Showing posts with label විචාර ලිපියකි. Show all posts
Showing posts with label විචාර ලිපියකි. Show all posts

Tuesday, 23 June 2020

සරච්චන්ද්‍රයන්ගේ සාර්වභෞමිකත්වය පිළිබඳ යම් හැදෑරීමකි



ලියනගේ අමරකීර්ති ගේ සිතිවිලි සිතිජය කෘතියේ හමුවෙන "සරච්චන්ද්‍ර විචාරයෙහි මූලාශ්‍ර" ලිපිය ආරම්භයේ ම ලේඛකයා මතු කරනුයේ, සරච්චන්ද්‍රයන්  සාහිත්‍යය විෂය කෙරෙහි, එකල පැවති බ්‍රිතාන්‍ය භාවිත විචාරකයන්ගේ හා ඇමරිකානු නව විචාරකයන්ගෙන් එළිය ලත් බවයි. අමරකීර්ති,  රංජනී ඔබේසේකර ගේ Sinhala Writing and The New Critics (1974) කෘතියත්, සරච්චන්ද්‍රයන්ගේ ම කල්පනාලෝකය සහ සාහිත්‍ය විද්‍යාව කෘතීන් ආශ්‍රයෙනුත් මේ බව පෙන්වා දෙයි. අමරකීර්ති මෙසේ පවසයි:
"මේ (බටහිර සාහිත්‍යයේ ආභාසයේ ) ඓතිහාසිකත්වය නිසා පහළ වූ සාහිත්‍යය වටහා ගැනීමට අලුත් න්‍යායික සංකල්ප ගොඩ නැගීමේ අවශ්‍යතාව සරච්චන්ද්‍ර වටහා ගත්තේය. එවකට ලියැවෙමින් පැවති සාහිත්‍යය 'බටහිර අනුකාරකයින්ගේ නිර්මාණ' යැයි බැහැර කොට, සුද්ද සිංහල හෝ සුද්ද සංස්කෘත විචාරයක් සැපයීමට උත්සක නොවීය." ( 29 පිටුව )

 විමල් දිසානායකයන් ද මේ කාරණාව, ඔහු ගේ Enabling Traditions කෘතියේ  සඳහන් කරයි;

"He made use of some of the concepts formulated by these ancient Indian theorists in the light of modern Western criticism, notably New Criticism. In other words, he sought to combine the best of classical Indian poetics and modern Western literary analysis. This propensity of his is well reflected in his books such as, Sahitya Vidyava and Kalpana Lokaya. "( Page 88: Enabling Traditions )
කලාව සම්බන්ධ විවිධ විෂයන් හි දී සරච්චන්ද්‍රයන් ගේ මතය ද වෙනස් ආස්ථානයන් හි සිටි බවකි පෙනෙනුයේ.  ඉහත කී ස්ථානයේ සිටීමට බලපෑ කරුණක් ලෙස, ඔහුගේ ම වචන මෙලෙස දැක්විය හැකිය.
"එ දවස, සිංහල සංස්කෘතිය යන සංකල්පයට පැහැදිලි අර්ථ කථනයක් දීමට නොහැකි වූයේ හේතු දෙකක් නිසා යයි සිතේ. එකක් නම්, ජාතික ව්‍යාපාරයේ නායකයන් පාරම්පරික උගතුන් වීම ය.  වර්තමාන ලෝකය ගැන නොදත් ඔවුනට තුලනාත්මක දර්ශනයක් නොතිබුණි. අනික නම්, අවුරුදු හාරසීයක් පමණ විදේශ ආක්‍රමණ නිසා අපේ සංස්කෘතිය බෙහෙවින් කෙලෙසී, කැඩී බිඳී අභාවයට ගොස් තිබීමය. ශාස්ත්‍ර්‍රානුකූලව සංස්කෘතිය ගැන සිතුවේ මාර්ටින් වික්‍රමසිංහ පමණයි. ඔහුට පෙරදිග ලෝකය පිළිබඳව ද අපරදිග ලෝකය පිළිබඳව ද මනා අවබෝධයක් තිබුණි." ( 1986: ජාතික අනන්‍යතාව පිළිබඳ සිතිවිලි ස්වල්පයක් ; සාර සංග්‍රහය - 238 පිට )
ඉහත ජාතික ව්‍යාපාරය ලෙස වෙසෙසින් පියදාස සිරිසේන සහ අනගාරික ධර්මපාල තුමා ගේ භූමිකාවන් උක්ත සරච්චන්ද්‍ර ලිපියේ සඳහන් ය. පියදාස සිරිසේන නවකතාවන් හි   විටෙක  මිත්‍යාවන් සාධාරණීකරණය කර තිබීම, සරච්චන්ද්‍රයන් පෙන්වා දෙන්නේ නිදසුනක් ලෙසට ය. වික්‍රමසිංහ ද සිරිසේන ගේ මෙම දුර්වලතා පෙන්වා දුන් අවස්ථා ඇත.

  එසේ වුවද, නාට්‍ය විෂයෙහි සරච්චන්ද්‍රයන් තම ස්වර්ණම ය යුගයෙන් පසුව, "ආපසු ගමනක යෙදුණු" බවකට චෝදනා තිබේ.  "සිංහබාහු" සහ "පේමති ජායති සෝකෝ" යන නාට්‍ය නිෂ්පාදනය වන තෙක් හෝ සරච්චන්ද්‍රයන් වඩා විවෘත, සහ ප්‍රගතිගාමි සිතුවිලි තම නාට්‍ය තුලට අවශෝෂණය කල බවකි, ගම්ලතුන් ගේ අදහස (  සරච්චන්ද්‍ර අනුස්මරණ ලිපිය ; විචාර ප්‍රතිවිචාර - සුචරිත ගම්ලත් ). ගම්ලතුන් පවසන්නේ, පේමතී ජායති සෝකෝ වලින් පසුව සරච්චන්ද්‍රයන් ගේ ස්වර්ණමය යුගය අවසන් බවකි.  සරච්චන්ද්‍රයන් තානාපතිවරයෙකු ලෙස සේවය කරන අතර ලියූ "හෙට එච්චර කළුවර නෑ" නවකතාව උකහා දක්වන ගම්ලත්, එහි සරච්චන්ද්‍රයන් 71 කැරැල්ල විවේචනයත්, ඉන් ද පසුව ලියූ වෙස්සන්තර, ලෝමහංස, බවකඩතුරාව ආදි නාට්‍ය මගින් බෞද්ධ දෘෂ්ටිය ප්‍රචාර කිරීමත් පසුගාමීත්වයේ ලක්ෂණ ලෙස ගෙන හැර දක්වයි ( හේ සරච්චන්ද්‍රයන් විෂයෙහි  "විනාස කාලේ විපරීත බුද්ධං" යැයි කියයි ).  ගම්ලතුන් මෙසේ පවසයි:
"ඉතාම ප්‍රගතශීලි විධියට කථා කරපු සරච්චන්ද්‍ර තමයි තෘෂ්ණාව ක්ෂය කරන්න කියන ප්‍රතිගාමි දහම දේශනා කරන්න පටන් ගත්තෙ" ( සරච්චන්ද්‍ර අනුස්මරණ - විචාර ප්‍රතිවිචාර - සුචරිත ගම්ලත් ).
අමරකීර්ති ද පවසන්නෙ, 1956 බිහි වූ මනමේ හේතුවෙන් සහ එහි අනපේක්ෂිත සාර්ථකත්වය හේතුවෙන් සරච්චන්ද්‍රයන් වඩාත් සම්ප්‍රදාය කරා බැඳිණි ද යන්න සොයා බැලිය යුතු කාරණාවක් බවයි.  රෙජී සිරිවර්ධනයන් ගේ  Lanka Guardian සඟරාව ට Rekhava, Maname and 1956 යන ලිපියේ මෙවැනි සඳහනක් යමු වේ. (Selected Writings of Regi Siriwardena- Volume 1 : edited by A.J. Canagaratne )


අමරකීර්ති , කවිය විෂයෙහි, සරච්චන්ද්‍ර කාර්‍යභාරය මෙසේ විමසයි.  කවිය විෂයෙහි වඩා සාම්ප්‍රදායික ආරක් අනුගමනය කල යුතු බව විශ්වාස කල සරච්චන්ද්‍රයන්, අමරසේකර එමග යැවීමේ වගකීම සරච්චන්ද්‍රයන් වෙත පවරයි. තව දුරටත් සිරි ගුනසිංහ ගේ "චින්තන සම්ප්‍රදාය සහ ප්‍රගතිය"  කෘතිය උදෲතයෙන්, අමරකීර්ති,  කවිය නම් විෂයෙහි සරච්චන්ද්‍රයන් තමන් ම සීමා මායීම් බැඳ ගත් බවක් පෙන්වා දෙයි.  අමරකීර්ති ප්‍රශ්ණයක් මතු කරයි;
"..සිංහල සාහිත්‍ය සංස්කෘතියෙහි වූ  බහු සංස්කෘතික ස්වභාවය යථාර්ථවාදීව තේරුම් ගත් සරච්චන්ද්‍ර ක්‍රමයෙන් ඉතා සම්ප්‍රදාය වාදී හා සංස්කෘතික ජාතිකවාදී ( ඔහු අමරසේකර වැනි අන්තවාදියෙක් නොවීය ) විචාරකයකු බවට පත් වූයේ ද? "
අමරකිර්ති, "සිතිවිලි සිතිජය" කෘතියේ ම "මනමේ සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය "  නම් ලිපියේ සරච්චන්ද්‍රයන්ගේ සාර්වභෞමිකත්වය ගැන අගයයි. ඔහු එම ප්‍රකාශයේ  ඇති  සීමා ගැන කතා කරන්නේ මෙම ලිපියේ ය. අනෙක් කාරණාව, බොහෝ විචාරකයින් මෙන්, විචාරකයාගේ දෘෂ්ටිය අනුව ඔවුන් විචාරයට ලක් කරනා කෙනා ද පෙනෙන්න ට පටන් ගනි. පෙර කී ගම්ලත් ගේ ලිපිය ඔහු අවසන් කරනුයේ පන්ති රහිත සමාජයක් ගැන සිහින මවමනි. අමරකීර්ති ද සරච්චන්ද්‍රයන්ගේ "සංස්කෘතික ජාතිකවාදි විචාරකයෙකු" බවට පත් වූයේ ද ගැන විමසන්නේ අද ඔහු සිටිනා දේශපාලන ස්ථාවරේ සිටදැයි හැඟේ.  සරච්චන්ද්‍රයන් සාපේක්ෂ ලෙස ජාතිකත්ව මතවාදයක සැම දා සිටි බව විශ්වාස කිරීමට අවශ්‍ය සාධක තිබේ. එහෙත් ඔහු ඒ පිළිබඳ සිහි බුද්ධියෙන් යුතුව මෙන්ම, එම ව්‍යාපාරයේ සිටි අයගේ සීමාවන් පිළිබඳ අවදියෙන් සිටි අයෙක් ලෙස ය මට නම් පෙනී යන්නේ.
"නිදහස ලැබීමෙන් පසු බලයට පත් ප්‍රථම ලාංකික රජය මෙහිලා ගත් තැත බොහෝ දුරට ප්‍රමාණවත් නොවුණු අතර ජනතාවට ඔවුන්ගේ ඒ ප්‍රයත්නයන් පෙනී ගියේ හාස්‍යජනක ඒවා ලෙසිනි. කෙසේ වුවත්, ලක්දිවට නිදහස ලැබුණු ක්‍රමය ගැන කල්පනා කර බලන විට සංස්කෘතිය  නිර්මාණය කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වීමට හේතු තේරුම් ගැනීම උගහට නොවේ." ( 1962 - ලංකාවේ සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න )

1956 හි දේශපාලන පෙරළියේ සංස්කෘතික උවමනාව පිළිගන්නා සරච්චන්ද්‍ර, නුමුත් මෙසේ ද පවසයි.

"කෙසේ වුවද බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටුවීමෙන් පසු, ප්‍රායෝගික වශයෙන් පැන නැංග ප්‍රශ්නය වුයේ ජනතාවගේ මෙ කොටස් විසින් ඉල්ලා සිටින ලද වරප්‍රසාද හා පහසුකම්වලට සරිලන සේවයක් ඔවුන්ගෙන් මහජනතාවට සිදු වන්නේ ද යන්න ය." ( 1962 - ලංකාවේ සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න )
එක අතකින් මෙය අදට ත් අදාළ නිරීක්ෂණයකි. ඉහත "ජාතික අනන්‍යතාව පිළිබඳ සිතිවිලි ස්වල්පයක්" ලිපියෙන්, 1962 සහ 1986 අතර සරච්චන්ද්‍රයන් ගේ ජාතික සංස්කෘතිය පිළිබඳ මතයන් හි වෙසෙස් වෙනසක් නොවූ බවක් පෙනී යයි. ඒ අතින් බලනා කල ගම්ලතුන් ගේ කියමනේ යම් සත්‍යතාවතවක් තිබුන ද, ජාතික සංස්කෘතිය පිළිබඳ ස්ථාවරය සහ එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටළු ගැන හොඳ අවබෝධයක් සරච්චන්ද්‍රයන් ට තිබූ බවට සිතිය හැක. සරච්චන්ද්‍රයන් සුපරික්ෂාකාරී ලෙස තම මතවාදය තුල හැසිරී ඇති සෙයකි.

අමරකීර්ති මෙහි සාකච්ඡා නොකල ද, කවියටත් වඩා  සංගීතය විෂයෙහි
වෙසෙසින් සරච්චන්ද්‍රයන්ගේ ආස්ථානය මීට ත් වඩා සීමාවන් තුල ක්‍රියාත්මක වූවක් බවකි පෙනෙන්න ට තිබෙන්නේ. මේ බව තිස්ස අබේසේකරයන්ගේ "අයාලේ ගිය සිතක සටහන්" පොත පරිශීලනයෙන් තේරුම් ගත හැක. "නොදනිම් කාගේ දොසා" සහ "පිනවන්ට සවන් ඇසුවන්ට සොඳින්"  යන ලිපි හරහා, සරච්චන්ද්‍රයන් එකල ගුවන් විදුලිය තුල තුබූ අණසකත්, බටහිර සංගීතය හරි හැටි නොදන්නවුන් අත අප සංගීත ආර කොහේ යාවිදෝ යැයි වූ බියකින් පෙළුනු බවක් ද ඔහු හෙළි කරයි. 
"සරච්චන්ද්‍රයන් පෙරදිග සංගීතයට බෙහෙවින් ඇලුම් කළහ. එහි ගායනයන් වාදනයන් අසීමිත් ව රස විඳි ඔහුට ඒ ඇබ්බැහිකම් නිසා දෝ  අපරදිග සංගීත නාද රටාව අරුචි විය. කෝමල ස්වර හා ශ්‍රැති ඔස්සේ තිරස් අතට වර්ධනය වන උත්තර භාරතීය රාගධාරී සංගීත සම්‍ප්‍රදායේ ගැයුම් වැයුම්වලට කනත් දිවත් හුරු වූවාට පසු එය වෙනස් කළ නොහැකි සේ  ඒ කෝව තුළ හිර වෙයි."
(අයාලේ ගිය සිතක සටහන් - 157 පිටුව )
අබේසේකර, තමන් හා ශෙල්ටන් ප්‍රේමරත්නයන් 1992 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රසංගය ට නව වාද්‍ය සංයෝජනයක් භාවිත කරලීම පිළිබඳ සරච්චන්ද්‍ර ගේ මහත් දෝසදර්සනයට ලක් වූ අයුරු මතක් කරයි. ඊට වසරකට පමණ පසුව රාත්‍රී භොජනයක ට හමු වූ විටෙක සරච්චන්ද්‍ර පවසා ඇත්තේ ;
"අපරදිග සංගීතයෙන් ආභාසය ලැබීම වරදක් නො වෙයි. එහෙත් ඒක හරියට කරන්න අපරදිග සංගීතය ගැන නිවැරදි අවබෝධයක් හා භාවිත නුවණක් තියෙන්න ඕන. එහෙම අය සිංහල සංගීත ක්ෂේත්‍රයේ නැහැ.",
කියාය.

එරික් ඉලයප්ආරච්චි ද තම "සරච්චන්ද්‍ර , නීෂේ සහ කේමදාස" යන ලිපියෙන්, සරච්චන්ද්‍ර සංගීත විෂයෙහි සීමාසහිත භාවිතාවක් නිසා අප රට සමස්ත නාට්‍ය සංගීතයට මුහුණ දුන් ප්‍රතිවිපාක ගැන කියා පායි.

"සරච්චන්ද්‍ර සංගීතය, එහි නිර්මාපකයන් කවුරුන් වුව සිංහල වේදිකා සංගීතය ලෙස විකාශය වී දියුණුවට පත්වනු වෙනුවට සරල සංගීතයෙහි සිර විය. සරච්චන්ද්‍රයන්ගේ වේදිකාමය ප්‍රාතිහාර්යය මත පිහිටා මහා සංගීතයක් බිහි කර ගැනීමේ මඟ මේ නිසා ඇවිරී ගියේ ය." ( 54 පිටුව: කලාව සහ කතිකාව )

"සරච්චන්ද්‍රයන් ඉතුරු කළ සිංහල සංගීත නාටකයේ ගැටලු විසඳන්නට කේමදාසට සිදු වූයේ බද්ධ කරන ලද ශාරීරික අවයව සහිතව රෝගිව සිටිය දී ය." ( 59 පිටුව: කලාව සහ කතිකාව )


අද වන විට සිංහල සංගීතය සිර වී ඇති ස්ථානය පිළිබඳ සිතද්දී,  ඉලයප්ආරච්චි කියනා කාරණාව පිළිබඳ එකඟ විය හැකිය.  මෙම ලිපියේ ම, සරච්චන්ද්‍රයන්  පසු කලෙක  කිසිදු පැකිලිමකීන් තොරව, පූර්ණ නිදහසක් සහිතව, තම "මහාසාර" දෙවෙනි නිෂ්පාදනය උදෙසා කේමදාසයන් ට නිදහස ලබා දුන් අයුරු පෙන්වා දෙයි.  මහාසාර දෙවෙනි නිෂ්පාදනය සිදු වූයේ කිනම් වර්ෂයේ දැයි නොදනිමි. එහි පළමු වර නිෂ්පාදනය නම් 1968 දීය.  ඉහත තැනෙක අබේසේකර පවසා ඇත්තේ,  සරච්චන්ද්‍ර සංගීතය ආශ්‍රයෙන් කෝවක සිර වූ බවෙකි. මේ නිරීක්ෂණයන්, සහ සරච්චන්ද්‍රගේ නාට්‍ය සංගීතය භාවිතාව ආශ්‍රයෙන් ඉලයප්ආරච්චි සිදු කර ඇති නිරීක්ෂණත්,  පොදුවේ ගත් කල සරච්චන්ද්‍රයන් යම් ක්ෂේත්‍රයන් හී කොටු වූ බවකුත්, තම මතයෙන් බැහැර වීමට අකමැති බවක් පෙන්නුම් කර ඇති සෙයකි.  අනෙක් අතට සැලකුවහොත්, සුචරිත ගම්ලතුන් ගේ මතය නම්, සරච්චන්ද්‍රයන් ශ්‍රේෂ්ඨ වන්නේ මනමේ, සිංහබාහු සහ පේමති ජායති සෝකෝ යන නාට්‍ය ත්‍රිත්වය නිසයි. වෙසෙසින් තානාපති පට්ටම ලබා ගැනීමත් සමඟ ඔහු ගේ සාපේක්ෂ පිරිහීම සිදුවන බවකි ගම්ලතුන් පවසනුයේ.

දීර්ඝ කාලයක් නිර්මාණ කරණයෙහි රැඳී සිටින්නන් කෙරෙන්,  ඔවුන්ගේ මත වෙනස් වීමත්, කලෙක  විවේචනයට බඳුන් වීමත් දැකිය හැක.  මෙය අප අමරසේකර තුලින් ද දකිමු. මෑතක පළ කල ධාතුසේන කෘතිය සැලකුවහොත් එය ඉඳුරා දේශපාලන පණිවුඩයක් ගම්‍ය කරනු වස් ලියවූවකි. ඔහු ගේ මැද පංතියේ කතා පෙළ සමහර කොටස් මගින් යම් අසංවේදිත්වයක් ප්‍රකට වෙයි.  අමරසේකරුන් "අන්තවාදියා" ලේබලයෙන් බැට කන්නේ, ඔහුගේ දේශපාලන ආස්ථානය නිසා විය යුතුය ( කිම ද ඉහත පෙන්වා දී ඇති ආයුරින්, අයෙක් යම් විෂයක් ආශ්‍රයෙන් වඩා විවෘත ස්ථානයකත්, තවත් විෂයක් පිළිබඳව තමන් වඩාත් කැමති ස්තානයකින් ඈත් වීමට දැඩි   අකමැත්තක් ද පෙන්වන්නට පුළුවන. ) 
  සාර සංග්‍රහයේ ම 1983 ගැන ලිපියක් ලියන සරච්චන්ද්‍රයන්,
"සිංහල ජනතාව තුළ යම් පමණකින් හෝ ශේෂ වී පවත්නා ජාතිකාභිමානය දෙමළ විරෝධි චින්තනයට හා ක්‍රියාදාමයට සීමා වී තිබීම ඛේදයකි. ද්‍රවිඩයන් හෙළා දකින අතර, අප ඉංග්‍රීසියට ආවඩන සැටිත්, බටහිර සංස්කෘතියේ ආක්‍රමණයට ඉතා කැමැත්තෙන් අවනත වන සැටිත් සලකන විට, අප තුළ අවංක ජාතිකාභිමානයක් තිබේද කියා පවා සැක සිතේ." (1983: ඔක්තෝබර් 4, දිවයින; අනාගතය දෙසට විමසුම් ඇසක් )
                                  ලෙස පවසා ඇත. මට  අමරසේකරුන් 1983 ගැන ලියූ විවේචනයක් මතකයට නොනැගේ ( මට හමු නොවූ ලිපියක එවැන්නක් තිබීමට හැකිය.) ඒ අනුව, සරච්චන්ද්‍රයන් වඩාත් විපරම් සහගත ලෙස ජාතිකත්වයට නැඹුරු මතවාදයක සිටි බවකි, මට නම් පෙනෙන්නේ.

අමරකීර්ති ගේ ලිපි දෙක කියවීමේ උවමනාව හේතුවෙන්, මා සරච්චන්ද්‍රයන් යම් තාක් හැදෑරිමි - මට දැනට සිතෙන්නේ, මාර්ටින් වික්‍රමසිංහ ට පසුව වඩා ත් සාධාරණ, මද්‍යස්ථ ස්ථානයක සිටි බුද්ධිමතා සරච්චන්ද්‍රයන් බවකි. එහි සීමා ඇත - සාර්වභෞමිකත්වයෙහි සීමා ඇත. ඉහත ලිපිය ම ඒ ගැන මගේ හැදෑරීමකි  (එය ශාස්ත්‍රීය ලිපියක් නොවන බව කිවිය යුත්තක් ද නොවන තරම් ම පැහැදිලිය.) එහෙත් මට නම් සරච්චන්ද්‍රයන් අප ජාතිකත්ව ධාරාවේ සීමාවන් පිළිබඳ අවබෝධයන් යුතුව ම, ජාතිකත්ව මතයක සැම දා සිටි බවකි පෙනී යන්නේ.   උගත් ගැමි තරුණයන් මෙරට නායකත්වය භාර ගන්නා බවට විශ්වාසයක් ඔහු ට වූ බවක් මා නොසිතමි - ඒ ඔහු අපේ සීමාවන්  හා ගැටළු දුටු නිසා ය.

මා මේ රචනාව ලියා ඇත්තේ බොහෝ වියතුන් ගේ ලිපි මට තේරානාකාරයෙන් පරිශීලනය කොට ය. ඒ කියවූ ලිපි වල කියවෙන ප්‍රශංසා හා විවේචන කියවන කල මට 
Bob Dylan පුත් Jacob Dylan ගේ Wallflowers සංගීත කණ්ඩායම ගැයූ Hand me Down ගිය මතකයට නැගීය. එහි ජේකොබ් ගයනුයේ තම කීර්තිමත් පියා පිළිබඳව ය. එහෙත් ඒ ප්‍රශංසා මුඛයෙන් ම නොවේ:

 
"Now it's not that you have stayed too long
And it's not that you've done something wrong
It's not your fault that you embarrass us all
....
You've been used by an army of kings
You've been touched by the lips of a queen
Now we've all made good use of you
But you won't be needed again

So why don't you move and let someone else in
And make some room for a new harlequin
'Cause you never know when you'll disappoint us again"

 
                                                                                 කියවන්නියට මෙහි වදන් පෙළ පැහැදිලි යැයි සිතමි ( මම කොහොමත් පරිවර්තනයට බොහෝ මැළිය - එය ඉතා ශ්‍රමාධික කටයුත්තකි. )  බොබ්, තම පුතුට මේ ගීයට පිලිතුරු දුන් වගක් මා නොදනිමි. එහෙත් ඔහු තවම තම රළු හඬින් ගීත නිකුත් කරයි. ( හැත්තෑ නව වියැති, නොබෙල් ත්‍යාග ලාභී,  බොබ් ඩිලන් දින කිහිපයකට පෙර ද ඇල්බමයක් නිකුත් කලේ ය.)  ඉහත ගීතයේ "It's not your fault that you embarrass us all" යන පේළිය රැගත් ය.  ඉන් බොහෝ දේ ගම්‍ය වේ. මට අමරසේකර සහ නූතන සාහිත්‍ය ධාරවන් අතර ගැටුමේ දී මේ ගීතය මතකයට ඒ ( සරච්චන්ද්‍රයන් ජීවත් ව සිටිය දී ඔහු ට එම උපමාව වලංගු නොවීය). 

හමාර කිරීම: ඉහළ හැදෑරීම පිළිබඳ මේ ලිපිය ලියන මා, උක්ත විෂය පිළිබඳ ආදුනික මට්ටමේ සිටින්නෙකි. විෂය ඇති උපන් දොළ නිසා, කරුණු සොයා ලියූවත්, මින් කිසිදු අවසන් නිගමනයක් ගැන ඉඟි නොකරමි. ඉහත දක්වා ඇති ආස්ථානයන් හි දෝෂ ම වෙත පෙන්වන අයෙක් ගේ අදහස් දැනගැනීමට කැමැත්තේ, එවන් දෝෂ තිබිය හැකි බවට මට දැ සැක ඇති බැවිනි - කිම ද, මේ විෂයන් පිළිබඳ අවසන් ලිපිය දක්වා පරිශීලනය කොට නැති නිසා ය. කර්තෘ ලියනගේ අමරකීර්ති ගැන පවසතොත්, ඔහු ගැන විශාල ගෞරවයක් ඇත්තේ ඔහු කරනා කාර්‍යබාරය නිසාය. ඔහු නොතිත් පිපාසයෙන්, ආවේශයෙන් මෙන් ප්‍රබන්ධ සාහිත්‍ය වේවා,සාහිත්‍ය විචාර වේවා, සමාජ විචාර වේවා, පරිවර්තන වේවා, මේ සියළු අංශ කෙරෙහි කෙරෙන මැදිහත්වීම පිළිබඳ ඇත්තේ මහත් ගෞරවයක් ම පමණකි.  සාහිත්‍ය ක්ෂේත්‍රයේත්, සමාජ ජාල තුලත් ඔහුගේ ඒ මැදිහත් වීම හේතුවෙන් ම, අපි වැනි එම විෂයන් වලට නවකයන් ට  යම් හැදෑරීමක් කරලීමට ලැබෙන අවස්ථාව ට මහත් ස්තූති පූර්වක වෙමු.


ආශ්‍රේය සාහිත්‍ය:
-සාර සංග්‍රහය - එදිරිවීර සරච්චන්ද්‍ර ( සංස්කරණය - පී.බී. ගලහිටියාව / කේ. ඇන්. ඕ. ධර්මදාස )
- අයාලේ ගිය සිතක සටහන් - තිස්ස අබේසේකර
- කලාව සහ කතිකාව - එරික් ඉලයප්ආරච්චි
-
විචාර ප්‍රතිවිචාර - සුචරිත ගම්ලත්
- (Breach) - The Wallflowers
- Enabling Traditions - Wimal Dissanayake








Sunday, 7 June 2020

මනමේ, සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය පිළිබඳ සරල හැදෑරීමක්….



මනමේ, සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය පිළිබඳ සරල හැදෑරීමක්….
  

ලියනගේ අමරකීර්ති ගේ 2019 පළ වූ විවිධ සාහිත-සංස්කෘති හා බැඳි ලිපි රැගත් 'සිතිවිලි සිතිජය' නම්
වූ කෘතිය කියවීම ඇරඹීමි. එහි ඇති නේක මාතෘකා දුටු කල මට හැඟුණේ, ඒ ඒ ලිපි කියවීමට සමාන්තරව,
එම මාතෘකා සාකච්ඡාවට ගැනෙන අන් එවන් කෘති වලින් ද එම මාතෘකාමය  ලිපි සොයා කියවමින්,
තුලනාත්මක කියවීමක ට අවස්තාවක් උදා වෙන බවකි. ඊට හේතු කිහිපයකි - එකක් නම් මා සතු
අනේක කෘති කවදා කියවේවිදෝ යි නොදන්නා කමයි. ඉතින්, ඒවා ආශ්‍රේය ග්‍රන්ථ ලෙස හෝ භාවිත
වන්නේ නම් යෙහෙකිය. අනෙක අමරකීර්ති, තැනෙක ඉතා නූතන ලේඛන ආරකින් සියුම් ව, හකුළුවා
කාරණා පවසන අතර, තවත් කාරණායක් ගැන තමන්ගේ දේශපාලන මතයන්ට අනුකූලව වඩා විවෘත ව
කරුණු කාරණා පැවසීමයි. මට ඇවැසි මේ ඔහු අඟවන දේ සහ නොවලහා කියන දේ යන දෙකම දැන
ගැනීමටය. එනම් "සිතිජය සිතිවිලි" මගින් මෙන්ම, එය පදනමක් කොට ගෙන ඒ ඒ මාතෘකා ඔස්සේ
එම කෘතියෙන් ඔබ්බට ද යම් හැදෑරීමක් කිරීම ය.  මේ අර්ථයෙන්, "පියදාස සිරිසේනගේ නවකතාව
නමැති සංස්කෘතික උරුමය", නම් ලිපිය මුල් කරගෙන යම් හැදෑරීමක් කොට, ඒ ආශ්‍රිත ලිපියක් දැනට
ලියා පළ කොට ඇත.
මේ ලිපිය "මනමේ, සංස්කෘතික ඉතිහාසය හා සංස්කෘතික විචාරය" යන ලිපිය මුල් කොට කල
කියවීමක, හැදෑරීමක ප්‍රතිඵලයකි.
මෙම ලිපියේ අමරකීර්ති ගේ ප්‍රවේශය, 'සංස්කෘතික විචාරකයාගේ' එකකි.  එහි පළමු කොටස වන
සංස්කෘතිය හා කලාව
යන කොටසින් සංස්කෘතියේ සං‍රක්ෂණ‍යේ ත්, එනමැති ම  දෙවෙනි කොටසින් 
සංස්කෘතික සංස්කරණයේ ත්  සාර්ථක සංසන්දනයක යෙදෙයි.  අමරකීර්ති ගේ ස්ථාවරය තහවුරු
කරමින්,   වෙසෙසින් චුල්ල ධනුද්ධර ජාතකයේ එන සාම්ප්‍රදායික කතාවෙන් බැහැර ව "බිසව කෙරෙහි
අනුකම්පා සහගත" දෘෂ්ටියකින් බැලූ බවට සරච්චන්ද්‍රයන් 1985 දී ලියූ "පිං ඇති සරසවි වරමක් දෙන්නේ..."
කෘතියෙහි පවසන්නේ ඒ පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහ ගේ අදහස ද  ප්‍රතික්ශේප කරමිනි (156 පිටුව ).
ඒ, කුමරිය සතු වූ තාවකාලික "මොහොතක දෙගිඩියාවක්" හේතුවෙන් බවත් සරච්චන්ද්‍ර තව දුරටත්
පවසයි ( 187 පිටුව). අමරකීර්ති මීට වඩා පූර්ණ අර්ථකතනයක් දක්වනුයේ, කලා කෘතියක  සහජ
ලක්ෂණයක් ලෙස,  කාලනුරූපිත ව අලුත් අර්ථකතන සැපයීමේ හැකියාව ක්ෂාත්ක්ෂාත් කරමිනි.
ඔහු මෙසේ අර්ථ දක්වයි:
"ඇය (කුමරිය) කරන්නේ ආචාරධාර්මික තර්කනයකි. හොඳ-නරක විනිශ්චයකි." ඒ තම ගෝලයන්
ලවා මනමේ කුමරා මරනු වෙනුවට ආචාරධර්ම පද්ධතියක පිහිටා තනි සටනට වැදි රජු එළඹීම
හේතුවෙනි.  මෙය නූතන අර්ථකතනයකි - නුමුත් වලංගු අර්ථකතනයකි. කිමද අමරකීර්ති ස්ත්‍රිය,
පුරුෂ දෘෂ්ටිවාදය  පුනරුච්චාරණය වෙනුවට ඇයට ස්වච්ඡන්දතාව හා ස්වාධීනත්වය හිමි බව  පසක්
කරන හෙයිනි.  මෙම අදහස මේ අයුරින් ම සරච්චන්ද්‍ර මනසේ ( 1950 දශකයේ මුල් බාගයේ ) නොවූව ද,
එහි තමන් විසූ යුගයට ඖචිතාකාරයෙන් බීජානු ආකාරයෙන් තුබූ බව සිතීමට අපහසු නැත. එය
අදහසක් ලෙස අමරකීර්ති 2019 දී පවසන දේ හි ළඳරු අවස්තාවක් විය හැක  යි. 
 තවත් තැනෙක සරච්චන්ද්‍රයන් මෙසේ මැසිවිලි නගයි.
"මනමේ දෙස නොයෙක් දේශපාලනමය දෘෂ්ටිවලින් බලා අදහස් ප්‍රකාශ කරන ලද නමුත්, එහි
සාහිත්‍යමය ලක්ෂණ හෝ කාව්‍යමය ලක්ෂණ (මේ දෙකම එකකි) විග්‍රහ කොට ඉදිරිපත් කරන ලද
විචාර ලිපියක් වත් පළ නොවීම ගැන මම පුදුම වෙමි", කියා ය. අමරකීර්ති පවා  අමරසේකරුන්
සරච්චන්ද්‍ර "විසිවන සියවසේ විශිෂ්ඨම කවියෙක්" ලෙස නම් කිරීම හා එකඟ වන බව කියමින් තම
ලිපිය ඇරඹුව ද, වඩාත් සාකච්ඡාවට බඳුන් කරනුයේ සමාජ දේශපාලන අංශය යි. ඒ අතින් එරික්
ඉලයප්ආරච්චි ලියූ "සරච්චන්ද්‍ර, නීෂේ සහ කේමදාස" ලිපිය ඉතා වැදගත් යැයි සිතමි. ඕනෑම
නාට්‍යකරුවකුට, නාට්‍ය කලාවට  කල හැකි උපරිම සේවය ඛේදාන්තයක් ලබා දීම බව  ඉලයප්ආරච්චි ගේ
මතයයි.  ඛේදාන්තය වූ කලි, ශූන්‍යතාව සහ සාර්වශුභවාදය අතර වූ ගැටීමේ ප්‍රතිඵලය බවත්,
නාට්‍යකරුවෙකු ලෙස සරච්චන්ද්‍ර එම සේවය උපරිමයෙන් ඉටු කල ද සංගීත පාර්ශවයෙන් ජන ගී
ආකෘති තුල සිරවුණ බවකි, ඉලයප්ආරච්චි ගේ අදහස.
"මෙරට ශාස්ත්‍රාලීය ප්‍රජාව සහ සාහිත්‍යධරයන්ගෙන් බහුතරය තවමත් විශ්වාස කරන්නේ සරච්චන්ද්‍ර ට්‍රැජඩිය
සිංහල සංගීත නාටකයේ කූඨප්‍රාප්තිය බවයි. මෙය වැරදි නිගමනයකි. සරච්චන්ද්‍ර නාටකයෙන් මතුවන
ඇපලෝනියානු ධර්මතාව ඔස්‌සේ මෙරට සරසවි සහ උගත් මැද පන්තිය ඇපලෝසියානු හෙජමොනියක්‌
ගොඩනඟා ගෙන සිටිති. සිංහල ඛේදාන්තය තුළ කැපී පෙනෙන ඩියෝනීසියානු ඌනතාව හඳුනාගැනීම
හෝ පැහැදිලිකර ගැනීමට හෝ එම ප්‍රජාව කැමැති නැත. ඔවුන්ගේ වුවමනාව වන්නේ සංගීතය සිංහල
ඛේදාන්තයට පිටින් හුදෙක්‌ සරල ගීත‍ෙයහි රඳවා තැබීමයි. මේ අතින් සිංහල සංගීතය තවමත් සිංහල
සාහිත්‍යය ප්‍රමුඛ කර ගත් සිංහල සංස්‌කෘතියේ ඇපලෝනියානු හෙජමොනියක්‌ විසින් පාගාගෙන සිටින
කලාවකි."  (කලාව හා කතිකාව, 50 වෙනි පිටුව  - එරික් ඉලයප්ආරච්චි)
මේ සංගීත භාවිතාව පිළිබඳ අදහස, සරච්චන්ද්‍රයන්ගේ සර්වභෞමිකත්වය ගැන සාකච්ඡා කිරීමේදී ද
සැලකිය යුත්තකි.
අමරකීර්ති තව දුරටත් ස්ත්‍රී වාදී අදහස් මගින්, පෙර කී ස්වච්ඡන්දතාවය ගැන අදහස් ඉදිරියට ගෙන
යන්නේ, සංස්කෘතික-දේශපාලන ආනතියකට ලංවය. ඔහු ගේ අදහස් මනමෙ නාට්‍යය යන්නට සීමා
නොවී, පුළුල් අර්ථයෙන් ලියැවී ඇත.
ලිපිකරු ඉන් අනතුරුව "මනමේ නිර්මාණය වූ සන්දර්භය හා එහි ඓතිහාසිකත්වය" ට යොමු වෙයි.
එහි ආරම්භයේ හේ මෙසේ පවසයි;
"මනමෙ වෙතින් ඇරඹි සරච්චන්ද්‍ර කලාව මෙරට පනස් හයේ දරුවන්ට විශාල සංස්කෘතික ප්‍රාග්ධනයක්
සැපයූ බව නොරහසකි."
මෙය විමසිය යුතු කාරණාවකි. ඔහු පදනම් කර ගනුයේ රෙජී සිරිවර්ධනයන් 1982 දී කියූ කාරණාවක්
යැයි සිතීමට, කරුණු ලිපිය තුලින් ම සැලසේ. සිරිවර්දන, Lanka Guardian සඟරාව ට Rekhava, Maname
and 1956 යන ලිපිය ආශ්‍රයෙන් මෙවැන්නක් පවසයි. (
Selected Writings of Regi Siriwardena- Volume 1 :
edited by A.J. Canagaratne
"Nobody thought twenty-five years ago of making a sociological study of the theatre going audience.
But from impressions of the spectators who came to performances of Maname in its early years at
the Borella YMBA and Lumbini, I would hazard the guess that the new audience of 1956 and immediately
succeeding years was composed predominantly of urban lower middle class Sinhala speaking people...
However, the broadening of the theatre audience by Maname in 1956 was a significant phenomenon...
In the socio-cultural climate of 1956 this process was assisted by the fact Maname and the form it brought
to the contemporary stage was a renewal of a traditional form of the Sinhala folk drama... part of the
appeal that the play had to audiences and critics was in its rediscovery of an indigenous folk tradition;
it was in consonance with the climate of Sinhala cultural revivalism in after 1956." (pages 490-491)
මේ ලිපියේ කාරණා, 1985 ලියූ පිං ඇති සරසවි වරමක් දෙන්නේ... හි සරච්චන්ද්‍රයන් පවසනා කාරණා හා සසඳමි.
සරච්චන්ද්‍රයන් මනමේ ගැන මෙවැන්නක් පවසයි. මනමේ ප්‍රථම වරට ලයනල් වෙන්ඩ්ට් හී රංගනයේ දී සිටි
නරඹන්නන් ගණන පනහක් පමණ ය. ඒ සරච්චන්ද්‍රයන්, මෙම නාට්‍ය රංගනයට ලයනල් වෙන්ඩ්ට් නුසුදුසු
බැව් සිතා සිටිය දී, එවකට අයිතිකරු හැරල්ඩ් පීරිස් මහතා ගේ බලවත් ඉල්ලීම මත එහි රඟදැක්වූ අවස්තාවෙහි ය.
ඒ සරච්චන්ද්‍රයන් පවසන පරිදි සිංහල දේ හෙළා දකින්නන් පිරිසක් මධ්‍යයේ එය රඟ දැක්වීම නුසුදුසු යැයි සිතූ
නිසා ය.  "සිංහල නාට්‍ය කලාව කෙබඳු තත්වයක තිබුණි දැයි වටහා ගැනීමට උපකාර වෙන සිද්දීයක්"  කියා
පාන සරච්චන්ද්‍ර, නාට්‍ය රඟ දැක්වීමේ දී, සාලාව අසල සක්මනයෙහි උන් කාන්තාවකට ටිකට් නොමැතිව
ඇතුලට ගොස් නාට්‍ය නරඹන්න යැයි කල ආරාධනයකට, පිලිතුරු වශයෙන් ඇගෙන් ලැබි ඇති පිලිතුර වී

ඇත්තේ;
"චිං! මං යන්නේ නෑ - සිංහල නාට්‍ය බලන්න. මං මේ ඇහුවේ මගේ වැඩකාරිව එවන්න. ඒකිට මේවායෙ
 ඇවිල්ල දහය දොළහ වෙනකල් ඉන්න දෙන්න පුළුවන් යැ" ලෙසට ය. (164 පිටුව)
නුමුදු, සරච්චන්ද්‍රයන් '1956' මනමේ සන්දර්භයේ සඳහන් කරනුයේ එහි රඟ දැක්වූ පළමු දින දැක්වීමට පමණි. 
 මනමේ ක්‍රමයෙන් මහජනයා අතරට යෑමට ටික කලක් ගොස් ඇත. (ඊට චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ ලිපියක්
 ද හේතු වී ඇත.) 1982 දී, රෙජී සිරිවර්දනයන් එම ලිපිය ලිවීම හෝ, ජාතිකවාදියෙකු මනමේ හේතුවෙන් අමරකීර්ති
 කියනාකාරයේ "ජාතික ආඩම්බරය හා ස්වෝත්තම හැඟීම" ප්‍රකාශ කල ඇත්තේ නම් හෝ, එසේ කරන්නේ නම්
 හෝ, ඊට වසර ගණනාවකට - දශක කිහිපයකට පසු කෙරෙන සූත්‍ර ගත කිරීමක්, නැතහොත් දේශපාලන
 අර්ථගැන්වීමක් ලෙස ය, එය සිදුවන්නේ. එය දෙපාර්ශවයෙන් ම සිදු විය හැකි බව පැහැදිලිය. මා මෙම ලිපි කියවීමේදී
 ඊට ආශ්‍රේය ලිපි පරිශීලනය කරනුයේ ම සරච්චන්ද්‍රයන් මනමේ රඟ දැක්වුනු කාලයේ සමාජ සන්දර්භය හැදෑරීමට ය. 
ඒ අර්ථයෙන් "පිං ඇති සරසවි වරමක් දෙන්නේ..." මහත් සේ උපකාරක විය. පෙර කීවාක් මෙන් මනමෙ හා සබැඳි 
දේශපාලන සන්දර්භය අර්ථ දැක්වෙන්නේ ම පසු කලෙක බවකි පෙනී යන්නේ.  අමරකීර්ති පවසනාකාරයෙන්
 සරච්චන්ද්‍රයන් පටු ජාතිකවාදී පසුබිමකින් තොරව මනමෙ නිර්මාණය නොකල බව  ඉතා පැහැදිලිය. එහෙත් ඔහු ට
 එකල සිංහල නාට්‍යයක් සමාජයට ගෙන ඒමෙදි ඔහු ට මුහුණ පාන්නට සිදු වෙන අභියෝග ගැන වැටහීමක් තිබී ඇත
 - ඒවා හුදෙක් නාට්‍ය කලාව සම්බන්ධ ඒව පමණක් නොවන බව දැන් දැන් නොකියවේ.
අමරකීර්ති එතනින් ඔබ්බට සරච්චන්ද්‍ර යනු සර්වභෞමික අයෙකු බව පසක් කරලීමට ඔහු ගේ සාහිත්‍ය භාවිතයත්, 
ආභාශයන් ගැනත් පවසයි. (මෙහි සර්වභෞමික බවෙහි සීමා ගැන , අමරකීර්ති ගේ  "සරච්චන්ද්‍ර විචාරයෙහි සංස්කෘතික
 මූලාශ්‍ර" ලිපිය හා හැදෑරීමට බලාපොරොත්තු වෙමි.)

ප්‍රස්තූත ලිපිය ඔහු අවසන් කරනුයේ  "බුද්ධිමය ඉතිහාසය සහ මනමේ නම් නාටකය" නම් වූ කොටසෙනි.  එහි දී ඔහු පවසනු යේ,
"මනමෙ වැනි සංස්කෘතික නිෂ්පාදනයක නියම ඉතිහාසය නිවැරදිව වටහා ගැනීමට අලුත් පරම්පරාවට අවකාශ නැත්තේ අපට 
බුද්ධිමය ඉතිහාසය නිවැරදිව හදාරන්නට අවකාශ නැති නිසාද විය හැකිය", කියා ය. මෙහි 'නියම ඉතිහාසය' යන්න විමසිය යුත්තකි. 
අකමැත්තෙන් හෝ කිව යුත්තේ ප්‍රස්තූත ලිපියෙන් ද මනමේ ගැන කියවෙන්නේ අර්ධ කතාවක් බවයි. ඒ අර්ථයෙන් මට මනමේ සබැඳි 
'ඉතිහාසය' කියවීමට ලැබුනේ, "පිං ඇති සරසවි වරමක් දෙන්නේ.." හි "යළි පේරාදෙණියට: මනමේ නාට්‍යය බිහිවීම" යන කොටසිනි.  
අමරකීර්ති නොකියන පැත්ත සන්සන්දනාත්මක කියවීමක් මගින් සෙවීමට මුල පිටුණේ ද ඒ හේතුවෙනි.  මනමේ, 1956 ලයනල් වෙන්ඩ්ට් 
ආශ්‍රිත ප්‍රදේශයේ පිළිගැන්ම, නොමිලේ හෝ නාට්‍ය නැරඹීමට අකමැති වූ කාන්තාව යන සමාජ වටපිටාව එහි වැදගත් අංශයක් නිරූපනය 
වන්නේ යයි සිතමි.  තව දුරටත් පවසන්නේ නම්, මනමෙ බිහිවීමට පෙර සරච්චන්ද්‍රයන් ඉන්දියාවේ, ඇමරිකාවේ සහ වෙසෙසින් ජපානයේ 
නෝ සහ කබුකි නාට්‍ය ( රශෝමාන් චිත්‍රපටියේ පවා ) ආභාශයත්, එයට දේශීය ආභාෂයක් ඇතුළු කරලීමේ  අවශ්‍යතාව අඳුනාගැනීම 
ගැනත් පැවසෙන්නේ පිං ඇති සරසවි වරමක් දෙන්නේ... හි ප්‍රස්තූත ලිපියෙනුත්, "පේරාදෙණිය : නාට්‍ය කලාවේ දේශීය රීතියක් සෙවීම" 
යන ලිපියෙනුත් ය.  මීට අමතරව මේ පිලිබඳ වඩා ශාස්ත්‍රීය  පෙළගැස්මක් විමල් දිසානායකයන්ගේ Enabling Traditions කෘතියේ 
“Ediriweera Sarachchandra: Tradition and The Birth of Modern Sinhala Drama” ලිපියේ ත්, ඔහුගේ ම නිහඬ නිම් වළල්ල කෘතියේ, "මනමේ 
නාටකය හා භාරතීය නාට්‍ය සම්ප්‍රදාය" යන ලිපියේ ත් හමු වේ. සරච්ච්න්ද්‍රයන්, 1953 දී ජුබාල් ලවා ශාකුන්තලා නිර්මාණයට යෝජනා කල 
විට ලුඩොවයික් එය බැහැර කරන්නේ එය අන්තජාතිවාදී (chauvinistic) හැඟීමකින් කෙරෙන යෝජනාවක් ලෙසට ය. දිසානායකයන්, සරච්චන්ද්‍ර 
"වෙද හටන" නාට්‍යය ජුබාල් විසින් නිෂ්පාදනය කෙරෙද්දි මෙවන් අදහස් පළ කල ඇති බව පවසයි:
"දේශීය නාට්‍ය සම්ප්‍රදායක් ගොඩ නැඟීමට නම්, අප මෙතෙක් කල් කර අත්තේ බටහිර නාටකයේ ආභාසය ලැබීමට තැත් කිරීම පමණි. 
විශ්ව කිර්තියට පත් නාට්‍ය ගණනාවක් ඇති සංස්කෘත සාහිත්‍යය දෙසට අප නෙත් යොමු කළ යුතු අවධිය දැන් පැමිණ තිබේ. අපේ
සභ්‍යත්වයට  වඩාත් ළං වන භාර්තීය සභ්‍යත්වයෙන් පැන නැගුණු සංස්කෘත දෘෂ්‍ය කාව්‍යයෙන්  ආභසය ලැබීමෙන් අපට දේශීය නාට්‍ය
සම්ප්‍රදායක් ගොඩ නැඟීමට පුළුවන් වනු ඇත. සංස්කෘත නාට්‍යයෙන් පමණක්  නො ව, අපේ ජාතික දායාදයන් වශයෙන් තවමත් ඉතිරි ව
ඇති සොකරි, කෝලම් වැනි ජන සම්මත නාට්‍ය ක්‍රමවලින් ද ආභාසය ලබීම ඉතා අවශ්‍යය." ( 60 වැනි පිටුව - නිහඬ නිම් වළල්ල )
සරච්චන්ද්‍ර ට අනුව වෙද හටන නාට්‍යය දර්ශනයක් මගදී ජුබාල් හා බහින් බස් වීමකින් පසුව එම නාට්‍යය අතැර පැමිණ ඇත. 
බුද්ධිමය ඉතිහාසය හැදෑරීම පිළිබඳ සිත්ගන්නා සුළු නිදර්ශනයක් ද අමරකීර්ති, ගාන්ධි, ටොල්ස්ටෝයිගෙන් ලත් ආභාසය ත්, පසුව
ගාන්ධි හේතුවෙන් මාටින් ලූතර් කිං ට වූ ආභාෂයත්   පෙන්වා දීමෙන් මතු කරයි.  මෙවන් සැලකිය යුතු කාල පරාසයක් තුල බුද්ධිමය
හැදෑරීමේ ව්‍යායාමයක යම් අයෙක් නිරත වන්නේ නම්,  එසේ තෝරා ගන්නා කාල පරාසය තුල සිදු වූ සිදුවීම් පෙළක් මනමෙ ආශ්‍රයෙන් ද 

සිදු කරලීම වඩා ඖචිත බව සිතේ.  එවන් කාල පරාසයක් ගෙන මනමේ පිළිබඳ සංවාදයක් නගන්නේ නම්, 1930-1940 දශකය සහ 1950 දශකයේ 
මුල් බාගයේ සංස්කෘතික දේශපාලන පසුබිම  හමුවේ මනමේ බිහිවීමත්, ඊට ලැබූ කලා ආභාෂයනුත් පෙන්වා දී, අනතුරුව ජාතිකවාදීන් පසු 
කලෙක එය ඔසවාගෙන යාම හෝ, රෙජී සිරිවර්ධනයන් සහ සුචරිත ගම්ලතුන් එම ප්‍රවණතාව මතුකරලීම හෝ, පෙන්වා දීම වඩා පරිපූර්ණ බවක් 
මට හැඟේ.
ඉහත ව්‍යායාමය සිතිවිලි සිතිජය කෘතියේ එන එක් ලිපියක් ආශ්‍රයෙන් මා පෞද්ගලිකව සිදු කල හැදෑරීමකින් පසු ව පහළ වූ සිතුවිලිය . ලේඛක 
තෙමේ  තම ලිපිය හුදෙක් රචනාවක් පමණක් බවත්, ශාස්ත්‍රීය ලියවිල්ලක් නොවන බවත් පවසන්නේ ය.  මාගේ ව්‍යායාමය මට තරමක් ආගන්තුක 
විෂයක් පිළිබඳ සරල හැදෑරීමකි - ශාස්ත්‍රීය නොවන ප්‍රථිඵලයකි. උක්ත විෂය පිළිබඳ ශාස්ත්‍රීය ව යමක් ලිවීම මගේ සරල හැකියාවන්ගෙන් ඔබ්බෙහි 
පවතින්නකි.

මෙම ලිපිය අමරකීර්ති, මනමේ ප්‍රත්‍යවලෝකන කෘතිය දොරට වැඩූ දවසේ කල දේශනයක් ඇසුරෙන් ලියූවක් හෙයින්  ලිපියේ සීමිත පරාසය 
ගැන ද තේරුම් ගත හැකිය. ( පූර්විකාවේ දී ද, "රචනාවකදී පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ලිපියකදී තරම් සුපරික්ෂාවෙන් ශාස්ත්‍රීය  ලේඛන ශෛලිය 
අනුගමනය" නොකරන බව, අමරකීර්ති ම පවසයි - 9 වෙනි පිටුව -  එහෙත් සාමාන්‍ය පාඨකයෙකු එය එසේ සලකන්නේ ද යන්න ම ගැටළුවකි.  
අමරකීර්ති මා මෙහි පරිශීලනය කල කෘති සියල්ලම පාහේ -නිහඬ නිම් වළල්ල සහ , කලාව සහ කතිකාව හැර - ආශ්‍රේය කෘති ලෙස ද දක්වා ඇත. 
ඉදින් මා තැත් කලේ ඒ සියළු ලිපි පරිශීලනයෙන් වඩා පරිපූර්ණ චිත්‍රයක් විග්‍රහ කර ගැනීමට ය. )

ආශ්‍රේය ග්‍රන්ථ:
- පිං ඇති සරසවි වරමක් දෙන්නේ - එදිරිවීර සරච්චන්ද්‍ර
- කලාව සහ කතිකාව - එරික් ඉලයප්ආරච්චි

- නිහඬ නිම් වළල්ල - විමල් දිසානායක
- Enabling Traditions - Wimal Dissanayake

- Selected Writings of Regi Siriwardena- Volume 1 : edited by A.J. Canagaratne

Wednesday, 20 May 2020

සාහිත විචාරකයින් සිව්දෙනෙකු ඔස්සේ පියදාස සිරිසේනයන්ගේ සාහිත්‍ය භූමිකාව පීළිබඳ කියවීමක්



   අමරකිර්තිගේ "පියදාස සිරිසේනගේ නවකතාව නමැති සංස්කෘතික උරුමය" ලිපියෙන් ඇරඹී, ඒ ආශ්‍රයෙන් තව ලිපි තුනක් කියවීමට යොමු වූයේ, ඔහු සමහර කරුණු නොවලහා කීමත්, සමහර දෑ අඟවා පමණක් ඇතැයි සිතුණු නිසාය. අමරකීර්ති වඩා නූතන,  ඔහු ගේ  දේශපාලන මතයනට සාපේක්ෂ සහ අද කාලයට වඩා  යෝග්‍ය ස්වරයක් භාවිත කොට ඇති සේ ය. ඒ හේතුවෙන් ම සිරිසේන විසූ යුගයට වඩා ආසන්න කාලයක ලියැවුණු, සරච්චන්ද්‍ර සහ වික්‍රමසිංහ යන වියතුන් සිරිසේන දුටු අයුරු, අමරකීර්ති ගේ ලිපියේ ඇඟවූ කොටස් වඩා වටහාගැනීමට හේතු විය හැකි බව සිතිණි. චින්තක රණසිංහ, පියදාස සිරිසේන පිළිබඳ ලියූ දේ කියවුයේ තවත් සමකාලීන අදහස් දැන ගැනීමේ උවමනාවෙනි.

සමස්ත වශයෙන් මා කියවූ ලිපි හතරෙන් වැඩි බරක් යොමු කිරීම යෝග්‍ය සරච්චන්ද්‍රයන්ගේ පිටු විස්සක ලිපියට බව සිතමි. ඒ, සිරිසේන විසූ යුගයට ආසන්න  කලක සිට හෙතෙම කියවීම පමණක් නොව, වඩා පූර්ණ විග්‍රහයක් ද වූ නිසාය. වික්‍රමසිංහයන්ගේ ලිපිය තරමක් ලුහුඬු එකක් පමණක් නොව, එය ඔහු ලියූ අත්පිටපතක් ආශ්‍රයෙන් මෑතක සම්පාදනය වූ ඔහු ගේ ලිපි එකතුවක තිබූවකි.  (එහෙත් එම ලිපියේ එක් වැදගත් හෙළිදරව්වක් වෙයි.)  සරච්චන්ද්‍රයන් මේ ලියන්නේ 1951 දීය - 1956 ට වසර පහකට පෙරය. එම යුගයේ තම ජාතියේ පුනරුත්ථාපනයක් පිළිබඳ අවශ්‍යතාවක් සරච්චන්ද්‍රයන්  පිළිගත් බවක් එම ලිපියෙන් ඇඟවේ. සරච්චන්ද්‍රයන් මේ බැව් පවසන්නේ සිරිසේනයන්ගේ ඇවෑමෙන් ද වසර පහකට පසුව ය. එවිට සිරිසේන තම "වගකීම" ලෙස දැක ඇත්තේ මෙකී පුනරුත්ථාපනය පමණක් නොව, තම ආගම නැවත ගොඩ නගා ගැනීම බව පැහැදිලිය. සිරිසේන තමන් නවකතාකරුවෙකු ලෙස තමන් ව සැලකුවේද යන්න ම, සිතීමට යෝග්‍ය ප්‍රශ්ණයකි. සිරිසේන තම ප්‍රබන්ධ කතා මගින්   එවක පැවති ප්‍රවණතාවනට යම් ප්‍රතික්‍රීයාවක් දක්වා ඇති බව පැහැදිලි වේ. සරච්චන්ද්‍රයන් මෙසේ පවසයි.
"අයිසෙක් ද සිල්වා යන ආදී මහතුන් ප්‍රබන්ධ කථා මාර්ගයෙන් ක්‍රිස්තියානි ධර්මය ප්‍රචරය කරන්ට වෑයම් කළාක් මෙන් සිරිසේන සිරිසේන  මහතා ද ඒ ප්‍රචාරයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීම සඳහා නවකථාවම ආයුධයක් කොට ගත්තේය" (71 පිටුව: සිංහල නවකතා ඉතිහාසය හා විචාරය  ),
 ද සිල්වා, "වාසනාවන්ත පවුල  සහ කාලකන්නි පවුල" (1886)  ලෙසින් තම නිර්මාණයට නම් දෙද්දි, සිරිසේන 1904 දී ජයතිස්ස සහ රොසලීන් කෘතිය, "වාසනාවන්ත විවාහය" ලෙස නම් කරයි. අමරකීර්ති ද සිරිසේන මුහුණ දුන් තත්වය පිළිබඳ, සරච්චන්ද්‍රයන් ට වඩා සියුම් ලෙසින් ( එය අද අප "politically correct" යයි කියන ආරෙනි ) මෙසේ පවසා ඇත.
"ඔහු (සිරිසේන) එවැනි දෘෂ්ටිවාදි ස්ථාවරයක් තෝරාගත් ඓතිහාසික පසුබිම ගැන ද අපට හොඳ අවබෝධයක් ඇත. ඒ නිසා කළ යුත්තේ ඒ දුෂ්කර ඓතිහාසික පසුබිමේ සිට ඔහු කළ නිර්මාණ විචාර පූර්වක ලෙස මැදහත් සිතින් වටහා ගැනීමය. ( 39 පිටුව - සිතිවිලි සිතිජය ).
අමරකීර්ති ඉහත කියමන ඉතා සංවර සහ  ශිෂ්ඨ ලෙස කියනා අතර,  අනෙක් අතින් ඔහුගේ මෙවන් විශ්වාසයෙන්  කෙරෙනෙ නිගමන පිළිබඳ තව දුරටත් විපරම් කල යුතු බවකි, මගේ නම් අදහස.

"පියදාස සිරිසේන වැනි අය නිසා ලංකාවට ලැබුණේ අද පවා අපට ගැලවි ගත නොහැකි ඒකමානීය වූද සිමාන්තික වූද ජාතිකවාදී  චින්තනයක් බව පෙනේ." 
ධර්මපාල තුමා ගැන විවේච්න මේ කතුවරු තිදෙනාම කල තිබුන ද,  රණසිංහ ගේ ලියවිල්ලෙන්, සරච්චන්ද්‍ර ( විවෘතව, එම යුගයට ඔබින ලෙසින්), සහ අමරකීර්ති ( සියුම්ව, ඔහු වඩා ඔබින්නේ යැයි සිතන අයුරින්, අද කලට උචිත ලෙස ) පවසන දේ නොකියවේ. රණසිංහ තම කෘතියෙන් සිරිසේන ගේ සාහිත්‍ය ලේඛනයේ ධනාත්මක පැති මතු කරලීමට වැඩි වෑයමක් දරා, අවසන දි පමණක් ධර්මපාල කෙරෙහි වූ අන්ධභක්තිය ගැන පවසයි. ඔහු  එම කාලයට උචිත සන්දර්භය අඩු වශයෙන් සැලකූ බවක් පෙනී යයි. 

රණසිංහ, තම කෘතියේ සිරිසේන ගැන නිගමනීය සඳහන කරමින් මෙසේ පවසයි:
"සිරිසේන තුළ පැවති සම්භාව්‍ය සාහිත්‍යය හා ජනශ්‍රැති ඥානයත්,  ඒ ඔස්සේ ගොඩනැඟුණු කතාන්දර කීමේ දක්ෂතාවත් විශිෂ්ටය. එහෙත් බටහිරින් ආභාසය ලබා එය වටිනා සාහිත්‍යකරුවකු සතු පරිචයක් බවට පත් කිරීමට සුදුසු මාවතක් හෝ දැනුමක් හෝ ඔහු ඉදිරියේ නොවුණි. එසේ වූයේ ඔහු අනගාරික ධර්මපාලතුමාගේ අන්ධ අනුගාමිකයෙකු වූ බැවිනි... සිරිසේනගේ මෙහෙවර ජාතික ව්‍යාපාරයට හා පුවත්පත් කලාවේදයට කොටු වූ අතර, ඔහු තුළ සිටි නවකතාකරුවා ඛේදජනක ලෙස මිය ගියේය" (32 පිටුව : නූතන සිංහල සාහිත්‍ය විමර්ශන - 01 )
ප්‍රශ්ණය, සිරිසේන ට කිසි දින රණසිංහ කියන ආරේ නවකතාකරුවෙකු වීමේ උවමනාවක් වීද යන්න ය. සත්‍ය වශයෙන් ම ඒ ගැන යමක් කීමට මා දැනුම් නැත්තෙක් ය.

එනුමුදු, ධර්මපාල විවේචනය සහ ඒ ඔස්සේ සිරිසේන විවේචනය පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහයන් ගේ ලිපි රැගත් "අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය", හි පියදාස සිරිසේන මහතා වෙනුවෙන් ලියූ අත්පිටපතක   මෙසේ කියා තිබෙනු දුටිමි:

"අවිචාර ලෙස ඉංග්‍රීසීන් අනුකරණය කළ සිංහලයෝ, ධර්මපාලතුමා විදේශිකයින් හෙළා දකින සීමාන්තික බෞද්ධයෙකියි කීහ; සිරිසේන ධනවත් උගත් මිනිසුන්ට ද්වේෂයෙන් බැණ වදින්නෙකු  යි කීහ. මේ චෝදනා නොනැගිය හැකි ඉංග්‍රීසි උගතෙක් කළු සුද්දන් වන්ට තැත් කළ සිංහලයන් තරයේ විවේචනය කෙළේ ය. ඔහු අනිකෙක් නොව ආනන්ද කුමාරසාමි ය.

ඔහු මීට අවුරුදු හැට ගණනකට පෙර ලංකාවේ සිටි කාලයේ 'ජාතික අපේක්ෂා පිළිබඳ නිබන්ධ' යන හිසින් ඉංග්‍රීසි පොතක් ලියා පළ කළේ ය....

කුමාරසාමිගේ මව ඉංග්‍රීසි කාන්තාවක්. ඔහු කුඩා කල පටන් උගත්තේ එංගාන්තයේ. ඉගෙනීම සම්පූර්ණ කොට ලංකාවට ආ ඔහු ධර්මපාල, පියදාස සිරිසේන යන මොවුන් මෙන් කෝප විය: කලකිරුණේ ය. ඉංග්‍රීසින් අනුකරණය කරමින් තමන්ගේ උරුමය පිළිකුල් කොට බැහැර කරන සිංහලයන් කුමාරසාමි තරයේ විවේචනය කර තිබේ."
(24 පිටුව : 'පියදාස සිරිසේන' පිළිබඳ වූ අත්පිටපටකිනි, අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය )

වික්‍රමසිංහයන් පවසන කාරණාව විමල් දිසානායකයන් ස්ථිර කරනුයේ ඔහුගේ අපූරු Enabling Traditions කෘතියේ මෙපරිද්දෙනි. ( භූ විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් කුමාරස්වාමි නැවත ලංකාවට එන්නේ  මෙරට ඛණිජ සම්පත ගැන සමීක්ෂණයට ය. )
"While in Sri Lanka, he traveled extensively through the country, and these travels had a profound impact on him. He began to realize with increasing sadness how the traditional culture of the island was being rapidly eroded under the onslaught of Western civilization. This feeling resulted in his spearheading a nationalist revivalist movement much in the manner of that taking place in India except that  it was less political in intention.".
ඉහත කාරණාව නොසලකා හැරිය හැක්කක් නොවේ. ධර්මපාල, වඩා වාචික  වී ද කර්කශ වී ද, අන්තවාදී වීද යන්න පිළිබඳ අපට වාද විවාද කල හැක. එහෙත් කුමාර්ස්වාමි ගේ ක්‍රියාකාරීත්වයෙන් පිළිඹිබු වන්නේ , ධර්මපාල චරිතය ට ක්‍රියාත්මක වීමට සාධාරණ හේතු තිබූ බවකි. 2010 දශකයේ සිට එහි තීව්‍රතාව හෝ සාධරණීයත්වය මැනීම ඉතා අපහසු කාර්‍යයක් වන්නේ   දේශපාලන වාස්තවිකතාව, පමණක් නොව සන්දර්භය තේරුම් ගැනීමේ ගැටළු නිසා ය. 

වික්‍රමසිංහයන් සිරිසේන විවේචනය කරනුයේ, ඔහුගේ සාහිත්‍යයේ දුර්වලතා සහ වෙසෙසින් ආදී කාලීන මත එලෙසම විශ්වාස කරලීමට උත්සක විම හේතුවෙනි. "උපන්දා සිට" කෘතිය උකහන අමරකීර්ති, මේ බව පසක් කරයි.

 "සිංහලයන් පුබුදවනු සඳහා සේවයක් කළ පියදාස සිරිසේනගේ ඇතැම් මතයන්ටත් අපේ අතීතතය පිළිබඳ පුරසාරම් දෙඩුමටත් පැරණි මිත්‍යා ශාස්ත්‍රයන් පිළිබඳ ඔහුගේ අවිචාර භක්තියටත් මම පටහැනි වීමි."
 අමරකීර්ති, දිශානති කිහිපයක් තුලින් සිරිසේන ගේ සාහිත්‍යකරණය ඇගයීමට යත්න දරා ඇත. සන්දේශ කාව්‍ය ආභාෂය , කාව්‍ය භාවිතාව ආදිය ඔහු මතු කරයි. වඩා නූතන ආස්තානයක සිට විචාරන අමරකීර්ති ස්ත්‍රිය පිළිබඳ  ගතානුගතික රූපක ඒ ලෙස ම භාවිත කර තිබීම පෙන්වා දෙන්නේ "මහා වියවුලේ" ජෝර්ජියානා පාඨකයා හමුවේ ඉදිරිපත් කරන අයුරෙනි. "තරුණියකගේ ප්‍රේමය නවකතාවේ" කැරොලයින් ගේ චරිතය ආශ්‍රයෙන් ප්‍රේමයේ රැඩිකල් බවක් පෙන්නුම් කරයි. සිරිසේන එම යුගයේ පැවති වික්ටෝරියානු අදහස් වලට විරුද්ධව , ප්‍රේමය විෂයෙහි කාන්තාවගේ කැමත්ත ට මුල් තැනක් දීම අමරකීර්ති මතු කර දක්වයි.  අමරකීර්ති එය,
"...වික්ටෝරියානු ලිංගික ආචාරධර්මවලින් බර කරන්නට පෙර සිංහල ජනයා භුක්ති විඳි සාපේක්ෂ වශයෙන් නිදහස් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවල ශේෂයක් සිරිසේනගෙ නවකතා තුළට වැද ගැනීමක්.." ( 45 පිටුව )
ලෙස දකියි.  මෙය වැදගත් නිරීක්ෂණයක් වන්නෙ වික්‍රමසිංහ හෝ රණසිංහ හෝ මේ සියුම් කාරණාව මතු කර නති හෙයිනි. සරච්චන්ද්‍ර අතින් සිරිසේන ගේ නිර්මාණයේ කිසිදු සාහිත්‍යමය ධනාත්මක ලක්ෂණයක් නොදකියි.

සරච්චන්ද්‍රගේ  පිටු 20 ලිපියේ, සිරිසේනගේ ගේ නවකතා පිළිබඳ ඇත්තේ කර්කශ විචාරයක් ය. කළු-සුදු චරිත, අභව්‍ය සිද්ධි, කතුවරයා ගේ අදහස් ආඛ්‍යායනයට ඔබ්බවා තිබීම ආදිය ඔහු ගේ විචාරයට දක්වයි. මෙහි තෙවෙනි කාරණාව පිළිබඳ සරච්චන්ද්‍ර මෙසේ කියයි:
"කර්තෘ හැකි තාක් ඈත් ව සිට, කතාවට අයත් සිදුවීම් පමණක් විස්තර කළ යුත්තේ මේ හෙයිනි. තමාගේ අදහස් වුව ද ඔහු පැවසිය යුත්තේ නායක නායිකාවන්ගේ මාර්ගයෙනි." ( 81 පිටුව )
( අතුරු නිරීක්ෂණයකි - සරච්චන්ද්‍රයන් 1951 දී මේ බැව පවසද්දී, මාර්ටින් වික්‍රමසිංහයන් තම නවකතා රැසක් පළැ කොට අවසන් ය. වෙසෙසින්, ගම්පෙරළිය යන වඩා සාර්තක නවකතාවේ  යුගාන්තයේ සාපේක්ෂ ලෙස මෙම ලක්ෂණය බෙහෙවින් අඩුය - ඔහු ඊට තිස්ස කයිසාරුවත්තේ යොදා ගනී   වල කතුවරයාගේ අදහස් ආඛ්‍යායනය තුල තිබීම දැකිය හැකිය. )
සරච්චන්ද්‍රයන් තම පිටු ගණක පුරාවට ඇදෙන සිරිසේන සාහිත්‍යය විවවේචනයන් පසුව, මෙවන් ඇගයීමක් කරයි - ඒ ඇගයීම තුල ද තම විවේචනයේ ස්වරය ගැබ් ව තිබේ.

"පියදාස සිරිසේන මහතා සමකාලීන සමාජය කෙරෙහි පෑ බලය සුළුපටු නොවී ය. ඔහුගේ නවකථා කියවන්නන් මේ කාලයේ දුර්ලභ වුව ද වර්තමාන ජාතික ප්‍රබෝධය බොහෝ සෙයින් ප්‍රබල වූයේ ඔහුගේ කලිකියවිලි වල ආභාසය ලැබීමෙනැයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ වනාහි සිරිසේන මහතා වෙත අපට පිරිනැමිය හැකි අවංක ප්‍රශංසාව ය. ඔහු පැතුවේ ස්වකීය ජාතියේ පුනරුත්ථාපනය පමණක් හෙයින් මීට වඩා ප්‍රශංසාවක් ඔහු බලාපොරොත්තු නොවීය යි සිතිය හැකි ය." (89 පිටුව )

ඊට සාපේක්ෂව රණසිංහ වෙසෙසින්, සහ අමරකීර්ති ද යම් සාධනීය ලක්ෂණ දැකීමට උත්සාහ කොට ඇත. වෙසෙසින් රණසිංහ සරච්චන්ද්‍රයන් ගැන මෙසේ ද පවසයි;
"සරච්චන්ද්‍ර විසින් සිදු කළ එක් බරපතළ වරදක් ලෙස අප විසින් නිරීක්ෂණය කෙරෙනුයේ සිරිසේන නවකතාකරුවෙකු ලෙස් නොසැලකීම නොවේ. ප්‍රබන්ධකරුවකු ලෙස සිරිසේනගේ ආඛ්‍යායනය ප්‍රමාණවත් විශ්ලේෂණයකට ලක් නොකිරීමයි."( 18 පිටුව )
රණසිංහ, තව දුරටත් පවසන්නේ සිරිසේන විෂයෙහි ලා, තමන් 'නවකතාව' යන්න භාවිතයට වඩා 'ප්‍රබන්ධ කථා' යන්න භාවිතාව ට රිසි බවයි. සිරිසේන විශේෂයෙන් අතීත කතා, ජනකතා, සමකාලීන ජනශ්‍රැතියේ පවතින කතා භාවිතාවෙන් රසවත් බවක් ගෙන දුන් ආකාරය නිදර්ශන සහිතව පෙන්වා දෙයි. වික්‍රමපාලගේ 4 වෙනි වික්‍රමය ප්‍රබන්ධය නිදසුනක් ලෙස ඔහු ගෙන හැර පායි. තව ද වික්‍රමපාල චරිතය භාවිතාව මගින් ම 'බස්නායක නිලමේ' පදවිය දැඩි ලෙස විවේචනය ද ගෙන හැර පායි. බස්නායක නිලමේ ලා දේවාල, පන්සල් ආදියෙන් ගසා කෑම හේතිවෙන්, ඒ දෑ භාවිතාවෙන් තමන් සංග්‍රහයක් හෝ විඳීමට අකමැති බවකි ඔහු තව දුරටත් පවසන්නෙ. එවන් පවුකාර කම් හේතුවෙන් මෙලොව දී ම පරංගී ආදී රෝග වලට ගොදුරු වන බව තව දුරටත් පවසයි. එකල පැවති ජන විශ්වාසයන් තම නිර්මාණයන් වලට සිරිසේනයන් යොදා ඇත්තේ ප්‍රත්‍යක්ෂ සත්‍යයන් පරිදිය.  ජයතිස්ස හා රොසලීන් හී ද, රොසලීන් හූනු ශාස්ත්‍රය නොදැනීම ඇගේ අවාසියට සිටි බවක් පවසයි. වික්‍රමසිංහ "පැරණි මිත්‍යා ශාස්ත්‍රයන් පිළිබඳ ඔහුගේ අවිචාර භක්තිය" යන්නෙන් අදහස් වන්නේ මොනවාදැයි පැහැදිලිය.

ඉතින් මේ ලිපි හතර කියවීමෙන් අනතුරුව මට අරුත් ගියේ ඒ ඒ යුගයේ ලේඛණ ශෛලිය, ඒ ඒ යුගයේ වඩා දැවෙන ප්‍රශ්ණ ආදීයත්,  කාලයටත්, ඒ ඔස්සේ ම විචාරකයාටත් සාපේක්ෂ බවකි. එහෙත් අප මෙහි යුගයන් ලෙස සලකන්නේ මහත් කාල පරාසයක් නොව - වසර සියයක් පමණ කලකි. පියදාස සිරිසේන වූ කලි මට කියවීමට මගැරුණු ලේඛකයෙකි - දැන් ඔහු කියවීම නිරර්ථක බව මා පරිශිලනය කල ලිපි සතරින් ම මට කියා දුනි. එහෙත් යම් අයෙක්, කරුණක්, ඓතිහාසික සිද්ධියක්  පිළිබඳ කියවීමේ දී නම්, මූලාශ්‍ර කිහිපයක් භාවිත කිරීම අනිවාර්‍යයෙන් ම කල යුත්තක් බව නැවත වරක් ප්‍රත්‍යක්ෂ විය.

ආශ්‍රේය ග්‍රන්ථ :
1. සිංහල නවකතා ඉතිහාසය හා විචාරය - එදිරිවීර සරච්චන්ද්‍ර (1951; පරිශීලනය, නමවෙනි මුද්‍රණය - 2006 - සරසවි)
2. නූතන සිංහල සාහිත්‍ය විමර්ශන -01 ( සයිමන්, ජී.බී. වික්‍රමසිංහ සහ පියදාස සිරිසේන ) -චින්තක රණසිංහ (2012 - ෆාස්ට් පබ්ලිෂින් )
3. සිතිවිලි සිතිජය - ලියනගේ අමරකීර්ති (2019 - ස්වර්ණ ග්‍රන්ථ  )
4. අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය - සම්පාදානය : මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය (2000 - සරස )
5. Enabling Traditions : Four Sinhala Cultural Intellectuals - Wimal Dissanayake (2005. Visidunu Prakashakayo )