Wednesday 1 November 2023

සඳ හැදුන හැටි - ටිම්‍රාන් කීර්ති

 පසුගිය දිනෙක අප පොත් කියවන මිතුරියක් මෙම කෘතිය කියවා කිවේ, මේවා සඳෙහි සැරිසරන විට ගෙතුණු කතා වන්නට ඇති බවකි. තවත් විචාරකයෙක් කියා තිබුනේ මේවා කවි පබැදුමේ ඉතුරු බිතුරු කතා විලාශයෙන් නිමැවී ඇති බවකි. මේවා කෙටිකතා ම ද යන්න සංවාදයට ගත්තෙකුද මා දුටුව අතර, අවම වශයෙන් ප්‍රධාන සම්මාන එකක හෝ නිර්දේශ නොවී තිබීම ද සැලකිය යුතුය. සාමාන්‍යයෙන් බොහෝ විට පිළිගත හැකි නිර්දේශ සපයන ලියනගේ අමරකීර්ති ද මේ පොත ගැන කියා තිබුනි. 

මෙහි තිබෙන රසවත් ම කොටස් එක් එක් කතාවක් තුල එන රසවත් අඩවිය. ඉතින් මේ රස අඩවි අතර යම් සියුම් උපහාසයන් ද, ව්‍යංගයන් ද මෙම නිර්මාණ වලට යම් කටගැස්මක් එකතු කරයි. එසේ ගොඩනැඟී අවසන සිහින මීදුමක් තුල අතරමං වීමය මෙහි සුළඹ. මේ අයාලේ යෑම සහ මාගේ කියවීම් රසය සුසර වූයේ නැත. යම් සාර්ථකත්වයක් ආසන්නයට ඇති නිර්මාණයක් ලෙස රතු කකුළි හැඳින්විය හැකිය. පෙර කිව් රසවත් අඩවි, ටිම්‍රාන්ගේ වඩා සාර්ථක කවිකාරකම ගැනද  මතක් කරයි. එම කොටස් වාක්‍ය ලෙස රචනා වී තිබුනද ඒ ඡේද බන්ධනය ලිහමින්, කවියක හුරුවකින් ම කියවන්නිය ඉදිරියේ පෙනිසිටින්නේ ඒවාහි නිර්මාණකරුවා සමඟ ආරෝවක් ඇතිව, 'මොන මඟුලකට මේ කතා අස්සේ පෛ හිර කරනවාද මන්දා', කියන්නාක් මෙනි.

බලන්න බොරු ද කියා ?

"රෑ කළුව මැද්දෑවේ රෑ බදුල්ලෙක් සිගරැට්ටුවක් උරනව. බුරුත ගස් දෙබලක ඇන තියාගෙන චූටි තරුවක් අත වනනව. සිල් බින්ද පුරඟනක් වගේ රෑ අහස මට පේනව. දහස් ගාණක් කණාමැදිරියන් බුරුත ගහ වහගෙන එළි කිරණ ඉහිනව.

ආලෝක ගහක් යාබදව පුටුවක් තියාගෙන ආලෝක මිනිහෙක්  වෙන්නේ කොහොමද? මම හිතනව."

ටිම්‍රාන් කීර්ති ගේ සියළු ලිවීම් කියවීමෙහි ලා කැමති අයට, සහ පොතකින් කුමන ආරේ හෝ රසයක් උකහා ගන්නට වෙර බඳින, සහ  ඊට කාලය යොමු කිරිමට කැමති අය ට ( මෙය කුඩා පොතකි. එහෙත් අර්ථ සෙවීමට/නිර්මාණයට කාලය යයි),  නම් කියවීමට උචිතය. ඇරත් ඔවුන් මා මේ ටික කීවා හෝ නොකීවා, කොහොමත් පොත කියවන්නෝය.

ශ්‍රේනිය: **1/2
2022 ප්‍රකාශිත කෙටිකතා කියවීම: 3
සිලිකා ප්‍රකාශනයකි (2022)