Tuesday 23 June 2020

සරච්චන්ද්‍රයන්ගේ සාර්වභෞමිකත්වය පිළිබඳ යම් හැදෑරීමකි



ලියනගේ අමරකීර්ති ගේ සිතිවිලි සිතිජය කෘතියේ හමුවෙන "සරච්චන්ද්‍ර විචාරයෙහි මූලාශ්‍ර" ලිපිය ආරම්භයේ ම ලේඛකයා මතු කරනුයේ, සරච්චන්ද්‍රයන්  සාහිත්‍යය විෂය කෙරෙහි, එකල පැවති බ්‍රිතාන්‍ය භාවිත විචාරකයන්ගේ හා ඇමරිකානු නව විචාරකයන්ගෙන් එළිය ලත් බවයි. අමරකීර්ති,  රංජනී ඔබේසේකර ගේ Sinhala Writing and The New Critics (1974) කෘතියත්, සරච්චන්ද්‍රයන්ගේ ම කල්පනාලෝකය සහ සාහිත්‍ය විද්‍යාව කෘතීන් ආශ්‍රයෙනුත් මේ බව පෙන්වා දෙයි. අමරකීර්ති මෙසේ පවසයි:
"මේ (බටහිර සාහිත්‍යයේ ආභාසයේ ) ඓතිහාසිකත්වය නිසා පහළ වූ සාහිත්‍යය වටහා ගැනීමට අලුත් න්‍යායික සංකල්ප ගොඩ නැගීමේ අවශ්‍යතාව සරච්චන්ද්‍ර වටහා ගත්තේය. එවකට ලියැවෙමින් පැවති සාහිත්‍යය 'බටහිර අනුකාරකයින්ගේ නිර්මාණ' යැයි බැහැර කොට, සුද්ද සිංහල හෝ සුද්ද සංස්කෘත විචාරයක් සැපයීමට උත්සක නොවීය." ( 29 පිටුව )

 විමල් දිසානායකයන් ද මේ කාරණාව, ඔහු ගේ Enabling Traditions කෘතියේ  සඳහන් කරයි;

"He made use of some of the concepts formulated by these ancient Indian theorists in the light of modern Western criticism, notably New Criticism. In other words, he sought to combine the best of classical Indian poetics and modern Western literary analysis. This propensity of his is well reflected in his books such as, Sahitya Vidyava and Kalpana Lokaya. "( Page 88: Enabling Traditions )
කලාව සම්බන්ධ විවිධ විෂයන් හි දී සරච්චන්ද්‍රයන් ගේ මතය ද වෙනස් ආස්ථානයන් හි සිටි බවකි පෙනෙනුයේ.  ඉහත කී ස්ථානයේ සිටීමට බලපෑ කරුණක් ලෙස, ඔහුගේ ම වචන මෙලෙස දැක්විය හැකිය.
"එ දවස, සිංහල සංස්කෘතිය යන සංකල්පයට පැහැදිලි අර්ථ කථනයක් දීමට නොහැකි වූයේ හේතු දෙකක් නිසා යයි සිතේ. එකක් නම්, ජාතික ව්‍යාපාරයේ නායකයන් පාරම්පරික උගතුන් වීම ය.  වර්තමාන ලෝකය ගැන නොදත් ඔවුනට තුලනාත්මක දර්ශනයක් නොතිබුණි. අනික නම්, අවුරුදු හාරසීයක් පමණ විදේශ ආක්‍රමණ නිසා අපේ සංස්කෘතිය බෙහෙවින් කෙලෙසී, කැඩී බිඳී අභාවයට ගොස් තිබීමය. ශාස්ත්‍ර්‍රානුකූලව සංස්කෘතිය ගැන සිතුවේ මාර්ටින් වික්‍රමසිංහ පමණයි. ඔහුට පෙරදිග ලෝකය පිළිබඳව ද අපරදිග ලෝකය පිළිබඳව ද මනා අවබෝධයක් තිබුණි." ( 1986: ජාතික අනන්‍යතාව පිළිබඳ සිතිවිලි ස්වල්පයක් ; සාර සංග්‍රහය - 238 පිට )
ඉහත ජාතික ව්‍යාපාරය ලෙස වෙසෙසින් පියදාස සිරිසේන සහ අනගාරික ධර්මපාල තුමා ගේ භූමිකාවන් උක්ත සරච්චන්ද්‍ර ලිපියේ සඳහන් ය. පියදාස සිරිසේන නවකතාවන් හි   විටෙක  මිත්‍යාවන් සාධාරණීකරණය කර තිබීම, සරච්චන්ද්‍රයන් පෙන්වා දෙන්නේ නිදසුනක් ලෙසට ය. වික්‍රමසිංහ ද සිරිසේන ගේ මෙම දුර්වලතා පෙන්වා දුන් අවස්ථා ඇත.

  එසේ වුවද, නාට්‍ය විෂයෙහි සරච්චන්ද්‍රයන් තම ස්වර්ණම ය යුගයෙන් පසුව, "ආපසු ගමනක යෙදුණු" බවකට චෝදනා තිබේ.  "සිංහබාහු" සහ "පේමති ජායති සෝකෝ" යන නාට්‍ය නිෂ්පාදනය වන තෙක් හෝ සරච්චන්ද්‍රයන් වඩා විවෘත, සහ ප්‍රගතිගාමි සිතුවිලි තම නාට්‍ය තුලට අවශෝෂණය කල බවකි, ගම්ලතුන් ගේ අදහස (  සරච්චන්ද්‍ර අනුස්මරණ ලිපිය ; විචාර ප්‍රතිවිචාර - සුචරිත ගම්ලත් ). ගම්ලතුන් පවසන්නේ, පේමතී ජායති සෝකෝ වලින් පසුව සරච්චන්ද්‍රයන් ගේ ස්වර්ණමය යුගය අවසන් බවකි.  සරච්චන්ද්‍රයන් තානාපතිවරයෙකු ලෙස සේවය කරන අතර ලියූ "හෙට එච්චර කළුවර නෑ" නවකතාව උකහා දක්වන ගම්ලත්, එහි සරච්චන්ද්‍රයන් 71 කැරැල්ල විවේචනයත්, ඉන් ද පසුව ලියූ වෙස්සන්තර, ලෝමහංස, බවකඩතුරාව ආදි නාට්‍ය මගින් බෞද්ධ දෘෂ්ටිය ප්‍රචාර කිරීමත් පසුගාමීත්වයේ ලක්ෂණ ලෙස ගෙන හැර දක්වයි ( හේ සරච්චන්ද්‍රයන් විෂයෙහි  "විනාස කාලේ විපරීත බුද්ධං" යැයි කියයි ).  ගම්ලතුන් මෙසේ පවසයි:
"ඉතාම ප්‍රගතශීලි විධියට කථා කරපු සරච්චන්ද්‍ර තමයි තෘෂ්ණාව ක්ෂය කරන්න කියන ප්‍රතිගාමි දහම දේශනා කරන්න පටන් ගත්තෙ" ( සරච්චන්ද්‍ර අනුස්මරණ - විචාර ප්‍රතිවිචාර - සුචරිත ගම්ලත් ).
අමරකීර්ති ද පවසන්නෙ, 1956 බිහි වූ මනමේ හේතුවෙන් සහ එහි අනපේක්ෂිත සාර්ථකත්වය හේතුවෙන් සරච්චන්ද්‍රයන් වඩාත් සම්ප්‍රදාය කරා බැඳිණි ද යන්න සොයා බැලිය යුතු කාරණාවක් බවයි.  රෙජී සිරිවර්ධනයන් ගේ  Lanka Guardian සඟරාව ට Rekhava, Maname and 1956 යන ලිපියේ මෙවැනි සඳහනක් යමු වේ. (Selected Writings of Regi Siriwardena- Volume 1 : edited by A.J. Canagaratne )


අමරකීර්ති , කවිය විෂයෙහි, සරච්චන්ද්‍ර කාර්‍යභාරය මෙසේ විමසයි.  කවිය විෂයෙහි වඩා සාම්ප්‍රදායික ආරක් අනුගමනය කල යුතු බව විශ්වාස කල සරච්චන්ද්‍රයන්, අමරසේකර එමග යැවීමේ වගකීම සරච්චන්ද්‍රයන් වෙත පවරයි. තව දුරටත් සිරි ගුනසිංහ ගේ "චින්තන සම්ප්‍රදාය සහ ප්‍රගතිය"  කෘතිය උදෲතයෙන්, අමරකීර්ති,  කවිය නම් විෂයෙහි සරච්චන්ද්‍රයන් තමන් ම සීමා මායීම් බැඳ ගත් බවක් පෙන්වා දෙයි.  අමරකීර්ති ප්‍රශ්ණයක් මතු කරයි;
"..සිංහල සාහිත්‍ය සංස්කෘතියෙහි වූ  බහු සංස්කෘතික ස්වභාවය යථාර්ථවාදීව තේරුම් ගත් සරච්චන්ද්‍ර ක්‍රමයෙන් ඉතා සම්ප්‍රදාය වාදී හා සංස්කෘතික ජාතිකවාදී ( ඔහු අමරසේකර වැනි අන්තවාදියෙක් නොවීය ) විචාරකයකු බවට පත් වූයේ ද? "
අමරකිර්ති, "සිතිවිලි සිතිජය" කෘතියේ ම "මනමේ සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය "  නම් ලිපියේ සරච්චන්ද්‍රයන්ගේ සාර්වභෞමිකත්වය ගැන අගයයි. ඔහු එම ප්‍රකාශයේ  ඇති  සීමා ගැන කතා කරන්නේ මෙම ලිපියේ ය. අනෙක් කාරණාව, බොහෝ විචාරකයින් මෙන්, විචාරකයාගේ දෘෂ්ටිය අනුව ඔවුන් විචාරයට ලක් කරනා කෙනා ද පෙනෙන්න ට පටන් ගනි. පෙර කී ගම්ලත් ගේ ලිපිය ඔහු අවසන් කරනුයේ පන්ති රහිත සමාජයක් ගැන සිහින මවමනි. අමරකීර්ති ද සරච්චන්ද්‍රයන්ගේ "සංස්කෘතික ජාතිකවාදි විචාරකයෙකු" බවට පත් වූයේ ද ගැන විමසන්නේ අද ඔහු සිටිනා දේශපාලන ස්ථාවරේ සිටදැයි හැඟේ.  සරච්චන්ද්‍රයන් සාපේක්ෂ ලෙස ජාතිකත්ව මතවාදයක සැම දා සිටි බව විශ්වාස කිරීමට අවශ්‍ය සාධක තිබේ. එහෙත් ඔහු ඒ පිළිබඳ සිහි බුද්ධියෙන් යුතුව මෙන්ම, එම ව්‍යාපාරයේ සිටි අයගේ සීමාවන් පිළිබඳ අවදියෙන් සිටි අයෙක් ලෙස ය මට නම් පෙනී යන්නේ.
"නිදහස ලැබීමෙන් පසු බලයට පත් ප්‍රථම ලාංකික රජය මෙහිලා ගත් තැත බොහෝ දුරට ප්‍රමාණවත් නොවුණු අතර ජනතාවට ඔවුන්ගේ ඒ ප්‍රයත්නයන් පෙනී ගියේ හාස්‍යජනක ඒවා ලෙසිනි. කෙසේ වුවත්, ලක්දිවට නිදහස ලැබුණු ක්‍රමය ගැන කල්පනා කර බලන විට සංස්කෘතිය  නිර්මාණය කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වීමට හේතු තේරුම් ගැනීම උගහට නොවේ." ( 1962 - ලංකාවේ සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න )

1956 හි දේශපාලන පෙරළියේ සංස්කෘතික උවමනාව පිළිගන්නා සරච්චන්ද්‍ර, නුමුත් මෙසේ ද පවසයි.

"කෙසේ වුවද බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටුවීමෙන් පසු, ප්‍රායෝගික වශයෙන් පැන නැංග ප්‍රශ්නය වුයේ ජනතාවගේ මෙ කොටස් විසින් ඉල්ලා සිටින ලද වරප්‍රසාද හා පහසුකම්වලට සරිලන සේවයක් ඔවුන්ගෙන් මහජනතාවට සිදු වන්නේ ද යන්න ය." ( 1962 - ලංකාවේ සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න )
එක අතකින් මෙය අදට ත් අදාළ නිරීක්ෂණයකි. ඉහත "ජාතික අනන්‍යතාව පිළිබඳ සිතිවිලි ස්වල්පයක්" ලිපියෙන්, 1962 සහ 1986 අතර සරච්චන්ද්‍රයන් ගේ ජාතික සංස්කෘතිය පිළිබඳ මතයන් හි වෙසෙස් වෙනසක් නොවූ බවක් පෙනී යයි. ඒ අතින් බලනා කල ගම්ලතුන් ගේ කියමනේ යම් සත්‍යතාවතවක් තිබුන ද, ජාතික සංස්කෘතිය පිළිබඳ ස්ථාවරය සහ එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටළු ගැන හොඳ අවබෝධයක් සරච්චන්ද්‍රයන් ට තිබූ බවට සිතිය හැක. සරච්චන්ද්‍රයන් සුපරික්ෂාකාරී ලෙස තම මතවාදය තුල හැසිරී ඇති සෙයකි.

අමරකීර්ති මෙහි සාකච්ඡා නොකල ද, කවියටත් වඩා  සංගීතය විෂයෙහි
වෙසෙසින් සරච්චන්ද්‍රයන්ගේ ආස්ථානය මීට ත් වඩා සීමාවන් තුල ක්‍රියාත්මක වූවක් බවකි පෙනෙන්න ට තිබෙන්නේ. මේ බව තිස්ස අබේසේකරයන්ගේ "අයාලේ ගිය සිතක සටහන්" පොත පරිශීලනයෙන් තේරුම් ගත හැක. "නොදනිම් කාගේ දොසා" සහ "පිනවන්ට සවන් ඇසුවන්ට සොඳින්"  යන ලිපි හරහා, සරච්චන්ද්‍රයන් එකල ගුවන් විදුලිය තුල තුබූ අණසකත්, බටහිර සංගීතය හරි හැටි නොදන්නවුන් අත අප සංගීත ආර කොහේ යාවිදෝ යැයි වූ බියකින් පෙළුනු බවක් ද ඔහු හෙළි කරයි. 
"සරච්චන්ද්‍රයන් පෙරදිග සංගීතයට බෙහෙවින් ඇලුම් කළහ. එහි ගායනයන් වාදනයන් අසීමිත් ව රස විඳි ඔහුට ඒ ඇබ්බැහිකම් නිසා දෝ  අපරදිග සංගීත නාද රටාව අරුචි විය. කෝමල ස්වර හා ශ්‍රැති ඔස්සේ තිරස් අතට වර්ධනය වන උත්තර භාරතීය රාගධාරී සංගීත සම්‍ප්‍රදායේ ගැයුම් වැයුම්වලට කනත් දිවත් හුරු වූවාට පසු එය වෙනස් කළ නොහැකි සේ  ඒ කෝව තුළ හිර වෙයි."
(අයාලේ ගිය සිතක සටහන් - 157 පිටුව )
අබේසේකර, තමන් හා ශෙල්ටන් ප්‍රේමරත්නයන් 1992 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රසංගය ට නව වාද්‍ය සංයෝජනයක් භාවිත කරලීම පිළිබඳ සරච්චන්ද්‍ර ගේ මහත් දෝසදර්සනයට ලක් වූ අයුරු මතක් කරයි. ඊට වසරකට පමණ පසුව රාත්‍රී භොජනයක ට හමු වූ විටෙක සරච්චන්ද්‍ර පවසා ඇත්තේ ;
"අපරදිග සංගීතයෙන් ආභාසය ලැබීම වරදක් නො වෙයි. එහෙත් ඒක හරියට කරන්න අපරදිග සංගීතය ගැන නිවැරදි අවබෝධයක් හා භාවිත නුවණක් තියෙන්න ඕන. එහෙම අය සිංහල සංගීත ක්ෂේත්‍රයේ නැහැ.",
කියාය.

එරික් ඉලයප්ආරච්චි ද තම "සරච්චන්ද්‍ර , නීෂේ සහ කේමදාස" යන ලිපියෙන්, සරච්චන්ද්‍ර සංගීත විෂයෙහි සීමාසහිත භාවිතාවක් නිසා අප රට සමස්ත නාට්‍ය සංගීතයට මුහුණ දුන් ප්‍රතිවිපාක ගැන කියා පායි.

"සරච්චන්ද්‍ර සංගීතය, එහි නිර්මාපකයන් කවුරුන් වුව සිංහල වේදිකා සංගීතය ලෙස විකාශය වී දියුණුවට පත්වනු වෙනුවට සරල සංගීතයෙහි සිර විය. සරච්චන්ද්‍රයන්ගේ වේදිකාමය ප්‍රාතිහාර්යය මත පිහිටා මහා සංගීතයක් බිහි කර ගැනීමේ මඟ මේ නිසා ඇවිරී ගියේ ය." ( 54 පිටුව: කලාව සහ කතිකාව )

"සරච්චන්ද්‍රයන් ඉතුරු කළ සිංහල සංගීත නාටකයේ ගැටලු විසඳන්නට කේමදාසට සිදු වූයේ බද්ධ කරන ලද ශාරීරික අවයව සහිතව රෝගිව සිටිය දී ය." ( 59 පිටුව: කලාව සහ කතිකාව )


අද වන විට සිංහල සංගීතය සිර වී ඇති ස්ථානය පිළිබඳ සිතද්දී,  ඉලයප්ආරච්චි කියනා කාරණාව පිළිබඳ එකඟ විය හැකිය.  මෙම ලිපියේ ම, සරච්චන්ද්‍රයන්  පසු කලෙක  කිසිදු පැකිලිමකීන් තොරව, පූර්ණ නිදහසක් සහිතව, තම "මහාසාර" දෙවෙනි නිෂ්පාදනය උදෙසා කේමදාසයන් ට නිදහස ලබා දුන් අයුරු පෙන්වා දෙයි.  මහාසාර දෙවෙනි නිෂ්පාදනය සිදු වූයේ කිනම් වර්ෂයේ දැයි නොදනිමි. එහි පළමු වර නිෂ්පාදනය නම් 1968 දීය.  ඉහත තැනෙක අබේසේකර පවසා ඇත්තේ,  සරච්චන්ද්‍ර සංගීතය ආශ්‍රයෙන් කෝවක සිර වූ බවෙකි. මේ නිරීක්ෂණයන්, සහ සරච්චන්ද්‍රගේ නාට්‍ය සංගීතය භාවිතාව ආශ්‍රයෙන් ඉලයප්ආරච්චි සිදු කර ඇති නිරීක්ෂණත්,  පොදුවේ ගත් කල සරච්චන්ද්‍රයන් යම් ක්ෂේත්‍රයන් හී කොටු වූ බවකුත්, තම මතයෙන් බැහැර වීමට අකමැති බවක් පෙන්නුම් කර ඇති සෙයකි.  අනෙක් අතට සැලකුවහොත්, සුචරිත ගම්ලතුන් ගේ මතය නම්, සරච්චන්ද්‍රයන් ශ්‍රේෂ්ඨ වන්නේ මනමේ, සිංහබාහු සහ පේමති ජායති සෝකෝ යන නාට්‍ය ත්‍රිත්වය නිසයි. වෙසෙසින් තානාපති පට්ටම ලබා ගැනීමත් සමඟ ඔහු ගේ සාපේක්ෂ පිරිහීම සිදුවන බවකි ගම්ලතුන් පවසනුයේ.

දීර්ඝ කාලයක් නිර්මාණ කරණයෙහි රැඳී සිටින්නන් කෙරෙන්,  ඔවුන්ගේ මත වෙනස් වීමත්, කලෙක  විවේචනයට බඳුන් වීමත් දැකිය හැක.  මෙය අප අමරසේකර තුලින් ද දකිමු. මෑතක පළ කල ධාතුසේන කෘතිය සැලකුවහොත් එය ඉඳුරා දේශපාලන පණිවුඩයක් ගම්‍ය කරනු වස් ලියවූවකි. ඔහු ගේ මැද පංතියේ කතා පෙළ සමහර කොටස් මගින් යම් අසංවේදිත්වයක් ප්‍රකට වෙයි.  අමරසේකරුන් "අන්තවාදියා" ලේබලයෙන් බැට කන්නේ, ඔහුගේ දේශපාලන ආස්ථානය නිසා විය යුතුය ( කිම ද ඉහත පෙන්වා දී ඇති ආයුරින්, අයෙක් යම් විෂයක් ආශ්‍රයෙන් වඩා විවෘත ස්ථානයකත්, තවත් විෂයක් පිළිබඳව තමන් වඩාත් කැමති ස්තානයකින් ඈත් වීමට දැඩි   අකමැත්තක් ද පෙන්වන්නට පුළුවන. ) 
  සාර සංග්‍රහයේ ම 1983 ගැන ලිපියක් ලියන සරච්චන්ද්‍රයන්,
"සිංහල ජනතාව තුළ යම් පමණකින් හෝ ශේෂ වී පවත්නා ජාතිකාභිමානය දෙමළ විරෝධි චින්තනයට හා ක්‍රියාදාමයට සීමා වී තිබීම ඛේදයකි. ද්‍රවිඩයන් හෙළා දකින අතර, අප ඉංග්‍රීසියට ආවඩන සැටිත්, බටහිර සංස්කෘතියේ ආක්‍රමණයට ඉතා කැමැත්තෙන් අවනත වන සැටිත් සලකන විට, අප තුළ අවංක ජාතිකාභිමානයක් තිබේද කියා පවා සැක සිතේ." (1983: ඔක්තෝබර් 4, දිවයින; අනාගතය දෙසට විමසුම් ඇසක් )
                                  ලෙස පවසා ඇත. මට  අමරසේකරුන් 1983 ගැන ලියූ විවේචනයක් මතකයට නොනැගේ ( මට හමු නොවූ ලිපියක එවැන්නක් තිබීමට හැකිය.) ඒ අනුව, සරච්චන්ද්‍රයන් වඩාත් විපරම් සහගත ලෙස ජාතිකත්වයට නැඹුරු මතවාදයක සිටි බවකි, මට නම් පෙනෙන්නේ.

අමරකීර්ති ගේ ලිපි දෙක කියවීමේ උවමනාව හේතුවෙන්, මා සරච්චන්ද්‍රයන් යම් තාක් හැදෑරිමි - මට දැනට සිතෙන්නේ, මාර්ටින් වික්‍රමසිංහ ට පසුව වඩා ත් සාධාරණ, මද්‍යස්ථ ස්ථානයක සිටි බුද්ධිමතා සරච්චන්ද්‍රයන් බවකි. එහි සීමා ඇත - සාර්වභෞමිකත්වයෙහි සීමා ඇත. ඉහත ලිපිය ම ඒ ගැන මගේ හැදෑරීමකි  (එය ශාස්ත්‍රීය ලිපියක් නොවන බව කිවිය යුත්තක් ද නොවන තරම් ම පැහැදිලිය.) එහෙත් මට නම් සරච්චන්ද්‍රයන් අප ජාතිකත්ව ධාරාවේ සීමාවන් පිළිබඳ අවබෝධයන් යුතුව ම, ජාතිකත්ව මතයක සැම දා සිටි බවකි පෙනී යන්නේ.   උගත් ගැමි තරුණයන් මෙරට නායකත්වය භාර ගන්නා බවට විශ්වාසයක් ඔහු ට වූ බවක් මා නොසිතමි - ඒ ඔහු අපේ සීමාවන්  හා ගැටළු දුටු නිසා ය.

මා මේ රචනාව ලියා ඇත්තේ බොහෝ වියතුන් ගේ ලිපි මට තේරානාකාරයෙන් පරිශීලනය කොට ය. ඒ කියවූ ලිපි වල කියවෙන ප්‍රශංසා හා විවේචන කියවන කල මට 
Bob Dylan පුත් Jacob Dylan ගේ Wallflowers සංගීත කණ්ඩායම ගැයූ Hand me Down ගිය මතකයට නැගීය. එහි ජේකොබ් ගයනුයේ තම කීර්තිමත් පියා පිළිබඳව ය. එහෙත් ඒ ප්‍රශංසා මුඛයෙන් ම නොවේ:

 
"Now it's not that you have stayed too long
And it's not that you've done something wrong
It's not your fault that you embarrass us all
....
You've been used by an army of kings
You've been touched by the lips of a queen
Now we've all made good use of you
But you won't be needed again

So why don't you move and let someone else in
And make some room for a new harlequin
'Cause you never know when you'll disappoint us again"

 
                                                                                 කියවන්නියට මෙහි වදන් පෙළ පැහැදිලි යැයි සිතමි ( මම කොහොමත් පරිවර්තනයට බොහෝ මැළිය - එය ඉතා ශ්‍රමාධික කටයුත්තකි. )  බොබ්, තම පුතුට මේ ගීයට පිලිතුරු දුන් වගක් මා නොදනිමි. එහෙත් ඔහු තවම තම රළු හඬින් ගීත නිකුත් කරයි. ( හැත්තෑ නව වියැති, නොබෙල් ත්‍යාග ලාභී,  බොබ් ඩිලන් දින කිහිපයකට පෙර ද ඇල්බමයක් නිකුත් කලේ ය.)  ඉහත ගීතයේ "It's not your fault that you embarrass us all" යන පේළිය රැගත් ය.  ඉන් බොහෝ දේ ගම්‍ය වේ. මට අමරසේකර සහ නූතන සාහිත්‍ය ධාරවන් අතර ගැටුමේ දී මේ ගීතය මතකයට ඒ ( සරච්චන්ද්‍රයන් ජීවත් ව සිටිය දී ඔහු ට එම උපමාව වලංගු නොවීය). 

හමාර කිරීම: ඉහළ හැදෑරීම පිළිබඳ මේ ලිපිය ලියන මා, උක්ත විෂය පිළිබඳ ආදුනික මට්ටමේ සිටින්නෙකි. විෂය ඇති උපන් දොළ නිසා, කරුණු සොයා ලියූවත්, මින් කිසිදු අවසන් නිගමනයක් ගැන ඉඟි නොකරමි. ඉහත දක්වා ඇති ආස්ථානයන් හි දෝෂ ම වෙත පෙන්වන අයෙක් ගේ අදහස් දැනගැනීමට කැමැත්තේ, එවන් දෝෂ තිබිය හැකි බවට මට දැ සැක ඇති බැවිනි - කිම ද, මේ විෂයන් පිළිබඳ අවසන් ලිපිය දක්වා පරිශීලනය කොට නැති නිසා ය. කර්තෘ ලියනගේ අමරකීර්ති ගැන පවසතොත්, ඔහු ගැන විශාල ගෞරවයක් ඇත්තේ ඔහු කරනා කාර්‍යබාරය නිසාය. ඔහු නොතිත් පිපාසයෙන්, ආවේශයෙන් මෙන් ප්‍රබන්ධ සාහිත්‍ය වේවා,සාහිත්‍ය විචාර වේවා, සමාජ විචාර වේවා, පරිවර්තන වේවා, මේ සියළු අංශ කෙරෙහි කෙරෙන මැදිහත්වීම පිළිබඳ ඇත්තේ මහත් ගෞරවයක් ම පමණකි.  සාහිත්‍ය ක්ෂේත්‍රයේත්, සමාජ ජාල තුලත් ඔහුගේ ඒ මැදිහත් වීම හේතුවෙන් ම, අපි වැනි එම විෂයන් වලට නවකයන් ට  යම් හැදෑරීමක් කරලීමට ලැබෙන අවස්ථාව ට මහත් ස්තූති පූර්වක වෙමු.


ආශ්‍රේය සාහිත්‍ය:
-සාර සංග්‍රහය - එදිරිවීර සරච්චන්ද්‍ර ( සංස්කරණය - පී.බී. ගලහිටියාව / කේ. ඇන්. ඕ. ධර්මදාස )
- අයාලේ ගිය සිතක සටහන් - තිස්ස අබේසේකර
- කලාව සහ කතිකාව - එරික් ඉලයප්ආරච්චි
-
විචාර ප්‍රතිවිචාර - සුචරිත ගම්ලත්
- (Breach) - The Wallflowers
- Enabling Traditions - Wimal Dissanayake








Thursday 18 June 2020

කතිරිනාගෙ සනුහරේ - ගුණසිංහ හෙට්ටිආරච්චි

(1985 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව)

මෙම නවකතාව ට මුල් වූ සමාජ වටපිටාව, උපක්‍රම ආදිය නැවුම් නැත - එය සැබෑ ලෝකයේ ද ඉතා සුලභ වූ හෙයින්, එය තේරුම් ගත හැක. 1980 දශකයෙ මුල් භාගය හා සසඳද්දී මෙය සැලකිය යුතු සාහිත්‍යමය වෑයමක් බව පිළිගත යුතුය. ලේඛකයා ගේ පළමු නවකතාව වුව ද,  මෙහි ඇති චරිත වල ඇති "අළු පැහැ" ස්වභාවය සහ සිදුවීම් වල විශ්වාසනීයත්වය ඔහු කෙරෙහි  පැහැදීමක් ඇති කරවයි. වසර 35ක් තුල නවකතාව තරමක් වියපත් වී අති බව සැබවි. එහෙත් මෙහි ඇති සාර්ථක ලක්ෂණ ඇඳින ගැනීමට එය බාධාවක් නොවේ.

    කේ. ජයතිලක ගේ පීතාමහ සහ චරිත තුනක් මතකයට ආවේ, මෙහි එන විවිධ චරිතයන් ගේ හැසිරීම් සලකද්දී ය. එහෙත් මෙහි එන විජේලිස්, ඉසා නොවේ. ඉසා ගේ ඉසිවර ගුණාංග ( හෝ තවෙකෙකු ට රැවටෙන සුළු ගුණාංග )  විජේලිස් ට නැත ; නැතිනම් ඔහු පිටු දකී - ඔහු ජීවිතයෙන් පාඩම් උගත්තෙකි. මුලින් අහිංසක බවක් පෙන්නුම් කල ද, වෙළඳාමට යොමු වූ විට කපටිකම නිසි පරිදි භාවිතකරන්නෙකි - හිතමිතුරුකම නිසා වෙළ හෙළඳාම පාඩු නොකර ගන්නෙකි.  ඒ අතින් බැලූ කල, මේ නවකතාව, "සෑම මිනිසෙකුට ම ජීවිතය මගින් යම් අවස්තාවක් ලබා දේ - එය භාවිත කිරීම ඔහු ගේ සාර්ථකත්වයට හේතු වේ", යන  කාරණාව කියා පාන්නාක් මෙනි. ("There is a tide in the affairs of men / Which, taken at the flood, leads on to fortune" - විලියම් ශේක්ස්පියර් ගේ ජූලියස් සීසර් නාට්‍යයෙන් )

සැලකිය යුතු කොටස් වශයෙන්, දරිද්‍රතාවෙන් පීඩිත දරු කැලකින් තරමක් දියුණු වූ අයෙකු, අන් අය කෙරෙහි නොතැකීම මහත් වූ දුර්ගුණයක් සේ සැලකීම සංස්කෘතික ලක්ෂණය වෙසෙස් තැනක් ගනී. පවුලේ සෑම දරුවාට ම සම අවස්ථා හමු නොවූ බැවිණි, සාර්ථකත්වයට පත් වූ කෙනා අන් අය ට සැලකිය යුත්තේ - එය දරිද්‍රතවයේ ම දිගුවකි. උක්ත නවකතාවේ ගබිරියෙල් ඉස්කෝල මහතා, ස්වභාවිකව ම ආත්මාර්ථකාමයට යොමු ගුණාංග ඇති චරිතයකි. තම මෑණියන්ගේ භූමිදානය දින ඔහුගේ සිතුවිලි, ඉතා දක්ෂ ලෙස අප කතුවරයා, එම චරිතය පිරීක්සීමට භාවිත කොට ඇත. එහි ඇති ආත්ම වංචනය ඉතා ස්වභාවික ලෙස පෙන්නුම් කොට ඇත.

"අන්තිමේ දී විජේලිස් දණ නමා මෑණියන්ගේ වළ වැන්දේ ය. සෝමාවතිය ද වැඳ වැටුණා ය. ගබිරියෙල්ගේ හිතට මහත් මදි කමක් දැනිණ. ' අම්මට මං ගෞරව කරන්නෙ හිතෙන්' ඔහු හිතුවේ ය" ( 2 පිටුව )
වරෙක, කතිරිනා ආවේගයෙන් ගබිරියෙල් ට දොස් කියන්නේ, තම සහෝදර සහෝදරියන්  ගැන නොසලකා ජීවත් වන තම වැඩි මහළු පුතුට දොස් තියමිණි.

"'මගේ මොළේ හොඳයි බොලව්. තොපේ මොළ තමයි නරක් වෙලා තියෙන්නෙ. අරකි අහරෙ අපා දුක විඳිනව යම පල්ලන්ට අහුවෙලා. විජේලිස් මගෙ රත්තරං පුතා, ඌත් දංකොටුවට නැහෙනව. උඹ විතරක් පුතේ මං උන්න ද  මළා ද කියලවත් බලන්නේ නෑ. උඹව ආකාහෙං පහළ වුණේ නෑ ගබිරියෙල් පුතේ. මං උඹව වැදුව.'"( 69 පිටුව )

ගබිරියෙල් සහ විජේලිස් ගේ සොහොයුරිය වන සෝමාවති මුල් කොට ගෙන ඇති වන ආරවුල, අප ගම් ගොඩ වල ඇති වන ආරේ ඉතා බිහිසුණු එකකි. එහි මූලය, ව්‍යාප්තිය, එය උඩු දිවීමට හේතු වූ පුද්ගල භාවයන්  ඉතා  නිර්ව්‍යාජ ලෙස පෙන්වා ඇත. හදිසි කෝපය, බිහිසුණු ප්‍රචණ්ඩත්වය, උදහසෙන් මුග්ධ කරලවූ හැසිරීම්, අනෙකා ගේ දෘෂ්ටිකෝණයක් ගැන අවදි නොවීම , සොහොයුරා ගේ "ස්ත්‍රී" ප්‍රශ්ණ වලට ඔහු ගේ පවුලේ අන් ස්ත්‍රීන් ගේ බලවත් බලපෑම ( මව සහ සොහොයුරිය ) වැනි, සුළු ආරවුලක් මිණීමැරුමකට පෙරලිය හැකි ආරේ සිදුවීමක්, අප කතුවරයා පිටු තුනක් පමණ පුරාවට විස්තර කොට ඇත ( 87-90 පිටු ).

සෝමාවති ගේ චරිතය බැලුවහොත්, 1970-1980 දශක වල පමණක් නොව, අද ද මොනයම් දුක් අනුභවයෙන් හෝ තම විවාහ පුරුෂයා කෙරෙහි බැඳී සිටින දකුණු ආසියාතික කාන්තාව ට නිදසුනකි.  ප්‍රේමය,  දික්කසාදයකින් ද නැවැත්විය නොහැක්කක් බව පෙන්වා දෙයි. මට අජිත් තිලකසේනයන්ගේ "මන්දා", නම් අපූරු කාව්‍ය මතකයට නැංවීය.


මෙහි මුද්‍රණය ගැන ද යමක් සඳහන් කල යුත්තේ, ඉන් 1980 දශකය පොත් මුද්‍රණය වූ එක් ආකාරයක් ඉන් පෙන්වන හෙයිනි. මෙම නවකතාව බුද්ධිමය දේපළ පනත යටතේ වෙළඳ අමාත්‍යාංශය මෙහෙය වූ 1982 දීප ව්‍යාප්ත නවකතා තරඟයෙන් ජයග්‍රහණය කොට ඇත. 1985 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය. කෘතිය මුද්‍රණය වී ඇත්තේ "සීමාසහිත සතොස මුද්‍රණාලයෙනි". නවකතාව ට ISBN අංකයක් නොමැත.  මෙය අද ට මුද්‍රණයේ නැතැයි සිතමි ( මා කියවූ පිටපත කොළඹ මහජන පුස්තකාලයෙනි ).


 කියවීමට පිටපතක් ලැබුනහොත්, අප රට මෑත ඉතිහාසයේ, ජීවිතය "සරි කරගැනීමට" අවස්ථා මද යුගයක් පිළිබඳ උපේක්ෂාවෙන් පිරී විමසුම් නෙතකින් නිර්මාණය වූ සාර්ථක නවකතාවක් කියවීමේ අවස්ථාව උදා වනු ඇත. ( ලේඛකයා ගේ ඡායාරූපය, 2018 හෝ 2019 වසරේ ඔහු ගේ කුඹල් මැන්ඩිය නවකතාව පිළිබඳ වූ සංවාදයක් රැගත් පුවත් ලිපියකින් උකහා ගත්තකි. එම නවකතාව පිළිබඳ තවත් පුවත්පත් ලිපියක් ලෙස ධනාත්මක විචාරයක් රංජන් අමරරත්න දිණමිනට ලියා ඇත)

Sunday 14 June 2020

පැරිස් වලාකුළු - මංජුල වෙඩිවර්ධන

වෙඩිවර්ධන  2018 නවකතා දෙකක් පළ කලේ ය. මෙ දෙවැන්න ය. මෙය එම වසරේ කිසිදු සම්මානයකට නිර්දේශ නොවීය. එම වසරේ පළ වූ, මා කියවීමට තෝරා ගත් කෘති 12 අතර, කිසිදු සම්මානයකට නිර්දේශ නොවූ කෘති දෙකකි - එකක් "ඉස්කිරිම" ය - අනෙක, "පැරිස් වලාකුළු" ය; කතුවරු දෙදෙනාගේ පෙර නිර්මාණ වල නිර්මාණ ශක්තිය දැක ගැනීමෙන් ලත් විශ්වාසය, අප විනිශ්චය මඬුලු කෙරෙහි ඇති විශ්වාසයට වඩා බොහෝ වැඩි බව පැහැදිලි ඇතැයි සිතමි.

සාහිත්‍ය නිර්මාණයක් ලෙස, පැරිස් වලාකුළු විචිත්‍රය. විප්‍රවාසී ජනමාධ්‍යවේදීන් තිදෙනෙකි - තිදෙනා ම, පැහැදිලි ලෙස සම්පූර්ණයෙන් ම දෙමළ විමුක්ති අරගලය සාධාරණ යැයි තදින් ම විශ්වාස කරන්නෝය. 1990-2000 දශක දෙකෙහි, LTTE නායක කාරකාදින් සමඟ යම් ඇයි හොඳැයියාවක් තම වෘත්තීන් හේතුවෙන්  ගොඩ නැගූ අය ය. ඒ හෙතුවෙන් ද, ඔවුන් ගේ දේශපාලන මතවද නිසා ද රටින් පිට වී කල් ගෙවන්නෝ ය. ඒ නිසා ය මෙසේ ලියැවී ඇත්තේ;
"ඒක නිතර කොළඹ බෝම්බ පිපිරෙන්න ගත්ත කාලයක්. කවුරු බෝම්බ පිපිරෙව්වත් පත්තර පිටුවලට වැටුණෙ අකුරු නෙමෙයි පුල්ලි" ( 280-281 පිටු )

ඉතින්, පාඨක තෙමේ තම පෞදගලික ආස්ථානය තාවකාලිකව පසෙක ලා, සාරත්‍ර ගේ, නන්දනී ගේ, වාසුල ගේ ආස්ථානයේ සිට නිර්මාණය රස විඳිය යුතුය.

 මෙවන් වටපිටාවක, කියවන්නිය ප්‍රබන්ධයේ රසය විඳිනු විනා, පාත්‍රවර්ගයා ගේ ආස්ථානය ගැන වද වෙන්න වුනොත්, රචනාව විඳීම අපතේ යයි. ප්‍රංශ ජීවිතය, විප්‍රවාසි ජීවිතය, හාස්‍ය රසය (  දැන් ධාවනය නොවෙන 131 - වැල්ලම්පිටිය- මහරගම බස්‍ රථයේ කෙරුවාවන්) , වෙඩ්ඩා ගේ "කුන්දේරා උණ" ආඛ්‍යායනයට ගෙනෙන කුන්දේරා කෘතීන්, ලාංකික වාමවාදී දේශපාලනයෙ පළු ඇරීම ( ආණ්ඩුව - සිංහලය ; හමුදාව - සිංහලය; ඔවුන් ගැන විචාරයන් නැත - ඇත්තේ කල ඇති අපරාධ පමණකි),  සිංහල චිත්‍රපටි සහ නළු නිළි පිළිබඳ කෙරෙන කලා විචාර ( විමල් කුමාර ද කොස්තා, මාලීනි, මහේන්ද්‍ර, ජැකා ), පැරිසියේ විප්‍රවාසීව වසන විචිත්‍ර දමිළ චරිත, පිළිබඳ ඇතුලාන්තයන්  යන සියළු සං‍යෝජනයන් ගොතන්නේ විචිත්‍රවත් ගෙත්තමකි. ඇත්තෙන් ම පැරිසීයේ වෙසෙමින් ම දමිළ ජීවන රටාව පිළිබඳ සියුම් හැදෑරීමක් මේ තුල ඇත.

නවකතාව අවසන ට ලංවත් ම "ඇය" හා සාරත්‍ර අතර විවාදය හට ගැනෙන්නේ "ජීවිතය ප්‍රබන්ධයක් ද? යථාර්ථය ප්‍රබන්ධයක් ද? " යන කාරණාව මත ය. ඉතින් මෙය ඇත්තෙන් ම චමත්කාරමත් ප්‍රබන්ධයකි - මෙහි ප්‍රධාන චරිත ඔස්සේ දිවෙනා තමනට සිතට වද දෙන යථාර්තයක තුවාලයන් ඇති බව වැටහේ. එම නිසාය,  "ඇය" LTTE ය පිළිබඳ කලකිරුණ බව කී විට, එය 'ප්‍රබන්ධයක්' බවට ප්‍රබන්ධගතවන්නේ. පෞද්ගලිකව, වසර තුනක් පමණ තිස්සේ කියවීම කල් දමා හිටි "තියුණු අසිපතක සෙවණ යට" කියවිය යුතු බව සිතෙන්නේ එම තුවාල වල ගැඹුර වටහා ගැනීමට ය. ( කෘතියේ දේශපාලන කියවීම ගැන ලුහුඬින් කියනවා නම්,  නවකතාව කියවා හමාර වූ විට,  LTTE ‍යේ හිටපු කාන්තා දේශාපාලන අංශ නායිකාව කෙතෙරම් දක්ෂදැයි කිවහොත්, මෙම නිර්මාණයේ ප්‍රධාන චරිතයන්ගේ ආස්ථානය ට ඇගේ ප්‍රචාරයන් කෙතෙරම් සාර්ථක ලෙස බල පෑ  ඇත්තේ දැයි ද සිතෙයි. )

බත්තලංගුණ්ඩුව වේවා, 'යක්ෂණි' වේවා, 'අහඹු අතීත හැන්දෑව' වේවා. පැරිස් වලාකුළු වේවා - මේ සියල්ල සිතුවම් නම්, පාඨක අප එම අපූරු වර්ණ ගැනිවිලි, මිනිස් රූප, ඇඟවෙන සමස්ත අත්දැකීම, නොකියවෙනා කතාව, ඊළඟ
ට සිදුවිය හැකි දේ ආදී සියල්ල ඒ ගෙත්තම තුල ඇත. පාඨකයකු ලෙස වෙඩිවර්ධන මා දැන් කියවන්නේ එම ගෙත්තමේ නිර්මාණශීලිත්වයෙන්, බුහුටිබවෙන්, විචිත්‍රත්වයෙන් ප්‍රමුදිත වීමට ය. එකඟ නොවෙන තැන් වල ට එකඟ නොවී සිටිමින් ම, එම නිර්මාණය ඇගයීමට සිතාගත්තේ 'යක්ෂණී' කියවා හමාර වී, මතවාදී ගැටුම එම කලා කෘතියේ බුහුටි බව ඇගැයීම පමා කල හෙයිනි. අවිවාදයෙන් මෙම කෘතිය 2018 වසරේ පළ වූ හොඳම කෘති පහ අතර තිබිය යුතු බවකි, මගේ නම් තක්සේරුව.

Wednesday 10 June 2020

Man in the Brown Suit - Agatha Christie

Being one of the novels I had somehow missed,  back when I was on a Christie reading spree in my late teens ( inspired by my mother being a huge fan of her ), I finally managed to 'read' it via an audio book. This, surely is more in line of a thriller, than a classic detective story, where Poirot or Ms. Maple sits,  and reflects. A little bit of 'googling' revealed that, what I remember to be one of her best works, namely "The Secret Adversary" was published in 1922. Man in the Brown suit, was published in 1924, and in contrast was quite weak, I thought. Probably her keenness to keep the tempo of a fast moving thriller, the authoress has taken liberties with the plot, that are far fetched and thus, unconvincing. True, Christie has achieved relative success by keeping the readers interested. But, the obvious weak concessions that the authoress has towards building her plot, was too much for me, to like this work as a whole.

The raw usage of certain words which would hold this work in contempt today, shows the distance that the world has traveled over the last 100 years.


"A black face grinned into mine - a devil's face. I thought it, and screamed out."
 Yet, after 100 years, racism hasn't left the world and we have its instances of its ugly head raising every now and then - as the present day incidents show.

The tone of the danger loving girl, who scorns the safety of a stable man, runs through the narration like a background tune. Christie, her self in her mid thirties at the time, may have been trying to project a sense of  spunk in her characters, which doesn't sound convincing overall. On the side of positives, the character of Sir Eustace Peddlar is a huge success.

I returned to Christie after 20 odd years, with "Curtains: Poirot's Last Case", recently - that held up largely as a solid work, in spite of a few stitch marks which were apparent as being stretches. In contrast, in "Man in the Brown Suit",  left me in no doubt that it is time I was through, reading Agatha Christie. Once, one reads an author of he caliber of John Le Carre, to fulfill her thirst of thrillers and espionage, the plots and weaving of Christie come up short. But, she had served me well in instilling a love for reading narrations based on traditional England which led me to look up authors like  E.M. Forster  - and appreciate such works as Howard's End and A Room with a View, - this love for British authors continues to date, with  appreciation of other English authors like Hilary Mantel or Julian Barnes, later. Almost all  authors, open possible paths for future reads, and Agatha Christie definitely served well in that regard.

අදිසි නදිය - කපිල කුමාර කාලිංග

2019 ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගත්තේ වූද, එම වසරේ ම රාජ්‍ය සාහිත්‍ය සහ ගොඩගේ සම්මාන උදෙසා නිර්දේශ වූ ද, කපිල කුමාර කාලිංග ලියූ, "අදිසි නදිය" නවකතාව කියවා හමාර කලෙමි.

මීට පෙර කතුවරයා ගේ නවකතා තුනක් කියවා තිබුණි - පියැසි කවුළුව, කන්දේ වීදිය, සහ සැප්තැම්බරයේ දිගු දවසක් ඒවාය. මේ සෑම නිර්මාණයක ම අඩු වැඩි වශයෙන් වූ ගුප්ත ආර ( එය කන්දේ වීදිය හි, බෙහෙවින් අඩු ය), මෙහි උපරිමයෙන් ඇත. ලංකාවේ මධ්‍යම පළාත ට අයත් නගරයකට යම් භූ විෂමතාමය සමානතාව දැක්වෙතත්, කතුවරයා අවධානය දිනා ගැනීමට බලාපොරොත්තු වූ විෂය එවන් එක් නගරයකට වඩා බෙහෙවින් පුළුල් ය. දීර්ඝ කාලයක් මිනිසුන්ගේ නිදහස සීමා කිරීම හේතුවෙන් මිනිසුන්ගේ වීරිය බිඳලෑම,  ඉහළ නිලධාරි මඬුල්ල ට සහ ඔවුනගේ පවුල් වලට  පමණක් සීමා වූ විශේෂ අවස්ථා පැවතීම, අන්ධ භක්තියෙන් යුතු තම ජීවත් වෙන නගරයට පෙම් බැඳීම,  සුරාව භාවිතය ට නගරවාසීන් ව වැඩි වැඩියෙන් රුකුල් දී ඔවුන්   ඊට බැඳ තබා ගැනීම, මාධ්‍ය නිදහස සීමා කිරීම සහ මාධ්‍ය වේදීන්ගේ නිර්මාණ ශක්තිය විවිධාකාරයෙන් අඬපණ කිරීම මේ නගරයේ දීර්ඝකාලීන ලක්ෂණ ය. මෙහි වෙසෙසින්, මාධ්‍ය කරුවන් ගේ නිර්මාණ කටයුතු වලට ස්වයංක්‍රීය බවක් යන්ත්‍රාණුසාරයෙන් ගෙන ඒමේ කාරණාව මා අවධානය දිනා ගත්තේ, එය ඍජුව ජෝර්ජ් ඕ'වෙල් ගේ 1984 නවකතාවේ එක්තරා අවස්තාවක්  මතකයට නැග ඒමට සමත් විම හේතුවෙනි.
"මාධ්‍යවේදියාටත් පෙර ලිපිය ලියැවෙන්නට ගනී. මුල දී මාධ්‍යවේදියාට දැනුණේ මෙය මඳක් පහසුවක් මෙනි. එහෙයින් ඔවුහු අලස වූහ. යන්ත්‍රයටම සිය රාජකාරිය පවරා දුන්හ. කීප දෙනෙක්, යන්ත්‍රයට වහල් නොවී, නිදහස් මතික ලෙස කටයුතු කරන්නට පෙළඹුණ නමුදු, ක්‍රමයෙන් ඔවුනට වැටහී ගියේ එය 'වාරණ මණ්ඩලයක්' ලෙස ද ක්‍රියා  කරන බවය."
(250 පිටුව)

සිය රාජකා1984 කෘතියේ, කම්කරු පංතිය තෘප්තිමත් ව තබා ගනු වස් යන්ත්‍ර්‍රාණුසාරයෙන් ලිංගිකත්වය හුවා දැක්වෙන බාල නවකතා ආදිය නිමැවේ. එම කර්තව්‍ය උදෙසා "ප්‍රබන්ධ දෙපාර්තමේන්තුවක්" ද විය. මාගේ කියවීම ට අනුව නම්, කතුවරයා ඉන් ගම්‍ය කරනුයේ "ඩිස්ටෝපියානු" නවකතාවකින් කොටසකින් ආභාෂයක් ලබා ගැනීමට වඩා, අනාගතයේ බිහි විය හැකි "ඩිස්ටෝපියානු" දේශයක් කුමනාකාරයෙන් ඉන් ආභාෂයක් ලබන්නේ ද යන්න විය යුතුය.

එනුමුදු, මෙම නවකතාව හුදෙක් 1984 හි සිංහල ආදේශයක් නොවේ. නැත; අප ලේඛකයා මවනා ප්‍රබන්ධමය නගරය වඩවඩාත් මතක් කරනුයේ ඔබ අප සැම දන්නා කුඩා දිවයිනකට ය. නගරයෙන් පිටවීමේ වාරණය යන කාරණවෙන් වෙනසක් වී ද, "රට වෙනුවෙන්" සියල්ල විඳ දරා ගැනීමේ ප්‍රවණතාව උසස් ලෙස රාජ්‍ය අනුග්‍රහ කරලීමේ ප්‍රවණතාව ඇතුළු අනේක කියුම් කෙරුම් ඊට දෙස් දෙයි. ප්‍රබන්ධමය නවකතාවක ට උචිත ලෙසින්, එහි අතිශයෝක්තියක් ඇති බැව් සැබවි - එහෙත් සමස්ත ප්‍රවණතාව යන්න පිළිබඳ එහි "අප පාඨකයන" ට 2084ක පණිවුඩයක් නොගෙන්නේ යයි කිව නොහැක. එහෙත් මේ කියනා 2084 ද පාඨකයා මවා ගත යුත්තේ වර්තමාන පරිසරයක් තුල දී ය. එවන් "තාක්ෂණික" ප්‍රශ්ණ මෙම ආඛ්‍යායනයේ වුවද, සමස්ත ආකෘතිය හා පණිවුඩය පැහැදිලිය. අනෙක් අත ට අප ට මෙහි හමුවන නගරය විනාශය කරා ඇදෙන එකකි. එය ගොඩගත නොහැකි එකකි. නාය යන, ජලයෙන් යට වෙන, පණුවන් ගසන එකකි - කතුවරයා සාර්ථක රූපක භාවිත කොට ඇති බවට සැක නැත. එහෙත් ඔවුන් ට බලෙන් පෙවූ වට්ටෝරූ කතාන්දර හේතුවෙන් ඔවුන් ව අවසන් මොහොත දක්වාම අකර්මන්‍ය කොට තිබිණි.
"අවසානයේ දී මිනිසුන් නගරය අතහැර යාමට පටන් ගෙන ඇත. අතීත ශ්‍රී විභූතිය, උදාර සංස්කෘතිය, නගර ප්‍රේමය වැනි මන්ත්‍රණයන්ගෙන් මත්කොට, මුලාකොට රඳවාගෙන සිටි ජනතාව ජීවිතාශාව විසින් දැන් අවදි කරනු ලැබ ඇත." ( 304 පිටුව )

 නවකතාවේ ගලා යාම, මුල් භාගයේ තරමක් අඩාල වේගයකින් වුව ද, ඉන් අනතුරුව නවකතාව වඩ වඩාත් කියවීමට රුචියක් වඩවයි. නගර වාසීන් ගේ අසරණබව නිරූපනය, පාලනාධිකාරියේ අසංවේදීකම, හමුදාවේ ක්‍රියාකාරීත්වය, මාධ්‍ය සහ අනෙක් රාජ්‍ය ආයතන "යථාතත්වය" නිරූපනය ට දරණ කෘතීම තැත, ආදී සියළු තැන් වල අප ලේඛකයා සාර්ථකය. නගරවාසීන් ගේ අසරණකම හමුවේ, පිටතින් ඔවුන් බේරා ගැනීමේ මානූෂීය මෙහෙයුමක් ගැන ද, එවන් ව්‍යායාමයක ට ඇති ප්‍රායෝගිකත්වයක ගැන ද ලුහුඬින් හෝ සාකච්ඡා කරනුයේ  R2P, අප ට මතක් කරමිනි.

2018 ප්‍රකාශ වූ කියවීමට මා තෝරා ගත් නවකතා ගොන්න කියවා හමාර වන තෙක්, නවකතාව පවතින්නේ "කුමන ස්ථානයේ ද?" යන්න ගැන කීම ට නොහැකි වුව ද, අවම වශයෙන් 2019 වසරේ සම්මාන අවසන් වට වලට පැමිණීමේ  විභවයක් ඒ තුල ඇති බව පිළිගත යුතුය.එනුමුදු පිටු 328ක් පුරාවට දීර්ඝ නොකරමින්, තීව්‍රතාව වඩා හොඳින් දැනෙනාකාරයෙන් මීට පිටු හැට-හැත්තෑවක් පමණ අඩු කොට මෙම නිර්මාණය ඉදිරිපත් කරලීමට අවකාශ නොතිබුණ් ද ? කතුවරයා මෙලෙස ම "සැප්තැම්බරයේ දිග දවසක්" දිගු කලා ක්, මෙන් මෙම නවකතාව ද එම අඩුපාඩුවෙන් පෙළෙයි. අනෙක මුද්‍රණ දෝෂ ය. පොත් කියවන මිතුරියක්, මෙම මුද්‍රණ දෝෂ ගැන සඳහන් කල විට, මා පොත මිල දී ගැනීම පමා කරමින් දෙවෙනි මුද්‍රණයෙන් පිටපතක් ගත්තේ ම, එවන් දුර්වලතා දෙවෙනි මුද්‍රණයේ හෝ නැති වෙතැයි බලාපොරොත්තුවෙනි. නැත -ප්‍රකාශක ට එලෙස පෙර මුද්‍රණයක දොස් නිවැරදි කරගැනීමට ඉවරයක් නැත - පාඨක අප හට මුදල් ගෙවා පොත මිලට ගෙන  එම දොස් නිවැරදි කරලමින්,  කියවාගෙන ඉදිරියට යාමට ඉවරයක් ඇතැයි ප්‍රකාශක බලාපොරොත්තු වනවා විය යුතුය.

මේ ඉහත සුළු අඩුපාඩු නොතකා, මෙය සාර්ථක නිර්මාණයක් බවට කිව හැක්කේ, ඉන් අප රට ගිල ගන්නා අදිසි නදියකින් බේරා ගෙන, වඩා විවෘත මනැස් ඇතිව ජීවත්වීමේ වගකීමක් ද ඇති බව මෙම කෘතිය මතක් කර දෙන හෙයිනි.

Sunday 7 June 2020

මනමේ, සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය පිළිබඳ සරල හැදෑරීමක්….



මනමේ, සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය පිළිබඳ සරල හැදෑරීමක්….
  

ලියනගේ අමරකීර්ති ගේ 2019 පළ වූ විවිධ සාහිත-සංස්කෘති හා බැඳි ලිපි රැගත් 'සිතිවිලි සිතිජය' නම්
වූ කෘතිය කියවීම ඇරඹීමි. එහි ඇති නේක මාතෘකා දුටු කල මට හැඟුණේ, ඒ ඒ ලිපි කියවීමට සමාන්තරව,
එම මාතෘකා සාකච්ඡාවට ගැනෙන අන් එවන් කෘති වලින් ද එම මාතෘකාමය  ලිපි සොයා කියවමින්,
තුලනාත්මක කියවීමක ට අවස්තාවක් උදා වෙන බවකි. ඊට හේතු කිහිපයකි - එකක් නම් මා සතු
අනේක කෘති කවදා කියවේවිදෝ යි නොදන්නා කමයි. ඉතින්, ඒවා ආශ්‍රේය ග්‍රන්ථ ලෙස හෝ භාවිත
වන්නේ නම් යෙහෙකිය. අනෙක අමරකීර්ති, තැනෙක ඉතා නූතන ලේඛන ආරකින් සියුම් ව, හකුළුවා
කාරණා පවසන අතර, තවත් කාරණායක් ගැන තමන්ගේ දේශපාලන මතයන්ට අනුකූලව වඩා විවෘත ව
කරුණු කාරණා පැවසීමයි. මට ඇවැසි මේ ඔහු අඟවන දේ සහ නොවලහා කියන දේ යන දෙකම දැන
ගැනීමටය. එනම් "සිතිජය සිතිවිලි" මගින් මෙන්ම, එය පදනමක් කොට ගෙන ඒ ඒ මාතෘකා ඔස්සේ
එම කෘතියෙන් ඔබ්බට ද යම් හැදෑරීමක් කිරීම ය.  මේ අර්ථයෙන්, "පියදාස සිරිසේනගේ නවකතාව
නමැති සංස්කෘතික උරුමය", නම් ලිපිය මුල් කරගෙන යම් හැදෑරීමක් කොට, ඒ ආශ්‍රිත ලිපියක් දැනට
ලියා පළ කොට ඇත.
මේ ලිපිය "මනමේ, සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය" යන ලිපිය මුල් කොට කල
කියවීමක, හැදෑරීමක ප්‍රතිඵලයකි.
මෙම ලිපියේ අමරකීර්ති ගේ ප්‍රවේශය, 'සංස්කෘතික විචාරකයාගේ' එකකි.  එහි පළමු කොටස වන
සංස්කෘතිය හා කලාව
යන කොටසින් සංස්කෘතියේ සං‍රක්ෂණ‍යේ ත්, එනමැති ම  දෙවෙනි කොටසින් 
සංස්කෘතික සංස්කරණයේ ත්  සාර්ථක සංසන්දනයක යෙදෙයි.  අමරකීර්ති ගේ ස්ථාවරය තහවුරු
කරමින්,   වෙසෙසින් චුල්ල ධනුද්ධර ජාතකයේ එන සාම්ප්‍රදායික කතාවෙන් බැහැර ව "බිසව කෙරෙහි
අනුකම්පා සහගත" දෘෂ්ටියකින් බැලූ බවට සරච්චන්ද්‍රයන් 1985 දී ලියූ "පිං ඇති සරසවි වරමක් දෙන්නේ..."
කෘතියෙහි පවසන්නේ ඒ පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහ ගේ අදහස ද  ප්‍රතික්ශේප කරමිනි (156 පිටුව ).
ඒ, කුමරිය සතු වූ තාවකාලික "මොහොතක දෙගිඩියාවක්" හේතුවෙන් බවත් සරච්චන්ද්‍ර තව දුරටත්
පවසයි ( 187 පිටුව). අමරකීර්ති මීට වඩා පූර්ණ අර්ථකතනයක් දක්වනුයේ, කලා කෘතියක  සහජ
ලක්ෂණයක් ලෙස,  කාලනුරූපිත ව අලුත් අර්ථකතන සැපයීමේ හැකියාව ක්ෂාත්ක්ෂාත් කරමිනි.
ඔහු මෙසේ අර්ථ දක්වයි:
"ඇය (කුමරිය) කරන්නේ ආචාරධාර්මික තර්කනයකි. හොඳ-නරක විනිශ්චයකි." ඒ තම ගෝලයන්
ලවා මනමේ කුමරා මරනු වෙනුවට ආචාරධර්ම පද්ධතියක පිහිටා තනි සටනට වැදි රජු එළඹීම
හේතුවෙනි.  මෙය නූතන අර්ථකතනයකි - නුමුත් වලංගු අර්ථකතනයකි. කිමද අමරකීර්ති ස්ත්‍රිය,
පුරුෂ දෘෂ්ටිවාදය  පුනරුච්චාරණය වෙනුවට ඇයට ස්වච්ඡන්දතාව හා ස්වාධීනත්වය හිමි බව  පසක්
කරන හෙයිනි.  මෙම අදහස මේ අයුරින් ම සරච්චන්ද්‍ර මනසේ ( 1950 දශකයේ මුල් බාගයේ ) නොවූව ද,
එහි තමන් විසූ යුගයට ඖචිතාකාරයෙන් බීජානු ආකාරයෙන් තුබූ බව සිතීමට අපහසු නැත. එය
අදහසක් ලෙස අමරකීර්ති 2019 දී පවසන දේ හි ළඳරු අවස්තාවක් විය හැක  යි. 
 තවත් තැනෙක සරච්චන්ද්‍රයන් මෙසේ මැසිවිලි නගයි.
"මනමේ දෙස නොයෙක් දේශපාලනමය දෘෂ්ටිවලින් බලා අදහස් ප්‍රකාශ කරන ලද නමුත්, එහි
සාහිත්‍යමය ලක්ෂණ හෝ කාව්‍යමය ලක්ෂණ (මේ දෙකම එකකි) විග්‍රහ කොට ඉදිරිපත් කරන ලද
විචාර ලිපියක් වත් පළ නොවීම ගැන මම පුදුම වෙමි", කියා ය. අමරකීර්ති පවා  අමරසේකරුන්
සරච්චන්ද්‍ර "විසිවන සියවසේ විශිෂ්ඨම කවියෙක්" ලෙස නම් කිරීම හා එකඟ වන බව කියමින් තම
ලිපිය ඇරඹුව ද, වඩාත් සාකච්ඡාවට බඳුන් කරනුයේ සමාජ දේශපාලන අංශය යි. ඒ අතින් එරික්
ඉලයප්ආරච්චි ලියූ "සරච්චන්ද්‍ර, නීෂේ සහ කේමදාස" ලිපිය ඉතා වැදගත් යැයි සිතමි. ඕනෑම
නාට්‍යකරුවකුට, නාට්‍ය කලාවට  කල හැකි උපරිම සේවය ඛේදාන්තයක් ලබා දීම බව  ඉලයප්ආරච්චි ගේ
මතයයි.  ඛේදාන්තය වූ කලි, ශූන්‍යතාව සහ සාර්වශුභවාදය අතර වූ ගැටීමේ ප්‍රතිඵලය බවත්,
නාට්‍යකරුවෙකු ලෙස සරච්චන්ද්‍ර එම සේවය උපරිමයෙන් ඉටු කල ද සංගීත පාර්ශවයෙන් ජන ගී
ආකෘති තුල සිරවුණ බවකි, ඉලයප්ආරච්චි ගේ අදහස.
"මෙරට ශාස්ත්‍රාලීය ප්‍රජාව සහ සාහිත්‍යධරයන්ගෙන් බහුතරය තවමත් විශ්වාස කරන්නේ සරච්චන්ද්‍ර ට්‍රැජඩිය
සිංහල සංගීත නාටකයේ කූඨප්‍රාප්තිය බවයි. මෙය වැරදි නිගමනයකි. සරච්චන්ද්‍ර නාටකයෙන් මතුවන
ඇපලෝනියානු ධර්මතාව ඔස්‌සේ මෙරට සරසවි සහ උගත් මැද පන්තිය ඇපලෝසියානු හෙජමොනියක්‌
ගොඩනඟා ගෙන සිටිති. සිංහල ඛේදාන්තය තුළ කැපී පෙනෙන ඩියෝනීසියානු ඌනතාව හඳුනාගැනීම
හෝ පැහැදිලිකර ගැනීමට හෝ එම ප්‍රජාව කැමැති නැත. ඔවුන්ගේ වුවමනාව වන්නේ සංගීතය සිංහල
ඛේදාන්තයට පිටින් හුදෙක්‌ සරල ගීත‍ෙයහි රඳවා තැබීමයි. මේ අතින් සිංහල සංගීතය තවමත් සිංහල
සාහිත්‍යය ප්‍රමුඛ කර ගත් සිංහල සංස්‌කෘතියේ ඇපලෝනියානු හෙජමොනියක්‌ විසින් පාගාගෙන සිටින
කලාවකි."  (කලාව හා කතිකාව, 50 වෙනි පිටුව  - එරික් ඉලයප්ආරච්චි)
මේ සංගීත භාවිතාව පිළිබඳ අදහස, සරච්චන්ද්‍රයන්ගේ සර්වභෞමිකත්වය ගැන සාකච්ඡා කිරීමේදී ද
සැලකිය යුත්තකි.
අමරකීර්ති තව දුරටත් ස්ත්‍රී වාදී අදහස් මගින්, පෙර කී ස්වච්ඡන්දතාවය ගැන අදහස් ඉදිරියට ගෙන
යන්නේ, සංස්කෘතික-දේශපාලන ආනතියකට ලංවය. ඔහු ගේ අදහස් මනමෙ නාට්‍යය යන්නට සීමා
නොවී, පුළුල් අර්ථයෙන් ලියැවී ඇත.
ලිපිකරු ඉන් අනතුරුව "මනමේ නිර්මාණය වූ සන්දර්භය හා එහි ඓතිහාසිකත්වය" ට යොමු වෙයි.
එහි ආරම්භයේ හේ මෙසේ පවසයි;
"මනමෙ වෙතින් ඇරඹි සරච්චන්ද්‍ර කලාව මෙරට පනස් හයේ දරුවන්ට විශාල සංස්කෘතික ප්‍රාග්ධනයක්
සැපයූ බව නොරහසකි."
මෙය විමසිය යුතු කාරණාවකි. ඔහු පදනම් කර ගනුයේ රෙජී සිරිවර්ධනයන් 1982 දී කියූ කාරණාවක්
යැයි සිතීමට, කරුණු ලිපිය තුලින් ම සැලසේ. සිරිවර්දන, Lanka Guardian සඟරාව ට Rekhava, Maname
and 1956 යන ලිපිය ආශ්‍රයෙන් මෙවැන්නක් පවසයි. (
Selected Writings of Regi Siriwardena- Volume 1 :
edited by A.J. Canagaratne
"Nobody thought twenty-five years ago of making a sociological study of the theatre going audience.
But from impressions of the spectators who came to performances of Maname in its early years at
the Borella YMBA and Lumbini, I would hazard the guess that the new audience of 1956 and immediately
succeeding years was composed predominantly of urban lower middle class Sinhala speaking people...
However, the broadening of the theatre audience by Maname in 1956 was a significant phenomenon...
In the socio-cultural climate of 1956 this process was assisted by the fact Maname and the form it brought
to the contemporary stage was a renewal of a traditional form of the Sinhala folk drama... part of the
appeal that the play had to audiences and critics was in its rediscovery of an indigenous folk tradition;
it was in consonance with the climate of Sinhala cultural revivalism in after 1956." (pages 490-491)
මේ ලිපියේ කාරණා, 1985 ලියූ පිං ඇති සරසවි වරමක් දෙන්නේ... හි සරච්චන්ද්‍රයන් පවසනා කාරණා හා සසඳමි.
සරච්චන්ද්‍රයන් මනමේ ගැන මෙවැන්නක් පවසයි. මනමේ ප්‍රථම වරට ලයනල් වෙන්ඩ්ට් හී රංගනයේ දී සිටි
නරඹන්නන් ගණන පනහක් පමණ ය. ඒ සරච්චන්ද්‍රයන්, මෙම නාට්‍ය රංගනයට ලයනල් වෙන්ඩ්ට් නුසුදුසු
බැව් සිතා සිටිය දී, එවකට අයිතිකරු හැරල්ඩ් පීරිස් මහතා ගේ බලවත් ඉල්ලීම මත එහි රඟදැක්වූ අවස්තාවෙහි ය.
ඒ සරච්චන්ද්‍රයන් පවසන පරිදි සිංහල දේ හෙළා දකින්නන් පිරිසක් මධ්‍යයේ එය රඟ දැක්වීම නුසුදුසු යැයි සිතූ
නිසා ය.  "සිංහල නාට්‍ය කලාව කෙබඳු තත්වයක තිබුණි දැයි වටහා ගැනීමට උපකාර වෙන සිද්දීයක්"  කියා
පාන සරච්චන්ද්‍ර, නාට්‍ය රඟ දැක්වීමේ දී, සාලාව අසල සක්මනයෙහි උන් කාන්තාවකට ටිකට් නොමැතිව
ඇතුලට ගොස් නාට්‍ය නරඹන්න යැයි කල ආරාධනයකට, පිලිතුරු වශයෙන් ඇගෙන් ලැබි ඇති පිලිතුර වී

ඇත්තේ;
"චිං! මං යන්නේ නෑ - සිංහල නාට්‍ය බලන්න. මං මේ ඇහුවේ මගේ වැඩකාරිව එවන්න. ඒකිට මේවායෙ
 ඇවිල්ල දහය දොළහ වෙනකල් ඉන්න දෙන්න පුළුවන් යැ" ලෙසට ය. (164 පිටුව)
නුමුදු, සරච්චන්ද්‍රයන් '1956' මනමේ සන්දර්භයේ සඳහන් කරනුයේ එහි රඟ දැක්වූ පළමු දින දැක්වීමට පමණි. 
 මනමේ ක්‍රමයෙන් මහජනයා අතරට යෑමට ටික කලක් ගොස් ඇත. (ඊට චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ ලිපියක්
 ද හේතු වී ඇත.) 1982 දී, රෙජී සිරිවර්දනයන් එම ලිපිය ලිවීම හෝ, ජාතිකවාදියෙකු මනමේ හේතුවෙන් අමරකීර්ති
 කියනාකාරයේ "ජාතික ආඩම්බරය හා ස්වෝත්තම හැඟීම" ප්‍රකාශ කල ඇත්තේ නම් හෝ, එසේ කරන්නේ නම්
 හෝ, ඊට වසර ගණනාවකට - දශක කිහිපයකට පසු කෙරෙන සූත්‍ර ගත කිරීමක්, නැතහොත් දේශපාලන
 අර්ථගැන්වීමක් ලෙස ය, එය සිදුවන්නේ. එය දෙපාර්ශවයෙන් ම සිදු විය හැකි බව පැහැදිලිය. මා මෙම ලිපි කියවීමේදී
 ඊට ආශ්‍රේය ලිපි පරිශීලනය කරනුයේ ම සරච්චන්ද්‍රයන් මනමේ රඟ දැක්වුනු කාලයේ සමාජ සන්දර්භය හැදෑරීමට ය. 
ඒ අර්ථයෙන් "පිං ඇති සරසවි වරමක් දෙන්නේ..." මහත් සේ උපකාරක විය. පෙර කීවාක් මෙන් මනමෙ හා සබැඳි 
දේශපාලන සන්දර්භය අර්ථ දැක්වෙන්නේ ම පසු කලෙක බවකි පෙනී යන්නේ.  අමරකීර්ති පවසනාකාරයෙන්
 සරච්චන්ද්‍රයන් පටු ජාතිකවාදී පසුබිමකින් තොරව මනමෙ නිර්මාණය නොකල බව  ඉතා පැහැදිලිය. එහෙත් ඔහු ට
 එකල සිංහල නාට්‍යයක් සමාජයට ගෙන ඒමෙදි ඔහු ට මුහුණ පාන්නට සිදු වෙන අභියෝග ගැන වැටහීමක් තිබී ඇත
 - ඒවා හුදෙක් නාට්‍ය කලාව සම්බන්ධ ඒව පමණක් නොවන බව දැන් දැන් නොකියවේ.
අමරකීර්ති එතනින් ඔබ්බට සරච්චන්ද්‍ර යනු සර්වභෞමික අයෙකු බව පසක් කරලීමට ඔහු ගේ සාහිත්‍ය භාවිතයත්, 
ආභාශයන් ගැනත් පවසයි. (මෙහි සර්වභෞමික බවෙහි සීමා ගැන , අමරකීර්ති ගේ  "සරච්චන්ද්‍ර විචාරයෙහි සංස්කෘතික
 මූලාශ්‍ර" ලිපිය හා හැදෑරීමට බලාපොරොත්තු වෙමි.)

ප්‍රස්තූත ලිපිය ඔහු අවසන් කරනුයේ  "බුද්ධිමය ඉතිහාසය සහ මනමේ නම් නාටකය" නම් වූ කොටසෙනි.  එහි දී ඔහු පවසනු යේ,
"මනමෙ වැනි සංස්කෘතික නිෂ්පාදනයක නියම ඉතිහාසය නිවැරදිව වටහා ගැනීමට අලුත් පරම්පරාවට අවකාශ නැත්තේ අපට 
බුද්ධිමය ඉතිහාසය නිවැරදිව හදාරන්නට අවකාශ නැති නිසාද විය හැකිය", කියා ය. මෙහි 'නියම ඉතිහාසය' යන්න විමසිය යුත්තකි. 
අකමැත්තෙන් හෝ කිව යුත්තේ ප්‍රස්තූත ලිපියෙන් ද මනමේ ගැන කියවෙන්නේ අර්ධ කතාවක් බවයි. ඒ අර්ථයෙන් මට මනමේ සබැඳි 
'ඉතිහාසය' කියවීමට ලැබුනේ, "පිං ඇති සරසවි වරමක් දෙන්නේ.." හි "යළි පේරාදෙණියට: මනමේ නාට්‍යය බිහිවීම" යන කොටසිනි.  
අමරකීර්ති නොකියන පැත්ත සන්සන්දනාත්මක කියවීමක් මගින් සෙවීමට මුල පිටුණේ ද ඒ හේතුවෙනි.  මනමේ, 1956 ලයනල් වෙන්ඩ්ට් 
ආශ්‍රිත ප්‍රදේශයේ පිළිගැන්ම, නොමිලේ හෝ නාට්‍ය නැරඹීමට අකමැති වූ කාන්තාව යන සමාජ වටපිටාව එහි වැදගත් අංශයක් නිරූපනය 
වන්නේ යයි සිතමි.  තව දුරටත් පවසන්නේ නම්, මනමෙ බිහිවීමට පෙර සරච්චන්ද්‍රයන් ඉන්දියාවේ, ඇමරිකාවේ සහ වෙසෙසින් ජපානයේ 
නෝ සහ කබුකි නාට්‍ය ( රශෝමාන් චිත්‍රපටියේ පවා ) ආභාශයත්, එයට දේශීය ආභාෂයක් ඇතුළු කරලීමේ  අවශ්‍යතාව අඳුනාගැනීම 
ගැනත් පැවසෙන්නේ පිං ඇති සරසවි වරමක් දෙන්නේ... හි ප්‍රස්තූත ලිපියෙනුත්, "පේරාදෙණිය : නාට්‍ය කලාවේ දේශීය රීතියක් සෙවීම" 
යන ලිපියෙනුත් ය.  මීට අමතරව මේ පිලිබඳ වඩා ශාස්ත්‍රීය  පෙළගැස්මක් විමල් දිසානායකයන්ගේ Enabling Traditions කෘතියේ 
“Ediriweera Sarachchandra: Tradition and The Birth of Modern Sinhala Drama” ලිපියේ ත්, ඔහුගේ ම නිහඬ නිම් වළල්ල කෘතියේ, "මනමේ 
නාටකය හා භාරතීය නාට්‍ය සම්ප්‍රදාය" යන ලිපියේ ත් හමු වේ. සරච්ච්න්ද්‍රයන්, 1953 දී ජුබාල් ලවා ශාකුන්තලා නිර්මාණයට යෝජනා කල 
විට ලුඩොවයික් එය බැහැර කරන්නේ එය අන්තජාතිවාදී (chauvinistic) හැඟීමකින් කෙරෙන යෝජනාවක් ලෙසට ය. දිසානායකයන්, සරච්චන්ද්‍ර 
"වෙද හටන" නාට්‍යය ජුබාල් විසින් නිෂ්පාදනය කෙරෙද්දි මෙවන් අදහස් පළ කල ඇති බව පවසයි:
"දේශීය නාට්‍ය සම්ප්‍රදායක් ගොඩ නැඟීමට නම්, අප මෙතෙක් කල් කර අත්තේ බටහිර නාටකයේ ආභාසය ලැබීමට තැත් කිරීම පමණි. 
විශ්ව කිර්තියට පත් නාට්‍ය ගණනාවක් ඇති සංස්කෘත සාහිත්‍යය දෙසට අප නෙත් යොමු කළ යුතු අවධිය දැන් පැමිණ තිබේ. අපේ
සභ්‍යත්වයට  වඩාත් ළං වන භාර්තීය සභ්‍යත්වයෙන් පැන නැගුණු සංස්කෘත දෘෂ්‍ය කාව්‍යයෙන්  ආභසය ලැබීමෙන් අපට දේශීය නාට්‍ය
සම්ප්‍රදායක් ගොඩ නැඟීමට පුළුවන් වනු ඇත. සංස්කෘත නාට්‍යයෙන් පමණක්  නො ව, අපේ ජාතික දායාදයන් වශයෙන් තවමත් ඉතිරි ව
ඇති සොකරි, කෝලම් වැනි ජන සම්මත නාට්‍ය ක්‍රමවලින් ද ආභාසය ලබීම ඉතා අවශ්‍යය." ( 60 වැනි පිටුව - නිහඬ නිම් වළල්ල )
සරච්චන්ද්‍ර ට අනුව වෙද හටන නාට්‍යය දර්ශනයක් මගදී ජුබාල් හා බහින් බස් වීමකින් පසුව එම නාට්‍යය අතැර පැමිණ ඇත. 
බුද්ධිමය ඉතිහාසය හැදෑරීම පිළිබඳ සිත්ගන්නා සුළු නිදර්ශනයක් ද අමරකීර්ති, ගාන්ධි, ටොල්ස්ටෝයිගෙන් ලත් ආභාසය ත්, පසුව
ගාන්ධි හේතුවෙන් මාටින් ලූතර් කිං ට වූ ආභාෂයත්   පෙන්වා දීමෙන් මතු කරයි.  මෙවන් සැලකිය යුතු කාල පරාසයක් තුල බුද්ධිමය
හැදෑරීමේ ව්‍යායාමයක යම් අයෙක් නිරත වන්නේ නම්,  එසේ තෝරා ගන්නා කාල පරාසය තුල සිදු වූ සිදුවීම් පෙළක් මනමෙ ආශ්‍රයෙන් ද 

සිදු කරලීම වඩා ඖචිත බව සිතේ.  එවන් කාල පරාසයක් ගෙන මනමේ පිළිබඳ සංවාදයක් නගන්නේ නම්, 1930-1940 දශකය සහ 1950 දශකයේ 
මුල් බාගයේ සංස්කෘතික දේශපාලන පසුබිම  හමුවේ මනමේ බිහිවීමත්, ඊට ලැබූ කලා ආභාෂයනුත් පෙන්වා දී, අනතුරුව ජාතිකවාදීන් පසු 
කලෙක එය ඔසවාගෙන යාම හෝ, රෙජී සිරිවර්ධනයන් සහ සුචරිත ගම්ලතුන් එම ප්‍රවණතාව මතුකරලීම හෝ, පෙන්වා දීම වඩා පරිපූර්ණ බවක් 
මට හැඟේ.
ඉහත ව්‍යායාමය සිතිවිලි සිතිජය කෘතියේ එන එක් ලිපියක් ආශ්‍රයෙන් මා පෞද්ගලිකව සිදු කල හැදෑරීමකින් පසු ව පහළ වූ සිතුවිලිය . ලේඛක 
තෙමේ  තම ලිපිය හුදෙක් රචනාවක් පමණක් බවත්, ශාස්ත්‍රීය ලියවිල්ලක් නොවන බවත් පවසන්නේ ය.  මාගේ ව්‍යායාමය මට තරමක් ආගන්තුක 
විෂයක් පිළිබඳ සරල හැදෑරීමකි - ශාස්ත්‍රීය නොවන ප්‍රථිඵලයකි. උක්ත විෂය පිළිබඳ ශාස්ත්‍රීය ව යමක් ලිවීම මගේ සරල හැකියාවන්ගෙන් ඔබ්බෙහි 
පවතින්නකි.

මෙම ලිපිය අමරකීර්ති, මනමේ ප්‍රත්‍යවලෝකන කෘතිය දොරට වැඩූ දවසේ කල දේශනයක් ඇසුරෙන් ලියූවක් හෙයින්  ලිපියේ සීමිත පරාසය 
ගැන ද තේරුම් ගත හැකිය. ( පූර්විකාවේ දී ද, "රචනාවකදී පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ලිපියකදී තරම් සුපරික්ෂාවෙන් ශාස්ත්‍රීය  ලේඛන ශෛලිය 
අනුගමනය" නොකරන බව, අමරකීර්ති ම පවසයි - 9 වෙනි පිටුව -  එහෙත් සාමාන්‍ය පාඨකයෙකු එය එසේ සලකන්නේ ද යන්න ම ගැටළුවකි.  
අමරකීර්ති මා මෙහි පරිශීලනය කල කෘති සියල්ලම පාහේ -නිහඬ නිම් වළල්ල සහ , කලාව සහ කතිකාව හැර - ආශ්‍රේය කෘති ලෙස ද දක්වා ඇත. 
ඉදින් මා තැත් කලේ ඒ සියළු ලිපි පරිශීලනයෙන් වඩා පරිපූර්ණ චිත්‍රයක් විග්‍රහ කර ගැනීමට ය. )

ආශ්‍රේය ග්‍රන්ථ:
- පිං ඇති සරසවි වරමක් දෙන්නේ - එදිරිවීර සරච්චන්ද්‍ර
- කලාව සහ කතිකාව - එරික් ඉලයප්ආරච්චි

- නිහඬ නිම් වළල්ල - විමල් දිසානායක
- Enabling Traditions - Wimal Dissanayake

- Selected Writings of Regi Siriwardena- Volume 1 : edited by A.J. Canagaratne

Saturday 6 June 2020

මනෝ රූප ශතකය සහ වෙනත් කවි - විමල් දිසානායක


2015 වසරේ හොඳම පද්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්, එ වසරේ රජත පුස්තක අවසන් වටයට ද පැමිණි, විමල් දිසානායක ගේ "මනෝ රූප ශතකය සහ වෙනත් කවි", කෘතියේ කවි කියවීමට යත්න දැරීමි.
කවි පංති හැටකුත්,  කෙටි "මනෝ රූප" ( poetic moments ) ආරේ කවි "ශතකයෙනුත්" කෘතිය පොහොසත් නුමුදු, මෙහි එන "වෙනත් කවි" 60, මා වඩාත් සිත් ගත්තේ ය. කෘතියේ මේ කොටස් දෙක ගැන කෙටි සටහනක් පහත දැක්වේ.


..වෙනත් කවි : මෙම කවි වලින් බහුතරය, මරණයේ සෙවනැල්ල පිළිබඳ ඉගිකිරීම් ය. කවියා ගෙ අන් කාව්‍ය සංග්‍රහයන් පරිශීලනය නොකල දොසින්, මෙය ඔහු නිතර පද්‍යයට නගන මැයක් දැයි නොදනිමි - එහෙත් එය එසේ විය හැකි බවට සැක කරමි.

"ලොවින් සමු ගන්නට කාලයයි දැන්
ඇතුළු හදෙහි සැඟවුණු තරුවක් කියයි

තැත් කළෙමි සරු දිවියක් ගෙවන්නට
බොහෝ විට එම තැත වැරදිණ

මා මිතුරු සුළඟ මා සොහොන අවට කැලි කසළ
අමදින බව දනිමි වරින් වර හමා විත්"
                                  (කෙළවර)



"මගේ ජීවන පොතෙහි
අවසාන පිටු ටිකට
පැමිණ ඇත මා දැනට
කුමක් එහි ලියන්න ද?

...

ජය ලදැයි කියම් දෝ
පැරදි බව කියම් දෝ
බැරිය විසඳන්ට එය
ගැටළුවකි දරුණු මට"
                               ( ජීවන කතා පොත )



"පසිඳුරෝ උරණ වෙති
මා සමඟ රුදුරු ලෙස
ඔවුන් පැන ගොස් තිබේ
මාව තනිකොට ලොවේ

...

රස පහස නොම දැනේ
මහලු සිරුරට කිසිදු
සුවඳ පතුරනු එපා
මල් මිතුරනේ යළිත්
                           (පසිඳුරෝ උරණ වෙති)


පශ්චාත්තාපය විටෙක මහළු විය හා අතිනත ගනී.


"මගේ නිසරු දිවිය
හකුළුවා දක්වන එක සිදුවීමක්
ඔබට දැනගන්ට කියන්නෙමි

මොර සූරන වැස්ස පෙළන රැයක
අහස ගුගුරමින හෙණ හඬ පතුරුවන රැයක
තෙතබරිතව, තරුණියක් මා හදවත දොරටුවට
තට්ටු කොට රැකවරණ ඉල්ලා සිටියාය



...
මම ඇගේ ආයාචනාවට කන් නොදි
දොර තදින් වසා
නින්දට ගියෙමි"
                   ( නිසරු දිවිය )

මේ කවි හැට කියවාගෙන යන කල, සාහිත්‍ය රසයෙන් බොහෝ සතුටට පත් මා, ඇඳිරි නීතිය ඉවත් කල විගස "ගොඩගේ" එකට ගොස් ඔහුගේ "නාගල කන්ද" සහ "කල්ප විනාශය" යන සංග්‍රහන් ද මිල දී ගත්තෙමි. නාගල කන්ද සහ නික වැව ගැන මේ කාව්‍ය සංග්‍රහයේ ද සඳහන් වන්නේ වරක් දෙවරක් නොවේ. ඔහු ගේ ළමාවිය සහ ගැටවර වියේ මතක ආවර්ජනයේ දී මේ දෙතැන ට ඔහු නිතර පැමිණේ.

"පනස් වසරකට පසු
ආමි යළි නිජබිමට
එකල ගුරු ගෙදර අද
අවන්හල වී තිබේ

...

කුඩා කල මල්ලි හා
මහ ඇඳෙහි නිදාගත්
අයුරු සිහියට නගෙයි
සොඳුරු සිහිනයක් ලෙස

....

තුරු මුදුන් අතර සිට
සිනාසෙයි පුරුදු ලෙස
ම මිත් නාගල කන්ද
කලණ මිතු ද විදා"
        ( පුනරාගනමය )

මනෝ රූප ශතකය: නාගල කන්ද ආශ්‍රයෙන් ම කෘතියේ දෙවෙනි කොටසට යොමු වෙමි. ඔහු ට තම ගැටවර විය මතකයන්ගෙන් මිදීමක් නැත. කවියේ ස්වරයෙන්, තමන් ගත් තීරණ පිළිබඳ සැකයක් ද එබිකම් කරයි. මින් මිනිස් සන්තානයේ අතෘප්තිය, සැකය පිළිබඳ ඉඟියක් දෙයි.

"99. කවියක් මම නොලියමි අද
       නැති වූ කවියක් සොයනෙමි
       නාගල කන්දේ මුදුනත
       නිකවැව පිරි දිය කඳ මැද
       පන්සල වෙත යන පාරේ
       කුසුමින් පිරි නෙක ගස් මැද
       නැති වූ ඒ කවිය සොයමි"

වරෙක ඔහු ගේ මනෝ රූපයක්, වචනයෙන් ම රූප මවනාකාරය විස්මිතයි. ඉතා ඖචිත රුපක වලින් කවිය සාරවත් වෙයි.

"87.  හැකි තරම් වැර යොදා
        විසි කරනෙමි මගේ
        වචන දැල දිය ගැබට
        හිඩැස් අතරින් දැලෙහි
        රිංගලා පලා යයි
        කපටි සිතුවිලි මගේ
        කවියෙ සිර නොවන්නට
        සනිටුහන් කර තදින්"

"...වෙනත් කවි", කොටසින් පෙන්වා දුන් පරිදි, මහළු විය ගෙනෙනා සොව, සන්තාපය මනෝ රූප වශයෙන් ද පෙනී සිටී.

"44. දොර කවුළු වැසෙන විලසින්
        පසිඳුරන් වැසී යනු දැනෙයි
        කාලය රකුසෙකි දයාවක් නැති
       නිහැඬියාව රහසක් කියයි මට"

සමස්ත වශයෙන්, කෘතියේ පළමු කොටස, දෙවැන්න ට වඩා රසවත් බවකි මා ගේ අදහස. ඉන් ම ගම්‍ය වන්නේ කුඩා කවකින් බොහෝ දෑ කීම සාපේක්ෂව අපහසු කර්තව්‍යයක් බවයි. එහෙත්, මෙහි පෙන්වා දුන් නිදසුන් ලෙසින්, කවියා සාර්ථකත්වය ලඟා කරගන්නා අවස්ථා, අපිට කවි මිණි ලබා දෙයි - එහෙත් ඒවා එම කෙටි කවි සියය තුල සුලභ නැත.

ඊට සාපේක්ෂව පළමු කවි පංති හැට රස ගුලාවන් රැසකි. කවියා සාපේක්ෂ වශයෙන් අසාර්ථක වන්නේ සිවු පද ආරට සීමා වීමට යත්න දරද්දී ය. සිවු පද විරිත තුල, මා රස විඳි එක දෝ කවියක් හෝ මෙහි  නොවීය. එපමණක් නොව,  සිවු පදය තුල කවියා ගේ බසේ භාවිතය ද බොහෝ සාමාන්‍ය බවකි මා දුටුවේ.

ඉංග්‍රීසි බසේ ඇළුම් කරනා දෙයක් ලත් කල එය "keeper" යන සරල වදන මගින් එය තබා ගත යුතු යමක් යන්න  ගම්‍ය කරයි. මේ කවි පොත ද එලෙස ය. කවියා අන් කවි පොත් පරිශීලනයත් සමඟ ඔහු ගේ කවීත්වය පිළිබඳ වඩා පූර්ණ අදහස් වැඩෙනු ඇත. එහෙත්, මේ කෘතිය තුලින් නම්, මා දුටු කවියාටත්, ඔහු ගේ කවීත්වයටත් මා රුචිය.  සන්ධිගත පද භාවිතය ආදියත්, වදන් සමඟ කෙළිනාරක් ඔහු කෙරෙන් නොදිස්වේ ( එහි වෙසැදුරු වෙඩිවර්ධනයන් ය). එහෙත්  දිසානායක ගේ උපේක්ෂාවත්, මරණය ගැන නිතර මතක් කරනා ආකාරයත් මට රුචිය. ඔහු ඊට ආගමික බරු එකතු නොකර සිටීම එහි වටිනාකම වැඩි කරයි.

මෙහි නිදසුන් වලට රුචි අයෙකුට සොයාගෙන කියවීමට නිර්දේශ කරමි.