Friday 27 August 2021

මල් නැති උයන - එරික් ඉලයප්ආරච්චි

 ලේඛකයා ගේ මුල් කාලීන කෙටි කතා කියවීම මා ඇරඹුවේ මෑතකය. ගිය අවුරුද්දේ වඩදිය කියවූයේ ඒ අනුව ය ( https://me-and-err.blogspot.com/2019/08/blog-post_31.html) . එනමුදු බැග්ඩෑඩ් ගෙන් මෙපිට බහුතර කෙටි කතා සංග්‍රහයන් කියවා හමාර ය. දැන් දැන් ඒ මගැරුණු කෙටි කතා කියවීමේ උවමනාවකින් පෙළෙමි. මෙය ඔහු ගේ දෙවෙනි කෙටි කතා සංග්‍රහයයි.

 මෙම සංග්‍රහයේ මුල් කෙටි කතා දෙක කියවා අවසන් වද්දී අප සිතට නැගුණු අදහසකි. එනම් මෙම සංග්‍රහයේ කතුවරයා, මල් නැති උයන ලෙසින් අර්ථ දක්වන්නේ, සමාජවාදී උයන ක උතුම් පැතුම් මල් පළ නොදැරූ වටපිටාවක් පිළිබඳ තම නිරීක්ෂණ, ගෙතුම් ආශ්‍රයෙන් ලියැවුන්නක් ද යන්න ය.  තෙවෙනි කෙටිකතාව වද්දී, එම උයනේ මල් පිපුණ ද ඒ පෙර යුගයේ ප්‍රාර්ථනා මල් නෙමේ.

එනමින් ම එන කෙටිකතාවක් ද මෙහි එයි. මහා උයනක් බඳු මුළු ගමම මලින් බර කරා වූ, ප්‍රශංසාවට ලක් වූ ඉස්කෝලේ මහතා ගේ වයස්ගත කාලයේ දී, ඔහු ගේ උගත් පුතුන් දෙදෙනා ඔහු ළඟින් නොසිටීමත්, අනෙක් පුතා දේශපාලනය වෙනුවෙන් තම ජීවිතයේ අනෙක් සියල්ල කැප කිරීමත්  අලලා ලියූ කෙටි කතාවකි, එය. කෙටිකතාව අවසානයේ දී පාඨකයා ට හැඟි යන්නේ, මිය ගිය පියා, මල් නො පීදෙන දේශපාලනයක් වෙනුවෙන් කල් ගෙවන පුතුට, ජීවිතයට තවත් අවස්ථාවක් ලැබෙන ලෙසින් තම යුතුකම් කොටස ඉටු කොට තම දෑස් පියා ගෙන ඇති සෙයකි.

කාලකණ්ණියා -  
මර්සලීනු....  මීට වසර 30-40 ට පෙර අප රට ප්‍රචලිත වූ දේශපාලන මතවාදයන් වල හිර වූ, එම දේශපාලන ඉතිහාසයේ තවමත් ජිවිතයේ රස තැන් මතක් කරන, මැදිවියේ පෑළ දොර අබියස වෙසෙන්නෙකි. හෙමින් ජීවිතය ගෙවන, අනේක රහස් රැගත් ඇලකන්දේ හෝ, පාළු අසාරත්වයක් පිළිඹිබු කරන මුන්නේස්වරම වටපිට කුඩා ගම්මාන වල හෝ, ජීවිතය තේරුම් ගැනීමට තැත් කරන්නෙකි.  වැලිසර ලය රෝහල නොහොත්, කාස රෝහලේ සාත්තු සේවකයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කල අයෙකි.  ඔහු යම් තරමක තෘප්තිමත් ජීවිතය ගෙවන්නෙක් වුව ද, ඔහුගේ මිතුරා වන කුලරත්න නම් අලුත විවාහකයා සෑම දෙයක ම ඍණාත්මක පැත්ත දකියි - එය ඔහුගේ  රැකියාව, තම රාජකාරී නිල ඇඳුම, තම අලුත ගෙනා බිරිඳ ආදි අනේක කාරණා විය හැකිය. අප කතුවරයා ජීවිතය විඳීම යන කාරණය පෙන්වන ආකාරය අපූරුය.

මෙම කෙටිකතාවේ මා සිත් ගත් කාරණාවක් වූයේ මුන්නේස්වරම වේල් උත්සවය දින කෙරෙන 'රථය ඇදීමේ ' විස්තරයි. මගේ මවු පාර්ශවයෙන් හලාවත හා සබැඳි මා, මුළු හලාවතට ම පොදු උත්සවයක් ආකාරයෙන් අගෝස්තුවේ පමණ සිදු කෙරෙන "මුන්නේස්වරම් උත්සවේට" කුඩාවකු සිට වසර කිහිපයක් සහභාගි වී ඇත. හලාවත වෙසෙන කතෝලික, බෞද්ධ, හිංදු, බහුතරය ඊට සහභාගි වූ අතර, මගේ දෙමව්පියන් කොළඹ සිට වසරක් පතා කලෙක එම උතසවයට ගියෝය. කඹ යොදාගෙන මිනිසුන් ලවා එම රථය මුල් කිලෝමීටර බාගය පමණ අදවා ගැනීම පමණක් නොව, එම කර්තව්‍යට නියැළීමට මිනිසුන් 'හරෝ හරා' කියමින් පොර කන්නෝය. ඉතා කුඩා කාලයේ, පිටකොටුවෙන් ලංගම බසයක නැග ( මා පියා පෞද්ගලික බසයේ යෑමට අදි මදි කල අයෙකි), මීගමුවේ තේ බොන්නට නවතා, පැය දෙකහාමාරකින් පමණ හලාවත ට සේන්දු වූවෙමු. මගේ අම්මා ට සහෝදරියෝ පස් දෙනෙකු වූ අතර, ඔවුන් බොහෝ අය තම පවුල් සමග එහි එන, පවුල් වල එක්කාසුවක් ද ඒ කාලයේ සිදු විය. අපේ පරම්පරාව මෙම පුරුද්ද ඉදිරියට ගෙන ගියේ නැත. මෙම කෙටිකතාව කියවද්දී, මගේ දරුවන් ට හලාවත ආශ්‍රිත මෙම පෙදෙස පෙන්වීමට දොළක් උපන්නද, හලාවත ද වෙනස් වී ඇති බවත්, දැන් කාලයේ දරුවන් ට ද එහි එතරම් අපූරත්වයක් නොදැනෙනු ඇතැයි අනතුරුව සිතුණි.


 

ඒවං මේ සුතං - මේ කෙටි කතාව ඉතා පහසුවෙන් බගන්දරා රචිත කාලයේ මාළිමාගොඩල්ල ආශ්‍රිත පෙදෙසක් මතකයට නංවයි. ඊට ද කලකට පෙර කුරුඳු වගාව තිබූ බවත්, එහි ඉතිරිය කුරුන්ද නම් වූ බවත්, එය වළිසිංහ හරිශ්චන්ද්‍රයන්ගේ නිවෙස තිබූ පෙදෙස බවත් දැන ගන්නට ලබිණි. කදිරාණ දේවාලය, කොටදෙණියාව බස් ඩිපෝව ආදිය ගැන සඳහන් වේ. මා දන්නා පරිද්දෙන් එම බස් ඩිපෝව අද ක්‍රියාත්මක නැත. එවන් කාලයක එ ගම පිරිමින් ජාතික ඇඳුම ඇඳීම ට ඇති කැමැත්තත්, ඊට කෙතෙරම් ලැදි දැයි කිවතොත්, දේපළ සමඟ රූප සම්පත්තියෙන් සපිරි තරුණියක් ආවාහයට ගැනීම වෙනුවට තමන් ට පුරුදු ජාතික ඇඳුමත්, පෙරදිග සංගීතයත්, තෝරා ගන්නේ, මාමාණ්ඩිය ඉංග්‍රීසියට, කලිසමට පක්ෂ බව තේරුම් ගෙනය. මනමාළිගේ නිවසේ දී ඈත පල්ලියක සීනු නාදයක් මගින්, කතුවරයා එවකට තිබූ සිංහල කතෝලික උප-සංස්කෘතිය නියෝජනන කරන්නාක් මෙනි ( හෙළ හවුලේ ද සැලකිය යුතු කොටසක් මෙවන් ආකල්ප තිබූ අය ය). මෙය 1960 දශකය ආශ්‍රිත යුගයක් යැයි සිතමි. මනමාලිගේ නිවසේ සිට නැවත ඔවුන්ගේ නිවෙස් වලට ඒමේදී පරිසරයේ තිබූ සවස් කල මලානික බව, එක්තරා යුගයක අවසානය ඉඟි කරන්නා සේය. අපූරු නිර්මාණයකි. මෙය ඉතා පහසුවෙන් බගන්දරා නවකතාවට අතුරු කතාවක් ලෙස සේවය කල හැකිය.

බයිසිකල්කාරයෝ - නෝබට් නැවත ගමට පැමිණෙන්නේ වසර ගණනාවකට පසුව ය. ඔහු ආපසු එන්නේ බලාපොරොත්තු රැසක් ඇතිව ය. එහෙත් ඔහු පැමිණ ඇත්තේ බොහෝ කල් ගිය පසුව බවත්, දැන් 'තරඟබිම වෙනස් වී අලුත් තරඟකරුවන් ඇතුලත් වී ඇති බවත්' පෙනී යයි.  නෝබට් ගේ සිත් දිනා ගත් කාන්තාව ගේ හැසිරීම, නෝබට් ගේ ප්‍රතිචාරය, විවෘතව තීන්දු තීරණ වලට එන්නේ වාචිකව නොව හැසීමෙන් ම වීම, මෙම කෙටි කතාවේ අපූරත්වයයි.  අපූරු කෙටි චිත්‍රපටියක් මෙනි මෙම කෙටි කතාව ඇදී යන්නේ. නෝබට් සහභාගි නොවෙන සිංහල අවුරුදු බයිසිකල් තරඟයක් මත,  නෝබට් "අලුත් තරඟකරුවෙකුට" පරදින බව පෙන්වා දෙන්නේ, මෙය ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ කෙටිකතාවක් බවට පත්කරලමිනි.

මෙහි එන රසාදරි කියන කෙටිකතාව කිහිපාකාරයකට කියවා ගත හැකිය. මතුපිටින් එය අක්කා-මලෝ දෙදෙනෙකුගේ අළු යට ගින්දර ආරේ ඉඩම් හබයකි; අනෙක් පැත්තෙන් නෑනා-මස්සිනා සබඳතාවක් මග නැවතීමකි; සුදු නැන්දා ගේ සැඟවුණු ලෝබකම ගැන හෝඩුවාවක් කියවන්නියට ලබා දෙන්නේ ඇය පාරුවේ හමුවෙන මල් අම්මා නොමිලේ මල් දීම ගැන ඇයට කියන "උඹට විකුණන්න මල් ඉතුරු වෙන එකක් නෑ", කීම ඔස්සේය. එහෙත් ඒ හෝඩුවාව අප කතා නායකයාට හෝ එම පවුලේ කාටවත් ප්‍රමාණවත් නුවූ  බව පැහැදිලිය.

බිරිඳ හා වැඩි භජනයක් නැති වියපත් මුනිදාස, කැළණිය විශ්ව විද්‍යාල අසල පිහිටි බෝඩිමක තරුණයන් පිරිසක් සමග කල් ගෙවන්නේ එම සමාගම ඔහු ට ප්‍රිය වීමත්, ස්ත්‍රීන් කෙරෙහි ඔවුන්ගේ ආකල්පත් නිසා ය. එහෙත්, තම පිටරට සිටින පුතා මෙහි පැමිණි විට, ඔහු එම බෝඩිම මගරින්නේ එම "වල් අඹ" වන් තරුණයන්, හා සමාගමයෙන්, ජීවිතය ගැන යම් වෙනස්කමක් ගැන සිතන පුතා හමු වීම, පුතා ගේ තීරණයට උල්පන්දම් දීමක් වීමට ඇති ඉඩ නිසාය.  ඒ වන විට සිය බිරිඳ කෙරෙහි කෙතෙරම් නොපැහැදීමෙන් උන්න ද,  වයස්ගත පියෙකු ගේ දරුවන් කෙරෙහි ඔහු තුල ඇති උභතෝකෝටිකය පෙන්නුම් කරනා කෙටිකතාවකි, මෙය. 

සිය දැඩි මතයන්ගේන් මෑත් නොවෙන, "ගිරිකුළු" මෙන් නොසෙල්වෙන  මිනිසුන් දෙදෙනෙකුගේ මත ගැටීමක් ද, එය පරිබාහිර චරිතයනට බලපානා අයුරු ද පෙන්වන රසවත් කෙටිකතාවකින් මෙම සංග්‍රහය සමාප්ත වේ. මෙහි කථිකයා අවුරුදු 13-14 ක පිරිමි ළමයෙකු යැයි සිතිය හැකිය. ඔහු ගේ පියා ගේ සිතුම් පැතුම් ද, ඔහු ගේ ඉංග්‍රීසි ගුරුවරයාගේ හැසිරීම් ද, නෝනිස් වන් අවශේෂ චරිතයන් ඔහුට පෙනෙන අයුරෙන් ද විස්තර වී ඇත. තැපල් මහත්තයා අනගාරික ධර්මපාල තුමා ගේ සිතුම් මත නැවත සිංහලය රජයන යුගයක් ගැන සිහින දකින්නෙකු බව පැහැදිලිය. මට මෙම කෙටිකතාවේ විශේෂ කාරණාවක් වූයේ, මීට පෙර පරම්පරාවන් දරුවන් කෙරෙහි දැරූ ආකල්පයයි. තම සිතුම් පැතුම්, අරමුණු, වලට මූලිකත්වය දෙන මුත්, දරුවන් කෙරෙහි එතෙරම් අවදානයක් යොමි නොකොට ඔවුන් ට නිදැල්ලේ හැදෙන්නට ඉඩ හරිනා ආකාරයකි, එය. අප කථිකයා ට සිය මව නිසා යම් අස්වැසිල්ලක් ලැබුන ද, එය තාවකාලිකය. තැපල් මහත්තයා ඔහුට බොහෝ හිතවත් නෝනිස් මගරින්නේ, ඔහු පතන දේශයක දී නෝනිස් වන් වෙරළබඩ සංස්කෘතියක ට හිමි කම් ඇත්තෙකු ට ඔහු මනාප නැති නිසා බව  පැහැදිලිය.  දැඩි මත, අන්‍යෝන්‍ය අවබෝධය ට අකුල් හෙළන බව පැහැදිලිය. මෙහි දී ද අප ලේඛකයා ආයාසයකින් තොරව, මාතලේ කඳු අතරින්  සුවපත්  ව  හමන සුළං රැල්ලක් සේ  ගලා යන කතාවක් තුල, තම සමාජ දේශපාලන නිරීක්ෂණ ඔබ්බවා ඇත්තේ, එම සුළඟ ගෙනෙන සුවඳක් තරම් මොළොක්වය. 

වර්තමාන සිංහල ලේඛක ලේඛිකාවන් යම් කොටසක්, තම සමාජ දේශපාලන අදහස් පාඨක මනසට ගෙන ඒමට  ක්‍රියා කරන්නේ, තම නිර්මාණ තුල එම පණිවුඩ තද අකුරෙන් ලියා, යටින් ඉරි දෙකක් ඇඳ පෙන්වනා අයුරකිනි. මෙය නිර්මාණය ස්වභාවිකත්වයට, කලාත්මක බවට දැඩි හානියක් ගෙන දෙන්නාක් පමණක් නොව, සියුම් අයුරකින් පාඨක මනස ට  තම අදහස් බලෙන් ඔබ්බවීමට දරන තැතක් මෙනි. ඔවුන් ට ප්‍රබන්ධ නොවූ  කෘති වල මෙසේ ක්‍රියා කිරීමෙ පූර්ණ නිදහස ඇත - එහෙත් ප්‍රබන්ධ සාහිත්‍යයේ දී, පෙර කී ලෙස ක්‍රියා කරලීම පාඨකයෙක් ලෙස මා කතුවරයාගෙන් ඈත් කරලයි.



   මෙම කෙටි කතා සංග්‍රහයේ එන සංස්කෘතික ජීවිතයක එබිකම්කිරීම් ද සංග්‍රහයේ රසය තීව්‍ර කරනා අංගයකි.  මල් නැති උයන කෙටිකතාවේ,  1950 දශකයේ මැද සිට ලියැවුණු නවකතාව, කලා කරුවෙකු වුවද ජනතාවාදි ස්ථාවරයක සිටින විපුලසේන ප්‍රතික්ෂේප කරන්නේ කර්කෂ වචනයෙනි.
 වල් අඹ හි එන එක් අවශේෂ චරිතයක් රාත්‍රියෙ හි ගෙට ගොඩ වන්නේ Apocalypse Now චිත්‍රපටිය නරඹා මරාවතාරයක් දුටුවෙකු මෙනි. ඒවං මේ සුතං හි එන පොඩි බාප්පා, දේපළ හිමි රූමතියක් ප්‍රතික්ෂේප කරන්නේ තම නිදහස සපිරි සංගීතය විඳිමින් ගෙවන ජීවිතය වෙනුවෙනි. ගිරිකුළු කෙටිකතාවේ, තැපැල් මහත්තයා සහ ඉංග්‍රීසි ගුරුවරයා අතර දෙවෙනි වර වාදයක් නැගෙන්නේ අනගාරික ධර්මපාලගේ සන්දේශයක් ඉංග්‍රීසි හුරුවරයාට  ඇසෙන්නට තැපැල් මහත්තයා කීම හේතුවෙනි.

අප ට හැඟී යන්නේ, ලේඛකයා,  මුන්නේස්‍වරම වේවා, ඒ අවට පාළුවට ගිය ගම් වේවා, කැළණිය විශ්ව විද්‍යාලය අසල බෝඩිමක වේවා, ඇලකන්ද පාලම වේවා, ඒ හැම පෙදෙස් වලට ආවේණික ජීවිතයේ ගැඹුර ගැන විමසිලිමත් ව, බර අඩි තබමින් මෙ පොළොවේ ඇවිදි අයෙක් ලෙසට ය. ඔහු ට න්‍යාය පත්‍රයක් අනුව පාත්‍ර වර්ගයා හසුරුවීමේ නොඉවසිලිමත් කමින් පෙළෙන්නෙක් නොවේ. ඔහු අප රට මෑත ඉතිහාසය ගැන විමසිලිවත් ව, උපේක්ෂකව සිටින්නෙකි. සමාජවාදි සිහිනයේ බිඳ වැටීමේ සියුම් සොවක සුසුමක් විමසිලිමත් කියවන්නියකට හසු නොවන්නේ නොවේ. එහෙත්, මේ කෙටි කතා හත කියවා අවසන් වන විට, කාලයකට පසුව ලංකාවේ සාමාන්‍ය ජීවිතයේ විචිත්‍රත්වය, එහි සාමාන්‍ය මිනිස්සුන්ගේ දේශපාලන හැඟීම් ආදිය ගැන අපූරු රසවින්දයක් ලැබුවෙමි. මට අනුව නම් මෙය අනූව දශකයේ මුල ලියවෙන්නට උවමනා පොතකි - එය ලිවීමට ඉතාම සුදුස්සා එය ලියා ඇත. එම ඓතිහාසික මොහොත හසුකරගෙන ඇත්තේ, එහි එළිය තැන්, අඳුරු තැන්, පසුතැවීම් සියල්ලත් සමඟය. අද සිට '90ට පෙර යුගය මෙලෙස දැකීමට නොහැක -එහෙත් එය කියවීමට මෙය අපූරු අත්පොතකි! මා කියවා ඇති විශිෂ්ඨතම කෙටි කතා සංග්‍රහයකි.

ශ්‍රේණිය : *****
මුල් මුද්‍රණය: 1992; මෙම මුද්‍රණය 2014 ( දෙවැන්න), ගොඩගේ
ශානරය: කෙටිකතා

Tuesday 24 August 2021

මංගල ගැන ලියවෙන වැකි වලින්, අප ගැන කියවෙන්නේ මොනවාද ?

 හිටපු අමාත්‍ය මංගල පින්සිරි සමරවීර ගේ වියෝව ගැන, මා ද ඇතුළුව බොහෝ අය දුක් වෙති - ඒ ගැන සමාජ ජාලා වල බොහෝ දේ ලියැවිණි. එහි කියවුණු,  ඔහු නුතන මිනිසෙක්‍ ය, ලිබරල් මිනිසෙක්‍ ය යන ඇගයීම් වලට විරුද්ධව, විශේෂයෙන් 1994 සිට 2004 දක්වා කාලයේ ඔහු ගේ ක්‍රියාකාරකම් ද, 2007න් පසුව ත්‍රස්තවාදයට විරුද්ධව ක්‍රියාකාරකම් වලදී ඔහු ක්‍රියා කල ආකාරය ද,  පෙන්වා දෙමින් අනෙක් පාර්ශවයෙන් ද යම් දේ ලියවෙති. ඒ මංගල සුද්ධවන්තයෙකු නොවන බවත්, මංගල ට නැති ලිබරල්බවක් මවා පාන බවත් පෙන්වීමටය.


1994-2004 කාලයේ ඔහු භාරගත් අමාත්‍යාංශ වල යම් සාපේක්ෂ සාර්ථකත්වයක් පෙන්වුවද, දේශපාලන විරුද්ධවාදීන් හමුවේ ඔහු ගේ ක්‍රියාකාරකම් ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කල නොහැක. එහෙත් මේ සියල්ල දැන දැන ඔහුගේ වියෝව ගැන බොහෝ අය කම්පා වන්නේ ඇයි ? සමාජ ජාලා වල වැදගත් මත ප්‍රකාශ කරන්නන් සමහරකගේ අදහස් මෙහි දී සලකා බැලීම වටී. අයෙක් කීවෙ අවසන් දශකයේ ඔහූ ලිබරල්වාදය දොරටුව අබියසට ආව බවකි - වඩා සුපරික්ෂාකාරී ලෙස වචන භාවිත කරන ඔහු ගම්‍ය කලේ, මෙරට අන් කිසිදු දේශපාලඥ්ඥයෙකු එතැනට හෝ නොපැමිණි බවකි. අප මිතුරෙකු, අප හා වාද කලේ, මංගල එතැනට ගසා එන තැනට වැඩට සිදු වූ බවත්, ඔහු ගේ දේශපාලනයට අන් අය මර්ධනය, කුලවාදය ආදිය භාවිත වූ බවත්, අභ්‍යන්තරයේ මංගල, අප රට ලිබරල් සළු පොරවා ගෙන සිටින බොහෝ අය මෙන් තම පැලැන්තතියේ ගතානුගතීත්වය හෝ ජීවන ක්‍රමය හෝ සඟවමින්, මෙරට සාමාන්‍ය මිනිසුන්ගේ සංස්කෘතිය ට ඇති අකමැත්ත ප්‍රකාශ කර සිටින බවත් ය. මේ සියළු දේ හි සත්‍යයේ අණු කොටස් ඇත. එහෙත් අද දිගැරුණු මෙම වැකි දහස් ගණනින් අප ගැන - ඔවු, අප ගැන -  මංගල ගැන නෙමේ - කියවෙන්නේ මොනවා ද ?


මංගල අගයන අය මැරිලා ඉපදුනු අය නොවේ. ඔවුන් මංගල අගයන්නේ මංගල ගේ දේශපාලන ඉතිහාසය ගැන යමක් දන්නා අතරය. ඉන් පිළිඹිබු වන්නේ, අප රට කුහකත්වය ප්‍රතික්ෂේප කිරීමත්, එක්තරා කෙටි මොහොතක ට  හෝ තමන්, තමන් විශ්වාස කරන දෙයක් වෙනුවෙන් පෙනී සිටීමත්, අප සියළු දෙනාම නිසරු යැයි සිතූ ඒහෙත් කිසිවකු හෝ නොකියූ දෙයක්  ප්‍රසිද්ධව ප්‍රතික්ෂේප කරලීම (අර දේශපාලඥ්ඥයින්ට වැඳ වැටීම වගේ) ගැන ඇති කෘතඥ්ඥතාවයි.

අප රට වෙසෙන බහුතරයක් දශක ගණණාවක් පුරාවට වඩා හොඳ ජීවන තත්ත්වයක බලාපොරොත්තුවක් හිසේ බරක් දරමින් හති වැටුණු ජනතාවකි. අද වසර හැත්තෑ ගණනක නිදහසකින් පසුව වසංගතයකින් රට ම පීඩා විඳින වකවානුවක දී, මොළ හතක් ඇති දේශපාලඥ්ඥයෙක් ආර්ථිකය නැංවීම ගැන මහජනයාට විහිළු සපයන්නේ, මහජනයා එකඳු මොළයක් හෝ නැතැයි සිතන්නාක් මෙනි. දේශපාලන විකල්පයක් නැති බවේ අසරණත්වය, එම ජනතාව බලාපොරොත්තු නැති තැනකට තල්ලු කොට ඇත. ඇෆ්ගනිස්තානයේ ගුවන්තොටුපොළේ ඇති වූ තත්වය අප රටේ වුව ද ඇති විය හැකි බව කියන්නේ විහිළුවකට ම නොවේ.  එය මිනිසුන්ගේ වරදක් නොවේ - එක පවුලකට රටේ වැදගත් ස්ථාන රැසක පාලනය ලබා දීමත්, ඒ ගැන මහජනතාව ට කල හැකි දෙයක් නොවිමත්, ප්‍රසිද්ධියේ ම "කෝවින් බෝ වෙනවා ද" කියා පරීක්ෂා කරන්න මහජනතාව සුදු මීයන් ලෙස භාවිත කරන බවට කටමැත දොඩවන සාමාන්‍ය පෙළ පමණක් සමත් ඇමතියන් සිටිද්දී, තමන් ගැන හෝ සත්‍යයක් කී මිනිසා සාපේක්ෂ සාන්තුවරෙක් ලෙස නොපෙනෙන්නේ ද ? එම බලාපොරොත්තු නැති වටපිටාව ය, මිනිසුන් ට මංගල ගේ දේශපාලන ඉතිහාසය නොදැක්කා සේ ඔහුගේ මෑතකාලීන වඩා නූතන අදහස් කිහිපයකට පමණක් තම දෙනෙත් නාභිගත කිරීමට පෙළඹෙන්නේ.

එම නිසා මංගල ගේ ඉතිහාසය මතක් කරලීමට ලියන්න මහන්සි වෙන අය තේරුම් ගත යුතු දෙයක් ඇත. මංගල ගේ ඉතිහාසය ඔහු ගැන අද ශෝකී වන බොහෝ අය දනිති. එහෙත්, එසේ දුක් වන්නේ,  දෛනිකව තමන් ට ඇසෙන බොරු කන්දරාව දෙස ජුගුප්සාවෙන් බලා ඉන්නා, දේශපාලන විකල්පයක් ගැන බලාපොරොත්තු නැති පිරිසක් ය. ඒ, "අඩුම ගානේ ඒ මනුස්සයා මුන්ගේ ක්‍රමේට විරුද්ධ උනා, මිනිහා තමන් ජීවත් වෙන්න කැමති ක්‍රමය වෙනුවෙන් පෙනී හිටියා, 'අපි වගේ හොරුන්ට, කුඩු කාරයන්ට වඳින්න එපා' කියලා ප්‍රසිද්ධියේ කිව්වා" යන ස්ථාවරයන් හා කියුම් නිසා ය. මෙයයි, අද බලාපොරොත්තු නැති කාන්තාරයකට නූතනත්වයක්, ලිබරල්වාදයක ඡායාවක් ලෙස පෙනෙන්නේ - එය මිරිඟුවක් ද විය හැකිය. එහෙත් ඒ මහජනයාගේ සිතේ සැඟවුණු බලාපොරොත්තුවක් ඇත. ඒ, "දෙයියන්ගේ නාමෙට, මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව තේරුම් අරගෙන, අපිට බොරු කියන්නැතුව සද්භාවයෙන් මේ රට පාලනය කරන්න අයෙක් අප අතරින් ම ඇති වේවා" යන්නයි. ඒ සඳහා මංගල ආදර්ශයක් වූවා නම්, එය හොඳට ම ප්‍රමාණවත් ය.

(ඉහත ඡායාරූපය wallpaperaccess.com වෙතින් උකහා ගත්තෙමි )


Sunday 22 August 2021

දුප්පතුන් නැති ලෝකය ( ජී. බී. සේනානායකගේ කෙටිකතා කියවීම - i )

 මේ ප්‍රයත්නය මේ වෙලාවේ ( එනම් 2021 අගෝස්තු හයවෙනි දින) ඇරඹීමට ආසන්නම හේතුව වන්නේ, පෙර දින රාත්‍රියේ මා සරච්චන්ද්‍රයන්ගේ "සිංහල නවකතා ඉතිහාසය හා විචාරය" කෘතියේ එන, සේනානායකගේ කෙටිකතාවන් පිළිබඳ වූ පැසසුම් ය. මීට පෙර ද, කුලතිලක කුමාරසිංහ ලියූ සේනානායක ගේ කෙටිකතා ගැන විචාර ග්‍රන්ථයක් ආශ්‍රයෙන්, මෙම කෙටි කතා කියවීම ඇරඹුව ද, එම කර්තව්‍ය මග නැවතිනි. කුමාරසිංහගේ පොත ට වඩා, මේ කෙටිකතා කියවීමේ පෙළඹීමක් සරච්චන්ද්‍රගේ පිටු 4-5 විචාරයෙන් ලැබුනු බවකි මගේ අදහස ( කුමාරසිංහ බොහෝ විට කෙටිකතාවම තම බසින් කීම ට වැඩි යමක් කියනවා යැයි නොසුතුණි). සරච්චන්ද්‍රයන් තම ඇගයීම පටන් ගනුයේ මෙසේය:

"ජී.බී. සේනානායක මහතාගේ කෙටි කතාවල සංඛ්‍යාව විශාල නූවූව ද ඒවායේ විශිෂ්ටත්වය සලකන විට ඔහු අද්වතීය ප්‍රතිභාවකින් යුත් ලේඛකයෙකු බව වැටහී යනු නිසැක ය...  කෙටි කතාවෙහි එක්තරා නවීන ශෛලියක් පළමු වරට හඳුන්වා දුන් නව ලේඛකයෙකු බිහි වූ ඒ අවස්ථාවන්හි පාඨකයන් තුළ මේ සාහිත්‍යාංගය සම්බන්ධයෙන් අමුතු උද්‍යෝගයක් ඇති විය." (සිංහල නවකතා ඉතිහාසය හා විචාරය" - එදිරිවීර සරච්චන්ද්‍ර)


හැකි ඉක්මනින් ඔහු ගේ අනෙක් කෙටි කතා සංග්‍රහයන් ද කියවීමේ අදහසකින් මම පසුවන්නෙමි.

කෙටි කතා 15කින් සපිරි මෙම සංග්‍රහයේ ඒ ඒ කෙටි කතාව ගැන මගේ අදහස් කෙටියෙන් මෙසේය.

උදුරාගත් සපත්තුව: සරච්චන්ද්‍ර කියා තිබුනේ, සේනානායකගේ කෙටිකතාව තුල මෝපසො ආභාෂයක් ද, සමාජ ගැටළු වෙනුවට මිනිසුන්ගේ පෞද්ගලික ගැටුම් තුලින් මතුවෙන අවස්ථා ද ප්‍රධාන වන බවකි. මෙය මෙම කෙටි කතාවෙන් ම ඔප්පු වේ. මෙහි කතා නායකයාගේ පශ්චාත්තාපයේ ස්වභාවයත්, ඔහු එම තරුණ කාන්තාවගේ අභිලාෂයන් තේරුම් නොගත්තේ ද යන්න පාඨකයකු ට ඇති වන අදහස බව පැහැදිලිය. කෙටි කතාව අවසන තෙක් පාඨකයා කුහුලක පිහිටුවීම කතුවරයාගේ සමත්කමයි.

කවියාගේ බිරිඳ: කවියා ට ඇවැසි වූයේ ඔහුට අහිමි වූ තම බිරිඳ තමන් වෙත දැක් වූ ප්‍රේමයත්, රූපලාවන්‍යත් ලොවට කියා පෑමට ය. කිමට ඔහු ට නැති වුනේ එයයි - ඔහු ට අමරණීය කිරීමට උවමනා වූයේ එයයි. එනමුදු,  වූයේ තමන් කවියෙකු ලෙසත් තම කාව්‍ය මහා කාව්‍යයක් බවට සැලකුන ද, ඔහු කියූ දේ අන් අය එලෙසින්ම ගෝචර නොවීමයි. එක් අතකින්, මෙය සාහිත්‍ය සේවනයේ එන එක් ප්‍රධාන ගැටළුවක්මැයි. ජී.බි. ඉතා සුනම්‍ය ලෙස මෙම වෙනස මතු කර ඇත.

ග්‍ර්‍රාම කාන්තාව: පෞරාණික භාෂවෙන්, ගද්‍ය කාව්‍යයක් මෙනෙහි කරනා අයුරෙන් ලියැවී ඇති මෙය, තමන් සමාජයට වඩා ඉහළ මට්ටමින් සිටියත්, සමාජයට වඩා පහළ තැනක සිටියත් ප්‍රතික්ෂේපයට ලක් වන අයුරු පෙන්වා දෙයි. මෙහි භද්‍රා තම තරුණ වියේ හා මහළු වියේ ගඟබඩ දි උපුලන්ගේ ප්‍රතිචාරය පමණක් පෙන්වා දෙයි.ඒ මැද කාල සීමාව ගැන නොකියයි. තරුණියක් ව සිට ගැහැනියකට පත්ව කෙමෙන් වැහැරෙන දීර්ඝ ගමනේ දී ඔවුහු ඇය ඉවසුවේ ද ? ඒ ඇය ව ඔවුන් හා සම ව දුටු හෙයින් ද ?

ප්‍රතිමා ශිල්පියා: පුරුෂයෙකු කෙතෙරම් ස්ත්‍රී රූපය කෙරෙඉ බැඳුනද, ඔහුට ලැබුනු ඒ සුන්දරත්වයෙන් තෘප්තිමත් නොවන බවත්, ඊටත් වඩා සුන්දරත්වයක් නිතර පතන බවත් පසක් කෙරෙනාකාර, මනරම් පෞරාණික භාෂාවට නෑ කම් කියනා බසකින් රචිත කෙටි කතාවකි.

රෝගී තරුණයා:  මෙම කෙටිකතාවේ, රාජසිංහගේ සමාගම කෙතෙරම් අන් අය ප්‍රිය කල ද, ක්ෂය රෝගය වැළඳුනු කල අන් අය ක්‍රමයෙන් ඔහුගෙන් ඈත් වෙයි. කලින් තම වාසස්ථානයෙන් නොයන්නැයි ඉල්ලු අය ම දැන් ඔහු කර අරී. ඔහු ව දකින්නේ මරණය රැගෙන එන්නකු ලෙසට ය. ඉතා කෙටි ජවනිකාවක් වන් මෙවන් කෙටි කතා මෙහැඩැති හෙමිංවේ ගේ කෙටිකතා මතකයට නගයි.

දුප්පතුන් නැති ලෝකය, පෙර දුප්පතුන් වූ අයවලුන්, ධනයෙන් ආඩ්‍ය වූ තරුණයා පෙර හැසිරුණු ආකාරයෙන් කෙළිදෙලෙන්, සුරාවෙන් හැසිරීම, දැන් එම තරුණයාට ඉවසිය නොහැකි වන්නේ ඇයි ? ඔහු ඒවා නිසරු ලෙස සිතුවත්, නව පොහොසතුන් ට ඒවා නිසරු නොවේ.  එලෙසම ඔහු ඒවා නිසරු ලෙස නුදුටුවේ නම්, මහජනයා සුඛිත මුදිත තත්ත්වයට කිසි දින පත්වේද ? 

රජමැදුරේ ගාන්ධර්වයා, ගුත්තිල මූසිල කතාව මුල් කොට ගෙන නැගූවකි. මෙහි එන තරුණ ගාන්ධර්වයා අසන්නන්ගේ තරුණ මදය ඉපදවීමට වයද්දී, වයෝවෘද ගාන්ධර්වයා ශෝකජනක වැයීමකින් තම අසරණ බව ප්‍රකාශ කරන්නාක් මෙනි. මෙය දෙආකාරයකින් විමසිය හැකිය; තරුණ ගාන්ධර්වයා සහ නිරිඳුන්, වයස්ගත ගාන්ධර්වයාගේ වර්තමාන තත්ත්වය වටහාගෙන තරඟයකට නොයෑම; නැතහොත්, රජමැදුරේ ගාන්ධර්වයා ම තම ඇති තතු වටහා ගෙන පසු බැස්ම - විටෙක මෙහි මුල් කතාව ලියැවෙන කාලයේ නොවිමසා ම වැඩිහිටියන්, වැඩිහිටියන් නිසාම ගරු කිරීමේ ප්‍රවණතාව ද සමාජ කියවීමක් ලෙස දැකිය හැක. 

පොත් පිස්සෙකුට තමනට සොයා ගැනීමට අපහසු පොතක් හමුවන අවස්ථාවක, එය මිල දී ගැනීම මගැරීම මහත් අනුවණකමක් ලෙස දකිනු ඇත. මා ද තරුණ වියේ, මෙවැනි අවස්ථාවක ට මුහුණ දී ඇත. අතේ මුදල් යහතින් නැති දවසක, සරසවියට ඇතුල් වූ විටෙක ( එවකට අද ලිපි ද්‍රව්‍ය පමණක් තිබෙන සරසවි සාප්පුවේ, පොත් ද විකිණීමට තිබිණ.), රුෂ්ඩි ගේ "midnight's children" කෘතිය මිල දී ගත්තේ එතකොට ද ගෙවා නිම කල නොහැකි ලෙස තිබූ ණය පතිනි. එකල මා පෙම්වතිය වූ (අද බිරිද) ගේ නොරිස්සුම් බැලුම් මා වෙත යොමු වුනේ, ඈ මගේ ආර්ථික දුෂ්කර තත්ත්වය හොඳින් දත් නිසාය. එය මා කියෙව්වේ ද ඊට වසර දහයකට නොඅඩු කාලයකට පසුව ය. මට මෙ සිද්ධිය මතක් උනේ තම බිරිඳට සාරියක් මිල දී ගනීම අතැර පොතක් මිලදී ගැනීම හෙතුවෙන්, බිරිඳ හා කලහයක ට ඉරණම් වූවෙකු ගේ විත්ති කියවීමේදී ය.

ඩිංගිරි මැණිකා නම්, අසතුටින් තම දියණිය හා බෑණා සමඟ දිවි ගෙවූ කතක ට තමනට හිතවත් මිතුරියක් කියා සිටියේ ගෙදර බැල්ල පමණි. ඒ තම ඥාතීන් ඇය ට කිසි දිනෙක මුදු මොළොක් වදනකින් සංග්‍රහ නොකිරීම හේතුවෙනි. මිතුරියන් දෙදෙන නම් වූ මෙම කෙටි කතාව, කෙනෙකුට ආදරයක් නැතුව ජීවිතය ගත කිරීමේ අපහසුව පෙන්වා දෙන්නකි.

සේනානායකගේ කෙටිකතාවේ එක් සුවිශේෂි ලක්ෂණයක් නම් ඉන් බොහෝ ඒවා හි එන ගුප්තබවයි. නිශාචරයා කෙටි කතාවේ ද මෙම ලක්ෂණය නොඅඩුව ඇත. නිශාචරයාගේ "රහස" එළිදරවු වීමෙන් අනතුරුව, ඔහු තම වාසස්තානය මාරු කරයි. අන්තර්වර්තිකයකු ට පිටස්තර සමාජයෙන් යම් අපහසුතාවක් ඇති වුවහොත් ඔහු නොඉවසනු බව, ඔවුන්ගේ ලක්ෂණයකි.

නැති දැනුමක් ගැන බේගල් ගෙතූවකු, ඔහුගේ ම ක්‍රමවේදය මගින් මෙල්ල කරලීම පිළිබඳ කෙටිකතාවකි, පණ්ඩිතයා මෙල්ල කිරීම. මෙවන් කෙටි කතා මතක් කරනුයේ ඕ. හෙන්‍රි ආදි රචකයනකි. මීට ආසන්න මාතෘකාවක් ගත් කෙටි කතාවක් ලෙසින් රැවුලේ රහස පෙන්විය හැක. එහෙත්, එහි එක ම වෙනස ව්‍යාජය පෙන්වා දෙන්නේ, එය භාවිතාවේ යෙදෙන්නාම මගින් වීමය; එය ද ඔවදනක් ලෙස ය. එය සමාජය එරෙහි කර්කශ විවේචනයකි.

වෙසක් කූඩුව කෙටිකතාවේ විශේෂත්වය වන්නේ වයස අවුරුදු හතේ දරුවෙකුගේ දෘෂ්ඨි කොණයෙන් එය ලියැවී තිබීම බවය. එහෙත් මට නම් සිතුනේ සේනානායක සත් අවුරුදු දරුවෙකුගේ දෘෂ්ඨි කොණයෙන් කෙටි කතාව ලිවීමට උත්සාහ දරූව ද,  එ වියැති දරුවෙකුට නොගැලපෙන තරම් විස්තරයන් එහි ඇතුලත් බවකි.  නංගී සමඟ වන ගැටුම් සහ අයියා වීරයෙකු ලෙස පෙනීම මේ බව තීව්‍ර කල ද, මෙතරම් විස්තර සඳහන් කරලීම මගින් එම දෘෂ්ටිකෝණය පිළිබඳ මට නම් ඇති කලේ අවිශ්වාසයකි.  වෙසෙසින් කූඩුව ගිනි ගැනීමේ සිද්ධිය විස්තර කරලීම මීට හේතු විය.

බිරිඳ නම් වූ කෙටිකතාව,  වඩා පරිසමාප්ත කෙටි කතාවකැයි හැඟුණි. රූපක භාවිතය ( මිදුල මුල්ලේ කුණු රොඩු ගිනි ලෑම - මුලින් දුම විතරක් තිබී පසුව, ගිනි දැල් කිහිපයක් මතුව, එය ළඟ තිබූ මල් පිපුණු කටරොඩු වැලක් දැවීමට තරම් පැන නැගෙතැයි කතා නායකයා සිතයි. කතානායකයා ට තම බිරිඳ ට තිබූ පෙර ඇඳුනුම්කමක් ගැන කුකුසක් ද වද දෙයි. ඒ ඔස්සේ ඇය ව වර්තමානයේ මැනීමට ද ඔහු පෙළඹේ. 

මල් දම් දෙක නම් වූ කෙටි කතාව, ලජ්ජාශීලි පුද්ගලයෙකුට හදිසියේ කරන්නට සිදු වූ වගකීමක් හේතුවෙන් ඇති වූ අපහසුතාවක් මුල් කොට ගත් කෙටි කතාවකි. මෙහි කතා නායකයා ඒ අපහසුතාවට පත් වූ මිතුරා මගහරිනා සේම,  එහි මතකයක් රැඳුණු තොප්පියක් පැළඳීම ද, එදාම අතරින ලදී. 

අහඹු ලෙස සිදු තවත් දෙයකි. එනම්, මෑතක රසවත් කෙටිකතා සංග්‍රහයක් සහ සම්මානනීය නවකතාවක් ප්‍රධාන කල ලේඛිකාවකගෙ කෙටිකතා කිහිපයක අත්පි ටපත් කියවීමේ අවකාශය ලදිමි. ඉන් ද පළමු වරට මට කියවන්නට ලැබුනේ, එම කෙටිකතාවක ඉංග්‍රීසි පරිවර්තනයයි. එම පරිවර්තනය මට දොස්තොයෙව්ස්කි මතකයට නැගීය. දෙවෙනි කෙටිකතාව මුල් සිංහලින් ම කියවන විට, මෙම සංග්‍රහය ද නැවත කියවීම අරඹා තිබුනේ පෙර කී සරච්චන්ද්‍ර හා බැඳි කාරණාව උඩය. එවිට ය මට වඩාත් තහවුරු වූයේ, පෙර කී ලේඛිකාව ගේ කෙටිකතා වඩාත් ලංවන්නේ ජි.බී. සේනානායක ගේ නිර්මාණ වලට බව. එම ලේඛිකාව තම නිර්මාණ පිළිබඳ යම් යම් අරමුණු බෙදා ගත් අතර, එම අරමුණු හා සේනානායකගේ ලිවිමේ ශෛලිය ද සහ-සම්බන්ධයක් ඇති තැන් තිබිණි. 

 

ශ්‍රේණිය: ***** ( මෙය අද දිනට වඩා, මෙය මුලින් නිකුත් වූ 1945 වසර ට සාපේක්ෂව ඇගයීමට යත්න දැරුවෙමි; අදට සාපේක්ෂව ද මීට තරු හතරක් පිරිනැමීමට පසු බට නොවෙමි )
මුල් ප්‍රකාශනය: 1945; මෙම මුද්‍රණය 16 වෙනි මුද්‍රණය (1997), තරංග ප්‍රකාශකයෝ

Wednesday 18 August 2021

එහෙම වරදක් කරලා නෑ මම - සුහර්ෂිණී ධර්මරත්න



 කිවිදිය ගේ කාව්‍ය සංග්‍රහයන් සතරක් මා වෙත වූවත්,  කියවන්නට වුණු දෙවැන්න මෙයයි.

මීට මාස පහළොවකට පමණ පෙර, කිවිඳියගේ මහත් ප්‍රසිද්ධියට පත් "ගිරිහිස තරණය" කියවුවෙමි. එහි, වෙසෙසින් ඇගේ කවි බස රසවිඳී හෙයිනුත්, සාර්ථක කවි පංති රැසක් ම වූ හෙයිනුත්, 2019 ප්‍රකාශ කල මෙම කාව්‍ය සංග්‍රහය කියවීමට නොපැකිලුනෙමි.

"එන්න, මගේ කවි කියවන්න"

"එන්න, මගේ කවි කියවන්න" යන ආරාධනයේ ම ඇය මෙවන් ඉල්ලීමක් කරන්නෙ, පෙරවනකට ද පෙර ය. එහි ඇය ඉඟි කරන්නේ, එක්තරා ආකාරයකින් පවුල් සංස්ථාවක වටිනාකමක් තම නිර්මාණ  තුලින් ඉඟි කෙරෙනා බවකි.

අනතුරුව දීර්ඝ ප්‍රස්ථාවනක් බඳු වූ "සවිඥ්ඥාණක යමෙක් වේ නම්, විමසන්න ඔහු..." යන කොටසේ වැදගත් කාරණා දෙකක් වෙත මා නෙත යොමු විය.

අ) "...මාටින් වික්‍රමසිංහයන්, ගුණදාස අමරසේකරයන්, සරත්චන්ද්‍රයන් හා සුචරිත ගම්ලතුන්ගේ විචාර ග්‍රන්ථ, ලිපි හා කෘති හරහා මටම අනන්‍ය වූ භාෂා ප්‍රවේෂයක් මා තුළ නොදැනුවත්ම අත් හදා බැලෙන බව පසක් කර ගතිමි. එය සාර්ථක හෝ නිරර්ථක වීමට ද ඉඩ ඇති බව නිහතමානිව කියමි"

මීට පෙර මේ කිවිඳියගේ කවි එකතුව කිය වූ කල, මා වඩාත් වින්දේ ඇගේ මනරම් භාෂාවයි.

ආ)  "දේශපාලනඥයින්, ජන මාධ්‍යවේදීන් යැයි කියාගන්නා බහුතරයක් විසින් ආටෝප සාටෝප දවටා දූෂණය කරනු ලැබූ භාෂාවෙන් කවි ලියන්නට වීමේ පශ්චාත්තාපය දරා ගනිමින්ම ලියන ලද කවි මෙහි අන්තර්ගත වේ"

මේ කාරණාව ගැන බොහෝ දේ කිව හැක. ඒ මෑත සරච්චන්ද්‍රයන්ගේ සිංහල නවකතා ඉතිහාසය හා විචාරය කියවූ හෙයිනි. එහි මාර්ටින් වික්‍රමසිංහයන් ගේ වඩා සාර්ථක නවකතා වලින් මෙපිට, සිංහල සමාජයේ කුහකත්වය,  රැවටිලිකාරී සිල්වත්බවක් හේතුවෙන් ජීවිතය විඳිය යුතු ආකාරයෙන් නොවිඳීම, ගැන බොහෝ දේ ලියැවී ඇත. අමරසේකර, ගුනසිංහ, ලියනාරච්චි, කේ. ජයතිලක, සුනන්ද මහේන්ද්‍ර ආදීන්ගේ නවකතා නිදසුන් ලෙස ගෙන මෙම කාරණාව හා ගැටීම  සාකච්ඡා කොට ඇත. එම සංස්කරණය ලියැවී වසර 50ත් පසුව ද අප සමාජයක් ලෙස ආගමක මුවාවෙන් හෝ, දේශපාලඥ්ඥයින් නිසා හෝ තව දුරටත් රැවටෙන්නේ නම්, ඒ අපි අපි ව රවටා ගන්නා කුහකත්වයකින් තවම පෙළෙන නිසා ම නොවේ ද ? ඇත්තෙන් ම වර්තමාන නවකතාවේ පවා යම් යම් සමාජ දේශපාලන කාරණා සහ නූතනත්වය හමුවේ වෙනස්වීමේ අවශ්‍යතාව ගැන  කතාවෙන්නේ ලේඛකයාගෙ ප්‍රගතිශීලිත්වය ගැන පුරාජේරුවක් ම ඉඟි කරන්නට විනා, ඒවා පිළීබඳ පරිපූර්ණ පැහැදීමක්, විශ්වාසයක් ඔවුනට ම තිබෙන නිසාද යන්න, සැකසහිතය. ඒ අර්ථයෙන් මා තුල යම් කම්පනයක් ඇති කල මෑත කාලින නවකතා දෙකක් නම්, නිම්නාගේ ඉතිහාසය සහ පේත ය.

සාමිනාදන් විමල්

නැවත මෙම සංග්‍රහටත්, එහි කවි කිහිපයකටත් යොමු වෙමි;


සාමිනාදන් විමල් අමතමින් ලියැවි ඇති මෙම කවියේ යෙදෙන "පසුතැවුම"
යන වචනය වැදගත් ය. ඒ පසුතැවිල්ල කපටි එහෙත් අමනෝඥ්ඥ දේශපාලඥ්ඥයකුගේ ක්‍රියාවන් හේතුවෙන් එක් ජාතියක ට පීඩකයකු  ලෙස අනවශ්‍ය චරිත සහතිකයක් ලැබීමත්, පීඩිතයා ට ද තවම එම බියේ මතකයන් තුල ජීවත් වීමට වීමේ අසාධාරණය නිසාය. පීඩිතයා වෙනුවෙන් යයි කියා පෙනී සිටින දේශපාලඥ්ඥයාට මෙය තවමත් අපූරු "හිඟන්නාගෙ තුවාලයක්" වීම, සිංහල සමාජය තවම ගෙවන මිලක් වීම ද දෛවයේ සරදමකි. ඉතින් මේ ආයාචනාත්මක කවි පෙළ දමිළ බසට පෙරළී, එම බිය මදක් හෝ තුනී කරලීමට සමත් නම්, කිවිඳිය සර්ථකය. ඇය දෙවෙනි කවියක් ද මෙම ඛේදවාඡකට වෙනුවෙන් කැප කරයි.  ඒ අවාසනාවන්ත දිනය නුදුටු කුඩාවෙකු, තම මෑණියන්ගෙන් විමසන්නේ ජූලි මාසය කළු උනේ ඇයි?, කියා ය. සිංහ පිළී ඇඳි කැණහිලන්, එකල සිටි දේශපාලන බලවතුන් ම බව තහවුරු වී ඇතත්, ජූලිය කළුව සුදු කරලීමේ උවමනාව මෙරට බොහෝ පිරිසට ඇත්නම්, යම් බලාපොරොත්තුවක් තබා ගත හැක.
ජූලි මාසය කළු උනේ ඇයි?

නියත අනියත
 ඉහත කවි වල නිර්මාපිත බව තරමක් එහි සෞන්දර්‍යය පසු බිමට තල්ලු කර ඇති බවක් හැඟුන ද, අන් තැනෙක, මිනිස් ස්වභාවය ගැන කවි වඩා ස්වාභාවික ආරක් ගනී. නියත අනියත එවන් කවකි - මෙහි එන මා වඩාත් රසවිඳි කවකි. නාහිමියන්ගේ අනියත බවේ ආවර්ජනය, මහළු උවැසියගේ රහස් ඉඟි කරන සිනාව, සහ පොඩි හිමි ගේ මංගල කාරණ සෙවීම පෘතග්ජන මිනිසුන්ගේ ස්වභාවය ගැන සානුකම්පිත බැල්මක් හෙළයි.
එහෙම වරදක් කරල නෑ මම!

මෙම සංග්‍රහයේ මා වඩාත් රස විඳි කවි වන්නේ, වඩා අවංක ලෙස පෘතග්ජන හැඟීම් හෙළිදරවු කරනා කවි වලට ය. ඒවා වඩාත් රස විඳින්නේ, ඒවා බොහෝමයක් අප හර පද්ධතියේ හෝ, පවුල් සංස්ථා වල පැවැත්ම උදෙසා  හෝ, කෙරෙන යම් සංවර කීරීමකින් සමාප්ත වුවද,  ඉන් වෑහෙන අවංකත්වය ම කවිය පෝෂණය කරන නිසා ය. මෙම සංග්‍රහයට නම දෙන "එහෙම වරදක් කරල නෑ මම!", කවි පංතියේ මෙම කවිය ඊට නිදසුනකි. මා මේ කව ට කැමැත්තේ, අප ට විශ්වාස කරලීමට අප සංස්කෘතිය බල කොට තිබූ, පති-පතිනි භක්තිය වෙනුවට, වරදට සිත නැමුන ද, වරදට පිටුපානා අවංකත්වය ම පෘතග්ජනයා ට වඩා ආසන්න නිසාය.

 මෙවන්, යම් පෙර සබඳතා, පෙළඹවිම් මධ්‍යයේ, මොහොතක් තත්පරව, එහෙත් නැවත වඩා ප්‍රඥ්ඥා ගෝචර යැයි හැඟෙන මග ම යන කවි චරිතයන්ගේ පැදි කිහිපයක් ම මෙහි එති. "ගම ආ එළඳ" හි එන තරුණයා තම සිත සදා ගන්නේ

"පහුරු ගාන හිත කොනහන මල්    මතක
සමග මගැර යමි නුඹ හිටපන්       මැණික",

                                                                         කියමිනි. 

සානුකම්පා ද, සමස්ත ලාංකිය පුරුෂයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මග බසයේ දුම්රියේ නෙත ගැටෙනා, පය පැකිළ වැටෙන ස්ත්‍රියක් කෙරෙහි උණු වන හද තමන් වෙනුවෙන් දෛනිකව කැපවෙන ඇය වෙනුවෙන් යොමු කරනා ලෙස ය. එය ලයාන්විත ඉල්ලීමකි.

"සානුකම්පා ඇසක දැල්වෙන
ගිනිපුපුරු හඳුනමි
පෙළූ පුලුනැ'ති මහද වුව
හැකිය ගිනි ගන්න, දන්වමි

ඉතින් ඔබ යන්න මුළුතැන් ගෙට
වීමසන්න මහන්සිද ඇයට
ඉඳහිට"
මෙලෙස,  අවදානමේ ආකර්ශනය ( අනෝරා වැසි), පුතුගෙන් මවක් බලාපොරොත්තු වන ආරක්ෂාව ( වවුලුවට පසු වදනක් ), අසම්මත පෙමක ඇති වරදකාරී හැඟීම (අසම්මත), ශෘංගාරය ( මම කැමති) වන් මාතෘකා අලලා ලියැවුණු කවි පංතීන් මෙන්ම, අප රට වෙසෙන ජන වර්ගයන් අතර ඇති අවිශ්වාසය දුරු කරලීමේ පැතුමෙන් නිමැවුණු කවි පංති ද මෙහි ඇත්තේ, සමෝසම ලෙසිනි. පුතේ මට බයයි, යන්න මෙරට සෑම දෙමාපිය යුවලකට තම දරුවන් පිළීබඳව ඇත්තා වූ බියෙකි. අද වන විට අප රට ට, දීර්ඝ කාලීන ආර්ථික ප්‍රතිපත්තියක් හා සැලසුමක් නැති හෙයින්, මෙම බිය අන් ලෙසකින් ද ඔවුන් පෙළන්නෝය.
සහෝදරයා, කියන් මට..

අප රට වාමවාදි දේශපාලනයේ එන, අන් දේශපාලන නො ඉවසන ගුණය, එකම අච්චුවකට කොටු කිරීමේ ආකාරය ගැන ඉඟි කෙරෙනා "සහෝදරයා, කියන් මට..." කවි පංතිය ද මා රස විඳි කවි පංතියකි.

කිවිඳියගේ "ගිරිහිස තරණය" දී රස විඳි මනරම් භාෂා භාවිතාව, මෙහි ද දැක ගතිමි. ඒ මත සිට, තැනෙක දෙකක ඈ දෛනික භාෂා භාවිතාව ද මිශ්‍ර කරලීමට තැත් කල බව පෙනී යයි. කව් මැයන් , පෙර කීවාක් මෙන් පුළුල් ලෙස මාතෘකා දෙකක් අතර බෙදි යෑමේ නැඹුරුතාවක් දුටුවෙමි. කිවිඳිය ඔවදන් දෙන්නියක් නොවී, කවියකින්  පැන නගින හැගීම් ඔස්සේ ම සියුම් දිශා ගැන්වීමක් කර ඇති බවක් නොපෙනෙන්නේ නොවේ - එහෙත් එයෙ ඉතා සියුම්ව, ශූරව, සහ ශිල්පීය සංවරයකින් ඉටු කොට ඇති සෙයකි. මෙහි මා රස විඳි කවි පංති, එසේ එතරම් කම්පනයක් නොකල පංතීන් ට වඩා වැඩි බව පැවසීමෙන්, සංග්‍රහය සාර්ථක පක්ෂයට බර බව ඉඟි කරමි.


ශ්‍රේණිය: ****
ප්‍රකාශනය: kbooks (2019, දෙසැම්බර්)
ශානරය: කාව්‍ය


 

 

 





Tuesday 17 August 2021

අතකින් අම්මා ය අතකින් මෙරමා ය - පී. බී. ජයසේකර

 


"...මිනිහාට කවදාක වත් අනෙකා කියවලා තේරුම්ගෙන ඉවරයක් කරන්න බැ, මොකද, කවදාකවත් එළි නොදැක් වූ චරිත ගුණයක් හිටි හැටියේ මතුවන නිසා...."


ලේඛකයාගේ සවැනි නවකතාවයි. මෙයත් සමඟ ඉන් පහක් කියවා ඇත ('බලව, කඳුළු ගිනි ගනී' හි පිටපතක් ඇතත්, කියවීම මග හැරී ඇත). ඉන් මෙතෙක් වඩාත් සාර්ථක ම නවකතාව, මා ප්‍රති. මා යැයි සිතමි. එහෙත් මෙම කෘතිය එම ආස්ථානයට අභියෝග කරලීමට හැකි විභවයකින් සපිරි කෘතියකි. කතුවරයෙකු, තම සෑම කෘතියකින් ම තම ලේඛන ශෛලිය, විෂය පරාසය, සාර්ථක නිර්මාණකරනය පුළුල් කරගනීම ඇත්තෙන් ම සතුට ට කාරණයකි.

මෙහි කතුවරයා විවිධ විෂය ධාරාවන් අලලා ඇත. එක් අතකින් බුද්ධාගම නමින් අප රට පිළිපැදෙන විකෘතිය පෙන්වා දී, එය බුදු බණ හා පෑහෙන්නැති තැන් පෙන්වා දෙයි .

තවත් තැනෙක, වත්මනෙහි මිනිස් ජීවිතය හා බැඳෙන ගැටළු බුදු නෙත දුටු අයුරුත්, ඒවාට විසඳුම ඒවා ඇති සැටියෙන් තේරුම් ගැනීම ම බව නිදර්ශන සහිතව පෙන්වයි. එහෙත් මෙය බුදු දහම පමණක් සබැඳි නවකතාවක් ලෙස කිසිසේත් ලඝු කොට දැක්විය නොහැක.  මෙය ඊට බොහෝ පුළුල් ය - එහිම ය මෙහි රසවත් බවත්, සාර්ථකත්වයත් ඇත්තේ. පෘතග්ජන මිනිසා ගේ රාගයත්, ද්වේෂයත්, මෝහයත් හේතුවෙන් ඔවුන් ගන්නා තීරණ ඔවුන්ටත්,ඔවුන්ගේ දරු පරම්පරාවට බලපාන අයුරුත්, ඉන් බොහෝ දෙනෙක් වන්දි ගෙවනාකාරාත් මැනවින් තම ගෙත්තමට හසු කරගෙන ඇත්තේ පාඨක විශ්වාසය රඳවා ගන්නා අතරම ය. නවකතාව ට උචිත ආකාරයෙන් පමණක් සිහිනයක්, හොල්මනක කටකතාවක්, ආදිය පාවිච්චි කොට ඇත්තේ, තමන් භාවිත කල යුතු මාත්‍රාවන් පිළිබඳ හොඳ අවබෝධයක සිටිනා සූර අරක්කැමියෙකු ලෙසට ය. එප්පාවල ආශ්‍රිතව, දෙමාපියන්ට අපහසු කාලයක් ගෙනෙන "ඒරාෂ්ඨක අපල" ඇතිව උපදිනා දරුවන්, තාවකාලිකව එම කාලය ගෙවෙනකන් අන් නිවසකට "විකිණීමේ" ප්‍රාදේශීය භාවිතයක් ගැන ද  පවසයි. පී.බී. ගේ මා කියවා ඇති සියළු නවකතා වල ත්‍රාසය බෙහෙවින් මුසුව ඇත. මෙහි ද එසේය.
"කෝ-තිගේ-අම්මා කෝ-තිගේ-අම්මා කෝ-තිගේ-අම්මා", යන්න බිලී ගන්නට පැමිණෙන යක්ෂයකු ලෙස කෝච්චියට ආරෝපනය කර තිබීමේ සිට, එම සිද්දියේ විස්තර දක්වා මෙහි ත්‍රාසය නොබඳව ඇත. මෙහි ඔහු ජීවිතය ගැන පරිකල්පනයේ යෙදෙන්නේ, අප රට සමාජ දේශපාලන සංසිද්ධීන් ගෙන එන්නේ ඊට පසුබිමක් ලෙස පමණිය. මෙය ඔහු "ඉක්බිතිව ඔහු මරාපිහ" ආදි කෘතීන් හා සැලකීමේදී බෙහෙවින් වෙනස් ය. මෙහි එන පොස්පේට් නිධිය පිළිබඳ උද්ඝෝෂණ සහ අසූ ගණන් අග මෙරට භීෂණය පසුබිමේ සිදුවීම්‍ පමණකි.

මෙහි එන චරිත දෙස බැලූ කල, එම චරිත  පෞද්ගලිකව අප දන්නා ඒවා තරමට මැවීමට සාර්ථක වේ. නන්දුත්තරා සිල් වඩන්නීය; ධර්මය හදාරන්නීය; ධර්මානූකූල විග්‍රහයක් තමන් හා තම දිවි සබැඳි අය වෙත භාවිතයෙන් සැබෑ බුද්ධා ශ්‍රායිකාවක් ලෙස තමනට හැකි උපරිමයෙන් ක්‍රියා කරන්නීය. වරෙක අහම්භයෙන්, තමන් වැටුනු අවස්ථාවක පුරුෂ අතක ගැටීමක් ගෙන ආ පහස, තම සිතින් පළවා හරින්නට සමත් වන්නීය. ඇය තම චරිතය සූක්ෂම ලෙස වටහා ගන්නී, ඇය කරන සුවිසල් පරිත්‍යාගයක් පවා තම "ණය ගෙවීමක කොටසක්" ලෙස ම දකින්න ට තම සිත ඇඳිනින්නීය. එලෙසම, කතුවරයා යම් යම් අය ගේ ජන්ම ගුණයන් ද නොවෙනස් ව පවතින බව ද පෙන්වා දෙයි. චින්තා යන චරිතය විෂයෙහි, කතුවරයා මෙය පෙන්වා දෙන්නේ, එවන් ජන්ම ගුණයන් පාලනයට චීවර විනයට පවා නොහැකි බවකි. ඇය චීවරයේ නො විසීම එකකි ( එය ට ඊට සම්පූර්ණ නිදහස තිබිය යුතුය; තම චරිතය අනුව එම තීර්ණය ගැනීම ම උචිත ය). එහෙත් ඈ ගිහි ජීවිතයට පැමිණි කල පවා පාලනයකින් තොරව ගැටීම් සමඟ ම වෙසෙන්නීය.  කතුවරයා මේ වෙනස් චරිත හරහා මිනිස් චරිත වල විවිධත්වය පමණක් නොව, අනෙකෙකුට තව අයෙක් ගේ චරිතයක් පරිපූර්ණ වශයෙන් වටහා ගැනීම ම ඉතා අපහසු කාර්‍යයක් ලෙස පෙන්වා දෙයි.

කතුවරයා කෘතියේ අවසනට ලං ව හෙළි දරවු කරන ලොකු මෑණියන්ගේ ගිහි ඉතිහාසය මගින් ම, ඇය ට තම දිවිය හිමි කොට දුන් දෛවය ද සමඟ, ඇයට තිබූ සිමිත දැනුම උඩ, ඇය ට සාධාරණ යැයි වැටහුණු ආකාරයෙන් තම දිවි ගෙවූ අයුරු විෂද කරයි. එම චරිතයේ ඇත්ත තතු වටහාගැනීම, එම චරිතය පිළිබඳ පාඨකයාගේ නෙතට කඳුළක් ගෙනෙන්නට සමත් ය. වරෙක ලොකු මෑණියන්ගේ පහත වදන් පෙළ, අපට නවකතාව අවසානයට ලං වත් ම, ඇගෙ හැසිරීමේ විශ්ෂ්ඨත්වය ගැන බොහෝ දේ පවසයි.




 

 කතුවරයා මෙම කෘතිය ලිවීමේදී සිතූ අයුරු ගැන වචනයක් කීමට ද අවදානමක් ගැනීමට කැමැත්තෙමි.  කතුවරයා අන් තැනෙක වඩාත් ප්‍රගතිශීලි අදහස් ඇත්තෙක් බවත්, වෙනස් වන ලොව පිළිබඳ මැනවින් අවබෝධ කර ගත් අයෙක් බවත් මොනවාට සාක්ෂි තිබෙයි ( මීට නිදර්ශන කතුවරයා ගේ "ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ" කෙටි කත සංග්‍රහය රැගත් ය). එනමුදු කතුවරයා නවකතාව ආරම්භයේ මෙවැන්නක් පවසයි. 

එවිට කතුවරයා ගෙ පරිකල්පනය ක්‍රියා කරනුයේ, මීට අදාළ සංස්කෘතිය, විශ්වාස පද්ධතීන්, ආදිය මත පිහිටාය. යම් යම් සිදු වීම් සිදු වූ ආකාරය වරෙක එවන් විශ්වාසයනට ම රුකුල් දෙන්නාක් සේ විය හැකිය. ඉතින් කතුවරයා ගේ මේ නවකතාව, යම් සත්‍ය චරිත අලලා ලියැවුනා නම්, කතුවරයා එම ජීවිත කියවා ගත් ආකාරයත්, තමන් සුදුසු යැයි සිතු ආකාරයට යම් වෙනස්කම් කරලීමත් සාධාරණය. කතුවරයා මෙම සියළු දෑ ඉතා සං‍යමයෙන්, පාඨක විශ්වාසය පළුදු නොවෙන ආකාරයෙන් සිදු කොට ඇත.

සිංහල නවකතා පාඨකයින් කියවිය යුතුම පොතක් ලෙස දකිමි. 

(මේ, මා කියවූ 2019 ප්‍රකාශ වූ 11 වෙනි නවකතාවයි. ඒවා කියවාගෙන යන විට ම මට ගෝචර ලෙස මා ඒව හි සාර්ථක්ත්වය පිළිබඳ මිම්මක රැඳෙන්නෙමි. කියවා සිටීමට සිතා සිටින සියළු පොත් කියවා අනතුරුව, මේ පෙළ ගැස්වීම පිළිබඳ ලිපියක් පළ කරන්නෙමි. දැනට කිව හැක්කේ එම පොත් එකොළහ අතර මුල් කෘති තුන අතර කිසිදු ආයාසයකින් තොරව මෙය ස්ථාන ගත කල හැකි බවකි. මෙය 2020 වසරේ කිසිදු සම්මානයක් සඳහා දිගු ලයිස්තුවෙන් මෙපිට පැමිණීම, එම සම්මාන වල සාර්ථකත්වය ගැන මිම්මකි. කෞශල්‍ය කුමාරසිංහගේ "නිම්නාගෙ ඉතිහාසය" ට සිදු වූයේ මෙයයි - එය අවම තරමින් එම වසරේ විද්‍යෝදය සම්මානය සඳහා අවසන් වටයට තේරිනි)

ශ්‍රේණිය: *****
ප්‍රකාශනය: සුරස (2019)
( 2019 ප්‍රකාශ වූ තෝරාගත් නවකතා කියවීම -11 )

ප.ලි. මෙම කෘතියේ කීරාළ යන වචනය අර්ථ දෙකකින් ඇතුලත් ව ඇත. එකක් නම් කැකිරාව ආශ්‍රිතව විසූ පුද්ගලයෙකි. එහෙත් බොහෝ තැන් වල ස්ත්‍රී හෝ කාන්තාව යැයි ඇරුත් යෙදිය යුතු යැයි මට වැටහෙන තැන් වලද "කීරාළ" යන වදන යෙදී ඇත. මෙය කතුවරයා මගින් ම තහවුරු කර ගත් පරිදි, මුද්‍රණ දෝසයක් මගින් එක්කාසූ වූවකි.

අවලමා සහ ඇහැටුව - පී. බී. ජයසේකර



****

(2015 දී ප්‍රකාශ වූ නවකතා කියවීම -11 )

    මරියා සිලොනිකා වස්තුව ඔස්සේ පාඨක අප විශ්වාසය දිනා ගත් කතුවර, පී.බී. ජයසේකරයන්ගේ දෙවෙනි නවකතාව ලෙස ප්‍රකාශ වූ "අවලමා සහ ඇහැටුව" නවකතාව කියවුවෙමි. පිටු 515කින් හෙබි මෙම නවකතාව මේ වසරේ මා මෙතෙක් කියවූ දීර්ඝතම නවකථාවයි. රාජ්‍ය සාහිත්‍ය සහ ස්වර්ණ පුස්තක, අවසන් පුර්ව වට වලට නිර්දේශ වීමට සමත් වුනි.

   නීතිය රකින්නන් ම අපරාධකරුවන් හා එකට සිට ගැනීම හේතුවෙන්, අප රට ජනයා මුහුණපානා අභියෝග, විකල්ප වලින් තොරව අසරණ වීම, තම ආරක්ෂාවට තමන්ම නීතිය අතට ගැනීම ආදි ඉසවු කෙරෙහි උවමනාවටත් වඩා නිදර්ශන වලින් පෝෂිත ය. මෙහි එන අවංකම අහිංසක චරිත වන මුතුමිණ, ථීර, මුතුරත්න, ලොකු හාමුදුරුවෝ ආදී හු, වර්තමනාන දූෂිත සමාජ ක්‍රමය හමුවේ වඩාත් ම අසරණ වූවෝ, තම සිහි කල්පනාව ට ද අභියෝග වන්නාහු ය. තමන් ලක් වූ පිඩනය ජය ගැනීමට තැත් කලෝ, ඔවුන් මුහුණ දුන් අභියෝග ජය ගත් මුත්, ඔවුන් ද ක්‍රමක්‍රමයෙන් මඩ ගොහොරුව තුලට ඇද වැටිම වළක්වා ගත නොහැකි වේ. ඉදින් අද වන විට අප රට සිව්කොණ මේ දූෂණයෙන් රෝගි වී ඇත. එක්කො ඉතුරුවන්නේ මේ දූෂණය හේතුවෙන් ගොදුරට පත් වූ අහිංසකයො ය, නැතහොත් මේ තරඟයේ යම් දුරක් දුවා එහි ගොදුරට පත් වන්නෝය( damn if you do, damn if you don't ). අප කතුවරයා ප්‍රබන්ධිත පරිසරයක මේ යථාර්තය හොඳින් ඒත්තු ගන්වා ඇත.

  එහෙත් ගැටළුවක් ද ඇත. එය ලේඛකයා තම පණිවුඩය ගෙනයාමට පේ වී ක්‍රියා කිරීම නිසා ම ඇති වූවක් විය හැකි ය. මෙය "මරියා සිලොනිකා වස්තුවේ" ද වූ අඩුවකැයි මගේ සිත මට කියා සිටියි. ( කරුණාපාල ගේ බිරිය වූ "මැණිකේ" නොහොත් වත්සලා, නවකතාවේ පණිවුඩය ප්‍රකාශනයට ඖචිත ලෙස හදිසි රෝගි තත්ත්වයකින් මිය ඇදෙන්නීය. ඔහුගේ දියණිය ද ඇමතිගේ ගොදුරක් වන්නේ එය තම අභිමතය මත වුවත් කතුවරයාගේ පණිවුඩ ප්‍රකාශයට ඖචිත ලෙසට ය. )  මට හැඟුණු පරිද්දෙන් කතුවරයා ගේ මෙම කෘතියේ ද මෙම අඩුව දෘශ්‍යමාන වේ. ඊට පෙර දින බියෙන් ගැසෙමින් ආමි ගුණේ ට එක් වූ ගජමිණි පසු ව ආමි ගුණේ හමුවීමේදී හැසිරෙන්නේ එවන් "ගල උඩ සටන්" වල පළපුරුදු ඇත්තෙකු ලෙසට ය. පොඩි හාමුදුරුවෝ සහ උදාරි යන චරිත ද තරමක් දුරට  පාඨක විශ්වාසය අභියෝග කරනා තරමට අන්තයන් වලට ගොස් ක්‍රියා කරති. දං කුට්ටා ඊට ත් එහා ය; කතුවරයා මහත් පරිශ්‍රමයක් යොදා තැනූ චරිතයක් යැයි සිතිය හැකි මුතුමිණිගේ චරිතය ද,  පැතලි ය. ඒ අතින් බලනා කල කතුවරයා වඩා තාත්වික ලෙස ගජමිණ, පොඩ්ඩි සහ ජයේ  යන චරිත ගොඩ නගා ඇත.

මේ දොස් තිබුන ද, පළමු පිටු සියයක පමණ සාපෙක්ෂ වශයෙන් ආයාසකාරි අවදියෙන් පසුව, පාඨකයා වඩාත් ආශාවෙන් කෘතිය කියවාගෙන යාමට පෙළඹේ ( මුල් පිටු සියය තරමක් පාඨක උනන්දුව ට බාධා කරයි ). දං කුට්ටාගෙන් සිදුවන කෙළවරක් නැති අඩත්තෙට්ටම් ඉදිරියේ, ගජමිණිගේ පවුලේ උදවිය අවසානයක් නොමැතිව දුක් විඳිනා අයුරු ද, නීතිය නිර්ලජ්ජීව මේ අහිංසකයන් මග හරිනා අයුරු ද, පාඨක සන්තානයන් රිදවන අයුරින් කතුවරයා ඉදිරිපත් කිරීමට සමත් ව ඇත. 

අවලමා සහ ඇහැටුවත්, මෙවර ස්වර්ණ පුස්තකය සම්මානය දිනූ අහම්බකාරක අතර යම් යම් සමානකම් දකිමි. පුළුල් වශයෙන්, පළමුව සභාපතිලාගේ පසුකාලීනව ගජමිණි, උදාරිලාගේ ලෝකෙත්,  එකකි. විවි ලා ගේ ලෝකයත් එය ම ය. එනම් ගජමිනි පාපොච්චාරණය කරන්නා සේ "මේ ගේම් එක එහෙමයි. දැළි පිහියෙන් කිරි කනව වගේ. කන්නේ කිරි ඒත් දැලි පිහියෙන්. හොඳට වෙලාව බලල කරන්න ඕනෑ." අහම්බකාරක වඩා සියුම් රචනාවකි. එනුමුදු,  ලේඛකයාම පිළිගෙන ඇති පරිද්දෙන් ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රයකට සේවය කරයි. අවලමා සහ ඇහැටුව එතරම් සියුම් නැත. තැනක තරමක් ගොර්හැඩිය - එහෙත් ඔහු දේශපාලන න්‍යාපත්‍රයක් පෙන්නුම් කරන්නේ නැත.

යම් යම් දුර්වලතා තිබුණ ද, සාපෙක්ෂව වශයෙන් හොඳ යැයි ගිණිය හැකි නිර්මාණ අඩු වසරක, පාඨක අවදානය දිනීමට සමත්, එසේ දිනීමට උචිත කෘතියක් ලෙස නම් කිරීමට නොපැකිලෙමි.  


(2016, නොවැම්බර් මස 3 වැනි දින ලියූ සටහනකි)


Thursday 12 August 2021

The Nickel Boys - Colson Whitehead

 Whitehead's The Underground Railroad didn't quite convince me in the style of narration he adopted. .


However, the concise "Nickel boys", doesn't make the reader sense an ounce of exaggeration, in the detail. The ideology, the innocence, and the will to believe, of a day when justice will prevail - that of   a  young boy who was inspired by Dr. King, is written in such a manner that it cannot help but move the reader.  

A description that  hit me was how,  Elwood supported those  who completed the 23 mile marathon last, and the implicit thinking behind it.

    "It was easy to root for the winners. No, he liked the punch-drunk ones, half walking at mile twenty-three, tongues flapping like Labradors. Tumbling across the finish line by hook or by crook, feet pounded to bloody meat in their Nikes. The laggards and limpers who weren’t running the course but running deep into their character—down into the cave to return to the light with what they found."

Upon completion of the book, it becomes clear that the post-Nickel life of "Elwood", where he wanted to scrape a life from the broken remains, makes sense of this show of support. However at the time of reading this passage, I took it to mean that Elwood had settled for a less ambitious life, academically - given his early ambitions were denied him.  At the time of reading, Elwood's completion of GED through night school, first had me comparing his modest educational achievement, with his respect for these marathon contestants who finished last - modest achievements for those who were denied their ambitions of their youth, through cruel circumstances. While it did trouble me as to why Elwood stopped with GED, Whitehead's later "twist" in narration, explained it. Because, for "Elwood", GED was as closest he could aspire for, to pay tribute to is late friend's academic ambitions.

  The hopes that Elwood held, despite common sense which tried to warn him against it, is best captured here, I felt.

    “The world continued to instruct: Do not love for they will disappear, do not trust for you will be betrayed, do not stand up for you will be swatted down. Still he heard those higher imperatives: Love and that love will be returned, trust in the righteous path and it will lead you to deliverance, fight and things will change. He never listened, never saw what was plainly in front of him, and now he had been plucked from the world altogether."

        Altogether, this is a book that will stay in the reader's mind for a long time. The concise length, the precise detail, and the sense of conviction that Whitehead's narration brings, make this one of the best novels of recent times, which leaves the reader mulling over the character of Elwood Curtis - the real Elwood, and his friend who paid tribute to his memory.

 Rating: ****1/2
 Pulitzer Award for Fiction - 2020

Tuesday 10 August 2021

සන්තාන ගීතිකා - මංජුල වෙඩිවර්ධන


 වරෙක අහිමි වූ, නැතිනම් සිත් සේ ළං විය නොහැකි ප්‍රේමයය; විටෙක ප්‍රෙමය උත්කර්ශවත් ව සැමරෙන අවස්ථාවන් ය -  පුරුද්දා ඇත්තේ බොහෝ විටේ හිමෙන් යට වූ තනිකමක් තුලය ; නැතහොත්, ප්‍රේමයේ  ශෘගාරාත්මක උණුසුමක ට පිටස්තර සීත කාලගුණය පරාදය. ප්‍රේමණීය වටපිටාවක, අතරින් පතර  විප්‍රලාපී කවියක් ද ඇත්දේයි සිතෙන්නේ, වරෙක මෙම කවි සාමාන්‍ය අරුතින් ඔබ්බට දිවෙන හෙයිනි.

මේ සියළු කාව්‍යයෝ අපි දකිනුයේ ඡායාරූපයකට vignette ආරකින් එහි රාමු වටපිටාව අඳුරු පැහැකින් තනි කර පෙන්වන කවුළුවක් තුලින් බලන්නක් මෙනි. එනම්, මෙහී පද්‍යයට නගා ඇති බොහෝ පුද්ගලික හැඟීම් සමඟ පාඨකයා පෑහීමට නම්, එවන් අත්දැකීම් ඇය ද පද්‍යාකාරයට සම්ප්‍රේෂණය කල යුතුය. කිම ද, වරෙක, අප කවියා සුළු සිද්ධියක් පවා, තම බස නැමීමේ, තතු වැණීමේ, ශිශිරය වර්ණ ගැන්වීමේ මහඟු හැකියාවේ වරමෙන් පාඨකයාගෙන් වියුක්ත, තමනට ම ලියූ කවි පංති කිහිප පෙළක් ලෙස ද  ගෙනහැර දක්වයි. පාඨකයකු බොහෝ විට මෙම කවි පංති අගයන්නේ එහි  කවිබස, වර්ණය, හැඟීම් හේතුවෙන් මිස වෙඩිවර්ධනගේ කවියේ කියවෙන තතු වලින් අර්ධයක් හෝ  පසක් කරගෙන නොවේය - කිම ද පෙර කීවාක් මෙන් එම අත්දැකීම් පෞද්ගලික ය. මම මීට ආසන්න උදාහරණයක් මට හැකි ලෙස ඊට උදාහරණයකින් සපයන්නම්. Pearl Jam රොක් කණ්ඩයමේ wish list නමින් අපූරු ගීයක් ඔවුන්ගේ Yield ඇල්බමයේ එයි. එම ගීතය  ගීත රචකයාගේ අදහස් වලින් මෙලෙස ඇරඹේ.

"I wish I was a neutron bomb for once I could go off
I wish I was a sacrifice but somehow still lived on
I wish I was a sentimental ornament you hung on"

හරි, ඔහුගේ පැතුම් පරාසයත්, එහි ඉන් අඟවන දේ ද පැහැදිලිය. එහෙත් එම ගීයේ මෙවන් පදයක් ද පසු ව එයි.

"I wish I was the full moon shining off a Camaro's hood" - හද්දෙයින්නේ ඇයි කැමැරෝවක් ම පූර්ණ සඳක් පතිතය ට ? වෙඩර් මෙහි කියන්නේ කුමක් ද ? තතු සෙවූ කල  සොයා ගත්තේ, වෙඩර් ගේ එකල බිරිඳගේ මොටර් රිය කැමැරෝවක් බවත්, ඊට පතිත වන සඳුගේ ඡායාවක් ඔහුගේ ආදරයත්, නිවෙසාශ්‍රිත පරිසරයත් වනන බවකි. මෙය සොයන්නෙකුට හැර කිසි විටෙක තෝරා ගත නොහැකි වනු ඇති. වෙඩර් ගේ කැමැරෝ වැණුම සහ වෙඩ්ඩා ගේ අනේක වැණුම් වල සබැඳියාව ඇත්තේ මෙපරිද්දෙනි ( වෙඩර් ලියා ඇත්තේ ගීයට පදවැල් ය - වෙඩ්ඩා දීර්ඝ කවි පංති 32කි; ඒ හැම එකක් ම උක්ත ගීතයට වඩා දිගු පද්‍යයන් ය.) ඉතින් කවි 32ක් පුරා මේ සියළු කවි දීර්ඝව හදාරන්න තරම් කාලයකින් අපි පොහොසත් නැත. එපමණක් නොව, වෙඩර්ගේ කැමැරෝව ගැන සෙවීමෙන් මට ඵලක් නොවූව මුත් මා එම ගීතය රස වින්දා සේ ම, වෙඩිවර්ධන ගේ කවි vignette ආචරණයකින් ම රස විඳීම වඩා ප්‍රඥ්ඥා ගෝචර ය. එසේ ම, මට සිතුනේ, මෙවන් කවි සංග්‍රහයක් ලෙස කියවනු වෙනුවට, ඒ ඒ පංතිය විටෙන් විට කියවීම එම කවි වලට වැඩි සාධාරණයක් ගෙනෙන බවකි. එක් අතකින්, මේ කව් උප ශානරයකට ගොණු කර ගත හැක - ප්‍රේමාන්විත කවි ලෙස. මීට පෙර මා මහත් රස විඳි ප්‍රේමය ගැන වැඩි අවකාශයක් යොමු කල සංග්‍රහයකි, "තෙමි තෙමි ම, මම". එහි කවියා බොහෝ අවංකය; කීමට ඇති බොහෝ දේ කාව්‍යම ලෙස වුව ද, තරමක් ඍජුව පවසා ඇත. එහෙත් වෙඩිවර්ධනගේ ප්‍රේමාන්විත කවි, අපි ට ඔහු ගේ ප්‍රේමයේ, විරහවේ, තනිකමේ අළු පැහැයට බරැති ඡායාරූපයක් ලෙස පෙන්වා ඇත.  එම කවි චිත්‍රයේ ය ලස්සන ඇත්තේ. එය ම මනරම් ය. මෙම කවි එක දිගට 4-5  කියවා ගෙන යාම ද වරෙක අපහසුය. තමන් එතරම් ම අවබෝධ කර නොගත්, එහෙත් කවියක් රස විඳි අයෙක්, එම හැඟීමෙන් කාලයක් ගත කරනු විනා එවන් අපැහැදිලි අදහස් ගොන්නක් ( හෙවත් ඊළඟ කවි ) එ මති න් පටවා ගැනීම එතරම් සුදුසු නොවේ. ඒ ආරෙන් මේ කාව්‍ය සංග්‍රහය, දිනකට එක කවි පංතියක් ලෙස  මාසයක් හෝ ඊට වැඩි කාලයක් ගෙන කියවීම වඩා උචිත බවකි, මගේ නම් අදහස.  මා මාස කිහිපයක් ගෙන මෙම පොත  කවරෙන් කවරය කියෙව්වාට, මේ කවි පංති ටික තවම කියවාගෙන නැතැයි සිතේ. එහෙත් මේ තරමින් කියවීම ම අත්දැකිමකි - ඇරත්, වෙඩර් ගේ කැමැරෝ තරම්වත් වෙඩ්ඩාගේ පසු බිම් කතා මට හසු නොවනු ඇත. එහෙත් කවි රසිකාවිඅයන් විඳිය යුතු පොතකි!

සිත් ගත් කවි කොටස් කිහිපයක් මෙලෙස අමුණමි:







 
ශ්‍රේණිය: ****
ශානරය : කාව්‍ය 
ප්‍රකාශක: විදර්ශන (2019)

Sunday 8 August 2021

සිංහල නවකතා ඉතිහාසය හා විචාරය - එදිරිවීර සරච්චන්ද්‍ර


 මේ පොත මුල් වරට 1951 දී මුද්‍රණය වී ඇත. 1968  නව සංස්කරණයක දී ඊට පෙර දශක එකහාමාර තුල ප්‍රකාශ වූ නවකතා කිහිපයක් වෙත ද අවදානය යොමු කර ඇත. 1943 දී Modern Sinhala Fiction ද, 1950 දී The Sinhalese Novel යනුවෙන් ද නවාකතාව පිළීබඳ පොත් දෙකක් පළ කල සරච්චන්ද්‍ර, ඉන් පළමුවැන්න විශේෂයෙන් මේ සිංහල කෘතිය ට පාදක කරගත් බව පැහැදිලිය. එම කෘතියට පෙරවදනක් සපයන ගුණපාල මලලසේකරුන් පවසන්නේ, මේ කෘතියේ සමහර විචාර ඒ වන විට ජනප්‍රිය ලේඛකයන්ගේතෙ ඔවුන්ගේ පාඨක පිරිසකගේත් සිත් අමනාප කිරීමට හේතු විය හැකි බවකි. ඒ නිසාම දෝ සරච්චන්ද්‍රයන් මේ ප්‍රස්ථාවනාවේ මෙසේ පවසයි:

මෙහි එන තීරණවලට  තුඩු දුන් කරුණු නොදන්නා තැනැත්තා ඒවා පක්ෂ භජනයකින් කරන ලද තීරණ යයි සැලකීම පුදුමයක් නොවේ ( 6 පිටුව)

අතීතයෙහි නම් නොයෙක් නොයෙක් වකවානුවල කිසියම් දේශීය රුචිකත්වයකින්, ඒ ඒ අවධිවල පහල වූ විචාරකයන් විසින් පනවන ලද කිසියම් විශේෂ මිනුම් කෝදුවක් අනුව ඒ ඒ සාහිත්‍යයන් අගය කා බව පෙනේ. එහෙත් දැන් නම් සාහිත්‍ය කෙරෙහි බලපාන්නේ, බටහිර වශයෙන් වත් දේශීය හෝ විදේශීය වශයෙන් වත් බෙදිය නොහැකි විදියේ විශ්ව සාධාරණ රුචිකත්වයකි. ( 7 පිටුව)

"ප්‍රබන්ධ සාහිත්‍යයට මඟ පෑදීම" නම් මුල් පරිච්ඡීදය ඇරඹෙන්නේ අපරදිග සාහිත්‍යයේ ආභාෂයෙන් ජීවිතේ විඳීම් වල පෙර නො විමසූ පැති, ගිහි ලේඛකයන් ගේ සාහිත්‍යමය මැදිහත් වීම තුලින්,  19 වෙනි සියවස අග වන බිට අනාවරණය වීම මතු කරමිනි.
- දහ අටවෙනි සියවසේ දී වැලිවිට පිණ්ඩපාතික සරණංකර හිමියන් ගේ ශාස්ත්‍රීය මෙහෙය මතක් කොට, වෙසෙසින් දහනවවෙනි සියවසේ විද්‍යාලංකාර සහ විද්‍යෝදය පිරිවෙන් පිහිටුමෙහි උන්වහන්සේගේ ගෝල පරම්පරාවේ මුල් වීම මතු කර දක්වයි.
- දහ නව වෙනි සියවසේ භාෂාව, ශාෂ්ත්‍රය හා ආගම මුල් කොට බොහෝ වාද ඇති වූ බවත්, එම වාද බොහෝ ඒවා සුළු කරුණු මත සිදු වූ ඒව මුත්, ඉන් ලැබුණු ප්‍රධාන ප්‍රතිඵලය වූයේ, "සිංහල භාෂාව, 20 වෙනි ශත වර්ෂයේ ප්‍රාදූර්භූත වූ ලේඛකයන්ගේ කාර්යයට සුදුසු වූ සුඛනම්‍ය සරල උපකරණයක් වීම" ලෙස කතුවරයා පෙන්වා දෙයි.
- දහනම සියවසේ ප්‍රකාශ වූ පුවත් පත් හා සඟරා ගැන දීර්ඝ විස්තරයක් මෙහි එයි. මින් බොහෝ ඒවා වල පෙර කී වාදයන් නිසා සිදු වූ අතර, ඉන් බොහෝ ඒවා හි තිබූ යුරෝපයේ හෝ අරාබි නිසොල්ලාසයේ කතා මගින්, මිනිසුන් හට නවකතා කියවීමට අවශ්‍ය ආශාවේ මුල් බීජයන් වපුළ බව කතුවරයා පෙන්වා දෙයි.
- මෙහි එන නාටක සාහිත්‍යය පිළිබඳ කොටස ඉතා රසවත් ය. කෝලම්, සොකරි ආදිය මුඛ පරම්පරාවෙන් පැමිණීම හේතුවෙන් සාහිත්‍යාංගයක් ලෙස සැලකිය නොහැකි වු බවත්, නාඩගම් දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි ගම්බද නාට්‍ය විශේෂයක් බවත්, ඒවා සහ මෙහි තිබූ ගම්බද නාට්‍ය වල සමානකම් නිසාත්, මෙහි මුල් බැස ගත් බවත්, සංවාද හිටිවන වූ නුමුත්, නාඩගම් ගීත ගම්බද නාට්‍ය සංගීතයට වඩා ඉහළ තලයක තිබුනේ ද්‍රවිඩ ශාස්ත්‍රීය සංගීතයේ ප්‍රභවය ලැබූ නිසා බවත් පෙන්වා දෙයි. ආගම ප්‍රචාරයට යාපනයේ වැඩ විසූ රෝමානු කතෝලික පූජකයින් තේරුක්කුත්තු නම් වූ නාට්‍ය ක්‍රමය භාවිත කල අයුරුත්, මීගමුව හා හලාවත ආශ්‍රිත ජනයා වෙනුවෙන් මෙම දමිළ නාට්‍ය සිහළට නැගුණු අයුරුත් ගෙන හැර දක්වයි. පිලිප්පු සිඤ්ඤෝ පළමු නාඩගම් කතුවරයා වූ බව පෙන්වා දෙයි. නාඩගම් වලින් අභිනව සාහිත්‍ය උදෙසා යම් මෙහෙයක් වූ බවත්, ඒ ඉන් ගැමි වහරට රුකුලක් ලැබීම හා ගිහි ජීවිතය පිළිබඳ කථා කියවීමේ අභිරුචියත් ඇති වූ බවත් පෙන්වා දෙයි.
-19 වෙනි සතවස අගබාගයේ උතුරු ඉන්දියාවෙන් පැමිණි සංචාරක නාට්‍ය කණ්ඩායම් විසින් මෙහි විප්ලවීය වෙනසක් සිදු කල බවත්, මුල් ම කණ්ඩායාම බලිවාලා ගේ නායකත්වයෙන් යුතු වූ ඇල්පින්ස්ටයින් ඩ්‍රැමටික් කොම්පැණිය බවත් පවසයි. මෙම පාර්සි නාට්‍යය ආභාෂයෙන් උතුරු භාරතීය සම්ප්‍රදාය අනුගමනයට මග පැදූණු බවත්, ගීත වල ගුජරාටි හා උර්දු භාෂා හා සිංහලය අතර වූ සමානකම් හේතුවෙන් මෙරට ජනයා ඉතා පහසුවෙන් ඒවා උගත් බවත් පෙන්වා දෙයි. සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර නූර්ති සාහිත්‍යයේ ආදි කර්තෘ බවත්, අනතුරුව ජෝන් ද සිල්වා නූර්තිය ජාතික ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් භාවිත කල බවත් සඳහන් වෙයි.
- පද්‍ය ආඛ්‍යාන කථා පසුව නව කතා රසවින්දනයට හේතු වූ බව සරච්චන්ද්‍ර හේතු දක්වයි. ආඛ්‍යාන පද්‍ය සාහිත්‍යයට අයත් පැරණිතම කෘතිය වන මහා පදරංග ජාතකය දෙමළ බෞද්ධ  සාහිත්‍යය කෘතියක පරිවර්තනයක් බව හෙළි වේ. දහනමවෙනි ශතවස අග වන විට මුද්‍රණ යන්ත්‍රයේ අවතීර්ණයත් සමඟ ජාතක කතා ද, දෙමළ සාහිත්‍යයද සිංහල පද්‍යයට නැගී ඇත.
- පරිවර්තන අතර අරාබි නිසොල්ලාසය තරම් සිංහල නවකතාවට බලපෑම් කල අනෙකක් නැති බවත්, ඊට මදක් හෝ ලං වන්නේ රාමායණය පමණක් බවත් ඔහු පෙන්නුම් කරයි.

"සුලභ ආප්තෝපදේශයක් ඉගෙන ගැනීමට නොව හුදෙක් විනෝදය හා රසාස්වාදය  සඳහා සේවනය කළ හැකි සාහිත්‍ය විශේෂයක් තිබෙන බව වර්තමාන සිංහල පාඨකයන්ට හඳුන්වා දුන්නේ 'අරාබි නිශොල්ලාසය' ය. එ මතු ද නොවේ. 'අරාබි නිශොල්ලාසයේ' කථා වනාහි ප්‍රබන්ධ කථා කලාවෙහි මනා ආදර්ශ වෙයි" (43 පිටුව)

- බයිබලයේ පරිවර්තනයන් ද සිංහල නවකතාවේ උන්නතියට හේතුවක් ලෙස දැක්වෙන්නේ, සාමාන්‍ය ව්‍යවහාරයේ එන භාෂාවක් ලේඛනයේදී යොදා ගැනීමට ගත් වෑයම නිසාය. 

ආදි ගද්‍ය ආඛ්‍යාන ස්වල්පයක් නම් වූ කෙටි පරිච්ඡේදය, දහනමවෙනි සියවසේ දී, බාහිර වෘතාන්ත ස්වරූපයෙන් ලියවුණු ප්‍රබන්ධ ආඛ්‍යාන කිහිපයක් වෙත යොමු වේ. ක්‍රිස්තියානි ප්‍රචාරාත්මක ස්වරූපයක් ගත් මින් එකක් වූයේ, "වාසනාවන්ත පවුල සහ කාලකන්නි පවුලය".

මෙම ඉහත කොටස් එලෙසම ඉදිරිපත් කලේ, ඓතිහාසික කාරණා වල දිගැරිමක් ලෙස මෙම කෘතිය ඉටු කරන මෙහෙය පෙන්වා දීමටය. 

මින් පසු සිංහල නවකතාව යන කාරණාවට වඩා සම්බන්ධ දිගැරීම් වලට යොමුවෙමි.

පළමුව සයිමන් ද සිල්වා පිළිබඳ සාකච්ඡාවට ගැනේ. ඔහු ආරම්භයේ දී ම පවසන්නේ එකල සිටි පාඨක පිරිසගේ රසාස්වාදයේ සිමාවන් නිසා මෙතුමා ගෙ නිර්මාණ පියදාස සිරිසේනගෙ තරම් කීර්තියක් අත්පත් කර නොදුන් මුත්, ඔහු "මිනිස් සිත විනිවිද දැක එය හකුළා පෙන්වීමට ඔහු තුළ තිබූ අපූර්ව ශක්තිය අතින් ඔහු කිසිවෙකුට දෙවෙනි නොවන්නේය", කියාය. මීනා නවකතාවේ මූලික අරමුණ ලෙස සරච්චන්ද්‍රයන් දකිනුයේ කතානායිකාවගේ සිත පිළිබඳ කියාපෑම බවත්, බාහිර සිදුවීම් අප්‍රධාන තැනක් ගත් බවත් ය. ඔහුගේ නවකතා වල දුර්වල තැන් ද පෙන්වා දුන්න ද, සරච්චන්ද්‍රයන් නවකතාවක බලාපොරොත්තු වන ප්‍රධාන කාරණාවන් කුමක්දැයි අදහසක් ගැනීමට සයිමන් ද සිල්වා ගේ නිර්මාණ ගැන ඔහු කියන දෙයින් ම වැටහේ. සරච්චන්ද්‍රගේ මෙම කෘතිය දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් කරන තෝරදෙනිය ( බලන්න, පේරාදෙණිය ගුරුකුලයේ උපත, නැඟීම හා බිඳවැටීම 1), මෙම ස්ථාවරය විවේචනය කල ද, මෙහි දිගුවක් ලෙස මනස් පුතුන් යන විවාදාත්මක චරිතයන්ගේ උත්පත්තියට එය හේතු වුව ද, අද වන් තැනෙක සිට බලන විට මෙම දෙපාර්ශවයටම තම තමන්ගේ ආස්ථානයන්ගේ සිටීමේ දොසක් දැකිය නොහැකි බව පෙනී යන අතර, තමන්ගේ ස්ථාවරය නිවැරදි එකම ස්ථාවරය යැයි ඇඟවෙනාකාරයෙන් ක්‍රියාකිරීම පමණක් දොසක් ලෙස දැකිය හැක. අනෙකා ගේ අදහස් වලට සංවේදීවීම වර්තමානය විසින් දවසින් දවස අත්‍යාවශ්‍ය කාරණාවක් වන යුගයක සිට, මා මේ කියන කාරණාව එදවසේ සංවාදය හා සැසඳීම ද යුක්තියුක්ත ද යන්න සිතිය යුත්තකි.

පියදාස සිරිසේන ගැන පරිච්ඡේදයේ, ඔහු නවකතාකරුවෙකුට වඩා අපරදිග සිරිත් විරිත් හා ආගම විවෙචනයටත්, "සිංහල ක්‍රිස්තියානිකාරයන් නැවත බුද්ධාගමට හරවා ගෙන සිංහලයන්ගේ නැති වී යන සභ්‍යත්වය නගා සිටුවාලීම" ට යොමු වූවෙකු බවට සරච්චන්ද්‍ර පෙන්වා දෙයි. සිරිසේන ගේ ම ප්‍රස්තාවනාවක ඔහු ගේ අරමුණු ඔහු මෙසේ ගෙන හැර දක්වා තිබේ.

ඔහු ඉමහත් කීර්තියක් ඉසුලු මුත්, සහ ඔහු ගේ පොත් දහස් ගණනින් විකිණුන ද, නවකතාකරුවෙකු ලෙස සැලකීමේ දී ඇති ඌනතා සරච්චන්ද්‍ර හොඳින් පෙන්වා දෙයි. ස්ත්‍රින් කෙරෙහි වූ ආකල්පයන්, හූනු ශාස්ත්‍රය ආදී ජ්‍යෝතිෂ ගැන විශ්වාසයන්, සහ විශ්වාසනීයත්වයෙන් අඩු කතාව ආදි දුර්වලතා සරච්චන්ද්‍රයන් පෙන්වා දෙයි. සරච්චන්ද්‍ර, සිරිසේනගේ බොහෝ නිර්මාණ උදාහරණ ලෙස සලකමිනි, එම කෘති වල ඇති දුර්වලතා පෙන්වා දුන්නේ.

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ධර්ම දේශකයෙක් නොවෙන හෙයින් පාඨකයාට යම් සැහැල්ලුවක් දැනුන ද, චරිත වල ඇති "සුදු හෝ කළු" බව ඔහු ගෙ ප්‍රධාන දුර්වලතාවක් ලෙස සරච්චන්ද්‍රයන් පෙන්වා දෙයි. එහෙත් ඔහු සිරිසේන ට වඩා හපන් කතාකරුවෙකු බවත්,  ස්ත්‍රීන් කෙරෙහි වඩා ප්‍රගතශීලි අදහස් දැරූ බවත්, ඓතිහාසික නවකතා වෙසෙසින් විචාරවත් පාඨකයන් අතර පවා සම්භාවනාවට ලක් වූ බවත් පෙන්වා දෙයි. මෙහි "විචාරවත් පාඨකයා" යන්න සැලකිය යුතු දෙවදනකි - ඊට පසුව නැවත පැමිණෙමි.

මාර්ටින් වික්‍රමසිංහයන් ගෙ නවකතා ගැන පූර්ණ විචාරයක් මෙහි වෙයි. 1914 දී ප්‍රකාශ වූ "ලීලා" සිරිසේන ගේ ආභාෂය පෙන් වූ දුර්වල නවකතාවක් නුමුදු, ජයතිස්ස හා රොසලින් හී ඉහළට නැංවූ සමහර මිත්‍යාවන් විශ්වාසයන් වික්‍රමසිංහයන්ගේ විවේචනයට බඳුන් වූ අයුරුත් පෙන්වා දෙයි. "සීතා" හි සමහර කොටස් මගින් පසු කලෙක නන්දා ගේ චරිතයේ කටුසටහනක් මෙනෙහි කරන අයුරුත්, "මිරිඟු දිය" ඔහුගේ පැරණි කෘති අතර වඩාත් රසවත් කෘතිය ලෙසටත් පෙන්වා දෙයි. මෙහි දි වික්‍රමසිංහයන්ගේ ආස්ථානය සැලකිය යුත්තකි. හෙතෙම බුද්ධාගම නමින් එහි වූ මිථ්‍යාවන් ආදිය විවේචනය කල මුත්, බටහිර සභ්‍යත්වය හා පෙරදිග සභ්‍යත්වය අතර නො පෑහීම පිළිබඳ, කිප්ලිං ගේ මතයට ආසන්න මතයක සිටි බව පෙනී යයි. ඔහුගේ අනෙක් නවකතා ගැන ද කෙටියෙන් සාකච්ඡා කොට, ගම්පෙරළිය ගැන දීර්ඝ විචාරයක යෙදෙයි.  මේ උදෘතය සලකන්න.


නන්දාගේ චරිතය ගැන කියවීම ද අප සමාජ ඇති කිඳා බැහැපු ගැටළුවක් ගැන පෙන්වීමකි. 

"'ගම්පෙරළිය' අන්‍යෝන්‍යයන් කෙරෙහි  පිළිබඳ සිත් ඇතිව අන්‍යෝන්‍යයන් සරණ පාවා ගැනීම තැත් කරන තරුණයෙකු හා තරුණියක ගැන කතාවක් නොවේ. ඒ තම සිතැඟි මැඩ පවත්වා ගෙන පුද්ගලික ආසාවලට ඉඩ නොදී සමාජ ධර්මයට යටත් ව ජීවත් වූ මිනිසුන් පිළිබඳ ප්‍රවෘත්තියකි. නන්දා තම යටි සිතින් පියල්ට කැමති ය. එහෙත් එබඳු කැමැත්තකට ලියලන්නට ඉඩ දීම ඇගේ සිරිත නොවේ.  ඇය ජිනදාස සමග විවාහ වන්නේ ආත්ම පරිත්‍යාගයෙන් නොවේ. ස්වාධීනත්වෙන් කිසිවක් කිරීමට ඈට නුපුළුවන. "( 119-120 පිටු)

විරාගය ගැන විචාරය කිය වූ සඳ, වික්‍රමසිංහයන්ගේ නවකථාංග හා විරාගය නොකියවා සිටීමට සිත් සදා ගැනීම අපහසුය. අරවින්දගේ චරිතයට සරච්චන්ද්‍ර දෙවෙනි වරට ද යොමු වන්නේ, මෙහි පසුව කියැවෙන "අද්‍යතන නවකතා කිහිපයක්" කොටසේ දී පෙන්වා දෙන ආකාරයෙන්, එම චරිතය ඉන් පසු නිර්මාණ වලට කෙතෙරම් ආභාශයක් වූයේද යන්න පෙන්නුම් කරලීම මගිනි.  එහි, 179 පිටුවේ එන මෙම විචාරය සලකන්න.

අනතුරුව සරච්චන්ද්‍රයන් සිංහල කෙටිකතාව කෙරෙහි යොමු වෙයි.  මෙහිදි විශේෂයෙන් ජී.බී. සේනානායක ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නේ ඔහු තම කෙටිකතා වලට හසු කරගෙන ඇති ගුප්ත රසයත්, ඔහු විදහා දක්වන ප්‍රංශ හා රුසියානු කෙටිකතාවන් හි ආභාෂයත් හේතු කොට ගෙන ය. මාර්ටින් වික්‍රමසිංහගේ කෙටිකතා ගැන ද දීර්ඝ විචාරයක කෘතියෙන් කෘතියට පිවිසෙමිනි. වික්‍රමසිංහගේ එක්තරා කෙටිකතාවක් උකහා දක්වමින්, සිංහලයාගේ කුහකබවේ තරම ගැන සරච්චන්ද්‍ර විචාරන්නේ, වික්‍රමසිංහ පෙන්වාදුන් දේ මතය.  (පහත කොටස සලකන්න )




මේ බොරු සිල්වත් බව ප්‍රධාන වශයෙන් අප රටේ එකිනෙකා රවටා ගැනීමටත්, දේශපාලඥ්ඥයන් ඡන්ද දායකයින් රැවටීමටත් යොදා ගැනීම දවයේ සරදමකි.මෙම කෘතියේ තෙවෙනි සංශෝධනය ට ඇතුලත් වන අමරසේකර ගේ රතු රෝසමල සහ ජීවන සුවඳ ගැන ද කෙටි විචාර මෙහි ඇතුලත් වන්නේ ප්‍රශංසා මුඛයෙන් මෙන්ම අමරසේකර ගැන බලාපොරොත්තු ඉඟි කරලමිනි.


වෙනත් නවකතා කීපයක් නමින් උක්ත කාලයේ පළ වූ කෘති කිහිපයක් ගැන කෙටි අදහස් ද මෙහි ඇතුලත් ය. ටී. බී. ඉලංගරත්නගේ තිලක, විලම්භීත හා අඹ යාළුවෝ පවා ගැඹුරු රසාස්වාදයකට හේතු නොවෙන අගකි සරච්චන්ද්‍ර ගේ අදහස. මෙහි කියවෙන එක් කෘතියකි, වී. ඩී. ද ලැනරෝල්ගේ "පාසල් සමය". එය පියසිරි ගේ පාසල් සමය ම වන බවට උපකල්පනය කරමි. එය නම් මා බොහෝ රසවිඳි පොතකි. මේ පොත් ගොන්න අතර සැලකිය යුතු පොතකි, අමරසේකරගේ "කරුමක්කාරයෝ". එහි ගුණදොස් විචාරන හේ, එහි යම් දුර්වලතා දුටුව ද ( මා ඒවා දුර්වලතා ලෙස නොදකිමි), පොත ගැන යම් ප්‍රශංසාවක් එහි අන්තර්ඝතය.

පාඨක ජන්‍යා යන කොටස ද මෙහි එන ඉතා වැදගත් කොටසක් ලෙස දකිමි. විචාරකයාගේ වැදගත්කම මතු කිරීමෙන් අනතුරුව, කතුවරයා මෙසේ පවසයි. (166 පිටුව )

අද ට නම් මෙහි ඇත්තක් ඇති බව පැහැදිලිය. අද පවා "මට මේක තේරෙන්නෑ", "අනේ මන්දා" කියා මැසිවිලි නගන්නන් සිංහල නවකතා රසිකයන් අතර බහුලය. ඔවුන් ම ගෙඩි පිටින් යම් දේශපාලන පණිවුඩයක් කෘතීමව ඔබ්බවා ඇති නවකතා බෙහෙවින් අගයයි. ඒ සියුම් ව සිතීමට කිසිවක් නැති හෙයිනි. නිදසුනක් ලෙස අප රට සිංහල ජාතිකවාදය, කෙතෙරම් අනෙකා ගැන, පෞද්ගලික බැඳීම් කෙරෙහි අසංවේදී ද යන්න පසක් කරන, එහෙත් හොරණෑවක් ලෙස එය නොපෑසූ අපූරු නවකතාවකි, "පේත". (එය අන් නවකතා දෙකක් කියවා සපැමිණ කියවිය යුත්තක් බව සැබවි.)  එහෙත් එය අප නවකතා කියවන්නන් අතර මහත් අප්‍රසාදයට ලක් විය. 

එනුමුදු සරච්චන්ද්‍රයන් මෙසේ ලියූ සමයේ ඔහු සිරිසේන හා ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ පොත් දහස් ගණණින් විකුණු බව මතක තබාගෙන ලියූවා විය හැකිය. එකල, සිංහල නවකතාවේ මුල් අවදියේ ම මෙවන් ප්‍රකාශයක් කෙතෙරම් සාධාරණ ද යන්න සැක සහිතය. සමහර විට සයිමන් ද සිල්වා ගේ මීනා ට වඩා සිරිසේනගේ පොත් විකිණීම මෙහි පසුබිම වුවාද යැයි සිතමි. කිමද, මීනා පිළිබඳ කතා කරන සඳ හෙ මෙසේ පවසයි;

"සමකාලීනව ලියූ පියදාස සිරිසේන මහතාට තරම් කීර්තියක් ඔහුට අත් නොවූයේ, නවකථා රසය අවබෝධ කළ පාඨක සමූහයක් එක නුවූ හෙයිනැයි සිතීමට ඉඩ තිබේ." (58 පිටුව)
එය එසේ නම්, එය හුදු නවකතා පරිශීලනයෙන් ඔබ්බට විහිදෙන එකල තිබූ සමාජ දේශපාලන අවශ්‍යතාවක් බව සිතමි. සරච්චන්ද්‍රයන්ගේ මෙම කියවීම හැර, මේ සමස්ත කෘතියේ අන් දොසක් මා නොදකින්නෙමි. 

පෙර කි "අද්‍යතන නවකතාකරුවා ගත් මග" යන කොටසට පිවිසෙමි. මෙම කෘතියේ, මෙම සංස්කරණය ගැන ආරම්භක පරිච්ඡේදයේ හඳුන්වා දුන්නෙමි. මෙම කොටසේ විශේෂයෙන් 1960 දශකයේ ප්‍රකාශ වූ නවකතා කිහිපයක් සරච්චන්ද්‍රයන් විචාරයි. 

"අරවින්ද රෝගය" ට පිලිතුරු ලෙස අමරසේකරගේ "යළි උපන්නෙමි" සහ සිරි ගුනසිංහගේ "හෙවනැල්ල" ලියැවුණු ආකාරයත්, ඒවහි ගුණදොසුත් මෙහි දිගැරේ. මේ කොටස් මෙම කෘතියේ වටිනාකම වැඩිකරයි.

කේ. ජයතිලකගේ පරාජිතයෝ, අප්‍රසන්න කථාවක්, චරිත තුනක්, සහ පීතාමහ ඒ අතරය.  ඒ විචාර ගැන සමස්ත ලෙස එකඟ විය හැක. වෙසෙසින් සිංහලයා තම පෞද්ගලික අභිමතාර්තයන් දිනා ගන්නා අය, සහ එසේ නොගන්නා අය අතර විචාරන විදිහ සැලකිය යුතු යැයි සිතමි. චරිත තුනක් හී ඉසා, එහි එනතරම් ම තමන් ගැන සිතීම පස්සට දමා පරාජිතයෙකු නොවන්නේ නම්, සහ අවශ්‍ය තැනෙක දී ගැටුනේ නම්, ඔහුට ඔහු අවසන් වුවාට වඩා සාධාරණ ස්ථානයක ට අවතීර්ණ වීමට ඉඩ තිබිණැයි සිතිය හැක ( පීතාමහ හි ද එසේය -එහි ද මව ගෙන් එහි කතානායකයාට සාධාරණය ඉටු නොවේ. )

සරච්චන්ද්‍ර ද පවසන්නේ, ජයතිලක පැවසූ පරිදි, මෙම තමන් කෙරෙහි නිශ්ක්‍රීයත්වය, පැසසිය යුත්තක් ද යන්න විවාදාත්මක බවකට ය. එහෙත්, වෙසෙසින් අපට පෙර පරම්පරව, මෙම කාරණාව මේ ආකාරයෙන් නොදකින්නෝය. ඔවුන් ඉසා කෙරෙහි වන්දනීය භක්තියක් ඇති කර ගත්ත ද, ඉසා ට එම ගෞරවයෙන් වැඩක් නැති බවත්, ඔහු මහත් අසාධාරණයකට මුහුණ දුන් බවත් දැකිමට තරම් සංවේදි නොවන බවකි, මට සිතෙන්නෙ. එය අප උස්සාගෙන යන, එහෙත් බොහෝ විට පෞද්ගලිකව පිළිපැදීමට පසුබට වන බෝධිසත්ව ආදර්ශයේ දිගුවක් ද ? කුහකත්වයේ කොටසක් ද ?

 මීට අමතරව සඳහන් වෙන, කියවීම උචිත යැයි සිතෙන කෘති කිහිපයක් නම්, මඩවල් ඇස්. රත්නායකගේ "සිත නැති බඹ ලොව",  සුනන්ද මහේන්ද්‍රගේ නවකතා කිහිපයක් ( වෙසෙසින් "වාල්මිකි ඔබට කීවේ සීතා"), සහ හේමරත්න ලියනාරච්චිගේ "පාදඩයෙකුගෙන්" සහ "අන්තිමදා" හැකි දිනෙක කියවන්න ට් ඓටා ගත්තෙමි. 


මෙම කෘතිය කියවීමට ප්‍රමුඛතම හේතුව, තෝරදෙනිය තම "පේරාදෙනි ගුරුකුලයේ උපත, නැඟීම හා බිඳවැටීම" කෘතියේ මෙම කෘතිය ගැන වූ විචාරයයි. මෙම සිංහල කෘතියට මුල් වූ ඉංග්‍රීසි කෘතිය ප්‍රකාශ වී ඇත්තේ 1943 දිය. පෙර කී පාඨක ජනයා ගේ සීමාවන් ගැන ඔහු එකල කි දේ ඇත්තක් වුවත්, එකල තිබූ යුගයේ අවශ්‍යතාව වූයේ නවකතා කියවීම නොව, තම නිදහස පරිපූර්ණ කරලීමේ අවශ්‍යතාවන් බව පැහැදිලිය. සරච්චන්ද්‍රයන් එකල වඩා කලාකාමී ලෙස අන් අදහසක සිටීම ප්‍රගතිශීලි යැයි අද අපට කිව හැකි වුවද, මලලසේකර පවා එකල එය එසේ නුදුටු බවට සැක හිතේ (බලන්න 1). එනමුදු ඉන් ඔබ්බෙහි මෙය විචාර කෘතියක් ලෙස 1968 දී වූ අවසන් සංශෝධනය කාලයේදී,  උචිත විචාරයක් ඉටු කොට ඇති  බවට සැකයක් නැත. ඒ අර්ථයෙන් මෙය සිංහල නවකතාවේ ඉතිහාසයේ නැගීම ගැන සිසුවෙකු කියවිය යුතුම ග්‍රන්ථයක් බවත්, වෙසෙසින් අප සමාජයේ යම් ව්‍යාධීන් සාහිත්‍ය භාවිතාව හරහා තැනෙක දෙකක සාකච්ඡා කරලීමට තරම් ප්‍රගතශීලිත්වයක් උසුලන්නක් බවත් ඉඳුරා කිව හැක.

ශානරය: විචාර
ශ්‍රේණිය: ****1/2
ප්‍රකාශක: සරසවි (2006) ; නවවෙනි මුද්‍රණය; 1968 සංස්කරණය


පේරාදෙණි ගුරුකුලයේ උපත, නැඟීම හා බිඳවැටීම - සේන තෝරදෙනිය
( https://me-and-err.blogspot.com/2021/06/PeradeniyaSchoolThoradeniya.html )






Sophie's World - Jostein Gaarder

 



I’ve been having an interest in western philosophy from some time. However, forays into the subject have been ad-hoc, with more emphasis on ideas of existentialism. It was with an objective  to understand the development of philosophy more that I purchased Russel’s History of Western Philosophy, but that was about 6 years back. That book is a grand exercise in reading, and I felt that maybe, a more overall high level view was necessary, before one does a cover to cover reading of that great book.  It was in such a background that I thought that Gaarder’s book might well serve as a launching pad to read these ideas. And a launching pad it is, as I started on Russel’s book halfway through Gaarder’s. Of course, Russel will take a longer time to complete, but it sure did give a good platform.

Overall, Sophie’s World can be looked from two angles – a primer for a more thorough course in philosophy (my 16 year old son has started reading it too), plus as novel – in fact that’s the garb it dresses in formally. Until the last 40-50 pages, it fails miserably as a novel, in my opinion. But Gaarder has enough tricks in his imagination to give us a vivid finish to the novel, with the book’s real characters and the imaginary one’s switching roles in their bravado.

   stack of books to read
For me, as already stressed, this book served its purpose wonderfully, as a primer for reading philosophy. To that end, am really glad that I picked it up. I have a long list of books that I’ve had false starts with, but now I have more reason to read them within their context, with some basis to understand how a certain thought came to be at a historical period of time. For that, am glad I read this book, despite that fact that Gaarder may have targeted a much younger readership when he wrote this.

As a novel, even upon reaching three fourths of it, I felt what a farce, and how contrived a plot it was, just so that it could  carry out the author’s objective. Yet, Gaarder manages to find a white crow and some imaginative twists to salvage his book’s outer form. So much so, by the time I closed the book,  I had to concede, maybe Gaarder did do sufficiently – maybe just – to keep claim to his work as a novel, however much it’ll serve as an introduction to western philosophy -  from the times if the very early Greeks, right until Sartre, and then neo-Marxism.

Who should read this book ? If you’re only a lover of fiction, I do not recommend this book. The book has long passages on the development of western thought, and a lover of fiction only, may find herself wondering “what am I doing here?”. But if you have even a passing interest in philosophy – what did early democracy look like ? How did Christianity get absorbed in the then existing thought, and then took its main form ? 

e.g.

He became a Christian first, but the Christianity of St. Augustine is largely influenced by Platonic ideas. And therefore, Sophie, therefore you have to understand that there is no dramatic break with Greek philosophy the minute we enter the Christian Middle Ages. Much of Greek philosophy was carried over to the new age through Fathers of the Church like St. Augustine.

What the Renaissance was and how it can, in a way, be looked upon as girl reaching her 15th birthday, in mid-June in a Scandinavian country ? and how philosophy developed through the years to The Enlightenment, Rationalism to the historical materialism of Marx, and so forth – by all means this book can be so much rewarding for you. 

Rating: ****
Genre: Novel/ Western Philosophy
Originally published in Norwegian in 1991
First translated to English in 1995 by Paulette Moller
(this English edition - 2015)