Wednesday, 7 October 2026

මගහැරුණු දූපත් - ප්‍රභාත් ජයසිංහ

ප්‍රභාත් ජයසිංහගේ කෙටිකතා සංග්‍රහයන් මා කියවීම අත නොඅරින තරම්. "වයඹ දිග වැසියෙකුගේ දින සිටහන්" වලින් පටන් ගත් ඔහුගේ කෙටිකතා එකතුන් අතරෛන්, මෑතක ම ප්‍රකාශ වූ "නාලිනිවත" න් මෙහා සියළුම සංග්‍රහයන් පාහේ දක්වා මා කියවීමට උත්සුක වූයේ, ඔහුගේ සාහිත්‍ය නිර්මාණකරණයේ එක් සංග්‍රහයෙන් තවත් සංග්‍රහයට දැකිය හැකි නිර්මාණකරණයේ නිපුණත්වයේ වර්ධනය හේතුවෙනි. "රස පොළොව" මෙතෙක් කිය වූ ඔහු ගේ සර්ථකම සංග්‍රහය වූව ද, මගහැරුණු දූපත් දෙවෙනි වන්නේ ඊට පමණක්ම යැයි මට හැඟේ.

මෙම සංග්‍රහයේ එන කෙටිකතා වෙත යොමු වෙමු;


පාලම උඩ සහ පාලම යට: 
අයෙකුට ජීවත් වීමට බලාපොරොත්තුවක් අවශ්‍ය වේ. බලාපොරොත්තු විරහිත වූවෝ පවා නොදැනීම තම වටපිටාවෙන් අරමුණක් ඉදිකරගනිත්. මිනිස් ස්වභාවය ම මෙයයි. මෙහි එන පොලිස් නිලධාරියා තමන් හා නොවෙසෙන ස්ත්‍රියක් ගැන සැමදා සිහින මවන්නෙකි. ඔහු ක්‍රමක්‍රමයෙන්, තමන් ඔහු ට ආරක්ෂක සේවයේ යෙදීමට නියම කරන ලද  පාලමෙන් පැන සිවිදිවි නසාගන්නට උත්සාහ දරන්නන් බේරාගැනීම නිසාම ප්‍රසිද්ධියක් තනා ගනී. කෙටිකලකින් ම එය ඔහු ජීවත් කරවන තනි අපේක්ෂාව කරවයි. මෙතැන්දී ය කෙටිකතාවේ අන් දිශානතියක් මා දකිනුයේ. මේ වන විට පාලම උඩින් විනෝද ගමන්  යන පාසල් දරුවන් ට  දිවි තොරකරගන්නන් බේරාගන්නා විරුවා බැලිම විශේෂ සිද්ධියක් වී ඇත. මෙයම අනෙක් ආනතයකින් සැලකුවහොත් දිවි තොර කරගැනීමට දැඩි සිත් ඇත්තන් ට එම පාලම තව දුරටත් විකල්පයක් නොවේ. එනම් සිය දිවි නසාගන්නන්ට එම පාලමේ උපයෝගිතාව ශුණ්‍යට ම ගොස් ඇත.

පිලිස්සුම් තුවාල: සමහර පිලිස්සුම් මතුපිටය, ඒවා දැක්මට අප්‍රසන්නය එහෙත් කල් ගත හෝ සුව විය හැක. එහෙත් සිත් තැවුලෙන් ඇතිවෙන "පිලිස්සුම් තුවාල" පිටට නොපෙනුනනට  සුව නොවේ. එම පිලිස්සුම් තුවාල සමඟ වින්දිතයා සැම දා විඳවිය යුත්තේ, එම තුවාල කාරකයා විනය ගරුක, තිතට වැඩ, එහෙත් සිතේ තෙතමනයක් නැත්තෙන් විය හැක්කෙක් නිසාය. මෙහි එන මනූ යන ඇය දීර්ඝ කාලීනව මානසික පීඩනයකට ලක් වූ අයෙක් බවත්, ඊට වඩා ශාරීරික තුවාල ලැබුවද සාවිත්‍රී ආදරය ලබන්නියක් බවත් පැහැදිලිය. ගැඹුරු කියවීමක් ඇති දෙවෙනි කෙටිකතාව ය.

මචං: මේ වන විට මේ කෙටිකතා සංග්‍රහය කෙටිකතාවෙන් කෙටිකතාවට වඩා රසවත් වන්නේදයි සිතේ. අහඹු ලෙස පැරණි විශ්ව විද්‍යාල සගයින් දෙදෙනෙකු හමුවේ. පෙර දින පෙම්වතුන් නොවූවත් පෙම්වතුන් අතර පවා නැති මිතුදමක් තිබූ දෙදෙනෙකි. දෙදෙනා ම තම විවාහ තුල තමන්ගේ පාර්ශවයෙන් යම් අඩුපාඩු ඇත්තෝ වෙත්. අලුත් වාතාවරණයේ, අලුත් අභියෝග හමුවේ පෙර නොදැලූ පෙමකට ඉඩක් තිබේද ?  කෙටිකතාව සමස්ත ලෙස බලාපොරොත්තුවේ කතාවක්  නොවුනද, ලේඛකයා පෙර සිද්ධීන් ගලපා, සසඳා ලියා ඇති අපූරුව කෙනෙකුට තම යොවුන් වියේ සාංකාව හා බැඳි අලංකාරයක් ගෙන ඒම නිසා ම, අභියෝග ජයගනිමින් බලාපොරොත්තුවේ පුළිඟුවක් ඉතිරි කර හමාර කරන්නේ ද යන කුකුස පාඨක සිතේ ඉතුරු කරයි.

දකුණු පියයුර: විටෙක මිනිස් ලෝකේ සිදුවන අපරාධ වලට විසඳුම් මිනිස් ශක්තිය අභිබවා ඇති දෙවියන් ට ද, සත්‍ය වශයෙන් විසඳිමේ උවමනාව තිබුනද  උන් වහන්සේලා ද අසරණ කරන බවකි මෙම කෙටිකතාවෙන් ඉතා බුහුටි ලෙස කියා පාන්නේ. අප දන්නා සමහර සිද්ධියක් මතකයට නැගීමේ හැකියාවක් ඇති මෙම කෙටිකතාව, අප ට නොකියා කියන්නේ පෞද්ගලිකව බුදුබව පතනවාට වඩා බැරෑරුම් අසාධාරණ වලින් පෙළෙන ලොවක අප ජීවත් වන බවකි. මෙම සංග්‍රහයේ එන පළමු දේශපාලන නැමියාවක් ඇති කෙටිකතාව වන මෙය, අත්‍යවශ්‍ය ලෙසම  සුදුසු වියුක්තභාවයකින් පෝෂණය වී ඇත. 

සිසිලාග්නි: කපිල නම් දක්ෂ, කීර්තිමත් නැටුම් ශිල්පියෙකි. ඔහුගේ යථා ස්වරූපය සාමාන්‍ය ජීවිතයේද ? නැත්නම් නැටුම ඔහුට ඊට අවස්ථාව ලබා දී ඇත් ද ? කුඩාවෙකු සිට ම තමන් ගේ උපන් ලක්ෂණ, අංගෝපාංග චලනය, හේතුවෙන්, පිරිමියෙක් නම් මෙසේය - ගැහැනියෙක් නම් මෙසේය, කියා අප මනස් තුල ඉරක් ගසා වෙන් කර ඇති චරිත ලක්ෂණ හේතුවෙන් බොහෝ ලෙස සිත් තැවුලට පාත්‍ර වූ අප නැට්ටුවා, නැටීම ප්‍රගුණ කිරීමෙන් පසු, නැටුම තුල දී මේ බෙදීමේ සීමාව ඉක්මවා යයි. ඒ ඔහු තම ශිල්පය තුල එතරම් ම දක්ෂයෙකු ව, තම ගුරුන් පුරුදු පුහුණු කරා වූ සීමාවන් ද ඉක්මවා යාම නිසාය. දැන් ඔහු නැටුම තුල ඔහුගේ යථාව පෙන්නුම් කරයි- ලොව මවිත වෙයි, කිත්ගොස ඔහු සතුය. එහෙත් ලෝකය නැටුමෙන් පරිබාහිරව ඔහුගේ යථා තත්ත්වය පිළිගැනීමට මැලිය. කෙටිකතාව ඇදී යන්නේ සම්මුඛ සාකච්ඡාවකට ඔහු සපයන නිළ පිලිතුරු, සහ ඔහු ඔහුගේ හදවත සමඟ කෙරෙන සැබෑ හෙළිදරවු කිරීම අතර දෝළනයක් වශයෙනි. 

පතුලක් නැති ළිඳ: මෙම කෙටිකතාවේ පරිසරය, එහි ඇති ළිඳ, සහ එහි ඇති දේශපාලන තත්ත්වය මතකයට නගන්නේ ලංකාවේ ම උතුරුකරයයි - නමුත් එහි එලෙස ඍජු සඳහනක් නැත. අපට හමු වන් ඇලෙක් නම්, මුලින් කුඩා දරුවා, සහ පසුව යෞවනයා ට ජීවිතයේ බොහෝ දේ අහිමි වී ඇත. ඉතා සියුම් ලෙස රටක දේශපාලනය විසින් එක් එක් පුද්ගලයාට කෙරෙන බලපෑම ගැන බොහෝ ගැඹුරු විචාරයක් පෙන්නුම් කරනා සාර්ථක කෙටිකතාවකි. කෙටිකතාව අවසානය වන විට, ඇලෙක් කුඩා කල සිට ජීවත් වූ විශ්වාසයක් ඔහුට අහිමි වී ඇත. ඔහු ගේ උදහස වචනයෙන් විස්තර නොවුනද, කාත් එක්කදැයි නොකියවුනිද, එහි සාධාරණත්වය ගැන සැකයක් නැත.

එක්කෝ මමම කියන්නං: සම්බන්ධතා ගැන ගැඹුරු කියවීමක් සහිත කෙටිකතාවකි. ඒවා හි සම්මත-අසම්මත බවෙහි ඇති කඩ ඉර, සම්බන්ධතාවක හරි දේ- වැරදි දේ එම සම්බන්ධතාව තුල සිටිනා දෙදෙනා විනා අයට තේරුම් ගැනීමට නොහැකි බව, ආදී ලක්ෂණ පෙන්නුම් කරමින්, විවෘත ලෙස අවසන් කෙරෙනා කෙටිකතාවකි.

මෙහි එන අවසන් කෙටිකතාව වන ඓතිහාසික නවකතාවක පරිච්ඡේද කිහිපයක් තුලින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යටත්විජිතකරණයේ අඳුරු සහ කටුක යථාර්ථයත්,  ඕස්ත්‍රේලියාවේ මුල් පදිංචිකරුවන්ගේ (Aborigines) ජීවිත බිඳවැටීම සහ බන්ධනාගාර ජනපදයක (Penal Colony) මිනිස් අරගල ඔස්සේ ඔවුන්ගේ  ජීවිත වලට වෙන බලපෑමත් කියාපායි. මේ මුල් පදිංචිකරුවන් සහ බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන්නන්/සිරකරුවන් අතර ඇතිවන සම්බන්ධතාවලින්  බිහිවන දරුවන්  පවුලෙන් වෙන්කර පැහැර ගැනීම් වලට ලක්වේ (කලවම් පරම්පරාවක් බිහිවීම වළකාලීමට සහ ඔවුන් සම අයිතිවාසිකම් ඉල්ලීම වළකනු පිණිස). පවුලෙන් වෙන්කරන ලද ඔවුන්ට අතිශය අමානුෂික ලෙස සලකන අතර, අතිශයින්ම දරුණු ඉරණමකට ගොදුරුව, නොසලකා හැරීම් සහ ලිංගික අඩම්තේට්ටම්වලට මුහුණ පෑමට සිදුවේ. මොවුන් අතරින් සාතිශය බහුතරයක් මරණය වැලඳ ගනී. ජීවිත බේරාගන්නා ස්වල්පයක් දෙනා සිය පවුල්වලට අමතකව ගිය, හුදකලා බිඳුණු මිනිසුන් (stolen generation) ලෙස ජීවිත ගත කරයි. මේ අතරින් ඉතිරිවන ස්වල්පයක් පිරිසෙන්, පරම්පරා ගණනාවකට පසු බිහිවන, මඩේ හි පිපුණු නෙළුම් මල් මෙන් අතරින්  පතර නැගී බැබලෙන, වඩා යහපත් ජීවන තත්ත්වයන් තම හැකියාවන් දක්ෂතාවයන් නිසා උරුම කරගන්නා කිහිපදෙනා පවා, අනපේක්ෂිත අවස්ථාවල, ගොනු පස එන ගැල මෙන් අතීත පරම්පරා උරුමය නිසා අතිශය බරපතළ මානසික පීඩාවන්ට සහ අපහසුතාවයන්ට ලක්වේ. පරම්පරා ඉතිහාසය ඔවුන් ලුහුබඳින අතර, නොදන්නා අතීත අමිහිරි මතකයන් පරම්පරාවෙන් පරම්පරාවට සදාකාලික සුව  නොවනා තුවාල මෙන් වරින්වර වේදනාවන් ඇති කරමින් ඔවුන්ගේ ජීවිත හා බැඳී පවතී.

නුදුරු දිනෙක නාලිනිවත ත්, මෙතෙක් මට කියවීමට මග ඇරුණු දේව කන්‍යා ත් කියවීමට බලාපොරොත්තු වෙමි. සමහර විටෙක, කතෘ ගේ මුල් කාලීන කෙටි කතා සංහ්‍රයක් වන දේව කන්‍යාත්, මෑතකම ප්‍රකාශ වූ නාලීනිවතත් එක ළඟ කියවීමෙන් කතුවරයා කෙටිකතාරුවෙකු ලෙස ලබා ඇති වර්ධනය නැවත පසක් කර ගැනීමට එය උපකාරී වනු ඇත.

ශ්‍රේණිය: ****1/2


 

 

 

Sunday, 20 September 2026

Intermezzo - Sally Rooney


This is the second book of the author I've read, and this time thanks to an audio book. I looked up the word, Intermezzo, and it is used to refer to a light entertainment between two acts of a musical work. This comparison could be thought of to match the circumstances the transient stages that almost all of the characters are facing in this novel - but primarily the two main characters - Peter and Ivan.

The second attractive thing about this book is its compassionate view on unconventional relationships. Human relations have their own way of finding meaning between two people - or more, as the case here, and to pass judgement on such relationships based on conventionality alone is proving to be a petty stance once one realises that empathy is such a necessary virtue for a happy world.

If one considers the writing style, Sally continues her short sentence style, which give off a narration style of crisp, point form type descriptions. This style possible opens up her a style in which more can be said in a concise way, without spending too much space on longer constructed sentences. 

“Well, if that's suffering, he thinks, let me suffer. Yes. To love whoever I have left. And if ever I lose someone, let me descend into a futile and prolonged rage, yes, despair, wanting to break things, furniture, appliances, wanting to get into fights, to scream, to walk in front of a bus, yes. Let me suffer, please. To love just these few people, to know myself capable of that, I would suffer every day of my life.”

These sharp short sentences give a deeper presentation of the characters' mindset as if to keep the pace of the thoughts flowing into one's brain, in a manner that is closer to a stream of consciousness. 

In summary I think I probably enjoyed Intermezzo more so than Normal People. Although another of the author's books is not lined for immediate reading, when an opportune slot comes my way, I will not hesitate to take up one of her books in the future too.

Rating: ****

Saturday, 19 September 2026

අනේ අපි දා... - මහින්ද රත්නායක


මීට කලින් 2021 ප්‍රකාශ වූ 'වැසිකිලි සෝදන්නා ගේ දුව වීම නිසා' කෙටි කතා සංහ්‍රගය කියවීමි. මට ඒ සංග්‍රහය ගැනත් එතරම් ප්‍රසාදයක් ඇති නොවුනද, 2023 වසරේ රජත පුස්තක සම්මානය දිනා ගත් හෙයින්, සිංහල කෙටිකතාවෙහි රසිකයෙකු ලෙස මෙය අත් හැර යාමට සිත් නොදුනි.

මල්සර මල්සාලාවේ මල්සරා: පෙර කී කෙටිකතා සංග්‍රහය කියවීමේ දී ද මට හැඟුණු දෙයක් නම් කතුවරයා තම නිර්මාණයේ සමාජ අරමුණ දෙස හැල්මේ දිව යද්දි විටෙක සමහර දෙබස්, පාත්‍ර වර්ගයාගේ අදහස් ආදිය ගිලිහෙනා බවක් පාඨකයාට දැනීමය. ඒ කාරණාවෙන් එපිටින් කෙටිකතාව සැලකුවහොත් මිතුරන් දෙදෙනෙකු (ඉන් අයෙකු මිය ගොසිනි) අතර දෙබසක් ලෙසත්, ජීවත් ව සිටින්නා ඇත්තට ම ජීවත් ව සිටින්නේ ද යන්න ගැන පැණයක් නැගෙන ලෙසද රචිත කෙටිකතාවකි. මගේ අවංක අදහස නම් මෙම අදහස මීට වඩා මුවහත් ව සහ බුහුටිව කෙටිකතාවට නැගෙන්න ට ඉඩ තිබූ බවකි . කතුවරයා ගේ තරමක හදිසියක් ඡායාවක් රචනය තුලින් පාඨකයාට ගම්‍ය වන්නේදැයි කුකුසක් නැගේ.

මෙම සංග්‍රහය මුල - එනම් පෙරවදනක් ලෙස - 'කතුවරයා ගැන-ඔහුගේ නිර්මාණ ගැන' නමින් 'ලේඛකයාගෙ පාඨකයෙකු' මගින් ලියූ හැඳින්වීමක් අපට හමු වේ. පසුව "ලේඛකයාට පඨිතයක්.." ලෙස එම පාඨකයා චරිතයක් කර ගත් කෙටිකතාවක් අපට හමු වේ. ආකෘතික හරඹයක් ලෙස එහි යම් නැවුම් බව තිබිය හැකි මුත්, මේ කෙටිකතාව ගැන මට ඇති වූයේ සාහිත්‍යයෙන් එහා ගිය නොපහන් හැඟීමකි - එය පෞද්ගලික අදහසක් බව නොකියා බැරිය. මේ වන විට ලේඛකයාගේ කෙටිකතා සංග්‍රහයන් එකහමාරක්වත් කියවා නැති මා හට, මේ ලේඛකයාගේ කෙටිකතා කියෙව්වා දැන් ඇතිදෝයි නොපහන් හැඟීමක් ඇතිවිය. ( මට මතක හැටියට  පෙට්ටිකඩේ ගැහැනියගේ ගීතය, ගොපලුවත, නව පනතක් සම්මතයි යන සංග්‍රහයන් මා සතුව ඇත - ඒ එකක්වත් තවම කියවා නැත.)

මා මීට පෙර  කියවූ "වැසිකිලි සෝදන්නාගේ දුව වීම නිසා" සංග්‍රහයේත්, මෙම සංග්‍රහයේත් මා මේ ලේඛකයා විෂයෙහි දකිනා එක් ලක්ෂණයක් වේ. එනම් ඔහුගේ කෙටිකතා ගලනයේ වේගය වැඩි වීම ය. දෙබස් ද බොහෝ විට බහුල ලේඛකයාගේ මේ ලිවීමේ රටාව හේතුවෙන් විටෙක පාඨකයා කොයි දෙබස කවුරු විසින් කියන්නේ ද යන්න ගැන වැඩියෙන් විමසිලිමත් විය යුතුයි. ප්‍රකාශ වී ඇති පිළිවෙලට කියවා යාමේදී අපට හමු වන "අලුත් රාත්‍රියක් නොහොත් රත්‍රියේ පසු අඩ" මේ වන විට අපට හමු වූ වඩාත් රසවත් ම සහ සාර්ථකම කෙටිකතාවය. අප රට කාන්තාවන්ට විවාහ ජීවිතයේදී ලිංගික ජීවිතයේදී සිදු වන අසාධාරණය, අප රට පිරිමින් හිරිකිතයක් නැතුව එම වගකීමෙන් බෙරී සිටීන අයුරු විදහා දක්වන (පෙර කී අඩු පාඩු ඇතත්) සාර්ථක කෙටිකතාවකි.

මෙම ලේඛකයා වරෙක තමන්ගේ දෘෂ්ඨිකෝණය සනාත කරනු වෙනුවෙන් ම කෙටිකතා ලියන්නේය. එවැනි කෙටිකතාවක් මා කියවා ඇති ඔහුගේ අනෙක් සංග්‍රහයේදී ද හමු විය. මෙම සංග්‍රහයේ එන සිව්වන කෙටිකතාව වන "වෙස්සන්තර" වුව සැබෑ ලොව සිදු වුවද, විශ්වාසනීයත්වය වෙනුවට කෙටිකතාකරුගේ දෘෂ්ඨිකෝණය ම සනාත කරනු වස් ලියැවුන්නක් මෙනි.  පෙර කෙටිකතාව තුලින් යම් බලාපොරොත්තුවක් මා තුල ඇති කල ද, මේ කෙටිකතාව තුලින් පෙර සිටි ස්ථානය ආසන්නයටම මා නැවත පැමිණ ඇත.

මහින්ද රත්නායකගේ ලිවීම් රටාව පිළිබඳ මට ප්‍රශ්ණ ඇත.  එහෙත් ඔහු ප්‍රගතශීලි අදහස් තම කෙටිකතා ඔස්සේ ඉදිරිපත් කරන්නෙකි. නූතන පුළුල් ලෝකය හා සසඳද්දි ඒවා නැවුම් ම යැයි කිව නොහැකි වුව ද සිංහල පාඨකයාට තවම තරමක නොරිස්සුම් ය, නැත්තම් තව කලක් ඔළුවේ එහා මෙහා  දිව ගොස් එහි සත්‍ය වටහා ගත යුතු යැයි සිතමි. එවන් "සම්මුතිය"ක් පිළිබඳ කෙටි කතාවක් අපට පස්වැන්න ලෙස මෙහි අපට හමු වේ. එහි  සමස්ත අදහස මට ඉතා ආකර්ශනීයය; සත්‍යයක් ලෙස පෙනී යයි. එහෙත් මගේ උපරිම කැමැත්ත මෙම කෙටිකතාවට ලැබීමට නම් මෙය ලියා ඇති ආකාරය, මාතෘකාවේ අදහසක් හෝ එහා මෙහා නොවී වෙනස් විය යුතු බවය අපගේ අවංක අදහස. මට මෙය කළබල වැඩිය. පෙර කිවක් මෙන් මේ කළබල බව ලෙස තේරුම් ගැනීම මට සාපේක්ෂ වීමට ඉඩ ඇත.

මට මෙම ලේඛකයාගේ ලිවීම් රටාව සමඟ ඇති එක් ගැටළුවක් නම් දෙබස් වැඩි බව පෙර ද කීපවිටක් කීවෙමි. අනෙක කතුවරයාගේ මුඛ්‍ය සමාජ පණිවුඩය එළිපිට කියවෙන ආකාරයේ රචනයයි. මේ ලක්ෂණය මා ඔහුගේ "වැසිකිලි සෝදන්නාගේ දුව වීම නිසා" කෘතියේද දිටිමි. මෙහිද දකිමි. වෙසෙසින් "සොයා දියව්!" නම් වූ කෙටි කතාව අමුවෙන්ම මේ ඉහත කී ලක්ෂණ දෙකෙන් ගහණය. කෙටි කතාව ට සුළු හෝ දිරි දීමක් දෙන්නේ අන්තිමට කෙරෙන හෙළිදරව්වෙනි.

මේ කෙටිකතා සංග්‍රහය පුරාවටත්, පෙර කීවාක් මෙන් මීට කලින් කිය වූ කෙටිකතා සංග්‍රහයේ  තිබූ ලක්ෂණයක් කතුවරයා ට කිමට ඇති සහ ඔහු විශ්වාස කරනාවැයි සිතනා මතවාද, සමාජ පුරුෂාර්ථ ආදිය කියවන්නාට පාඩමක් උගන්නා ආකාරයෙන් තම කෙටිකතා වලට අන්තර්ගත කර තිබීමයි. මෙය බොහෝ කෙටිකතා වල මේ අයුරින් ම සිද්ධ වෙද්දි පාඨක ප්‍රසාදයක් ඇති නොවේ. පොතේ අවසන ට ලඟා වීමේදි අපට කියවන්න ලැබෙන "අමුත්තා" කෙටිකතාව එවැන්නකි. මේ වන විට මා මෙය කියවීමට තෝරා ගැනීමත්, ඊට ප්‍රධාන සාධකය වූ 2023 වසරේ රජත සම්මානය මෙම පොතට ලබා දුන් එහි තීරක කමිටුවටත්, ගොඩගේ සම්මානයට නිර්දේශ කල තීරක කමිටුවත් සිතෙන් දෙස් තබමිනි, කියවමින් සිටියේ. මා මට ම බැණ ගත්තේ පොතක් මග නතර කිරීම සිතා මතා කිරීමේ නොහැකියාවට ය. 

මෙම සංග්‍රහයට එහි නම දුන් කෙටිකතාවෙන් මෙම සංග්‍රහය අවසන් වේ. පසු ගිය කාලයේ අපේ රට ආර්ථික කඩා හැලීමත්, එවන් විවිධ දුෂ්කරතා හමුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් මුහුණ දුන් ගැටළුත් අලලා ලියැවී ඇති එහි කර්තෘ පණිවුඩය පැහැදිලිය - එහෙත් කෙටිකතාවක් ලෙස කතුවරයා ගේ රචනා ශෛලියේ ඇති හදිසිය පාඨකයාට දැනෙන සුළුය.

සමස්ත සංග්‍රහය ගැන සාරංශ නොකරන්නෙ ඒ කෙටිකතාව ගැන කතා කිරීමේදි, මට දැනුනු දෑ මුළු සංග්‍රහයට ම පාහෙ පොදු බැවිනි.

ශ්‍රේණිය: *1/2

Thursday, 10 September 2026

ලේ සහ වතුර - අරුණ ප්‍රේමරත්න

 මේ වන විට මේ වසරේ යම් තාක් කතාබහට ලක් ව ඇති නවකතාවක් වන 'ලේ සහ වතුර' කියවීමි. පළමුව කිව යුත්තේ, කියවන්නාට තමන් මිඩංගු කල කාලයට සාධාරණ කියවීමේ තෘප්තියක් ගෙන දුන් නවකතාවක් කලකට පසුව කියවූ බවකි. එය ම කියවන්නා ආයෝජනය කරනා කාලයට ලැබෙනා ආත්ම ලාභයකි. 

 නවකතාව ගැන මගේ අදහස් සැකෙවින් මෙසේ පවසමි;


මට නම් මේ නවකතාවේ ප්‍රධානතම ලක්ෂණය, මිනිස් චරිතයන්ගේ ඇති සංකීර්ණත්වයන් හා ගුප්තභාවයන් ය. එසේ සලකද්දී තරමක් සාමාන්‍ය චරිත ලෙස මට පෙනී ගියේ අපේ කතානායක අජන්ත  (සහ යම් තරමකට ඔහුගේ විශ්ව විද්‍යාල මිතුරෙකු ව සිටි ආනන්ද) ය.  ඔවුන් තමන් ආසන්න ම අයගේ  ගැඹුර, අසංඝතභාවයන්, සහ ගුප්ත සංකීර්ණත්වයන් ඉදිරියේ යම් විදිහක පරාදවීමක්, තත්වයන් භාර ගැනීමක්, හෝ අවසන පළායාමක ට යොමු වේ. අම්මා ගේ චරිතයේ පැහැදිලි අන්ත දෙකක දෝළනය වේ. ඇය වස්තු තන්හාවක් ඇත්තියක් වුව, ඇගේ ම සාධාරණත්වයේ මිම්මක් තුල ජීවත් විය. තාත්තා ඉතා පටු කුල භේදය මුල් කර ගත් අදහස් තුල තම ජීවිතය ගත කල ද, පිට අය දකිනුයෙ ශාන්තුවරයෙකු ලෙසය. චාන්දනී තම පෙම්වතා බොහෝ කල් කරුණු විමසා සොයා බලා තෝරගත්තා ද, තම ආත්මය සොරා ගත් අයෙකුගෙන් ගැලවීමක් නැතුව ජීවත් වන්නීය. සරලා ? සරලා කෙතෙරම් කාරණා දැන උන්නී ද? එය පාඨකයා ට තීරණය කිරීමට භාර දී ඇත. අජන්ත නම් වූ අප කතානායකයා වටා උන් මේ චරිත හතර ම ඉතා සංකීර්ණ චරිතය. එසේ බලනා විට අජන්ත යම් විදිහකින් මෙහෙය වී ඇත්තේ පෙර කී චරිත මගිනි. එය තවදුරටත් විඳ දරාගැනීමට නොහැකි වූ විට ඔහු ගත් තීරණය මට මතක් කලේ ගුණදාස අමරසේකරගේ 'කරුමක්කාරයෝ' හි එන විලිසොන් ගේ චරිතය නවකතාව අවසන ගත් තීරණයයි.

නවකතාව ඇදී යන්නේ 1986-1989 පමණ දක්වා කාලය තුලයි. අවසන් කාලය ගැන තීරණාත්මකව කිව නොහැක්කේ, වීජේවීර  එවකට ජීවත් ව සිටියා යැයි සිතිය හැකි නිසා සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ව කෙතෙරම් කාලයක් ගත වීද යන්න ගැන පැහැදිලි නැති නිසාය. එහෙත් මේ දේශපාලන ව්‍යාකූලත්වය නවකතාවට පසුබිමක් සාදා දෙනවා පමණි. පෙර කී ප්‍රධාන චරිත, සහ අජන්ත ගේ චරිතයට යම් අනිවාර්‍ය බලපෑමක් ඉන් සිදුවන බව අවිවාදිත මුත්, එම චරිත වල සංකීර්ණත්වයන් ඔවුන්ගේ යථා තත්වයන් ය. වෙනත් සමාජ වටපිටාවක වුවත් අන් අයුරකින් එම සංකීර්ණතා මතු වන අයුරින් ඔවුන් ජීවත් වනු ඇත.

පසු ගිය වසරක පමණ කාලය තුල මා කියවා තිබුනේ සිංහල නවකතා දෙකක් පමණි. අනෙක් කාලය මිඩංගු කර තිබුනේ කෙටිකතා සංග්‍රහයන් ඉංග්‍රීසි නවකතා කියවීමටය. ඊට ප්‍රධාන හේතුව මෑත කාලීන සිංහල නවකතා වලින් මා සෙවූ කියවීම් තෘප්තිය නොලැබීමය. එවන් අවස්ථාවක ය, අපට මිතුරියක් මාර්ගයෙන් 'ලේ සහ වතුර' හි පිටපතක් අප අතට පත් වෙන්නේ. කියවීමෙන් අනතුරුව අපේ  තීරණය වන්නේ මේ නවකතාවේ පිටපතක් අප සතු විය යුතු බවයි. 

ශ්‍රේණිය: **** 

Friday, 14 August 2026

නන්පේරියල් - නිශ්ශංක විජේමාන්න


කීඩැවෝ ඇවිල්ලා, තිත්ට සීනි, මුවා මැරූ සලමන්, ආදී මා මහත් රස විඳි කෙටි කතා සංග්‍රහයන් රැසක් රචනා කල නිශ්ශංක විජේමාන්න මෑතකම කෙටිකතා සංග්‍රහය නන්පේරියල් ය. වසර 2014 හෝ ඒ ආසන්නයේ මා මාපාකඩ වැව නිවාඩු නිකේතනයක දිනක් ගත කර, උදෑසනක එම වැව වටා බාගයක් දුර පමණ මගේ මස්සිනා සමඟ ඇවිදින විට, මා ඔහුට පැවසුවේ මා සිත් ගත් කෙටිකතාකරුවෙකු වූ නිශ්ශංක විජේමාන්න මේ ඉසව්වේ මේ ආසන්නයේ කොහේ හෝ වසන බවකි. මා මතකය නිවැරදි නම් ඒ වන විට මා එවිට කියවා තිබුන සංග්‍රහයන්ගෙන් 'කීඩෑවෝ ඇවිල්ලා" කෙටිකතාව මට මහත් කම්පමනයක් ඇති කොට තිබිනි. ඉන් පසුව කියවු 'මුවා මැරූ සංග්‍රහය' මුළු කෙටිකතා එකතුවක් ලෙස වඩාත් සංඝත සහ සාර්ථක නිර්මාණ එකතුව ලෙස දිටිමි. ඉන් පසු නවකතා කීපයකුත්, 'මල් සූටික්කා' නම් කෙටි කතා සංග්‍රහයක් ප්‍රකාශ කල ද ඒ එකකින් මා තුල පෙර කී කෙටිකතා සංග්‍රහයන් ඇති කල වින්දනයන් අභිබවා යෑමේ බලපෑමක් සිදුකරලිමට නොහැකි විය (වැලන්ටයින් කුමරයා කියවා නැතත් අනෙක් නවකතා තුනේ, නැවුම් සහ රසවත් මාතෘකා කොටස් තිබුන ද, සමස්තයක් ලෙස ඒවා ඉතා සාර්ථක නවකතා ද යන්න විවාද සම්පන්නය )

මෙම කෙටි සංග්‍රහය වෙත යොමු වෙමු;

පළමු කෙටිකතාව "ස්පුත්නිත්සා" කොටස් දෙකකින් සපිරිය. එහි විස්තර වන පරිසරයට සපිරි මෘදු වේගයෙන් ඇදී යන කෙටිකතාව, අන්ධ වීම සහ පෙනීම යන කාරණාව ට දර්ශනය හා බැඳි විමර්ශනයකුත්, ගුරුවරයෙකුගේ අයුතු අදහසක් නිෂ්ප්‍රභාවීමකුත් මුල්කරගත් කෙටිකතාවකි. පෞද්ගලික රුචිකත්වය අනුව මෙය අන් අයෙකුට  රසවත් නිර්මානයක් විය හැක. 

 'හිම වලහා' නම් කෙටිකතාව,  ලංකාව වන් රටක දේශපාලන පොරපිටියක මැරයන්, සහ නායකත්වයේ අභිමතය මත මන්ත්‍රීන්ගේ කැමැත්ත අකමැත්ත තීරණය වීම ගැන කෙටිකතාවකි. ආයාසකාරී ප්‍රබන්ධ ගතකිරීමක් ලෙස දැනුනි.  වසර මිලියන දෙකහමාරකට පමණ පෙර විසූ සතුන් ගේ මොඩල ඇති උද්‍යානයක් සාදා, එය හිමවලහා නම් අන්වර්ත නාමයක් ඇති දේශපාලඥ්ඥයකු ගේ හැසිරීමක් හා ආයාසකාරී බැඳීමකට යත්න දරා තිබුන ද, එය කෙටිකතාවකට යාමට වැඩි දුරක් බවකි පාඨක අපගේ හැඟීම. මෙහි අසාර්ථකම ප්‍රයත්නය මේ කෙටිකතාව විය යුතුය.

මෙහි එන "හිම කිරමක මතකය" කෙටිකතාව මා තරමක් රස විඳි නිර්මාණයකි. මවත් සමඟ උසාවිය අසල කවි කියමින් සිටි දරුවෙක්, තමන්ගේම අනාගතය අතට ගන්නේ තම දෙමව්පියන්ගේ දැඩි මැදිහත්වීම පිටුපාමිනි. ඉන් ඔහු යම් සාර්ථකත්වයක් ලබාගන්නේ, අප සමාජයේ සුලභ දෙමව්පිය විෂයෙහි සංවේදී භක්තිමත්බව වෙනුවට ප්‍රායෝගික ලෙස තම දියුණුවේ මග සොයා ගැනීමට වෙහෙසමිනි.

"ලෙන් දොර අභියස" වනාහි  මා ප්‍රිය කරන නිශ්ශංක විජේමාන්න නම් කෙටිකතාකරුවා මට මෙහි හමු වූ පළමු අවස්ථාව  යැයි කීවොත් නිවැරදිය. ශුංගාරයට වඩා තම ශාස්ත්‍රයට ප්‍රිය පුරාවිද්‍යාඥ්ඥවරියක්, සල්ලාල කවියෙක් සහ, සැකකාර සැමියෙක් භාවිතාවෙන් කතුවරයා ඉතිහාසය නැවත නැවත සිදුවන්නේය යන කියමන තරමක් වෙනස් කරමින් ප්‍රීතිජනක අවසානයකට කෙටිකතාව ගෙනි යයි.  පෙර කී "හිම වලහා" ආදි කෙටිකතාවේ තිබූ ආයාසකාරී උපක්‍රම, රචනාවිධි ලියූ ලේඛකයාම මේ කෙටිකතාව ලියූවේද යන්න පාඨකයාට පැණයකි. රසවත් සාර්ථක නිර්මාණයකි.

"අෂාන්තගේ අපායේ දවස් හත" අප Gen-Z යැයි හඳුන්වන දරුවන්ගේ අහිංසක බලාපොරොත්තුත්, වැඩිහිටියන් තරුණයන් ට කන්දීමට මැලිවීමත්, සමහර විටෙක අයෙකු කෙතෙරම් හොඳින් තම සිහින සැලසුම් කලත් එම සැලැස්ම අවාසනාවන්ත ලෙස අභාග්‍යකින්ම අවසන් වන අයුරුත් වන පෙන්වා දෙන කෙටිකතාවකි.

පොත ට නම දුන් "නන්පේරියල්" කෙටිකතාව ද හෝර්ටන් තැන්න, ලෝකාන්තය, පෙම්වතුන්ගේ සිය දිවි නසාගැන්ම අලලා, ලියූ රසවත් කෙටි කතාවකි. මැයක් ලෙස සුලභ යන්න සත්‍ය වුව, කතුවරයා ඒ සුලභබව තුල යම් තරමක සූක්ෂම ගෙත්තමක් ගොතා ඇත්තේ මැදිවියේ මිනිසෙකුගේ පශ්චාත්තාපයද භාවිතකොටය.

සමස්ත ලෙස කෙටි කතා හයෙන් බොහෝමයක් රසවත් යැයි කිව හැකි මුත්, මුලදි කීවාක් මෙන් ඔහුම තිබූ ඉහළ කෙටිකතා සලකුණු නිසා, ඔහුගේ හොඳම සංග්‍රහයන් අතරට නොවැටෙත්, මීට කලින් පළ වූ "මල් සූටික්කා" ට වඩා නම් රසවත් බැව් කිව හැක.

ශ්‍රේණිය: ***1/2

Saturday, 1 August 2026

සූර්ය ක්ලාන්තය සහ අනාථ කතා - එරික් ඉලයප්ආරච්චි

 මෙය ලේඛකයාගේ දහතුන් වෙනි කෙටිකතා සංග්‍රහ්‍යයි. මා එම සංග්‍රහයන් සියල්ලම එක් වරක් බැගින් කියවා ඇත. මගේ මතකයේ හැටියට ඉන් සංග්‍රහයන් තුනක් ( චයිනා ටවුම, ජාත්‍යන්තර පාපොච්ඡාරණය, සහ මෙය) හැර අන් දහයට ම ඉතා කැමතිය. අර කී කෙටිකතා සංග්‍රහයන් තුන් තුල එරික් සාර්ථක-අසාර්ථක වූ අවස්ථා මිශ්‍රය. සාමාන්‍ය කියවන්නෙකු ලෙස තරමක් දීර්ඝ විචාරයක් ලිවීමට තීරණය කලේ මෙම සංග්‍රහයේ විශේෂයෙන් එම 'මිශ්‍ර බව' ඇති වීමට හේතු මගේ නැණ පමණින් විමසීමටය. එක් එක් කෙටිකතාව ගැන කෙටි සටහනක් ඉදිරිපත් කරමි;


අරගලය
: කතුවරයා මෙම පොත පළකල කාලය හෝ ඊට ආසන්නයේ තිවංක කතාව නම් නවකතාවක් ලියා පළ කලේය. අරගලය මුල් කොට ගෙන ලියූවක් හෙයින් යම් පාඨක පිරිසක් එම පොත හරහා රැස් වූවද, නිත්‍ය එරික් පාඨකයින්ට නම් එම පොත සුවිශේෂි ලෙස නොදැනුනි. ඔවුන් එය ඔහු ගේ මුල් කාලින නව කතා සමඟ සැසඳුවෝය. එම නවකතාවට සාපේක්ෂව මෙම කෙටිකතාවක් තරමක් සාර්ථකය.  එරික් මෙහි අලුත් පරපුරේ හැසිරීම් රටාව අරගලය තුලින් විමර්ශනය කරයි. තමන් ට සුපුරුදු ජීවිතය ගත කිරීමට ඇති අයිතිය තමන් ම පත් කල ආණ්ඩුව විසින් අහිමි කිරීම, අඳුනන අය සමඟ යම් කිසි අරමුණක් වෙනුවෙන් වැඩ කරනමුත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වලින් බැහැරව සිටීම ( හෝ ඒ විස්තර විමසීම ම නොකල යුත්තක් ලෙස වටහාගෙන සිටීම), පවුලක පුරුෂයාට සහ බිරිඳ ට අනෙකාගෙන් තරමක් විතැන් ( එම විතැනේ අරය පවුලෙන් පවුලට වෙනස් ය) පෞද්ගලික ජීවිතයක් තිබීම ආදි ලක්ෂණ එරික් මෙම කෙටිකතාවෙන් ඉස්මතු කරයි. කෙටිකතාව දෙස විමර්ශනීය ආනතියකින් බැලුවහොත් එහි යම් ගැඹුරක් ඇත.

අකාලචර්යා: මීට වසර කිහිපයකට පෙර අප රට ආර්ථිකව බංකොලොත් වූ වකවානුවේ ඇති වූ ඉන්ධන අර්බුදය හමුවේ මා ද මා රැකියාව කරන තැන කිහිපදෙනෙකුන් සමඟ නාරාහේන්පිට ඉන්ධන පිරවුම් හලක් මුල්කොට ගත පෝලිමක රාත්‍රි දෙකක් ගත කලේය. අප මිතුරන් අදත් කතා වෙන්නේ, පෙට්‍රොල් ලීටරයකට වැඩිම මිලක් ගෙව්වේ ඒ වකවානුවේදී ය කියාය. ඒ දින දෙකේ අප ට වියදම් වූ ආහාර පාන, මත්පැන් සඳහා වූ අමතර වියදම් නිසාය. මෙසේ පෝලිමේ ඉඳිද්දී අපට කලිං මුණ ගැසී නොතිබුණු මුත් අමුතු චරිත හමු වුණි. එක් චරිතයක් කොළඹ ප්‍රධානත ම පාසලක උගෙන දැන් මැදි වියේ සිටිද්දී ආර්ථික ව තරමක් අපහසු කාලවකවානුවක් පසුකරමින් සිටි බව පැහැදිලි විය. ඔහු අප සමඟ පළමු දින පහන් කල ද උදේ වන විට පොලීමේ පේන්න සිටියේ නැත. ඔහු නැවත ආවේ රාත්‍රි දෙකකට පසුව පෙට්‍රොල් බවුසරය ළඟා වී පැයකට පමණ පසුවය. ඔහු විත් අපට පින්සෙන්ඩු වූයේ නැවත පෝලිමට එක්කාසු වීමට ඉඩ දෙන බවටය. එම අසාධාරණ සහ අනෙක් අතට භයානක ඉල්ලීමට අප ඉඩ දුන්නේ නැත. දෙයක් වෙනුවෙන් නිරන්තර කැපවීම නොපෙන්වීම ඔහුගේ වර්තමාන තත්වයට බලපාන්නට ඇත. බැංකුවක ඉහළ තලයක නිලධාරියෙකු වූ තවකෙකු ඉංග්‍රීසියෙන් පමණක් දෙඩූ අතර, කතා කරනා විටින් විට ගොල්ෆ් ගසනා ඉරියවු ප්‍රදර්ශනය කලේය. මේ සිද්ධීන් මා මතකයට රැගෙන ආවේ ඉන්ධන පෝලිමක රයක් පහන් කිරීම අලලා ලියවී ඇති අකාලචර්යා කෙටිකතාව කියවීමේදී ය. මෙහි එන ස්ටේෂන් වැගන් හිමිකරු ගේ පැරණි රසාංග කෙටිකතාවේ ප්‍රධාන චරිතය රස විඳි බව පැහැදිලිය. ඒ පුද්ගලයා ගේ ජීවන රටාව සහ පිළිවෙල පවා කෙටිකතාව තුලින් හොඳින් හෙළිවේ. ඒ ගී රස විඳිමින් සිටි අප කතාකරු මෙසේ කියයි;

"මට හැඟුණේ පසුගිය තිස් වසරක කාලය පුරා ගෙවන ලද කලබලකාරී දිවි පෙවෙත නිසා අමතක වී ගිය ලොවක් යළි අඳුරේ අවදි වන බවකි. එය කාලාන්තරයකට පසු කෝකිලයකුගේ රාවය සවන වැකුණා වැනි හැඟුමකි."

 

ඇත්තු දොළහයි - ඇත්ගොව්වෝ අටයි - නිලමලෙ දෙකයි:  'ගෝඩෝ එනකං' හි පරිදි අරමුණක් ඇති-නැති බලාපොරොත්තුවකින් බලාසිටීමත්, පසුගිය කොවිඩ් කාලයේ තිබූ වටපිටාවත්, රෝගය පිළිබඳ බිය, සැක බැඳි සිතුවිලි රටාවත්, ඒ තුලින් මතු වූ කුමන්ත්‍රණ න්‍යායන්, දේශීය ඖෂධයන්ට තිබූ උනන්දුව ආදියත්, අප රට ඒ යුගය නිරූපිත භෞතික මෙන්ම මානසික තත්ත්වයනුත්  අලලා ලියවුණු සාර්ථක නිර්මාණයක් ලෙස මෙම කෙටිකතාව දකිමි. එහි ආරම්භක සෙමින් ගලායාම  තිවංක කතාව  මා තුල ඇති කල නොපැහැදීමේ ඡායා ඇති කලද  , කතාව ඉදිරියට ගලායාමත් සමඟ මගේ එම හැඟීම වෙනස් ව කෙටිකතාව තුලින් එම කාලය, වෙසෙසින් රටේ  අප ධනවත් ප්‍රජාවගේ දෘෂ්ඨි කෝණය සාර්ථකව පෙන්නුම් කෙරී ඇති බවට මට සිතුණි.  

අස්වැන්න: මෙම කෙටිකතාව ආරම්භා වන්නේ ජෝසෆ් කොන්ඩ්‍රඩ් ගේ 'Heart of Darkness" කෙටිකතාව ප්‍රමුඛ කියමනක් උපුටමිනි. එහෙත් මෙහි සම්භවය ශ්‍රී ලාංකික හමුදා සහ බෙදුම්වදී කොටි ව්‍යාපාරය අතර යුද්ධයේ සිදුවීම් පෙළක් ලෙසටය. කතුවරයා උපාලි නම් විශේෂ හමුදා කණ්ඩායමක අයෙක් යැයි සිතිය හැකි අයෙකුගේ හැසිරීම් ද යුද්ධය පැවති පරිසරයේ විස්තරද එක්කාසුවෙන් සාර්ථක කෙටිකතාවක් ගොඩනගා ඇත. කොන්ඩ්‍රඩ් ගේ ක්'ර්ට්ස්, මෙහි උපාලි ට අනුරූපනය කර ඇති අයුරු අපූරුය.  

කර්පන්ටයින් ජැටිය සහ ලුණු කන්ද: කොටි ත්‍රස්තවාදීන් පැය 24-48 ක තුල උතුරුකරයේ විසූ මුස්ලිම් ජනයා ට එම පෙදෙස් හැර දමා පළ යන්න යැයි අණ කලේ 1990 වසරේදීය. එරික් මීට පෙර අවස්තාවක ( හෝ කිහිපයක) මෙම සිදුවීම සාර්ථක ලෙස තම නිර්මාණ වලට ගොණු කර ඇත ( මට අමතක හැටියට ඔහුගේ 'ඔටුවා' නම් කෙටිකතාවක ද මේ ගැන කියැවිණි). මෙම කෙටිකතාවද සාර්ථක ලෙස උතුරුකරයෙන් පැන ආ ජනයාගේ බිය, උදහස, එය ඔවුන්ගේ හැසිරීම ට බද්ධ වූ අයුරු විදහා දැක්වෙයි. මෙහි එන කර්පන්ටයින් ජැටිය තලෙයි මන්නාරමේ තිබෙන ජැටිය යැයි සිතිය හැක.

රතු කුරුස කතාව නොහොත් ලන්දේසි අම්මා: එරික් ගේ මෑත කාලීන නිර්මාණ වල තිබූ එක් ලක්ෂණයක් නම් සංස්කරණයෙන් තොරව ඔහු කියවූ සාහිත්‍යයෙන් එන ආභාෂය, තම නිර්මාණ වල පාත්‍රවර්ගයා ට දැනුනු විදිහ, සිතුණ විදිහ ලෙස ඔබ්බවා, තම රචනය තුලට යම් බලහත්කාරයක් සිදුකිරීමය. පාඨකයාට මෙවන් එක්කාසු කිරීම ඉතා කෘතීම එක්කාසු කිරීම ලෙස පෙනි යතැයි සිතිය හැක්කේ, මං විෂයෙහි නම් එය එසේම වන් නිසය. වෙසෙසින් තිවංක කතාව වන් නවකතාව ක අනවශ්‍ය ලෙස දිග්ගස්සමින්, ඔහුට ඇවැසි සියල්ල තම නිර්මාණයට එක්කාසු කිරීමේ ප්‍රවණතාව මෙම කෙටිකතාවේ ද නොඅඩුව දැකිය හැකිය. ඒ නිසාම ගලා යාමෙහි කෘතීම බවක් දැනෙන, තරමක් කඪෝර කියවමීක් ගෙන ආ කෙටිකතාවකි.

පාවෙන වේදිකාව: පෙර කෙටිකතාව ගැන කීමේදී තිබූ දෝෂය නැවතත් දකින්නට ලැබෙන කෙටිකතාවකි. මෙය අභාග්‍යයකි. ධීවර ගම්මානයක්, එහි වුව පවතින ඇතැම් විටෙක පැන නගින ජාතිවාදය, කුලවාදය, විශේෂයෙන් පාස්කු නාට්‍ය ඉතිහාසය සහ සංස්කෘතිය ආදියෙන් පෝෂණය වුවද, දැන් දැන් එරික් ට ඒ ඒ උපමාතෘකා වල මාත්‍රාවන් වල ඖචිත භාවිතය ගැන එතරම් වග වීමක් නැති සෙයකි.

සූර්ය ක්ලාන්තය: දර්ශනය පිළිබඳ තරුණ උගතෙක් තම විශ්වවිද්‍යාල පත්වීම නැති වී, රජරට කොලනි ගම්මානයකට පැමිණෙයි. එහි දී ඔහුට ඔහු තුල ගම පිළිබඳ ඇති ෆැන්ටසිය නැති වී සත්‍ය වශයෙන් පවතින නගරයේ සංක්‍රමනය වූ වෙනස් වූ ගමක් හමු වේ. මේ වෙනස්වීම පෙන්වා දෙන ආකාරය මා සිත් ගත්තේය. මා එකම පිටුවක උපුඨන දෙකකින්, එරික් ගේ සූක්ෂම නිරීක්ෂණයත්, පාඨකයා අධෛර්‍යය කරන අතිශයෝක්තියත් පෙන්වා දෙන්නට උත්සාහ කරමි.

"භටයා ගමෙන් සමු ගත් පසු කුසල්ට හැඟුණේ ඔහුට ණයගැති හැඟීමකි. භටයා නිසා තමා අංග සම්පූර්ණ කොලනි වැසියකු වීමට වුවමනා සුදුසුකම් සපුරා ගත් බව ඔහුට සිතිණි. එවැනි බෞතීස්මයකින් තොරව පිටස්තරයකුට කවදාකවත් ජනපදිකයකු විය නොහැකිය. ඔහුට හැඟුණේ ජනපදයද ඩාන්ටේ ඇලිගේරිගේ 'ඉන්ෆර්නෝ' හෙවත් 'අපාය' මෙන් විවිධාකාරයෙන් දඬුවම් ලබන පව්කාරයන් සිටිනා ස්ථානයක් බව ය. ජනපදය යන වචනයට වඩා ගැළපෙන වචනයක් ඒ වෙනුවෙන් සොයා ගත නොහැකි බවත්, ඒ වචනය සිංහල භාෂාවෙන් උදුරා දැමුව හොත් සමාජ ජීවිතයෙන් විශාල පදාසයක් මැකී යන බවත් ඔහුට සිතිණි." (117 පිටුව)

අපි ඉන්ෆර්නෝ ගැන සැසඳීම ඉවසමු (කුසල් දර්ශනය හැදෑරුවෙකි - එවන්නෙකුට එවන් රූපක සිතට ඒම සිතා ගත හැක). මේ සමස්ත ඡේදය බොහෝ දේ පවසන සියුම් නිරීක්ෂණයකි. ඇවැසි නම් කොලනි ජීවිතය සමාජ විද්‍යාත්මක ඇසකින් බැලීමට බලකිරීමට ආරාධනාවකි. මේ අප කලක ඉඳං සිත්ගත්, කියවීමට මහත් ප්‍රිය කල එරික් ය. අදටත් මා සිතන්නේ ඔහුගේ බගන්දරා සිට පේත දක්වා වූ නවකතා අටක සාර්ථකත්වය සුනේත්‍රා රාජකරුණානායක වන් දීර්ඝ කාලයක් සාර්ථක නවකතා ලියූ ලේඛිකාවකට නොදෙවෙනි බවය. පෞද්ගලික්ව මා එරික් ට වඩා රුචි ඔහු බගන්දරා ආදි නවකතා මගින්, අන් සිංහල ලේඛක-ලේඛිකාවන් නොඇල්ලූ මානයන් සියුම්ව අප ඉදිරියට ගෙන ඒමයි.

ඉන් පසු අප මෑත කාලයේ සිට දකින එරික් දෙස බලමු ( "පේත" වලින් පසු මා කියවා ඇත්තේ "මැස්සා" සහ "තිවංක කතාව" පමණි. අනෙක්වා කියවීම කවදා වේවිද නොදනිමි. එහෙත් වඩා ප්‍රිය පොත් ඉක්මනින් කියවීමේ න්‍යායෙන් එරික් දැන් ඉවත් වෙමින් පවති. කෙටිකතා එකතුවන් තුල කතා කිහිපයක හෝ පැරණි එරික් අපට තවම හමු වේ.) 

"තැපැල් මහත්තයා, ජනපද නිලධාරි, ඩිස්පැන්සරියේ හෙදිය, අහල පහල ගුරුවරු ඇතුළු ආණ්ඩුවෙ සෙවකයෝ ද, පන්සලේ පොඩි හාමුදුරුවෝ ද ඔහුගේ ඉංග්‍රීසි පංතියට පැමිණියහ. චන්ද්‍රා රාලහාමි නිතර සඳැල්ලට පැමිණියේ ය. සුනාමිය ගැන ලියා තිබුණු 'මුතු ඇටය හැඬූ දා' පොත සහ 'බ්‍රේස්ගර්ඩල්ගේ වතු කම්කරු සටන' පොතේ සිට 'විර්ගන්ස්ටීන්ගේ භාෂා න්‍යාය' සහ එස්. පියසේන ලියූ 'කළු ජූලියේ රිදී ජුබිලිය හා ජේම්ස්ගේ නිදහස' දක්වා පොත් ඉල්ලා ගෙන ගිය ඔහු ඒවා එක හුස්මට කියවා ආපසු රැගෙන ආවේ පිටු ලකුණු කළ දුරකථන අංක, ඔත්තු, ඇන්ට්‍රි අංක, බඩු බිල්, වාහන නොම්මර ආදිය ද සමඟිනි.

  හජිමේ නජමුරගේ 'පෙරදිග මිනිසුන්ගේ චින්තන විධි' පොත ඔහු දෙදිනක් තිස්සේ කියවා අවසන් කර තිබුණේ මුරපොළක සිටිමිනි. කුසල්ට හැඟුණේ කියවීම සත්ක්‍රියාවක් ලෙස දකිනු විනා එහි සමාජ සාරය සෙවීම නිෂ්ඵල දෙයක් බවකි."

මේ ඉහළ ඡේද දෙකකින් ගත් උදෘත ගැන කුමක් කියන්න ද ? මා සාමාන්‍ය පොත් කියවන්නෙක් පමණකි. එරික් උඩ මට ගෝචර නොවන දෙයක් කියනවා ද නොදනිමි. එහෙත් මගේ  ආධුනික අදහස නම් එරික්ගේ පුළුල් කියවීමෙන් ඔහු තම නිර්මාණ වලට ගෙන එන ප්‍රධානම අංගය උසස්/ප්‍රසිද්ධ පුද්ගලයන්/කෘති වල නම් ඇද බෑම නම් එය ඔහු අර මා පෙර කී නවකතා අටක ශ්‍රේෂ්ඨ උරුමයට තමංම හානියක් කරගන්නා බවකි.

රිදී තීරය: කල්පිටියට පැමිණි සරණාගතයින් අලලා ලියැවුණු තවත් කෙටිකතාවකි. එම සරණාගතයින් ට අරුත්බර, ඔවුන් විඳි, ජීවිත තිබූ බවත්, ඔවුන් මේ ආගන්තක වටපිටාවේ නව ජීවිතයකට හුරුවීමේ අභියෝගයට මුහුණ දෙන අයුරුත් පෙන්වන රසවත් කෙටිකතාවකි. කෙටිකතාවේ හදිසි අවසානය එම ප්‍රජාවද තම පැවැත්ම වෙනුවෙන් යම් කුරිරත්වයක් වුව ඉවසනා තැනකට ඇවිත් සිටින බව අඟවන්නක්ද ?

සින්ඩරෙල්ලා: ශ්‍රී ලංකා හමුදාව, බෙදුම්වාදි කොටි සංවිධානය, සහ ඉන්දීය සාම ආරක්ෂක හමුදාව යන තුන් පාර්ශවය අතර ගැටුම් සිදුවද්දී, එම ගැටුම් වලට මධ්‍යයේ සිදු වූ දරු උපතක් හා බැඳි, අපූරුවට ගෙතුණු කෙටිකතාවකි.

පක්ෂි වන්දනය: පක්ෂීන් වන්දනා මාන කල බවට විකල්ප න්‍යායක් ගැන ගෙනහැර දැක්වෙන ඒකපාත්‍ර භාෂණයක් ලෙස දිගැහෙන කෙටිකතාවකින් මෙම සංග්‍රහය අවසන් වේ. මා මෙම අවසන් නිර්මාණය රසනොවින්දද, පෙර කී දුර්වලතා වලින් තරමක් අඩු රචනාවකි. 

පුළුල් ලෙස  එරික් ගේ ප්‍රබන්ධ මාතෘකා තුනක් යටතේ ලයිස්තු ගත කල හැකි යැයි සිතමි (මේ තුන් කොට්ඨාශයන්ගෙන් පරිබාහිර ඒවා ද නැත්තේ නොවේ - නිදසුන් ලෙස පරදේසි ප්‍රකාශ කර හැක). එකක් නම් මීගමුව සහ ඊට ආසන්න පලාත් වල උප-සංස්කෘතිය අලලා ලියැවුණු නිර්මාණ ය ( උදා: බගන්දරා.) මා මේ නිර්මාණ මහත් සේ රසවිඳිමි. දෙවැන්න විශේෂයෙන් මන්නාරම-කල්පිටිය යන පෙදෙස් ද ඊට සමගාමීව අප රට පැවති සිවිල් යුද්ධය හා බැඳි නිර්මාණය. මා දන්නා තරමින් සිවිල් සේවකයෙකු ලෙස ඔහුගේ අත්දැකීම් ඔහු තම නිර්මාණ වලට දක්ෂ ලෙස ඇතුලත් කොට ඇත( විශේෂයෙන් කෙටිකතා - උදා: ඔටුවා). තෙවැන්න නම් එම නිර්මාණයන් රචනා කරනා කාලය හා තදාසන්නයේ සිදු වූ සිදුවීම අලලා කෙරුණු නිර්මාණය ( උදා: පාදයාත්‍රා, තිවංක කතාව, බැග්ඩෑඩ් කෙටිකතාව). මේ නිර්මාණ බොහෝ විට සාර්ථක වුවද, ලේඛකයාගේ පෙර කී කියවීම හරහා ඔහු ලබන ආභාෂය තම නිර්මාණ වලට ඇතුලත්කරගැනීමේදී, එහි සුදුසු නුසුදුසුබාවය ගැන ඇති තක්සේරුව දුර්වල නිසා මෑත කාලයේ ලියැවුණු කිනම් හෝ නිර්මාණයකට එහි ඍණාත්මක ආභාෂය ලැබිය හැක. මා සිතන්නේ පරදේසි නවකතාවේ බොහෝ කොටස් කතුවරයා තම කියවීමෙන් ලත් කරුණු භාවිතාවෙන් ලියැවෙන්න ඇතැයි සිතාය. එය රසවත් නවකතාවකි. එහෙත්, සූර්‍ය ක්ලාන්තය වැනි කෙටිකතාද, තිවංක කතාව වැනි මෑත ප්‍රකාශ වූ නවකතා වලටද මා ඉහත කී තක්සේරුවේ දුර්වලතාව නිසා ම කියවන්නිය අධෛර්‍යය කරවන නිර්මාණ ලෙස එළි දැක ඇත. මා මේ දේ පවසන්නේ කතුවරයා මෙය දකින්නේ නම්, ඔහු මේ පිළිබඳ විමසිලිමත් වේවි යැයි සිතා කරන සත්චේතනාවෙනි (තිවංක කතාව ගැන ලිවිමේදී ද මා දෙ කීවේය). දැන් දැන් අප රට පිළිගත් විචාරයකයින් ද එරික් ගේ මේ 'ආභාෂ ගැටුම' ගැන කතා කරනා බවකි අපට ඇසෙන්නේ. 

ශ්‍රේණිය: ***1/2
2022 වසරේ හොඳම කෙටිකතා සංග්‍රහය සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සහ ගොඩගේ සම්මාන දිනූ නිර්මාණය


Thursday, 30 July 2026

ඊස්ට්‍රජන් - සුරේඛා සමරසේන

2025 වසරේ හොඳම ස්වත්‍රන්ත්‍ර කෙටිකතා අත්පිටපත වෙනුවෙන් පිරිනැමෙන විදර්ශන සාහිත්‍ය ත්‍යාගය දිනූ ඊස්ට්‍රජන් කෙටිකතා සංග්‍රහය කියවීමි. මෙහි එන කෙටිකතා සියල්ල ම අඩු වැඩි වශයෙන්, අප රටේ ගැහැණුන් මුහුණ දෙන ගැහැට, ඉන් මිදීමට වරෙක ගැහැණියක් ගන්නා පියවරක්, ආදී සිද්ධීන් අලලා ලියවුණු රචනාය.

මෙහි එන පළමු කෙටිකතාව වන 'වැළි සිමෙන්ති' මගින් කාන්තාවකට, වෙසෙසින් තම බිරිඳට ගරු කිරීමට අප රට සමහර පිරිමි කොට්ඨාශයක් නොදන්නා ආකාරයත්, පිටස්තරයන් ඉදිරියේ හෝ ගරු සරු ඇතුව කතා කිරීමට තරම් කාරුණික නොවන අයුරුත් පෙන්වන්නකි. එම කෙටිකතාවේ අනෙක් මාතෘකාව වන්නේ මැද පාංතිකයින්ට නිවසක් නිමවා ගැනීම යනු සත්‍ය වශයෙන් ම කොන්ද කැඩීමක් බවත් සනාථ කිරීමය. අප රට සාමාන්‍ය කියමන වනුයේ 'සෙනසුරු අපලයක් තියෙනවා නම් ගෙයක් හදපන්' කියාය. සෙනසුරු ග්‍රහයා දුකට, මහන්සියට සහ කැපවීමට අධිපති යැයි ඇති විශ්වාසය නිසා, අප විසින්ම ස්වේච්ඡාවෙන් දුකක් සහ මහන්සියක් තෝරාගෙන නිවසක් සෑදීමට ධනය හා ශ්‍රමය කැප කරන විට සෙනසුරු අපලයේ දරුණු බලපෑම බොහෝ දුරට අඩු වන බවට විශ්වාසයක් වෙසෙසින් අපට පෙර පරම්පරාවේ අයට ඇත. 

මෙහි එන 'තොරණ' නම් වූ කෙටිකතාව, අප රට සමහර විවාහයන්හි කාන්තාවකට මුහුණ දීමට සිදු වන ලොකුම අසාධාරණයත්, එයට යම් විසඳුමක් සෙවීමේදී ඇති දුෂ්කරතාවත්, අන්තිමට තමා සොයාගත් විකල්ප විසඳුම කෙරෙහි වෙහෙසට පත්වීමත් ඉතා ඍජුව කතා කරනා කෙරෙන්නෙකි. මෙලෙස විවෘතව විවාහක කාන්තාවන් මුහුන දෙන ලිංගික අසාධාරණත්වය කතා කරනා අන් නිර්මාණයක් නැති තරම් විය හැක.

'පොට්ටු', අප රට එක්තරා ජනකොට්ඨාශයක වඩාත් සාම්ප්‍රදායික සිතුම් රටාවන් අභියෝගයට ලක්වුණු අවස්ථාවක, මෙහි එන කාන්තාව තම විමුක්තිය තෝරා ගන්නා තීරණය, තමන්ගේම කණ්නාඩිය සමඟ කෙරෙන නොනිත් දෙබසක් ඔස්සේ කෙරෙන අපූරු නිර්මාණයකි. මේ වන විට කෙටිකතා ත්‍රිත්වය ආකෘති තුනක් ඔස්සේ නැවුම් බවක්ද අපට ගෙනවිත් තිබිණි.


අයෙකුට මෙහි එන කෙටිකතා වල යම් යම් තරමක සුලභ උපක්‍රම සහ මාතෘකා භාවිතා වනවා යැයි චෝදනා කල හැක. එහි යම් සත්‍යයක් ඇත. එහෙත් ලේඛිකාව එම කෙටිකතා ගෙන හැර දක්වන කෙටි ආකාරය, සහ ඍජු ආකාරය හේතුවෙන් ය මෙහි ඇති ආකර්ශනය ඇත්තේ. මෑත දිනෙක ලේඛිකාව සහභාගි වූ සමුළුවකදී ඇය කීවෙ ඇගේ මුරණ්ඩුකම හේතුවෙන් අන් අය 'කෙලින් ම නොකියන දේ' ඇය කියනා බවකි ( ඒ වන විට ද මම මේ සංග්‍රහ්‍ය කියවා අවසන් ය). එවන් කෙටි කතා ද නැත්තේ නොවේ (නිදසුන් ලෙස තොරණ). එහෙත් ඊට එහා ගොහින් මතභේදාතමක නොවන වටපිටාවක දී ද ඇගේ ඉදිරිපත් කිරීම පාඨකයන් රඳවා ගන්නට සමත් ය. මෙහි එන බාලම්මා සහ ඩිමෙන්ෂියා රෝගය ගැන ලියවුණු  "අපි දෙන්නා" කෙටිකතාව එවැන්නකි. තනිකඩ කාන්තාවක වයසට යෑමේදී සමාජයට ඇය මගහැරීම සහ ළබැඳියන් නැති වීම නිසා ම ඇය ට ඇය අමතක වීම බොහෝ රටවල පවතින ප්‍රශ්ණයකි.

මේ දින වල මා කියවන එක් නවකතාවක් වන්නේ සැලී රූනි ගේ Intermezzo. එහි තමන්වත්, තම පස් හැවිරිදි සොහොයුරාවත් දමා අන් පුරුෂයෙකු හා යෑමට තීරණය කල මව සහ වැඩිමල් පුතු අතර අවුරුදු දහසයකට පමණ පසු ඇති වන දෙබසක, තිබූ සෝපාහසය මා සිත් ගත්තේය.

"I'm worried about him, Peter. His poor father is only dead a few weeks, you know.

His father, he repeats. Okay. He was also my father, I believe. Unless you have some surprising news for me.

Crackle of her breath. God help me she says. How did I raise such insolent children?

..... If it's any consolation, he says, you didn't really,

Noise of her laughter now, angry. Oh, here we go, she says. I suppose your father raised you both on his own, did he?

He did his best.

So did I.

....In a lowered voice he says into the phone: You left when Ivan was five years old, Christine.

Marriages break down, Peter. I know that's difficult for you to accept. But I didn't leave my children." 

මට මේ දෙබස මෙහි ඇතුලත් කිරීමට හේතු වූයේ, මෙම සංග්‍රහයේ එන "වංකගිරියක" නම් කෙටිකතාවේ වෙසෙසින් ලිංගික අසාධාරණය හමුවේ, ඊට එරෙහිව තීරණ ගත් කාන්තාවන් දැක දැකත්, තමන්ගේ නව යොවුන් වියේ දුටු එක්තරා සිද්ධියක් පදනම් කරගෙනෙ තීරණයක් ගැනීම නොතකා හරිනා කාන්තාවක් හමුවේය. තමන් ට වඩාත් ම වැදගත් කුමක් ද කියා තම සිතට අවංකව තීරණ ගැනීමත්, ඒ තීරණ හමුවේ පසුපසින් එන පළවිපාක වලට මුහුණදීමත් සිත ධෛර්‍යමත් කර ගැනීමත් එක සේ අපහසු ය. ඉහත උදෘතයේ එන ක්‍රිස්ටීන් නම් මව පුතුන්ගේ අවලාද වලට තවම හුරු වී නැති සැටිය. වංකගිරියේ එන නිර්නාමික කාන්තාව එම කාසියේ අනෙක් පැත්තය. කෙටිකතාවෙ නම් ඊට වඩාත් සුදුසුය.

නවයොවුන් වියේ පළමුවට සිත බැඳෙන කාන්තාව තරුණයෙකුට ගෙන එන්නේ දෛවය මගිනි. එහි සමාජයේ පිළිගත් සදාචාරයන් ට ලැබෙන්නෙ පසු විපරමකි. මීට වසර හැටකට පමණ පෙර ගුණදාස අමරසේකර  ශ්‍රේෂ්ඨ නවකතා ත්‍රිත්වයකින්  මෙම කාරණා ගැන ලීවේය. "කනදරාවේ කාන්ති" ගැන ඇති ප්‍රතිරූපය විනාශ කරගැනීමට ඇගේ බෑනා වන පුතෙකු අකමැතිය.

පිටු 64 ට සීමා වන මෙම කෙටිකතා සංග්‍රහය මා සිත් ගත්තේ, සෑම කතාවකම ඇති 'තිත්ත ඇත්ත' හි ඇති ආකර්ෂනයයි. අයෙකුට පෙර කීවාක් මෙන් මෙහි එන්නේ සුලභ නුමුත් පහසුවෙන් ම කියවන්නියගේ කුකුස වඩවන තත්වයන් යැයි කිව හැක. එලෙසම රචනා ශෛලිය අවශ්‍යම දෙබසකට සීමා වූ අවස්ථා බහුලය. මෙම කාරණා තරාදිය දෙපැත්තේ තබා මැන්නද, මෙම සං‍ග්‍රහය සාර්ථකයැයි කීමට මා කමතිය. එලෙසම, මෙම සංග්‍රහය අප රට ප්‍රමුඛතම සම්මානයකට නිර්දේශයට නොහැකි වීමේ නෛතික තත්වයන් විසඳාගැනීමට නොහැකි වීම අවාසනාවන්තය. 

ශ්‍රේණිය: ****