Tuesday 24 August 2021

මංගල ගැන ලියවෙන වැකි වලින්, අප ගැන කියවෙන්නේ මොනවාද ?

 හිටපු අමාත්‍ය මංගල පින්සිරි සමරවීර ගේ වියෝව ගැන, මා ද ඇතුළුව බොහෝ අය දුක් වෙති - ඒ ගැන සමාජ ජාලා වල බොහෝ දේ ලියැවිණි. එහි කියවුණු,  ඔහු නුතන මිනිසෙක්‍ ය, ලිබරල් මිනිසෙක්‍ ය යන ඇගයීම් වලට විරුද්ධව, විශේෂයෙන් 1994 සිට 2004 දක්වා කාලයේ ඔහු ගේ ක්‍රියාකාරකම් ද, 2007න් පසුව ත්‍රස්තවාදයට විරුද්ධව ක්‍රියාකාරකම් වලදී ඔහු ක්‍රියා කල ආකාරය ද,  පෙන්වා දෙමින් අනෙක් පාර්ශවයෙන් ද යම් දේ ලියවෙති. ඒ මංගල සුද්ධවන්තයෙකු නොවන බවත්, මංගල ට නැති ලිබරල්බවක් මවා පාන බවත් පෙන්වීමටය.


1994-2004 කාලයේ ඔහු භාරගත් අමාත්‍යාංශ වල යම් සාපේක්ෂ සාර්ථකත්වයක් පෙන්වුවද, දේශපාලන විරුද්ධවාදීන් හමුවේ ඔහු ගේ ක්‍රියාකාරකම් ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කල නොහැක. එහෙත් මේ සියල්ල දැන දැන ඔහුගේ වියෝව ගැන බොහෝ අය කම්පා වන්නේ ඇයි ? සමාජ ජාලා වල වැදගත් මත ප්‍රකාශ කරන්නන් සමහරකගේ අදහස් මෙහි දී සලකා බැලීම වටී. අයෙක් කීවෙ අවසන් දශකයේ ඔහූ ලිබරල්වාදය දොරටුව අබියසට ආව බවකි - වඩා සුපරික්ෂාකාරී ලෙස වචන භාවිත කරන ඔහු ගම්‍ය කලේ, මෙරට අන් කිසිදු දේශපාලඥ්ඥයෙකු එතැනට හෝ නොපැමිණි බවකි. අප මිතුරෙකු, අප හා වාද කලේ, මංගල එතැනට ගසා එන තැනට වැඩට සිදු වූ බවත්, ඔහු ගේ දේශපාලනයට අන් අය මර්ධනය, කුලවාදය ආදිය භාවිත වූ බවත්, අභ්‍යන්තරයේ මංගල, අප රට ලිබරල් සළු පොරවා ගෙන සිටින බොහෝ අය මෙන් තම පැලැන්තතියේ ගතානුගතීත්වය හෝ ජීවන ක්‍රමය හෝ සඟවමින්, මෙරට සාමාන්‍ය මිනිසුන්ගේ සංස්කෘතිය ට ඇති අකමැත්ත ප්‍රකාශ කර සිටින බවත් ය. මේ සියළු දේ හි සත්‍යයේ අණු කොටස් ඇත. එහෙත් අද දිගැරුණු මෙම වැකි දහස් ගණනින් අප ගැන - ඔවු, අප ගැන -  මංගල ගැන නෙමේ - කියවෙන්නේ මොනවා ද ?


මංගල අගයන අය මැරිලා ඉපදුනු අය නොවේ. ඔවුන් මංගල අගයන්නේ මංගල ගේ දේශපාලන ඉතිහාසය ගැන යමක් දන්නා අතරය. ඉන් පිළිඹිබු වන්නේ, අප රට කුහකත්වය ප්‍රතික්ෂේප කිරීමත්, එක්තරා කෙටි මොහොතක ට  හෝ තමන්, තමන් විශ්වාස කරන දෙයක් වෙනුවෙන් පෙනී සිටීමත්, අප සියළු දෙනාම නිසරු යැයි සිතූ ඒහෙත් කිසිවකු හෝ නොකියූ දෙයක්  ප්‍රසිද්ධව ප්‍රතික්ෂේප කරලීම (අර දේශපාලඥ්ඥයින්ට වැඳ වැටීම වගේ) ගැන ඇති කෘතඥ්ඥතාවයි.

අප රට වෙසෙන බහුතරයක් දශක ගණණාවක් පුරාවට වඩා හොඳ ජීවන තත්ත්වයක බලාපොරොත්තුවක් හිසේ බරක් දරමින් හති වැටුණු ජනතාවකි. අද වසර හැත්තෑ ගණනක නිදහසකින් පසුව වසංගතයකින් රට ම පීඩා විඳින වකවානුවක දී, මොළ හතක් ඇති දේශපාලඥ්ඥයෙක් ආර්ථිකය නැංවීම ගැන මහජනයාට විහිළු සපයන්නේ, මහජනයා එකඳු මොළයක් හෝ නැතැයි සිතන්නාක් මෙනි. දේශපාලන විකල්පයක් නැති බවේ අසරණත්වය, එම ජනතාව බලාපොරොත්තු නැති තැනකට තල්ලු කොට ඇත. ඇෆ්ගනිස්තානයේ ගුවන්තොටුපොළේ ඇති වූ තත්වය අප රටේ වුව ද ඇති විය හැකි බව කියන්නේ විහිළුවකට ම නොවේ.  එය මිනිසුන්ගේ වරදක් නොවේ - එක පවුලකට රටේ වැදගත් ස්ථාන රැසක පාලනය ලබා දීමත්, ඒ ගැන මහජනතාව ට කල හැකි දෙයක් නොවිමත්, ප්‍රසිද්ධියේ ම "කෝවින් බෝ වෙනවා ද" කියා පරීක්ෂා කරන්න මහජනතාව සුදු මීයන් ලෙස භාවිත කරන බවට කටමැත දොඩවන සාමාන්‍ය පෙළ පමණක් සමත් ඇමතියන් සිටිද්දී, තමන් ගැන හෝ සත්‍යයක් කී මිනිසා සාපේක්ෂ සාන්තුවරෙක් ලෙස නොපෙනෙන්නේ ද ? එම බලාපොරොත්තු නැති වටපිටාව ය, මිනිසුන් ට මංගල ගේ දේශපාලන ඉතිහාසය නොදැක්කා සේ ඔහුගේ මෑතකාලීන වඩා නූතන අදහස් කිහිපයකට පමණක් තම දෙනෙත් නාභිගත කිරීමට පෙළඹෙන්නේ.

එම නිසා මංගල ගේ ඉතිහාසය මතක් කරලීමට ලියන්න මහන්සි වෙන අය තේරුම් ගත යුතු දෙයක් ඇත. මංගල ගේ ඉතිහාසය ඔහු ගැන අද ශෝකී වන බොහෝ අය දනිති. එහෙත්, එසේ දුක් වන්නේ,  දෛනිකව තමන් ට ඇසෙන බොරු කන්දරාව දෙස ජුගුප්සාවෙන් බලා ඉන්නා, දේශපාලන විකල්පයක් ගැන බලාපොරොත්තු නැති පිරිසක් ය. ඒ, "අඩුම ගානේ ඒ මනුස්සයා මුන්ගේ ක්‍රමේට විරුද්ධ උනා, මිනිහා තමන් ජීවත් වෙන්න කැමති ක්‍රමය වෙනුවෙන් පෙනී හිටියා, 'අපි වගේ හොරුන්ට, කුඩු කාරයන්ට වඳින්න එපා' කියලා ප්‍රසිද්ධියේ කිව්වා" යන ස්ථාවරයන් හා කියුම් නිසා ය. මෙයයි, අද බලාපොරොත්තු නැති කාන්තාරයකට නූතනත්වයක්, ලිබරල්වාදයක ඡායාවක් ලෙස පෙනෙන්නේ - එය මිරිඟුවක් ද විය හැකිය. එහෙත් ඒ මහජනයාගේ සිතේ සැඟවුණු බලාපොරොත්තුවක් ඇත. ඒ, "දෙයියන්ගේ නාමෙට, මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව තේරුම් අරගෙන, අපිට බොරු කියන්නැතුව සද්භාවයෙන් මේ රට පාලනය කරන්න අයෙක් අප අතරින් ම ඇති වේවා" යන්නයි. ඒ සඳහා මංගල ආදර්ශයක් වූවා නම්, එය හොඳට ම ප්‍රමාණවත් ය.

(ඉහත ඡායාරූපය wallpaperaccess.com වෙතින් උකහා ගත්තෙමි )


No comments:

Post a Comment