Sunday, 7 June 2020

මනමේ, සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය පිළිබඳ සරල හැදෑරීමක්….



මනමේ, සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය පිළිබඳ සරල හැදෑරීමක්….
  

ලියනගේ අමරකීර්ති ගේ 2019 පළ වූ විවිධ සාහිත-සංස්කෘති හා බැඳි ලිපි රැගත් 'සිතිවිලි සිතිජය' නම්
වූ කෘතිය කියවීම ඇරඹීමි. එහි ඇති නේක මාතෘකා දුටු කල මට හැඟුණේ, ඒ ඒ ලිපි කියවීමට සමාන්තරව,
එම මාතෘකා සාකච්ඡාවට ගැනෙන අන් එවන් කෘති වලින් ද එම මාතෘකාමය  ලිපි සොයා කියවමින්,
තුලනාත්මක කියවීමක ට අවස්තාවක් උදා වෙන බවකි. ඊට හේතු කිහිපයකි - එකක් නම් මා සතු
අනේක කෘති කවදා කියවේවිදෝ යි නොදන්නා කමයි. ඉතින්, ඒවා ආශ්‍රේය ග්‍රන්ථ ලෙස හෝ භාවිත
වන්නේ නම් යෙහෙකිය. අනෙක අමරකීර්ති, තැනෙක ඉතා නූතන ලේඛන ආරකින් සියුම් ව, හකුළුවා
කාරණා පවසන අතර, තවත් කාරණායක් ගැන තමන්ගේ දේශපාලන මතයන්ට අනුකූලව වඩා විවෘත ව
කරුණු කාරණා පැවසීමයි. මට ඇවැසි මේ ඔහු අඟවන දේ සහ නොවලහා කියන දේ යන දෙකම දැන
ගැනීමටය. එනම් "සිතිජය සිතිවිලි" මගින් මෙන්ම, එය පදනමක් කොට ගෙන ඒ ඒ මාතෘකා ඔස්සේ
එම කෘතියෙන් ඔබ්බට ද යම් හැදෑරීමක් කිරීම ය.  මේ අර්ථයෙන්, "පියදාස සිරිසේනගේ නවකතාව
නමැති සංස්කෘතික උරුමය", නම් ලිපිය මුල් කරගෙන යම් හැදෑරීමක් කොට, ඒ ආශ්‍රිත ලිපියක් දැනට
ලියා පළ කොට ඇත.
මේ ලිපිය "මනමේ, සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය" යන ලිපිය මුල් කොට කල
කියවීමක, හැදෑරීමක ප්‍රතිඵලයකි.
මෙම ලිපියේ අමරකීර්ති ගේ ප්‍රවේශය, 'සංස්කෘතික විචාරකයාගේ' එකකි.  එහි පළමු කොටස වන
සංස්කෘතිය හා කලාව
යන කොටසින් සංස්කෘතියේ සං‍රක්ෂණ‍යේ ත්, එනමැති ම  දෙවෙනි කොටසින් 
සංස්කෘතික සංස්කරණයේ ත්  සාර්ථක සංසන්දනයක යෙදෙයි.  අමරකීර්ති ගේ ස්ථාවරය තහවුරු
කරමින්,   වෙසෙසින් චුල්ල ධනුද්ධර ජාතකයේ එන සාම්ප්‍රදායික කතාවෙන් බැහැර ව "බිසව කෙරෙහි
අනුකම්පා සහගත" දෘෂ්ටියකින් බැලූ බවට සරච්චන්ද්‍රයන් 1985 දී ලියූ "පිං ඇති සරසවි වරමක් දෙන්නේ..."
කෘතියෙහි පවසන්නේ ඒ පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහ ගේ අදහස ද  ප්‍රතික්ශේප කරමිනි (156 පිටුව ).
ඒ, කුමරිය සතු වූ තාවකාලික "මොහොතක දෙගිඩියාවක්" හේතුවෙන් බවත් සරච්චන්ද්‍ර තව දුරටත්
පවසයි ( 187 පිටුව). අමරකීර්ති මීට වඩා පූර්ණ අර්ථකතනයක් දක්වනුයේ, කලා කෘතියක  සහජ
ලක්ෂණයක් ලෙස,  කාලනුරූපිත ව අලුත් අර්ථකතන සැපයීමේ හැකියාව ක්ෂාත්ක්ෂාත් කරමිනි.
ඔහු මෙසේ අර්ථ දක්වයි:
"ඇය (කුමරිය) කරන්නේ ආචාරධාර්මික තර්කනයකි. හොඳ-නරක විනිශ්චයකි." ඒ තම ගෝලයන්
ලවා මනමේ කුමරා මරනු වෙනුවට ආචාරධර්ම පද්ධතියක පිහිටා තනි සටනට වැදි රජු එළඹීම
හේතුවෙනි.  මෙය නූතන අර්ථකතනයකි - නුමුත් වලංගු අර්ථකතනයකි. කිමද අමරකීර්ති ස්ත්‍රිය,
පුරුෂ දෘෂ්ටිවාදය  පුනරුච්චාරණය වෙනුවට ඇයට ස්වච්ඡන්දතාව හා ස්වාධීනත්වය හිමි බව  පසක්
කරන හෙයිනි.  මෙම අදහස මේ අයුරින් ම සරච්චන්ද්‍ර මනසේ ( 1950 දශකයේ මුල් බාගයේ ) නොවූව ද,
එහි තමන් විසූ යුගයට ඖචිතාකාරයෙන් බීජානු ආකාරයෙන් තුබූ බව සිතීමට අපහසු නැත. එය
අදහසක් ලෙස අමරකීර්ති 2019 දී පවසන දේ හි ළඳරු අවස්තාවක් විය හැක  යි. 
 තවත් තැනෙක සරච්චන්ද්‍රයන් මෙසේ මැසිවිලි නගයි.
"මනමේ දෙස නොයෙක් දේශපාලනමය දෘෂ්ටිවලින් බලා අදහස් ප්‍රකාශ කරන ලද නමුත්, එහි
සාහිත්‍යමය ලක්ෂණ හෝ කාව්‍යමය ලක්ෂණ (මේ දෙකම එකකි) විග්‍රහ කොට ඉදිරිපත් කරන ලද
විචාර ලිපියක් වත් පළ නොවීම ගැන මම පුදුම වෙමි", කියා ය. අමරකීර්ති පවා  අමරසේකරුන්
සරච්චන්ද්‍ර "විසිවන සියවසේ විශිෂ්ඨම කවියෙක්" ලෙස නම් කිරීම හා එකඟ වන බව කියමින් තම
ලිපිය ඇරඹුව ද, වඩාත් සාකච්ඡාවට බඳුන් කරනුයේ සමාජ දේශපාලන අංශය යි. ඒ අතින් එරික්
ඉලයප්ආරච්චි ලියූ "සරච්චන්ද්‍ර, නීෂේ සහ කේමදාස" ලිපිය ඉතා වැදගත් යැයි සිතමි. ඕනෑම
නාට්‍යකරුවකුට, නාට්‍ය කලාවට  කල හැකි උපරිම සේවය ඛේදාන්තයක් ලබා දීම බව  ඉලයප්ආරච්චි ගේ
මතයයි.  ඛේදාන්තය වූ කලි, ශූන්‍යතාව සහ සාර්වශුභවාදය අතර වූ ගැටීමේ ප්‍රතිඵලය බවත්,
නාට්‍යකරුවෙකු ලෙස සරච්චන්ද්‍ර එම සේවය උපරිමයෙන් ඉටු කල ද සංගීත පාර්ශවයෙන් ජන ගී
ආකෘති තුල සිරවුණ බවකි, ඉලයප්ආරච්චි ගේ අදහස.
"මෙරට ශාස්ත්‍රාලීය ප්‍රජාව සහ සාහිත්‍යධරයන්ගෙන් බහුතරය තවමත් විශ්වාස කරන්නේ සරච්චන්ද්‍ර ට්‍රැජඩිය
සිංහල සංගීත නාටකයේ කූඨප්‍රාප්තිය බවයි. මෙය වැරදි නිගමනයකි. සරච්චන්ද්‍ර නාටකයෙන් මතුවන
ඇපලෝනියානු ධර්මතාව ඔස්‌සේ මෙරට සරසවි සහ උගත් මැද පන්තිය ඇපලෝසියානු හෙජමොනියක්‌
ගොඩනඟා ගෙන සිටිති. සිංහල ඛේදාන්තය තුළ කැපී පෙනෙන ඩියෝනීසියානු ඌනතාව හඳුනාගැනීම
හෝ පැහැදිලිකර ගැනීමට හෝ එම ප්‍රජාව කැමැති නැත. ඔවුන්ගේ වුවමනාව වන්නේ සංගීතය සිංහල
ඛේදාන්තයට පිටින් හුදෙක්‌ සරල ගීත‍ෙයහි රඳවා තැබීමයි. මේ අතින් සිංහල සංගීතය තවමත් සිංහල
සාහිත්‍යය ප්‍රමුඛ කර ගත් සිංහල සංස්‌කෘතියේ ඇපලෝනියානු හෙජමොනියක්‌ විසින් පාගාගෙන සිටින
කලාවකි."  (කලාව හා කතිකාව, 50 වෙනි පිටුව  - එරික් ඉලයප්ආරච්චි)
මේ සංගීත භාවිතාව පිළිබඳ අදහස, සරච්චන්ද්‍රයන්ගේ සර්වභෞමිකත්වය ගැන සාකච්ඡා කිරීමේදී ද
සැලකිය යුත්තකි.
අමරකීර්ති තව දුරටත් ස්ත්‍රී වාදී අදහස් මගින්, පෙර කී ස්වච්ඡන්දතාවය ගැන අදහස් ඉදිරියට ගෙන
යන්නේ, සංස්කෘතික-දේශපාලන ආනතියකට ලංවය. ඔහු ගේ අදහස් මනමෙ නාට්‍යය යන්නට සීමා
නොවී, පුළුල් අර්ථයෙන් ලියැවී ඇත.
ලිපිකරු ඉන් අනතුරුව "මනමේ නිර්මාණය වූ සන්දර්භය හා එහි ඓතිහාසිකත්වය" ට යොමු වෙයි.
එහි ආරම්භයේ හේ මෙසේ පවසයි;
"මනමෙ වෙතින් ඇරඹි සරච්චන්ද්‍ර කලාව මෙරට පනස් හයේ දරුවන්ට විශාල සංස්කෘතික ප්‍රාග්ධනයක්
සැපයූ බව නොරහසකි."
මෙය විමසිය යුතු කාරණාවකි. ඔහු පදනම් කර ගනුයේ රෙජී සිරිවර්ධනයන් 1982 දී කියූ කාරණාවක්
යැයි සිතීමට, කරුණු ලිපිය තුලින් ම සැලසේ. සිරිවර්දන, Lanka Guardian සඟරාව ට Rekhava, Maname
and 1956 යන ලිපිය ආශ්‍රයෙන් මෙවැන්නක් පවසයි. (
Selected Writings of Regi Siriwardena- Volume 1 :
edited by A.J. Canagaratne
"Nobody thought twenty-five years ago of making a sociological study of the theatre going audience.
But from impressions of the spectators who came to performances of Maname in its early years at
the Borella YMBA and Lumbini, I would hazard the guess that the new audience of 1956 and immediately
succeeding years was composed predominantly of urban lower middle class Sinhala speaking people...
However, the broadening of the theatre audience by Maname in 1956 was a significant phenomenon...
In the socio-cultural climate of 1956 this process was assisted by the fact Maname and the form it brought
to the contemporary stage was a renewal of a traditional form of the Sinhala folk drama... part of the
appeal that the play had to audiences and critics was in its rediscovery of an indigenous folk tradition;
it was in consonance with the climate of Sinhala cultural revivalism in after 1956." (pages 490-491)
මේ ලිපියේ කාරණා, 1985 ලියූ පිං ඇති සරසවි වරමක් දෙන්නේ... හි සරච්චන්ද්‍රයන් පවසනා කාරණා හා සසඳමි.
සරච්චන්ද්‍රයන් මනමේ ගැන මෙවැන්නක් පවසයි. මනමේ ප්‍රථම වරට ලයනල් වෙන්ඩ්ට් හී රංගනයේ දී සිටි
නරඹන්නන් ගණන පනහක් පමණ ය. ඒ සරච්චන්ද්‍රයන්, මෙම නාට්‍ය රංගනයට ලයනල් වෙන්ඩ්ට් නුසුදුසු
බැව් සිතා සිටිය දී, එවකට අයිතිකරු හැරල්ඩ් පීරිස් මහතා ගේ බලවත් ඉල්ලීම මත එහි රඟදැක්වූ අවස්තාවෙහි ය.
ඒ සරච්චන්ද්‍රයන් පවසන පරිදි සිංහල දේ හෙළා දකින්නන් පිරිසක් මධ්‍යයේ එය රඟ දැක්වීම නුසුදුසු යැයි සිතූ
නිසා ය.  "සිංහල නාට්‍ය කලාව කෙබඳු තත්වයක තිබුණි දැයි වටහා ගැනීමට උපකාර වෙන සිද්දීයක්"  කියා
පාන සරච්චන්ද්‍ර, නාට්‍ය රඟ දැක්වීමේ දී, සාලාව අසල සක්මනයෙහි උන් කාන්තාවකට ටිකට් නොමැතිව
ඇතුලට ගොස් නාට්‍ය නරඹන්න යැයි කල ආරාධනයකට, පිලිතුරු වශයෙන් ඇගෙන් ලැබි ඇති පිලිතුර වී

ඇත්තේ;
"චිං! මං යන්නේ නෑ - සිංහල නාට්‍ය බලන්න. මං මේ ඇහුවේ මගේ වැඩකාරිව එවන්න. ඒකිට මේවායෙ
 ඇවිල්ල දහය දොළහ වෙනකල් ඉන්න දෙන්න පුළුවන් යැ" ලෙසට ය. (164 පිටුව)
නුමුදු, සරච්චන්ද්‍රයන් '1956' මනමේ සන්දර්භයේ සඳහන් කරනුයේ එහි රඟ දැක්වූ පළමු දින දැක්වීමට පමණි. 
 මනමේ ක්‍රමයෙන් මහජනයා අතරට යෑමට ටික කලක් ගොස් ඇත. (ඊට චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ ලිපියක්
 ද හේතු වී ඇත.) 1982 දී, රෙජී සිරිවර්දනයන් එම ලිපිය ලිවීම හෝ, ජාතිකවාදියෙකු මනමේ හේතුවෙන් අමරකීර්ති
 කියනාකාරයේ "ජාතික ආඩම්බරය හා ස්වෝත්තම හැඟීම" ප්‍රකාශ කල ඇත්තේ නම් හෝ, එසේ කරන්නේ නම්
 හෝ, ඊට වසර ගණනාවකට - දශක කිහිපයකට පසු කෙරෙන සූත්‍ර ගත කිරීමක්, නැතහොත් දේශපාලන
 අර්ථගැන්වීමක් ලෙස ය, එය සිදුවන්නේ. එය දෙපාර්ශවයෙන් ම සිදු විය හැකි බව පැහැදිලිය. මා මෙම ලිපි කියවීමේදී
 ඊට ආශ්‍රේය ලිපි පරිශීලනය කරනුයේ ම සරච්චන්ද්‍රයන් මනමේ රඟ දැක්වුනු කාලයේ සමාජ සන්දර්භය හැදෑරීමට ය. 
ඒ අර්ථයෙන් "පිං ඇති සරසවි වරමක් දෙන්නේ..." මහත් සේ උපකාරක විය. පෙර කීවාක් මෙන් මනමෙ හා සබැඳි 
දේශපාලන සන්දර්භය අර්ථ දැක්වෙන්නේ ම පසු කලෙක බවකි පෙනී යන්නේ.  අමරකීර්ති පවසනාකාරයෙන්
 සරච්චන්ද්‍රයන් පටු ජාතිකවාදී පසුබිමකින් තොරව මනමෙ නිර්මාණය නොකල බව  ඉතා පැහැදිලිය. එහෙත් ඔහු ට
 එකල සිංහල නාට්‍යයක් සමාජයට ගෙන ඒමෙදි ඔහු ට මුහුණ පාන්නට සිදු වෙන අභියෝග ගැන වැටහීමක් තිබී ඇත
 - ඒවා හුදෙක් නාට්‍ය කලාව සම්බන්ධ ඒව පමණක් නොවන බව දැන් දැන් නොකියවේ.
අමරකීර්ති එතනින් ඔබ්බට සරච්චන්ද්‍ර යනු සර්වභෞමික අයෙකු බව පසක් කරලීමට ඔහු ගේ සාහිත්‍ය භාවිතයත්, 
ආභාශයන් ගැනත් පවසයි. (මෙහි සර්වභෞමික බවෙහි සීමා ගැන , අමරකීර්ති ගේ  "සරච්චන්ද්‍ර විචාරයෙහි සංස්කෘතික
 මූලාශ්‍ර" ලිපිය හා හැදෑරීමට බලාපොරොත්තු වෙමි.)

ප්‍රස්තූත ලිපිය ඔහු අවසන් කරනුයේ  "බුද්ධිමය ඉතිහාසය සහ මනමේ නම් නාටකය" නම් වූ කොටසෙනි.  එහි දී ඔහු පවසනු යේ,
"මනමෙ වැනි සංස්කෘතික නිෂ්පාදනයක නියම ඉතිහාසය නිවැරදිව වටහා ගැනීමට අලුත් පරම්පරාවට අවකාශ නැත්තේ අපට 
බුද්ධිමය ඉතිහාසය නිවැරදිව හදාරන්නට අවකාශ නැති නිසාද විය හැකිය", කියා ය. මෙහි 'නියම ඉතිහාසය' යන්න විමසිය යුත්තකි. 
අකමැත්තෙන් හෝ කිව යුත්තේ ප්‍රස්තූත ලිපියෙන් ද මනමේ ගැන කියවෙන්නේ අර්ධ කතාවක් බවයි. ඒ අර්ථයෙන් මට මනමේ සබැඳි 
'ඉතිහාසය' කියවීමට ලැබුනේ, "පිං ඇති සරසවි වරමක් දෙන්නේ.." හි "යළි පේරාදෙණියට: මනමේ නාට්‍යය බිහිවීම" යන කොටසිනි.  
අමරකීර්ති නොකියන පැත්ත සන්සන්දනාත්මක කියවීමක් මගින් සෙවීමට මුල පිටුණේ ද ඒ හේතුවෙනි.  මනමේ, 1956 ලයනල් වෙන්ඩ්ට් 
ආශ්‍රිත ප්‍රදේශයේ පිළිගැන්ම, නොමිලේ හෝ නාට්‍ය නැරඹීමට අකමැති වූ කාන්තාව යන සමාජ වටපිටාව එහි වැදගත් අංශයක් නිරූපනය 
වන්නේ යයි සිතමි.  තව දුරටත් පවසන්නේ නම්, මනමෙ බිහිවීමට පෙර සරච්චන්ද්‍රයන් ඉන්දියාවේ, ඇමරිකාවේ සහ වෙසෙසින් ජපානයේ 
නෝ සහ කබුකි නාට්‍ය ( රශෝමාන් චිත්‍රපටියේ පවා ) ආභාශයත්, එයට දේශීය ආභාෂයක් ඇතුළු කරලීමේ  අවශ්‍යතාව අඳුනාගැනීම 
ගැනත් පැවසෙන්නේ පිං ඇති සරසවි වරමක් දෙන්නේ... හි ප්‍රස්තූත ලිපියෙනුත්, "පේරාදෙණිය : නාට්‍ය කලාවේ දේශීය රීතියක් සෙවීම" 
යන ලිපියෙනුත් ය.  මීට අමතරව මේ පිලිබඳ වඩා ශාස්ත්‍රීය  පෙළගැස්මක් විමල් දිසානායකයන්ගේ Enabling Traditions කෘතියේ 
“Ediriweera Sarachchandra: Tradition and The Birth of Modern Sinhala Drama” ලිපියේ ත්, ඔහුගේ ම නිහඬ නිම් වළල්ල කෘතියේ, "මනමේ 
නාටකය හා භාරතීය නාට්‍ය සම්ප්‍රදාය" යන ලිපියේ ත් හමු වේ. සරච්ච්න්ද්‍රයන්, 1953 දී ජුබාල් ලවා ශාකුන්තලා නිර්මාණයට යෝජනා කල 
විට ලුඩොවයික් එය බැහැර කරන්නේ එය අන්තජාතිවාදී (chauvinistic) හැඟීමකින් කෙරෙන යෝජනාවක් ලෙසට ය. දිසානායකයන්, සරච්චන්ද්‍ර 
"වෙද හටන" නාට්‍යය ජුබාල් විසින් නිෂ්පාදනය කෙරෙද්දි මෙවන් අදහස් පළ කල ඇති බව පවසයි:
"දේශීය නාට්‍ය සම්ප්‍රදායක් ගොඩ නැඟීමට නම්, අප මෙතෙක් කල් කර අත්තේ බටහිර නාටකයේ ආභාසය ලැබීමට තැත් කිරීම පමණි. 
විශ්ව කිර්තියට පත් නාට්‍ය ගණනාවක් ඇති සංස්කෘත සාහිත්‍යය දෙසට අප නෙත් යොමු කළ යුතු අවධිය දැන් පැමිණ තිබේ. අපේ
සභ්‍යත්වයට  වඩාත් ළං වන භාර්තීය සභ්‍යත්වයෙන් පැන නැගුණු සංස්කෘත දෘෂ්‍ය කාව්‍යයෙන්  ආභසය ලැබීමෙන් අපට දේශීය නාට්‍ය
සම්ප්‍රදායක් ගොඩ නැඟීමට පුළුවන් වනු ඇත. සංස්කෘත නාට්‍යයෙන් පමණක්  නො ව, අපේ ජාතික දායාදයන් වශයෙන් තවමත් ඉතිරි ව
ඇති සොකරි, කෝලම් වැනි ජන සම්මත නාට්‍ය ක්‍රමවලින් ද ආභාසය ලබීම ඉතා අවශ්‍යය." ( 60 වැනි පිටුව - නිහඬ නිම් වළල්ල )
සරච්චන්ද්‍ර ට අනුව වෙද හටන නාට්‍යය දර්ශනයක් මගදී ජුබාල් හා බහින් බස් වීමකින් පසුව එම නාට්‍යය අතැර පැමිණ ඇත. 
බුද්ධිමය ඉතිහාසය හැදෑරීම පිළිබඳ සිත්ගන්නා සුළු නිදර්ශනයක් ද අමරකීර්ති, ගාන්ධි, ටොල්ස්ටෝයිගෙන් ලත් ආභාසය ත්, පසුව
ගාන්ධි හේතුවෙන් මාටින් ලූතර් කිං ට වූ ආභාෂයත්   පෙන්වා දීමෙන් මතු කරයි.  මෙවන් සැලකිය යුතු කාල පරාසයක් තුල බුද්ධිමය
හැදෑරීමේ ව්‍යායාමයක යම් අයෙක් නිරත වන්නේ නම්,  එසේ තෝරා ගන්නා කාල පරාසය තුල සිදු වූ සිදුවීම් පෙළක් මනමෙ ආශ්‍රයෙන් ද 

සිදු කරලීම වඩා ඖචිත බව සිතේ.  එවන් කාල පරාසයක් ගෙන මනමේ පිළිබඳ සංවාදයක් නගන්නේ නම්, 1930-1940 දශකය සහ 1950 දශකයේ 
මුල් බාගයේ සංස්කෘතික දේශපාලන පසුබිම  හමුවේ මනමේ බිහිවීමත්, ඊට ලැබූ කලා ආභාෂයනුත් පෙන්වා දී, අනතුරුව ජාතිකවාදීන් පසු 
කලෙක එය ඔසවාගෙන යාම හෝ, රෙජී සිරිවර්ධනයන් සහ සුචරිත ගම්ලතුන් එම ප්‍රවණතාව මතුකරලීම හෝ, පෙන්වා දීම වඩා පරිපූර්ණ බවක් 
මට හැඟේ.
ඉහත ව්‍යායාමය සිතිවිලි සිතිජය කෘතියේ එන එක් ලිපියක් ආශ්‍රයෙන් මා පෞද්ගලිකව සිදු කල හැදෑරීමකින් පසු ව පහළ වූ සිතුවිලිය . ලේඛක 
තෙමේ  තම ලිපිය හුදෙක් රචනාවක් පමණක් බවත්, ශාස්ත්‍රීය ලියවිල්ලක් නොවන බවත් පවසන්නේ ය.  මාගේ ව්‍යායාමය මට තරමක් ආගන්තුක 
විෂයක් පිළිබඳ සරල හැදෑරීමකි - ශාස්ත්‍රීය නොවන ප්‍රථිඵලයකි. උක්ත විෂය පිළිබඳ ශාස්ත්‍රීය ව යමක් ලිවීම මගේ සරල හැකියාවන්ගෙන් ඔබ්බෙහි 
පවතින්නකි.

මෙම ලිපිය අමරකීර්ති, මනමේ ප්‍රත්‍යවලෝකන කෘතිය දොරට වැඩූ දවසේ කල දේශනයක් ඇසුරෙන් ලියූවක් හෙයින්  ලිපියේ සීමිත පරාසය 
ගැන ද තේරුම් ගත හැකිය. ( පූර්විකාවේ දී ද, "රචනාවකදී පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ලිපියකදී තරම් සුපරික්ෂාවෙන් ශාස්ත්‍රීය  ලේඛන ශෛලිය 
අනුගමනය" නොකරන බව, අමරකීර්ති ම පවසයි - 9 වෙනි පිටුව -  එහෙත් සාමාන්‍ය පාඨකයෙකු එය එසේ සලකන්නේ ද යන්න ම ගැටළුවකි.  
අමරකීර්ති මා මෙහි පරිශීලනය කල කෘති සියල්ලම පාහේ -නිහඬ නිම් වළල්ල සහ , කලාව සහ කතිකාව හැර - ආශ්‍රේය කෘති ලෙස ද දක්වා ඇත. 
ඉදින් මා තැත් කලේ ඒ සියළු ලිපි පරිශීලනයෙන් වඩා පරිපූර්ණ චිත්‍රයක් විග්‍රහ කර ගැනීමට ය. )

ආශ්‍රේය ග්‍රන්ථ:
- පිං ඇති සරසවි වරමක් දෙන්නේ - එදිරිවීර සරච්චන්ද්‍ර
- කලාව සහ කතිකාව - එරික් ඉලයප්ආරච්චි

- නිහඬ නිම් වළල්ල - විමල් දිසානායක
- Enabling Traditions - Wimal Dissanayake

- Selected Writings of Regi Siriwardena- Volume 1 : edited by A.J. Canagaratne

No comments:

Post a Comment