Friday, 27 August 2021

මල් නැති උයන - එරික් ඉලයප්ආරච්චි

 ලේඛකයා ගේ මුල් කාලීන කෙටි කතා කියවීම මා ඇරඹුවේ මෑතකය. ගිය අවුරුද්දේ වඩදිය කියවූයේ ඒ අනුව ය ( https://me-and-err.blogspot.com/2019/08/blog-post_31.html) . එනමුදු බැග්ඩෑඩ් ගෙන් මෙපිට බහුතර කෙටි කතා සංග්‍රහයන් කියවා හමාර ය. දැන් දැන් ඒ මගැරුණු කෙටි කතා කියවීමේ උවමනාවකින් පෙළෙමි. මෙය ඔහු ගේ දෙවෙනි කෙටි කතා සංග්‍රහයයි.

 මෙම සංග්‍රහයේ මුල් කෙටි කතා දෙක කියවා අවසන් වද්දී අප සිතට නැගුණු අදහසකි. එනම් මෙම සංග්‍රහයේ කතුවරයා, මල් නැති උයන ලෙසින් අර්ථ දක්වන්නේ, සමාජවාදී උයන ක උතුම් පැතුම් මල් පළ නොදැරූ වටපිටාවක් පිළිබඳ තම නිරීක්ෂණ, ගෙතුම් ආශ්‍රයෙන් ලියැවුන්නක් ද යන්න ය.  තෙවෙනි කෙටිකතාව වද්දී, එම උයනේ මල් පිපුණ ද ඒ පෙර යුගයේ ප්‍රාර්ථනා මල් නෙමේ.

එනමින් ම එන කෙටිකතාවක් ද මෙහි එයි. මහා උයනක් බඳු මුළු ගමම මලින් බර කරා වූ, ප්‍රශංසාවට ලක් වූ ඉස්කෝලේ මහතා ගේ වයස්ගත කාලයේ දී, ඔහු ගේ උගත් පුතුන් දෙදෙනා ඔහු ළඟින් නොසිටීමත්, අනෙක් පුතා දේශපාලනය වෙනුවෙන් තම ජීවිතයේ අනෙක් සියල්ල කැප කිරීමත්  අලලා ලියූ කෙටි කතාවකි, එය. කෙටිකතාව අවසානයේ දී පාඨකයා ට හැඟි යන්නේ, මිය ගිය පියා, මල් නො පීදෙන දේශපාලනයක් වෙනුවෙන් කල් ගෙවන පුතුට, ජීවිතයට තවත් අවස්ථාවක් ලැබෙන ලෙසින් තම යුතුකම් කොටස ඉටු කොට තම දෑස් පියා ගෙන ඇති සෙයකි.

කාලකණ්ණියා -  
මර්සලීනු....  මීට වසර 30-40 ට පෙර අප රට ප්‍රචලිත වූ දේශපාලන මතවාදයන් වල හිර වූ, එම දේශපාලන ඉතිහාසයේ තවමත් ජිවිතයේ රස තැන් මතක් කරන, මැදිවියේ පෑළ දොර අබියස වෙසෙන්නෙකි. හෙමින් ජීවිතය ගෙවන, අනේක රහස් රැගත් ඇලකන්දේ හෝ, පාළු අසාරත්වයක් පිළිඹිබු කරන මුන්නේස්වරම වටපිට කුඩා ගම්මාන වල හෝ, ජීවිතය තේරුම් ගැනීමට තැත් කරන්නෙකි.  වැලිසර ලය රෝහල නොහොත්, කාස රෝහලේ සාත්තු සේවකයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කල අයෙකි.  ඔහු යම් තරමක තෘප්තිමත් ජීවිතය ගෙවන්නෙක් වුව ද, ඔහුගේ මිතුරා වන කුලරත්න නම් අලුත විවාහකයා සෑම දෙයක ම ඍණාත්මක පැත්ත දකියි - එය ඔහුගේ  රැකියාව, තම රාජකාරී නිල ඇඳුම, තම අලුත ගෙනා බිරිඳ ආදි අනේක කාරණා විය හැකිය. අප කතුවරයා ජීවිතය විඳීම යන කාරණය පෙන්වන ආකාරය අපූරුය.

මෙම කෙටිකතාවේ මා සිත් ගත් කාරණාවක් වූයේ මුන්නේස්වරම වේල් උත්සවය දින කෙරෙන 'රථය ඇදීමේ ' විස්තරයි. මගේ මවු පාර්ශවයෙන් හලාවත හා සබැඳි මා, මුළු හලාවතට ම පොදු උත්සවයක් ආකාරයෙන් අගෝස්තුවේ පමණ සිදු කෙරෙන "මුන්නේස්වරම් උත්සවේට" කුඩාවකු සිට වසර කිහිපයක් සහභාගි වී ඇත. හලාවත වෙසෙන කතෝලික, බෞද්ධ, හිංදු, බහුතරය ඊට සහභාගි වූ අතර, මගේ දෙමව්පියන් කොළඹ සිට වසරක් පතා කලෙක එම උතසවයට ගියෝය. කඹ යොදාගෙන මිනිසුන් ලවා එම රථය මුල් කිලෝමීටර බාගය පමණ අදවා ගැනීම පමණක් නොව, එම කර්තව්‍යට නියැළීමට මිනිසුන් 'හරෝ හරා' කියමින් පොර කන්නෝය. ඉතා කුඩා කාලයේ, පිටකොටුවෙන් ලංගම බසයක නැග ( මා පියා පෞද්ගලික බසයේ යෑමට අදි මදි කල අයෙකි), මීගමුවේ තේ බොන්නට නවතා, පැය දෙකහාමාරකින් පමණ හලාවත ට සේන්දු වූවෙමු. මගේ අම්මා ට සහෝදරියෝ පස් දෙනෙකු වූ අතර, ඔවුන් බොහෝ අය තම පවුල් සමග එහි එන, පවුල් වල එක්කාසුවක් ද ඒ කාලයේ සිදු විය. අපේ පරම්පරාව මෙම පුරුද්ද ඉදිරියට ගෙන ගියේ නැත. මෙම කෙටිකතාව කියවද්දී, මගේ දරුවන් ට හලාවත ආශ්‍රිත මෙම පෙදෙස පෙන්වීමට දොළක් උපන්නද, හලාවත ද වෙනස් වී ඇති බවත්, දැන් කාලයේ දරුවන් ට ද එහි එතරම් අපූරත්වයක් නොදැනෙනු ඇතැයි අනතුරුව සිතුණි.


 

ඒවං මේ සුතං - මේ කෙටි කතාව ඉතා පහසුවෙන් බගන්දරා රචිත කාලයේ මාළිමාගොඩල්ල ආශ්‍රිත පෙදෙසක් මතකයට නංවයි. ඊට ද කලකට පෙර කුරුඳු වගාව තිබූ බවත්, එහි ඉතිරිය කුරුන්ද නම් වූ බවත්, එය වළිසිංහ හරිශ්චන්ද්‍රයන්ගේ නිවෙස තිබූ පෙදෙස බවත් දැන ගන්නට ලබිණි. කදිරාණ දේවාලය, කොටදෙණියාව බස් ඩිපෝව ආදිය ගැන සඳහන් වේ. මා දන්නා පරිද්දෙන් එම බස් ඩිපෝව අද ක්‍රියාත්මක නැත. එවන් කාලයක එ ගම පිරිමින් ජාතික ඇඳුම ඇඳීම ට ඇති කැමැත්තත්, ඊට කෙතෙරම් ලැදි දැයි කිවතොත්, දේපළ සමඟ රූප සම්පත්තියෙන් සපිරි තරුණියක් ආවාහයට ගැනීම වෙනුවට තමන් ට පුරුදු ජාතික ඇඳුමත්, පෙරදිග සංගීතයත්, තෝරා ගන්නේ, මාමාණ්ඩිය ඉංග්‍රීසියට, කලිසමට පක්ෂ බව තේරුම් ගෙනය. මනමාළිගේ නිවසේ දී ඈත පල්ලියක සීනු නාදයක් මගින්, කතුවරයා එවකට තිබූ සිංහල කතෝලික උප-සංස්කෘතිය නියෝජනන කරන්නාක් මෙනි ( හෙළ හවුලේ ද සැලකිය යුතු කොටසක් මෙවන් ආකල්ප තිබූ අය ය). මෙය 1960 දශකය ආශ්‍රිත යුගයක් යැයි සිතමි. මනමාලිගේ නිවසේ සිට නැවත ඔවුන්ගේ නිවෙස් වලට ඒමේදී පරිසරයේ තිබූ සවස් කල මලානික බව, එක්තරා යුගයක අවසානය ඉඟි කරන්නා සේය. අපූරු නිර්මාණයකි. මෙය ඉතා පහසුවෙන් බගන්දරා නවකතාවට අතුරු කතාවක් ලෙස සේවය කල හැකිය.

බයිසිකල්කාරයෝ - නෝබට් නැවත ගමට පැමිණෙන්නේ වසර ගණනාවකට පසුව ය. ඔහු ආපසු එන්නේ බලාපොරොත්තු රැසක් ඇතිව ය. එහෙත් ඔහු පැමිණ ඇත්තේ බොහෝ කල් ගිය පසුව බවත්, දැන් 'තරඟබිම වෙනස් වී අලුත් තරඟකරුවන් ඇතුලත් වී ඇති බවත්' පෙනී යයි.  නෝබට් ගේ සිත් දිනා ගත් කාන්තාව ගේ හැසිරීම, නෝබට් ගේ ප්‍රතිචාරය, විවෘතව තීන්දු තීරණ වලට එන්නේ වාචිකව නොව හැසීමෙන් ම වීම, මෙම කෙටි කතාවේ අපූරත්වයයි.  අපූරු කෙටි චිත්‍රපටියක් මෙනි මෙම කෙටි කතාව ඇදී යන්නේ. නෝබට් සහභාගි නොවෙන සිංහල අවුරුදු බයිසිකල් තරඟයක් මත,  නෝබට් "අලුත් තරඟකරුවෙකුට" පරදින බව පෙන්වා දෙන්නේ, මෙය ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ කෙටිකතාවක් බවට පත්කරලමිනි.

මෙහි එන රසාදරි කියන කෙටිකතාව කිහිපාකාරයකට කියවා ගත හැකිය. මතුපිටින් එය අක්කා-මලෝ දෙදෙනෙකුගේ අළු යට ගින්දර ආරේ ඉඩම් හබයකි; අනෙක් පැත්තෙන් නෑනා-මස්සිනා සබඳතාවක් මග නැවතීමකි; සුදු නැන්දා ගේ සැඟවුණු ලෝබකම ගැන හෝඩුවාවක් කියවන්නියට ලබා දෙන්නේ ඇය පාරුවේ හමුවෙන මල් අම්මා නොමිලේ මල් දීම ගැන ඇයට කියන "උඹට විකුණන්න මල් ඉතුරු වෙන එකක් නෑ", කීම ඔස්සේය. එහෙත් ඒ හෝඩුවාව අප කතා නායකයාට හෝ එම පවුලේ කාටවත් ප්‍රමාණවත් නුවූ  බව පැහැදිලිය.

බිරිඳ හා වැඩි භජනයක් නැති වියපත් මුනිදාස, කැළණිය විශ්ව විද්‍යාල අසල පිහිටි බෝඩිමක තරුණයන් පිරිසක් සමග කල් ගෙවන්නේ එම සමාගම ඔහු ට ප්‍රිය වීමත්, ස්ත්‍රීන් කෙරෙහි ඔවුන්ගේ ආකල්පත් නිසා ය. එහෙත්, තම පිටරට සිටින පුතා මෙහි පැමිණි විට, ඔහු එම බෝඩිම මගරින්නේ එම "වල් අඹ" වන් තරුණයන්, හා සමාගමයෙන්, ජීවිතය ගැන යම් වෙනස්කමක් ගැන සිතන පුතා හමු වීම, පුතා ගේ තීරණයට උල්පන්දම් දීමක් වීමට ඇති ඉඩ නිසාය.  ඒ වන විට සිය බිරිඳ කෙරෙහි කෙතෙරම් නොපැහැදීමෙන් උන්න ද,  වයස්ගත පියෙකු ගේ දරුවන් කෙරෙහි ඔහු තුල ඇති උභතෝකෝටිකය පෙන්නුම් කරනා කෙටිකතාවකි, මෙය. 

සිය දැඩි මතයන්ගේන් මෑත් නොවෙන, "ගිරිකුළු" මෙන් නොසෙල්වෙන  මිනිසුන් දෙදෙනෙකුගේ මත ගැටීමක් ද, එය පරිබාහිර චරිතයනට බලපානා අයුරු ද පෙන්වන රසවත් කෙටිකතාවකින් මෙම සංග්‍රහය සමාප්ත වේ. මෙහි කථිකයා අවුරුදු 13-14 ක පිරිමි ළමයෙකු යැයි සිතිය හැකිය. ඔහු ගේ පියා ගේ සිතුම් පැතුම් ද, ඔහු ගේ ඉංග්‍රීසි ගුරුවරයාගේ හැසිරීම් ද, නෝනිස් වන් අවශේෂ චරිතයන් ඔහුට පෙනෙන අයුරෙන් ද විස්තර වී ඇත. තැපල් මහත්තයා අනගාරික ධර්මපාල තුමා ගේ සිතුම් මත නැවත සිංහලය රජයන යුගයක් ගැන සිහින දකින්නෙකු බව පැහැදිලිය. මට මෙම කෙටිකතාවේ විශේෂ කාරණාවක් වූයේ, මීට පෙර පරම්පරාවන් දරුවන් කෙරෙහි දැරූ ආකල්පයයි. තම සිතුම් පැතුම්, අරමුණු, වලට මූලිකත්වය දෙන මුත්, දරුවන් කෙරෙහි එතෙරම් අවදානයක් යොමි නොකොට ඔවුන් ට නිදැල්ලේ හැදෙන්නට ඉඩ හරිනා ආකාරයකි, එය. අප කථිකයා ට සිය මව නිසා යම් අස්වැසිල්ලක් ලැබුන ද, එය තාවකාලිකය. තැපල් මහත්තයා ඔහුට බොහෝ හිතවත් නෝනිස් මගරින්නේ, ඔහු පතන දේශයක දී නෝනිස් වන් වෙරළබඩ සංස්කෘතියක ට හිමි කම් ඇත්තෙකු ට ඔහු මනාප නැති නිසා බව  පැහැදිලිය.  දැඩි මත, අන්‍යෝන්‍ය අවබෝධය ට අකුල් හෙළන බව පැහැදිලිය. මෙහි දී ද අප ලේඛකයා ආයාසයකින් තොරව, මාතලේ කඳු අතරින්  සුවපත්  ව  හමන සුළං රැල්ලක් සේ  ගලා යන කතාවක් තුල, තම සමාජ දේශපාලන නිරීක්ෂණ ඔබ්බවා ඇත්තේ, එම සුළඟ ගෙනෙන සුවඳක් තරම් මොළොක්වය. 

වර්තමාන සිංහල ලේඛක ලේඛිකාවන් යම් කොටසක්, තම සමාජ දේශපාලන අදහස් පාඨක මනසට ගෙන ඒමට  ක්‍රියා කරන්නේ, තම නිර්මාණ තුල එම පණිවුඩ තද අකුරෙන් ලියා, යටින් ඉරි දෙකක් ඇඳ පෙන්වනා අයුරකිනි. මෙය නිර්මාණය ස්වභාවිකත්වයට, කලාත්මක බවට දැඩි හානියක් ගෙන දෙන්නාක් පමණක් නොව, සියුම් අයුරකින් පාඨක මනස ට  තම අදහස් බලෙන් ඔබ්බවීමට දරන තැතක් මෙනි. ඔවුන් ට ප්‍රබන්ධ නොවූ  කෘති වල මෙසේ ක්‍රියා කිරීමෙ පූර්ණ නිදහස ඇත - එහෙත් ප්‍රබන්ධ සාහිත්‍යයේ දී, පෙර කී ලෙස ක්‍රියා කරලීම පාඨකයෙක් ලෙස මා කතුවරයාගෙන් ඈත් කරලයි.



   මෙම කෙටි කතා සංග්‍රහයේ එන සංස්කෘතික ජීවිතයක එබිකම්කිරීම් ද සංග්‍රහයේ රසය තීව්‍ර කරනා අංගයකි.  මල් නැති උයන කෙටිකතාවේ,  1950 දශකයේ මැද සිට ලියැවුණු නවකතාව, කලා කරුවෙකු වුවද ජනතාවාදි ස්ථාවරයක සිටින විපුලසේන ප්‍රතික්ෂේප කරන්නේ කර්කෂ වචනයෙනි.
 වල් අඹ හි එන එක් අවශේෂ චරිතයක් රාත්‍රියෙ හි ගෙට ගොඩ වන්නේ Apocalypse Now චිත්‍රපටිය නරඹා මරාවතාරයක් දුටුවෙකු මෙනි. ඒවං මේ සුතං හි එන පොඩි බාප්පා, දේපළ හිමි රූමතියක් ප්‍රතික්ෂේප කරන්නේ තම නිදහස සපිරි සංගීතය විඳිමින් ගෙවන ජීවිතය වෙනුවෙනි. ගිරිකුළු කෙටිකතාවේ, තැපැල් මහත්තයා සහ ඉංග්‍රීසි ගුරුවරයා අතර දෙවෙනි වර වාදයක් නැගෙන්නේ අනගාරික ධර්මපාලගේ සන්දේශයක් ඉංග්‍රීසි හුරුවරයාට  ඇසෙන්නට තැපැල් මහත්තයා කීම හේතුවෙනි.

අප ට හැඟී යන්නේ, ලේඛකයා,  මුන්නේස්‍වරම වේවා, ඒ අවට පාළුවට ගිය ගම් වේවා, කැළණිය විශ්ව විද්‍යාලය අසල බෝඩිමක වේවා, ඇලකන්ද පාලම වේවා, ඒ හැම පෙදෙස් වලට ආවේණික ජීවිතයේ ගැඹුර ගැන විමසිලිමත් ව, බර අඩි තබමින් මෙ පොළොවේ ඇවිදි අයෙක් ලෙසට ය. ඔහු ට න්‍යාය පත්‍රයක් අනුව පාත්‍ර වර්ගයා හසුරුවීමේ නොඉවසිලිමත් කමින් පෙළෙන්නෙක් නොවේ. ඔහු අප රට මෑත ඉතිහාසය ගැන විමසිලිවත් ව, උපේක්ෂකව සිටින්නෙකි. සමාජවාදි සිහිනයේ බිඳ වැටීමේ සියුම් සොවක සුසුමක් විමසිලිමත් කියවන්නියකට හසු නොවන්නේ නොවේ. එහෙත්, මේ කෙටි කතා හත කියවා අවසන් වන විට, කාලයකට පසුව ලංකාවේ සාමාන්‍ය ජීවිතයේ විචිත්‍රත්වය, එහි සාමාන්‍ය මිනිස්සුන්ගේ දේශපාලන හැඟීම් ආදිය ගැන අපූරු රසවින්දයක් ලැබුවෙමි. මට අනුව නම් මෙය අනූව දශකයේ මුල ලියවෙන්නට උවමනා පොතකි - එය ලිවීමට ඉතාම සුදුස්සා එය ලියා ඇත. එම ඓතිහාසික මොහොත හසුකරගෙන ඇත්තේ, එහි එළිය තැන්, අඳුරු තැන්, පසුතැවීම් සියල්ලත් සමඟය. අද සිට '90ට පෙර යුගය මෙලෙස දැකීමට නොහැක -එහෙත් එය කියවීමට මෙය අපූරු අත්පොතකි! මා කියවා ඇති විශිෂ්ඨතම කෙටි කතා සංග්‍රහයකි.

ශ්‍රේණිය : *****
මුල් මුද්‍රණය: 1992; මෙම මුද්‍රණය 2014 ( දෙවැන්න), ගොඩගේ
ශානරය: කෙටිකතා

No comments:

Post a Comment