්ත්‍රණයන්ගෙන් මත්කොට, මුලාකොට රඳවාගෙන සිටි ජනතාව ජීවිතාශාව විසින් දැන් අවදි කරනු ලැබ ඇත." ( 304 පිටුව )

 නවකතාවේ ගලා යාම, මුල් භාගයේ තරමක් අඩාල වේගයකින් වුව ද, ඉන් අනතුරුව නවකතාව වඩ වඩාත් කියවීමට රුචියක් වඩවයි. නගර වාසීන් ගේ අසරණබව නිරූපනය, පාලනාධිකාරියේ අසංවේදීකම, හමුදාවේ ක්‍රියාකාරීත්වය, මාධ්‍ය සහ අනෙක් රාජ්‍ය ආයතන "යථාතත්වය" නිරූපනය ට දරණ කෘතීම තැත, ආදී සියළු තැන් වල අප ලේඛකයා සාර්ථකය. නගරවාසීන් ගේ අසරණකම හමුවේ, පිටතින් ඔවුන් බේරා ගැනීමේ මානූෂීය මෙහෙයුමක් ගැන ද, එවන් ව්‍යායාමයක ට ඇති ප්‍රායෝගිකත්වයක ගැන ද ලුහුඬින් හෝ සාකච්ඡා කරනුයේ  R2P, අප ට මතක් කරමිනි.

2018 ප්‍රකාශ වූ කියවීමට මා තෝරා ගත් නවකතා ගොන්න කියවා හමාර වන තෙක්, නවකතාව පවතින්නේ "කුමන ස්ථානයේ ද?" යන්න ගැන කීම ට නොහැකි වුව ද, අවම වශයෙන් 2019 වසරේ සම්මාන අවසන් වට වලට පැමිණීමේ  විභවයක් ඒ තුල ඇති බව පිළිගත යුතුය.එනුමුදු පිටු 328ක් පුරාවට දීර්ඝ නොකරමින්, තීව්‍රතාව වඩා හොඳින් දැනෙනාකාරයෙන් මීට පිටු හැට-හැත්තෑවක් පමණ අඩු කොට මෙම නිර්මාණය ඉදිරිපත් කරලීමට අවකාශ නොතිබුණ් ද ? කතුවරයා මෙලෙස ම "සැප්තැම්බරයේ දිග දවසක්" දිගු කලා ක්, මෙන් මෙම නවකතාව ද එම අඩුපාඩුවෙන් පෙළෙයි. අනෙක මුද්‍රණ දෝෂ ය. පොත් කියවන මිතුරියක්, මෙම මුද්‍රණ දෝෂ ගැන සඳහන් කල විට, මා පොත මිල දී ගැනීම පමා කරමින් දෙවෙනි මුද්‍රණයෙන් පිටපතක් ගත්තේ ම, එවන් දුර්වලතා දෙවෙනි මුද්‍රණයේ හෝ නැති වෙතැයි බලාපොරොත්තුවෙනි. නැත -ප්‍රකාශක ට එලෙස පෙර මුද්‍රණයක දොස් නිවැරදි කරගැනීමට ඉවරයක් නැත - පාඨක අප හට මුදල් ගෙවා පොත මිලට ගෙන  එම දොස් නිවැරදි කරලමින්,  කියවාගෙන ඉදිරියට යාමට ඉවරයක් ඇතැයි ප්‍රකාශක බලාපොරොත්තු වනවා විය යුතුය.

මේ ඉහත සුළු අඩුපාඩු නොතකා, මෙය සාර්ථක නිර්මාණයක් බවට කිව හැක්කේ, ඉන් අප රට ගිල ගන්නා අදිසි නදියකින් බේරා ගෙන, වඩා විවෘත මනැස් ඇතිව ජීවත්වීමේ වගකීමක් ද ඇති බව මෙම කෘතිය මතක් කර දෙන හෙයිනි.

Saturday, 6 June 2020

මනෝ රූප ශතකය සහ වෙනත් කවි - විමල් දිසානායක


2015 වසරේ හොඳම පද්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්, එ වසරේ රජත පුස්තක අවසන් වටයට ද පැමිණි, විමල් දිසානායක ගේ "මනෝ රූප ශතකය සහ වෙනත් කවි", කෘතියේ කවි කියවීමට යත්න දැරීමි.
කවි පංති හැටකුත්,  කෙටි "මනෝ රූප" ( poetic moments ) ආරේ කවි "ශතකයෙනුත්" කෘතිය පොහොසත් නුමුදු, මෙහි එන "වෙනත් කවි" 60, මා වඩාත් සිත් ගත්තේ ය. කෘතියේ මේ කොටස් දෙක ගැන කෙටි සටහනක් පහත දැක්වේ.


..වෙනත් කවි : මෙම කවි වලින් බහුතරය, මරණයේ සෙවනැල්ල පිළිබඳ ඉගිකිරීම් ය. කවියා ගෙ අන් කාව්‍ය සංග්‍රහයන් පරිශීලනය නොකල දොසින්, මෙය ඔහු නිතර පද්‍යයට නගන මැයක් දැයි නොදනිමි - එහෙත් එය එසේ විය හැකි බවට සැක කරමි.

"ලොවින් සමු ගන්නට කාලයයි දැන්
ඇතුළු හදෙහි සැඟවුණු තරුවක් කියයි

තැත් කළෙමි සරු දිවියක් ගෙවන්නට
බොහෝ විට එම තැත වැරදිණ

මා මිතුරු සුළඟ මා සොහොන අවට කැලි කසළ
අමදින බව දනිමි වරින් වර හමා විත්"
                                  (කෙළවර)



"මගේ ජීවන පොතෙහි
අවසාන පිටු ටිකට
පැමිණ ඇත මා දැනට
කුමක් එහි ලියන්න ද?

...

ජය ලදැයි කියම් දෝ
පැරදි බව කියම් දෝ
බැරිය විසඳන්ට එය
ගැටළුවකි දරුණු මට"
                               ( ජීවන කතා පොත )



"පසිඳුරෝ උරණ වෙති
මා සමඟ රුදුරු ලෙස
ඔවුන් පැන ගොස් තිබේ
මාව තනිකොට ලොවේ

...

රස පහස නොම දැනේ
මහලු සිරුරට කිසිදු
සුවඳ පතුරනු එපා
මල් මිතුරනේ යළිත්
                           (පසිඳුරෝ උරණ වෙති)


පශ්චාත්තාපය විටෙක මහළු විය හා අතිනත ගනී.


"මගේ නිසරු දිවිය
හකුළුවා දක්වන එක සිදුවීමක්
ඔබට දැනගන්ට කියන්නෙමි

මොර සූරන වැස්ස පෙළන රැයක
අහස ගුගුරමින හෙණ හඬ පතුරුවන රැයක
තෙතබරිතව, තරුණියක් මා හදවත දොරටුවට
තට්ටු කොට රැකවරණ ඉල්ලා සිටියාය



...
මම ඇගේ ආයාචනාවට කන් නොදි
දොර තදින් වසා
නින්දට ගියෙමි"
                   ( නිසරු දිවිය )

මේ කවි හැට කියවාගෙන යන කල, සාහිත්‍ය රසයෙන් බොහෝ සතුටට පත් මා, ඇඳිරි නීතිය ඉවත් කල විගස "ගොඩගේ" එකට ගොස් ඔහුගේ "නාගල කන්ද" සහ "කල්ප විනාශය" යන සංග්‍රහන් ද මිල දී ගත්තෙමි. නාගල කන්ද සහ නික වැව ගැන මේ කාව්‍ය සංග්‍රහයේ ද සඳහන් වන්නේ වරක් දෙවරක් නොවේ. ඔහු ගේ ළමාවිය සහ ගැටවර වියේ මතක ආවර්ජනයේ දී මේ දෙතැන ට ඔහු නිතර පැමිණේ.

"පනස් වසරකට පසු
ආමි යළි නිජබිමට
එකල ගුරු ගෙදර අද
අවන්හල වී තිබේ

...

කුඩා කල මල්ලි හා
මහ ඇඳෙහි නිදාගත්
අයුරු සිහියට නගෙයි
සොඳුරු සිහිනයක් ලෙස

....

තුරු මුදුන් අතර සිට
සිනාසෙයි පුරුදු ලෙස
ම මිත් නාගල කන්ද
කලණ මිතු ද විදා"
        ( පුනරාගනමය )

මනෝ රූප ශතකය: නාගල කන්ද ආශ්‍රයෙන් ම කෘතියේ දෙවෙනි කොටසට යොමු වෙමි. ඔහු ට තම ගැටවර විය මතකයන්ගෙන් මිදීමක් නැත. කවියේ ස්වරයෙන්, තමන් ගත් තීරණ පිළිබඳ සැකයක් ද එබිකම් කරයි. මින් මිනිස් සන්තානයේ අතෘප්තිය, සැකය පිළිබඳ ඉඟියක් දෙයි.

"99. කවියක් මම නොලියමි අද
       නැති වූ කවියක් සොයනෙමි
       නාගල කන්දේ මුදුනත
       නිකවැව පිරි දිය කඳ මැද
       පන්සල වෙත යන පාරේ
       කුසුමින් පිරි නෙක ගස් මැද
       නැති වූ ඒ කවිය සොයමි"

වරෙක ඔහු ගේ මනෝ රූපයක්, වචනයෙන් ම රූප මවනාකාරය විස්මිතයි. ඉතා ඖචිත රුපක වලින් කවිය සාරවත් වෙයි.

"87.  හැකි තරම් වැර යොදා
        විසි කරනෙමි මගේ
        වචන දැල දිය ගැබට
        හිඩැස් අතරින් දැලෙහි
        රිංගලා පලා යයි
        කපටි සිතුවිලි මගේ
        කවියෙ සිර නොවන්නට
        සනිටුහන් කර තදින්"

"...වෙනත් කවි", කොටසින් පෙන්වා දුන් පරිදි, මහළු විය ගෙනෙනා සොව, සන්තාපය මනෝ රූප වශයෙන් ද පෙනී සිටී.

"44. දොර කවුළු වැසෙන විලසින්
        පසිඳුරන් වැසී යනු දැනෙයි
        කාලය රකුසෙකි දයාවක් නැති
       නිහැඬියාව රහසක් කියයි මට"

සමස්ත වශයෙන්, කෘතියේ පළමු කොටස, දෙවැන්න ට වඩා රසවත් බවකි මා ගේ අදහස. ඉන් ම ගම්‍ය වන්නේ කුඩා කවකින් බොහෝ දෑ කීම සාපේක්ෂව අපහසු කර්තව්‍යයක් බවයි. එහෙත්, මෙහි පෙන්වා දුන් නිදසුන් ලෙසින්, කවියා සාර්ථකත්වය ලඟා කරගන්නා අවස්ථා, අපිට කවි මිණි ලබා දෙයි - එහෙත් ඒවා එම කෙටි කවි සියය තුල සුලභ නැත.

ඊට සාපේක්ෂව පළමු කවි පංති හැට රස ගුලාවන් රැසකි. කවියා සාපේක්ෂ වශයෙන් අසාර්ථක වන්නේ සිවු පද ආරට සීමා වීමට යත්න දරද්දී ය. සිවු පද විරිත තුල, මා රස විඳි එක දෝ කවියක් හෝ මෙහි  නොවීය. එපමණක් නොව,  සිවු පදය තුල කවියා ගේ බසේ භාවිතය ද බොහෝ සාමාන්‍ය බවකි මා දුටුවේ.

ඉංග්‍රීසි බසේ ඇළුම් කරනා දෙයක් ලත් කල එය "keeper" යන සරල වදන මගින් එය තබා ගත යුතු යමක් යන්න  ගම්‍ය කරයි. මේ කවි පොත ද එලෙස ය. කවියා අන් කවි පොත් පරිශීලනයත් සමඟ ඔහු ගේ කවීත්වය පිළිබඳ වඩා පූර්ණ අදහස් වැඩෙනු ඇත. එහෙත්, මේ කෘතිය තුලින් නම්, මා දුටු කවියාටත්, ඔහු ගේ කවීත්වයටත් මා රුචිය.  සන්ධිගත පද භාවිතය ආදියත්, වදන් සමඟ කෙළිනාරක් ඔහු කෙරෙන් නොදිස්වේ ( එහි වෙසැදුරු වෙඩිවර්ධනයන් ය). එහෙත්  දිසානායක ගේ උපේක්ෂාවත්, මරණය ගැන නිතර මතක් කරනා ආකාරයත් මට රුචිය. ඔහු ඊට ආගමික බරු එකතු නොකර සිටීම එහි වටිනාකම වැඩි කරයි.

මෙහි නිදසුන් වලට රුචි අයෙකුට සොයාගෙන කියවීමට නිර්දේශ කරමි.


Saturday, 16 May 2020

වරාමල් - ශාන්ති දිසානායක

වරාමල් - ශාන්ති දිසානායක
=======================

****1/2

වීරපොකුණේ උපරතන හිමියන්ගේ "පැලෑනෙන් වෙන් කල ඉඩම්" කියවීමෙන් අනතුරුව, "ගොවි ජනපද" මාතෘකා වූ විවිධ වූ ලේඛකයින්ගේ දොළක් උපන්නා. ඒ දොළ සන්සිඳුනු වස්, දෙවනුව කියවීමට යොමු වූයේ ශාන්ති දිසානායකගේ විශිෂ්ඨතම නවකථාව යැයි සැළකෙන "වරාමල්" ය.

ඉහ වහා ගිය දරිද්‍රතාවය, ගිනි කාස්ටක අව්වේ කෙරෙන් ගොයිතැන,හෙනහුරෙකු වැ තිබෙන බේබදුකම, කුලවාදය, බේබදුකම, පෙම් සබඳතා හා පෙම් හබ - මේ සියළු කාරණා ඔවුනොවුන්ගේ ජීවිත වලට බලපාන අයුරු කියා පාන අපූරු නවකථාවකි.

මෙහි කථා නායිකාව ලෙස සැලකිය හැකි නිලන්ති, කථාරම්භයේදි වරාමල් පොහොට්ටු තම නළලේ ගසමින් ඉන් නිකුත්වෙන නදට සවන් දෙන්නී, කථාවසානයේ සියල්ල නැති කරගෙන, බිඳුණු බලාපොරොත්තු ඇතිව, අක්කා තමන් වෙනුවෙන් කල සියළු කැපවීම් ඵල රහිත වීම ගැන දුක්වන්නී, කිසි සුවඳක් නැති, පිණිපොදක් නැති කාස්ටකේ නිබඳව වැවෙන වරාමල් තුලින් තමාව දකින්නීය.

සොබණි නම් මහතුන් පෙමින් බැඳෙන යුවතිය හීන කුලේ යැයි තම පියා "මැහි තෙල්" බීමට තර්ජනය කරයි. ඔහු ඈ නොබැඳ දෙමාපියන් සොයා දෙන අන් යුවතියක් හා විවාහ වෙයි. පසුව තම පියා පුතුට සොබනී හා විවාහ නොවීම ගැන ස්තූතියි වන්නේ, තම පුතු එසේ විවාහ වූවා නම් භව ගණණාවක් හීන ආත්ම ලැබීමෙන් තමන්ව ගලවා ගැනිම නිසාය. මහතුන් ට එවිට ය ඒත්තු යන්නේ, තම පියාගේ තර්ජනයේ භයංකාර බව. දඹලෑව යන ගම නම කියූ පමණින් එහි කුල හීනයන් වෙසෙන බවට තේරුම් යාමට තරම්, කුලවාදය උග්‍රය. කුලවාදය ඉදිරියේ පොලිස් කූඩුව ලැගපු, ස්ථිර ජීවනෝපායක් නොමැති මහතුන්, සොබනිට වඩා උසස් වෙයි.

උපරතන හිමියන්ගේ කෘතිය ජනපද ආරම්භ කාලයේ සිට කියැවෙන්නක් හෙයින්, "කොළණියෝ" පිළිබඳ වඩා කම්පිත ලෙස කියැවේ. ඒ කෘතියේ "කොළනියන්" කුලහීනයන්ට වැඩිය ඉහළය (විශ්ව විද්‍යාල තුල සිසුන් අතර වූ සිදුවීම් ). ශාන්ති දිසානායක, ගොවි ජනපදයක දෙවෙනි නැතහොත් තෙවැනි පරම්පරාවෙන් පැවතෙන්නියක් විය යුතුය. එහිදි, ගොවිජනපද ආශ්‍රිත ප්‍රශ්න අප රට සාමාන්‍ය ගම්බද ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලින් එතරම් වෙන්ස් නොවෙන තරමට ගොවි ජනපද අප රට තුලට ස්වීකරණය වී අවසන් ය. දැන් ජනපදිකයින් පුලන්නන්ට හිර දෙන්නේ නැත.

ඒ අතින් ගොවි ජනපද පිළිබඳ වඩා පරිපූර්ණ හරස් කඩක් උපරතන හිමියන් තම නිර්මාණය හරහා පෙන්වා දෙයි. ඉන් ශාන්ති දිසානායක කථාව අසාර්තක යැයි ගම්‍ය නොවේ - කිමද එයද ඉතා හොඳ නිර්මාණයකි. විෂය වන කාල පරාස දෙකක් වීම වෙනසට හේතුවයි.
(  2013 සැප්තැම්බර් මස 12 වෙනි දින මුහුණ පොතේ 'පොත් කියවන් අය' සමූහයට එක් කල ලිපියක අසංශෝදිත පිටපතකි )

හේ සිද්ධාර්ථ නම් වෙයි - කෝ. ආනන්ද

හේ සිද්ධාර්ථ නම් වෙයි - කෝ. ආනන්ද
================================

*****
1979 වස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත්, සාර්ථක ශාස්ත්‍රපති උපාධි නිබන්ධයක් ලෙස පළමුවරට පිළිගත්, කෝ. ආනන්දයන්ගේ "හේ සිද්ධාර්ථ නම් වෙයි", නම් වූ අනර්ඝ නවකථාව කියවූවෙමි (කතුවරයා හිමිනමක් යැයි විශ්වාස කරනමුත්, එය සැකහැර දැනගැනීමට මගෙක් නොවෙත් ).

ශාසනයේ ගුරු-ගෝල සබඳතාව ගෝල පරම්පරාවේ යහපැවැත්මට බලපානායුරු, අප රට පශ්චාත් යටත් විජිත යුගයේ යම් යම් විවේචන වලට නිතර පාත්‍ර වුවද ග්‍රාමවාසි භික්ෂු පරපුර හා ගැමියන් අතර පවතින සමීප සබඳතාව (හා ගැටළු ), 1960 දශකයෙන් පමණ පසු සීග්‍ර ලෙස දියුණු වන නගරයත්, පරිහානියට යන ගමත් අතර වැඩි වූ පරතරය, ආදි වශයෙන් සමාජ සිදුවීම රාශියක් නවකථා වියමන තුලට ගෙත්තම් කොට ඇත. ඒ විවිධ වූ කාරණා අතර වුවද, ගුරු භික්ෂු පරම්පරාව ගෝල පරම්පාර්ව ට බලපානායුරු මෙහි ප්‍රධාන මාතෘකාවයැයි සිතමි. එය නවකථා ශෛලිය තුල, ඊට අනුබල දෙන, සැමවිටෙක එම ශෛලීයේ ඉසිලුම් බරට ඔරොත්තු දෙන තරමට සීමා කරමින් ලියැවුණු අපුරූතම නිර්මාණයකි. මීට පෙර අගතිගාමි නොවී භික්ෂූ පරම්පරාව වෙත උපේක්ෂක නෙතකින් ලියැවුණු කෘතියක් ලෙස කියවා තිබුණේ කම්මැල්ලවීරගේ "පුරාහඳ" නව වූ අගනා නවකථාවයි - "හේ සිද්ධාර්ථ නම් වෙයි", "පුරාහඳ" අභිබවා ගිය කෘතියකැයි හඟිමි.
මෙහි එන හිමි නම, විශ්ව විද්‍යාලයේ සිප් සදාරද්දී, තමන් හා එකට විශ්ව විද්‍යාලයට එකතු වූ බොහෝ භික්ෂූහු උපැවදි වෙත්දී, තමන් වෙනුවෙන් ගුරු හිමියන් හා ගැමියන් කල කැපවීම තම සිත් සතන්හී ක්‍රියා කරන අයුරු ඉදිරිපත් කොට ඇති අයුරු අපූරුය:
"සිවුරු හැරිය අය කථා කරන්නේ මෙතෙක් ඔසවා සිටි විශාල බරක් කරින් බිම තිබ්බාක් වැනි හැඟීමකින්ය. මේ ටික කාලය තුළ ඔවුන් ලැබූ මානසික තෘප්තිය ගැන පුන පුනා විස්තර කෙරේ. ඒවා ගැන සිතන විට පොඩිහාමුදුරුවන් තුළ වුවද සිවුරු හරිම් ද ? නොහරිම් ද ? යන දෙගිඩියාවක් ඇති නොවන්නේ නොවේ. ඒත් සිවුරු හැරයාමේදි ඔවුන්ට වඩා තමා කෙරෙහි අදෘශ්‍යමාන වශයෙන් නොව, දෘශ්‍යමාන වශයෙන් බලපාන කරුණු තිබේ." (136 පිටුව )
මෑත ඉතිහාසයේ අප රට ස්වාමින්වහන්සේලා "හක්ගෙඩි" වූ යුගයක් විය. මේ නවකථාවට ප්‍රස්තූත යුගයේ උන්වහන්සේලා "පිස්තෝලකාරයන්" වූ යුගයක්, හා ඒ හරහා උන්වහන්සේලාට විඳින්නට වූ ගැහැට ගැන් යම් හෙළිදරවුවක් ද වෙයි. මේ දේශපාලනය හා අප භික්ෂු සමාජය පිළිබඳ විවේචනයක් හෝ සාධාරණිකරණයක් නොවේ (එවන් සංකීර්ණ මාතෘකාවක්, වැකි කිහිපයකට ලඝු කිරීමට තරම් අපරිණත නොවෙම්.) එහෙත් අප රට භික්ෂූ පරපුර සමාජ-දේශපාලන සංස්කෘතියේ කොටසක් වන බව අවිවාදිතය.
කීමට තරම් දුර්වලතා නැති, ඉතා රසවත් ලෙස විචිත්‍රත්වයක් පාඨකයාට ගෙනහැර දක්වන අතර, තම මුඛ්‍ය මාතෘකා වලට නවකාථාමය ශෛලීය තුල උපරීම සාධාරණයක් ඉටු කල අනගි නවකථාවක් යැයි කිව හැකිය.
(  2015 මාර්තු මස 24 වෙනි දින මුහුණ පොතේ 'පොත් කියවන් අය' සමූහයට එක් කල ලිපියක අසංශෝදිත පිටපතකි )

මං - වීරපොකුණේ උපරතන හිමි

මං - වීරපොකුණේ උපරතන හිමි
--------------------------------
****1/2

"මං ගැන" වචනයක් කියනා අප ලේඛක හිමියන් මෙසේ කියයි. "මවු පිය සම්බන්ධයෙන් ලොවට ජනිත වන දරුවා විපර්යාසයනට හසු කොට මිනිසෙකු බවට පරිවර්තනය කරන්නේ මාර්ගය විසිනි. ඒ අනුව 'මිනිසා' යනු මවුපියන් බිහි කල දරුවා නොව, මාර්ගය බිහි කළ දරුවා ය". උන් වහන්සේ තව දුරටත් කියන්නේ තමන් වහන්සේ ගේ කථාවේ ප්‍රධාන චරිතය ලෙස සැලකිය යුත්තේ 'මාගය' ම බවයි. තවද මෙම නවකථාව පෝෂණය ලා උපකාරි වූ පින්වතුන් හා පින්වතියන් රාශියක් නම් කරයි - ඒ අතර වෛද්‍යවරුන්ම් භික්ෂූන් වහන්සේ, හේවිසිකරුවන්, පාරුකරුවන්, නාටාමින්, කශල ශෝධකයින්, ග්‍රාම නිලධාරින් වෙති.

අප හිමියෝ මාර්ගයේ කථාව කියා පාන අතරේ වෙසෙසින් ඉතිහාසය ඔස්සේ අතුරු මං මාවත් රැසක් හරහා පාඨක අප ගෙන යයි. ඒ අනුව සිරිපා කරුණා කල කොටාගෙ කථාව, උන්මාද චිත්‍රාගේ කථාව (දෙමටවකන්ද ආශ්‍රිතව ආදිම පරයාගේ සොහොන ගැන කියනා අතර ), දිවිදෝසේ හටගත් අයුරු (යක්දෙස්සාගල හි ඉතිහාස කථාවට සම්බන්ධව ), කුරක්කන්බාහු රජුගේ කථාව, හික්ගහ තොටුපළේ කථාව, ගිරංගේ දිස්ඨිය ඇති වූ අයුරු, මුවන්තිස්ස රජුගේ කථාව, 1818 කැරැල්ල, ඇහැළේපොළ කුමාරිහාමිගේ කථාව ඇතුළු තව කථා රාශියකින් මෙම කථාව පෝෂිතයි.

මෙහි එන මල්ලිස් අප්පුගේ චරිතය ප්‍රධාන චරිතය නොවේ - එසේ නැත්තේ ද නොවේ. මල්ලිස් අප්පු ගේ දෙමව්පියන්, උන්ගේ ඇවෑම, සුද්දා හමුවීම, පාරු රස්සාව, රහි හමුවීම හා ඈත් වීම, ඇලිස් කරකාර ගැනීම හා ඔවුන් දෙදෙනාගේ ජීවන දර්ශන අතර ඇති නොගැළපීම ආදිය ඔහුගේ දිවි මගේ ඇති වන විපර්යාස නිසා ඇතිවන ප්‍රතිචාරයන් ය. මල්ලිස් අප්පු නැතුව තවෙකෙකු ගේ ප්‍රතිචාර මීට ඉඳුරා වෙනස් ය. ඒ නිසා මල්ලිස් අප්පුගේ චරිතය වැදගත්ය - එහෙත් මාර්ගය ද වැදගත් ය, කිමද මල්ලිස් අප්පුගේ ජීවිතයට විපර්යාසයන් දායාද කරනුයේ මාර්ගන්මය. මේ තත්ත්වය මෙහි අන් චරිත ගැන වේවා සත්‍යය ය. වෙනත් වචනින් කීවොත් "මාර්ගේ කියන්නේ උන් - උන් කියන්නේ මාර්ගේ". අප ලේඛක හිමියන්ගේ කර්තෘත්වයේ අරමුණ මෙම සිද්ධාන්තය නවකථාවකට උචිත ආකාරයෙන්, උසස් රසාස්වාදයක් ජනිත වන ආකාරයෙන්, සමස්ත වශයෙන් "මාර්ගය"ම පාඨකයාට ගෝචර වන අයුරින් ක්ෂාත් ක්ෂාත් වී ඇති සේය.

මෙය සුවිශේෂි පොතකි. 1994 රාජ්‍ය සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දීපව්‍යාප්තව පැවැත්වූ නවකථා අත් පිටපත් තරඟයෙන් ජයග්‍රහණය අත් කරගත්තේ මේ කෘතියයි.

නූතන සිංහල නවකථාව යනු රාහුබද්ධලා, රාජකරුණානායකලා, ටෙනිසන් පෙරේරා ලා, බටුවන්ගල රහල් හිමියන් යැයි සිතන යුගයක, මෙවන් නිශ්ශබ්ද නිර්මාණ කර්තව්‍යක යෙදෙන හිමි නමකගේ පොත් කියවා, සියල්ලෝ තම මනැස් විවෘත කර ගනිත්වා යැයි ප්‍රාර්තනා කරමි.
(  2013 සැප්තැම්බර් මස 28 වෙනි දින මුහුණ පොතේ 'පොත් කියවන් අය' සමූහයට එක් කල ලිපියක අසංශෝදිත පිටපතකි )

කුරුලු හදවත - ලියනගේ අමරකීර්ති

අමරකීර්ති, දේශපාලනය, අමරරත්න සහ පාඨක අපි
(හෙවත්, කුරුලු හදවත ගැන පාඨක අදහස් කිහිපයක් )
============================================


***1/2

1- පසුගිය දිනෙක දිණමිනේ රංජන් අමරරත්න විසින් ලියා තිබූ ප්‍රහාරාත්මක විචාරය හේතුකොට ගෙන 2014 දී කියවීමට ඉටා සිටි ලියනගේ අමරකීර්තිගේ "කුරුලු හදවත" 2013දී ම කියවා, පාඨක අදහසක් ලෙස මෙය ලේඛන ගත කරමි.

2- කුරුලු හදවත කෘතියේ ප්‍රධාන සාධකය අප රට කුලය තවම කුමන අයුරකින් සමාජමය බලපෑමක් කරන්නේ ද යන්න බව පැහැදිලිය. මෙම තත්ත්වය කතුවරයා ඉතා තාත්වික ලෙසත්, අව්‍යාජ ලෙසත් තම විෂය කොට ඇති බැව් පැහැදිලිය. මා මේ පොත පිළිබඳ කියූ බොහෝ විචාර වල ( උදා - The Nation , බූන්දි ) දැනටමත් මේ ගැන දිගින් දිගටම කියා ඇති හෙයින්, ඒ පිළිබඳව වැඩි යමක් නොකියමි.

3- මීට කලකට පෙර කියවූ අටවක පුත්තු වේවා, කුරුලු හදවත වේවා මා අමරකීර්ති අප ගම නවකථාවට නගනා අයුරු කියවීමට රුචිය. හේ ඉතා අව්‍යාජ හා තාත්වික අයුරින්, ගැමි සොබාදම ද, එහි ඇති අවිහිංස්කතවය හා කුහකත්වයත්, ගුණ ගරුක කම් හා කුපාඩිකමත් ආදි හොඳ නොහොඳ, තම අත්දැකීම් අනුසාරයෙන් යැයි සිතෙන පරිදි පරිද්දෙන් මන බඳිනා අයුරෙන් ලියයි.

4- පිටු 200න්, 220න් පමණ පසු දිගහැරෙන කථාව අමරකීර්තිගේම අටවක පුත්තුත්, රාජකරුණානායකගේ පොදු පුරුෂයා, සුබෝධාලංකාරය ආදියෙන් කියවෙන පරිසරයෙනුත් වෙනස් වනුයේ ඔහු තෝරාගෙන ඇති ඇෆ්-ඇම් නාළිකාව හා සබැඳි පරිසරයෙන් පමණි ( විශ්ව-විද්‍යාලය, රාජ්‍ය නොවන සංවිධාන ආදි පරිසරය වෙනුවට ). එහෙත් පෙර කී කෘති වලින් සිදු නොවුණු යමක් කුරුලු හදවත හරහා අමරකීර්ති ඉතා සාර්ථකව ඉටු කොට ඇති සේය. ඒ ඔහුගේ දේශපාලන දර්ශනයට සිත්-ඇදගන්නා සුළු වාහකයක් ලෙස තම නව කථාව රචනා කොට තිබීමයි. එම දේශපාලන පණිවුඩය නොවේ නම් මෙයත් නූතන, ව්‍යාජ, මුදල් පසුපස හඹා යන සමාජය පිළිබඳ තවත් කථාවක් වනු ඇත.

5-නවකථාව කියවාගෙන යන කල සරත් තුලින් කථාකරනුයේ අමරකීර්තිමදැයි මට සිතුනු අවස්ථා බොහෝය. බලන්න 295-297 පිටු - සරත් විසින් දිනසිරිට ලියූ ලිපිය:
"..මියිරුඑෆ්-එම් කාරයොයි, එයාලට දැන්වීම් දෙන සමාගමුයි, එව්ව පිටිපස්සේ ඉන්න දේශපාලකයොයි ඔයාගේ වචන මාලාව යොදාගන්නේ උන්ගේ ව්‍යාපෘති ගමට ගෙනියන්න. විවෘත ආර්ථිකේ වැඩ කොටස සම්පූර්ණ කරන්න..."
"ඊටත් වඩා භයානක දෙයක් මට පේනවා. ඔයා ජනප්‍රිය කරපු වචන මාලාව ඉතාම දරුණු ජාතිවාදීන්ගේත් සටන් පාඨ වීම. අපි කාටත් මේ අනතුර දැන්ම පේන එකක් නෑ..."
" අපේ ගම අපේ සංස්කෘතිය දැනටමත් විශිෂ්ඨයි, අපි තමයි හොඳම මිනිස්සු කියලා ,ඒ තරම ළාමක විදිහට හිතන ජනතාවකට අපේ රටේ කිසිම වැදගත් වෙනසක් කරන්න බෑ.."

6-"තමා අයත් පරම්පරවේ හා තමා වසන යුගයේ හදවතෙහි සියුම් තැන් පිරිමදිමින් ද, ඒ හදවත රිදෙන ප්‍රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේශණය කිරීම ප්‍රබන්ධ රචකයාගේ කාර්යයෙන් කොටසකි", ‍යැයි කෘතියෙ පිටුපස සඳහන් ය. ඒ කාගේ අදහස් දැයි නොදනිමි. එහෙත් ප්‍රශ්න ඇසීම යන්න පිළිබඳව ලේඛක තෙමේ තම මුඛ්‍ය අවධානය යොමු කොට ඇති බැව් අවිවාදිතය. විවෘත ආර්ථිකයේ ජාතිකත්වයට ඉල්ලුමක් ඇති බවත්, ඒ හරහා ජාතිකත්ව මතදාරීන් අතකොළු වන බවත් අමරකීර්ති සිතනා සේය. "නලියා" "බයිටක්" වන අර්ථයෙන් ලියැවෙන්නේ එසේය. "අපි මේකව ගෙන්නමු ප්‍රොග්‍රෑම් එකකට. ගෙනැල්ල අනික් පැත්තෙන් නලියව හරි කාව හරි ගෙනැල්ල අන්නමු. විජාතිකයෙක් අරක මේක කියලා ෆෝම් කරල ගත්තම නලියා දෙයි ඇට්ටි හැලෙන්ඩ. මුං මුක්කුද ඌට!" (302 පිට ) විවෘත ආර්ථිකය හමුවේ ජාතිකත්වය පමණක් නොව කවුරු කවුරුත් අතකොළු බවත්, විවිධ මාර්ග හරහා කාගේ කාගේත් දේශපාලනයන්ට කෙකර ගගහා සුජාත බවක් ආරූඩ කරගැනීමට උත්සක වන බවත් පාඨකයාට අවබෝධ කර ගත හැකිය.

7- අමරසේකර තම දේශපාලන මතවාදය දේශපාලන වේදිකාවේ දි ප්‍රකාශ කරයි. ඔහුගේ කොටස් නමයකින් හෙබි මැද පංතියේ කථාන්දරය, ඔහුගේ එම දේශපාලන දර්ශනය ඉතා තනුක කර, අතරමං වෙවී ගමන් ගන්නා කථා නායකයාගේ ජීවන කථාව හරහා උත්පාදනය කිරීමට යත්න දරා ඇත (එහි අවසන් කොටස් තුන තවම මා කියවා නැත.) එහෙත් හේ පෙර කලෙකැ "යළි උපන්නෙමි" ආදි කෘතීන් ලියූ නිසාත්, තම දේශපාලන මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඒ සඳහා පෙනී සිටිනා නිසාත් එය මිම්මක් කරගෙන අප රට සාහිත්‍ය හා බැඳි පිරිස් අමරසේකර ලියන්නේ දේශපලනයයි කියා හංවඩු ගසා අවසන් ය. ඒ පිළිබඳ මගේ සිතේ ඇති වූ අදහස මේ පරිද්දෙනි - "ඉතින් හද්දෙයියනේ දේශපාලන මතය තම ඉලක්කය කොරං අපේ රටේ පොත් ලියන්නේ ඒ වයසක මනුස්සයා විතර ද ? අමරකීරිත් ලා, වෙඩිවර්දන ලා ලියන්නේ ඔවුන්ගේ දේශපාලනය ගෙඩි පිටින්ම නෙමේ ද ? එහෙම නැත්තං මේත් 'ඌත් වලා - මූත් වලා -අපේ වලා අපිට හොඳා' යන්නෙහි 'වල්කම' වෙනුවට 'දේශපාලන මතය' යන්නෙන් ආදේශ කර, ඊට විවෘත මනස - පුළුල් දැක්ම ආදි වදන් වලින් තම මතය 'ඔප්නැංවීමක්' නොවේ ද ? "

8-අමරකීර්ති හා පාඨක මා දේශපාලනිකව දෙතැනක බවත්, ඔහුගේ අරමුණ මට හඳුනාගත හැකි බවත් කීමෙන් මා නොනවතිමි. ඔහු තම පණිවුඩය පාඨකයා කථාවසානය දක්වා රඳවාගත හැකි ආරේ නිර්මාණයක් හරහා ගෙන එයි. එහි නව්‍යතාවක් තියෙන තුරා, විසංවාද මනසකින් යුතුව හෙට දින ද ඔහුව කියවමි. "උන්ටයි, අපිටයි දෙගොල්ලන්ටම හෙනේ විවෘත ආරිතිකේ තමයි", කියා එහි උත්ප්‍රාසය ගැන සිනා සෙමින් මා හෙට දින ද අමරකීර්ති පමණක් නොව වෙඩිවර්ධන ද කියවමි - අමරසේකර ද කියවමි - "නලියා" ද කියවමි. ඒත් මට වඩා සූක්ෂමව කෘතිය කියවූ රන්ජන් අමරත්නයන් තම විචාරය පෞද්ගලික බැට දීමකැයි හැඟෙනා අයුරෙන් ලියා තැබීම මට තරුම් ගත නොහැක. සුසන්ත මහ-උල්පතගේ මනරම් බසට වශී වූ අමරරත්න, අමරකීරිත්ගේ එතරම් මනරම් නොවූ (ඉන්ගිලිසියෙන් not-so delightful යන අර්ථයෙන්) බසට දොස් තැබීම සාධාරණය. එහෙත් ඊට හඩු බසක් යැයි කීම යුක්ති සහගත ද ? කිමද, සිහළ මහැදුරු අමරකීර්ති තෙමේ මනරම් බසක් භාවිත නොකරනුයේ, තම මතවාදයට වඩා ඖචිත ඔහු භාවිත කරන ග්‍රාම්‍ය බස නිසා නොවේ ද ? (බලං ගියහම නලියා විතරක් නෙමෙයි කවුරු කවුරුත් තම තම මතවාද වලට අතකොළු වෙනවා වගේ නේ ? )

9- යමක් කීමේ ක්‍රමයක් ඇත. එම ක්‍රමය, සදාචාරයේ හා කපටිකමේ සියුම් මුසුවක් නිසා විය හැකිය. අමරරත්නගේ ලේඛණයෙන් හේ ආත්මතෘප්තියක් ලැබුවා විය යුතුය. එහෙත් ඔහු කී වලංගු කාරණාද සමාජගත වූවාදැයි යන්න ප්‍රශ්ණාර්ථයකි. සම-මතදාරීන් කෘතිය ඔසවා තබනවා ඇතිය ("කලාකෘතියක් යනු ව්‍යාපෘතියක් බැවින් අමරකීර්තිගේ සමාජ ප්‍රාග්ධනයට අනුව එවැනි ඔසවා තැබීම් සිදුවිය හැකිය" - අමරරත්න ) -බස ග්‍රාම්‍ය බවට වඩා ආනතය, යන්න සත්‍යයන්ය. චරිත වල ඇති ඌණතාව මට එතරම් නොදැනුණු නිසා මා ඒ ගැන කිසිවක් නොදොඩමි. එහෙත් ඔහු ලියා ඇති ස්වරූපය අනුව ඔහුගේ විචාරය කියවීමෙන් අනතුරුව, කථා කරනුයේ අමරකීර්ති ගැන නොව, අමරරත්න ගැන ය - ඒ ද ප්‍රශංසනාත්මක මුඛයෙන් නොවේ. ඒ අර්ථයෙන් අමරරත්න අසමත්ය. අමරකීර්ති, කෘතියට රසාස්වදය, හාස්‍යය, සියුම් ලිංගිකත්වය, දෙබස් සඳහ ඖචිත ග්‍රාම්‍ය බස ආදිය, තම දේශපාලන මතවාදයට තබා, හොඳින් අඹරා, අප හට ප්‍රධානය කොට ඇත. අමරරත්න කී පරිද්දෙන් අමරකීර්තිගේ සමාජ ප්‍රාග්ධනය විසින් ඉතිරි ඇවැසිය ඉටු කරනු ඇත. එ ආර්ථයෙන් අමරකීර්ති දක්ෂය - කපටිය - සමත්ය.



(  2013 දෙසැම්බර් මස 29 වෙනි දින මුහුණ පොතේ 'පොත් කියවන් අය' සමූහයට එක් කල ලිපියක අසංශෝදිත පිටපතකි )