පිටගංකාරයෝ හි 23 වෙනි කොටසේ පහත දෙබස, සහ සයිමොං (ජැක්සන් ඇන්තනි), එය ඉදිරිපත් කල අපූරුව හේතුවෙන්, මා එම කොටස් දෙතුන් වතාවක් නැරඹුවා...
සයිමොං: "ඔය කරෝලිස් උන්නැහෙගේ කෙල්ලගෙයි උඹගෙයි සම්බන්ධය නවත්ත බැරි එකක්ද?"
'ඔව්' කීමට කටට ආවද ජයසේන එම වචනය ගිළිගනියි. තාත්තාද මද වෙලාවල් නිහඬව සිටියි.
(මේ කොටස පොතෙන් උපුට ගත්තෙමි. ටෙලි නාට්‍යයේ නැති මේ කොටස පොතක වටිනාකම පෙන්වන්නා සේය. නුමුදු මේ දෙබසේ ජැක්සන් ගේ රඟපෑම, පොත තුලින් රසවිඳිය නොහැකි බව ද ඇත්තකි)
සයිමොං:
"උඹට අවවාද දෙන්න මට බැහැ.
උඹ මට වඩා ලෝකේ ගැන කාරණා දන්නවා ඇති දැන්.
ඒත් මේ කාරණාවට අම්මා හොඳටම විරුද්ධයි.
උඹව මේ තත්ත්වයට ගේන්න දුක් වින්දේ අම්ම.
මම නෙමෙයි.
ඒ හින්ද අම්මාගේ සතුට අසතුට ගැන උඹ හිතන්න ඕන.
හෙට අනිද්ද උඹ රස්සාවක් කරන්න පටන් ගත්තහම උඹට හරිය කියල හිතෙන දෙයක් කරන්න නිදහස තියෙනව.
ඒ හින්ද උඹට මේ කටයුත්ත කරගන්න බාධාවක් නැහැ.
හැබැයි ඒ දේ සිද්ධවුණොත් උඹලැයි අම්ම ජීවත් වෙන එකක් නැහැ.
උන්දැගේ හැටි වෙන කාටත් වැඩිය හොඳින් මං දන්නව.
කිව්වොත් කිව්වම තමයි.
ඒ හින්දා හොඳින් කල්පනා කරල දෙකින් එකක් තෝරගනිං.."
ඉතා සංසුන් ස්වරයකින් කතාකළ සයිමොං දෙවැට දිගේ යන්නට යයි.
පොතේ, අදාළ කොටසේ ඇති මෙම අවසන් වැකියෙන්, ජැක්සන් ගේ රඟපෑමට යුතුකමක් කරන්නේ නැති බවය මගේ අදහස. කිම ද ජැක්සන් එම දෙබස තම මුළු මුහුණෙන් පමණක් නොව ශරීර ස්වරූපයෙන් ම කියන හෙයිනි...
ප්‍රතිතර්කය: අම්මා කැපකිරීමක් කල නිසා, පුතාගෙන් ද කැපකිරීමක් බලාපොරොත්තු වීම. ඒ අම්මා දුටු සිහිනය දැකීමට ය. මා සිතනුයේ එම යුගයන් දෙකෙහි වෙනස ඇත්තේ මෙතැනය. අද පරම්පරාවේ දෙමව්පියන්, සාපේක්ෂව, තම දරුවන් වෙනුවෙන් කැප වුවත්, RoI බලාපොරොත්තු වනවා අඩුය. මට මතකයට නැගෙන්නේ ඥාණවිපුල මුණසිංහ ගේ "මතකවස්ත්‍ර" නවකතාවයි. එහි පියා බෙහෙත් නොගෙන තම පුතුට අසාධාරණ ලෙස බලපෑම් කරයි. එම පුතා හෝ, මෙම පුතා හෝ, අන් දියණියක තම සබඳතා සාර්ථක අසාර්ථක කරගැනීම අනෙකකි - එහෙත් ඔවුන්ගේ තීරණ කෙරෙහි කරන බලපෑම බලවත් අසාධාරණයක් බවට විශ්වාස කරමි.
No comments:
Post a Comment