****
(2015 දී ප්‍රකාශ වූ නවකතා කියවීම -11 )
මරියා සිලොනිකා වස්තුව ඔස්සේ පාඨක අප විශ්වාසය දිනා ගත් කතුවර, පී.බී. ජයසේකරයන්ගේ දෙවෙනි නවකතාව ලෙස ප්‍රකාශ වූ "අවලමා සහ ඇහැටුව" නවකතාව කියවුවෙමි. පිටු 515කින් හෙබි මෙම නවකතාව මේ වසරේ මා මෙතෙක් කියවූ දීර්ඝතම නවකථාවයි. රාජ්‍ය සාහිත්‍ය සහ ස්වර්ණ පුස්තක, අවසන් පුර්ව වට වලට නිර්දේශ වීමට සමත් වුනි.
නීතිය රකින්නන් ම අපරාධකරුවන් හා එකට සිට ගැනීම හේතුවෙන්, අප රට ජනයා මුහුණපානා අභියෝග, විකල්ප වලින් තොරව අසරණ වීම, තම ආරක්ෂාවට තමන්ම නීතිය අතට ගැනීම ආදි ඉසවු කෙරෙහි උවමනාවටත් වඩා නිදර්ශන වලින් පෝෂිත ය. මෙහි එන අවංකම අහිංසක චරිත වන මුතුමිණ, ථීර, මුතුරත්න, ලොකු හාමුදුරුවෝ ආදී හු, වර්තමනාන දූෂිත සමාජ ක්‍රමය හමුවේ වඩාත් ම අසරණ වූවෝ, තම සිහි කල්පනාව ට ද අභියෝග වන්නාහු ය. තමන් ලක් වූ පිඩනය ජය ගැනීමට තැත් කලෝ, ඔවුන් මුහුණ දුන් අභියෝග ජය ගත් මුත්, ඔවුන් ද ක්‍රමක්‍රමයෙන් මඩ ගොහොරුව තුලට ඇද වැටිම වළක්වා ගත නොහැකි වේ. ඉදින් අද වන විට අප රට සිව්කොණ මේ දූෂණයෙන් රෝගි වී ඇත. එක්කො ඉතුරුවන්නේ මේ දූෂණය හේතුවෙන් ගොදුරට පත් වූ අහිංසකයො ය, නැතහොත් මේ තරඟයේ යම් දුරක් දුවා එහි ගොදුරට පත් වන්නෝය( damn if you do, damn if you don't ). අප කතුවරයා ප්‍රබන්ධිත පරිසරයක මේ යථාර්තය හොඳින් ඒත්තු ගන්වා ඇත.
එහෙත් ගැටළුවක් ද ඇත. එය ලේඛකයා තම පණිවුඩය ගෙනයාමට පේ වී ක්‍රියා කිරීම නිසා ම ඇති වූවක් විය හැකි ය. මෙය "මරියා සිලොනිකා වස්තුවේ" ද වූ අඩුවකැයි මගේ සිත මට කියා සිටියි. ( කරුණාපාල ගේ බිරිය වූ "මැණිකේ" නොහොත් වත්සලා, නවකතාවේ පණිවුඩය ප්‍රකාශනයට ඖචිත ලෙස හදිසි රෝගි තත්ත්වයකින් මිය ඇදෙන්නීය. ඔහුගේ දියණිය ද ඇමතිගේ ගොදුරක් වන්නේ එය තම අභිමතය මත වුවත් කතුවරයාගේ පණිවුඩ ප්‍රකාශයට ඖචිත ලෙසට ය. ) මට හැඟුණු පරිද්දෙන් කතුවරයා ගේ මෙම කෘතියේ ද මෙම අඩුව දෘශ්‍යමාන වේ. ඊට පෙර දින බියෙන් ගැසෙමින් ආමි ගුණේ ට එක් වූ ගජමිණි පසු ව ආමි ගුණේ හමුවීමේදී හැසිරෙන්නේ එවන් "ගල උඩ සටන්" වල පළපුරුදු ඇත්තෙකු ලෙසට ය. පොඩි හාමුදුරුවෝ සහ උදාරි යන චරිත ද තරමක් දුරට පාඨක විශ්වාසය අභියෝග කරනා තරමට අන්තයන් වලට ගොස් ක්‍රියා කරති. දං කුට්ටා ඊට ත් එහා ය; කතුවරයා මහත් පරිශ්‍රමයක් යොදා තැනූ චරිතයක් යැයි සිතිය හැකි මුතුමිණිගේ චරිතය ද, පැතලි ය. ඒ අතින් බලනා කල කතුවරයා වඩා තාත්වික ලෙස ගජමිණ, පොඩ්ඩි සහ ජයේ යන චරිත ගොඩ නගා ඇත.
මේ දොස් තිබුන ද, පළමු පිටු සියයක පමණ සාපෙක්ෂ වශයෙන් ආයාසකාරි අවදියෙන් පසුව, පාඨකයා වඩාත් ආශාවෙන් කෘතිය කියවාගෙන යාමට පෙළඹේ ( මුල් පිටු සියය තරමක් පාඨක උනන්දුව ට බාධා කරයි ). දං කුට්ටාගෙන් සිදුවන කෙළවරක් නැති අඩත්තෙට්ටම් ඉදිරියේ, ගජමිණිගේ පවුලේ උදවිය අවසානයක් නොමැතිව දුක් විඳිනා අයුරු ද, නීතිය නිර්ලජ්ජීව මේ අහිංසකයන් මග හරිනා අයුරු ද, පාඨක සන්තානයන් රිදවන අයුරින් කතුවරයා ඉදිරිපත් කිරීමට සමත් ව ඇත.
අවලමා සහ ඇහැටුවත්, මෙවර ස්වර්ණ පුස්තකය සම්මානය දිනූ අහම්බකාරක අතර යම් යම් සමානකම් දකිමි. පුළුල් වශයෙන්, පළමුව සභාපතිලාගේ පසුකාලීනව ගජමිණි, උදාරිලාගේ ලෝකෙත්, එකකි. විවි ලා ගේ ලෝකයත් එය ම ය. එනම් ගජමිනි පාපොච්චාරණය කරන්නා සේ "මේ ගේම් එක එහෙමයි. දැළි පිහියෙන් කිරි කනව වගේ. කන්නේ කිරි ඒත් දැලි පිහියෙන්. හොඳට වෙලාව බලල කරන්න ඕනෑ." අහම්බකාරක වඩා සියුම් රචනාවකි. එනුමුදු, ලේඛකයාම පිළිගෙන ඇති පරිද්දෙන් ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රයකට සේවය කරයි. අවලමා සහ ඇහැටුව එතරම් සියුම් නැත. තැනක තරමක් ගොර්හැඩිය - එහෙත් ඔහු දේශපාලන න්‍යාපත්‍රයක් පෙන්නුම් කරන්නේ නැත.
යම් යම් දුර්වලතා තිබුණ ද, සාපෙක්ෂව වශයෙන් හොඳ යැයි ගිණිය හැකි නිර්මාණ අඩු වසරක, පාඨක අවදානය දිනීමට සමත්, එසේ දිනීමට උචිත කෘතියක් ලෙස නම් කිරීමට නොපැකිලෙමි.
(2016, නොවැම්බර් මස 3 වැනි දින ලියූ සටහනකි)
No comments:
Post a Comment