Wednesday 24 December 2014

2015 ජනාධිපත්වරණය පිළිබඳ මගේ සත දෙක හෙවත් මයි ටූ සැන්ට්ස්




2015 ජනවාරි 8 දා ජනාධිපතිවරණයලු. 2005, හා 2010 දී හැකි පමණින් ක්‍රියාකාරි ලෙස මේ ඡන්ද සටනට දායක වූ මා මෙවර එතරම් උනන්දුවක් දක්වන්නේ නැත්තාක් සේ කෙනෙකු දැකිය හැකිය. උනන්දුවක් නැතුවා නොවේය, මේ අවස්ථාවේ ඇත්තටම අප රට දේශපාලකයින් අපව අසරණ කර ඇත. ඇයි මා එසේ කියන්නේ:

- ජාතියේ ආඩම්බරකාර පියායැයි තමන්වම හඳුනාගත් නායකයා, ඔහුට පමණක් නොව බලන් සිටිනා රට වැසියන් ලෙස අපටද ලජ්ජා හිතෙන විදිහට රටේ සාරෙම උරා ගනිමින් හිඳී. ඔහු කෙතෙරම් බලයෙන් මත් වී ඇත්දැයි කිවහොත්, මට ඔහුව සමාන කල හැක්කේ 1815 දී සුරාවෙන් මත් වැ තම රජකම් නැතිවුණු තැනට වැඩ කල ශ්‍රි වික්‍රම රාජසිංහ රජුව ය. 2015 දී, හරියටම වසර 200කට පසුව බලයෙන් මත්ව මහින්ද රාජපක්ෂයෝ රට වැසියන් අසරණ තත්ත්වයට පත් කර ඇත්තෝය. රට වැසියන් කෙතෙරම් අසරණ වී ද යත්, තවම පෞරෂය සොයන ඒ උදෙසා මෝඩි සරණ ගිය "මෛත්‍රිපාලත්" නායක් වෙස් ගැනීමට යත්න දරයි. සත්‍ය වශයෙන් ම, යුධ බිය දුර කරලීමෙන් අනතුරුව රජෙකු ලෙස තම දිවි ඇති තුරා ජීවත් වීමට ඕනෑ තරම් ඉඩ තීබුණු රාජපක්ෂ ට අද මිනිසුන් බැණ වදිනා සැටි බලා සිටීමට සිත් නොදෙයි. ඒ කොළඹ වාසය කල අප, ඒ කාලේ කෙතෙරම් ජීවිත අවදානමකින් සැමදා අප කටයුතු වල් නිරත වුනා දයි අපට හොඳින් මතක නිසා ය. එහෙත් එම ගෞරවය නැති කරගත්තේ ඔහුම ය.

- මහින්ද රාජපක්ෂ තව දුරටත් පාලනයේ තබා ගත නොහැකි යන්න බොහෝ සෙයින් පැහැදිලි හෙයින්, මෛත්‍රි පාලනයක් උදෙසා මෛත්‍රිපාල සිරිසේනයන් පිටියට පැමිණ ඇත. මෛත්‍රිය ඉතිරවීම උදෙසා ඔහුගේ දකුණත්සව් ලෙස ජාතියේ මහා අභාග්‍යයට අප රට වසර එකොළහක් නායකත්වය දැරූ, මෛත්‍රිය යැයි ලියන්නට හෝ දන්නේ දැයි සැක සහිත, තමන් ඉන්නතාක් කල් දේශපාලන පළිගැනීම් වල නිරත වූ චන්ද්‍රිකාවෝ ද වීදි බැස ඇත. වමත්සව් ලෙස  පරාජය උරුම කර ගත් රනිලුන් සිටී. ඔහු කෙරේ ඇත්තේ 2002 සාම ගිවිසුම ට රැවටුණු නිසා ඇති වූ කළකිරීමක් මිස, ඔහු දෙස බැලීමට චන්ද්‍රිකාවන්ට සාපේක්ෂව පිළිකුලක් නැත. එහෙත්  මට මතක් වන්නේ සාම ගිවිසුම අත්සන් කිරීමට පිරබාහරන් නම් ත්‍රස්තවාදියා එනවායැයි   රැවටී, ඒ ත්‍රස්ත නායකයා නො ආපු කල, ජොන් වෙස්ට්බොග් අතට අත දීමට,  අතදෙද්දි, තම අත නොදීපු රනිල්ගේ මුහුණය. ඔහු හොරෙකු නොවෙන්නට පුළුවන, එහෙත් ඔහු රැවටීමට ලක් වූ බවත් ඊට සාපේක්ෂව, යුද්ධය නවත්තන්න යැයි බල කිරීමට පැමිණි විදෙස් ඇමතිවරුන් තුන්දෙනා ඇඹිලිපිටියට ගෙන්වා මිරිස් මාළු කවා යැවූ මහින්ද රාජපක්ෂ නම් බයියා ගව් ගණනක් ඉදිරියෙන් බැව් නොකියා බැරිය. දැනුමෙන් රාජපක්ෂ ට රනිලුන්ට ලං වීමට නොහැකි වීමට පුළුවන -එහෙත්  දේශපලඥ්ඥයකු ලෙස තම රට වැසියාට තඹ දොයිතුවක වැඩක් තවම වී නැති ඒ දැනුම කුමට ද ?

- මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නෝ කියනුයේ ඔහු බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් පෙනී සිටින බවත්, රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින බවත් ය. රටේ ඒකීයභාවය වෙනුවෙන් ඔහු පෙනී සිටින බැව් සැබෑ වුවද, ඔහු තම විදේශ අමාත්‍යාංශය තම ඥාති හිතමිත්‍රාදීන්ට ලාභ සංග්‍රහ ලබාදීමට ඇති තැනක් යැයි වරදවා තේරුම් ගැනීම හේතුවෙන්, තමන් පෙනී සිටිනා ඒකීයභාවය තමන් විසින්ම අවදානමට ලක් කරන්නේ ය. දළඳා මාළිඟාව ඉදිරිපිට ධාවන තරඟ පවත්වන, දි.මු, වගේ කෙනෙකුන් බුද්ධ ශාසන ඇමැති කරගෙන සිටින, සංඝ රත්න ඉදිරිපිට ගරුසරු ඇතිව බිම වාඩිවීමට නොහැකි (මොහුට අන් ආගමික ස්ථාන වලට ගිය කළ හොඳින් බිම වාඩිවීමට පුළුවන ) මොහු ශාසන චිරස්තිථිය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන්නේ නම් ඒ තරම් විහිළුවක් තවත් නැත.

- ඉතින් අපි මහින්ද රාජපක්ෂට යන්න යැයි කිව යුතුය. එහෙත් ඒ 1815 දී ශ්‍රී වික්‍රම රාජසිංහ අයින් කලා වගේ ය.  ඔහු අයින් කරන තැන ගනීමට ඉන්නේ අශුද්ධ සන්ධානයකි. සත්‍ය වශයෙන්ම කියතොත්, චම්පික රණවක අන් කඳවුරේ නොහිටින්න මම මහින්ද යටතේ තවත් දියවී යාමට සිත හදා ගනිමි. එහෙත් අපි අවදානමක් ගත යුතුය. ඒ නිසා ඔය කියන යහපාලනය, හෝ නීතියේ ආධිපත්‍යය හෝ, සාධාරණත්වය හෝ, ලං කර  ගැනීමට කැණහිලුන් ටිකක් සමඟ පොර බැදීමට සිදුව ඇත. ඒ කැණහිලුන් අතර සාම ජාවාරමේ සිටියවුන්ද, මාක්ස්ගෙන් අන්ධවූවන්ද, බෙදුම්වාදීන්ද, අන්ත ලිබරල් වාදින්ද, "වැරදි" කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින්නන්ද ඇත. ඒ නිසා මෛත්‍රි කෙරේ නැති පෞරෂයක් ආරූඪ කර, එතන නැති මිනිහෙක් මවා පාන්නට අවශ්‍ය නැත. ඔහු තාම පෞරෂය සොයන්නෙකි - මෝඩි වගේ අඳින්නේ ඒ නිසාය. කම් නැත - අප රට ජනතාව කෙතෙරම් නායකත්ව අහේනියකට පත්ව ඇත්දැයි පවසතොත්, දැන් මෛත්‍රිත් මිනිසෙකි. මට මෛත්‍රි ගැන ආරෝවක් නැත. ඒත් එතන නැති මිනිසෙකු මවන්නට යත්න දරණ අනෙකුන් ගැන නම් ඇතිවෙන්නේ කණගාටුවකි. අපි සත්‍ය ට මුහුණ දෙමු. අපි මේ තෝරා ගන්නේ දෙපැත්තේම බලවත් දෝෂ සහිත දෙදෙනෙකුගෙන් අයෙක්වය. ඒ උදෙසා අපි අපිව රවටා ගත යුතු නැත - නැති වර්ණනා කල යුතු නැත. ඉදිරියට පත් වනු ඇත්තේ සංක්‍රාන්ති සමයකි. ඒ සංක්‍රාන්ති සමයෙන් අනතුරුව අපිට වාසි සහගත තත්ත්වයක් අපි සාදා ගත යුතුය. ගමන පටන් ගත යුතුය. ඒ සඳහා මෛත්‍රිපාලත් කම් නැත - කවුරු උනාම මොකෝ... එහෙත් අවදානම ගත යුතු බව සිතමි. අවදානමක් ගන්නේ යයි ඉතා හොඳ අවධානයෙන් , නැති මිනිසෙකු මවා ගන්නේ නැතුව, ඉදිරියට ඇති අපහසු ගමන ගැන සිත යොමු කරමින් ඒ අවදානම ගත යුතුය.