පළමු කෙටිකතාව ට "හදවතින් ම ශ්‍රී ලාංකිකයි" යන නම දැම්මේ, මෙහි එන පුරුෂයා අන් රටක සිට මෙරට වාම වාදී දේශපාලනයේ යෙදීමත්, ගොසිප් සෙවීමත්, ඔහුගේ නෑනන්ඩිය බිරිඳගෙන් මුදල් ඉල්ලීමට භාවිත කරන කොන්දේසියත් , බිරිඳගේ ප්‍රතිචාරයත් නිසා යැයි සිතමි.
"දන්නේ නැද්ද අපේ අක්කලගේ කටවල්. අවුරුදු 5ක් ලන්ඩන් ඉඳිලත් හදිසියකට ගන්න ලක්ෂයක් නැද්ද කියලා අහනවා. එහෙම අහනකොට මටම ලැජ්ජයි."
අක්කා ට මෙසේ ඇසීමට තරම් කටක් ඇරීමත්, නංගීට ලැජ්ජා සිතීමත් නම්, සැබවින් ම නූතන ශ්‍රී ලාංකික ලක්ෂණයන් ය.
ඇරත් මෙහි එන පුරුෂයා වසර පහකින් පසුව ද "සිහින දකින්න" හැක්කේ ලංකාවේ කාන්තාන්වක් පිළිබඳ පමණි.
එසේ නැතහොත් දවස පුරා එම දෙපළ උනුන් නොදැක වැඩ කිරීම කොයි රටෙන් ගියත් සිදු වන්නකි. එම රටාව ය කෙටි කතාවේ මූලික පාදම. රස විඳි කෙටි කතාවකි.
මුළු නිර්මාණයම දෙබස් වලින් නිර්මිත "නයන ලලන", අක්ෂි රෝගියෙකු යැයි සිතා සිටින්නෙකු සහ වෛද්‍යවරයකු අතර දිගු දුර යන කතාවක්. අවසන වෛද්‍යවරයා සහ රෝගියා අතර වෙනසක් ඉතුරු වන්නේ ද?
මුල් පිටුවේ ඇස් ඇද ගන්නා සුළු ඡායාරූප, පුවත් මැවීම් හරහා තමන් ට ලැබෙන මිල මුදලෙ ඉහළ අගය මැනෙන මාධ්‍ය සංස්කෘතියක් ගැන කියවෙන කෙටි කතාවකි, "බ්‍රේකිං නිව්ස්". තරමක් වෑයමකින් නැගූ බවක් පාඨකයාට හැඟෙන හෙයින් නිර්මාණයේ සාර්ථකත්වය විවාදිතය.
තව දුරටත් අධ්‍යාපන මට්ටම සහ ආර්ථික මට්ටම අතර බැඳීම සහතික නැත. වෙසෙසින් ජීවිතයේ ආරම්භක අවධියේදී මෙය වඩාත් තීව්‍ර්‍රය. හෝටල් ක්ෂේත්‍රයේ, සංචාරක ක්ෂේත්‍රයේ අප මිතුරන් වුව, අවුරුදු 26-27 වන විට ආර්ථික අතින් අපිට වඩා ඉදිරියෙන් සිටියෝය. මා සිතනුයේ ඔවුන් ඒ අවධියේ ඉගෙනීම නැවතීම, ඔවුන් ජීවිතයේ ආර්ථික උච්චස්තානයකට ඉක්මනින් පැමිණීම, හා එතැන් පටන් ගමන තරමක් එක මට්ටමක පවත්වාගෙන යාම හා බැඳී පවතී න බවකි - මෙය සාමාන්‍යකරණය කල නොහැකි බව සත්‍යයකි. අධ්‍යාපනයට වඩා ඔවුන් තම කුසලතා වර්ධනය එතැනින් නැවතීම ප්‍රධාන හේතුව විය හැක. සාමාන්‍ය අධ්‍යාපානයකින් දිවිය ගොඩ නගා ගැනීමට යත්න දරන්නෝ දීර්ඝ කාලීන සාර්ථකත්වය උදෙසා බොහෝ කලක් තම ශිල්පීය දැනුම වර්ධනය කරන්නෝය - බොහෝ අය හතලිහ- හතලිස් පහේ දී ද අලුත් දේ උගෙනිති. විදෙස් රටවල මෙය වඩා ප්‍රචලිතය. අලුත් පරිඝනක භාෂා නිපුනත්වය ලබන පනස්-හැට වයස් ඇත්තෝ වෙති. මා මේ දීර්ඝ විස්තරය කියා පෑවේ, "ලැජ්ජ හිතෙන කතාවක" හමුවෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහවරව තම වෘතීය ජීවිතය අරඹන්නෙකු හා, හරි උගත් කමකින් තොරව බාල වයසකින් පිට රට රැකියාවකට ගොස් පැමිණෙන්නකු අතර කෙරෙන, ගැලපීම ට පෙරවදනක් ලෙසය. උක්කුං හෙවත් ලාල්, පාසලේ කල හැකි සියළු "වල් වැඩ" වල නිරත වූවෙකි - ජීවිතයේ විඳින්නෙකි. කතුවරයාමෙයට ලැජ්ජ හිතෙන කතාවක් යැයි නම් කල ද, එහි එතරම් ලැජ්ජාවට කාරණාවක් නැති බවකි, මගේ නම් අදහස.
සම්මානය පොරය ලේඛකයකුට බලපාන අයුරු අපූරුවට කියාපාන කෙටිකතාවකි, "වසරේ හොඳම කෙටිකතාව". සම්මාන ලේඛකයින් ට බලාපොරොත්තු දෙයි; ඔවුන් ව තරුවක් වීමට ආසන්න ස්ථානයකට ඔසවා තබයි. මෙම තත්වය හොඳින් විමසෙන කෙටිකතාවකි, වසරේ හොඳම කෙටිකතාව. විසෙසින් විචාර භූමිකාව ගැන මෙහි දිගැරෙන කොටස රසවත් ය. ප්‍රථම කෙටි කතාවට අමතරව, මෙහි මා වඩාත් රසවිඳි කෙටිකතාව, මෙයයි.
රූමත් තරුණ වැන්දඹුවකගේ අඟර දඟර පෑම්, සහ "සීමාසහිත" ඉඩදීම ගැනත්, "රතු ඉර පැනීම" එම ඉඩ නැතිකරගැනීමට හේතුවන් අයුරුත් පෙන්වන කෙටිකතාවකි, "තං අක්කා".
කතුවරයා වෙසෙස් ප්‍රයත්නයක් දරා ඇත්තේ ඉහත ඉසවු මත්තෙහි ඇති උත්ප්‍රාසය මතු කරලීමටය. "වසරේ හොඳම කෙටිකතාව" සහ "හදවතින්ම ශ්‍රී ලාංකිකයි" යන අවස්ථා වලදී, ඔහු අතිසාර්ථක වී ඇතැයි සිතමි. එම කෙටි කතා දෙක නිසා හෝ මෙම නිර්මාණය කියවීම වටින බවකි, මගේ අදහස. ඔහු ගේ අරමුණ යැයි සිතිය හැකි - එනම් සමාජයේ ඇති රෝගි බව - පෙන්වීමට යත්න දරණ සමහර උත්සාහයන් එතරම් රස නොවින්දේ එහි ස්වභාවික බව අඩු නිසා දෝ යැයි සිතේ ( නිදසුන් - බ්‍රේකිං නිව්ස් )
මෙම කෘතිය හොඳම කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් පිරිනැමෙන ගොඩගේ සම්මානය වෙනුන්වෙන් නිර්දේශ විය.
No comments:
Post a Comment