Sunday 12 May 2019

ක්ෂණ නියාම - නන්දන වීරසිංහ


2018 වසරේ ප්‍රකාශිත කවි පොත් අතරෙන් මා කියවීමට තෝරා ගෙන තිබුනේ, මහත් පාඨක ජනප්‍රසාදයට සහ සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඇගැයුමට ලක් ව තිබූ කවීන් දෙදෙනෙකුගේ සංග්‍රහයන් දෙකකි. එකක් මීට ටික දිනකට පෙර විස්තර ලියූ ලක්ෂාන්ත අතුකෝරාල ගේ "අනබිසෙස් අනබිනික්මන්" ය. අනෙක, නන්දන වීරසිංහ ගේ "ක්ෂණ නියාම" නම් ලත් සංග්‍රහයයි. නන්දන වීරසිංහ කවියා ගේ කවි කෘති කිහිපයක් මීට පෙර කියවා ( රැය කරා ගමන ; කිරි සුවඳැති රාත්‍රිය ) ඔහු ගේ කාව්‍යකරණය ගැන මහත් පැහැදීමකින් හා ඔහුගේ නව නිර්මාණ කියවීමේ දොළෙන් පසු වූ මා මේ කාව්‍ය සංග්‍රහය නිකුත් වැ, දින කිහිපයකින් ම එය මිල දි ගත්තෙමි.

පෙරවදන කියවීමෙන්, මෙහි එන කාව්‍යයෝ ගැන මහත් බලාපොරොත්තු ඇති කරගත්තෙමි. එහි මෙවැන්නක් කියවේ;
"2009 වසරේ 'රැය කරා ගමන' කෘතියට රාජ්‍ය සම්මාන හිමි වීමෙන් පසු එක් හිතවත් ලේඛකයකු පුවත්පතකට ලිපියක් ලියමින් පැවැසුවේ ඒ කෘතිය සමාජ දේශපාලන සවිඥනක භාවය අතින් පවතිනුයේ දුබල අඩියක ය යනුවෙනි.... සැබැවින් ම මේ 'ක්ෂණ නියාම' ද ඔහු කී සමාජ දේශපාලන සවිඥනක භාවයේ අවශ්‍යතාව තෘප්තිමත් කරන්නක් නො වේ."


පෙර කී කාව්‍ය කෘතීන් දෙකේ මතකයන්, තවම තරමක් මා සතු හෙයින්, ඒ කාව්‍යමය බසින් සමීප ඡායා රූප ආරේ  කවී අපේක්ෂාවෙන් මා  කියවීම ඇරඹුවෙමි.


"බුදුන් දැකීම" නම් වූ පළමු කව්‍යයේ දාර්ශනික බව මා අනන්දානන්දයට පත් කලේ ය.

"ඒ දුම් සුවඳ යැ යි
සෙල් රුවට නැත
හැඟුමක්
මේ සුගතිඳු ගෙ දසුනැ යි
දුම් කඳට නැත
නුවණක්

එකෙකා වෙන් වෙන් ව
පුද දුන්
සුවඳ දුම්
එක ම දුමකි ය දැන්
හිමි නෙතෙහි නො දිසේ
කවරකු පිදූ දුම් දැ යි
වටහාගත් බවෙක
කැල්මක්"

එහෙත් අහෝ, එතැන් පටන් බොහෝ කාව්‍යයෙන්ගේ වෙසෙස් ලක්ෂණය කවියා ගේ අපූරු කවි පබැඳුම් බස ම පමණි. බොහෝ විට සදාචාරාත්මක කෝවක් ඔස්සේ කවි ගමන් කොට ඇති බවක් සහ, වෙසෙසින් ධර්මය මාතෘකා කොට ගත් කවි බොහෝමයක් ම කියවීමට ලැබීම හේතුවෙන්, කාව්‍ය සංග්‍රහයේ විචිත්‍රත්වයක් හෝ තිගැස්සීමක් හෝ කම්පණයක් හෝ පාඨකයා ට නොලැබේ. ඇය ලබන එකම ලාභය මනරම් කව් බසක් කියවීමට ලැබීමේ භාග්‍ය පමණි. එය නූතන කවිය අරඹයා ප්‍රමාණවත් නොවන බවකි, මගේ අදහස. බොහෝ විචිත්‍ර මාතෘකා, බොහෝ අත් හදා බැලීම් ඔස්සේ සිංහල කවිය දින දින නව්‍යකරණය වන අවධියක, කහ පැහැති සිත නිවෙනා වර්ණයෙන් මැ, කවි බොහෝ ගණනක් චිත්‍රණය කර ඇති බව දැකීම, පාඨකයකු ලෙස මා වෙත තරමක් අතෘප්තියකුත්, බලාපොරොත්තු සිඳී ගිය මනසකුත් උරුම කලේ ය. "උන්වහන්සේගේ ගමන",  "කජුරාහෝ දැක්ම", "ඒ ආශ්චර්යය", "තාලපූට සිරිත", "පරමල් පාඩම", "වෙසඟේ ඇසිල්ලක්", "පිළිමගෙයි එක් සැණක්", "බුදුගෙයි සීත්තම", "ධර්මකාය" යන සියළු කවි මගින් කුමනාකාරයෙන් හෝ ධර්මයේ නිවීම, පසිඳුරන්ගේ සීමාවන්, ඒවා හි නිරර්ථක බව ආදිය ගැන කියවේ. ඉතින් මේ කවි සියල්ල එවන් මාතෘකාවන් හි පිහිටා සිටීම, ඊට පරිබාහිර කවි වලින් ද එතරම් රස විඳිමක් නොලැබීම, මේ කාව්‍ය කෘතිය ගැන එතරම් ප්‍රසාදයක් ඇති නොකිරීමට හේතු විය.


කවි කිහිපයක් දෙස යොමු වෙමි;


මෙහි එන ධර්මකාය යන කව වෙත යොමු වෙමි;

"දෙතිසක් මහ පුරිස් ලකුණු ද
ඛ්‍යාම ප්‍රභා කේතුමාලා
රංසිමාලාදි මඟුල් සලකුණු
කිසිවක් ම
නො ම දුටු
ඒ පුක්කුසාති

හැඳින්නෙ ය
දෙසූ දම් අනුව ම
මේ ඒ
මහ මුනිඳු යැ යි

අවසන,
එහිමි වැඳ වැටුණේ
අකාලික
දහම්කය
අබිමුවෙහි..."

මේ කව ගතහොත්, මෙහි ධර්මයේ වටිනාකම ඇත්තේ කොහෙද, ආගමේ නාමයෙන් අපි විශ්වාස කරන දෑ ආදිය ගැන බොහෝ දේ පැවසේ. එහෙත් ගැටළුව ඇත්තේ මෙවන් මාතෘකා වලට දී ඇති කව් ප්‍රමාණයේ ය.

මෙහි එන උත්තර වීථීය, අන් කවි වල නොදකින ආරේ විවෘත බවක් ස්වභාවිකත්වයක් පමණක් නොව සංග්‍රහයේ සමස්ත ආර ට ප්‍රතිවිරුද්ධ දිශාවක් ඉඟි කරයි. එනිසා ම මා එය රස වින්දෙමි.

"'පුරුෂ සුසුමක පහස වුව
අකැප වන ජීවිතය...
අහා! ඒ නම්
කවර සුවයක් දැ'යි
සිතා සතුටු ව
ඇතුළු වෙයි ඈ
උයනගෙට
හීල පිළියෙල කරන මෙන්

කුඩා වංගෙදියෙහි
අඩුවැඬිය ලා අවසන
මෝල් ගස ගත් සුරත ඇගෙ
සප් හිසක් ගෑ වුණ මෙන්
සැලී වෙව්ලා ගියෙ ය

වට මට සුමට කළ
සත් අඟල් දිගු
කිහිරි දණ්ඩක්
සියුමු විස්මැති ලීලෙන්
පානා කාම සංඥාවක්,"

එසේ වුව ද ඒ කවේ පවා අවසන් පද පේළි වලින් අර ආගමික සදාචාරාත්මක කෝවේ දසුනක් ඉපිළී එයි.

"මඟ වැරැදී වැටුණ
කිරිල්ලක
වඩා පැන් පොවා සනසන
සිල් මෑණිවරුන් ගේ කටහඬ
බිඳි බිඳි මුසුව යයි
හාත්පස මීදුමේ....."

මෙහි එන "එතෙර - මෙතෙර" කවි පංතිය ද පොහොසත් එකකි.

"මිතුරෝ
ලොවැ නා නා දෙසැ සරා එන
පණ පිහිටුවා පවසති
ඒ සීත
රටවලදි තමා දුටු
මට නුහුරු
මා නො දන්නා තතු

...

ගිය ගිය අගනගරවල
ස්වර්ගීය වීදිවල බැස
ගත් සේයාරූ දසුන් එවමින්
මුහුණු පොත පුරවති උහු සැම"

යමක් දැකීමේ

"සැඳෑ කළ ළබැදියන් සමඟින්
බාල මදිරාවක්
සඳ දෙන රිදී පෑය ද මුසු කොට
බිඳෙන් බිඳ තොල ගාන විට

ලොවකට විවර වන
දිගු පුළුල් දොරටු ඔස්සේ
සිය දෙස මිටින් ගෙන
ඇතුළු වෙති මුනිවරු,
පැනවත් හු

ඈත පෙරදිගින් එති
කිවිවරු
ඍතු සතරහි ම
රොන් සුනු වැකුණු
කවි කණිකා රැගෙන

...

මෙලෙසින් පමා විය
මිතුරනි
දුරු රට යන ගමන"
සහ යමක් විඳීමේ වෙනස මේ කවි පංතියේ සාර්ථකව අප කවියා පෙන්නුම් කොට ඇත.  කවියා මනරම් විස්තරයන් සමඟ, නිදහස ට කරුණු කියනා ආරෙන්, තමන්ගේ ගමන තම මිතුරන්ගේ ගමන ට වඩා බොහෝ ගැඹුරු එකක් බව නොකියා කියයි.

එනුමුදු මෙවන් කවි නිමිති ඇත්තේ අතරින් පතරය. සමහර කවි හොඳින් වැඩි ඇවැසි ම විට සුදුසු තීව්‍රතාවක් නොපෙන්වා අවසන් වේ.


මීට ටික දිනකට පෙර, රජත සම්මාන අවසන් වටයට තේරුණු කෘතීන් සතර ප්‍රකාශයට පත් විණ. එහි මෙම කෘතියත්, ලක්ෂාන්ත අතුකෝරාල ගේ කෘතියත් දකින්න ට නොලැබීම යුක්තියුක්ත බවකි මගේ අවංක අදහස ( මේ දෙදෙනාම මා මහත් සේ ප්‍රිය කරන කවීහු ය - එහෙත් 2018 ප්‍රකාශ කල සංග්‍රහයන් දෙක ම, ඔවුන් ගේ ඉහළ ම තලයේ නිර්මාණ නොවේ )

නන්දන වීරසිංහ කවියා ගේ නිර්මාණ  මීට කලින් කියවා නැති අයෙක් වේ නම්,  ඔහුගේ පෙර නිර්මාණයක් කියවීමට ඇරයුම් කරමින් නවතිනුයේ, අයෙක් මේ සංග්‍රහයෙන් ඒ දක්ෂ කවියා මිනීමට යන්නේ නම්, එය කවියා ට ද පාඨකයා ට ද වන අවැඩක් නිසා ය.










Sunday 5 May 2019

අනබිසෙස් අනබිනික්මන් - ලක්ෂාන්ත අතුකෝරාල


පසුගිය දෙසතිය පොත් කියවීමට රුකුල් දෙන්නක් නොවීය. මානසික අසහනය මෙන්ම, ශාරිරික අපහසුතා ද ඊට හේතු විය. තරමක හෝ ඉස්පාසුවක් ලත් විට එක් කවි පංතියක් වෙනුවෙන් ඒ අවධානය යොමු කල හැකි බවත්, ඒ විනාඩි 10-15, ඒ කාලයේ කියවීමට යෙදවිය හැකි උපරිම ශ්‍රමය සීමා වෙන බවත් ඇඳින්නෙමි. ඒ අනුව 2018 වසරේ ප්‍රකාශිත, මා කියමීට තෝරා ගෙන ඇති කවි පොත් දෙකෙන් එකක් වූ ලක්ෂාන්ත අතුකෝරාල ගේ "අනබිසෙස් අනබිනික්මන්" අත ට ගත්තේ, නන්දන වීරසිංහ ගේ "ක්ෂණ නියාම" පසුවට කල් තබමිනි. එහෙත් මෙතෙක් කල් ලක්ෂාන්තගේ කවියෙන් ලත් රසවිඳීම ඒ අයුරෙන් ම මේ සංග්‍රහයෙන් නොලද්දේ මා ගේ කව් රස විඳිමේ නොහැකියාව නිසා ද, නැති නම් ලක්ෂාන්ත තම කවි මගේ ඉදිරියට යාමත් සමඟ ඔහු තම කවියට ගෙනැවිත් ඇති අලුත් ක්‍රමෝපායන් මට තවම එතරම් ගෝචර නොවන නිසා ද, එහෙත් නැතිනම් ඔහු මේ වතාවේ තෝරා ගෙන ඇති කව් සිතුවිලි ඇත්තෙන් ම මා තුල වෙසෙස් රස විඳීමකට උත්තේජනයක් නොවූ නිසා දැයි තවම නොදනිමි.

එහෙත් ඉන් සමස්ත කවි සංග්‍රහය ම මා රස නොවින්ද බවක් නොකියවේ.

තැනෙක ලක්ෂාන්තගේ සුපුරුදු සියුම් කවි මග අඳුන ගත හැකිය;
"යමි ඔබ හා ළවන පෙතේ ළපෙන් තීර දිග
කවදා හෝ එදෙස එසේ නොගිය අයෙකු ලෙස
හුස්ම සුවඳ  සුළඟේ සුළි තබා කැකුළු මත
කිලිපෙළුමෙන් ගැස්සෙමි මුල් වර ආවෙකු මෙන"
     (පිය මනින විට වන පෙතක ආයෙත්)
කවියා මෙහි උපමා භාවිතාවෙන්, තම රහසක් කොඳුරන ආරෙන් තම නිර්මාණය ගෙන හැර දක්වයි. කවියා භාවිත කරන බස, මේ රහස තුලින් වරදකාරි හැඟුමක ට වඩා, ඔහු ට ද, පාලනය කල නොහැකි අත්දැකීමක්, තම අතීතය වසන් කරන සෙයියාවකින් කවි බසට පෙරළා ඇති අයුරු මා මහත් රස වින්දෙමි.

මෙහි එන "අළු කොබෙයියෙක් ඇවිල්ලා" කවි පංතිය ද වියෝවේ වේදනාකාරි හැඟීම් සමඟ බලාපොරොත්තුවක  පෙනෙන නොපෙනෙන සේයාවක් ඉඟි කරන, අපූරු නිර්මාණයකි. පසුගිය වේදනාබර සමය නිසාදෝ, ඒ කවේ සෝබර රසවත් කවීත්වයක් දුටුවෙමි; වින්දෙමි.

"අළු කොබෙයියෙක් ඇවිල්ලා ආයෙත්
එබී බීරළු කවුළු විවරෙන්
සාලයේ ඇති සිනාවක් දෙස
බලනවා පුදුමෙන්

...

පැහැය අමතක මල් බඳුන්වල
කොයි වෙලේ ඇදලා ද තිර පට
මකුළුවන් ඇවිදින්

වියෝ වී ගිය බැවින් තෙතමන
මිදුල මිරිකා රැඳුණ අඹ කොළ
තිගැස්සෙනවා විටෙක වා රළකින්"

මෙය ඇත්තෙන් ම ඉතා අපූරු රූපක භාවිතාවකි. කවියා අප ට කියන්නේ තෙතමනයක් තවත් ඉතිරි වී නැති නිසා, වියළි අඹ පත් මිදුලේ රඳී ඇති බවත්, වියෝ දුකින් ඒ කල්පනාවේ ඉන්නෙකු යම් හදිසි දෙයකින් යථා ලෝකයට එන්නාක් මෙන්, සුළඟකින් දෝ අඹ පත් තිගැස්සෙන බවකි. ඒ සෝබර අත්දැකීම් පෙන්වීමට භාවිත කොට ඇති පද තුනේ කෙටි කවි, යම් කම්පනයක් ද ධ්වනි රසයක් ද එක්කාසු කරයි. මා පුරුදු ලක්ෂාන්ත ගේ මෙවන් අපූරු කවි යෙදුම් වලත ‍ය.

හේ කවිය අවසන් කරන ඉතා සියුම් බලාපොරොත්තුව බලන්න;
"හිස හෙළෑ කල්පනාවක හිඳ
සිහි වුණා මෙන් යමක් එකවර
අළු කොබෙයියා නික්ම යනවා
අව් කැරළි අතරින්"


"ස්පාඤ්ඤ සංඥා", කවි පංතියේ ද, අයෙකු රටින් බැහැරව වෙසෙන කලෙක, මධු විතෙන් සහ සුන්දර ලලනාවකගේ පෙළඹෙන සුළු හැසිරීමෙන් සිතුවිලි අවදිව, ඒවා ආරක්ෂා කොට ගෙන සුන්දර රහස් සේ තම සිතුවිලි සන්තානයේ සැම දා ට ම ගබඩා කරලීමක් ගැන කියවේ;

"වටේ නටන සලඹකට නිතඹකට
මගේ ඇස් නොවට්ටා සොඳුරේ
ඔතාගන්න මායා බැල්මේ උතුරු සළුවේ
ඔය හිනා රේඛාව
ලංකාවට ගෙනිහින් රහසේ
තියාගන්නම් මගේ මනෝ මාළිගාවේ
සිහින කුටියේ"

අනෙක් මා රස විඳි කවි පංති කිහිපයකි, චිත්ත පිච්චිලි, ගංගාවක් පටන් ගත යුතුයි, වනපස සෙනෙහසක්, සුදු වෙසක් කූඩුව. එහෙත් මට හැඟුණු දෙයක් නම් මේ සංග්‍රහයේ මීට පෙර සංග්‍රහයන් ට සාපෙක්ෂ ව වඩා වැඩි ප්‍රමාණයක් සාපෙක්ෂ වශයෙන් වියුක්ත මාතෘකා හෝ තරමක් වියුක්ත ආරක් ලක්ෂාන්ත භාවිත කොට ඇති අයුරකි - විටෙක මට එරික් ඉලයප්ආරච්චි කවියා ද මතක් විය. ("චිම්නි පොකුණ"  ඊට නිදසුනකි )

ඉතින් ඒ කවි මගේ රස විඳීමට තරමක් දුරස් ය. එය හුදෙක් ම පෞද්ගලික රුචිකත්වයේ ගැටළුවක් විය හැකිය. එක්තරා සිත්තරෙක් කවි පංතිය ගතහොත් එහ් ස්වභාව ධර්මය ද සිත්තරෙකු ලෙස නිරූපනය කිරීමට තැත් කරයි. දාර්ශනිකත්වයක් පෙන්නුම් කරනා ඒ කව මට තරමක් සිතුවිලි වලින් දුරස් ය. "කූඹි ඉරේ සංචාරය" කවි පංතිය ද බොහෝ දේ ඉඟි කිරීමට යත්න දැරූ ප්‍රයත්නයකි. එය සාර්ථක ද යන්න මට ගැටළුවකි. මෙහි එන "අහස් යාත්‍රාවක කතාන්දරය" කවි පංතියේ අපට මේ අලුත් කවේ හා පැරණි කවේ මුසුවක් දැකිය හැකි යැයි සිතමි. එය ද තරමක සාර්ථකත්වයක් පෙන්නයි. මේ පද පේළි බලන්න;
"සිත නැතුව අත ගගා
සෝකාත්මානුකම්පාරම්මණයක
ඇමිණි වුණැත් කොහොම හරි
එදා මං ගෙදර ඇවිදින් !"

 මෙහි සිත යනු ඔහුට නැති වූ පෙම්වතියයි. ඒ යෙදුමේ යම් නුපුරුදු බවක් තිබුණද ඒ ඔස්සේ සිතුවොත් එහි අපූරුත්වයක් නැත්තේ යැයි කිව නොහේ.  දීර්ඝ පද හතරක සන්ධි කිරීම ද කවිය ට වෙසෙස් අලංකාරයක් ගෙන දෙන බවක් නොපෙනේ. එහෙත් ඒ කවේ ම මේ පද පේළි බලන්න;

"ජීවිතාසා හෙවනැලි කීතු කර
ළතොව නග්න කළ
ඊළඟ මූසල අරැණැල්ල
තෙතැස් පටල දිගේ හිතිසව්වට ගල ගලා
බද්ධ වී ඇලුණා"
මෙහි සන්ධි භාවිතාවේ එතරම අස්ව්හාභාවික බවක් නැත.

නිර්මාණ කරුවෙකු තම නිර්මාණ දිවියේ මං විවර පාදා ගැනීමේ දි, අලුත් දෑ කිරීමට උත්සාහ දැරිය යුතුම ය. මට වැටහෙන පරිද්දෙන් ලක්ෂානතයන් ද ඒ උත්සාහයේ යෙදෙන්නේ, අපි ඔහුට සුබ පතමින්, තම නිර්මාණ කාර්‍යය වඩා පරිපූර්ණත්වයටත්, නව කව්කම් සොයා පාදා ගැනීමටත් හැකි වනු වස් දිරි ගැන්විය යුතුය.