Wednesday, 18 August 2021

එහෙම වරදක් කරලා නෑ මම - සුහර්ෂිණී ධර්මරත්න



 කිවිදිය ගේ කාව්‍ය සංග්‍රහයන් සතරක් මා වෙත වූවත්,  කියවන්නට වුණු දෙවැන්න මෙයයි.

මීට මාස පහළොවකට පමණ පෙර, කිවිඳියගේ මහත් ප්‍රසිද්ධියට පත් "ගිරිහිස තරණය" කියවුවෙමි. එහි, වෙසෙසින් ඇගේ කවි බස රසවිඳී හෙයිනුත්, සාර්ථක කවි පංති රැසක් ම වූ හෙයිනුත්, 2019 ප්‍රකාශ කල මෙම කාව්‍ය සංග්‍රහය කියවීමට නොපැකිලුනෙමි.

"එන්න, මගේ කවි කියවන්න"

"එන්න, මගේ කවි කියවන්න" යන ආරාධනයේ ම ඇය මෙවන් ඉල්ලීමක් කරන්නෙ, පෙරවනකට ද පෙර ය. එහි ඇය ඉඟි කරන්නේ, එක්තරා ආකාරයකින් පවුල් සංස්ථාවක වටිනාකමක් තම නිර්මාණ  තුලින් ඉඟි කෙරෙනා බවකි.

අනතුරුව දීර්ඝ ප්‍රස්ථාවනක් බඳු වූ "සවිඥ්ඥාණක යමෙක් වේ නම්, විමසන්න ඔහු..." යන කොටසේ වැදගත් කාරණා දෙකක් වෙත මා නෙත යොමු විය.

අ) "...මාටින් වික්‍රමසිංහයන්, ගුණදාස අමරසේකරයන්, සරත්චන්ද්‍රයන් හා සුචරිත ගම්ලතුන්ගේ විචාර ග්‍රන්ථ, ලිපි හා කෘති හරහා මටම අනන්‍ය වූ භාෂා ප්‍රවේෂයක් මා තුළ නොදැනුවත්ම අත් හදා බැලෙන බව පසක් කර ගතිමි. එය සාර්ථක හෝ නිරර්ථක වීමට ද ඉඩ ඇති බව නිහතමානිව කියමි"

මීට පෙර මේ කිවිඳියගේ කවි එකතුව කිය වූ කල, මා වඩාත් වින්දේ ඇගේ මනරම් භාෂාවයි.

ආ)  "දේශපාලනඥයින්, ජන මාධ්‍යවේදීන් යැයි කියාගන්නා බහුතරයක් විසින් ආටෝප සාටෝප දවටා දූෂණය කරනු ලැබූ භාෂාවෙන් කවි ලියන්නට වීමේ පශ්චාත්තාපය දරා ගනිමින්ම ලියන ලද කවි මෙහි අන්තර්ගත වේ"

මේ කාරණාව ගැන බොහෝ දේ කිව හැක. ඒ මෑත සරච්චන්ද්‍රයන්ගේ සිංහල නවකතා ඉතිහාසය හා විචාරය කියවූ හෙයිනි. එහි මාර්ටින් වික්‍රමසිංහයන් ගේ වඩා සාර්ථක නවකතා වලින් මෙපිට, සිංහල සමාජයේ කුහකත්වය,  රැවටිලිකාරී සිල්වත්බවක් හේතුවෙන් ජීවිතය විඳිය යුතු ආකාරයෙන් නොවිඳීම, ගැන බොහෝ දේ ලියැවී ඇත. අමරසේකර, ගුනසිංහ, ලියනාරච්චි, කේ. ජයතිලක, සුනන්ද මහේන්ද්‍ර ආදීන්ගේ නවකතා නිදසුන් ලෙස ගෙන මෙම කාරණාව හා ගැටීම  සාකච්ඡා කොට ඇත. එම සංස්කරණය ලියැවී වසර 50ත් පසුව ද අප සමාජයක් ලෙස ආගමක මුවාවෙන් හෝ, දේශපාලඥ්ඥයින් නිසා හෝ තව දුරටත් රැවටෙන්නේ නම්, ඒ අපි අපි ව රවටා ගන්නා කුහකත්වයකින් තවම පෙළෙන නිසා ම නොවේ ද ? ඇත්තෙන් ම වර්තමාන නවකතාවේ පවා යම් යම් සමාජ දේශපාලන කාරණා සහ නූතනත්වය හමුවේ වෙනස්වීමේ අවශ්‍යතාව ගැන  කතාවෙන්නේ ලේඛකයාගෙ ප්‍රගතිශීලිත්වය ගැන පුරාජේරුවක් ම ඉඟි කරන්නට විනා, ඒවා පිළීබඳ පරිපූර්ණ පැහැදීමක්, විශ්වාසයක් ඔවුනට ම තිබෙන නිසාද යන්න, සැකසහිතය. ඒ අර්ථයෙන් මා තුල යම් කම්පනයක් ඇති කල මෑත කාලින නවකතා දෙකක් නම්, නිම්නාගේ ඉතිහාසය සහ පේත ය.

සාමිනාදන් විමල්

නැවත මෙම සංග්‍රහටත්, එහි කවි කිහිපයකටත් යොමු වෙමි;


සාමිනාදන් විමල් අමතමින් ලියැවි ඇති මෙම කවියේ යෙදෙන "පසුතැවුම"
යන වචනය වැදගත් ය. ඒ පසුතැවිල්ල කපටි එහෙත් අමනෝඥ්ඥ දේශපාලඥ්ඥයකුගේ ක්‍රියාවන් හේතුවෙන් එක් ජාතියක ට පීඩකයකු  ලෙස අනවශ්‍ය චරිත සහතිකයක් ලැබීමත්, පීඩිතයා ට ද තවම එම බියේ මතකයන් තුල ජීවත් වීමට වීමේ අසාධාරණය නිසාය. පීඩිතයා වෙනුවෙන් යයි කියා පෙනී සිටින දේශපාලඥ්ඥයාට මෙය තවමත් අපූරු "හිඟන්නාගෙ තුවාලයක්" වීම, සිංහල සමාජය තවම ගෙවන මිලක් වීම ද දෛවයේ සරදමකි. ඉතින් මේ ආයාචනාත්මක කවි පෙළ දමිළ බසට පෙරළී, එම බිය මදක් හෝ තුනී කරලීමට සමත් නම්, කිවිඳිය සර්ථකය. ඇය දෙවෙනි කවියක් ද මෙම ඛේදවාඡකට වෙනුවෙන් කැප කරයි.  ඒ අවාසනාවන්ත දිනය නුදුටු කුඩාවෙකු, තම මෑණියන්ගෙන් විමසන්නේ ජූලි මාසය කළු උනේ ඇයි?, කියා ය. සිංහ පිළී ඇඳි කැණහිලන්, එකල සිටි දේශපාලන බලවතුන් ම බව තහවුරු වී ඇතත්, ජූලිය කළුව සුදු කරලීමේ උවමනාව මෙරට බොහෝ පිරිසට ඇත්නම්, යම් බලාපොරොත්තුවක් තබා ගත හැක.
ජූලි මාසය කළු උනේ ඇයි?

නියත අනියත
 ඉහත කවි වල නිර්මාපිත බව තරමක් එහි සෞන්දර්‍යය පසු බිමට තල්ලු කර ඇති බවක් හැඟුන ද, අන් තැනෙක, මිනිස් ස්වභාවය ගැන කවි වඩා ස්වාභාවික ආරක් ගනී. නියත අනියත එවන් කවකි - මෙහි එන මා වඩාත් රසවිඳි කවකි. නාහිමියන්ගේ අනියත බවේ ආවර්ජනය, මහළු උවැසියගේ රහස් ඉඟි කරන සිනාව, සහ පොඩි හිමි ගේ මංගල කාරණ සෙවීම පෘතග්ජන මිනිසුන්ගේ ස්වභාවය ගැන සානුකම්පිත බැල්මක් හෙළයි.
එහෙම වරදක් කරල නෑ මම!

මෙම සංග්‍රහයේ මා වඩාත් රස විඳි කවි වන්නේ, වඩා අවංක ලෙස පෘතග්ජන හැඟීම් හෙළිදරවු කරනා කවි වලට ය. ඒවා වඩාත් රස විඳින්නේ, ඒවා බොහෝමයක් අප හර පද්ධතියේ හෝ, පවුල් සංස්ථා වල පැවැත්ම උදෙසා  හෝ, කෙරෙන යම් සංවර කීරීමකින් සමාප්ත වුවද,  ඉන් වෑහෙන අවංකත්වය ම කවිය පෝෂණය කරන නිසා ය. මෙම සංග්‍රහයට නම දෙන "එහෙම වරදක් කරල නෑ මම!", කවි පංතියේ මෙම කවිය ඊට නිදසුනකි. මා මේ කව ට කැමැත්තේ, අප ට විශ්වාස කරලීමට අප සංස්කෘතිය බල කොට තිබූ, පති-පතිනි භක්තිය වෙනුවට, වරදට සිත නැමුන ද, වරදට පිටුපානා අවංකත්වය ම පෘතග්ජනයා ට වඩා ආසන්න නිසාය.

 මෙවන්, යම් පෙර සබඳතා, පෙළඹවිම් මධ්‍යයේ, මොහොතක් තත්පරව, එහෙත් නැවත වඩා ප්‍රඥ්ඥා ගෝචර යැයි හැඟෙන මග ම යන කවි චරිතයන්ගේ පැදි කිහිපයක් ම මෙහි එති. "ගම ආ එළඳ" හි එන තරුණයා තම සිත සදා ගන්නේ

"පහුරු ගාන හිත කොනහන මල්    මතක
සමග මගැර යමි නුඹ හිටපන්       මැණික",

                                                                         කියමිනි. 

සානුකම්පා ද, සමස්ත ලාංකිය පුරුෂයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මග බසයේ දුම්රියේ නෙත ගැටෙනා, පය පැකිළ වැටෙන ස්ත්‍රියක් කෙරෙහි උණු වන හද තමන් වෙනුවෙන් දෛනිකව කැපවෙන ඇය වෙනුවෙන් යොමු කරනා ලෙස ය. එය ලයාන්විත ඉල්ලීමකි.

"සානුකම්පා ඇසක දැල්වෙන
ගිනිපුපුරු හඳුනමි
පෙළූ පුලුනැ'ති මහද වුව
හැකිය ගිනි ගන්න, දන්වමි

ඉතින් ඔබ යන්න මුළුතැන් ගෙට
වීමසන්න මහන්සිද ඇයට
ඉඳහිට"
මෙලෙස,  අවදානමේ ආකර්ශනය ( අනෝරා වැසි), පුතුගෙන් මවක් බලාපොරොත්තු වන ආරක්ෂාව ( වවුලුවට පසු වදනක් ), අසම්මත පෙමක ඇති වරදකාරී හැඟීම (අසම්මත), ශෘංගාරය ( මම කැමති) වන් මාතෘකා අලලා ලියැවුණු කවි පංතීන් මෙන්ම, අප රට වෙසෙන ජන වර්ගයන් අතර ඇති අවිශ්වාසය දුරු කරලීමේ පැතුමෙන් නිමැවුණු කවි පංති ද මෙහි ඇත්තේ, සමෝසම ලෙසිනි. පුතේ මට බයයි, යන්න මෙරට සෑම දෙමාපිය යුවලකට තම දරුවන් පිළීබඳව ඇත්තා වූ බියෙකි. අද වන විට අප රට ට, දීර්ඝ කාලීන ආර්ථික ප්‍රතිපත්තියක් හා සැලසුමක් නැති හෙයින්, මෙම බිය අන් ලෙසකින් ද ඔවුන් පෙළන්නෝය.
සහෝදරයා, කියන් මට..

අප රට වාමවාදි දේශපාලනයේ එන, අන් දේශපාලන නො ඉවසන ගුණය, එකම අච්චුවකට කොටු කිරීමේ ආකාරය ගැන ඉඟි කෙරෙනා "සහෝදරයා, කියන් මට..." කවි පංතිය ද මා රස විඳි කවි පංතියකි.

කිවිඳියගේ "ගිරිහිස තරණය" දී රස විඳි මනරම් භාෂා භාවිතාව, මෙහි ද දැක ගතිමි. ඒ මත සිට, තැනෙක දෙකක ඈ දෛනික භාෂා භාවිතාව ද මිශ්‍ර කරලීමට තැත් කල බව පෙනී යයි. කව් මැයන් , පෙර කීවාක් මෙන් පුළුල් ලෙස මාතෘකා දෙකක් අතර බෙදි යෑමේ නැඹුරුතාවක් දුටුවෙමි. කිවිඳිය ඔවදන් දෙන්නියක් නොවී, කවියකින්  පැන නගින හැගීම් ඔස්සේ ම සියුම් දිශා ගැන්වීමක් කර ඇති බවක් නොපෙනෙන්නේ නොවේ - එහෙත් එයෙ ඉතා සියුම්ව, ශූරව, සහ ශිල්පීය සංවරයකින් ඉටු කොට ඇති සෙයකි. මෙහි මා රස විඳි කවි පංති, එසේ එතරම් කම්පනයක් නොකල පංතීන් ට වඩා වැඩි බව පැවසීමෙන්, සංග්‍රහය සාර්ථක පක්ෂයට බර බව ඉඟි කරමි.


ශ්‍රේණිය: ****
ප්‍රකාශනය: kbooks (2019, දෙසැම්බර්)
ශානරය: කාව්‍ය


 

 

 





No comments:

Post a Comment