Friday, 14 August 2026

නන්පේරියල් - නිශ්ශංක විජේමාන්න


කීඩැවෝ ඇවිල්ලා, තිත්ට සීනි, මුවා මැරූ සලමන්, ආදී මා මහත් රස විඳි කෙටි කතා සංග්‍රහයන් රැසක් රචනා කල නිශ්ශංක විජේමාන්න මෑතකම කෙටිකතා සංග්‍රහය නන්පේරියල් ය. වසර 2014 හෝ ඒ ආසන්නයේ මා මාපාකඩ වැව නිවාඩු නිකේතනයක දිනක් ගත කර, උදෑසනක එම වැව වටා බාගයක් දුර පමණ මගේ මස්සිනා සමඟ ඇවිදින විට, මා ඔහුට පැවසුවේ මා සිත් ගත් කෙටිකතාකරුවෙකු වූ නිශ්ශංක විජේමාන්න මේ ඉසව්වේ මේ ආසන්නයේ කොහේ හෝ වසන බවකි. මා මතකය නිවැරදි නම් ඒ වන විට මා එවිට කියවා තිබුන සංග්‍රහයන්ගෙන් 'කීඩෑවෝ ඇවිල්ලා" කෙටිකතාව මට මහත් කම්පමනයක් ඇති කොට තිබිනි. ඉන් පසුව කියවු 'මුවා මැරූ සංග්‍රහය' මුළු කෙටිකතා එකතුවක් ලෙස වඩාත් සංඝත සහ සාර්ථක නිර්මාණ එකතුව ලෙස දිටිමි. ඉන් පසු නවකතා කීපයකුත්, 'මල් සූටික්කා' නම් කෙටි කතා සංග්‍රහයක් ප්‍රකාශ කල ද ඒ එකකින් මා තුල පෙර කී කෙටිකතා සංග්‍රහයන් ඇති කල වින්දනයන් අභිබවා යෑමේ බලපෑමක් සිදුකරලිමට නොහැකි විය (වැලන්ටයින් කුමරයා කියවා නැතත් අනෙක් නවකතා තුනේ, නැවුම් සහ රසවත් මාතෘකා කොටස් තිබුන ද, සමස්තයක් ලෙස ඒවා ඉතා සාර්ථක නවකතා ද යන්න විවාද සම්පන්නය )

මෙම කෙටි සංග්‍රහය වෙත යොමු වෙමු;

පළමු කෙටිකතාව "ස්පුත්නිත්සා" කොටස් දෙකකින් සපිරිය. එහි විස්තර වන පරිසරයට සපිරි මෘදු වේගයෙන් ඇදී යන කෙටිකතාව, අන්ධ වීම සහ පෙනීම යන කාරණාව ට දර්ශනය හා බැඳි විමර්ශනයකුත්, ගුරුවරයෙකුගේ අයුතු අදහසක් නිෂ්ප්‍රභාවීමකුත් මුල්කරගත් කෙටිකතාවකි. පෞද්ගලික රුචිකත්වය අනුව මෙය අන් අයෙකුට  රසවත් නිර්මානයක් විය හැක. 

 'හිම වලහා' නම් කෙටිකතාව,  ලංකාව වන් රටක දේශපාලන පොරපිටියක මැරයන්, සහ නායකත්වයේ අභිමතය මත මන්ත්‍රීන්ගේ කැමැත්ත අකමැත්ත තීරණය වීම ගැන කෙටිකතාවකි. ආයාසකාරී ප්‍රබන්ධ ගතකිරීමක් ලෙස දැනුනි.  වසර මිලියන දෙකහමාරකට පමණ පෙර විසූ සතුන් ගේ මොඩල ඇති උද්‍යානයක් සාදා, එය හිමවලහා නම් අන්වර්ත නාමයක් ඇති දේශපාලඥ්ඥයකු ගේ හැසිරීමක් හා ආයාසකාරී බැඳීමකට යත්න දරා තිබුන ද, එය කෙටිකතාවකට යාමට වැඩි දුරක් බවකි පාඨක අපගේ හැඟීම. මෙහි අසාර්ථකම ප්‍රයත්නය මේ කෙටිකතාව විය යුතුය.

මෙහි එන "හිම කිරමක මතකය" කෙටිකතාව මා තරමක් රස විඳි නිර්මාණයකි. මවත් සමඟ උසාවිය අසල කවි කියමින් සිටි දරුවෙක්, තමන්ගේම අනාගතය අතට ගන්නේ තම දෙමව්පියන්ගේ දැඩි මැදිහත්වීම පිටුපාමිනි. ඉන් ඔහු යම් සාර්ථකත්වයක් ලබාගන්නේ, අප සමාජයේ සුලභ දෙමව්පිය විෂයෙහි සංවේදී භක්තිමත්බව වෙනුවට ප්‍රායෝගික ලෙස තම දියුණුවේ මග සොයා ගැනීමට වෙහෙසමිනි.

"ලෙන් දොර අභියස" වනාහි  මා ප්‍රිය කරන නිශ්ශංක විජේමාන්න නම් කෙටිකතාකරුවා මට මෙහි හමු වූ පළමු අවස්ථාව  යැයි කීවොත් නිවැරදිය. ශුංගාරයට වඩා තම ශාස්ත්‍රයට ප්‍රිය පුරාවිද්‍යාඥ්ඥවරියක්, සල්ලාල කවියෙක් සහ, සැකකාර සැමියෙක් භාවිතාවෙන් කතුවරයා ඉතිහාසය නැවත නැවත සිදුවන්නේය යන කියමන තරමක් වෙනස් කරමින් ප්‍රීතිජනක අවසානයකට කෙටිකතාව ගෙනි යයි.  පෙර කී "හිම වලහා" ආදි කෙටිකතාවේ තිබූ ආයාසකාරී උපක්‍රම, රචනාවිධි ලියූ ලේඛකයාම මේ කෙටිකතාව ලියූවේද යන්න පාඨකයාට පැණයකි. රසවත් සාර්ථක නිර්මාණයකි.

"අෂාන්තගේ අපායේ දවස් හත" අප Gen-Z යැයි හඳුන්වන දරුවන්ගේ අහිංසක බලාපොරොත්තුත්, වැඩිහිටියන් තරුණයන් ට කන්දීමට මැලිවීමත්, සමහර විටෙක අයෙකු කෙතෙරම් හොඳින් තම සිහින සැලසුම් කලත් එම සැලැස්ම අවාසනාවන්ත ලෙස අභාග්‍යකින්ම අවසන් වන අයුරුත් වන පෙන්වා දෙන කෙටිකතාවකි.

පොත ට නම දුන් "නන්පේරියල්" කෙටිකතාව ද හෝර්ටන් තැන්න, ලෝකාන්තය, පෙම්වතුන්ගේ සිය දිවි නසාගැන්ම අලලා, ලියූ රසවත් කෙටි කතාවකි. මැයක් ලෙස සුලභ යන්න සත්‍ය වුව, කතුවරයා ඒ සුලභබව තුල යම් තරමක සූක්ෂම ගෙත්තමක් ගොතා ඇත්තේ මැදිවියේ මිනිසෙකුගේ පශ්චාත්තාපයද භාවිතකොටය.

සමස්ත ලෙස කෙටි කතා හයෙන් බොහෝමයක් රසවත් යැයි කිව හැකි මුත්, මුලදි කීවාක් මෙන් ඔහුම තිබූ ඉහළ කෙටිකතා සලකුණු නිසා, ඔහුගේ හොඳම සංග්‍රහයන් අතරට නොවැටෙත්, මීට කලින් පළ වූ "මල් සූටික්කා" ට වඩා නම් රසවත් බැව් කිව හැක.

ශ්‍රේණිය: ***1/2

Saturday, 1 August 2026

සූර්ය ක්ලාන්තය සහ අනාථ කතා - එරික් ඉලයප්ආරච්චි

 මෙය ලේඛකයාගේ දහතුන් වෙනි කෙටිකතා සංග්‍රහ්‍යයි. මා එම සංග්‍රහයන් සියල්ලම එක් වරක් බැගින් කියවා ඇත. මගේ මතකයේ හැටියට ඉන් සංග්‍රහයන් තුනක් ( චයිනා ටවුම, ජාත්‍යන්තර පාපොච්ඡාරණය, සහ මෙය) හැර අන් දහයට ම ඉතා කැමතිය. අර කී කෙටිකතා සංග්‍රහයන් තුන් තුල එරික් සාර්ථක-අසාර්ථක වූ අවස්ථා මිශ්‍රය. සාමාන්‍ය කියවන්නෙකු ලෙස තරමක් දීර්ඝ විචාරයක් ලිවීමට තීරණය කලේ මෙම සංග්‍රහයේ විශේෂයෙන් එම 'මිශ්‍ර බව' ඇති වීමට හේතු මගේ නැණ පමණින් විමසීමටය. එක් එක් කෙටිකතාව ගැන කෙටි සටහනක් ඉදිරිපත් කරමි;


අරගලය
: කතුවරයා මෙම පොත පළකල කාලය හෝ ඊට ආසන්නයේ තිවංක කතාව නම් නවකතාවක් ලියා පළ කලේය. අරගලය මුල් කොට ගෙන ලියූවක් හෙයින් යම් පාඨක පිරිසක් එම පොත හරහා රැස් වූවද, නිත්‍ය එරික් පාඨකයින්ට නම් එම පොත සුවිශේෂි ලෙස නොදැනුනි. ඔවුන් එය ඔහු ගේ මුල් කාලින නව කතා සමඟ සැසඳුවෝය. එම නවකතාවට සාපේක්ෂව මෙම කෙටිකතාවක් තරමක් සාර්ථකය.  එරික් මෙහි අලුත් පරපුරේ හැසිරීම් රටාව අරගලය තුලින් විමර්ශනය කරයි. තමන් ට සුපුරුදු ජීවිතය ගත කිරීමට ඇති අයිතිය තමන් ම පත් කල ආණ්ඩුව විසින් අහිමි කිරීම, අඳුනන අය සමඟ යම් කිසි අරමුණක් වෙනුවෙන් වැඩ කරනමුත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වලින් බැහැරව සිටීම ( හෝ ඒ විස්තර විමසීම ම නොකල යුත්තක් ලෙස වටහාගෙන සිටීම), පවුලක පුරුෂයාට සහ බිරිඳ ට අනෙකාගෙන් තරමක් විතැන් ( එම විතැනේ අරය පවුලෙන් පවුලට වෙනස් ය) පෞද්ගලික ජීවිතයක් තිබීම ආදි ලක්ෂණ එරික් මෙම කෙටිකතාවෙන් ඉස්මතු කරයි. කෙටිකතාව දෙස විමර්ශනීය ආනතියකින් බැලුවහොත් එහි යම් ගැඹුරක් ඇත.

අකාලචර්යා: මීට වසර කිහිපයකට පෙර අප රට ආර්ථිකව බංකොලොත් වූ වකවානුවේ ඇති වූ ඉන්ධන අර්බුදය හමුවේ මා ද මා රැකියාව කරන තැන කිහිපදෙනෙකුන් සමඟ නාරාහේන්පිට ඉන්ධන පිරවුම් හලක් මුල්කොට ගත පෝලිමක රාත්‍රි දෙකක් ගත කලේය. අප මිතුරන් අදත් කතා වෙන්නේ, පෙට්‍රොල් ලීටරයකට වැඩිම මිලක් ගෙව්වේ ඒ වකවානුවේදී ය කියාය. ඒ දින දෙකේ අප ට වියදම් වූ ආහාර පාන, මත්පැන් සඳහා වූ අමතර වියදම් නිසාය. මෙසේ පෝලිමේ ඉඳිද්දී අපට කලිං මුණ ගැසී නොතිබුණු මුත් අමුතු චරිත හමු වුණි. එක් චරිතයක් කොළඹ ප්‍රධානත ම පාසලක උගෙන දැන් මැදි වියේ සිටිද්දී ආර්ථික ව තරමක් අපහසු කාලවකවානුවක් පසුකරමින් සිටි බව පැහැදිලි විය. ඔහු අප සමඟ පළමු දින පහන් කල ද උදේ වන විට පොලීමේ පේන්න සිටියේ නැත. ඔහු නැවත ආවේ රාත්‍රි දෙකකට පසුව පෙට්‍රොල් බවුසරය ළඟා වී පැයකට පමණ පසුවය. ඔහු විත් අපට පින්සෙන්ඩු වූයේ නැවත පෝලිමට එක්කාසු වීමට ඉඩ දෙන බවටය. එම අසාධාරණ සහ අනෙක් අතට භයානක ඉල්ලීමට අප ඉඩ දුන්නේ නැත. දෙයක් වෙනුවෙන් නිරන්තර කැපවීම නොපෙන්වීම ඔහුගේ වර්තමාන තත්වයට බලපාන්නට ඇත. බැංකුවක ඉහළ තලයක නිලධාරියෙකු වූ තවකෙකු ඉංග්‍රීසියෙන් පමණක් දෙඩූ අතර, කතා කරනා විටින් විට ගොල්ෆ් ගසනා ඉරියවු ප්‍රදර්ශනය කලේය. මේ සිද්ධීන් මා මතකයට රැගෙන ආවේ ඉන්ධන පෝලිමක රයක් පහන් කිරීම අලලා ලියවී ඇති අකාලචර්යා කෙටිකතාව කියවීමේදී ය. මෙහි එන ස්ටේෂන් වැගන් හිමිකරු ගේ පැරණි රසාංග කෙටිකතාවේ ප්‍රධාන චරිතය රස විඳි බව පැහැදිලිය. ඒ පුද්ගලයා ගේ ජීවන රටාව සහ පිළිවෙල පවා කෙටිකතාව තුලින් හොඳින් හෙළිවේ. ඒ ගී රස විඳිමින් සිටි අප කතාකරු මෙසේ කියයි;

"මට හැඟුණේ පසුගිය තිස් වසරක කාලය පුරා ගෙවන ලද කලබලකාරී දිවි පෙවෙත නිසා අමතක වී ගිය ලොවක් යළි අඳුරේ අවදි වන බවකි. එය කාලාන්තරයකට පසු කෝකිලයකුගේ රාවය සවන වැකුණා වැනි හැඟුමකි."

 

ඇත්තු දොළහයි - ඇත්ගොව්වෝ අටයි - නිලමලෙ දෙකයි:  'ගෝඩෝ එනකං' හි පරිදි අරමුණක් ඇති-නැති බලාපොරොත්තුවකින් බලාසිටීමත්, පසුගිය කොවිඩ් කාලයේ තිබූ වටපිටාවත්, රෝගය පිළිබඳ බිය, සැක බැඳි සිතුවිලි රටාවත්, ඒ තුලින් මතු වූ කුමන්ත්‍රණ න්‍යායන්, දේශීය ඖෂධයන්ට තිබූ උනන්දුව ආදියත්, අප රට ඒ යුගය නිරූපිත භෞතික මෙන්ම මානසික තත්ත්වයනුත්  අලලා ලියවුණු සාර්ථක නිර්මාණයක් ලෙස මෙම කෙටිකතාව දකිමි. එහි ආරම්භක සෙමින් ගලායාම  තිවංක කතාව  මා තුල ඇති කල නොපැහැදීමේ ඡායා ඇති කලද  , කතාව ඉදිරියට ගලායාමත් සමඟ මගේ එම හැඟීම වෙනස් ව කෙටිකතාව තුලින් එම කාලය, වෙසෙසින් රටේ  අප ධනවත් ප්‍රජාවගේ දෘෂ්ඨි කෝණය සාර්ථකව පෙන්නුම් කෙරී ඇති බවට මට සිතුණි.  

අස්වැන්න: මෙම කෙටිකතාව ආරම්භා වන්නේ ජෝසෆ් කොන්ඩ්‍රඩ් ගේ 'Heart of Darkness" කෙටිකතාව ප්‍රමුඛ කියමනක් උපුටමිනි. එහෙත් මෙහි සම්භවය ශ්‍රී ලාංකික හමුදා සහ බෙදුම්වදී කොටි ව්‍යාපාරය අතර යුද්ධයේ සිදුවීම් පෙළක් ලෙසටය. කතුවරයා උපාලි නම් විශේෂ හමුදා කණ්ඩායමක අයෙක් යැයි සිතිය හැකි අයෙකුගේ හැසිරීම් ද යුද්ධය පැවති පරිසරයේ විස්තරද එක්කාසුවෙන් සාර්ථක කෙටිකතාවක් ගොඩනගා ඇත. කොන්ඩ්‍රඩ් ගේ ක්'ර්ට්ස්, මෙහි උපාලි ට අනුරූපනය කර ඇති අයුරු අපූරුය.  

කර්පන්ටයින් ජැටිය සහ ලුණු කන්ද: කොටි ත්‍රස්තවාදීන් පැය 24-48 ක තුල උතුරුකරයේ විසූ මුස්ලිම් ජනයා ට එම පෙදෙස් හැර දමා පළ යන්න යැයි අණ කලේ 1990 වසරේදීය. එරික් මීට පෙර අවස්තාවක ( හෝ කිහිපයක) මෙම සිදුවීම සාර්ථක ලෙස තම නිර්මාණ වලට ගොණු කර ඇත ( මට අමතක හැටියට ඔහුගේ 'ඔටුවා' නම් කෙටිකතාවක ද මේ ගැන කියැවිණි). මෙම කෙටිකතාවද සාර්ථක ලෙස උතුරුකරයෙන් පැන ආ ජනයාගේ බිය, උදහස, එය ඔවුන්ගේ හැසිරීම ට බද්ධ වූ අයුරු විදහා දැක්වෙයි. මෙහි එන කර්පන්ටයින් ජැටිය තලෙයි මන්නාරමේ තිබෙන ජැටිය යැයි සිතිය හැක.

රතු කුරුස කතාව නොහොත් ලන්දේසි අම්මා: එරික් ගේ මෑත කාලීන නිර්මාණ වල තිබූ එක් ලක්ෂණයක් නම් සංස්කරණයෙන් තොරව ඔහු කියවූ සාහිත්‍යයෙන් එන ආභාෂය, තම නිර්මාණ වල පාත්‍රවර්ගයා ට දැනුනු විදිහ, සිතුණ විදිහ ලෙස ඔබ්බවා, තම රචනය තුලට යම් බලහත්කාරයක් සිදුකිරීමය. පාඨකයාට මෙවන් එක්කාසු කිරීම ඉතා කෘතීම එක්කාසු කිරීම ලෙස පෙනි යතැයි සිතිය හැක්කේ, මං විෂයෙහි නම් එය එසේම වන් නිසය. වෙසෙසින් තිවංක කතාව වන් නවකතාව ක අනවශ්‍ය ලෙස දිග්ගස්සමින්, ඔහුට ඇවැසි සියල්ල තම නිර්මාණයට එක්කාසු කිරීමේ ප්‍රවණතාව මෙම කෙටිකතාවේ ද නොඅඩුව දැකිය හැකිය. ඒ නිසාම ගලා යාමෙහි කෘතීම බවක් දැනෙන, තරමක් කඪෝර කියවමීක් ගෙන ආ කෙටිකතාවකි.

පාවෙන වේදිකාව: පෙර කෙටිකතාව ගැන කීමේදී තිබූ දෝෂය නැවතත් දකින්නට ලැබෙන කෙටිකතාවකි. මෙය අභාග්‍යයකි. ධීවර ගම්මානයක්, එහි වුව පවතින ඇතැම් විටෙක පැන නගින ජාතිවාදය, කුලවාදය, විශේෂයෙන් පාස්කු නාට්‍ය ඉතිහාසය සහ සංස්කෘතිය ආදියෙන් පෝෂණය වුවද, දැන් දැන් එරික් ට ඒ ඒ උපමාතෘකා වල මාත්‍රාවන් වල ඖචිත භාවිතය ගැන එතරම් වග වීමක් නැති සෙයකි.

සූර්ය ක්ලාන්තය: දර්ශනය පිළිබඳ තරුණ උගතෙක් තම විශ්වවිද්‍යාල පත්වීම නැති වී, රජරට කොලනි ගම්මානයකට පැමිණෙයි. එහි දී ඔහුට ඔහු තුල ගම පිළිබඳ ඇති ෆැන්ටසිය නැති වී සත්‍ය වශයෙන් පවතින නගරයේ සංක්‍රමනය වූ වෙනස් වූ ගමක් හමු වේ. මේ වෙනස්වීම පෙන්වා දෙන ආකාරය මා සිත් ගත්තේය. මා එකම පිටුවක උපුඨන දෙකකින්, එරික් ගේ සූක්ෂම නිරීක්ෂණයත්, පාඨකයා අධෛර්‍යය කරන අතිශයෝක්තියත් පෙන්වා දෙන්නට උත්සාහ කරමි.

"භටයා ගමෙන් සමු ගත් පසු කුසල්ට හැඟුණේ ඔහුට ණයගැති හැඟීමකි. භටයා නිසා තමා අංග සම්පූර්ණ කොලනි වැසියකු වීමට වුවමනා සුදුසුකම් සපුරා ගත් බව ඔහුට සිතිණි. එවැනි බෞතීස්මයකින් තොරව පිටස්තරයකුට කවදාකවත් ජනපදිකයකු විය නොහැකිය. ඔහුට හැඟුණේ ජනපදයද ඩාන්ටේ ඇලිගේරිගේ 'ඉන්ෆර්නෝ' හෙවත් 'අපාය' මෙන් විවිධාකාරයෙන් දඬුවම් ලබන පව්කාරයන් සිටිනා ස්ථානයක් බව ය. ජනපදය යන වචනයට වඩා ගැළපෙන වචනයක් ඒ වෙනුවෙන් සොයා ගත නොහැකි බවත්, ඒ වචනය සිංහල භාෂාවෙන් උදුරා දැමුව හොත් සමාජ ජීවිතයෙන් විශාල පදාසයක් මැකී යන බවත් ඔහුට සිතිණි." (117 පිටුව)

අපි ඉන්ෆර්නෝ ගැන සැසඳීම ඉවසමු (කුසල් දර්ශනය හැදෑරුවෙකි - එවන්නෙකුට එවන් රූපක සිතට ඒම සිතා ගත හැක). මේ සමස්ත ඡේදය බොහෝ දේ පවසන සියුම් නිරීක්ෂණයකි. ඇවැසි නම් කොලනි ජීවිතය සමාජ විද්‍යාත්මක ඇසකින් බැලීමට බලකිරීමට ආරාධනාවකි. මේ අප කලක ඉඳං සිත්ගත්, කියවීමට මහත් ප්‍රිය කල එරික් ය. අදටත් මා සිතන්නේ ඔහුගේ බගන්දරා සිට පේත දක්වා වූ නවකතා අටක සාර්ථකත්වය සුනේත්‍රා රාජකරුණානායක වන් දීර්ඝ කාලයක් සාර්ථක නවකතා ලියූ ලේඛිකාවකට නොදෙවෙනි බවය. පෞද්ගලික්ව මා එරික් ට වඩා රුචි ඔහු බගන්දරා ආදි නවකතා මගින්, අන් සිංහල ලේඛක-ලේඛිකාවන් නොඇල්ලූ මානයන් සියුම්ව අප ඉදිරියට ගෙන ඒමයි.

ඉන් පසු අප මෑත කාලයේ සිට දකින එරික් දෙස බලමු ( "පේත" වලින් පසු මා කියවා ඇත්තේ "මැස්සා" සහ "තිවංක කතාව" පමණි. අනෙක්වා කියවීම කවදා වේවිද නොදනිමි. එහෙත් වඩා ප්‍රිය පොත් ඉක්මනින් කියවීමේ න්‍යායෙන් එරික් දැන් ඉවත් වෙමින් පවති. කෙටිකතා එකතුවන් තුල කතා කිහිපයක හෝ පැරණි එරික් අපට තවම හමු වේ.) 

"තැපැල් මහත්තයා, ජනපද නිලධාරි, ඩිස්පැන්සරියේ හෙදිය, අහල පහල ගුරුවරු ඇතුළු ආණ්ඩුවෙ සෙවකයෝ ද, පන්සලේ පොඩි හාමුදුරුවෝ ද ඔහුගේ ඉංග්‍රීසි පංතියට පැමිණියහ. චන්ද්‍රා රාලහාමි නිතර සඳැල්ලට පැමිණියේ ය. සුනාමිය ගැන ලියා තිබුණු 'මුතු ඇටය හැඬූ දා' පොත සහ 'බ්‍රේස්ගර්ඩල්ගේ වතු කම්කරු සටන' පොතේ සිට 'විර්ගන්ස්ටීන්ගේ භාෂා න්‍යාය' සහ එස්. පියසේන ලියූ 'කළු ජූලියේ රිදී ජුබිලිය හා ජේම්ස්ගේ නිදහස' දක්වා පොත් ඉල්ලා ගෙන ගිය ඔහු ඒවා එක හුස්මට කියවා ආපසු රැගෙන ආවේ පිටු ලකුණු කළ දුරකථන අංක, ඔත්තු, ඇන්ට්‍රි අංක, බඩු බිල්, වාහන නොම්මර ආදිය ද සමඟිනි.

  හජිමේ නජමුරගේ 'පෙරදිග මිනිසුන්ගේ චින්තන විධි' පොත ඔහු දෙදිනක් තිස්සේ කියවා අවසන් කර තිබුණේ මුරපොළක සිටිමිනි. කුසල්ට හැඟුණේ කියවීම සත්ක්‍රියාවක් ලෙස දකිනු විනා එහි සමාජ සාරය සෙවීම නිෂ්ඵල දෙයක් බවකි."

මේ ඉහළ ඡේද දෙකකින් ගත් උදෘත ගැන කුමක් කියන්න ද ? මා සාමාන්‍ය පොත් කියවන්නෙක් පමණකි. එරික් උඩ මට ගෝචර නොවන දෙයක් කියනවා ද නොදනිමි. එහෙත් මගේ  ආධුනික අදහස නම් එරික්ගේ පුළුල් කියවීමෙන් ඔහු තම නිර්මාණ වලට ගෙන එන ප්‍රධානම අංගය උසස්/ප්‍රසිද්ධ පුද්ගලයන්/කෘති වල නම් ඇද බෑම නම් එය ඔහු අර මා පෙර කී නවකතා අටක ශ්‍රේෂ්ඨ උරුමයට තමංම හානියක් කරගන්නා බවකි.

රිදී තීරය: කල්පිටියට පැමිණි සරණාගතයින් අලලා ලියැවුණු තවත් කෙටිකතාවකි. එම සරණාගතයින් ට අරුත්බර, ඔවුන් විඳි, ජීවිත තිබූ බවත්, ඔවුන් මේ ආගන්තක වටපිටාවේ නව ජීවිතයකට හුරුවීමේ අභියෝගයට මුහුණ දෙන අයුරුත් පෙන්වන රසවත් කෙටිකතාවකි. කෙටිකතාවේ හදිසි අවසානය එම ප්‍රජාවද තම පැවැත්ම වෙනුවෙන් යම් කුරිරත්වයක් වුව ඉවසනා තැනකට ඇවිත් සිටින බව අඟවන්නක්ද ?

සින්ඩරෙල්ලා: ශ්‍රී ලංකා හමුදාව, බෙදුම්වාදි කොටි සංවිධානය, සහ ඉන්දීය සාම ආරක්ෂක හමුදාව යන තුන් පාර්ශවය අතර ගැටුම් සිදුවද්දී, එම ගැටුම් වලට මධ්‍යයේ සිදු වූ දරු උපතක් හා බැඳි, අපූරුවට ගෙතුණු කෙටිකතාවකි.

පක්ෂි වන්දනය: පක්ෂීන් වන්දනා මාන කල බවට විකල්ප න්‍යායක් ගැන ගෙනහැර දැක්වෙන ඒකපාත්‍ර භාෂණයක් ලෙස දිගැහෙන කෙටිකතාවකින් මෙම සංග්‍රහය අවසන් වේ. මා මෙම අවසන් නිර්මාණය රසනොවින්දද, පෙර කී දුර්වලතා වලින් තරමක් අඩු රචනාවකි. 

පුළුල් ලෙස  එරික් ගේ ප්‍රබන්ධ මාතෘකා තුනක් යටතේ ලයිස්තු ගත කල හැකි යැයි සිතමි (මේ තුන් කොට්ඨාශයන්ගෙන් පරිබාහිර ඒවා ද නැත්තේ නොවේ - නිදසුන් ලෙස පරදේසි ප්‍රකාශ කර හැක). එකක් නම් මීගමුව සහ ඊට ආසන්න පලාත් වල උප-සංස්කෘතිය අලලා ලියැවුණු නිර්මාණ ය ( උදා: බගන්දරා.) මා මේ නිර්මාණ මහත් සේ රසවිඳිමි. දෙවැන්න විශේෂයෙන් මන්නාරම-කල්පිටිය යන පෙදෙස් ද ඊට සමගාමීව අප රට පැවති සිවිල් යුද්ධය හා බැඳි නිර්මාණය. මා දන්නා තරමින් සිවිල් සේවකයෙකු ලෙස ඔහුගේ අත්දැකීම් ඔහු තම නිර්මාණ වලට දක්ෂ ලෙස ඇතුලත් කොට ඇත( විශේෂයෙන් කෙටිකතා - උදා: ඔටුවා). තෙවැන්න නම් එම නිර්මාණයන් රචනා කරනා කාලය හා තදාසන්නයේ සිදු වූ සිදුවීම අලලා කෙරුණු නිර්මාණය ( උදා: පාදයාත්‍රා, තිවංක කතාව, බැග්ඩෑඩ් කෙටිකතාව). මේ නිර්මාණ බොහෝ විට සාර්ථක වුවද, ලේඛකයාගේ පෙර කී කියවීම හරහා ඔහු ලබන ආභාෂය තම නිර්මාණ වලට ඇතුලත්කරගැනීමේදී, එහි සුදුසු නුසුදුසුබාවය ගැන ඇති තක්සේරුව දුර්වල නිසා මෑත කාලයේ ලියැවුණු කිනම් හෝ නිර්මාණයකට එහි ඍණාත්මක ආභාෂය ලැබිය හැක. මා සිතන්නේ පරදේසි නවකතාවේ බොහෝ කොටස් කතුවරයා තම කියවීමෙන් ලත් කරුණු භාවිතාවෙන් ලියැවෙන්න ඇතැයි සිතාය. එය රසවත් නවකතාවකි. එහෙත්, සූර්‍ය ක්ලාන්තය වැනි කෙටිකතාද, තිවංක කතාව වැනි මෑත ප්‍රකාශ වූ නවකතා වලටද මා ඉහත කී තක්සේරුවේ දුර්වලතාව නිසා ම කියවන්නිය අධෛර්‍යය කරවන නිර්මාණ ලෙස එළි දැක ඇත. මා මේ දේ පවසන්නේ කතුවරයා මෙය දකින්නේ නම්, ඔහු මේ පිළිබඳ විමසිලිමත් වේවි යැයි සිතා කරන සත්චේතනාවෙනි (තිවංක කතාව ගැන ලිවිමේදී ද මා දෙ කීවේය). දැන් දැන් අප රට පිළිගත් විචාරයකයින් ද එරික් ගේ මේ 'ආභාෂ ගැටුම' ගැන කතා කරනා බවකි අපට ඇසෙන්නේ. 

ශ්‍රේණිය: ***1/2
2022 වසරේ හොඳම කෙටිකතා සංග්‍රහය සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සහ ගොඩගේ සම්මාන දිනූ නිර්මාණය