Saturday 31 October 2020

Christopher Robin- (d) Mark Foster (2018)

 The post world war II situation and his job must be really bad, for Christopher Robin to turn up like that, huh ? Not withstanding years of field days as a kid, with a rum set of toys, a beautiful wife and a daughter, Chris has really let the outside world get him down. Maybe it is with the intention of stressing the overall message of the movie - no, in fact I am sure it was. While quite willing not to notice the stitch marks that make up a movie like this - apparently for kids - and their parents too ( they got that part right), stressed, bad parent, Christopher was the most obvious thing about the movie.


Highlight - the usually down Eeyore's sarcasm mingled wit.
"Sure, Sacrifice the Donkey", for instance could match Winslow's point of view, more so than Eeyore's.

Loved: My seven year old, spilling the next scene unable to help himself - before claiming that he will not let on, on the story. "Boring School" has really registered with him, given that he started talking about boring school when Christopher was preparing to go to Boarding school, itself. ( He just watching it for the 34th time - 35th, you say? Ok, 35th time.)

All in all can't say that I didn't enjoy the outing, despite the drab greyness that carried the movie. The one happy scene of the family together stood up so much in contrast, that it was the movie's moment of sunshine.


Maybe am reading too much into the movie.

Rating: ***

Wednesday 28 October 2020

Tinker, Tailor, Soldier, Spy - John le Carré

 The second le Carré novel, I set about reading, on the recommendation of a reader-friend. With the taste of "The Spy Who came in from the Cold" still in my mind ( the novel, followed by the Richard Burton casting movie), I had no hesitation in pitching headlong into this novel. Although, I started it as an audiobook, the twists, deep espionage made me quickly switch to my kindle. The human factor which play along like an eerie background music, insisted that I don't miss the detail.

George Smiley, who was ridiculed by some, hinted at by some, due to him having a compromised position in his life, continues  doggedly upon being requested to make a come back to service, to catch a mole - "Gerald", as it were.  In one place, late into the book, he describes himself, thus:

"It's only facts I'm after, Toby, not scalps. you know me - I'm not the vindictive sort"
In his investigation, he cannot help being insulted upon, tread on personal relationships between men and women, and men and men. George Smiley! Without the radiance of  the like of Bill Haydon, in the circus. Fat, persevering and without illusion. Well, not quite. He too had one illusion:

"The last Illusion of the Illusionless man",

                        who tolerated a series of infidelities of his woman, for the sake of love, which was used by the opposing camp as a double cover.  Just as Jim Prideaux, was used, but arising from  a more genuine attachment.

And then there was the artiste. The Artiste who "went both ways", who was feeding his ideology, who had a  consistent and convincing  story to explain what he did, and why he did it. And finally, there was Control. Who in his own words, was:

"too vain to be flattered, too old to be ambitious, and I’m ugly as a crab.",

             for whom, it was a race against time, in his numbered days. I couldn't help a sense of appreciation for that , ( by the time of the narration ), dead man, who saw through the facade, but couldn't build the case with his failing health.

It is not a pretty situation to be in, for either of these men. A world war, then a cold war, and once you realise that the ideology is but a loosely stitched one, a thinking man will have his conscience  troubled. An artiste, an ideologist, doubly so. Maybe it is the disillusioned man, sticking to his track of duty, while he has been betrayed by those he has loved, who holds the world together and brings its much needed sanity. Although I don't know if  Le Carre was influenced by existentialism and, absurdism in particular. I cannot but trace back to sediments of it in both his works I've read - "The Spy Who came in from the Cold", and now, "Tinker, Tailor, Soldier, Spy".

Although I had no intention of hitting on to Spy novels at this stage, I fear that I will probably linger a bit more on Le Carre, to see where it leads thing to. He has got me captivated.

*****
First Published in 1974

 


Tuesday 27 October 2020

ඉතා කෙටි කලබල සිහින - යශෝධා සම්මානි ප්‍රේමරත්න

 අවුරුදු 3ට පමණ පෙර මිල දී ගෙන, කියවීම මගැරෙච්චි කාව්‍ය කෘතියකි. පොත් කියවන මිතුරියක්, මෙහි එන වෙඩිවර්ධනගේ "විප්‍රලාපි කවි" මුල් කර ගත් "බසු කවිය" ගැන රචනාවක් පිළිබඳ හටගත් සාකච්ඡාවක් හේතුවෙන්, උඩින් පල්ලෙන් බලලා, මෙහි එන කව් නිර්මාණ කිහිපයක රසය විඳ, "ඔහේ කියවලා දානවා", කියා සිතී, කියවූවකි.



පෙර කීවාක් මෙන් කවි පොත ඇරඹෙන්නේ "විප්‍රලාපි කවියෙහි හැඩතල සහ 'බසු' කවියෙහි බස", මැ ඇති හරවත් ලිපියකිනි ( එය, මේ වන විට  වෙඩිවර්ධන සමඟ "විප්‍රලාපි කවිය" පිළිබඳ පිලිසඳරකට හේතු වී ඇත.). යශෝධා ගේ සමහර කවි වල ඇති විප්‍රලාපි කාව්‍ය ලක්ෂණ වෙඩිවර්ධන මතුකර ඇත. ඒ විප්‍රලාපි ඉංග්‍රීසි කවියේත්, සිංහල කවියේත් නිදසුන් සමඟය. වෙඩිවර්ධන ගෙනහැර දක්වන නගා මැරූ අල කාව්‍ය සංග්‍රහය මා සතු වුව ද, එය කවරයෙන් කවරයට කියවා නැත. ඒ අතරේ කුමාර හෙට්ටිආරච්චි විප්‍රලාපි කවියේ කොතැන රැඳෙන්නේ ද යන්න ද සිතිය යුතුය. කිම ද වෙඩිවර්ධන විප්‍රලාපි කවිය ගැන කියූ පමණින් ( සහ එම වදනේ අරුත් වටහා ගත් සැනින් ) මා මතකයට නැගුනේ හෙට්ටිආරච්චිගේ කවිය යි. එය තවම දිගැරෙන කතාවකි. දැන්, "බස්සි" වෙතට යොමු වෙමි.

මෙම කවි පොත කියවන්නියකට, සංග්‍රහයේ එන විප්‍රලාපි කාව්‍ය නිර්මාණ  කිහිපය ගැන වෙඩිවර්ධන අපූරු රචනාවක් කොට ඇති නිසා, මා මෙහි යොමු වන්නේ එම ලක්ෂණ වලින් තොර, මා රස විඳි කවි පංති කිහිපයක්  නිදසුන් කර ගන්නට ය.

පිරිමින් ට ගැහැනු හිසරද "පුරුදු" ය. කෝකටත් තෛලයක් වීමේ අවස්ථා එමට ය. කිවිඳිය ගැහැණු හිසරද ගැන කියන්නේ මෙසේය:

"පමණ දැන හිසේ තැවරිය යුතු
බිඳු දෙකක් හිතේ ඉහිරිය යුතු
පිරිමි ඇස්වලින් සැඟවිය යුතු
මිහිරි රහසක්ව පැවතිය යුතු"

                 කවි පංතියෙන් වෑහෙන "කොලොප්පම්කාරීකම", ගැහැණියගේ "ඇතුවත් බැරි -නැතිවත් බැරි"  කමටත්, ස්නේහවන්ත හුරතල්කමටත් සාක්ෂි දෙන්නාක් මෙනි. අපූරුතම කවි පංතියකි.

රාජකාරියේ නියැලෙන කාන්තාවන් තම දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ පාසැල් වැඩ වෙනුවෙන් වෙහෙසෙන්නේ ඇත්තෙන්ම, ඊටම ආවෙණීක "ස්මාට්" කෙටි ක්‍රම භාවිතයෙනි. එම වැඩ ටික පියෙකුට කියූ විට, ඉතා පහසුවෙන්, "මට වෙලා නෑ" කියා ඇඟ බේරා ගන්නා අවස්ථා ඇත.  පැරණි කවි පංතියක රීතිය පවත්වමින්, නූතන කවක් නිමවන්නි, එම ස්මාට් අම්මා ගැන මෙසේ පවසන්නීය.       

"ඔන්ලයින් කඩවීදි  ගානේ
පැකට් කල ඔළිඳ, මදටිය හොයා ඇහිදිම්මා
දොළොස්වෙනි තට්ටුවෙන්
ගෙවත්තේ සුවඳ මල් පුබුදුවා ගන්න හැටි
දහ අතේ කල්පනා කරන්නී ගෙල නම්මා"               

කලබලකාරි මොහොතවල් තත්පර අතර සිතුවිලි දිවෙනා දිශාවන් අනේකය. ඒවා තුල කවි නිමිති ද බොහෝය. ඒත් ඒවා පෝෂණයට ඉවරයක් වෙද ?

"ශීත ඍතුව එළඹි කාලෙක,
මටත් මවතැකි දිග සිහින,
ගෙලෙහි මෆ්ලරයක් බැඳ,
කිමිදෙමින් උණු උණු සිහින,
 
අතැඟිලි වාරු තිබුණොත්,
අකුරු කර අමුණා තියන්නම්,
දුම් දාන උණු උණු සිහින."
    ( ඉතා කෙටි කලබල සිහින )

වාර්ෂිකව සැප්තැම්බරයේ පැවැත්වෙන  පොත් සල්පිල කවදා පටන් ගත්තේ දැයි මට් අමතක නැත. 2011-2015 අතර කාලය ඇර, වසරක් පාසා ම එහි ගිය බව නම් දන්නේ ය. අයෙකුගේ ජීවිත කාලයෙන් එය සැලකිය යුතු කාලයකි. සමහර කියවන්නියකගේ වෙනස්වීම් එම සල්පිලේ ගන්නා පොත් වලින් වුව මිණිය හැකිය.

"'සයිබ සාහිත්‍යෙ වයිබර් ලකුණ'
අතට ගෙන බලමි, ආපහු තබමි
රජ කතා, යුද කතා, බොළඳ ආදර කතා
නොදැක්කා වගේ ඔහෙ සැරිසරමි

'හිනාවෙන සාදුගේ' දේශනා පොත් දෙකක්
'ත්‍රිපිටකේ සිංහලෙන්' වෙළුම් හතරත් අටත්
තුරුළු කරගෙන දාහෙ පටි ගනිමි
'නිවන් මඟ' මගහැරීමෙන් තැවෙමි."

                                 ( චාරිත්තරෙට වගෙයි )

මේ ලිපිය කියවන්නියකට, කවි පොත කියවීමට උත්තේජනය උදෙසා  සඳහන් කල නිදර්ශන සෑහේ යයි සිතමි. නූතන සිංහල කවියක අපූරත්වය විඳ ගන්න මෙම කවි පොත නොපැකිල කියවන්න. 2016 වසරේ නිර්මාණශීලී නවක දායකත්වය වෙනුවෙන් ගොඩගේ සම්මානය දිනා ගත් නම් මෙය ඇත්තෙන් ම අපූරු ම කාව්‍ය සංග්‍රහයකි. ඇගේ බුහුටි වදන්, තත්කාලීන සිදුවීම්, උපහාස රසය, සමාජ විවේචන වලින් සපිරි මෙම කවි අතර ඉවත දැමිය හැකි යැයි සිතිය හැකි අවමය. කවි පංතියෙන් කවි පංතියට අලුත් මැයකි. 2019 ප්‍රකාශ වූ කවි පංති කියවිම් දුක් විඳිමින් සිටි මා හට සෝමවීර ගේ "අප දෙදෙන මැද මහ මුහුද" සහ යශෝධාගේ "ඉතා කෙටි කලබල සිහින" හේතුවෙන්, රස විඳීමට කවි කියවීමක් අවස්තාවක් උදා විය. කවි පංති 41කින් සපිරි මෙම කාව්‍ය සංග්‍රහයත්, චොකලට් පෙට්ටියක් වැනිය.   අර, ෆොරස්ට් ගම්ප් ගේ අම්මා කිවූ පරිදි, "You never know what you're gonna get" ම ය - කවි පංතියෙන් පංතිය එතරම් විචිත්‍රවත් ය. 

****1/2
කාව්‍ය - 2015 දෙසැම්බරයේ 
කර්තෘ ප්‍රකාශනයකි.


 

 






Saturday 24 October 2020

නිෂ්ක්‍රාන්තිය - සුනේත්‍රා රාජකරුණානායක

සම්මාන නිර්දේශ වල හොඳ පැති ඇත.  



ලංකාවේ ප්‍රවීණතම කතුවරියක වුව ත්, ඇගේ නවකතා ම දහයක් කියවා ඇතත්, අප තරමක් විශ්වාස කරනා පාඨක ප්‍රජාවගේ අදහස් අනුව, මෑතක කතුවරිය ලියූ ජයන්, ශ්‍රී කාන්ත්, සෞම්‍යාලෝකනය සහ මියුරු හඬ යන කෘතීන් කියවීම අතහැරියෙමි. එහෙත් දැන් නිෂ්ක්‍රාන්තිය ගොඩගේ සම්මානය දිනා, සහ ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණ ඇත. මෙම ජයග්‍රහණයන් මෙම කෘතිය කියවන්නැයි අප ට බල කර බව ය සත්‍යම කරුණ ( නැතිනම් මා මුලින් කියවීමට තෝරාගත්  2019 ප්‍රකාශ වූ නවකතා 15 හි, මෙම කෘතිය නොතිබිණි - මෙයත් සමඟ එය 16ක් බවට පත් විය). ඒ පසුබිම මතය, මා නවකතාව කියවීම ට යොමු වූයේ - නැතිතිනම් පාඨකයින් මේ කෘතිය  ගැන මිශ්‍ර අදහස් ය පළ කර ඇත්තේ.

ඉතින් එසේ කියවීමට පෙළඹුන පොත කොහොමද ?

මෑතක මා කියවූ හොඳම ආරම්භයක් තිබූ නවකතාව නිසැක වශයෙන් ම මෙය විය යුතුය. පිටු 40ට වැඩි පළමු පරිච්ඡේදය ආයාසයකින් තොරව කියෙව්වේ, මතකය පමණක් නොව තමන් කවුරුන්දැයි ද යන්න අමතක වූවකු ගේ  ගැටළුපිරි මානසිකත්වය පිළිඹිබු වන අයුරෙන් ලියැවී ඇති නිසා ය . මේ නම් අපූරුම පොතකැයි සිතමින්, මා ඉදිරියට කියවාගෙන ගියෙමි.  වඩා කෙටි දෙවෙනි, තෙවෙනි පරිච්ඡේද වල ආඛ්‍යායන හසුරුවන්නේ, අර පෙර කී මතකය අහිමි වූ කත ගේ උදව්වට පැමිණි ග්ලෝරි නම් තරමක් වියපත් කතයි. පාසැල් ගිය කාලය මතක් කරමින් ඇදෙනා මෙම කොටස් වල ඊට ම  ආවෙණික රිද්මයක් ගෙනෙන්නේ එම විශ්‍රාම සුවයෙන් වෙසෙන කතුන්ගේ දිවි පෙවෙතට ගැලපෙන අයුරිනි; ඒ අතර මතකය අහිමි ඇය, කවුරුන්ද, යන ගැටළුව සියළු දෙන අතර පවති. කෙමෙන් කෙමෙන් එම මතකය අහිමි වූ කත ගේ මතකය නැවත ලැබීමත් සමඟ නවකතාවේ ආඛ්‍යායනය මහනුවරට මාරු වෙයි. මෙතෙක් වේලා පාඨකයා අඳුරේ තැබූ ඇගේ කතාව කෙමෙන් කෙමෙන් පිටු පුරා ඇදෙන්නේ jig-saw ( ජිග්සෝවක් ) හැදෙන්නාක් මෙනි. ඊට තැනින් තැන වර්ණයක් ගැනෙන්නේ මෙවන් අදහසකිනි:

"ලංසි මිනිස්සු රිටායර් වෙලා ඒ පතිවලට ගියා. පෙන්ෂනර්ස් පරඩයිස් කියලා නුගේගොඩට කිව්වේ. නාවල ඇලේ වතුර ඔහොම නරක්වෙලා නෑ. මිනිස්සු මාළු අල්ලන හින් දිය පහර." (128 පිටුව)

මෙහි සෙවනැලි 1980 දශකය සහ 1990 දශකයේ මුල දක්වා තිබූ බව මතක් කරන්නේ, කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ ඒ වන විට ද සැලකිය යුතු බර්ගර් ප්‍රජාවක් වාසය කල බවත් අප කොලු වියේ එම කොලුවන් සමඟ කෙළිදෙලෙන්, රස්තියාදුවෙන් කල් ගෙවූ බවත් මතක හෙයිනි. නව යොවුන් වියට පා තබමින් සිටිය දී, 88-89 සමයේ රටේ භීෂණය එම තීව්‍රතාවෙන් ම අපට නොදැනුනේ, ඒ බර්ගර් ආශ්‍රය නිසා යැයි අද ආපසු හැරි බලනා කල අපට හැඟේ.

මෙහි එන ජයමංගලා ගේ තරමක් නිදහස් දිවිපෙවෙත ගැන කියවෙන කොටස ද රසවත් ය. මවක් වශයෙන් ඈ ව තුලනමය ඇගයීමකට ලක් කිරීම,  මෙම නවකතාවට වටිනාකමක් ගෙනදෙන්නීය. තැනෙක ඇගේ දියණිය ජයමංගලා කතාවක දී මෙවන් අදහසක් ප්‍රකාශ කරය: 

"මානව සමාජ සංවිධානගත වෙනකොට නීති හදා ගත්තාට ආගම්වලින් නීති පැනෙව්වට මනුස්ස ප්‍රාණීයෝ හැම වෙලාවෙම යටි හිතෙන් ඉන්නේ ඒ හිරගෙවල්වලින් පිටත වෙන්නැති." ( 186 පිටුව )

එම මවගේ සහ දියණියගේ සම්බන්ධය ගැන, අන් තැනෙක, දුව වරෙක මෙසේ ද කියයි"

"අනේ ඔයා බැංගලෝර් යනකල් ධර්ම කතා තිබුණේ නැහැනෙ. මාව හදුවෙ දහම් පාසලකටවත් යවන්නේ නැතුවනේ" ( 301 පිටුව)

එසේ වුවද, ජීවත් වෙමින් එම ජීවිතය ඉගෙන ගත් එම මව ( අන් මගක් ඊට වෙත් ද?), මෙම ආත්ම විශ්වාසය තම දියණියට ලබා දෙන්නේ ඇය විවා ගිවිස ගද්දීය:

"ඔයාගෙ සත්‍යයන් අසත්‍යයන් වුණොත් එහෙම නැත්තං ඔයා තෝරාගත්තු මාර්ගයේ අතරමං වෙන්න ගත්තොත් එහෙම ඕනම වෙලාවක හරිලා එන්න බයවෙන්න එපා. ආයෙමත් පටන් ගන්න එක දුකක හරි වරදක හරි හිරවෙලා ඉන්නවට වඩා හොඳයි" ( 200 පිටුව )

ඉතින් එක් මනසකට විඳිය හැකි තරමකට වඩා ප්‍රශ්ණ ඇතිවීමට පෙර යුගයේ,  ඔවුන් දෙපළගේ ජීවිත එලෙස ය.  එහි අසම්මතයේ යම් ඡායාවක් තිබුන ද , අවංකතවයෙන් පරිපූර්ණය. ජීවිතය විඳින්නෝය. නවකතාව ඉන්දියාවේ චෙන්නායි නුවරත්, පසුව ජයමංගලා දීර්ඝ කලක් වෙසෙන හිමාචල් ප්‍රදේශයේ ටිබැට්  ක්ෂේම භූමයක් වෙතටත් යොමු වන්නේ, පිළිවෙලින්, අප කතා නායිකාවගේ ඉතිහාස කතාවත්, ජයමංගලා ගේ දිවිසැරියේ දිශාවත සමඟය. මාධ්‍යවේදීන් දඩයම, දේශපාලඥ්ඥයින්ගේ මනදොළ වෙනුවෙන් ඕනෑම දෙයකට යොමු වීමට ඇති නොපසුබෑම ආඛ්‍යායනය මතු කර ඇත්තේ චෙන්නායි, ශ්‍රී ලංකාව යැයි වෙනසක් නැති බවක් ඒත්තු ගැන්වෙන අයුරිනි. කතුවරිය ඉඟි කරනුයේ, මුහුණ දෙන අසාධාරණකම් අතින් එතරම් වෙනසක් නොවූවත්, ඉන්දියානු මහජනතාව පාරට බැහීමට ලාංකිකයාට වඩා සූදානම් බවකි. කතුවරිය ඍජුව පවසා නොසිටියා ද, දිවියට "නියමිත රේල්ලුවෙන්" නොපිට පැන සීරුවට ජීවත් වන්නන්ට වඩා, තම දිවිය සිත්සේ විඳින්නන්ට මුණ ගැහෙන අපූරු චරිත හේතුවෙන් ජීවිතයේ රස උත්තේජනය වැඩි වන්නා සේ ම, විඳින්නට වෙන කම්පනයන් ද එලෙසම ය. නවකතාවේ මැද කොටස වැඩි පමණක් මේ නිදහස් ජීවිතය ගෙනෙනා අලංකාරයත්, වර්තමාන කලාපීය දේශපාලන වටපිටාව ගෙනෙන අස්ථාවරත්වයත් අපුරුවට ගෙනහැර දක්වා ඇතැයි සිතුනි.  බොහෝ චරිත නවකතාව තුලට පැමිණීම, කෙටි කලකින් ම  ඉවත් ව යෑම තුලත්, හිමාචල් ටිබැට් මෙහෙණිනියන් ගේ ජීවන රටාව ආදියත්, ඉවසිලිවන්ත නොවෙන කියවන්නියක් වික්ෂිප්ත කිරීමට ඉඩ ඇත - එය පාඨකයකු සෙමින් කියවා රස විඳිය යුතුය.   මේ කෘතියේ ඇති එක් ධනාත්මක ලක්ෂණයක් නම්, කියවීමට අලසකමක් ඇතිකරනා බවකින් තොර වීමය. හිමාචල් විස්තර වරෙක වැඩි යැයි නොසිතුනා ද නොවේ. ජයමංගලාගේ ආඛ්‍යායනයක් ලෙස දිගැරෙන හිමාචල් විස්තරය, කෘතියේ දිගම පරිච්ඡේදය වන්නේ ය.

එහෙත්, නවකතාව අවසන් කර ඇති ආකාරය පිළිබඳ අයෙකුට සතුටු නොවන්නේ නම්, එය එතරම් අහේතුක ද නොවේ. නවකතාව ට උක්ත යුගය අනුව, එම සිදුවීම භාවිතාකිරීම නුසුදුසු යැයි කිව නොහැක. එහෙත් පිටු පසු කවරයේ කියවෙන පරිදි,

"මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද, නීතිය ද, නිෂ්ක්‍රාන්තියට පත්වන්නට ඉඩ දිය නොහැකි ය",

යන්න නවකතාව ට පසුව පැමිණි සටන් පාඨයක් මෙනි; පසුකල්පනාවක් මෙනි; නවාකතාවේ අවසන ලියාගෙන එද්දී අප රටේ සිදු වූ එම අවාසනාවන්ත සිද්ධිය, මුළු පොත ගැන සාරාංශ වාක්‍යයක් ලෙස ඉදිරිපත් කරලීම පිළිබඳ, එතරම් පැහැදීමක් මා තුල් ඇති නොවිණි. එය නවකතාවේ පරිපූර්ණත්වයට යම් පළුද්දක් ඇති කරයි.  මාධයවේදීන් සහ නිදහස් මිනිසුන් හට දේශපාලන හස්ථයන් මගින් සිදු වූ අඩත්තේට්ටම් දීර්ඝ ලෙස නවකතාවට එක්කොට තබා, අවසන් මොහොතේ දරුණු ආගමික අන්තවාදී සිදුවීමක කම්පනය හේතුවෙන්, නවාකතාවේ ගලායෑම ට වැරෙන් පහරක් එල්ල වූ ලෙසය මට හැගුණේ. සමහර දෙබස් වලින් පවා, ජන කොට්ඨාශයක් ඒකාකෘතිකරණයකට ලක්වන්නේ දො යි සැක සිතේ.

"ඒගොල්ලො මං මුළාවෙලා වුණාට අපි එහෙම වෙන්න හොඳ නැහැ. එතකොට ඒගොල්ලන්ගෙයි අපෙයි වෙනසක් නෑ" ( 341 පිටුව )

නවාකතාවේ චරිතයක දෙබසක් ලෙස මෙය සාධාරණ යැයි අයෙකු ට විග්‍රහ කල හැකි වුවත්, කතුවරිය පවා යම් කම්පනයක් තුල හිඳිමින් ම නවකතාව අවසන් කලාදෝ කියා සිතුණි. මෙම අසහනකාරී කාලයේ මෙවන් අදහස් මතුවීම  අස්වාභාවික නොවැතැයි, කෙනෙකුට කිව හැක. එහෙත් මෙම සිද්ධිය වඩා සවිස්තර ලෙස නවකතාව තුලට ගෙනැවිත් නැති විටෙක, එය නවකතාව සමාප්තයට පමණක් භාවිත වන හෙයින්, ඉන් නවකතාවට එතරම් සේවයක් නොවේ. කිමද, එකොලොස් වැනි පරිච්ඡේදය වන තෙක් ම තුබූ සිදුවීම් බහුල නිසා, ස්වභාවික සමාප්තියකට ඕනැ තරම් මෙහි අවකාශ තිබුණි. ඇරත්, උක්ත ආගමික අන්තවාදය, අන් දවසක වඩා සවිස්තර රචනයකට මාතෘකාවකට හසු කරගැනීමට තරම්  හැකියාවක් කතුවරිය සතු බව අප සියළු දෙන දනිති.

ඒ සියළු සිද්ධීන් මධ්‍යයේ වුව, සමස්ත වශයෙන් මා බොහෝ රස විඳි නවකතාවකි. අවසන් පිටු දහයේ හදිසිය සමස්ත නවකතාවේ රසාස්වාදයට කෙරෙන හානිය නොසැලකිය හැකි තරම් යැයි අයෙක් පැවසුවහොත්, මා ඊට ද විරුද්ධ නොවනු ඇත. මෙම කෘතියට ලැබුණු සම්මාන සහ නිර්දේශ සාධාරණ බව හැඟේ.

****
2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 8
සරසවි ප්‍රකාශනයකි






Sunday 18 October 2020

පිටගම්කාරයෝ ( විසිතුන් වෙනි කොටස නැරඹීමෙන් පසු )

පිටගංකාරයෝ හි 23 වෙනි කොටසේ පහත දෙබස, සහ සයිමොං (ජැක්සන් ඇන්තනි), එය ඉදිරිපත් කල අපූරුව හේතුවෙන්, මා එම කොටස් දෙතුන් වතාවක් නැරඹුවා...


සයිමොං:  "ඔය කරෝලිස් උන්නැහෙගේ කෙල්ලගෙයි උඹගෙයි සම්බන්ධය නවත්ත බැරි එකක්ද?"

'ඔව්' කීමට කටට ආවද ජයසේන එම වචනය ගිළිගනියි. තාත්තාද මද වෙලාවල් නිහඬව සිටියි.

(මේ කොටස පොතෙන් උපුට ගත්තෙමි. ටෙලි නාට්‍යයේ නැති මේ කොටස පොතක වටිනාකම පෙන්වන්නා සේය. නුමුදු මේ දෙබසේ ජැක්සන් ගේ රඟපෑම, පොත තුලින් රසවිඳිය නොහැකි බව ද ඇත්තකි)

සයිමොං:
"උඹට අවවාද දෙන්න මට බැහැ.
උඹ මට වඩා ලෝකේ ගැන කාරණා දන්නවා ඇති දැන්.
ඒත් මේ කාරණාවට අම්මා හොඳටම විරුද්ධයි.
උඹව මේ තත්ත්වයට ගේන්න දුක් වින්දේ අම්ම.
මම නෙමෙයි.
ඒ හින්ද අම්මාගේ සතුට අසතුට ගැන උඹ හිතන්න ඕන.
හෙට අනිද්ද උඹ රස්සාවක් කරන්න පටන් ගත්තහම උඹට හරිය කියල හිතෙන දෙයක් කරන්න නිදහස තියෙනව.
ඒ හින්ද උඹට මේ කටයුත්ත කරගන්න බාධාවක් නැහැ.
හැබැයි ඒ දේ සිද්ධවුණොත් උඹලැයි අම්ම ජීවත් වෙන එකක් නැහැ.
උන්දැගේ හැටි වෙන කාටත් වැඩිය හොඳින් මං දන්නව.
කිව්වොත් කිව්වම තමයි.
ඒ හින්දා හොඳින් කල්පනා කරල දෙකින් එකක් තෝරගනිං.."

ඉතා සංසුන් ස්වරයකින් කතාකළ සයිමොං දෙවැට දිගේ යන්නට යයි. 

පොතේ, අදාළ කොටසේ ඇති මෙම අවසන් වැකියෙන්,  ජැක්සන් ගේ රඟපෑමට යුතුකමක් කරන්නේ නැති බවය මගේ අදහස. කිම ද ජැක්සන් එම දෙබස තම මුළු මුහුණෙන් පමණක් නොව ශරීර ස්වරූපයෙන් ම කියන හෙයිනි...


ප්‍රතිතර්කය: අම්මා කැපකිරීමක් කල නිසා, පුතාගෙන් ද කැපකිරීමක් බලාපොරොත්තු වීම. ඒ අම්මා දුටු සිහිනය දැකීමට ය. මා සිතනුයේ එම යුගයන් දෙකෙහි වෙනස ඇත්තේ මෙතැනය. අද පරම්පරාවේ දෙමව්පියන්, සාපේක්ෂව, තම දරුවන් වෙනුවෙන් කැප වුවත්, RoI බලාපොරොත්තු වනවා අඩුය. මට මතකයට නැගෙන්නේ ඥාණවිපුල මුණසිංහ ගේ "මතකවස්ත්‍ර" නවකතාවයි. එහි පියා බෙහෙත් නොගෙන තම පුතුට අසාධාරණ ලෙස බලපෑම් කරයි. එම පුතා හෝ, මෙම පුතා හෝ, අන් දියණියක තම සබඳතා සාර්ථක අසාර්ථක කරගැනීම අනෙකකි - එහෙත් ඔවුන්ගේ තීරණ කෙරෙහි කරන බලපෑම බලවත් අසාධාරණයක් බවට විශ්වාස කරමි.

Thursday 15 October 2020

දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක් - සමන් වික්‍රමාරච්චි

 ලේඛකයා 2019 ලියා ප්‍රකාශ කල, ඔහු ගේ දෙවෙනි කෙටි කතා සංග්‍රහය කියවූවෙමි. ඔහුගේ ප්‍රියතම විෂයක් යැයි සිතිය හැකි මනෝ විද්‍යාව, සහ පුද්ගල මනෝභාවයන් පාදමක් ලෙස ගෙන බිහි වූ කෙටි කතා හතකින් පෝෂිතය. අයෙකු ට, මෙය "අප්පච්චි ඇවිත්" තරමට පෝෂණය නොවූ, කීට අවස්තාවේ නතර වූ රචනා හතකින් සපිරි බව සිතුනහොත්,  පුදුමයට පත් නොවෙමි. ඇත්තෙන් ම පියෙකුගේ සංඥ්ඥාව, ‍රෝගියෙක් වෙත පියෙකුගේ ආගමනයක් ලෙස පෙනීම, මෙහි ද එක් කෙටි කතාවක හමුවන්නේ ( පිවිතුරු උරුමය), අප්පච්චි ඇවිත් මතකයට නගමිනි. ස්ත්‍රී ලක්ෂණයන් දිහා පහත් අයුරින් බැලීමේ  ස්වභාවය කතාවට මුල් වූ ප්‍රමුඛ කාරණාවකි - මෙහි වඩා පරිපූර්ණ නිර්මාණයකට සාධක ඇති බවට හැඟෙයි. එහෙත්, වික්‍රමාරච්චි ගේ රචනා පිළිබඳ ඇති සැකයක් නම්, තම නිර්මාණ පරිපූර්ණ බවට පරිවර්තනය වීමට, පරිණත වීමට ඉඩ දෙන්නේ දයි යන්නයි.  

මෙම සංග්‍රහයේ මා වඩාත් රස විඳි කෙටිකතාව හඹායෑමයි. මෙහි එන සමහර කෙටි කතා වලට වඩා තරමක පරිපූර්ණ බවක් එහි දැක ගත හැකිය.  ලුහුබඳිනා මරණය පිළිබඳ බිය පාඨකයාට ඒත්තු ගැන්වීමට කතුවරයා, එහි දී සමත් වී ඇත. 

ඔහුගේ ආඛ්‍යාන රටාව, විෂය ආදියට කැමති කියවන්නියකට මෙහි රස විඳිය හැකි නිර්මාණ හමු වෙනු නියතය. එනම් ගුප්ත බව, අපට නොපෙනෙන කෙනෙකුගේ මනෝභාවයන් හි ව්‍යාකූලතාවන් පමණක් නොව, ශිෂ්ඨබව යනු කුමක්දැයි ප්‍රශ්ණ කෙරෙනාකාරයේ නිර්මාණ ද මෙහි හමු වේ ( කෝම්බි ). එහෙත්, කෙටි කතාව යන කලා කෘතියේ පරිපූර්ණත්වය විඳින කියවන්නියකට, වික්‍රමාරච්චිගේ සරල භාෂා ව්‍යවහාරය, තරමක හදිසියක් ඉඟිකරනා ආඛ්‍යායන රටාව, "එකම ආම්පාන්න භාවිත කොට ටිකක් වෙනස් නිර්මාණ තැනීමේ" ආර පවා ගෝචර නොවීමට ඉඩ ඇත. මට පෞද්ගලිකව, කෙටිකතා කිහිපයක් ආකර්ශනීය වුවද, කතුවරයා ට මෙම නිර්මාණ  මීට වඩා පරිණත, පරිපූර්ණතවයකට පෝෂණය වන තුරු ගොඩ නැගීමට තිබූනේයැයි සිතුණි. දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක් හි ආකෘති හරඹයේ ආකර්ශනය හැරුණුකොට, විශාල කම්පනයක් ගෙන ආවේ නැත. කෙසේ වුව, ත්‍රාසජනක අත්දැකීමකින් පසුව,

"ඇයි මහත්තයා මොකද වුණේ? කාර් එක ගෙනිච්චා නේද?", 

 යන වදන් වලින්, වැඩි විස්තර නැතුව ( එක් අදියරක්) අවසන් කිරීමේ ආකර්ශනයක් ඇත.

මුව දඩයම කෙටිකතාවේ ආකර්ශනය වනුයේ, දඩයක්කාරයා ගේ පරාජිත මානසිකත්වය, තම ගොදුරේ ඔච්චම්කිරීමක් මගින් ඉඟි කිරීම යැයි සිතමි.

කතුවරයාගේ හදිසිය පිළිඹිබු වන අවස්ථාවක් ලෙස සුපීන කෙටිකතාව දැක්විය හැකිය. එහි පාර්ශව දෙකේ දෙබස් විටෙක එක පෙළට තැබීමෙන්, එහි පරිපූර්ණත්වයට හානි සිදුවන්නේ යැයි සිතමි. නාන කාමරේ කෙටි කතාවේ ද, සාර්ථක නිර්මාණයක බීජ අවස්ථාවක් දකිය හැකි මුත්, එහි අවසන යම් හදිසියකින් වූවා සේ  පාඨකයාට හැඟී යයි.

සමස්ත ලෙස මට හැඟෙනුයේ, කතුවරයා ඔහු කැමති ම විෂය හා බැඳි  සමහර ව්‍යාකූලතා  ලක්ෂණ, සහ  ආකෘති ( model යන අදහසින් ) පිළිඹිබුවට තම ප්‍රබන්ධ නිර්මාණ භාවිතා කරන බවකි. ඇත්තෙන්ම, සමහර පාර්ශව මෙම විවේචනය ඔහුගේ සම්මානනීය "අප්පච්චි ඇවිත්" කෘතියට ද යොමු කලේ ය. විෂයක් වශයෙන් සිංහල සාහිත්‍යයට එහි යම් නව්‍යතාවක් ගෙන ඒම හේතුවෙන්, එහි යම් ධනාත්මක ප්‍රවණතාවක් එහි ඇති බව, මම එතැනදි පිළිගතිමි. එහෙත් ඔහු තව දුරටත්, එම විෂය ම මූලික කොට නිර්මාණකරනයේ යෙදෙන්නේ නම්, තම නිර්මාණ වල කලාත්මකභාවය පිළිබඳ පාඨක අපේක්ෂාවන් වටහා ගත යුතු බව සිතමි.

***
2019 ප්‍රකාශ වු කෙටිකතා සංග්‍රහයන් කියවීම - 11
සරසවි ප්‍රකාශනයක්

Wednesday 14 October 2020

අප දෙදෙන මැද මහ මුහුද - ඉසුරු චාමර සෝමවීර

ඉසුරු ගේ "ගැහැණු පිරිමි මල් පලතුරු" කියවීමෙන් පසු, ඔහු ලියූ කෘති කියවීමේ දොළක් ඉපිද, තවමත් විකිණීමට ඇති කවි පොතක් ලෙස මෙය නෙත ගැටී, මිල දී ගෙන කියවූවෙමි. ඉතා පැහැදිලිව මෑතක කියවූ, මා මහත් රස විඳි කවිපොතකි. 

මෑතක මා 2019 ප්‍රකාශ වූ කවි පොත් සමඟ කල් ගෙව්වෙමි - වරෙක පීඩා වින්දෙමි. ඒ එක්කෝ සම්මානනිය වුව, මොන කවියක්දෝ යයි සිතෙන රළු, නීරස  "ක්වොන්ටම් භෞතික සංඛාරා", හෝ බොහෝ දේ සිතීමට ඉතුරු කල ද තරමක ආකෘතීක ඒකාකාරි බවක් පළ කරන "ඉම තව දුරය", හෝ ගැටපද විවරණයක් ද ඇවැසියයි සිතෙන තරමක කඨෝර බහුශ්‍රැතබවක් නිසා පාඨකයා වෙහෙසන "හම්බාවා" නිසාය ( තරමක් හෝ අපහසුතාවකින් තොරව රස වින්දේ, "මොන තරම් අවුලක් ද?" ය). ඊට හා පුරා වෙනස්, පාඨකයා වෙහෙසට පත් නොකෙරෙන,  මනරම් සුමට බසක් භාවිත කෙරුන,  කවි සිතුවිලි අතින් පොහොසත් "අප දෙදෙන මැද මහ මුහුද" රස වින්දෙමි. 2019 කවි පොත් වලින් පොඩි විරාමයක් සොරාගෙන මෙය කියෙවුවෙමි.  ඇත්තෙන් ම එය කාව්‍යමය විරාමයක් තරමට රසවත් විය. ඒ කෙසේද යත් ;

"...
දන් දෙන්න යන ගමනක් මේ
දන්නේ නැති වයසක මිනිහෙක්ට
දිරාගෙන යන මගේ ඇඟ

හැළි වළං හෝදන්න
තුන් වේල බත් තම්බන්න
ගේ එළිපෙහෙළි කරගෙන
කියන විදිහට ඉන්න
හිත හදං යන ගමනක් මේ
..."
("හතලිස් වියැති මනාලිය"- 67 පිටුව  ) 


බටහිර රට වලින් අද වන අප රට ට ලබා ගත හැකි හොඳම සංස්කෘතික ලක්ෂණයක් නම් කාන්තාවගේ නිදහසයි. එනම් කාන්තාවකට විවාහය තම පවුල් මගින් බල කර සිටින පීඩනයයි. ඇත්තෙන්ම, අඩු තරමින් කොළඹ ආශ්‍රිතව හෝ, මෙම ප්‍රවණතාව දකිය හැක. එහෙත් රටේ බහුතරයක් කාන්තාවන් තවමත් මේ "දන්දීමට" ලක් වේ. අප කවියා හතලිස් වයැසිති මනාලියක් සිතනායුරෙන්, පෝරුවේ "බොරු හිනා පෑම" අවඥ්ඥා සහගත ලෙස බැහැර කරයි.

"රජ මහ වෙහෙර
බෝධිය රකින
නා රජ වරුණ
පතලය සැමත

...

රජ මහ වෙහෙර
පොත් ගුල වසන 
අපමණ නයිය
පෙන ගොබ නගන"
              ( "නයි" - 62 පිටුව)
අප රට ධර්මය කෙරෙහි ඇති ඇල්ම අඩු වීමට ප්‍රධානතම හේතුව අවිචාර ලෙස සියළු ධර්ම කරුණු දොහොත් මුදුනේ තබා පිළිගැනීමට කෙරෙන බල කිරිල්ලයි. සමහර ධර්ම ආචාර්‍ය වරු අටුවා පිළිගන්නේ නැති නම්, ධර්ම සාකච්ඡාවට සහභාගි නොවෙති. නයි නම් කවි පංතිය මගින් මෙ ධර්මය තුලම තිබෙන  නාග පිළිකාමය ස්වරූපය, පොත් ගුල් තුල වෙසෙනාකාරය පෙන්වා දෙයි.

මේ අන්ධභක්තිය රැගෙනෙන බලකිරිල්ල, ඔක්කාරයක් ආකාරයෙන් මතුවිය හැකි අයුරු කවියකට නතු කරන අයුරු "පිච්ච" නම් කවියෙන් පෙන්වා දෙයි.
 

"මංජරි,
අපට නොගොහින් ඉන්නයි තිබුණෙ
ගියදා ඉඳන් ඒකට
පිච්ච මල් ගඳයි මට
ඉස්සර වගේ නෙමේ
වහනවා මං ජනෙල් දොරවල් තදට
පිච්ච මල් සුවඳට"
              (13 පිටුව )
එහෙත් ඉසුරුගේ කවිය ලාභෙට රැඩිකල් ලෙස ධර්මයට විරුද්ධයැයි නොසිතිය යුතු. "ඇතුරුදන් කළ මිනිසෙක්", "නාහිමි ගිලානව" ආදි අපූරු කවි පංති මගින්, ඔහු අප රටේ ධර්මයේ රෝගි බවත්, ඒ පිළිබඳ ඇති සොවත් පළ කරයි.


"හැඬීමට අවසර නැත මට
ඔබේ සැමියා ගෙන එන
නෙස්කැෆේ තිත්තය
ඔබ දෙතොල පෙර මෙන්
මුදු නැත
කළුය වියලිය
මල්වඩම් වගුරන
සුවඳ අපුලය"
                 ("මළගෙදර", 52 පිටුව )

කවියේ මෙම පදපෙළ මූල කතාව පැහැදිලි කරන හෙයින්, එහි ඇති වේදනාව කවියා කෙතෙරම් හොඳින් ප්‍රකාශ කරලීමට සමත්දැයි පැහදිලිය.

පෙමක් ගැන පවසන කල "උඹ" නම් ආමන්ත්‍රණය මගින් එය කවර පාර්ශව දෙකක් අතර පෙමක් ද යන්න ගැන ඉඟිකරන්නේ දැයි සිතමි. මුල් කාලයේ පෙමකට කල ඇරයුමකට ලැබූ අයහපත් ප්‍රතිචාර, පසුකාලීනව හොල්මන් කිරිමක් ගැනය මේ කව් පංතිය.
"ළා ළපටි රෝස පැහැ ළා දල්ල
ඇල්ලුවේ ඉවසලා ඉවසලා
බැරිම වුණු තැන තමයි
පෙති දෙපෙති එකතු වී
ගුලි වෙවී ඇකිලෙද්දි
උඹ නෙමේ හුඟක් ඇඬුවේ මමයි
කන් පෙතිත් රතු වුණ නම් තමයි"
                       ("නිදිකුම්බා", 15 පිටුව )

මීට අමතරව, "ජින්නෝ"," අලුත් ලේකම්වරියට", "තාත්තට පඩි දාට", "අත්තම්මා", "අකුරට වැඩ", "උස සුදු කොල්ලෙකුට",  "සුදු අක්කේ", "අංග රචනා" සහ "වදන් නැති කවි" ආදි තව බොහෝ කවි පංති මා මහත් රස වින්දෙමි.

සිංහල කවියට කැමති රසිකයෙකු කියවිය යුතුම සංග්‍රහයක් ලෙස නම් කරලීමට මැළි නොවෙමි.

 *****
ප්‍රකාශනය - සම (2016)





හම්බාවා - එරික් ඉලයප්ආරච්චි

 එරික් ගේ කවිය කියවීමේ යතුර ඔහු ටී. ඇස්. එලියට් ගෙ  The Wasteland වෙනුවෙන් ලියූ දීර්ඝ විවරණය ඔස්සේ ලැබුවෙ යැයි සිතුවෙමි. ඇත්තෙන්ම "දස බිම්බරා" මහත් රස විඳීමට එය හේතු වූවා විය යුතුය. එහෙත් එරික් තම මිම්ම තවත් ඉහළ නංවා ඇති සේය. එරික් ගේ කවිය තව දුරටත් සාමාන්‍ය පාඨකයාගෙන් දුරස්ව ඇත.ෙහි මනෝමූල බව වැඩිව ඇත. වරෙක එය බහුශ්‍රැතය; තවත් වරෙක ඔහු හා කරනුයේ ඈත ඇති සංස්කෘතීන් දෙකකි ( ස්කොන්ක් - squonk  සහ ගජමන් නෝනා ; Alan Ginsberg ගේ howl කාව්‍ය සහ අනුරාධපුරයේ පරණ බඩු මිලදී ගන්නා ලොරි රථය ); සතුන් අලලා ම කවි  11 කි ( ඉන් සමහරක් අපිට දුරස්‍ය ; සමහරක්වා රසවත් ය) ; බොහෝ කවි වලට උත්තේජනය වී ඇත්තේ අන් සාහිත නිර්මාණයකි ( Shape of Water; Sixteen Dead men - W.B. Yeats ; Mayakovsky ගේ how I became a dog ). ඉතින් මේ බොහෝ කවි අපට දුරස් ය. ඒ අපේ සීමිත කියවුම් පරාසයෙන් ඔබ්බේ තිබෙන නිසාය. අතරින් පතර සමහර කවියක් යෝජනා කරනා අදහස් වල තරමක් විකාර රූපිබවක් නැත්තේ නොවේ - විටෙක ඔහු තමන්ව පාලනයක් නොකරන්නේද යන්න ද සිතට නැගේ. අමරකීර්ති, ඔහුගේ "නව කවි සලකුණ" මගින්, එරික් නම් ප්‍රතිභාපූර්ණ කවියා සාමාන්‍ය පාඨකයාගෙන් වේගයෙන් දුරස් වන බවක් පැවසීය. මේ කෘතියත් සමඟ එම කාරණාව වඩා පැහැදිලි වන බවකි, මට නම් හැඟෙනුයේ.

එහෙත්  මම මේ කවි පොත වැර වෑයමෙන් කියවුවෙමි ( හෝ එසේ කලා යැයි සිතමි ). එහි බොහෝ මූල කතා මතුපිටින් හෝ සොයා බැලුවේය. එහෙත්, අනිවාර්‍යයෙන් කවියෙන් ලැබිය හැකි පූර්ණ රසය ලැබුවෙදයි සැක සහිතය. එනුමුදු සමහර ආභාෂයන් ගැන කියවා, අදාළ කවි පංති කියවද්දී, ඇත්තෙන්ම එම ආභාෂයන් කියවීමට යොදන කාලය අපතේ යාමක්දෝ කියා නොසිතුනා නොවේ. නිදසුනක් ලෙස squonk සහ ගජමන් නෝනා -  මේ දෙක ඈඳීම එක්කෝ මතුපිට තලයකය ; නැතිනම් මට ගෝචර වී නැත ("හසු වී නැත" ). 







"සඳ එළියේ නුඹ සිටිතත් පෙනෙන ලෙස
අතලූ සැණින් උණු කඳුළකි මැලවී යන
ගජමන් නමින් සිටි කිවිඳිය නුඹට සම
නොපැවති පැවති මන සතෙකිය නුදුටු ඇස"

                               ( "කඳුළු බොන්නා", 71 පිටුව )

අප සංස්කෘතිය හා විදෙස් සංස්කෘතීක කාරණාවක් යා කෙරෙන්නට තැත් කල තවත් අවස්තාවකි, "ඉසින්බැස්සගල" කවි පංතිය. එහි, අරහත් මිහිඳු හිමියන් ලැඟුම් ගත් තැනක් ලෙස සැලකෙන මැදවච්චියේ ඉසින්බැස්සගල, සිසිෆස් ගේ සදාතනික දණ්ඩනය එලියට් කාව්‍යයට නැගීම හා එක්කොට නිර්මාණය කෙරී ඇත. එහෙත් මෙහි දී ද එම බැඳීම, සුළු යැයි මට හැඟේ ( පෙර කීවාක් මෙන්, එය මගේ කියවීමේ දොසක් විය හැක )

"පුළුල් පියගැට නඟින්නෙමි මම
හිසින් නොබසින හිසට උසුලා
ගැනුම් නොකළකි විසල් ගල ගෙන
අනූනව පෙර රහත් හැඟුමෙන්"

                                            ( 42 පිටුව )


එහෙත් තැනින් තැන  ඍජුව රසවිඳිය හැකි ආරේ කවි පංති ද වෙත්. නාගොල්ලේගොඩ බෙනඩික් කවියා ගැන ඔහු ලියා ඇහි කවි පංතිය එවැන්නකි; එය  මා රස වින්දෙමි. උත්ප්‍රාසය නම් ඔහු මෙම කවි පංතියේ නගන කාරණාවක්, ඔහුට විරුද්ධව ම අයෙකුට නැගිය හැකි වීමයි.

"හද බස කවිය නම්
මස්තිෂ්ක දෙවෙනි වේ,
පළමුවෙන් හද මඩල
කුණු මොළය ඉන් පසුව"

                        ( "ගුළි කළ කවිය", 27 පිටුව )

 

එරික් ගේ සුපුරුදු කොළොම්පුර වැනුම් සපිරි කවි ද ඇත. ඒව ද රසවත්ය.

"පාළමේ කඩ පෙළකි
වෙළඳාම පහළ ගිය,
බාල රෙදිපිළි රබර්
සීල් වෙසඟන උලන
සබන් පුයර ද සමඟ
එහි තිබේ අඩු මිලට
මහලු ටේලර් කෙනෙකි
එතැන ජාතික ඇඳුම්
සරොම් සල්වර් මසන"
               ("මරදාන ගුවන් පාලම", 41-42 පිටු )

 

ඉතින් මෙම කවි පොත සෑම කවි රසිකාවියකට ම ගෝචර සංග්‍රහයක් යැයි නොසිතමි. විටෙක, ඉහත පෙන්වා දුන් පරිදි, කවියා ගේ සංස්කෘතික කලා ගැලපුම් දුරස්ත බවත්, කවියාට බොහෝ මනෝමූල බවත් හැඟේ. එම මනෝමූල කාරණාව, පාඨකයකු, එය වටහා ගන්නට යොදන වෑයමට කෙතෙරම් වටිනා ප්‍රතිඵල ගනෙන්න්නේ ද යන්න ගැන මට එතරම් පැහැදිලි ඇගයීමක් නැත. ඔහු ගේ අනාගත කවි ගන්නා මාර්ගය පිළිබඳ විමසීමෙන් පසුවෙමි.

***
2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීම - 4
ගොඩගේ ප්‍රකාශනයකි.


 


Tuesday 13 October 2020

වසරේ හොඳම කෙටිකතාව - අසංක සායක්කාර

 වර්තමාන සමාජයේ  සිදුවීම් ඉසවු පහක් ( පිටරට වෙසෙන ලාංකික පවුල් ; මාධ්‍ය සදාචාරය; අධ්‍යාපන මට්ටම හා ආර්ථික සාර්ථකත්වය; සාහිත්‍ය සම්මාන තරඟය සහ නිදහස් ගැහනියකගේ ලිංගිකත්වයේ සීමා ) ඔස්සෙත්, මනෝවිද්‍යාවට ආනත එක් කෙටිකතාවකිනුත් මෙම සංග්‍රහය සපිරිය.එම කෙටිකතා ගැන ලඝු හැඳින්වීම් මෙසේය;

පළමු කෙටිකතාව ට "හදවතින් ම ශ්‍රී ලාංකිකයි" යන නම දැම්මේ, මෙහි එන පුරුෂයා අන් රටක සිට මෙරට වාම වාදී දේශපාලනයේ යෙදීමත්, ගොසිප් සෙවීමත්, ඔහුගේ නෑනන්ඩිය බිරිඳගෙන් මුදල් ඉල්ලීමට භාවිත කරන කොන්දේසියත් , බිරිඳගේ ප්‍රතිචාරයත් නිසා යැයි සිතමි.

"දන්නේ නැද්ද අපේ අක්කලගේ කටවල්. අවුරුදු 5ක් ලන්ඩන් ඉඳිලත් හදිසියකට ගන්න ලක්ෂයක් නැද්ද කියලා අහනවා. එහෙම අහනකොට මටම ලැජ්ජයි."

අක්කා ට මෙසේ ඇසීමට තරම් කටක් ඇරීමත්, නංගීට ලැජ්ජා සිතීමත් නම්, සැබවින් ම නූතන ශ්‍රී ලාංකික ලක්ෂණයන් ය.

ඇරත් මෙහි එන පුරුෂයා වසර පහකින් පසුව ද "සිහින දකින්න" හැක්කේ ලංකාවේ කාන්තාන්වක් පිළිබඳ පමණි.

එසේ නැතහොත්  දවස පුරා එම දෙපළ උනුන් නොදැක වැඩ කිරීම කොයි රටෙන් ගියත් සිදු වන්නකි. එම රටාව ය කෙටි කතාවේ මූලික පාදම. රස විඳි කෙටි කතාවකි.

මුළු නිර්මාණයම දෙබස් වලින් නිර්මිත "නයන ලලන", අක්ෂි රෝගියෙකු යැයි සිතා සිටින්නෙකු සහ වෛද්‍යවරයකු අතර දිගු දුර යන කතාවක්. අවසන වෛද්‍යවරයා සහ රෝගියා අතර වෙනසක් ඉතුරු වන්නේ ද?

මුල් පිටුවේ ඇස් ඇද ගන්නා සුළු ඡායාරූප,  පුවත් මැවීම් හරහා තමන් ට ලැබෙන මිල මුදලෙ ඉහළ අගය මැනෙන මාධ්‍ය සංස්කෘතියක් ගැන කියවෙන කෙටි කතාවකි, "බ්‍රේකිං නිව්ස්". තරමක් වෑයමකින් නැගූ බවක් පාඨකයාට හැඟෙන හෙයින් නිර්මාණයේ සාර්ථකත්වය විවාදිතය.

තව දුරටත් අධ්‍යාපන මට්ටම සහ ආර්ථික මට්ටම අතර බැඳීම සහතික නැත. වෙසෙසින් ජීවිතයේ ආරම්භක අවධියේදී මෙය වඩාත් තීව්‍ර්‍රය. හෝටල් ක්ෂේත්‍රයේ, සංචාරක ක්ෂේත්‍රයේ අප මිතුරන් වුව, අවුරුදු 26-27 වන විට ආර්ථික අතින් අපිට වඩා ඉදිරියෙන් සිටියෝය. මා සිතනුයේ ඔවුන් ඒ අවධියේ ඉගෙනීම නැවතීම, ඔවුන් ජීවිතයේ ආර්ථික උච්චස්තානයකට ඉක්මනින් පැමිණීම,  හා එතැන් පටන් ගමන තරමක් එක මට්ටමක පවත්වාගෙන යාම  හා බැඳී පවතී න බවකි - මෙය සාමාන්‍යකරණය කල නොහැකි බව සත්‍යයකි. අධ්‍යාපනයට වඩා ඔවුන් තම කුසලතා වර්ධනය එතැනින් නැවතීම ප්‍රධාන හේතුව විය හැක. සාමාන්‍ය අධ්‍යාපානයකින් දිවිය ගොඩ නගා ගැනීමට යත්න දරන්නෝ දීර්ඝ කාලීන සාර්ථකත්වය උදෙසා බොහෝ කලක් තම ශිල්පීය දැනුම වර්ධනය කරන්නෝය - බොහෝ අය හතලිහ- හතලිස් පහේ දී ද අලුත් දේ උගෙනිති. විදෙස් රටවල මෙය වඩා ප්‍රචලිතය. අලුත් පරිඝනක භාෂා නිපුනත්වය ලබන පනස්-හැට වයස් ඇත්තෝ වෙති. මා මේ දීර්ඝ විස්තරය කියා පෑවේ, "ලැජ්ජ හිතෙන කතාවක" හමුවෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහවරව තම වෘතීය ජීවිතය අරඹන්නෙකු හා, හරි උගත් කමකින් තොරව බාල වයසකින් පිට රට රැකියාවකට ගොස් පැමිණෙන්නකු  අතර කෙරෙන, ගැලපීම ට පෙරවදනක් ලෙසය. උක්කුං හෙවත් ලාල්, පාසලේ කල හැකි සියළු "වල් වැඩ" වල නිරත වූවෙකි - ජීවිතයේ විඳින්නෙකි. කතුවරයාමෙයට ලැජ්ජ හිතෙන කතාවක් යැයි නම් කල ද, එහි එතරම් ලැජ්ජාවට කාරණාවක් නැති බවකි, මගේ නම් අදහස.

සම්මානය පොරය ලේඛකයකුට බලපාන අයුරු අපූරුවට කියාපාන කෙටිකතාවකි, "වසරේ හොඳම කෙටිකතාව". සම්මාන ලේඛකයින් ට බලාපොරොත්තු දෙයි; ඔවුන් ව තරුවක් වීමට ආසන්න ස්ථානයකට ඔසවා තබයි. මෙම තත්වය හොඳින් විමසෙන කෙටිකතාවකි, වසරේ හොඳම කෙටිකතාව. විසෙසින් විචාර භූමිකාව ගැන මෙහි දිගැරෙන කොටස රසවත් ය. ප්‍රථම කෙටි කතාවට අමතරව, මෙහි මා වඩාත් රසවිඳි කෙටිකතාව, මෙයයි.

රූමත් තරුණ වැන්දඹුවකගේ අඟර දඟර පෑම්, සහ "සීමාසහිත" ඉඩදීම ගැනත්, "රතු ඉර පැනීම" එම ඉඩ නැතිකරගැනීමට හේතුවන් අයුරුත් පෙන්වන කෙටිකතාවකි, "තං අක්කා".

 කතුවරයා වෙසෙස් ප්‍රයත්නයක් දරා ඇත්තේ ඉහත ඉසවු මත්තෙහි ඇති උත්ප්‍රාසය මතු කරලීමටය. "වසරේ හොඳම කෙටිකතාව" සහ "හදවතින්ම ශ්‍රී ලාංකිකයි" යන අවස්ථා වලදී, ඔහු අතිසාර්ථක වී ඇතැයි සිතමි. එම කෙටි කතා දෙක නිසා හෝ මෙම නිර්මාණය කියවීම වටින බවකි, මගේ අදහස.   ඔහු ගේ අරමුණ යැයි සිතිය හැකි - එනම් සමාජයේ ඇති රෝගි බව - පෙන්වීමට යත්න දරණ සමහර උත්සාහයන් එතරම් රස නොවින්දේ එහි ස්වභාවික බව අඩු නිසා දෝ යැයි සිතේ ( නිදසුන් - බ්‍රේකිං නිව්ස් )

මෙම කෘතිය හොඳම කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් පිරිනැමෙන ගොඩගේ සම්මානය වෙනුන්වෙන් නිර්දේශ විය.

***1/2
2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන්  කියවීම - 10
අහස පොතක්



Saturday 10 October 2020

දං පඳුරට ආ රැහැයියා - අමාලි අනූපමා මල්ලවආරච්චි

 මෙම කෘතිය 2019 වසරේ ගොඩගේ අත්පිටපත් තරඟයේ,  විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ලෙස තේරී පත් විය. මෙය මා කියවීමට පටන් ගන්නේ ම, 2019 ප්‍රකාශ වූ තවත් කෙටි සංග්‍රහයන් අටක් කියවා ඇවෑමෙන් ද, ඒ අතරතුර ඉතා සාර්ථක සංග්‍රහයන් කිහිපයක් ම රස විඳීමෙන් ද අනතුරුවය. 

මෙහි එන පළමු කෙටිකතාව "භින්න" නමි. නමෙන් ඇගවෙන්නාක් මෙන්ම භින්නෝන්මාදය මුල් වූ අපූරු ගෙත්තමක් ලේඛිකාව මවනුයේ පාඨකයා ව අතරමං කරනාකාරයේ ප්‍රයෝග භාවිතාවෙනි. වරෙක, කුමක් සත්‍යයක් ද, කුමක් මානසික අපගමනයක් ද යන්න අතරමං වාන් තරම් කතුවරිය ප්‍රයෝගකාරීය. 2019 වසරේ කෙටිකතා අතරේ කියවාපු අපූරුම නිර්මාණයකි.

මෙහි එන දෙවෙනි කෙටි කතාව, තරමක් විකාර රූපී ආඛ්‍යායනයක් මත උපහාසයක් ගම්‍ය කරවන්නකි.  "ඤාව්වාගේ කතාව" නම් වූ එය ව්‍යාජ-කවිකම, සියල්ලන්ටම පොදු යැයි බල කෙරෙන ආචාරධාර්මික පදනම් සහ කුහකකම, මේ නිර්මාණය තුලට ඔබ්බවා තිබෙන අයුරු අපූරුය.

මනෝවිද්‍යාව, අප කතුවරියගේ ප්‍රියතම මාතෘකාවක් සේ ය. පළමු කෙටි කතාව මෙන්ම, තෙවැන්න වන "ස්මරණ" ද,  ඊට ආසන්න මාතාවකි. මෙහි, බිරිඳකගේ ප්‍රේමය සහ බලාපොරොත්තුව යන කාරණා ඉස්මතුවීම මගින්,  අවසාන "punchline" හෙවත් මුළු කෙටිකතාව ම අර්ථ දැක්වෙන නිර්මාණය නිමා කරන කොටස සමඟ, එය ඉතා රසවත් එකක් බවට පත් වෙයි. 

මිනිසෙකුට හෝ ගැහැණියෙකුට තමන් ට විශ්වාසක කල හැකි, දෙයක් කියන්නට හැකි අයෙක් සිටිය යුතුය. කවුරුත්ම නැතිනම් පඹයෙක් හෝ "තමන්ගේ" කියා සිටිය යුතුය. (ලොකු අක්කා සහ පඹයා )

කෙළෙසුනු කෙල්ලක "අළු පිස දා නැගිට", තම වාතාවරණය මත්තේ සිට තම දිවියට අරුතක් දීම, යථාර්තවාදී සීමාවෙන් ඔබ්බට ගොස්, රූපක් භාවිතයෙන් පිළිඹිබු කරලීමට දැරූ ප්‍රයත්නයක් ලෙස, "අරුන්දති" දිටිමි.

"Oh Jessie, you always do this, everytime I get back on my feet.

Oh Jessie, paint your pictures, 'bout how it's gonna be.
By now I should know better, your dreams are never free.
But tell me all about, our little trailer by the sea.
Oh Jessie, you can always sell any dream to me"

 මේ ගීතය 1990 දශකයේ මැද මහත් ජනප්‍රියත්වයට පත් වූ පොප් ගීතයකි. "ආල්‍යා" කෙටි කතාව කියවූ සඳ මෙම ගිතය අවුරුදු 25 ක පමණ මතකයන් ඔස්සේ නැගී ආවේය.

"මං බයයි මාව මැරුණම පෙට්ටියක දාලා වළලනවට. ඒ ගැන හිතනකොට මගෙ පපුව හිරවෙන්න වගේ එනවා. කෙල්ලෙ, උඹ මට එක පොරොන්දුවක් වෙන්න ඕනෙ,...

මාව මැරුණම මගෙ මිනිය පුච්චන්න... ඒක වළලන්න දෙන්න එපා" (113 පිටුව )

තේනුවර මේ ඉල්ලීම කරන්නේ ඔහුගේ බිරිඳගෙන් නොවේ. බිරිඳ ඉටු නොකරාවි යැයි සිතෙන්න ඔහු තම පෙම්වතියගෙන් අයදියි. පෙම්වතිය එය ඉටු කර අපූරුව කියවෙන කතාවයි, "මෘත". 

උපාධියේ අවසන් වසරේ පැවරුමක් සඳහා ලංකාවට පැමිණෙන "මිතෙලා" හා පෙමින් බැඳෙන අකීලීස, ඈ රට හැර ගිය පසු ඈ සිහිවන නිරුවත් නාරී  පින්තාරුවකුත්, දම් පඳුරට එන රැහැයියෙකුත් සමඟ තනි වෙයි. තරමක් දිගු කෙටි කතාවක් වන මෙහි විදේශික කාන්තාවන් හමුවේ අප රට පිරිමින්ගේ හැසිරීම් කියා පාන මෙම නිර්මාණය තරමක් අනවකාශ ( busy ) රීතියකින් නිර්මාණය වී ඇත. තරුණ පරපුර, ඔවුන්ගේ හැල්මේ දිවෙන මතින් 'තොර නොවූ' දිවිපෙවෙත ආදිය හොඳින් නිරූපනය වී ඇත.  පර්‍යටන කලාව යන වචනය හා ඉන් කියවෙන දේ තෙරුම් ගත්තේ ද මෙම නිර්මාණයෙනි. 

මෙය ඇත්තෙන් ම 2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් අතර මා කියවූ අපූරු නිර්මාණ එකතුවකි. ගොඩගෙ අත්පිටපත් තරඟය ජයග්‍රහණය ට ඇත්තෙන් ම සුදුසය. මහත් රසවිඳි නිර්මාණ රැසක් ම මෙහි මට හමු විය. අයෙකුට කියවිමට නිර්දේශ කරලීමට පසු බට නොවෙමි.

****
2019 ප්‍රකාශ වූ කෙටිකතා කියවීම - 9
ගොඩගේ ප්‍රකාශනයක්



Monday 5 October 2020

2001: A Space Odyssey - Arthur C. Clarke

 A Book I started "reading", as an audio book. In fact, I listened to the full audio book. Then, towards the last 1/3 or so - at rather with HAL being forced to a "lesser role", I just had to properly read the text, to get a better understanding of the book.


And finally, over the last weekend, came Stanley Kubrick's movie. At the end of the movie, I felt kind of sorry for those who have watched only the movie. The movie, clearly a masterpiece ( as if Kubrick wanted to hear that from me ), is, albeit, cryptic. I am really glad that I read the book first, for it is only because I read the book, a broader understanding of what happened was apparent to me. There are more than a handful of differences between the book and the movie ( for those who have read the book and watched the movie, read / watch this - http://www.openculture.com/2015/07/difference-between-stanley-kubricks-arthur-c-clarkes-2001-a-space-odyssey.html )

This will not serve as a full fledged review, given that half the world has probably read this book, before me. Instead, I will only mention the specific area that made the most impression on me - the machine intelligence!

“But he knew well enough that any man in the right circumstances could be dehumanised by panic.” 

This to me, which was David Bowman trying to understand the "psyche"(?)  of  HAL, after some very unfortunate incidents, was a phrase that hit me right in the middle of my two eyes. There is no other phrase which suggested HAL, for all its speak of not being able to make an error, clearly makes an error of judgement. In the movie version HAL admits of its faults, but not so in the book. In the book, HAL  remains smug, cold in his polite way, and pleads against his imminent senility.

"Deliberate error was unthinkable. Even the concealment of truth filled him with a sense of imperfection, of wrongness—of what, in a human being, would have been called guilt. For like his makers, Hal had been created innocent; but, all too soon, a snake had entered his electronic Eden."

  In the book, the fact that HAL feels no remorse is captured in a vivid fashion. This, to me was the most important point to ponder, for us humans. HAL operated without rancour - but also without pity. But given the gap in knowledge between HAL, the three hibernating scientists, and Poole and Bowman, it could even be argued that HAL was justified in trying to protect itself from death. For, after all, it had the best interests of the mission in mind.

 I will not dwell much on the part about early life, or the transition to the star child. After all, am sure that a large many of the readers in these forums have read this book, and here I am playing catching up, may 25-30 years too late.

This single book was sufficient to convince me, that it  the better Arthur C. Clarke books needs to be read, and I have no hesitation in making a decision to read the rest of the sequels for, 2001: A Space Odyssey.

Rating: *****

Sunday 4 October 2020

පිටගම්කාරයෝ - විසිවෙනි කොටස නැරඹීමෙන් අනතුරුව...

පිටගම්කාරයෝ - විසිවෙනි කොටස නැරඹීමෙන් අනතුරුව...

අද ගම්‍ය වූ ගැඹුරු දේශපාලන අර්ථය අබේසේරයන් ඉතා හොඳින් නාට්‍යය තුලට කාවද්දා තිබූ බවට සැක නැත.


 

අප රට පළමු අගමැති ගේ අභාවය සැල වේ. පන්සලේ හාමුදුරුවෝ, දහම් පාසැල විසුරුවා හරිනුයේ ශෝක කාලයක් ප්‍රකාශ කරමිනි. විජේරාමයේ තිබූ ගුවන් හමුදා කඳවුරේ මුරකරු හා සයිමොං ගේ පුත් ජයසේන අතර වූ පහත දෙබසෙ ඇති වෙන ඔවුන් නැවත ගෙදර යන අතරය:

සිල්වා මහත්තයා:  අද ඉරිදා ඉස්කෝලේ නිවාඩු දුන්නා ද ?

ජයසේන: ඔව් මහත්තය. අද ඩී. ඇස්. සේනානායක මහත්තය මැරිලානේ.

සිල්වා මහත්තයා: මිනිය බලන්න යන්නේ නැද්ද?

ජයසේන: තාත්තලානං යන එකක් නැහැ

සිල්වා මහත්තයා: ඇයි ?

ජයසේන:  අපේ තාත්තා සමසමාජනේ. ඩී. ඇස්. සේනානායක මහත්තය යූ. ඇන්. පීලු නේද?

සිල්ව මහත්තයට තනියම සිනායයි. මුං පැහිලා තියන තරමක්.

 ජයසේන: අපේ කළුබෝවිල ආච්චිලනං යූ. ඇන්. පී. ඒගොල්ල යයි බලන්න

( 31-32 පිටු : පිටගම්කාරයෝ - ප්‍රබන්ධ කතාවේ ද්වීතිය භාගය)


දෙවෙනි ජවනිකාව / නවකතාවෙන් උපුටනය, ළමෝ රංචුව ලැවනිස් අයියාගේ කඩය ළඟට පැමිණෙන විට රැස්ව සිටින පිරිස අතර, උස් හඬින් කෙරෙන කතාබහ සේනානායකගේ මරණය ගැන ය:  

"අපි ඌ. ඇම්. පී. නෙමෙයි බං.
ඒ වුණාට  සේනානායක උන්නැහේ අපේ රටේ නායකයා. අපේ රජ්ජුරුවෝ"

එක් පණ්ඩිතයකු කියද්දි තවෙකෙක් එය උස් හඬින් අනුමත කරයි.

"ඒක හරි. ඒ මනුස්සයගේ මරණෙට කම්පාවුණයි කියලා අපි ඌ. ඇම්. පී.වෙනවයැ"
 
(35 පිටුව) 

 මිසිනෝනා ගේ අයියා සමඟ දින කිහිපයකට පුතුන් දෙදෙන කොළඹ යවනුයේ, ජයසේන කොළඹැ පාසැලකට යැවීමට ප්‍රථමවය. පුතුන් නැති පාළුව හේතුවෙන් සයිමොං, මිසිනෝනා හා දොඩමළු වෙද්දී දිගැරුණු සල්ලාපය"

මිසිනෝනා: අපේ පාළුවයි තනිකමයි කියල බැහැ. දරුවන්ගේ අනාගතේ ගැන කල්පනා කරන්න ඕන.

 සයිමොං: ඇයි මොහො ඉගෙනගත්තු එවුංට අහවල් දෙයක් වෙලාද? ආං ජාකෝලිස් වෙදමහත්තාගේ පුතා හෙට අනිද්දා ගුරු විභාගය පාස් වෙනවලු.

මිසිනෝනා:ඒ වුණාට මට ඕන ලොකු ළමයට ඉංග්‍රීසි උගන්නල ආණ්ඩුවේ ක්ලාර්ක් මහත්තයෙක්වත් කරන්ඩ, අඩු තරමින්.

මිසිනෝනා කියන්නේ කුමක්දැයි සයිමොංට වැටහෙයි. එහෙත් ඇය කල්පනා කරන මට්ටමින් හිතන්නට ඔහුට බැරිය. ගොයිතැන් බත් කරමින් මහ පොළොවටත් ස්වභාව ධර්මයාටත් සමීපව හැමදා ජීවත් වූ සයිමොංගේ සිතුම් පැතුම් ගමේ හතර මායිමෙන් එහාට විහිදෙන්නෙ නැත....

සයිමොං:  බොලාගේ කැමැත්තක්. හැබැයි ඔය සිදාදියේ ගොහිං කොලුව නරක් වුණොත් මං වගකියන්නේ නැහැ ඕං.

මිසිනෝනා: නරක් වෙනවනං නරක් වෙන්නේ මෙහෙ හිටියොත්. ඔහේට මේව තේරෙන්නෙ නැහැ. මං මේ හැම දුකක්ම විඳින්නේ ඔය දරුවෝ දෙන්නා ලොකු මහත් කරගන්ඩ

(40-41 පිටු )

මෙහි මට මතු කරලීමට උවමනා වූයේ, කළුබෝවිල නෑයන් යූ.ඇන්.පී. වීමත්, ඔවුන්ගෙන් අයෙකු වන මිසිනෝනා ගේ අයියා වන, 'කොළඹ මියුනිසිපල්' එකේ වැඩ කරන ඇඩ්මන් ලවා ජයසේන  ව කොළඹ පාසැලකට ඇතුලත් කරලීමට යත්න දැරීමත්, මිසි නෝනා ට ද, තම පුතාව "ගමෙන් පිට කර", "අප්පල කුඩප්පල වාගේ වෙලටම" යෑමේ ප්‍රවණතාව නැති කරලිමටත් ය.

අනෙක් අත ට කඩේ දී කතා වූවා සේ, සේනානායක උන්නැහේ ගේ මරණෙට කම්පා උනා කියා, "ඌ. ඇම්. පී" නොවෙන බවක් කීමෙන්, ධනවාදී යූ.ඇන්. පිය කෙරෙහි නිධන් ගත අකමැත්තක් පිළිඹිබු වේ. සයිමොං ද 'සමසමාජ" බව, ජයසේන පවසයි. සයිමොං ට ද ගමේ හතර මායිමෙන් පිට ජීවිතයක් නැත්තාක් මෙන්ම සිදාදීයේ දි "තනියක් දැනෙන" වගක් පවසයි. 

සමාජ දේශපාලන කාරණා ගැන පැසුණු බුද්ධියක් තිබූ තිස්ස අබේසේකර, මෙම දේශපාලන බෙදීම සමඟ සිතුවිලි වල බෙදීම, ගම හා නගරය අතර බෙදීම පමණක් නොව, 1940 දශකයේ විසූ කාන්තාවක් ලෙස, මිසිනෝනා, තිර අදිටනින්, තමන් ලත් ඉරණම බාරගනිමින් ( එනම් ගොවියෙකු වූ ත්, රේස් කොළයට පුරුදු වූත් සයිමොං හා වෙසෙමින් ), තම දරුවන් "මෙම නරකාදියෙන්, ගොඩගන්න" වෙහෙසන දිරිය මාතාවන් වන අප කාන්තා පරපුර ද අපූරුවට නිරූපනය කර ඇත.

 


 


Friday 2 October 2020

ආකෘතියක් අනුව නවකතාව යන කලා කෘතිය වර්ග කරලීම ගැන අදහස් කිහිපයක්

 නවකතාවක් "කෙසේ" විය යුතු ද ?

"මෙය නවකතාවකි", "මෙය එසේ නොවන්නකි" යි කිව හැකි ද ?




මෙහි එන ඡායා රූප වල පෙන්වා ඇත්තේ 2019 වසර මෑන් බුකර් සම්මානය සඳහා අවසන් වටයට තේරුණු ලූසි එල්මෙන් ( Lucy Ellmann ) ගේ Ducks, Newberryport ගේ පිටු 1000 ට වැඩි නවකතාවේ ළඟ ළඟ පිටු දෙකකි. මා මේ පොත කියවන්න පටන්ගෙන දවස් දෙකක්වත් නැත. එහි නවකතාවේ ඇදෙන්නේ නොනැනවතෙන තම සිතුවිලි ධාරාවක් ලෙසිනි. මෙහි නැවතීමේ ලකුණු, ඡේද,  පරිච්ඡේද, නැත. ඇත්තේ කොමාවල් වලින් වෙන්වුණු ඇගේ සිතුවිලි, තම සිතට නැගෙන හිස් වචන ආදියයි. ඇත්තෙන් ම මෙහි එන හැම වචනයක් ම පාඨකයකු ලෙස වටහා ගැනීම ද වැඩගත් නොවන්නට පුලුවන. කිම ද වරෙක, ඈ වෙළඳපොලේ රාක්ක වල ඇති භාණ්ඩ වර්ග විමසමින් ඉදිරියට ඇදෙන්නීය. එහෙත් වරෙක එම සිතුවිලි වල තම දරුවන් ගැන, තම සැමියා ගැන, දරුවන්ගෙන් ඇයට ගෙදර වැඩට කිසිදු සහනයක් නොනැගෙන අයුරු, සමියා තම වැඩට යොදා ගැනීමට ඇති අකමැත්ත, Little House on the Prairie හි චරිත හා තම දිවිය සැසඳීම ආදි වශයෙන් පෙළ ගැසේ. පාඨකයකු ලෙස පොත කියවීම නවතා, නැවත ඇරඹිය යුත්තේ ද කොමාවකිනි. එම ධාරාව තුල ම වැදගත් අදහස් කිම ද, ඇගේ සිතට එන හිස් වචන කිම ද යන්න ත් කියවන්නිය උගනමින් ම ඉදිරියට ඇදෙන්නීය. බොහෝ සම්මාන වලට නිර්දේශ වූ මෙම නවකතාව, නවකතාවේ විප්ලවයක් ලෙස පිළිගැනිනි. එලෙසෙ ම, ඇය ලිවීම නොදත්තියක් ලෙස ද ගැරහුම් නොලබන්නේ නොවේ.




2017 වසරේ මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලත් ජෝර්ජ් සොන්ඩර්ස් ( George Saunders ) ගේ Lincoln in the Bardo කෘතිය වෙත යොමු වෙමි. එහි ආඛ්‍යායනය සිදු කරනුයේ තමුන් මිය ගිය බව තවම "පිළිගන්න අකමැති", සුසානභූමියේ සිටිනා අවතාර කිහිපයක් විසිනි. ජනපති ලින්කන් මෙහි එන පණැ'ති චරිත කිහිප දෙනාගෙන් කෙනෙකි. පරිච්ඡේදයක් හැර පරිච්ඡේදයක් පමණ ඇත්තේ එකල පුවත්පත් වලින් ලින්කන් ගේ පාලන කාලය හා බැඳි පුවත් කොටස් උදෘතයන් ය. කෙටිකතාවට වැඩි කාලයක් මිඩංගු කර ඇති සොන්ඩර්ස් ගේ පළමු නවකතාව Lincoln in the Bardo ය.

නැසී ගිය තිස්ස අබේසේකරයන්, තම පිටගම්කාරයෝ නමින් වූ කොටස් දෙකකින් යුත් කෘති දෙක නම් කොට ඇත්තේ ම "තිර පිටපතක් ආකාරයෙන් ලියූ නවකතාවක්" ලෙසි නි. එය ඔහු හඳුන්වා දී ඇත්තේ රූපවාහිනියේ පෙන්වූ පිටගම්කාරයෝ ටෙලි නාට්‍යයේ තිර පිටපතක් වශයෙන් නොවේ ය. මේ දින වල එම ටෙලි නාට්‍යය නැවත පෙන්වන මුත්, මගේ මතකයේ හැටියට ටෙලි නාට්‍යය සහ පොත් දෙක අතර යම් යම් වෙනස්කම් තිබූ බවකි, දැන් හැඟෙන්නේ. ස්ථිර ලෙස යමක් කීමට පොත් දෙක නැවත කියවිය යුතුය. නුමුත් නාට්‍යයේ එන අවතාර පෙනීම් ඔය පමණින් පොතේ තිබූ බවට මට මතක නැත ( මගේ මතකය වැරදි විය හැකිය ).

මා කීමට තැත් කරන්නේ, මගේ අදහස නම් නවකතාවක් "මෙසේ විය යුතුය", එය "මෙවන් ආකෘතියක් ගත යුතුය" යන්න, එතරම් සාර්ථක තර්කයක් නොවෙන බවත්,   සහ, ලෝක සාහිත්‍යයේ ද ඔවුන් ද නවාකතාවේ  පරීක්ෂා කෙරෙන නව ආකෘතින් වලට අනුබල දෙන බවත් ය. නුමුත් නවකතාවක් රසවත් නැත, එහි කතා වස්තුව කෘතීමය, ස්වභාවික නැත, බලෙන් ඔබ්බවු සෙයකි ආදිය තර්කයන් ලෙස පිළිගත හැක ; කිමද, ඒවා පුද්ගල නිශ්‍රිත නිරීක්ෂණයන් හෙයිනි. කවිය වේවා, කෙටිකතාව වේවා, නවකතාව වේවා ආකෘතියක් හේතුවෙන් යමක් නවකතාවක් ද, නැති ද, යන්න තීරණය කල හැකි ද ?   මට මේ ලිපිය ලිවීමට සිතුනේ,  විවිධ ආරේ නවකතා කියවීමට අප සිංහල පාඨකයන් තුල ඇති සාපේක්ෂ අකමැත්තක් පිළිබඳ හැඟුණු හෙයිනි.පුද්ගලික කැමැත්ත - අකමැත්ත තේරුම් ගත හැක. එහෙත්, යම් කලාකෘති ආරක ප්‍රගමනය උදෙසා, අලුත් මාදිලි සොයා බැලීම, පරීක්ෂා කිරීම වැදගත් ය. සිංහල සරල ගීතය තුල "යම් හිරවීමක්" හේතුවෙන්, වර්තමානයේ සිංහල සංගීතය විවිධ අලුත් ආර, සං‍යෝජන හා පරීක්ෂා කෙරේ.  වර්තමානයේ එහි යම් අභියෝග වලට මුහුණ දෙන බැව් සැබවි. එහෙත් යම් දිනෙක ඔවුන් ඉදිරියට යාමට යම් සූත්‍රයක් සොයා ගනු ඇත. සිංහල නවකතාවේ ද, වැව් ගම් කතා, කුල මල කතා යා හැකි උපරිම දුරක් ගොස් ඇත්තා සේය. එහෙයිනි, කෞෂල්‍ය කුමාරසිංහ ( මේ රහස් කවුළුවෙන් එබෙන්න ), කපිල කුමාර කාලිංග ( අදිසි නදිය, පියැසි කවුළුව  ), ශමෙල් ජයකොඩි ( ප්‍රංශ පෙම්වතා, කුමර කොබෙයි ), එරික් ඉලයප්ආරච්චි ( පරදේසි, ලලිත සමය ), මංජුල වෙඩිවර්ධන ( පැරිස් වලාකුළු, ඒ අහඹු අතීත හැන්දෑව ), ආදින් ගේ  ව්‍යායාමයන් සිංහල නවකතාවේ ප්‍රගමනයට හේතු වන්නේ. එලෙස ම ආකෘතිමය වශයෙන් කෙරෙන යම් නව ප්‍රවනතා ද සිංහල නවාකතාවේ ප්‍රගමයට හේතු වේ. වෙඩිවර්ධනගේ "මගේ ආදරණීය යක්ෂණී", සේන තෝරදෙනියගේ "සදත් විල මහා සුභද්‍රාවෝ" මේ අංශයෙන් මතකයට නැගේ. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සහ විද්‍යෝදය සම්මානය  දිනූ එරික් ඉලයප්ආරච්චිගේ පේත තුල ද යම් පරිච්ඡේද නාට්‍යයක් ආරක දෙබසින් යුක්ත වීම, සමහර පාඨකයින් මේ පොත ගැන ව්‍යාකූලත්වයක් ගොඩනගා ගැනීමට හේතු වී තිබිය හැක.

Thursday 1 October 2020

දෑවාන - සේපාලි මායාදුන්නේ

 මහාසාමි වලින් අනතුරුව කතුවරිය ප්‍රකාශ කල කෘති වලින්, මට කියවීමට මගැරුනේ එක් නවකතාවක් පමණි.  මහාසාමි, අත්තානි කණු සහ සුවඳ සන්නිය කිය වූ කෘතීන් ය.  දෑවාන කෘතිය දුටු විගස එය අප උනන්දුව දිනා ගත්තේ, අප රට ථෙරවාද-මහායාන අතර ඝට්ටනය අළලා ලියූවක් බව පසු කවරයේ වූ සඳහන හේතුවෙනි. කැත්ලීන් ජයවර්ධන ගෙ මහසෙන් මගින් එරජ යුගයේ ථෙරවාදීන් මුහුණ දුන් ගැටළු යම් ආකාරයකින් ප්‍රබන්ධ ගත  කර තිබුන ද,  මුඛ්‍ය මාතෘකාව ම එම පාර්ශව අතර ගැටුම වීම, ලංකා ඉතිහාසය පිළිබඳ කියවන්නෙකු  අතරින්නේ නැත.

නවකතාවේ මුල් පරිච්ඡේද,  දෙකට බෙදා, මහායනිකයින්ගේ සෞභාග්‍යයත්, ථෙරවාදීන් ට දානය දීම ද දායකයන් ද දඩ කෑ හැකි වරදක් ද බවට  පත් වූ වටපිටාවේ විස්තරයන් ට ය.

එනුමුදු තෙවන පරිච්ඡේදයේ ඇති දීර්ඝ ධාතු පෙරහර විස්තර කියවීම පාඨක කියවීම් වෑයම අභියෝග කරයි. නවකතාව ඉදිරියට ඇදෙන්නේ, මහාවිහාර පාර්ශවය විඳිනා ගැහැට පිළිබඳ විස්තරත්, මහවිහාරයේ රැඳි එකම භික්ෂුව අභයගිරියට ලැබුණා යැයි කියන සර්වඥ්ඥ ධාතු පිළිබඳ අවිශ්වාසය පළකිරීමත්, අභයගිරි පාර්ශවයේ සුඛ විහරනයත්, අභයගිරිය පරිවාර අධ්‍යයන ආයතන වලට ඇදෙන විදෙස් සිසුන් සහ ඉගැන්වෙන ශාස්ත්‍ර පිළිබඳ විස්තරත් සමඟ ය. හුදෙක් සාමාන්‍යය නවකතාවක් සොයනා පාඨකයකුට මෙවන් විස්තර කියවාගෙන යාම පහසු නොවීමට පුළුවන. වෙසෙසින්, නවකතාවේ සැලකිය යුතු කොටසක්, අභයගිරිය සහ උත්තරාරාමය ප්‍රමුඛ පුද පූජා විදි විස්තරයට වෙන් වේ. කතුවරිය මෙ මඟින් අද වන විට දක්ෂිණාව ම ප්‍රමුඛ කොට ගත් ආගමක් බිහිවීමේ මුල් යුගය ගැන වැඩි අවධානයක් යොමු කරනවා විය යුතුය - මෙහි මූලයන් කොහෙන් පැමිණියේද යන්න එත්තු ගැන්වීම කතුවරියගේ අදහස වන්නට ඇත; එහෙත් මගේ අදහස නම්, කතුවරිය මෙවන් විස්තර සඳහා යොදාගත්  ඉඩ වැඩි බවත්, ඒ හේතුවෙන් ම නවකතාව කියවීම පාඨකයනට තරමක් වෙහෙසට පත් කරවන බවත් ය. එහෙත් මෙහි ප්‍රධාන මාතෘකාව පිළිබඳ කැමැත්තෙකුට, සෙමීට කියවාගෙන ඉදිරියට යාමට තරම් කාරණා මෙහි අන්තර්ඝතය.  ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය කෘතිය, මෙහි එන යම් ඉතිහාස කාරණා පිළිබඳ වැඩිදුර කියවීම උදෙසා මහත් රුකුලක් විය. තවද, තැනෙන් තැන දිගැරෙන සංස්කෘතික කාරණා මගින් මහායානය වර්තමාන සිංහල බෞද්ධ සංකෘතියට බලපෑ ඇති ආකාරය කියැවේ. ගන්ධබ්බයෙකු ගේ අදහස මහායන අදහසක් බවත්, සත් දවසේ බණ සහ සාංඝික දානය ඉන් අවශෝෂණය වූවක් බවත් කියැවේ.

මෙහි එන සමහර ඓතිහාසික කාරණා "ලංකා විශ්ව  විද්‍යාලයේ  ලංකා ඉතිහාසය" සමඟ ද,  ලාංකික මහායන ආභාෂයන් පිළිබඳ මොරටුව ශාසනරතන හිමියන්ගේ, 'ලංකාවේ මහායාන අදහස්' නම් වූ කෘතියෙන් ද පිරීක්සුවෙමි. බෞද්ධාචාර්‍යය බර්ට්‍රම් ලියනගේ මහතාගෙන් ද සමහර විමසුවෙමි. එම සියළු කාරණාකාරණා හා සසඳන විට, ඓතිහාසික සහ සංස්කෘතික කාරණා අතින් බොහෝ දුරට නිරවද්‍ය වුවත්, අවසාන විග්‍රහයේ දී නවකතාවක් ලෙස මෙය පාඨක ප්‍රසාදය දිනා ගන්නේ ද යන ප්‍රශ්ණය මතු වේ. මෙම ප්‍රශ්ණය ට වඩාත් සූක්ෂම ලෙස පිලිතුරු සැපයිය හැක්කේ, මෙම උක්ත කාලය අලලා ම, ප්‍රවිණ ලේඛක කැත්ලීන් ජයවර්ධන මහත්මිය මීට පෙර නවකතාවක් ලියා පළ කර ඇති හෙයිනි. 'මහසෙන්' නම් වූ එම නවකතාව, ඓතිහාසික නවකතාවක් පමණක් නොව, කැත්ලීන් ට ආවේණික අයුරින් දාර්ශනික යටිපෙළක් ද සමගිනි, ලියැවුන්නකි. ඉතින් ඒ හා සසඳද්දී, මහාසාමි, සුවඳ සන්නිය සහ අත්තාණි කණු මගින් කතුවරිය ගෙන ආ සාහිත්‍යයික රසයේ යම් අඩුවක් මෙහි ඇති බව පිළිගත යුතු වේ.

කෙසේ හෝ, අවසන වෙනුවෙන් කියවන්නේ ය යන අදිටනින් කෘතිය කියවා නිම කල හෙයින්, කිව හැක්කේ, කෘතියේ අවසානය කතුවරිය සාර්ථකව නිමවා ඇති බවකි. රජු ද, මහායාන පාර්ශවය ද, ථෙරවාද පාර්ශවය ද තම ගැටීම් හේතුවෙන් ගැහැට ම විඳින්නෝය. මෙකල සිදු වූ සංස්තික අවශෝෂණයන්ගේ සම්ප්‍රයුක්ත බලයන් අද වන තෙක් ඇදී එන බවත්, ඉන් සමහරක් "පිරිසිඳු ථෙරවාදය" යන ලේබලය යටතේ මහායාන සංස්කෘතිකාභාෂයන් බවත් පැහැදිලිය. මොරටුවේ ශාසනාරතන හිමියන් මෙසේ පවසයි:

"කිත්සිරි මෙවන් රජු දවස දන්තධාතුව මෙහි ගෙන ඊම මහායානිකයින් ගේ බලපෑමක් නිසා නොවූ නුමුදු දන්තධාතුව ගෙනා පසු මහායානිකයින් විසින් එය තමන් ගේ බලයට බලවත් ආධාරයක් කරගන්නා ලදි. මුල් කාලයේ පටන් ම දන්තධාතුව අයත පැවතුණේ අභයගිරිකයන්ට ය. මහාවිහාරවාසීහු දන්තධාතූන් වහන්සේට පුද පූජා කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වූහ" ( "ලක්දිව මහායාන අදහස්" 363 පිටුව )

 තන්ත්‍රයාන බලපෑම් ගැන පවසන එහිමියෝ;

"බුදුරදුන් දවස නොපැවති පිරිත් කීම ලක්දිව බහුල වූයේ තන්ත්‍රයානයේ බල පැවැත්ම නිසා ය. ඒ නිසා ම පසු කාලයේ බුදුන් දෙසූ අයුරින් යම් යම් අදහස් ඇතුළු කොට ගෙතූ ජිනපඤ්ජරය, ගිනි පිරිත, ජය පිරිත ආදී සූත්‍ර කීපයක් ද වැඩි විය. එසේ ම සීවලීයන්ත්‍රය, රතනයන්ත්‍රය ආදි යන්ත්‍ර භාවිතය ද, තන්ත්‍රයානිකයින් නිසා මෙහි පැතිර ගියේය." ( "ලක්දිව මහායාන අදහස්" 385 පිටුව )


සමස්ත ලෙස, පහත දැක්වෙන කාරණා ලේඛිකාව අපුරුවට නවකතාව තුලට කාවද්දා ඇත;

ථෙරවාදය අර්හත් මාර්ගය ඔස්සේ ම විමුක්තිය සෙවීමට වූ මගක් වෙනුවෙන් කැපවෙද්දී, මහායානය පෘතග්ජන මිනිසුන්ගේ දෛනික උවමනාවන්, විශ්වාස වෙනුවෙන් වඩා විවෘත විය. භාවනාව වඩනවාට වඩා දක්ෂිණාව ම පහසු හෙයින්, තමන් අභයගිරිය වෙනුවෙන් තාවකාලික වහල් මෙහෙයට අයත්වීම මෙකල තිබූ පිළිවෙතක් බවත්, 84000 පුෂ්පෝහාරයන් ආදි පුදපූජා විදි අභයගිරිය මුල්කොටගෙන ඇති වූ බවත් ය.

"...සාමාන්‍ය ජනතාව පරලොවට වඩා අපේක්ෂා කරන්නේ මෙලොව දියුණුවයි... එසේ ඔවුන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කර දෙතැයි සිතා බෝධිසත්ව වන්දනාවේ සහ දේව වන්දනාවේත් යෙදෙන්නට අභයගිරියට ඇදෙනවා..." (226 පිටුව )

අනෙක වාදයෙන් දක්ෂ වූ මහායානිකයින්, භාවනාවට ම යොමු වූ මහාවිහාරිකයින් පරදවීම ද සමස්ත වශයෙන් එහි පැවැත්මටත් ජනප්‍රියත්වයටත් හේතු වූ බවකි;

"සංඝමිත්‍ර භික්ෂුව මහා විහාරයේ දී එහි භික්ෂූන සමඟ වාද කෙළේය, ඔහු ඉදිරිපත්කළ මතවාදයන්ට  එදිටිව කිසිත් කියා ගන්නට භාවනාවටම හුරුපුරුදු වුණු ථෙරවාදී භික්ෂූන් සමත් වූයේ ද නැත. එහෙයින්ම ඔහු දිනුවේය" ( 83 පිටුව)

විවිධ දැනුම් පද්ධතීන්ට විවෘත වූ සංස්කෘතයත්, ථෙරවාදයට සීමා වූ පාළියත් යන භාෂා දෙක කෙතෙරම් පිටස්තර ලෝකයට විවෘත ද යන්න ද මෙහි මූලික කාරණාවකි විය.

"...මට ඇති හිත් කරදරය මහායානයට පහර දෙන්නට පාළි බස හෝ හෙළ බස සමත් නොවන බව සිහිපත් වීමයි... ඒආ සංස්කෘතය තරම් පොහොසත් නැහැ..." ( 196 පිටුව )


එලෙසම පිටස්තරයට විවෘත වීම ම අභයගිරියට අවාසි සහගත ද විය. ලොව අනෙක් ධර්මයන්, දැනුම් පද්ධති වලට විවෘත වීම හේතුවෙනි, නීල පට දර්ශනය මෙහි පැමිණ, අභයගිරියේ පැවති යම් විනයක් අභියෝගයකට ලක් වූයේ. එලෙස ම කතුවරිය ඉතා පැහැදිලිව ඉඟිකරන්නේ, අද වාසය කරනා බහුභාණ්ඩික භික්ෂුව, වඩා වටිනා සිවුරු අඳිනා භික්ෂූන්,  විහාර ආශ්‍රිතව ගොඩනැඟිලි ඉදි කිරීමේ නිමක් නොවීම ආදියෙහි මූලික අවස්ථාවන් එම යුගයේ ඇරඹුණු වගකි.

කතුවරිය බොහෝ විට සංඝත ලෙස තම ප්‍රබන්ධය නිමවා ඇත ( තැනෙක දෙකක වදන ක දෙකක ගැටළු මතු වුව ද එය සැලිකිය යුතු නැතැයි සිතමි  ද ). ඇරත් ඓතිහාසික නවකතාවක් ලෙස මෙහි රසවත් තැන් ද බොහෝය. මින්නේරිය ඉදි කිරීම,  ඒ වන විට යක්ෂ ගෝත්‍රික ජනතාව සිංහලයන් තුලට අවශෝෂණය වී තිබීම, ඒ අතර ම ඔවුන් ට සුවීශේෂි වූ විශ්වාසයන් ඔවුන් ආරක්ෂා කරගෙන සිටීමද රසවත් කියවීමකි. මහරජු ඒ වන විටත් යකුන්ගේ කීම අහක නොදැමිය හැකි තැනක සිටීම තැකිය යුත්තකි.

සමස්ත ලෙස කිව හැක්කේ, කාලය මිඩංගු කර කියෙව්වාට පාඩු නොවෙනාකාර නවකතාවකි. එහෙත් අප පාඨකයින් වඩාත් කැමති ආරේ, "එක හුස්මට" කියවීමට හැක්කක් නම් නොවේ. ඇරත්, උක්ත විෂය ගැන උනන්දුවක් නැති අයෙක් මෙය කියවීමට පරීශ්‍රමයක් දරාවී ද, දැරිය යුත්තේ ද යන්න ද විවාද සම්පන්නය. ශික්ෂාවකින්, "ගෙදර වැඩ" ද යම් පමණක කරමින් (එනම් ආශ්‍රේය පොතපත  කියවමින්) පොත කියවන්නියක තම ආයෝජනයට ප්‍රමාණවත්  දෙයක් ලබා දීමට සමත් ය. එලෙස ම මෙය "රසවත් යැ - නීරස යැ", ආදි තනි වචන වලට ගොණු කරලීමට ද මම නම් නොදන්නෙමි. අප රට මේ වසරේ පැවති ප්‍රධාන සම්මාන තුනෙන් එකක හෝ දිගු ලයිස්තු නිර්දේශයට හෝ මෙය නොතේරිණි.  ඊට ද ඔවුන ට කිසි දොසක් කීමට් නොහැක්කේ, මෙම කෘතියේ ස්වභාවයෙන් ම මෙය සීමිත පාඨක පිරිසක් කියවනා ආරේ නවකතාවක් නිසා ය.

***1/2
2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 7
ගොඩගේ ප්‍රකාශනයකි