කෙටි කතා සංග්‍රහයේ පිට කවරයේ එහි නම සඳහන් ආකාරයටවත් එහි නම මෙහි නිමවා ගැනීමට නොහැකි, කෙටිකතා සංග්‍රහයකි ; තිලකසේනගේ පළමු කෙටිකතා සංග්‍රහයයි; 1960 වසරේ පළ වූවකි - ඒ නිසාම මෙහි එන විස්තර මගින් අප කිසිදා නුදුටු යුගයක් ගැන සාංකාවක් ඇති වීම ස්වභාවිකය. කෙටි කතා 11කින් සපිරිය. මීට පෙර මා කියවා ඇති කෙටි කතා සංග්‍රහයන් දෙක ( පිටුවහල් කර සිටිද්දී ; රාත්‍රියේ පූර්ව භාගය ) තුලින් අප දුටු තිලකසේන නිර්මාණ වල ඇති ස්වරූපයට අඩිතාලම වැටෙන ආකාරයත්, හුදෙක් සිතුවිලි මාත්‍රාවන්, මෙනෙහි කිරීම්, ආදියෙන් පෝෂිත නිර්මාණ මෙහි ඇතුලත් වේ. ඇත්තෙන් ම පෙර කී සංග්‍රහයන් දෙකට වඩා මෙම සංග්‍රහය රස වින්දේ, සමහර විටෙක අපි 1960 දශකයේ මැද පමණ දැක ඇති තිලකසේන ගේ නිර්මාණ වලට වඩා මෙහි යම් තරමක හෝ සම්මත සාහිත්‍ය ලක්ෂණ ද දැක ගත හැකි නිසා විය යුතුය. ඒ නිසා ම පෙර කී සංග්‍රහයන් ට සාපේක්ෂව මෙම සංග්‍රහයේ කෙටි කතා කියවීම පහසු විය.
මෙහි එන කුඩා ශ්‍රියානි, වස්තුව, සහ තිසාට උන, යන කෙටි කතා ත්‍රිත්වය මුලික වශයෙන් කුඩාවුන් මුල් කොට ගෙන ලියැවී ඇත. ඉන් වෙසෙසින්, වස්තුව, කෙටි කතාව කියවනා කල රනාල - ආටිගල වැනි පෙදෙස් මීට වසර 75 ට පෙර කෙසේ තිබෙන්න ට ඇත්තේදැයි සිතේ. නාගරීකරණය නොවූ ඒ යුගයේ, අපේ කතා නායකයා තමන් 11 වියැති දරුවෙක් ව සිටියදී තනියෙන් බස් රථයක ගිය ගමනත්, තමන් ගිය නෑ ගෙදර ගඟ අසබඩ වූ සිදු වූ සිදුවීමක් ගැනත් මෙහි කියැවේ. කෙටිකතාව රචනා වී ඇත්තේ 1956 දී ය. '56 දී මෙහි එන කථකයා ආවර්ජනයක යෙදෙන්නේ නම්, මේ ගමන් ඊටත් වසර දහයකටවත් පෙර සිදූ වූවක් විය යුතුය. එනම්, ලංගමත් ස්ථානපය වීමට පෙර යුගයක කතාවක, රුපියලේ මුදල් නෝට්ටු භාවිත වූ යුගයක ආවර්ජනයකි. තිසාට උන කෙටිකතාවේ, කුඩා තිස්ස ගේ මනසින්, එම වයසේ දරුවෙකුගේ අදහස් ගලායෑම පෙන්වා දෙන අයුරින් ලියැවී ඇත. ඔහු තම නිවෙස අසල අන් ළමුන් සමඟ කෙළි සෙල්ලම් කරනා ආකාරය, පාසැලේදි උන හැදී ආපසු නිවෙස ට ඇවිත් තම දෙමාපියන් සහ මෙහෙකරුවන් ආදින්ගෙන් සාත්තු ලබනා ආකාරය, ඔහුගේ අක්කාගේ මගුල් ගෙදර, අක්කාගේ මණමාලයාගේ සපත්තු සෙදීමට ගොස් සිදු වූ අකරැබ්බයක්, ඔහු ගේ අක්කා ඊට පෙර වෙනෙකුකට ලියුමක් ලියූවැයි අම්මාගෙන් දොස් ලබද්දි, තමන් ද තම මිතුරන් ට ලියුම් ලියා ඇති හෙයින් ලියුමක් ලිවීමේ ඇති වරද කුමක්දැයි කල්පනා කරන්න ට වීම ආදි, එම කුඩා ළමයාගේ සිතුවිලි වලින් මෙම කෙටිකතාව පෝෂිතය. වස්තුව, සහ තිසාට උන යන කෙටි කතා දෙකම මා මහත් රස වින්දෙමි.
නිරර්ථක ජීවිතයක සාර්ථක මොහොතක් (1955) කෙටිකතාව, කතානායිකාව තම පෙර සැමියාගේ වියෝව පිළිබඳ සැල වී, ඔහු ගැනත්, ඔහු ගේ සහ ඇයගේ අදහස් අතර වෙනසත්, ඔහු ගැන මතකයනුත් පිළිබඳ ආවර්ජනයකි.
"ඊට මාස කීපයකට පසු ගුනසාරව යලිත් දුටු බවත් ඔහු ඈ සමඟ කීයේය. හරමානිස් ට්‍රොලි බස් රථයේ ඉහල තට්ටුවේ වාඩි වී බොරැල්ල දෙසට යමින් සිටියේය. එවිට පුංචි බොරැල්ලේ බෝගහ ලඟදී ගුනසාර පත්තරයක් කියවමින් කොටුවට යන ට්‍රොලී බස් පෝලිමේ හිටගෙන සිටිනු ඔහු දුටුවේය. ... ගුනසාරගේ ඇස් පෙරට වඩා ගිලිහි තිබුනේය. එහෙයින් ඔහුගේ මුහුනින් වයස් ගත්තෙකුගේ විලාශය ප්‍රකාශ විය." (19 පිට)
මෙවැනි ම පෙර යුගයක, කෙටිකතාවට ඍජු ව අසම්බන්ධ, එහෙත් අප තුල සාංකාවක් ජනිත කරලීමේ විභවතාවක් ඇති සිදුවීමක් කරුනා (1956) කෙටිකතාවේ ද අපට හමු වේ.
"දුම්රියපල පාරත් ඇතුලු-වට-රවුම් පාරත් එකට සන්ධි වන තැනට ඔහු කන්ඩිය දිගේ ඇවිද ගෙන ගොස්, එතන නතර වී දුම්රියපල දෙසට හිස හැරවී ය. ඕපනායක දෙස සිට ආ දුම්රිය ආ දුම්රියපලේ නොනවත්වාම ගසාගෙන ගියේය. ඇතැමුන් දුම්රියපල දෙසට දුවන්නට වූ අතර ඇතැම්හු කඩිමුඩියේ එහි සිට එලියට එන්නට වූහ. ඒක බඩු කෝච්චියක්ද කොහෙදැ' යි කවුදෝ කියනු ඔහුට ඇසුනේය." (40 පිට)
කරුනා කෙටිකතාවේ, අම්මාගෙන් ලියුමක් ලබන අප කතාකරු ඇගේ අවුල් ලියවීම් රටාවේ එන එක වැකියක් කියවා මනස අවුලට පත් කර ගනී. ඒ, කරුනා, විවාහ වන්නට යන බව අන් කරුණු අතර වෙසෙස් විස්තර වලින් තොරව සඳහන් ව තිබීම හේතුවෙනි. සාර්ථක නිර්මාණයකි.
පෙබරවාරී මාසයේ එක් සැන්දෑවක් මෙහි එන මා වඩාත් ම රස විඳි කෙටිකතාව විය. තරුණයන් කිහිප දෙනෙකුන්, ඉන් එකෙකුට අයත් කබල් කාරයක් නැඟී ඔවුන් දන්නා අය ගේ නිවෙස් වලට ද, තේ වත්ත පල්ලියේ මංගල්ලය ට ද, ගොස්, නිදහස් ව, සතුටින්, කල් ගෙවන සන්ද්‍යාවක් ගැන අපි මෙහි කියවීමු. වගකීම් වලින් තොර වීම, මිතුරන් අතර සිටීමේදී ඇති සතුට, ආදීය පාඨකයාට හොඳින් සන්නීවේදනය වන ආකාරය මෙහි සාර්ථකත්වයට හේතුව යැයි සිතමි. අජිත් තිලකසේන කොහොමත් "ගලන මුහුදු රැල්ලක, ගලා හැලෙන දිය ඇල්ලක සෞන්දර්යයක් තිබුනත් එහි ඇති 'තේරුම' කුමක් ද?" යන ස්ථාවරයේ සිට තම කෙටිකතා වල තේරුම සොයන අය වෙනුවෙන් පැහැදිලිකිරීමක් කර ඇත්තෙකි.
මෙහි එන කෙටිකතා දෙකක, කෙටිකතාව අතර මැද දි, ප්‍රධාන චරිතය යැයි සිතිය සිතිය හැකි අය මාරු වෙයි. හතුරෝ නම් රසවත් කෙටිකතාවේ, මුලින් ජයේ හෙවත් ජයන්ත දික්වැල්ලේ අවදානය යොමු චරිතය මුත් ඔවුන්ට නිහාල් හමු වීමෙන් පසු නිහාල් ගේ දෘෂ්ඨිකෝණය ට මාරු වෙයි. ජයේ පාසැලෙන් කලින් පැන තම මිතුරාත් එක්කලා යන්නෙ ඔහුගේ ගැහැනු ළමයා හමිවීමටය. නිහාල් ඒ ගැන විමසුවද ඔහුට යමක් නොකීම හේතුවෙන්, ඔවුන් හා ඇති මිතුදම බිඳි ගොස් ඔවුන් සතුරෝ ගනයට වැටෙන බවට නිහාල් සිතයි. මෙහි එන දුබල මිනිස්සු කෙටි කතාව ද මෙලෙස් අවධානය යොමු වන චරිතය වෙනස් වෙමින් නිර්මාණය වුවකි. අප මුලින් දකින්නේ අයේෂා ගේ චංචල වික්ෂිප්ත සිතුවිලිය. ඒ ඇය ගැන විශාල තීන්දුවක් ගැනීමට සූදානම් ව සිටින හෙයිනි. ඒ අතර සිය පෙම්වතා ගැන සැකයන් ද උපදී. එ අතරේ තිස්ස ද ඇය කෙරෙහි අදහස් ඇති ව එම නිවසේම වෙසෙන්නෙකි. තිස්ස ට තම අදහස් ඍජුව කීමට නොහැකිව පැකිලේ - හෙවත් මේ චරිත දෙකම දුබල චරිතයෝය.
ජීවිතයක සිහිවටන කෙටි කතාවේ තම ගූරුවරියක, ඇගේ ප්‍රේම සම්බන්ධය පටන ගන්නා කාලයේදී ඈව තම පෙම්වතා හමු වීමට භාවිත කල ආකාරය, ඈට වැටහෙන්නේ පසුව ගුරුතුමිය සිය සැමියා සමඟ මග තොට දී දුටු විටය. ඒ ගැන ඇය තුල වික්ෂිප්ත අදහස් පහළ වෙයි -ඇය පාවිච්චි වූවා ද ? ඇය එතරම් අන්ධ ද ? එසේ මුත් ඇයට සිදු වූ අවැඩක් ද නෑ නේද ? - ආදි සිතුවිලි ගොන්නක ඈ තෙරපේ.
අක්කාගේ මිතුරිය ගැන උනන්දු වන අප කතා නායකයා තම විභාගය අසමත් ව නැවත ඊට පෙනී සිටීමට යත්න දරන්නෙකි. ඔහු ගේ සිතුවිලි සමුදාය, විභාගය ගැන කලකිරීම ආදිය ගොනූ කල ලීවකි, එම කෙටිකතාව.
පෙර කීවාක් මෙන්, මෙතෙක් මා කියවා ඇති තිලකසේනයන්ගේ කෙටිකතා පොත් තුනෙන් බොහෝ රසවිඳි සංග්‍රහය මෙයයි. මෙය දැනට මුද්‍රණයේ ඇත්තේ ද යන්න සැක සහිතය. දිනෙක මා මිතුරෙකු සමඟ මරදානේ පොත් මිලදී ගැනීම වෙනුවෙන් වෙන් කොට, රාක්ක අවුස්සා පරණ පොත් සොයද්දී, ඔහු විසින් සොයාගෙන තිළිණ කලවූවකි මෙම පිටපත.
ශ්‍රේණිය: ****