Showing posts with label සම්මාන නිර්දේශ කෘති. Show all posts
Showing posts with label සම්මාන නිර්දේශ කෘති. Show all posts

Thursday, 8 April 2021

චන්ද්‍රරත්නගේ භවාන්තර චාරිකාව - දයා දිසානායක

 ස්වර්ණ පුස්තක සම්මානය අපට හඳුන්වාදුන්නේ 2007 වසරේදීය. එම වසරේ අවසන් වටයට නිර්දේශ වූ නවකතා පහෙන් එකක ට හෝ ජය ලබා නොදී, ත්‍යාග මුදල ලේඛකයින් පස් දෙනා ( ඇරැව්වල නන්දිමිත්‍ර, කරුණාධීර අල්විස්, කරුණාදාස සූරියාරච්චි, රූපා ශ්‍රියාණි ඒකනායක සහ දයා දිසානායක ), අතර සමසමව බෙදා හැරිණි. පසුව මේ පොත් පහ ම සම ජයග්‍රහාකයින් ලෙස කියූ අවස්තා ද තිබිණි. ඉන් මෙතෙක් මා කියවා තිබුනේ, "කිඳුරා ගොසින් වැටුනා පුර මඬුල්ලේ" සහ, "කන්ද පාමුළ" පමණකි. ඊට දැන් "චන්ද්‍රරත්නගේ භවාන්තර චාරිකාව" එකතු වන්නේය. දයා දිසානායක නම් වූ ලේඛකයා ගත හොත්, මීට පෙර මා කියවා ඇත්තේ, 2011 ස්වර්ණ පුස්තක දිගු ලයිස්තුවට පැමිණි ඔහු ගේ බාබ්ලි පමණකි (එය නම් ඉතා දුර්වල කෘතියකි). කතුවරයා පිළිබඳ එතරම් පැහැදීමක් නොතිබුන ද, 'හැකිනම්' ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණෙන සියළු නවකතා හෝ කියවීමේ  සුව නොවෙන 'උණක්' තවම තිබෙන නිසා දෝ, විශාල වට්ට්මක් සහිතව චන්ද්‍රරත්න භවාන්තර චාරිකාව පොත හමු වූ විටෙක මිල දී ගත්තෙමි. ඉතින් පසු ගිය මසක පමණ කාලයක් හෙමි-හෙමීට එම නවකතාව කියවීමි.




මූලික වශයෙන්, මේ නවකතාව මා බලාපොරොත්තු වූවාට වඩා සාර්ථකය - නවකතාවේ මුල් 2/3 පමණ බෙහෙවින් සාර්ථකය. එහි  විද්‍යා ප්‍රබන්ධයක ලක්ෂණ ද, 2007 ට සාපේක්ෂව තරමක් අනාගත වා දී ද යැයි සිතිය හැකි ලක්ෂණ ද  ( එනම් ඊට වසර 10-12ක් පමණ අනාගතයකට ; එනම් වර්තමානයට ගැලපෙන ) දිටිමි. එවන් ලිවීමකට, ඔහු 2007 දී  බොහෝ තොරතුරු තාක්ෂණික ප්‍රවණතා සහ, අනාගතයේ දී බලාපොරොත්තු විය හැකි වෙනස්කම් ගැන යම් අවබෝධයක් ඔහුට තිබිය යුතුය; එවන් කාරණා නවකතාවේ කතුවරයා මවන 'ලෝකයේ' විශ්වාසනීයත්වයට හේතු වේ.

එලෙසම නවකතාමය උපක්‍රමයේ දුර්වලතා ද ඇත. සඳරුවන් වන් සියළු පැති බලා සැලසුම් හදන්නෙකු, එම සැලසුමේ මූලිකාංගය වන ඔහුගේ පියා ගේ වර්තමාන තත්ත්වය සොයා නොබැලීම විශ්වාස කල නොහැකි තරමේ මූලධර්මීය දොසකි. කතුවරයා, ඒ මගින් සඳරුවන් ලබා ඇති සාර්ථකත්වය හේතුවෙන් ඔහුගේ අධිමානය පෙන්වීමට තැත්කලා විය හැකිය. එහෙත් මගේ කියවීම අනුව නම් එය අධිමානය ගැන කාරණාවකට වඩා මූලික "ගෙදර වැඩ" නොකර ව්‍යාතියකට සැලසුම් කිරීමකි.

අන් තැනෙක නක්ෂත්‍රය ප්‍රධාන විද්‍යාවේ කොටසක් ලෙස සඳරුවන් සලකා ඇත - ඒ ඔස්සේ එය කතුවරයා ගේ කියවීමක් දෝ යැයි හැඟුන ද, කතුවරයා මවනා ලෝකය තුල ඔහුට ඇති බලපත්‍රයක් ලෙස සැලකිය හැකි නිසා ඒ ගැන වැඩිමනක් දේ නොකියමි.

නවකතාවේ අවසන් පිටු 65 පමණ, නවකතාව වඩාත් දාර්ශනික නැඹුරුවක් ගැනීමට උත්සාහ දරා ඇත. එය සාර්ථක වන අවස්ථා මෙන්ම, පාඨකයා තරමක් වෙහෙසට පත් කරන අවස්තා ද සමෝසමව ඇතැයි සිතුණි. නිදසුන් ලෙස මේ කියමන මා සිත් ගත්තේය:

"අද සමාජය තුළ සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම මිරිඟුවක් පස්සේ දිවීමක් ලෙසය  චන්දරේට පෙනුණේ. බුදුන්ගේ කාලයේත් එතරම් දුෂ්කර වූ ක්‍රියාවක් මෙතරම් සංකීර්ණ වූත්,පරිහානියට ලක්වුවාවූත් සමාජයක ජීවත්වෙමින් අත් කර ගන්නට හැකිවේයැයි සිතීම මිත්‍යා මතයක් දැරීම තරමටම අවාසනාවන්ත නොවේද? ඊයේ සුඛෝපභෝගී ලෙස සැලකූ දේ අද එදිනෙදා ජීවිතයට නැතිවම බැරි ඒවා වන්නේය. හෙට ඒවා යල් පැනගිය දේ ලෙස ඉවත ලන්නට වන්නේය. තවත් අළුත් දෙයක් ලබා ගන්නට ආශාව ඇති වන්නේය." (216 පිටුව)

ඉහත සමාජ පරිහානිය ගැන කියමන ට මා එකඟ නොවුන ද, සංකීර්ණත්වය හා වේගවත් වෙනස්වීම ගැන සමස්ත අදහස ඔහු ව්‍යක්තව මෙහි ගෙනහැර දක්වා ඇත.

2006 ට සාපේක්ෂව, 2018-2019 පමණ වන විට සමාජ පරිහානිය වේගවත් ව සිදු වන්නේය යන අදහස, අතීතකාමි අදහසක් බවට ඇති පිළිගැනීම වැඩි යැයි සිතේ. හරාරි වැනි අය දීර්ඝ කාලීන නිරීක්ෂණ හා දත්ත සහිතව, "අපි ජීවත් වන්නේ හොඳම යුගයේය" යන්න ට පෙන්වා දී ඇත. ඒ අනුව කතුවරයා,

"සමාජයීය වශයෙනුත් ලෝකය පුරා වඩ වඩාත් අසංවරවූත්, අවිචාරවත් පරිසරයක් ගොඩ නැගෙන්නේය. ළමා කාලයේ සිටම දරුවන් මුහුණ දෙන්නේ අසභ්‍ය හා දාමරික හැසිරීම් රටාවලටය" ( 208 පිටුව )

                                            ආදි අදහස්, නවකතාවේ දාර්ශනික පාර්ශවය පෙන්නුම් කිරීමට භාවිත කලේද, එය අද වන විට තම බලය නැති වූ  පූජ්‍ය හා පූජක පක්ෂ විසින් කෙරෙන අඳෝනාවක් බවකි මට හැඟෙන්නේ. එහෙත් කතුවරයා 2006 දී මෙය ලියද්දි මෙම අදහස ට අද ට වඩා වැඩි පිළිගැනීමක් තිබුනා විය හැකිය.

සමස්ත වශයෙන් මට කිව හැක්කේ, මෙය සාර්ථක පැත්තට බරැති නවකතාවක් බවයි. බාබ්ලි කියවා, කතුවරයා ගැන එතරම් බලාපොරොත්තුවක් නොතිබුන ද, මෙම නවකතාව මා බලාපොරොත්තු වූවාට වඩා සාර්ථක බව කිව යුතුය. නවකතාවේ අවසන් පිටු 65 පමණ කියවීම අයෙකුට තරමක් ආයාසකාරි විය හැකි මුත්,  මුල් කොටස් වල ඇති අනාගතවාදී ප්‍රවණතාව, විද්‍යා ප්‍රබන්ධයීක ස්වරූපය මා සිත් ගත්තේය. ඇත්තෙන්ම අවසන් පිටු 65 අතර ද මා සිත් ගත් අදහස් බොහෝ විය. එහෙත්, එම කොටසේ බොහෝ දේ කීමට උත්සාහ දරා ඇත. එහි ඔහු මීට වඩා අවශ්‍යම දේ ගැන පමණක් කීවේ නම්, නවකතාව තවත් සාර්ථක වන්නට ඉඩ තිබුණි.

ශ්‍රේණි ගත කිරිම: ***1/2
2006 (සරසවි)
ස්වර්ණ පුස්තක නිර්දේශිත - අවසන් වටය - 2007

Saturday, 16 January 2021

රිදුම් පිරි පිරිමැදුම් - අනුරාධා නිල්මිණි

 2019 වසරේ ප්‍රකාශිත කාව්‍ය සංග්‍රහයන් දහයක් කියවීමට තෝරා ගත්ත ද, 2020 අවසන් වද්දී ද මා කියවා තිබුනේ ඉන් පහක් පමණි ( මෙය පස්වැන්නයි). ඉතිරි පහ,  2021 දී කියවීමට හැකි වේ දෝ යන්න සැක, පැරණි කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් කියවීමට ද සිතා ඉන්නා නිසා ය. 2020 ප්‍රකාශ වූ සංග්‍රහයන් ද තව ටික දොහකින් මේ ගොන්නට එකතු වනු ඇත. මේ සියල්ල අඟවන්නේ, 2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීමට තෝරා ගත්තා වැඩිය කියා ය. 2020 කාව්‍ය සංග්‍රහයන් තෝරා ගනිද්දි ඒ ගැන අවධානය යොමු කල යුතුව ඇතත්, කාව්‍ය සංග්‍රහයන් පිළිබඳ නිසි ඇගයීමක් අප රට නොවෙනා හෙයින්, පාඨකයකු තෝරා බේරා කාව්‍ය සංග්‍රහයන් කියවන්නේ කෙසේ ද යන්න ම ගැටළුවකි - ඒ සීමිත කාලයක් තුල, සහ අන් විවිධ වර්ගයේ පොත් අතර කවි පොත් වලට කොපමණ ඉඩක් යොමු කල යුතු ද යන කාරණාවේ දිගුවකි. වෙසෙසින් පොතක් කියවා අවසානයේ, ඉන් රසයක් නොලබන්නේ නම්, එම කාල ආයෝජනය පිළිබඳ පාඨකයකුට පහන් සිතක් ඇති නොවේ. පෙර කී, මා කියවූ පොත් 5 අතර අවම වශයෙන් එවන් පහන් සිතුවිලි ඇති නොකල, සම්මාන නිර්දේශ ලත් එක් පොතක්  වෙයි. එහෙත් අනුරාධා නිලිමිණි ගේ මේ සංග්‍රහය කියවීමට තෝරගැනීම ගැන නම් මා මහත් සතුට ට පත් වෙමි. එය යම් සම්මානයක් දිනූ බව මතක මුත්, එය කුමක් දැයි මතකයට නොනැඟේ.

ඉදින් එම සංග්‍රහය කෙසේ ද ? නිදසුන් කිහිපයකින් සහ, සමස්ත අදහස් කිහිපයකින් ඒ ගැන මෙසේ අදහස් දක්වමි;


 තරමක ගුප්ත, එහෙත් යම් හුරුකමක් ද ඉඟිකරන ස්ථානයක් ගැන කවි පංතියකි, "එය කුඩා වන පෙතකි".

"මේ වනපෙතට පිවිසුම
යතුර හා රහස් අංකය
ඇතත්, හැම හදක ම
අනබිරහස් මංජුසා තුළ
ඒ, දෙස බලා නිහඬ ව
හිත හදාගනු මිස"
අප සැම ගේ සිත් වල ම ඇති වඩාත් ගැඹුරු තැනක් ගැන, එහි ඇති පසුතැවීම් හේතුවෙන් ම බොහෝ කෙනෙකු එය සැමදා වසා තබා ගැනීමට කැමති තැනක් ලෙස කිවිඳිය කියා පායි. කිමද, එහි ගිය අයෙක් කෙසේද යත්:

 "කලාතුරකින්වත් හමුනොවෙයි
සංචරණයට යන කෙනෙකු
එහි,
සතුටු මුහුණින්
කිසි දින"
තරමක කෙටි කවක් වුව, ඒ තුල බොහෝ දේ කියවෙන අපූරු කවියකි, "හුදකලාවත් හොඳ ම, මිතුරෙක් තමයි කෙනෙකුට"

"ජීවිතේ දුක අහන, මතුපිට
 කතා නැතුවට
 හුදෙකලාවත්, හොඳම මිතුරෙක්
 තමයි කෙනෙකුට"
අප රට තවමත් අයෙක් ගේ ජීවිකාව අනුව, ඔහු ට හෝ ඇයට හෝ කෙරෙන සැලකිල්ල තීරණය වේ. දැන් දැන් එළිපිට එය එතරම් නොපෙන්වුව ද, ඔවුන් කොන් කරන තීරුව හිත් කොන් වල ඇත.
"තණකොළ කපන
තණකොළ වගේ පොඩිවෙන 
අති බිම හෙළන
ළිඳ, වසුරු වළ ඉහදෙන
ගස් ඇද නමන
කම්බි නූලෙන් බැඳ දෙන
අය කොන් කරන
තීරුව තිබුණෙ හිත්වල"
තමන් නොලබන, අන් කෙනෙක් ලබන අසම්මත පෙමක රසයක් පීළිබඳ ඉවකින්, හිත කීරි ගැසීමක් කියැවෙන කවියකි, "නා මෙණෙවියක් වෙසෙයි හද තුළ"
"කන්තෝරු අහවර ව
එ'ගෙහිමි එන්නට
අඩහෝරාවකට පෙර
'හෙට වෙනකම් පාළුයි පැටියෝ' යි
මුමුණන
ඇගේ උන්මාද ස්වරය
කන්බෙරය කීතු කොට
හදවට ඇතුළු වන විට"

 කාන්තාවක් බොහෝ විට වට පිට සංඥ්ඥා මගින් බොහෝ දේ කියවයි. ඊට ප්‍රතිචාර දැක්වන්නේ තෝරා බේරා, ඉඳහිට වුවද, එම සංඥ්ඥා සමූහය අප වන් සංස්කෘතික පරිසරයක එය සැම දා අත්දකින විචිත්‍ර වූ  අත්දැකීම් ගොන්නක් විය යුතු යැයි සිතමි. සංඥ්ඥාවන් දීමේ පාර්ශවයේ අයෙක් ලෙස, විටෙක කාන්තාවක් තරම් සංඥ්ඥාවන් ගැන ඉවක් අපට නැති වීමට ද පුළුවන් බව,  මේ කෙටි කව මට  සිහිපත් කලේ ය.

"වැහුණු දොරවල් ඇරගෙන
කැඩුණු බස්වල හොටගෙන
මුහුණු මත ඇවිත් ලි්‍වෙන
හැඟීම් තිබේ, සමහර

ගැහැනු විතරක් ම කියවන!"

ගජමන් නෝනා හා ඩොයිලි අතර වූ තරඟයට කවි ලිවීමක් විෂය කොට ගෙන නිමැවුණු "ඩොයිලිට හිතෙනවා" රසවත් කවියක් වන්නේ, දයානන්ද ගුණවර්ධනගේ "ගජමන් පුවතේ" සමහර ජවනිකා සිහියට නංවමිනි.

 "ඩොයිලි: පිරුවට හොඳයි, කහටක් නැති අඟනුන්ට                  
                   කොරතොට හොඳයි, තව සිංහල උගනින්ට
                   උඩරට මාල බෝගම්බර ගිල්වන්ට
                   ඩොයිලිට හිතෙනවා, පාත ම ඉඹගන්ට

 ගජමන්: ලැබිණි මෙ' ලියමන යළි ලියමි, නොලියමි
                 ඔබින කතා දැයි සුද්දෙකුට නොඅසමි
                 රකින ඒජන්තකම්, මෙහව් කවි බැඳි
                 ඉඹින තැන පසුව මා ලියා දන්වමී."


මෙවන් රස ගුලාවන් වන් කවි සංකල්පයන් ට අමතරව සම කාලීන සමාජ දේශපාලන කාරණා නිමිති කල ගත් කවි  රැසක් ද මෙහි අපට හමු වේ. පාස්කු ප්‍රහාරය පසුව ඇති වූ උග්‍ර "සිංහල" කම ( "පපුවෙන් සිංහල ගලනව"), ගල්කිස්සේ රැඳවුම් මධ්‍යස්ථානයක සිටි රොහින්ග්‍යා සරණාගතයින් පිරිසකට එරෙහිව 2017 දී ඇති වූ  ප්‍රහාරය ("ඉතින්, සමා ඉල්ලමි"), අප රට ජ්‍යේෂ්ඨ ගායකයකු තරුණ කාන්තාවක් විවා පත් කොට ගත් විට ඔහුගේ පුතුන්ගේ ප්‍රතිචාරය  ("ඉනාව ම එක හිනාවකි පුත") පීලීබඳ එම ගායකයාගේ දෘෂ්ඨිකෝණය, ලක්ෂ්මි අගාර්වාල් මුල් කොට ගෙන ලියැවුණු "අග්නි දෙවඟන", දකුණින් යන අය උතුරේ දකින්නට බලාපොරොත්තු වන්නේ කුමක් ද යන ප්‍රශ්ණය මතු කෙරෙන "නන්දිකඩාල් පසු කොට" කවි පංතියත් මීට නිදසුන් ය. මේ සෑම මාතෘකාවක් ම කවි සිතක් තුලින් දකින ආරෙකින්, තෙතමනයකින් ලියැවී ඇත්තේ පාඨකයාට එම කාරණා පිළිබඳ සියළු පැති වෙත බලන මෙන් කෙරෙන නිහඬ බලකිරීමක් සමගය.


පෙර කී පරිදි 2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන්  5ක් කියවා ඇත ( ඉම තව දුරය, ක්වොන්ටම් භෞතික සංකාරා, මොන තරම් අවුලක්ද , හම්බාවා, අනෙක්වා ය). ( සන්තාන ගීතිකා, පිපී අනවැති නුරා මල් තරු පෙති, රන්වන් පත්, සරමිණි සුමුගුව සහ එහෙම වරදක් කරලා නෑ මම,  කියවීමට ඉතුරුව ඇත ). මෙය කියවීමට පෙර මොන තරම් අවුලක් ද සහ හම්බාවා, මා වඩාත් රස විඳි සංග්‍රහයන් විය එනුමුදු, මෙහි කවීත්වය, මැයන් හි විවිධත්වය, වරෙක මතුවන ස්ත්‍රීත්වය 2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන්ගෙන් ම මෙතෙක් වඩාත් රස විඳි සංග්‍රහය මෙය බව පැවසීමට පුළුවන.  ඒ අනුව, 2019 ප්‍රකාශ වූ විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහයක් බව කීමට කරුණු කාරණා දැනට යෙදී ඇත.


ශ්‍රේණි ගත කිරීම - ****1/2
කාව්‍ය
සන්ථව ප්‍රකාශනයකි (2019)

Wednesday, 25 November 2020

නිම්නාගේ ඉතිහාසය - කෞශල්‍ය කුමාරසිංහ

පළමු කොටස - සමස්ත අදහස

2019 වසරේ මහත් කතා බහට ලක් වූ, සම්මාන නිර්දේශයන් හී සාධාරණයක් ඉටු නොවුනැයි බොහෝ අය මැසිවිලි නැඟුවා වූ ද, කෞශල්‍ය කුමාරසිංහගේ "නිම්නාගේ ඉතිහාසය" කියවූවෙමි. වසර පහකට පමණ පෙර "මේ රහස් කවුළුවෙන් එබෙන්න" කියවා තිබූ හෙයින්, මේ පොත අතට ගත්තේ ම  බලාපොරොත්තු ඇතිවම ය. කෞශල්‍ය එම බලාපොරොත්තු ද  අභිබවා ගොසින්, ජාත්‍යන්තර මට්ටමේ නවකතා සමඟ එක පෙළට තිබිය හැකි නවකතාවක් ලියා ඇත. ඇත්තෙන් ම මෙම නවකතාව නූතනය. ඒ අර අප නිතර දකින, අසංඝත, හදිසියෙන් වචන කිහිපකින් "වෙන්න-නූතන" අර්ථයෙන් නොවේ.   ඉතිහාසයේ කැපකීරීම වර්තමානය හැඩ ගැස්වීමට කෙසේ බලපෑවාද යන්න පසක් කරලනු වස්, අප රටක් ලෙස, නැතිනම් ඊටත් එහා, ලෝකයක් ලෙස පසුගිය වසර සියය-එකසිය විස්ස පමණ කාලයේ කෙතෙරම් දුරක ප්‍රගමනයක් ලබා තිබේ ද යන බවට අපූරු කියවීමකි, මෙය.  සූර පරිවර්තිකයෙකු අතින් මෙම නවකතාව ඉංග්‍රිසීයට පෙරළී, ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකාශකයෙකු අතින් එළි දැක්වෙන්නේ නම් Man Booker International සම්මාන තරඟයක දී, හොඳ තරඟයක් දීමට  මෙම නවකතාව තුල විභවයක් ඇති බවකි, මගේ අවංක අදහස.

එක් අතකින් බලද්දි, නිම්නාගේ ඉතිහාසය යනු ම, නිම්නාගේ පරම්පරාවේ අය පමණක් නොව ලෝක වාසී නිම්නාගේ පරම්පරාවට පෙර විසූ සියළු දෙනා කල ඉමහත් කැප කිරීම් හෙතුවෙන් ( ඔවුන් "අප කැපකිරීම් කරම් හ", ආදි ලෙස සිතා එසේ නොකල බව සැබවි ), නිම්නා ගේ නිම්  පුළුල් කරමින්, තම දිවිය විඳීමට හැකියාව ලැබී ඇත.  අහම්බයකින්, නරක අතට නො හැරුනොත්, නිම්නාගෙන්  පසු පරම්පරාව, නිම්නාටත් වඩා හොඳින් ජීවිතය  විඳීමට නියමිතය. එසේ විඳීම, අද පවතින ආචාර ධාර්මික පද්ධතියේත් වඩා දියුණු තත්තවයක් තුල දී ය. හරාරි ගේ හෝමෝ ඩෙඔස් ( Homo Deus ) කෘතියේ ඔහු සංඛ්‍යාත්මක දත්ත මගින්,  අප මේ පසු කරමින් සිටිනුයේ මිනිස් ජීවිතය ගත කිරීමට වඩාත් ම ගුණාත්මක, යෝග්‍යතම කාලය බව පෙන්වයි.  ගෙවී ගිය කාලයක්, අතීතයක් ගැන සාංකාවක් අප තුල වූවද, ඇත්ත තත්ත්වය නම්, අද තරම් හොඳ තත්ත්වයක් මින් පෙර තිබී නැත. මෙහි, තරමක ප්‍රධාන මාතෘකාවක් වන ලිංගිකත්වය ආශ්‍රයෙන් බැලූ විට ද, ඇග්නස්ගේ ලිංගිකත්වය පිළිබඳ ව්‍යාකූලත්වය සහ ඇගේ එක් සොහොයුරෙකු ස්ත්‍රීන් කෙරෙහි වෙසෙස් ඇල්මක් නොපෙන්වීම, එම යුගයේ තිබූ නිදහසේ සීමාව පිළිඹිබු කරයි; ඔවුන් ට එකල එසේ නොදැනුන ද,  ඉන් යම් අසාදාරණත්වයක් ඔවුන් අත් විඳි බවය, සත්‍යය. මෙය ලංකාවට පමණක් ආවේණික තත්ත්වයක් නොවේ. ඔස්කාර් වයිල්ඩ් අස්වාභික ලිංගික චර්‍යාවන් නිසා සිර අඩස්සියට යන්නේ එංගලන්තයේ ය. ඊ. ඇම්. ෆෝස්ටර්, මෝරිස් නම් සම ලිංගිකත්වය උද්දීපනය වන අපූරු නවකතාව 1910 දශකයේ ලියා පළ කිරීමට මැලි වෙයි -එය පළ වන්නේ ඔහුගේ ඇවෑමෙන් 1970 දශකයේ ය. මෑතක අකල් ලෙස වියෝ වූ ජෝජ් මයිකල්, සමලිංගිකත්වය ගෙනෙන ගැටළු එම සමයේ විසඳාගත නොහැකිව තම දිවි තොර කර ගත් අම්මාගේ සොයුරා  පිළිබඳ My mother had a brother ගිතයේ පවසයි ( අසන්න "Patience - George Michael " ගීත ඇල්බමය, 2004 ); එම යුග දෙක ගැන ගැලපීමක් කරයි. නිමාන්ගේ ඉතිහාසය යනු මේ සියළු දෙනාගේ ඉතිහාසයයි. පසු ගිය වසර 120 ක පමණ කාලය තුල, මිනිසා වඩා විවෘත මනසකින් යුතුව, ප්‍රඥ්ඥාගෝචර ලෙස පමණක් නොව සංවේදී ව ( empathically ), ලෝකය වෙත බලන්නට පුරුදු වීමේ කතාවයි. මෙය අප රට තුල තවමත් සිදුවෙමින් පවතින දෙයක් බව සැබවි. එක්සත් රාජධානිය Brexit ඡන්දයෙන් ඊට පක්ෂව ඡන්ද ලැබීමට, ට්‍රම්ප් ඉතා තියුණු තරඟයකින් පසු ව පමණක් පරාජය ලැබීමත්, මේ රට වල ද මෙම තත්ත්වය ඔවුන් බලාපොරොත්තු වෙන තත්ත්වයට නැති බවට සාක්ෂිය.



නවකතාව අවසන් වන විට, කිසිවක් අවසන් නැත. කිම ද සියල්ල තවම සිදුවෙමින් පවති. ජාතිය, ලබ්ධිය, කුලය ආදිය වේගයෙන් යල් පැන ගිය ප්‍රමිතීන් බවට පත් වෙද්දී ( සහ ඒ වෙනුවෙන් කොමියුනිස්ට්වාදය කල මෙහෙවර ගැන පිළිගත යුතු අතර ම ), සමානාත්මතාව පසු කර නිදහස ම උත්තම ය යන කාරණාව පසක් කරලමින් නවකතාව අවසන් වේ. හරාරි, වැදගත් දෙයක් මතු කරයි ( එය ඔහුගේ මුල අදහසක් නොවීමට පුළුවන ). ධනවාදයේ සාර්ථකත්වයට එක හේතුවක්, ධනවාදීන් මාක්ස්වාදය කියවා තම අඩු පාඩු සාදා ගැනීම යන කාරණාවයි. ඔහු එය පවසන්නේ, උපහාසයක් ද සඟවා, "Marx forgot that capitalists know how to read.", ලෙස ය.  ඒ අනුව ඉතිහාසය විසින් අද දක්වා ප්‍රගමනයේ දී,  මාක්ස්වාදය ඉටු කල ඓතිහාසික කාර්‍යභාරයක් ඇත. දැන් අප ගත කරන්නේ නිදහසේ සහ පැවැත්මේ සූක්ෂම සංවේදිතාව දක්වා ශිෂ්ඨ වන යුගයකයි. එය ද අනාගත නිම්නා ලා බිහි කරනු ඇත. අමරලා ට ඇත්තටම අමරණීය වන තරමට දීර්ඝ ජීවිතයක් ගෙන එන්නට තරම් විද්‍යාව දියුණු වෙමින් පවති. ඒ සඳහා පර්යේෂණ දැනටත් සිදුවන්නේ, තරුණ ජවයකින් අවුරුදු 150ක් ජීවත්වීමේ සිහින දැකීම දැනටම ඇරඹී ඇති හෙයිනි.

 මා අන් කලා කෘති සහ සමාජ දේශපාලන කටයුතු ආශ්‍රයෙන්, මේ නවකතාව ගැන  යම් ඉඟිකිරීමක් කලේ, නවකතාව කියවන්න ට සිතා සිටින අයට බාධාවක් නොවෙන අයුරින් ඒ  ගැන   යමක් කීමට ය.

මගේ කියවීම අනුව නම්, හරාරි ගේ ලිවීම්, අප රට පසුගිය අවුරුදු 120 ක සමාජ දේශපාලන ඉතිහාසය සහ වර්තමාන ලංකාව, යන ප්‍රධාන සංඝටක එකතු කොට, ඉතා දක්ෂ ලෙස ගෙතූ වියමනකි, මෙය. යටින් දිවෙන දේශපාලන පණිවුඩය කලා කෘතියට බාධාවක් නොවෙන ලෙස, සියුම් හුයක් ලෙස ගෙන යාමට කතුවරයා මහත් පරිශ්‍රමයක් දරා ඇත. එය කෙතෙරම් සාර්ථක ලෙස කලා ද කිවහොත්,  එහි දේශපලාන ප්‍රචාරක බව ඇති-නැති සේය.  මා මෙය ඍණාත්මක අර්ථයෙන් නොපවසමි. කැමූ ගේ  සහ ඩොස්ටොව්ස්කි ගේ ශ්‍රේෂ්ඨ නවකතා වලද ඔවුන්ගේ සමාජ දේශපාලන අදහස්, සියුම් ලෙස ප්‍රචාරකව ඇත.


පොත කියවූ අය, මේ ඔස්සේ යම් සංවාදයකට එක්කාසු වන්නේ නම් වටිනේය.

2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 9
ශ්‍රේණි ගත කිරීම: *****
පළමු/දෙවෙනි මුද්‍රණය - අහස
තෙවෙනි මුද්‍රණය - විදර්ශන





දෙවෙනි කොටස - සමීප කියවීමක උත්සාහය -  ( ඉස්පොයිලර් ඇල'ර්ටය /
Spoiler Alert )

මේ නවකතාව නොකිය වූ, එහෙත් කියවීමේ බලපොරොත්තුවෙන් ඉන්නා කියවන්නියන්,  මින් පහත කොටස   නොකියවා ඉඳීම සුදුසු ය.  ඒ, නවාකතාවේ සමහර සිද්ධීන් පිළිබඳ සංස්කෘතීක, සමාජ-දේශපාලනමය හෝ රූපකමය කියවීමක් උදෙසා,  පොත නොකියවූ කියවන්නියක ගේ කියවීමකට බාධා වන අයුරින් සමීපව සාකච්ඡා කොට ඇති හෙයිනි.

එහෙත් දැනටම පොත කියවූ අයට පවසනු වස්, මා මේ පොත වෙතින් ලැබූ ආශ්වාදය මගේ වචන වලින් කීමටත් , එහි ගැබ් වූ සියුම් තැන් මතු කරලීමටත් ඇති කැමැත්ත නිසා පහත කොටස ලියා දක්වමි. ඔබ නොදුටු දෙයක් මා දුටුවේ නැති වන්නට පුළුවන. එහෙත් පොතේ සාර්ථකත්වයේ මිම්මක් ලෙස, පහත කොටස ද එක්කාසු නොකර  සිටීමට මට  නොහැකි විය.

සිංහල නවකතාවට නැවුම් අත්දැකීමක් වන,  ලේඛකයා,  නවකතාවත් පාඨකයාත් අතර සුළු ඉඩක සිට පාඨකයා ආමන්ත්‍රණය මෙහි වෙසෙස් ලක්ෂණයක්. ඒ අනුව පළමු කොටස ට පෙරාතුව නිම්නාගේ ජීවිතයේ ප්‍රධාන පුද්ගලයින් යැයි සිතිය හැකි කිහිපදෙනා ගැන හෝඩුවාවක් පළමු පිටු දහයක් තුල අපට  ලැබේ. නිම්නා  1989/11/09 උපත ලැබිමත්,  කොළඹ මරදානේ පාසැලක 2008 දී උසස් පෙළ විභාගයට මුහුණ දි තිබීමත්, 2009 වසරේ තම පළමු රැකියාව අරඹා තිබීමත් වැදගත්.

පළමු කොටස ආරම්භයේ දී ම, තමන් ට කිසිදා මතකයක් නොතිබූ තාත්තා ත්, ඔහු කෙරෙහි ඇති බැඳීමත්, තාත්තා නැති අඩුව ත්, පාඨකයාට ප්‍රකට කොට ඇත. ඒ එක්ක ම , පාඨකයා අතීතයේ යුග දෙකකටත්,  වර්තමානයටත්  යෑමට සහ ඒමට  සූදානම් ව මෙම නවකතාව කියවිය යුතු බව පෙනී යයි. ඇරඹුමේදී, නිම්නාගේ ෆේස්බුක් ගිණුම ගැන කතා කොට, දෙවෙනි පරිච්ඡේදයේ දී ඇගේ වැඩිවිය පැමිණීම ගැනත්, තෙවෙනි පරිච්ඡේදය වෙද්දී නංගී වෙත ආල හැඟුම් පළ කල තරුණයකු වෙත අක්කාගේ දෑස යොමු වූ ඓතිහාසික සිද්ධියක් මගින්  නිම්නාගේ ආච්චිගේ තරුණ කාලය කියා පෑමත් මෙය සපළ කරයි. මෙම නවකතාව, අප රට දේශපාලන සංස්කෘතික ඉතිහාසයේ විවිධ නිනව් පසු කරමින් යන්නක් බවට ඉඟි දෙමින්, නිම්නා වැඩිවියට පත්ව වන කාලය වන විට භාතිය සන්තුෂ් සංගීත ලෝකය කැළඹ වූ බවත් මතක් කරමින්. එවක ට වයස 24ක-25ක පමණ තරුණයෙකු ව සිටි මට කිසි දා ඔවුන්ගේ සංගීතය විශේෂත්වයක් නොගෙනා බවත්, එකල අප මිතුරු තරුණියන්, භාතිය සන්තුෂ් ගේ සංගීතය ට කැමති වීමත්, ඔවුන්ගේ නොමද අප්‍රසදායට හේතු වූ බවද මතකයට ගෙන ආවේ අතීතාවර්ජනයක් ලෙසිනි. ඒ සමඟ ම වැඩිහිටි පරම්පරාවක් වෙතින් සිරස වෙත සපැමිණි අකමැත්ත ද, නවකතාකරුවා ආදේශ කොට ඇත්තේ ස්වභාවික අන්දමින් - වසර ගණනාවක්, ස්වාධීන රූපවාහිනියෙන් සහ ජාතික රූපවාහිනි නාලිකාවෙන් සිංහල ටෙලි නාට්‍ය නරඹා, ශාන්ති ලා අප නිවෙස් වල ආලින්දයටත්, ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මන්දිරා බේඩි ලා ලංකාවට ගොඩ බහින්නෙත් ඔය ආසන්නයේ. එලෙසම, ඔය වන විට පෞද්ගලික  රෙදෙව් නාළිකා වල ට අවසර ලැබ,  ස්ථාපිත වී වසර 7-8ක් පමණ වෙනවා. SLBC ය විසින් ශ්‍රවණයට ලබා දුන් සීමිත සංගීතයෙන් මිදී, ශාන් වික්‍රමසිංහගේ TNL මගින්, බටහිර සංගීත ලෝකය වෙත වඩා විවෘත කන් ඇතිව සංගීත නිනවු ගවේශණයට මේ වන විට  අප යොමු වී හමාරය. බටහිර සංගීත ලෝලියෙකුට එය තරම් සතුටු දායක යුගයක් තවත් නොවීය.

ඉන් අනතුරුව එන වැදගත් විකාශනය,  ඇග්නස් ගේ චරිතයයි. ඇග්නස් පිරිමි හමුවේ  වික්ෂිප්ත වන්නේ ඇයි ? ඇය හා අමා මැණියන් අතර සබඳතාව කවර ගණයේ එකක් ද ? ඇය සයිමොන් චාලට් ට පිදුවේ පාරම්පරික සිතුවිලි වල පීඩනයෙන් ද ( අක්කා ගෙදර ඉන්දැද්දි නංගි මගුල් කෑම ), නැතිනම් සියුම්, ඇය ම නොදැන සිටි සමරිසි බවකින් ද? කෘතියේ මුල් අවදිය වන විට මේ ගැන පැහැදිලි නැති මුත්, මේ කාරණා දෙක ම මූලයන් ලෙස පාඨක සිත කොනිත්තයි - ලේඛකයා සාර්ථක ව මෙම කොනිත්තීම ඉඩ තනා තිබීම ඔහු ගේ දස්කම විය යුතුය. එහෙත්, සයිමන් ඇග්නස්  අසනීප වූ තැන ඈ බැලීමට ආ දින, චාලට් හැසිරිණු ආකාරයෙන් හා ඈ ගෙන ආ පීඩනය හේතුවෙන්, ඇග්නස්  ගේ සිතේ යම් ආශාවක නොමේරු අවස්ථාවක් හෝ තිබුණි නම්, එය ස්වභාවික ලෙස වර්ධනයට ඇති ඉඩ ඇහිරේ.  චාලට් ඇගේ මහළු වියේ දී, නිම්නා හරහා ඇග්නස් දැකීම මගින් ආතතියකට පත්වීම, ඇගේ වරදකාරී හැඟීමේ බලවත් කම කියා පායි. නිම්නා තම නවයොවුන් වියේ දී තමන් සමරිසි යැයි විශ්වාස කලාය. පණ්ඩුක සමඟ ඇගේ හැසිරීම , ඇග්නස් සිමියොන් ගේ ආගමනය ඉදිරියේ පෙන්වූ වික්ෂිප්ත බව හා සැසඳිය හැකිය. එකම වෙනස ඇග්නස්  ගේ සහ නිම්නාගේ යොවුන් අවදි අවුරුදු 50න් පමණ වෙන් වී ඇත. ඒ අවුරුදු 50 අතර කාලය හේතුවෙන් නිම්නා ට තම ලිංගිකත්වය පිළිබඳ යථා තත්තවය වටහා ගැනීමට ඇවැසි නිදහස, නූතන විවෘත සමාජය ඉඩ විවර දුන්නේය. එක අතකින්, ඇය රුසිරු ට ණය ය. ඒ,  "ඇය" සොයා ගැනීමට ඔහුගේ කල් මිණූ සියුම් ආදර බලහත්කාරකම හේතු වූ නිසා ය.  නූතන අවධිය පුද්ගලික නිදහස ඉදිරියේ අයෙකුට තමන් ව තමන් සොයා ගැනීමේ වඩා අවකාශයක් ඇති බව, කෞශල්‍ය,  ප්‍රකට ඇති අයුරු අපූරුය.

නවකතාව විටින් විට ඇග්නස් හා චාලට් ගේ කාලය ට යන්නේ, අප අසා නොතිබුනු  මෑත ඉතිහාසයේ සිද්ධීන් ද එළිදරවු කරමිනි. මෙහි එන ඉතිහාසය හා බැඳි සිදුවීම්  වල වැදත්කම හේතුවෙන්, ඊට මා එකතු කල ඌණ පූරණ ද, සහිත ව පහත දක්වමි;

i ) ග්‍රේෂන් ප්‍රනාන්දු ප්‍රමුඛව 1942 දී තමන් සේවය කල බ්‍රිතාන්‍ය හමුදාවට විරුද්ධව, සතුරු ජපන් පිළට දූපත භාරදීමට කල තැත, එවැන්නකි. ඇත්තෙන්ම, "කතුවරයා. ඔබ දන්නා කරුණකි" කියා අපේ දැනුම ගැන අධිතක්සේරුවක සිටියත්, මේ සිද්ධිය මා දැන ගත්තේ මෙම කෘතියෙන්.

ii) ධර්මපාලතුමාගේ අනගාරිකත්වයත්, මෙහි එන පොඩි අයියා දැනුවත් ව කිසිදු ගැහැණු ඇසුරක් නොපැතුවකු බවට ඉඟි කිරීම මගිනුත්, කතුවරයා සියුම් සමානකමක් ගැන සිතාගැනීමට පාඨකයා ට ඉඩතබා නතර වී ඇත. 

iii) එලෙස ම කාපිරි ගෙදර කතාන්දරයත් , "රෙදි මෝල" ආශ්‍ර්‍රිත එම පරිසරයේ රසවත් අතුරු කතාවකි. එය නවකතාවේ අනාගතයේ දිගැරෙන අතුරුකතාවකට කෙරෙන අපූරු ආයෝජනයක් වන්නේ, අවස්ථාව ලබා දෙතොත්, කෙනෙකු කෙතෙරම් දුරකට යා හැකි දැ යි  පෙන්නුම් කරලීම හරහා ය ( කෆිර් සිද්ධිය සහ ජෝ )

iv)  ඇග්නස් සහ චාලට් ගේ මව වූ මිලිනෝනා ගේ මායම්වීමත්, ඇගේ විවාහ දෙකත්, ඈ තම දෙවෙනි සැමියා සමඟ කිරුල්ලපොනට පැමිණීමත්, එහිදි එහි පදිංචිව සිටි දමිළ ජනයා සමඟ, වෙසෙසින් මුරුගේසු ගේ පවුල සමඟ පරම්පරා කිහිපයක් පුරා පැවති  සබඳතාවන් ද එවැනි ම රසවත් කතාවකි. 1983, "යකා වැසීම (?) " මගින්, එම පරම්පරා කිහිපයක් තුල පැවති ඒ සබඳතාවන් එතන් පටන් පරිහානියට පත් විය.

v) සුනිල් සාන්තයන් ගැන බොහෝ කතා අසා තිබුන ද, ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ දියණිය වූ එල්නෝර් රැම්ස්බොතම් ගේ ප්‍රශංසනීය පෞද්ගලික ලිපිය, මගින් ඔහු වෙත ගෙන ආ අපහසුතාව, සරච්චන්ද්‍රයන් ඔහුගේ ගීත කන්තාරු ගී විලාසයකැයි හෙබි යැයි කීම හා යම් සබඳතාවක් ඇත්දෝ යැයි සිතිණි. 

vi) ඇග්නස් "විලේ මලක් පිපිලා"ගීතයේ, "අප ප්‍රේමේ මේ ලෙසම තබාගෙන සසරින් ගැලවෙමුකෝ", සහ "කිලුටින් පිරි මේ මනුෂ්‍යාත්මේ, කෙලෙසද සොඳ මලට වඩා", ආදි පද මගින් තම මනසේ ව්‍යාකූලත්වය හා සාම්‍ය වීම ද අපූරු ගැලපීමකි. මට මේ හා මතකයට නැගුනේ ගුණදාස අමරසේකරගේ මුල් කාලීන නවකතා වල කාමය විඳීමත්, ඒ හා ඒ පිළිබඳව ඇති වන පශ්චාත්තාපයත් අතර නොනිත් ගැටීමත් ය ( යළි උපන්නෙමි ). ඒ යුගයේ දැඩි ප්‍රචාරවාදි ආගමික නැඹුරුව හේතුවෙන්, තමන් පිළිබඳ එතරම් විශ්වාසයක් නොවූවන් ගේ පීඩනය පිළිබඳ අපූරු කියවීමක් මින් කතුවරයා මතු කරන බවට සිතිය හැකිය.

vii) නිම්නා ගේ උපත බර්ලීන් තාප්පය බිඳ වැටීම සමඟ යම් සේ සංකේතවත් වන්නේ ද ( එනම් අදහස් හා හැඟුම් අදහස් ඉදිරිපත් කරලීමේ නිදහස, ලිබරල් ජීවන ක්‍රමයේ ව්‍යාප්තිය ආදි ඇගේ ජීවිතයට ඍජුව ම බල පෑ සාධක ), 1958 අගෝස්තුවේ උපන් අමරගේ අකල් මරණය ද ඒ උපන් දිනයේ ම තීරණය වූවා වැන්න. ඊට බණ්ඩා-චෙල්වා ගිවිසුම, ශ්‍රී අකුර ගෙන ඒම ආදී ගිනි පුළිඟු, හේතු වූ පැහැදිලිය. මෙම නවකතාවේ විශේෂත්වය මෙවන් ගැලපීම් ය. ඓතිහාසික සිද්ධිදාමයක් හා ඒ ඔස්සේ ඊට අදාළ යුගයේ උපදින දරුවෙකු එම සිද්ධිදාමයන්හි ප්‍රතිවිපාකයන් විඳින  බව පෙන්වා ඇත්තේ, තම ආඛ්‍යායනයට බොහෝ විට කිසිදු පෑස්සීම් සලකුණක් නැති වන සේ ය,  සූක්ෂමවය, සුමටවය.

viii) ඉතිහාසය සබැඳි, එහෙත් තාර්කික සබඳතාවක් ගොඩනැගිය නොහැකි කරුණු අප ලේඛකයා මතු කර ඇති ආකාරය, පාඨකයාගේ සිත කලකට හොල්මන් කරවන සුළුය. ඇග්නස්ගේ දෙතොල් අසල උපන් ලපයත්, නිම්නාගේ එතැන ම වූ උපන් ලපයත්, පණ්ඩුක හා එම උපන් ලපය අතර "සිද්දියේදී", එක්වරම ඈ ට පණ්ඩුකගෙන් ඈත් වීමේ උවමනාව, පාඨකයාට ඊට වසර පනහකට පමණ  පෙර සිටි ඇග්නස් මතකයට නංවන්නට සමත් ය. එනම් භෞතිකත්වයේ සීමා වලින් ඔබ්බට වූ හුයක් පිළිබඳ ඉඟියක් මෙනි.

ix)  පහත සඳහන් දේශපාලන අවස්ථාවාදි කම ගැන කොටස මා සිත් ගත් හෙයින්, මෙහි සඳහන් කරමි. මෙහි 'ඌ' යනු JRය. සිද්ධිය 1983 සිද්ධිය ඇවිලීමට හේතු වූ JR ගේ භූමිකාවයි.

"මං හිතන්නේ ඌ තාම දන්නෙ නෑ ඌ කොහොමද වාසිය ගන්නේ කියල. සමහර වෙලාවට දේශපාලකයෝ අවුල් හදන්නෙ අවුලෙන් ගන්න වාසිය හරියටම දැනගෙන නෙමේ. අවුලක් හැම තිස්සෙම අලුත් දේශපාලන වියහැකියාවන් ගොඩක් නිර්මාණය කරන හින්ද. ඒ හින්ද ඌ වාසිය ගැන හිතන්නෙ අවුල හැදුවට පස්සෙ." ( 299 පිටුව )
දේශපාලනිකව, 1983 දී කෙතෙරම් පටු තැනක සිටියේ ද යන්න ගැන යම් පිළිඹිබුවක් broken palmyrah පොතෙන් කොටස් දෙකක් උපුටා පෙන්නුම් කරලීමට කැමැත්තෙමි.

ගාමිණි දිසානයක 1983 ජූලි මස පැවසූ යැයි සැලකෙන පහත වදන් වලින් පෙන්නුම් කෙරේ.

"If India invades this country, the Tamils will be killed within 24 hours." ( page 66 - The Broken Palmyra )

 ජේ ආර් ජයවර්ධන ජූලි 28 දින රූපවාහිනියේ ජාතිය ඇමතු අයුරු Broken Palmyra සඳහන් කරන්නෙ මෙලෙසය:

"...J.R. Jayawardena, spoke publicly for the first time on Thursday evening, justifying what had been done to the Tamils in South and central Sri Lanka, and uttering not a word of sympathy." ( page 65, ibid )

මා මෙම කොටස් උපුටා දැක්වූයේ, දේශපලඥ්ඥයා එදත් අදත් තිබෙන තත්ත්වයෙන් වාසිගත්ත ද, කාලය මැවු වෙනස අනුව 1983 දී ජේ.ආර්. ලා, ගාමිණි ලා කල කී දෑ, අද වෙසෙන දේශපාලඥ්ඥයන් කීම, ලොව බොහෝ තැන්වල සිතීමට හෝ නොහැකි බව පෙන්වා දීමට ය. ඒ අවුරුදු 37ක් පමණ මෑත කාලයේය. අද දෛනිකව ට්‍රම්ප් සිට, පූටින් සිට, ගෝඨාභය දක්වා දෛනිකව විවේචනයට ලක්වේ.  මුහුණු පොත රට වල ආණ්ඩු පෙරළු අවස්ථා දුලභ නැත.

x) මෑත කාලින දේශපාලන කතාවකට යොමු වන්නේ නම්, සුදු අයියා ගේ පාපොච්ඡාරණය, වරෙක විප්ලවීය වාමාංෂික පක්ෂයක සිට, මෑත ඉතිහාසයේ චණ්ද්‍රිකා ආණ්ඩු සමයේ ආණ්ඩුවට පක්ෂපාති ව ක්‍රියාකාරී වූ අයවළුන් ගැන කියවීමක් වැනි ය.

"මං දන්නව මං මැරෙන්න යන්නෙ කියල. ඒක කිසිම අභිමානයක් නැති මරණයක් කියල මං දන්නවා. මැරිලා කියල කවුරුත් දන්නැති, මරණ සහතික නැති, ෆියුනරල්ස් නැති මරණයක්. එහෙම මරණ දැන් හැම තැනම, මට එහෙම උන්ගේ අවතාර රෑට හීනෙන් පේනවා නංගි" (  134 පිටුව )

 නැවත නවාකතාවේ ප්‍රධාන ආඛ්‍යායනය වෙත යොමු වෙමි.

ඉතා මෑත ඓතිහාසික සිද්ධියක් වෙත යොමු වෙමි. නිම්නා ශිෂ්‍යත්වය සමත් ව මරදානේ ප්‍රධාන පාසැලකට යන්නේ 2000 වසරේ විය යුතුය. එනම් 2000-2009 කාලය, නැතිනම් ඈ ට තේරුම් ඇති, පාසැල් පංති ආදිය සඳහා යම් අවදානමක් ඇති ව හැසිරුණු කාලයකි. කාලයේ දී බෙදුම්වාදී කොටින් ගේ ත්‍රස්තවාදි ක්‍රියා වලට කොළඹ සහ දකුණේ අන් ප්‍රදේශ නතු වද්දී, 2008 පමණ කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානයේ දී අවාසනාවන්ත ලෙස ඈ හා සම වයසසැති,  ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු මියයද්දී, ඒ පිළිබඳ කම්පනයක් ඈට නොතිබීට හේතුවක්  නැත ( ප්‍රභාත් ජයසිංහ කොළඹ බෝම්බයකින් මියගිය අවාසනවන්ත සිසුන් ගේ අවතාර වසර ගණණාවකට පසුව අවදිවීම අලලා අපූරු කෙටිකතාවක් ලිව්වේය; බලන්න 'හොකී විතවුට් ස්ටික්ස්' - මකර තොරණ ). තාරා සමඟ සැලෝනයේ සිටිද්දී දකින පුවත් හීනි පටියේ, 'මාවිල් ආරු මුදා ගැනීමේ මෙහෙයුමේදී ඊයේ දිනයේ ඇවිළි ගිය සටනින් මියගිය කොටි ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු විසිඑකක් අද දිනයේදී රතු කුරුස සංවිධානයට භාර දෙනු ලැබුවා', යන පුවත ඈ තුල හැඟීම් දනවන්නක් නොවීම ස්වභාවික වුවද, ෆාතිමා නිම්නා ට "අද ඔඳ දවසක්නෙ බබා. මේ දවස එනකං අපි කොයිතරං මලං ඉටියද ?" යයි පවසද්දි, නිම්නා ට ද එය සංවේදී නොවී තිබීම තරමක් අස්වභාවික ලෙස දිටිමි. ඒ, පෙර කීවක් මෙන්, ඈ ද යම් අවදානමක් විඳ තිබීය යුතු නිසාය. එහෙත් කතෘ ගේ වෑයම, 1989 බර්ලීන් තාප්පය බිඳුණු දවසේ උපන්, අවුරුදු 25ක් වෙද්දිත් දේශපාලනය ගැන වද නොවෙන ( ඈ ඇත්තෙන්ම බර්ලීන් තාප්පය යනු කුමක් ද කියා හෝ දන්නේ නැත), එහෙත් ඉන් පසු උදා වෙන නිදහසේ දරුවෙකු ගේ දේශපාලන සමාජ ඉතිහාසය කියාපෑමටය. ඇගේ පියාණන් වූ අමර, අකල් මරණයක් සමඟ උපන්නේ කෙලෙසද, එලෙසම නිම්නා නොහොත් 'නිමි', එම යුගය අවසන් කරන යුගයක දරුවෙකු බව සැල කිරීමේදී, කතුවරයා මේ විදිහ භාවිත කරන්න ට ඇත.

නව පරපුර ආගමික රාජ්‍යය නැඹුරුවක් වෙනුවට, ශිෂ්ඨ ලෞකිකවාදී ලොවක් වෙනුවෙන් පෙනි සිටින අයුරු පෙන්වා ඇති ආකාරයද, පණ්ඩුක වැනි අය ඊට විරුද්ධ වන ආකාරයත් අද දක්වා දිගැරෙන සාකච්ඡාවකි. ඒ අතරම, ඔවුන් සැම දෙනා  සියල්ල අමතක කොට සිකුරාදා දින සතුටු වන්නා සේම, "මොකද්ද මේකේ තේරුම", යන්න ද වරෙක වද දෙන ප්‍රශ්ණයක් ලෙස මතු වේ. විශූ ගේ වෙනස්වීම මගින් ද මෙය තරමක් දුරට පිළිඹිබු වේ.

 කෙතෙරම් නූතනත්වය, සමාජ සාධාරණැය ගැන විශ්වාස කලද, "නිම්නා-රුසිරු" සිද්ධිය හේතුවෙන් අරවින්ද තුල ඇතිවන "බිහිසුනු ඕම්කාරය", සාමාන්‍ය පිරිමි සිතක සැටි හා තමන් සමඟ ඇති ගැටුම සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇති අවස්ථාවක් ලෙස දකිමි.

වර්තමානය බලකරන, ළඟින්ම ආශ්‍රය කරන අය අතර අළුත් ආචාරධාර්මික කේතයක් ගැන අරවින්ද කියනා කොටස ද මා සිත්ගත්තේ ය. 

"ඒක තමයි අපිට සමහර එතික්ස් රකින්න වෙන්නෙ. මං ඔයාගෙ ෆෝන් චෙක් කරන්නෙවත් නත්තෙ ඒකයි. සමහර දේවල් දැනගන්න එකෙන් අපිට කිසිම වැඩක් නෑ නිමි" (559 පිටුව )

මේ ඔස්සේ, වර්තමානයේ එකිනෙකා වෙත වඩා විවෘත, වඩා අව්‍යාජ සබඳතාවන් හී හැඩයක් ගැන දළ අදහසක් කතුවරයා ගොඩ නගා ඇත. ඒ, සබඳතාවන් හි වටිනාකම් දන්නා මෙන්ම, එහෙත් මිනිසා වැරදි නොකරනා මිනිසෙකු නොවන බවත් පිළිගන්නා අයුරකිනි.

කතුවරයා, නිම්නා වන්දනා හමුවීමට යන මහල් සංකීර්ණයේ දී හමුවන රෝද පුටුවේ යන වයස්ගත කත, හා ඇය තල්ලු කරමින් එන තරුණිය තුලින්, අපට අවශ්‍ය නම් "මේ රහස් කවුළුවෙන් බලන්න" අවස්ථාවක් ද ලබා දී ඇත. එය අපූරු අවස්ථාවකි. ( 483 පිටුව )

සමාප්ත කරලීමට,

"මං හිතන්නේ සමානාත්මතාවට වඩා මිනිස්සු ආස නිදහසට නිමී." ( 659 පිටුව)

නවකතාවේ අවසන් වාක්‍යය ලෙස ද සැලකිය හැකිය.



Monday, 16 November 2020

මකර තොරණ - ප්‍රභාත් ජයසිංහ



හොඳම කෙටි කතා සංග්‍රහය, 2016 - රාජ්‍ය සාහිත්‍ය සම්මාන

   "වයඹ දිග වැසියෙකුගේ දින සටහන්" නමින් වූ වෙනස් ම ආරක කෙටි කතා සංග්‍රහයක් මා කියවූවේ 2012 දී පමණ ය. ඉන් අනතුරුව කතුවරයාගේ දේවාකන්‍යා නමින් වූ කෙටි කතා සංග්‍රහයක් ප්‍රකාශ වූ ව ද, එය කියවීම පැහැර හැරියෙමි. 2016 දී ප්‍රකාශ වූ "

  "පොලිස් නිලධාරියා මරුට" කෙටි කතාව, වත්මනෙහි දේශපාලනික වූ පොලිසිය, එහි ඉහ වහා ගිය දූෂණය, කිසිදු කාරණාවක් පිළිබඳ සත්‍ය අවබෝධ කරගැනීමේ අපහසුතාව යන වත්මන් තත්ත්වයන් කෙටිකතාව නම් කලා මාධ්‍ය හරහා ගෙන හැර දක්වයි. කීමට ඇත්තේ කරුණුකාරණා අවුස්සා අවුස්සා යන මාධ්‍යවේදියෙකු එතරම් ව්‍යාකූල වනවානම්, සාමාන්‍ය ජනතාව වන අප ගැන කුමන කතා ද යනුවෙනි.

 "හොකී විතවුට් ස්ටික්ස්", මෙහි එන මා සිත් ගත් කෙටිකාවකි. කොටුවේ දුම්රිය ඉස්ටේසමේ බෝම්බයෙන් මිය ගිය එකම පාසලක ට අයත් හොකී ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඔවුන්ගේ මරණයෙන් වසර ගණණාවකට පසුව එක් වී වත ගොත සොයා බලයි. ඒ වන විට වෙනස් වී ඇති ඔවුන්ගේ පවුල් පසුබිම්, දේශපාලන පසුබිම් ඉදිරියේ ඔවුන් කෙතෙරම් අසරණ වන්නේ ද යත්, නැවත මිනී පෙට්ටි තුලට රිංගීම ඇත්තෙන්ම වඩා හිතකර බව ඔවුන් අවබෝධ කර ගනී.
මකර තොරණ" පාඨක අවදානයට ත්, ප්‍රසාදයට ත් ලක් වීම හේතුවෙන්, මීට මාස එකහමාරකට පමණ කියවූයේ ය.

සංග්‍රහයට නම දුන් කෙටිකතාව මෙහි තෙවැන්නයි. වර්තමාන දායකසභා වල ඇපයට පත් වූ අප පන්සල් වලට පත් ව ඇති ඉරණම ගැන නිර්මාණයකි "මකර තොරණ". ලේඛකයා තමාට සමාජයට කීමට ඇති පණිවුඩය තම නිර්මාණය තුලට පරිපූර්ණ ලෙස අන්තර්ගත කොට තිබුණ ද, එය පාඨකයා වෙහෙසකරවන කියවීමකි. ඒ, ලේඛණය ආයාසකාරි අභ්‍යාසයක් වූ නිසා යැයි හැඟෙන නිසා ය. පිටු පණහක ප්‍රමාණයක් දිගැරෙන කෙටි කතාව අසාර්තක යැයි කීමට ඉක්මන් නොවූව ද, ලේඛකයා ගේ දේශපාලනය නිර්මාණයේ රසවත් බවට පාරාවළල්ලක් වූ බවයි මගේ අදහස.

ලාංකීය විශ්ව විද්‍යාල පද්ධතිය වෙත සෝපාහාසකාරි බැල්මක් එල්ල කරන, එහි සිටින සමහර චරිත එතන යම් සාර්තක්තවයකට පැමිණියේ කෙසේදෝයි යන්න සෝදිසි කරන ආරේ නිර්මාණයකි, "එකමත් එක චරිතාපදානයක්" වූ කෙටි කතාව.

"අවුරුදු ගානක් අග සති දෙකක්" වූ කලි මෙහි එන යම් සංවේදිතාවක් පෙන්වන සාර්ථක කෙටිකතාවකි. තරුණයෙක්, ඔහුගේ පැරණි පෙම්වතිය සහ වත්මන් පෙම්වතිය යන චරිත තුනක්, තරුණයාගේ රෝගි තත්ත්වයක් මතු වූ විට හැසිරෙන ආකාරයත්, මිතුරියක් සහ පෙම්වතියක් අතර රේඛාව එහා මෙහා වෙන ආකාරයත් පෙන්වන අපූරු නිර්මාණයකි. මෙහි එන අනෙක් බොහෝ නිර්මාණ මෙන් ආයාසකාරි කියවීමක් නොවේ.

"කාලක ජාතකය", විශ්වාසය සහ ආගම කෙසේ වර්ධනය විය හැකි ද, එහි මූලාරම්භයේ සත්‍ය ස්වභාවය කෙසේ වී ද යන්න පිළිබඳ සිතීමට පාඨකයා යොමු කරනා ආකාරයේ කෙටි කතාවකි. මා රස විඳි කෙටි කතාවකි.

යම් අය තම පැවැත්ම සඳහා "සුදු වෑන්" පැමිණ ඔවුන් පහර ගනිතැයි පැතූ සැටි ද,  සංකේතීය වශයෙන් හෝ ඒ සඳහා ඔවුන්ගේ පෞරෂය පවා දන් දී රාජ්ය නොවන සංවිධාන සන්ධර්භය තුල තම පැවැත්ම තහවුරු කරගත් අයුරුත්, උපහාස මුඛයෙන් කියවෙන නිර්මාණයකි, මෙහි එන අවසන් කෙටි කතාව.  මා රස විඳි කෙටි කතාවකි.

  සමස්තයක් ලෙස, කතුවරයා බොහෝ අවස්තා වල ඔහුට කීමට ඇති සමාජ දේශපාලන විවේචනය, සෝපහාසය සමඟ මුසු කොට නිර්මාණය කල කෙටි කතා සතෙකි. මේ කර්තව්‍ය ලේසි පහසු කටයුත්තක් යැයි සිතිය නොහැක. ඒ, ඔහු එම සමාජ-දේශපාලන කාරණාව විචාරනවා හැරෙන්නට තම දේශපාලන න්‍යාය පත්‍රය නිර්මාණය තුලට ඔබ්බවා නැති හෙයිනි. එනුමුදු, ඔහුගේ අරමුණ ක්ෂාත් ක්ෂාත් කරලීමේ දී කෙටි කතාවේ රසවත් බවට යම් මිලක් ගෙවීමට සිදුව ඇතැයි සිතේ. වරෙක මෙහි එන කෙටිකතා කියවීම ආයාසකාරි වන්නේ ඒ නිසා ය. ඉන් නිර්මාණ අසාර්ථක යැයි නොකියවේ. කිම ද සමාජ-දේශපාලන විචාර අපක්ෂපාතීව වරෙක යතාර්තය තුලත්, වරෙක ඉන්ද්‍රජාලික යතාර්තය තුලට  ගෙන ඒම ම සියුම් නිර්මාණාත්මක කර්තව්‍යයකි. වර්තමානයේ පිහිටා, රෝගී සමාජය දෙස විචක්ෂණ නෙතකින් බලා, එය හැකි තරම් මධ්‍යස්ථ ස්ථානයක සිත විචාරා, නිර්මාණාත්මක සන්දර්භයක් තුලට ගෙන ඒම, පැසසිය යුතු කර්තව්‍යයකි. එහෙත් 2016 ප්‍රකාශ වූ හොඳම කෙටි කතා සංග්‍රහය, මට නම් මෙය නොවේ. කාලිදාස! කල් ඉකුත් වී නොමැත සහ දුෂ්ඨකමේ සෞන්දර්‍යය රත්මලානේ තවත් කතා, කියවීමට ඉතුරු වී ඇති සන්දර්භයක දී, මා එරික් ඉලයප්ආරච්චිගේ බැග්ඩෑඩ් මීට වඩා රසවිඳි බව පමණක් කියා සිටිමි.
(2017 සැප්තැම්බර් මස දාහත් වන දින ලියූ ලිපියකි )

Saturday, 24 October 2020

නිෂ්ක්‍රාන්තිය - සුනේත්‍රා රාජකරුණානායක

සම්මාන නිර්දේශ වල හොඳ පැති ඇත.  



ලංකාවේ ප්‍රවීණතම කතුවරියක වුව ත්, ඇගේ නවකතා ම දහයක් කියවා ඇතත්, අප තරමක් විශ්වාස කරනා පාඨක ප්‍රජාවගේ අදහස් අනුව, මෑතක කතුවරිය ලියූ ජයන්, ශ්‍රී කාන්ත්, සෞම්‍යාලෝකනය සහ මියුරු හඬ යන කෘතීන් කියවීම අතහැරියෙමි. එහෙත් දැන් නිෂ්ක්‍රාන්තිය ගොඩගේ සම්මානය දිනා, සහ ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණ ඇත. මෙම ජයග්‍රහණයන් මෙම කෘතිය කියවන්නැයි අප ට බල කර බව ය සත්‍යම කරුණ ( නැතිනම් මා මුලින් කියවීමට තෝරාගත්  2019 ප්‍රකාශ වූ නවකතා 15 හි, මෙම කෘතිය නොතිබිණි - මෙයත් සමඟ එය 16ක් බවට පත් විය). ඒ පසුබිම මතය, මා නවකතාව කියවීම ට යොමු වූයේ - නැතිතිනම් පාඨකයින් මේ කෘතිය  ගැන මිශ්‍ර අදහස් ය පළ කර ඇත්තේ.

ඉතින් එසේ කියවීමට පෙළඹුන පොත කොහොමද ?

මෑතක මා කියවූ හොඳම ආරම්භයක් තිබූ නවකතාව නිසැක වශයෙන් ම මෙය විය යුතුය. පිටු 40ට වැඩි පළමු පරිච්ඡේදය ආයාසයකින් තොරව කියෙව්වේ, මතකය පමණක් නොව තමන් කවුරුන්දැයි ද යන්න අමතක වූවකු ගේ  ගැටළුපිරි මානසිකත්වය පිළිඹිබු වන අයුරෙන් ලියැවී ඇති නිසා ය . මේ නම් අපූරුම පොතකැයි සිතමින්, මා ඉදිරියට කියවාගෙන ගියෙමි.  වඩා කෙටි දෙවෙනි, තෙවෙනි පරිච්ඡේද වල ආඛ්‍යායන හසුරුවන්නේ, අර පෙර කී මතකය අහිමි වූ කත ගේ උදව්වට පැමිණි ග්ලෝරි නම් තරමක් වියපත් කතයි. පාසැල් ගිය කාලය මතක් කරමින් ඇදෙනා මෙම කොටස් වල ඊට ම  ආවෙණික රිද්මයක් ගෙනෙන්නේ එම විශ්‍රාම සුවයෙන් වෙසෙන කතුන්ගේ දිවි පෙවෙතට ගැලපෙන අයුරිනි; ඒ අතර මතකය අහිමි ඇය, කවුරුන්ද, යන ගැටළුව සියළු දෙන අතර පවති. කෙමෙන් කෙමෙන් එම මතකය අහිමි වූ කත ගේ මතකය නැවත ලැබීමත් සමඟ නවකතාවේ ආඛ්‍යායනය මහනුවරට මාරු වෙයි. මෙතෙක් වේලා පාඨකයා අඳුරේ තැබූ ඇගේ කතාව කෙමෙන් කෙමෙන් පිටු පුරා ඇදෙන්නේ jig-saw ( ජිග්සෝවක් ) හැදෙන්නාක් මෙනි. ඊට තැනින් තැන වර්ණයක් ගැනෙන්නේ මෙවන් අදහසකිනි:

"ලංසි මිනිස්සු රිටායර් වෙලා ඒ පතිවලට ගියා. පෙන්ෂනර්ස් පරඩයිස් කියලා නුගේගොඩට කිව්වේ. නාවල ඇලේ වතුර ඔහොම නරක්වෙලා නෑ. මිනිස්සු මාළු අල්ලන හින් දිය පහර." (128 පිටුව)

මෙහි සෙවනැලි 1980 දශකය සහ 1990 දශකයේ මුල දක්වා තිබූ බව මතක් කරන්නේ, කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ ඒ වන විට ද සැලකිය යුතු බර්ගර් ප්‍රජාවක් වාසය කල බවත් අප කොලු වියේ එම කොලුවන් සමඟ කෙළිදෙලෙන්, රස්තියාදුවෙන් කල් ගෙවූ බවත් මතක හෙයිනි. නව යොවුන් වියට පා තබමින් සිටිය දී, 88-89 සමයේ රටේ භීෂණය එම තීව්‍රතාවෙන් ම අපට නොදැනුනේ, ඒ බර්ගර් ආශ්‍රය නිසා යැයි අද ආපසු හැරි බලනා කල අපට හැඟේ.

මෙහි එන ජයමංගලා ගේ තරමක් නිදහස් දිවිපෙවෙත ගැන කියවෙන කොටස ද රසවත් ය. මවක් වශයෙන් ඈ ව තුලනමය ඇගයීමකට ලක් කිරීම,  මෙම නවකතාවට වටිනාකමක් ගෙනදෙන්නීය. තැනෙක ඇගේ දියණිය ජයමංගලා කතාවක දී මෙවන් අදහසක් ප්‍රකාශ කරය: 

"මානව සමාජ සංවිධානගත වෙනකොට නීති හදා ගත්තාට ආගම්වලින් නීති පැනෙව්වට මනුස්ස ප්‍රාණීයෝ හැම වෙලාවෙම යටි හිතෙන් ඉන්නේ ඒ හිරගෙවල්වලින් පිටත වෙන්නැති." ( 186 පිටුව )

එම මවගේ සහ දියණියගේ සම්බන්ධය ගැන, අන් තැනෙක, දුව වරෙක මෙසේ ද කියයි"

"අනේ ඔයා බැංගලෝර් යනකල් ධර්ම කතා තිබුණේ නැහැනෙ. මාව හදුවෙ දහම් පාසලකටවත් යවන්නේ නැතුවනේ" ( 301 පිටුව)

එසේ වුවද, ජීවත් වෙමින් එම ජීවිතය ඉගෙන ගත් එම මව ( අන් මගක් ඊට වෙත් ද?), මෙම ආත්ම විශ්වාසය තම දියණියට ලබා දෙන්නේ ඇය විවා ගිවිස ගද්දීය:

"ඔයාගෙ සත්‍යයන් අසත්‍යයන් වුණොත් එහෙම නැත්තං ඔයා තෝරාගත්තු මාර්ගයේ අතරමං වෙන්න ගත්තොත් එහෙම ඕනම වෙලාවක හරිලා එන්න බයවෙන්න එපා. ආයෙමත් පටන් ගන්න එක දුකක හරි වරදක හරි හිරවෙලා ඉන්නවට වඩා හොඳයි" ( 200 පිටුව )

ඉතින් එක් මනසකට විඳිය හැකි තරමකට වඩා ප්‍රශ්ණ ඇතිවීමට පෙර යුගයේ,  ඔවුන් දෙපළගේ ජීවිත එලෙස ය.  එහි අසම්මතයේ යම් ඡායාවක් තිබුන ද , අවංකතවයෙන් පරිපූර්ණය. ජීවිතය විඳින්නෝය. නවකතාව ඉන්දියාවේ චෙන්නායි නුවරත්, පසුව ජයමංගලා දීර්ඝ කලක් වෙසෙන හිමාචල් ප්‍රදේශයේ ටිබැට්  ක්ෂේම භූමයක් වෙතටත් යොමු වන්නේ, පිළිවෙලින්, අප කතා නායිකාවගේ ඉතිහාස කතාවත්, ජයමංගලා ගේ දිවිසැරියේ දිශාවත සමඟය. මාධ්‍යවේදීන් දඩයම, දේශපාලඥ්ඥයින්ගේ මනදොළ වෙනුවෙන් ඕනෑම දෙයකට යොමු වීමට ඇති නොපසුබෑම ආඛ්‍යායනය මතු කර ඇත්තේ චෙන්නායි, ශ්‍රී ලංකාව යැයි වෙනසක් නැති බවක් ඒත්තු ගැන්වෙන අයුරිනි. කතුවරිය ඉඟි කරනුයේ, මුහුණ දෙන අසාධාරණකම් අතින් එතරම් වෙනසක් නොවූවත්, ඉන්දියානු මහජනතාව පාරට බැහීමට ලාංකිකයාට වඩා සූදානම් බවකි. කතුවරිය ඍජුව පවසා නොසිටියා ද, දිවියට "නියමිත රේල්ලුවෙන්" නොපිට පැන සීරුවට ජීවත් වන්නන්ට වඩා, තම දිවිය සිත්සේ විඳින්නන්ට මුණ ගැහෙන අපූරු චරිත හේතුවෙන් ජීවිතයේ රස උත්තේජනය වැඩි වන්නා සේ ම, විඳින්නට වෙන කම්පනයන් ද එලෙසම ය. නවකතාවේ මැද කොටස වැඩි පමණක් මේ නිදහස් ජීවිතය ගෙනෙනා අලංකාරයත්, වර්තමාන කලාපීය දේශපාලන වටපිටාව ගෙනෙන අස්ථාවරත්වයත් අපුරුවට ගෙනහැර දක්වා ඇතැයි සිතුනි.  බොහෝ චරිත නවකතාව තුලට පැමිණීම, කෙටි කලකින් ම  ඉවත් ව යෑම තුලත්, හිමාචල් ටිබැට් මෙහෙණිනියන් ගේ ජීවන රටාව ආදියත්, ඉවසිලිවන්ත නොවෙන කියවන්නියක් වික්ෂිප්ත කිරීමට ඉඩ ඇත - එය පාඨකයකු සෙමින් කියවා රස විඳිය යුතුය.   මේ කෘතියේ ඇති එක් ධනාත්මක ලක්ෂණයක් නම්, කියවීමට අලසකමක් ඇතිකරනා බවකින් තොර වීමය. හිමාචල් විස්තර වරෙක වැඩි යැයි නොසිතුනා ද නොවේ. ජයමංගලාගේ ආඛ්‍යායනයක් ලෙස දිගැරෙන හිමාචල් විස්තරය, කෘතියේ දිගම පරිච්ඡේදය වන්නේ ය.

එහෙත්, නවකතාව අවසන් කර ඇති ආකාරය පිළිබඳ අයෙකුට සතුටු නොවන්නේ නම්, එය එතරම් අහේතුක ද නොවේ. නවකතාව ට උක්ත යුගය අනුව, එම සිදුවීම භාවිතාකිරීම නුසුදුසු යැයි කිව නොහැක. එහෙත් පිටු පසු කවරයේ කියවෙන පරිදි,

"මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද, නීතිය ද, නිෂ්ක්‍රාන්තියට පත්වන්නට ඉඩ දිය නොහැකි ය",

යන්න නවකතාව ට පසුව පැමිණි සටන් පාඨයක් මෙනි; පසුකල්පනාවක් මෙනි; නවාකතාවේ අවසන ලියාගෙන එද්දී අප රටේ සිදු වූ එම අවාසනාවන්ත සිද්ධිය, මුළු පොත ගැන සාරාංශ වාක්‍යයක් ලෙස ඉදිරිපත් කරලීම පිළිබඳ, එතරම් පැහැදීමක් මා තුල් ඇති නොවිණි. එය නවකතාවේ පරිපූර්ණත්වයට යම් පළුද්දක් ඇති කරයි.  මාධයවේදීන් සහ නිදහස් මිනිසුන් හට දේශපාලන හස්ථයන් මගින් සිදු වූ අඩත්තේට්ටම් දීර්ඝ ලෙස නවකතාවට එක්කොට තබා, අවසන් මොහොතේ දරුණු ආගමික අන්තවාදී සිදුවීමක කම්පනය හේතුවෙන්, නවාකතාවේ ගලායෑම ට වැරෙන් පහරක් එල්ල වූ ලෙසය මට හැගුණේ. සමහර දෙබස් වලින් පවා, ජන කොට්ඨාශයක් ඒකාකෘතිකරණයකට ලක්වන්නේ දො යි සැක සිතේ.

"ඒගොල්ලො මං මුළාවෙලා වුණාට අපි එහෙම වෙන්න හොඳ නැහැ. එතකොට ඒගොල්ලන්ගෙයි අපෙයි වෙනසක් නෑ" ( 341 පිටුව )

නවාකතාවේ චරිතයක දෙබසක් ලෙස මෙය සාධාරණ යැයි අයෙකු ට විග්‍රහ කල හැකි වුවත්, කතුවරිය පවා යම් කම්පනයක් තුල හිඳිමින් ම නවකතාව අවසන් කලාදෝ කියා සිතුණි. මෙම අසහනකාරී කාලයේ මෙවන් අදහස් මතුවීම  අස්වාභාවික නොවැතැයි, කෙනෙකුට කිව හැක. එහෙත් මෙම සිද්ධිය වඩා සවිස්තර ලෙස නවකතාව තුලට ගෙනැවිත් නැති විටෙක, එය නවකතාව සමාප්තයට පමණක් භාවිත වන හෙයින්, ඉන් නවකතාවට එතරම් සේවයක් නොවේ. කිමද, එකොලොස් වැනි පරිච්ඡේදය වන තෙක් ම තුබූ සිදුවීම් බහුල නිසා, ස්වභාවික සමාප්තියකට ඕනැ තරම් මෙහි අවකාශ තිබුණි. ඇරත්, උක්ත ආගමික අන්තවාදය, අන් දවසක වඩා සවිස්තර රචනයකට මාතෘකාවකට හසු කරගැනීමට තරම්  හැකියාවක් කතුවරිය සතු බව අප සියළු දෙන දනිති.

ඒ සියළු සිද්ධීන් මධ්‍යයේ වුව, සමස්ත වශයෙන් මා බොහෝ රස විඳි නවකතාවකි. අවසන් පිටු දහයේ හදිසිය සමස්ත නවකතාවේ රසාස්වාදයට කෙරෙන හානිය නොසැලකිය හැකි තරම් යැයි අයෙක් පැවසුවහොත්, මා ඊට ද විරුද්ධ නොවනු ඇත. මෙම කෘතියට ලැබුණු සම්මාන සහ නිර්දේශ සාධාරණ බව හැඟේ.

****
2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 8
සරසවි ප්‍රකාශනයකි






Thursday, 15 October 2020

දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක් - සමන් වික්‍රමාරච්චි

 ලේඛකයා 2019 ලියා ප්‍රකාශ කල, ඔහු ගේ දෙවෙනි කෙටි කතා සංග්‍රහය කියවූවෙමි. ඔහුගේ ප්‍රියතම විෂයක් යැයි සිතිය හැකි මනෝ විද්‍යාව, සහ පුද්ගල මනෝභාවයන් පාදමක් ලෙස ගෙන බිහි වූ කෙටි කතා හතකින් පෝෂිතය. අයෙකු ට, මෙය "අප්පච්චි ඇවිත්" තරමට පෝෂණය නොවූ, කීට අවස්තාවේ නතර වූ රචනා හතකින් සපිරි බව සිතුනහොත්,  පුදුමයට පත් නොවෙමි. ඇත්තෙන් ම පියෙකුගේ සංඥ්ඥාව, ‍රෝගියෙක් වෙත පියෙකුගේ ආගමනයක් ලෙස පෙනීම, මෙහි ද එක් කෙටි කතාවක හමුවන්නේ ( පිවිතුරු උරුමය), අප්පච්චි ඇවිත් මතකයට නගමිනි. ස්ත්‍රී ලක්ෂණයන් දිහා පහත් අයුරින් බැලීමේ  ස්වභාවය කතාවට මුල් වූ ප්‍රමුඛ කාරණාවකි - මෙහි වඩා පරිපූර්ණ නිර්මාණයකට සාධක ඇති බවට හැඟෙයි. එහෙත්, වික්‍රමාරච්චි ගේ රචනා පිළිබඳ ඇති සැකයක් නම්, තම නිර්මාණ පරිපූර්ණ බවට පරිවර්තනය වීමට, පරිණත වීමට ඉඩ දෙන්නේ දයි යන්නයි.  

මෙම සංග්‍රහයේ මා වඩාත් රස විඳි කෙටිකතාව හඹායෑමයි. මෙහි එන සමහර කෙටි කතා වලට වඩා තරමක පරිපූර්ණ බවක් එහි දැක ගත හැකිය.  ලුහුබඳිනා මරණය පිළිබඳ බිය පාඨකයාට ඒත්තු ගැන්වීමට කතුවරයා, එහි දී සමත් වී ඇත. 

ඔහුගේ ආඛ්‍යාන රටාව, විෂය ආදියට කැමති කියවන්නියකට මෙහි රස විඳිය හැකි නිර්මාණ හමු වෙනු නියතය. එනම් ගුප්ත බව, අපට නොපෙනෙන කෙනෙකුගේ මනෝභාවයන් හි ව්‍යාකූලතාවන් පමණක් නොව, ශිෂ්ඨබව යනු කුමක්දැයි ප්‍රශ්ණ කෙරෙනාකාරයේ නිර්මාණ ද මෙහි හමු වේ ( කෝම්බි ). එහෙත්, කෙටි කතාව යන කලා කෘතියේ පරිපූර්ණත්වය විඳින කියවන්නියකට, වික්‍රමාරච්චිගේ සරල භාෂා ව්‍යවහාරය, තරමක හදිසියක් ඉඟිකරනා ආඛ්‍යායන රටාව, "එකම ආම්පාන්න භාවිත කොට ටිකක් වෙනස් නිර්මාණ තැනීමේ" ආර පවා ගෝචර නොවීමට ඉඩ ඇත. මට පෞද්ගලිකව, කෙටිකතා කිහිපයක් ආකර්ශනීය වුවද, කතුවරයා ට මෙම නිර්මාණ  මීට වඩා පරිණත, පරිපූර්ණතවයකට පෝෂණය වන තුරු ගොඩ නැගීමට තිබූනේයැයි සිතුණි. දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක් හි ආකෘති හරඹයේ ආකර්ශනය හැරුණුකොට, විශාල කම්පනයක් ගෙන ආවේ නැත. කෙසේ වුව, ත්‍රාසජනක අත්දැකීමකින් පසුව,

"ඇයි මහත්තයා මොකද වුණේ? කාර් එක ගෙනිච්චා නේද?", 

 යන වදන් වලින්, වැඩි විස්තර නැතුව ( එක් අදියරක්) අවසන් කිරීමේ ආකර්ශනයක් ඇත.

මුව දඩයම කෙටිකතාවේ ආකර්ශනය වනුයේ, දඩයක්කාරයා ගේ පරාජිත මානසිකත්වය, තම ගොදුරේ ඔච්චම්කිරීමක් මගින් ඉඟි කිරීම යැයි සිතමි.

කතුවරයාගේ හදිසිය පිළිඹිබු වන අවස්ථාවක් ලෙස සුපීන කෙටිකතාව දැක්විය හැකිය. එහි පාර්ශව දෙකේ දෙබස් විටෙක එක පෙළට තැබීමෙන්, එහි පරිපූර්ණත්වයට හානි සිදුවන්නේ යැයි සිතමි. නාන කාමරේ කෙටි කතාවේ ද, සාර්ථක නිර්මාණයක බීජ අවස්ථාවක් දකිය හැකි මුත්, එහි අවසන යම් හදිසියකින් වූවා සේ  පාඨකයාට හැඟී යයි.

සමස්ත ලෙස මට හැඟෙනුයේ, කතුවරයා ඔහු කැමති ම විෂය හා බැඳි  සමහර ව්‍යාකූලතා  ලක්ෂණ, සහ  ආකෘති ( model යන අදහසින් ) පිළිඹිබුවට තම ප්‍රබන්ධ නිර්මාණ භාවිතා කරන බවකි. ඇත්තෙන්ම, සමහර පාර්ශව මෙම විවේචනය ඔහුගේ සම්මානනීය "අප්පච්චි ඇවිත්" කෘතියට ද යොමු කලේ ය. විෂයක් වශයෙන් සිංහල සාහිත්‍යයට එහි යම් නව්‍යතාවක් ගෙන ඒම හේතුවෙන්, එහි යම් ධනාත්මක ප්‍රවණතාවක් එහි ඇති බව, මම එතැනදි පිළිගතිමි. එහෙත් ඔහු තව දුරටත්, එම විෂය ම මූලික කොට නිර්මාණකරනයේ යෙදෙන්නේ නම්, තම නිර්මාණ වල කලාත්මකභාවය පිළිබඳ පාඨක අපේක්ෂාවන් වටහා ගත යුතු බව සිතමි.

***
2019 ප්‍රකාශ වු කෙටිකතා සංග්‍රහයන් කියවීම - 11
සරසවි ප්‍රකාශනයක්

Tuesday, 13 October 2020

වසරේ හොඳම කෙටිකතාව - අසංක සායක්කාර

 වර්තමාන සමාජයේ  සිදුවීම් ඉසවු පහක් ( පිටරට වෙසෙන ලාංකික පවුල් ; මාධ්‍ය සදාචාරය; අධ්‍යාපන මට්ටම හා ආර්ථික සාර්ථකත්වය; සාහිත්‍ය සම්මාන තරඟය සහ නිදහස් ගැහනියකගේ ලිංගිකත්වයේ සීමා ) ඔස්සෙත්, මනෝවිද්‍යාවට ආනත එක් කෙටිකතාවකිනුත් මෙම සංග්‍රහය සපිරිය.එම කෙටිකතා ගැන ලඝු හැඳින්වීම් මෙසේය;

පළමු කෙටිකතාව ට "හදවතින් ම ශ්‍රී ලාංකිකයි" යන නම දැම්මේ, මෙහි එන පුරුෂයා අන් රටක සිට මෙරට වාම වාදී දේශපාලනයේ යෙදීමත්, ගොසිප් සෙවීමත්, ඔහුගේ නෑනන්ඩිය බිරිඳගෙන් මුදල් ඉල්ලීමට භාවිත කරන කොන්දේසියත් , බිරිඳගේ ප්‍රතිචාරයත් නිසා යැයි සිතමි.

"දන්නේ නැද්ද අපේ අක්කලගේ කටවල්. අවුරුදු 5ක් ලන්ඩන් ඉඳිලත් හදිසියකට ගන්න ලක්ෂයක් නැද්ද කියලා අහනවා. එහෙම අහනකොට මටම ලැජ්ජයි."

අක්කා ට මෙසේ ඇසීමට තරම් කටක් ඇරීමත්, නංගීට ලැජ්ජා සිතීමත් නම්, සැබවින් ම නූතන ශ්‍රී ලාංකික ලක්ෂණයන් ය.

ඇරත් මෙහි එන පුරුෂයා වසර පහකින් පසුව ද "සිහින දකින්න" හැක්කේ ලංකාවේ කාන්තාන්වක් පිළිබඳ පමණි.

එසේ නැතහොත්  දවස පුරා එම දෙපළ උනුන් නොදැක වැඩ කිරීම කොයි රටෙන් ගියත් සිදු වන්නකි. එම රටාව ය කෙටි කතාවේ මූලික පාදම. රස විඳි කෙටි කතාවකි.

මුළු නිර්මාණයම දෙබස් වලින් නිර්මිත "නයන ලලන", අක්ෂි රෝගියෙකු යැයි සිතා සිටින්නෙකු සහ වෛද්‍යවරයකු අතර දිගු දුර යන කතාවක්. අවසන වෛද්‍යවරයා සහ රෝගියා අතර වෙනසක් ඉතුරු වන්නේ ද?

මුල් පිටුවේ ඇස් ඇද ගන්නා සුළු ඡායාරූප,  පුවත් මැවීම් හරහා තමන් ට ලැබෙන මිල මුදලෙ ඉහළ අගය මැනෙන මාධ්‍ය සංස්කෘතියක් ගැන කියවෙන කෙටි කතාවකි, "බ්‍රේකිං නිව්ස්". තරමක් වෑයමකින් නැගූ බවක් පාඨකයාට හැඟෙන හෙයින් නිර්මාණයේ සාර්ථකත්වය විවාදිතය.

තව දුරටත් අධ්‍යාපන මට්ටම සහ ආර්ථික මට්ටම අතර බැඳීම සහතික නැත. වෙසෙසින් ජීවිතයේ ආරම්භක අවධියේදී මෙය වඩාත් තීව්‍ර්‍රය. හෝටල් ක්ෂේත්‍රයේ, සංචාරක ක්ෂේත්‍රයේ අප මිතුරන් වුව, අවුරුදු 26-27 වන විට ආර්ථික අතින් අපිට වඩා ඉදිරියෙන් සිටියෝය. මා සිතනුයේ ඔවුන් ඒ අවධියේ ඉගෙනීම නැවතීම, ඔවුන් ජීවිතයේ ආර්ථික උච්චස්තානයකට ඉක්මනින් පැමිණීම,  හා එතැන් පටන් ගමන තරමක් එක මට්ටමක පවත්වාගෙන යාම  හා බැඳී පවතී න බවකි - මෙය සාමාන්‍යකරණය කල නොහැකි බව සත්‍යයකි. අධ්‍යාපනයට වඩා ඔවුන් තම කුසලතා වර්ධනය එතැනින් නැවතීම ප්‍රධාන හේතුව විය හැක. සාමාන්‍ය අධ්‍යාපානයකින් දිවිය ගොඩ නගා ගැනීමට යත්න දරන්නෝ දීර්ඝ කාලීන සාර්ථකත්වය උදෙසා බොහෝ කලක් තම ශිල්පීය දැනුම වර්ධනය කරන්නෝය - බොහෝ අය හතලිහ- හතලිස් පහේ දී ද අලුත් දේ උගෙනිති. විදෙස් රටවල මෙය වඩා ප්‍රචලිතය. අලුත් පරිඝනක භාෂා නිපුනත්වය ලබන පනස්-හැට වයස් ඇත්තෝ වෙති. මා මේ දීර්ඝ විස්තරය කියා පෑවේ, "ලැජ්ජ හිතෙන කතාවක" හමුවෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහවරව තම වෘතීය ජීවිතය අරඹන්නෙකු හා, හරි උගත් කමකින් තොරව බාල වයසකින් පිට රට රැකියාවකට ගොස් පැමිණෙන්නකු  අතර කෙරෙන, ගැලපීම ට පෙරවදනක් ලෙසය. උක්කුං හෙවත් ලාල්, පාසලේ කල හැකි සියළු "වල් වැඩ" වල නිරත වූවෙකි - ජීවිතයේ විඳින්නෙකි. කතුවරයාමෙයට ලැජ්ජ හිතෙන කතාවක් යැයි නම් කල ද, එහි එතරම් ලැජ්ජාවට කාරණාවක් නැති බවකි, මගේ නම් අදහස.

සම්මානය පොරය ලේඛකයකුට බලපාන අයුරු අපූරුවට කියාපාන කෙටිකතාවකි, "වසරේ හොඳම කෙටිකතාව". සම්මාන ලේඛකයින් ට බලාපොරොත්තු දෙයි; ඔවුන් ව තරුවක් වීමට ආසන්න ස්ථානයකට ඔසවා තබයි. මෙම තත්වය හොඳින් විමසෙන කෙටිකතාවකි, වසරේ හොඳම කෙටිකතාව. විසෙසින් විචාර භූමිකාව ගැන මෙහි දිගැරෙන කොටස රසවත් ය. ප්‍රථම කෙටි කතාවට අමතරව, මෙහි මා වඩාත් රසවිඳි කෙටිකතාව, මෙයයි.

රූමත් තරුණ වැන්දඹුවකගේ අඟර දඟර පෑම්, සහ "සීමාසහිත" ඉඩදීම ගැනත්, "රතු ඉර පැනීම" එම ඉඩ නැතිකරගැනීමට හේතුවන් අයුරුත් පෙන්වන කෙටිකතාවකි, "තං අක්කා".

 කතුවරයා වෙසෙස් ප්‍රයත්නයක් දරා ඇත්තේ ඉහත ඉසවු මත්තෙහි ඇති උත්ප්‍රාසය මතු කරලීමටය. "වසරේ හොඳම කෙටිකතාව" සහ "හදවතින්ම ශ්‍රී ලාංකිකයි" යන අවස්ථා වලදී, ඔහු අතිසාර්ථක වී ඇතැයි සිතමි. එම කෙටි කතා දෙක නිසා හෝ මෙම නිර්මාණය කියවීම වටින බවකි, මගේ අදහස.   ඔහු ගේ අරමුණ යැයි සිතිය හැකි - එනම් සමාජයේ ඇති රෝගි බව - පෙන්වීමට යත්න දරණ සමහර උත්සාහයන් එතරම් රස නොවින්දේ එහි ස්වභාවික බව අඩු නිසා දෝ යැයි සිතේ ( නිදසුන් - බ්‍රේකිං නිව්ස් )

මෙම කෘතිය හොඳම කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් පිරිනැමෙන ගොඩගේ සම්මානය වෙනුන්වෙන් නිර්දේශ විය.

***1/2
2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන්  කියවීම - 10
අහස පොතක්



Monday, 21 September 2020

ගඩ්නේවාලා - සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්

 මීට මාස එකහාමරකට පමණ පෙර, ගොඩගේ ගිය ගල අපූරු කවරයකින් යුත් මේ කෙටිකතා සංග්‍රහය අතට ගෙන නැවත තබා පැමිණියේ, නොදන්නියකගේ කෙටිකතා සංග්‍රහයක් කියවීමට කාලය මිඩංගු කිරීමට ඇති අකමැත්ත නිසා ය. ඒ කාලය සීමිත නිසා, හැකිතරම් පළමුව "හොඳම" පොත් කියවීමේ දොළෙනි. එහෙත් ඈ මෑතක ලත් ඇගයීමත් සමඟ මේ පොත මෑතක මිලදී ගෙන කියවූවෙමි.


එම නිර්මාණ කෙසේද  යත්;

1- ඉතා ලුහුඬින් මුත්, ගැඹුරක් අඟවනාකාරයෙන්   ලිය ඇත්තකි. කෙටිකතාවේ එන අම්මා, තමනට නැති වූ දරුවා වෙනුවෙන් ගහක් හෝ මලක් හෝ වෙත තම අවධානය යොමු කරමින් ජීවීතය ගෙවා ගන්න ට තීරණය කර ඇති සේය. එහෙත් දෙමව්පියන් බහුතරයක ට එය කල හැකි ද ? තම සැමියා ඈ ක්‍රියා කරන සූක්ෂම ආකාරය අවම වචන භාවිතාවෙන් ලියූ අපූරු කෙටි කතාවකි. භවාතීෂය ඉතා අවම තලයක තබා ගනිමින් කතා වස්තුව ඔස්සේ, එය කියවීමෙන් අනතුරුව පාඨක තමන් හා කෙරෙන කතාබහකදි භාවාතීෂය උපද්දවීමට ඉඩ තබා ඇත. (අහවරක් නැති කතාවක් - පිටු 5 1/2 ක කතාවකි )

2- සති පතා පුවත් පතක කොටස් වශයෙන් පළවෙන නවකතාවක්, එක්තරා විවාහක කාන්තාවක් තම පුද්ගලික දිවිය හා සමපාත කරගන්නා, හිච්කොක් ව සියුම්ව මතකයට නැගෙනාකාරයේ අපූරු නිර්මාණයකි, "ප්‍රේම" ( පිටු 8 1/2 ක කතාවකි ).

3- වේදිකා නාට්‍යයක ප්‍රධාන නළුවා සහ නිළිය, සැබෑ දිවියේ ද නාටකීය ජවනිකාවක් අවසන් බසය එන යාමේ, බස් නැවතුම් පොළේ දි අත්දකිති.("ඔක්කොම හරිද?", පිටු 4 1/2 ක කතාවකි )

4- ඓතිහාසික කතාවක ට, විලක්ප අර්ථදැක්වීමක් ලබාදෙමින්, නිර්මාණය වී ඇති කෙටි කතාවකි, හරස් කැපුම. බුද්ධාරාජු යුගයේ ඔහු ට සිටි ශිෂ්‍යයෙකුත්, භේරුණ්ඩ පක්ෂියෙකු ඇති සීතාවක කොඩියත් ය මෙසේ අර්ථ ගැන්වී තිබෙනුයේ. ( පිටු 8ක කෙ


ටි කතාවකි )

5- පුරුෂයෙකු ට තම බිරිඳගෙන් එපිට කායික බැඳීමක් ඇති වන්නේ ද, එම කාන්තාව කෙසේ වුවත් යම් සිත් රිදීම්, මදි පුංචිකම් වලට මුහුණ දෙන්නීය. එවන් අවස්ථාවක්, අවම වචන ප්‍රමාණයක් භාඅවිතාවෙන් පිළිඹිබු වන කෙටිකතාවකි, දුම්. මුළු කෙටි ක

තාවට ම යන්තම් පිටු තුනක් වැය කොට ඇත. ( පිටු 9 1/2 සීමාව යන්තමින් පසුකරන කෙටි කතාවකි)

6- යොවුනෙකුට, සිත ඇදී යන යෞවනියක් හමු වන්නේ නම්, එය සිදු වන තැන, වටපිටාව, සමාජ තල ආදිය ගන්නේ දෙවෙනි තැනකි. එනමුදු, ඒ තරුණයා ගේ මුල් පිරුමේ ස්වභාවය සමාජ තත්ත්වයන් මගින් තීරණය කෙරෙනු ඇත. බොජුන් හළක සේවය කරන තරුණෙකු  හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී හමු වූ තරුණ හෙදියක් හා දිගැරෙන අප්‍රකාශිත ආකර්ශනයක් ගැන කෙටි කතාවකි, පිළිස්සුම් රෝගියා ( පිටු 9 කි )

7- වෙළඳ දැන්වීම් ප්‍රමුඛ කරගත් වර්තමාන ව්‍යාපාරික ලෝකයේ ක්‍රියාකාරකම් හමුවේ තම මානසික සෞඛ්‍යට ද බලපෑම් වූ නිර්මාණශීලි තරුණයෙකු මුල් කොට ගත් කෙටිකතාවකි, සමනල තින්ත ( පිටු 4කි )

8- විද්‍යා ව්‍යාපෘතිය කෙටි කතාවම, අවසන් වන්නේ තරමක විද්‍යා ව්‍යාපෘතියක් ලෙසටය. සිල්කන් වැලි හි ශිෂ්‍යාවන් දෙදෙනෙකු අතර සිදුවන පාසැල් ක්‍රියාකාරකමක් කෙටි

කතාවට මුල් වී ඇත. කතාන්දරයක් ලෙස විශේෂත්වයක් නැතත්, කතුවරිය භාවිත කොට ඇති පෙරළුම, සහ බොහෝ දේ අඟවන අවසානය, කෙටිකතාවට යම් වටිනාකමක් ගෙන දෙයි.

9- කෑම බීමෙන්, ඉඳුම් හිටුමෙන් සහ වස්ත්‍රාභරණයෙන් පරිපූර්ණ වූ පමණින්, බිරිඳකට ජීවිතයක් ලැබේ ද ? පුරුෂයා ට පෞද්ගලිකව තමන් ජීවත්වෙන පරිසරයෙන් ලැබෙන  පිළිගැනීම පිළිබඳ අවිශ්වාසයක් ඇත්තේ නම්, ඔහු ජීවත්වන මවාගත් ලෝකය සහ බිරිඳ ට නුපුරුදු ලෝකය අතර ගැටුම කෙසේ විසඳේවී ද ? අප සමාජයේ අයෙකු "ගොඩයෙකු" ලෙස ලේබල් කරලීමට දක්ෂය - නැත, අප සමාජය ඉතා සියුම් කාරණා මත හෝ, බෙදුම් සීමා මවා ගැනීමට මාන බලන් සිටිති. මෙම කෙටිකතාවට මුල් වන්නේ "චීන වෙසක් පහනකි".

"ඔය තොරොම්බල් දැන උගත් මිනිසුන්ගෙ ගෙවල්වල එල්ලන්න පුළුවන්ද?" ( 71 පිටුව )

"දැන උගත්කම" සමඟ අප වන් සමාජ වලට පැටෙවෙන බඩුපොදියකි, වැඩි රසඥ්ඥතාවක් ඇති විය යුතු බව. මෙය තරමක අසාධාරණ බලාපොරොත්තුවක් වන්නේ, අප රට දැන උගත් අයගෙන් කිසියම් ප්‍රතිශතයක් කුඩා කල සිට, සියළු බාහිර ක්‍රියාකාරකම් වලින් ඈත් ව පොතට ම ගිලී, ඒ තුලින් තම දිවිමග ගොඩ නගා ගැනීම. මට සිතෙනුයේ, මෙම


සංග්‍රහයේ එන සාර්ථක ම කෙටිකතාව, මෙය බවයි. ( පිටු 9 ක ට නො වැඩි කෙටි කතාවකි )

10- අයෙකු ගේ ජීවිතයේ ඇතිවන අවසනාවන්ත අවදියක් හමුවේ, කබලෙන් ලිපට වැටුණායැයි සිතෙන තරමේ කුඩාවකු හා සබැඳි නිර්මාණයකි. විශ්වාසනීයත්වය සියයට සියයක් ම නොවූවත්, පාඨකයා ඇඳ බැඳ තබා ගැනීමට සමත් කෙටිකතාවකි, රස්නේ ( පිටු 11ක් වූ මෙය, මෙහි එන දීර්ඝතම කෙටිකතාවයි )

11 - මනස නොමේරූ කුඩාවෙකු අලලා ලියැවුණු "බෝපෙත්තා" කෙටි කතාව මෙහි එන වඩාත්ම සංවේදි කෙටිකතාව විය යුතුය. ආදරය පමණක් ඉල්ලා සිටින එම අහිංසකයන්ට නොලැබෙන්නේ ද එයම පමණි. (පිටු 5 1/2 ක කෙටි කතාවකි )

මා මේ එක් එක් කෙටි කතාව ලියැවුණු පිටු ගණන සඳහන් කලේ, කතුවරිය කෙතෙරම් අරපරෙස්සමින් වචන භාවිත කලා ද කියා පෙන්වන්න ටය. පිටු 10 ඉක්මවන්නේ එක් කෙටි කතාවක් පමණි. කෙටි කතා 11 ට ම පිටු 82කි.
පෙරවදනේ ඇය පවසා අත්තේ ඇගේ හොඳ මිතුරු කැළ හේතුවෙන් ම තමන් ලියූ කතා, පොතක් බවට පෙරළුණු බවකි. එය පොතකින් නොනැවති අත්පිටපත් තරඟයක් ජය ගැනීමටත්, ගොඩගේ සම්මාන වලදී වෙසෙස් තරුණ දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මානයෙන් ඇගයීමට ද පාත්‍ර වීම, ඇගේ අනාගත ලිවීමට දිරිදෙතැයි සිතමු. අනාගතයේ බිහිවිය හැකි නිර්මාණ වෙනුවෙන් ඈ කෙරෙහි බලාපොරොත්තු තබා ගත හැකියැයි විශ්වාස කරමි.

***1/2
ගොඩගේ ප්‍රකාශනයකි
2019 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 8


Tuesday, 15 September 2020

අපරාදේ, ඒ නොවැම්බර් - කපිල එම්. ගමගේ

 ලේඛකයා, කලින් කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් ප්‍රකාශ කර තිබුනු බව දැනගෙන සිටියද, ඒවා කියවීමට මගැරිණි. ඇත්ත ම කියන්නේ නම්, අප රට ප්‍රධාන සම්මාන තුනකට ම නිර්දේශ වීම හේතුවෙන් මෙම කෘතිය මිල දී ගෙන කියවීමට තීරණය කලෙමි. මීට පෙර ද කියා ඇති පරිද්දේන් මට සම්මාන වැදගත් වන්නේ කියවිය යුතු පොත් ගැන යම් අදහසක් ගැනීම පිණිස මිස, ජයග්‍රාහයක කෘති කියවීමට නොව ( ඒත් නිර්දේශ නොවෙනා සාර්ථක කෘති ද ඇති බැව්, 'ගැහැණු පිරිමි මල් පලතුරු' සාක්ෂි දරයි.) 

ඉතින් කෙටිකටා සංග්‍රහය කෙසේද ? 


පළමු කෙටිකතාව "නර්මදා නදියේ දෙ ඉවුර මත", නමි. වාමාංෂ දේශපාලනයේ  දීර්ඝ කාලීනව සිටි අයෙකු වඩා නිල්වන් භූමියක් කරා සංක්‍රමණය වන්නේ, අලුත් ප්‍රියම්බිකාවක් ද සමඟය. දේශපාලන මතවාද අතින් ද ඔහු ගේ වදනින් හළිවන්නේ ඔහු වෙනස්වෙමින් සිටිනි බවකි. එහෙත් තම මුල් මතයේ ම ඉන්නා ඔහු ගේ සගයා අලුත්  බලාපොරොත්තු ද සමඟ , මෙරට දේශපාලනයේ තව දුරටත් ක්‍රියාත්මක වීමට සිතා සිටියි. අපැහැදිලි, එහෙත් සමිප පෞද්ගලික දසුන් කිහිපයක් සහ පිළිසඳරක් දෙකක් මගිනි, කෙටිකතාව ගලා යන්නේ. එම ක්‍රමවේදය, කතාකරුවා කියනා ප්‍රමාණයේ ම කතාවක් පාඨක සිතේ අඳින්නට සමත් වේ.

"ආදරය කියන්නේ අයිති කර ගැනීම නොවෙන වග පිළිගන්න මට හමුවුණ ගැහැනිය මහේෂිකා. මිනිහෙකුට ස්වාධීන ව ඉන්න අයිතියක් සමාජය ඇතුළෙ තියෙන්න ඕනේ කියල කෑ ගහල කියන ගැහැනියක් ඇය... පින්තූර රාමු ඇතුළට අපි ව කොටු කරන්නෙ මොකට ද? මහේෂිකා අහන්නේ මගෙන්" ( 33 පිටුව )
පිරිමියෙකු හා ගැහැනියෙකු අතර ආශ්‍රය සම්මත රීතියක් තුල ම වීමේ කෘතීම බව දීර්ඝව කතා කෙරෙන කෙටිකතාවකි, "ඉවර වෙන්නට කලින්". එනුමුදු, කෙටිකතා ආඛ්‍යානයේ ඇති ලිහිල් බාවය සහ කතිකයා පාඨක අපට කෙරෙන වාදය හමුවේ,  නිර්මාණයක් ලෙස යම් අසම්පූර්ණ බවක් ද නොදැනුනා නොවේ.

සර්ග තුන හතරක් මෙහි එන සාර්ථක ම කෙටිකතාව යැයි සිතමි. කුඩා කල ආර්ථික අපහසුතා මැද ගෙවුණු ජීවිතය, ජීවිතයට මගක් පාදා ගැනීම උදෙසා ශාසනයට ඇතුළු වීම, එහි තව දුරටත් සිටි නොහැකි බව තේරුම් ගත් දා ඉන් ඉවත් වීම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසානයේ රැකියවා - අනතුරුව අයෙක් ඇහුවොත් ඉස්සර ජීවිතය් ද හොඳ, දැන් ද කියා ? ඊට උත්තර කොහොමද හොයන්නේ ? "මං ඒ ගැන හිතන්නේ නෑ", යන්න ඉතා ම සාධාරණ පිලිතුර නොවේ ද ?

අයෙකුට තම ජීවිතය තුල ම විගාමිකයෙකු විය හැකි ද ? ජිතේන්ද්‍ර නම් වූ විගාමිකයා කෙටි කතාව, ඔහු සම්මත ලොවට විගාමිකයකු බව කිමට යත්න දැරීමක් විය යුතුය. ඔහු හා ශාඛ්‍යා ගේ හැසිරීම් සහ පිළිසඳර මගින් එවැන්නක් කීමට යත්න දැරුවද කෙටිකතාවක් ලෙස එහි සාර්ථකත්වය ගැන මට එතරම් විශ්වාසයක් නැත.

යමෙක් තරුණ වියේදී ගන්නා තීරණ මැදි වියට පත් වත් ම පසුතැවිල්ලට හේතුවනු ඇත.  එලෙස ගන්නා තීරණේ බලවත්කම සහ ජීවිතයට කෙතෙරම් තීරක වන්නේ ද යන්න මත බොහෝ සාර්ථකත්වයට මෙන්ම, අවාසනාවට ද හේතු විය හැක. කිරි කිරි බෝලේ - රැලි රැලි මාලේ එවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණු දුන් කාන්තාවක් මුල් කර ගත් කෙටිකතාවකි - මෙහි එන වඩා රසවත් නිර්මාණයකි.

එක්තරා වාමාංශික දේශපාලන පක්ෂයක් සිය දිශානතියේ වෙනස්කිරීම්, ඉමහත් කැපවීම් කල සාමාජිකයින් කෙසේ නම් ඉවසන්න ද ? එම පක්ෂය වෙනුවෙන් ජීවිතය පවා කැප කල අය ? තම පෙම්වතිය ද එවන් එලෙස කැපකිරීමක් කල අයෙක් නම් ? කෘතියට එම නම දුන් කෙටි කතාව මෙම ප්‍රශ්ණය මතුකරලමින් කතාවෙන්නකි.

"'ප්‍රභාකරන්ගේ හැම වැඩක් ම අපි හරියි කියන්නේ නෑ පුතා. ඒත්...

..

.... මොනවා වුණත් දෙමළා ගැන ලොකු අවධානයක් හැමෝගෙන් ම ආවේ ප්‍රභාගෙන් තමයි පුතා. එයා වගේ කෙනෙක් ඇතිවුණේ ඇයි කියන එක තමයි මේකේ හේතුව. ප්‍රභා කියන්නේ ඉෆෙක්ට් එක විතරයි.'" (103 පිටුව )


මේ කතාව සාමාන්‍ය දෙමළ සහෝදරයන් කියනවා මා ද  අසා ඇත. යුද්ධයෙන් පසුව නැවත යාපනයට යන මහළු දමිළ ජෝඩුවක් සහ ඔවුන්ගේ පුතුගේ සිංහල යාළුවෙකුගේ ගමන් අත්දැකීමකි, වසූමති පූජා.

කපිල ගේ ආඛ්‍යාන රටාව පාඨකයා කෙටිකතාවේ රඳවන සුළුය. එය කියවීමේ දි  අලසකාරි රූටන ගතියක් දැනිනි. එක් කෙටි කතාවක් පටන් ගත් කල එය කියවා අවසන් වන තුරු පොත පසෙකින් තැබීමට නොසිතුන ද, ඊළඟ කෙටි කතාව ඇරඹීමට එතරම් හදිසියක් ද නොදැනේ. ඒ, ඒ කෙටිකතාව තුල යම් කුහුලක් තබාගැනීමට කතුවරයා සමත් වෙතත්,  කෙටිකතාවක් අවසන් වන විට එහි සමස්ත ලෙස සුවිශේෂියතාව අඩු නිසා දැයි  සිතුණි.  කෙටිකතා හතෙන් හයක ම, යම්තාක් දුරකට සමාන ආඛ්‍යාන ආරක් - එනම් කෙටි ජවනිකා, දෙබස්  කිහිපයකින්  කෙටි කතාවේ කොටසක් කියා පා, පාඨකයාට ඉඩස මවා ගැනීමට බල කරනා ආරක් - ඔහු භාවිත කොට ඇත. එම භාවිතාව සාර්ථකය - පාඨකයා සොයනුයේ මේ තරමක් වියුක්ත කතා බසින්, ජවනිකාවෙන් ගොඩනැගෙන සමස්තය ගැන කුතුහලයෙනි.   මීට තරමක් වෙනස් වසූමති පුජා ය. එහි ගමන් විස්තරයක්  රැගත් නිසාදෝ තරමක් දීර්ඝ රේඛීය ආඛ්‍යානයක් ලෙස දිගැරේ. මෙම කෙටි කතා හතෙන් බහුතරයක් මතකයේ රැඳෙවියැයි සිතිය නොහැකි මුත්, කියවනා කාලයේදි පාඨකයා එහි තබා ගැනීමට කපිල සමත් වී ඇත.

***1/2
2019 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 7
ෆාස්ට් පන්ලිෂින් ප්‍රකාශනයකි.

Sunday, 13 September 2020

කුමර කොබෙයි - ශමෙල් ජයකොඩි

 ප්‍රංශ පෙම්වතා, ශමෙල් ගේ නමවෙනි නවකතාව යැයි සිතමි. එතෙක්, ස්වර්ණ පුස්තක දිගු ලයිස්තුවට ද, අනෙක් සම්මාන දිගු ලයිස්තු වලට ද කිහිප විටෙක ඈ පැමිණ තිබුන ද, ඇගේ පොතක් කියවීමේ දොළක් මා තුල නොවීය. ප්‍රංශ පෙම්වතා ඒ සියල්ල වෙනස් කලාය. ඉන් අනතුරුව ප්‍රකාශ වූ ඇමෙරිකා, වීනස්ගේ උපත සහ කුමර කොබෙයි යන කෘති තුනම මා කියවා මහත් රස වින්දෙමි. මේ ඒ අවසනට කිය වූ, කුමර කොබෙයි ගැන සටහනකි.

මේ නවකතාව, මූලික වශයෙන්, මැදි විය එළිපත්තේ සිටින කාන්තාවක්, විවාහයක් කර ගැනීමේ ආශාවෙන්, මවක වීමේ දොළින්, ඈ පතන ප්‍රේමවන්තයා හමු වීමට වස්, කැනඩාවේ මොන්ට්‍රියෙල් සිට මහද්වීපයේ එහා කොණේ වූ සැන් ෆ්‍රැන්සිස්කු නුවරට යෙදෙන ගමනක් ඔස්සේ දිගැරෙන්නකි.  කෘතිය කිය වූ බොහෝ අය, පොත ගැන සතුටු මුවින් කතා කලෝ ය. අයෙක් මෙය travelogue ගණයට වැටෙනා බැවින් නවකතාවක් ලෙස එහි විශිෂ්ඨත්වය ප්‍රශ්ණ කලේ, කෘතිය රස විඳිබවද පිළිගනිමිනි. මහද්වීපයක් හරහා ගමන් කිරීමෙදී, එහි ගමන් විස්තරයන් නවකතාව රසවත් කලේ නැතිනම් එය අපරාදයකි. එහෙත්, "ශමෙල් ලකුණ" එය නොවේය- ඇගේ සුවිශේෂිබාවය ඇත්තේ, තම නිර්මාණ වල අපට හමුවෙන චරිත, ඉතා ස්වභාවික ලෙස ඔවුන්ගේ හොඳ, නරක, සාධාරණ-අසාධාරණකම්, ඔවුන්ට ආවේණික ජීවිත සූත්‍රය ( සූත්‍රගත කලා-නොකලා, එවැන්නක් අප සැමට ඇත ), පැහැදිලි ලෙස පාඨකයින් ට ගෙනහැර දැක්වීම තුලයි. මා කියවූ නවාකතා හතරේම, ඒ ඒ චරිත වල ආවේණිකත්වයනට යටත් ව මෙම ලක්ෂණය මා ඇගේ කෘති කෙරෙහි පැහැදීමක් ඇති කලේය.

මෙම නවකතාවේ, ප්‍රධාන චරිතය වන ඉන්දිකා ගේ ගමන් සගයින් වන්නේ අරුන්දතී සහ නිර්මලා ය. ඔවුන් පණ පොපියන, ජීවිතය විඳි, අට ලෝ දහමෙහි කම්පා නොවෙනා ලක්ෂණ පෙන්වමින්, ජීවිත් වීමට දැඩි අදිටනින් තීරණය කල කතුන් දෙදෙනෙකි. "සම්මත ඉරක්" දිගේ බොහෝ විට තම ජීවන ගමන ගෙවා තිබූ ඉන්දිකා ට, තම විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් නොලත් ජීවිතය පිළිබඳ ඉගැන්වීමක් මෙම දීර්ඝ ගමන අතර ලැබෙයි. එය දේශනාවක් ආකාරයෙන් නොවේ ( එවන් අවස්ථා ද නැත්තේ ම නොවේ) - එය අරුන්දති-නිර්මලා ජීවිත අන්දර ඇසීමෙන් ඈ ලබන්නකි. එම කතා බොහෝ විට සම්මතයන්ට අභියෝග කරන ඒවාය. පාඨකයා මනසින්, ක්ෂිතජය දක්වා දිවෙන වගා බිම් අතරින්, හෝ කාන්තාර භූමියක් මැදින් ඇදෙන මහමගක ගමන් ගන්නා අතර, එම නිදහස් ජීවන රටාවන්, තමනට හරි යැයි සිතෙන නිසා තමන් සූත්‍ර ගත කරනා ජීවන ආර ගැන කතා වලට ආශක්ත වෙයි. 



"මේ ඇමෙරිකානුවෝ කවදාවත් පරිපූර්ණ වෙන්න හිතන අය නෙමෙයි... ඒ අය
ඉන්නේ සියයට හැටේ සීමාවේ... ඒක තමයි එයාලගේ රහස..." ( 16 වෙනි පිටුව )

"අපි උඩ ඉඳන් පහළට වරද්දගත්ත ගෑනු... අපිට අපි ඉපදුණු රටත් නෑ... අපි බැඳපු පිරිමිත් අපි ළඟ නෑ... අපේ ළමයි අපි ළඟ තව කොයි කොච්චර කාලයක් ඉඳියිද දන්නෙත් නෑ..." ( 126 පිටුව )

මෙහි මා රසවත්බව සහ යම් දාර්ශනිකත්වයක ලඛුණු දකිනුයේ, මේ "වරදවාගැනීම" යනු ජීවිත යාත්‍රාවේ අවසන ලෙස නොසැලකීමේ ධෛර්‍යයි. මෙම නිදහස සහ ධෛර්‍යය  තවම, ලංකාවේ වසන කාන්තාවකට අයිති ද ? ජීවිතය විභාගයක් නොවන හෙයින්, කුමන තත්වයන් යටතේ හෝ හොඳ ජීවිතයකට හිමි කම් කීමේ අයිතිය ය ඔවුන් සමරන්නේ. මෙයයි මා මෙම කෘතියේ විශිෂ්ඨ ලක්ෂණයන් ලෙස දකිනුයේ.

"ජීවිතේ සම්පූර්ණයෙන්ම දිනන්න හිතන්න ඕනෑ නැහැ... එහෙම වුණොත් එතැනින් එහාට වැඩකුත් නැහැ, සතුටින් ඉන්න පුළුවන් තරමට ඒක ගොඩ දාගත්තාම ඇති." (134 පිටුව )

"අපේ ජීවිතේ හැබෑ ලස්සන නොදැක මැරෙන්න වෙනවා කියන්නේ හැබෑ දුකටත් වඩා දුකක්" ( 145 පිටුව )

 "'මේ රටවල කසාදයට වටිනාකමක් නැහැ කියන්න එපා....' නිර්මලා එකට එක කීවාය. ' මෙහේ අපි දන්න කවුරුවත් සෙල්ලමට කසාද බඳින්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ ජීවිතවල තවත් වටින දේවල් තියෙනවා... ගැළපෙන්නේ නැටි කසාදෙකින් අයින් වෙන්න උසි ගන්නන නීතියකුත් තියෙනවා... ගෑනු කැමතියි ළමයි හදාගෙන තනියම ඉන්න... ඒකයි ඇත්ත කතාව.'" (299 පිටුව)

එනුමුදු, මෙම කතුන් තිදෙනාටම තම උපන් රටින් පිට වීමට හේතු කාරණා විය. එය තම මවු පිය සම්බන්ධයක් හෝ, තම පෞද්ගලික දිවියේ හේතුවක් හෝ බිය. ඔවුන් එලෙස පැමිණ වසර 10-20 ගත වුවද, ඔවුන්ගේ ජීවන සූත්‍ර වලට ලංකාවෙන් තනිකර මිදීමක් ද නැත, එක අතකින් ඔවුන් "දෙලොවින් ම හොඳ දෙයින්" ( best of both worlds) සැනහෙති.

 දීර්ඝ ගමනක විඩාව පාඨකයා ට ද ගෙනෙනායුරෙන් පිටු 350ක් පුරාවට නවකතාව ගෙනයාම ඇවැසිදෝ නොසිතුණා නොවේ. එම සුළු දොස ඇරුණු කොට මෙය විවිධ තල වලදි රස විඳි කෘතියකි. මෙය මෙතෙක් ප්‍රකාශ වූ විද්‍යෝදය, ස්වර්ණ පුස්තක සහ ගොඩගේ යන සම්මාන ත්‍රිත්වය උදෙසා ම අවසන් වටයට නිර්දේශ විය. එය සාධාරණ තේරීමකි. වසරේ හොඳම නවකතාව බවට පත්වීමට තරම් ගම්‍යතාවක් නොවූවද, මෙය සිංහල නවකතා පාඨකයින් පමණක් නොව, ජිවීතය විඳීමේ වැදගත්කම සහ ඒ සඳහා තමනට ඇති සාධාරණ අයිතිය ගැන සිතන අය කියවිය යුතු නවකතාවකි.

****1/2
2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 6
විදර්ශන ප්‍රකාශනයකි







Tuesday, 1 September 2020

කොට තුවක්කු - ප්‍රියන්ත ලියනගේ

 මේ පොතේ නම මට ප්‍රථම වරට නෙත ගැටුණේ, 2019 ප්‍රකාශ වූ පොත් ගැන මුහුණුපොත් සංවාදයකදී ජයන්ත කහටපිටිය ගේ ඇගයීමක් හේතුවෙනි. එතනින් ඔබ්බට සොයද්දි, සුදර්ශන සමරවීර පොත දොරටවැඩුම දින කල දෙසුමේ අදහස් කිහිපයක් නෙත ගැටුණි. එහි ඔහු දක්වා තිබූ අදහස් අනුව,  එය දරුණු දේශපාලන කතිකාවතට මගපාදන බවට ඒත්තු ගියේය. මහජන පුස්තකාලයෙන් පිටපතක් බැහැරට ගෙන කියවන අතරේ ය, ගොඩගේ දිගු ලයිස්තු නිර්දේශ අතර ට කොට තුවක්කු එන්නේ. පොත කියවා අනතුරුව මට සිතුනේ, මෙහි පිටපතක් මා සතු විය යුතු බවකි. පොතක් කියවා හමාඅර් වූ පසු එහි පිටපතක් අයෙක් සතු යැයි සිතන්නේ නම්, එහි යම් සුවිශේෂිත්වයක් තිබිය යුතුය.

ලේඛකයා '71 සහ '89 කැරැලි වලට උරුමයක් සහ ඍජු සබඳතාවක් තිබුණු බවක් "කැරලිකාරයකුගේ පුනරාගමනය" හි දි ඔහු පවසයි. මෙය අනිවාර්‍යයෙන් "දේශපාලන උණෙන්" තම දිවියේ වැඩි කොටසක් ගෙවූ අයෙකුගේ නිර්මාණයක් බවට පැහැදිලි

ලකුණු, පළමු පිට කියවන්නටත් පෙර දිස්වේ. සමස්ත වශයෙන්, මෙය  එක්තරා දකුණේ පක්ෂයක් ගත් තීරණත්, ඒ අනුව සිදු වූ ඔවුන්ගේ විනාශයත්, ඊට සමාන්තරව උතුරේ ස්වරාජ්‍යයක් ගැන සිහින මැවූවන්ගේ විනාශයත් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් වැනිය.

"සෝවියට් දේශයට ගිය රාජ්වීර් සහෝදරයා සමාජවාදෙ දැක්කෙ සමූහ ගොවිපොළවල් ඇතුළෙ. අපි හැමෝම ගිනිකණා වැටුණෙ ඒ සමූහ ගොවිපොළව සමාජවාදෙන්, හැබැයි ඒ සාමූහිකත්වය හදලා තිබුණෙ සුළු දේපළ හිමියන්ව බලහත්කාරයෙන් එකතු කරල. 'පෙරළු නැවුම් පසෙන්' සමාජවාදය දැක්ක අපි ඒක ඇතුළෙ තිබ්බ බලහත්කාරය දැක්කෙ නෑ. ...    ඒ ආකෘතිය ඔළුවෙ තියාගෙන මෙහෙ ආවෙ නැතත් රාජ්වීර් සහෝදරය මෙහෙ ඇවිල්ල කම්කරුවො හෙව්වෙ ගොවිජනපද ව්‍යාපාරෙ ඇතුලළෙ....  ගොවි මානසිකත්වය නිතරම බැඳෙන්නේ භූමියත් එක්ක. එතකොට ජාතිකවාදය එන්නේ එයාගෙ අධ්‍යාත්මය ඇතුළෙන්මයි. ඒකෙ තර්කානුකූල ප්‍රතිඵලය අපේ ව්‍යාපාරෙට වෙච්චි විනාසෙ කියලා අහ මට හිතෙනව. අපි කළේ මේ ගොවියො ටික අරන් නොදන්නා අනුරාධපුරයක වන්දනාවෙ යාම. අන්තිමට අපි විප්ලවය වෙනුවට ජාතිය කියන මල් වට්ටිය අරන් එකම වටරවුමක් කරකුණා. ජාතිවාදියො ඒ වට රවුමෙ අටවල තියෙන උගුල්වල අපි පැටලුණා. මේක උතුරට වගේම දකුණටත් පොදු උගුලක්... " ( 285-286 පිටු )

ඉතින් මේ පශ්චාත් මරණ පරීක්ෂණය ට බාහිරව අනාගතයේ බලාපොරොත්තුවක් ලෙස ආදරයේ දේශපාලනය පිළිබඳ ඉඟි කරයි. එය දැනටම යම් පමණකින් අදාළ පක්ෂයේ ක්‍රියාකාරිත්වය තුල දකින්නට ඇත ( ඔවුන් පිළිබඳ වෙනත් අනේක දෝෂ දර්ශනයන් පෞද්ගලික්ව තිබුන ද , මෙය ඊට තැන නොවෙයි ). ජාතිය බොඳ කරලීමේ ආදරයේ දේශපාලනයක් ගැන ඉඟි කරනුයේ, විවාහයේ කෘතීම සීමා පිළිබඳ වඩාත් පුළුල් සංවාදයක ට අර අදිමිනි. ලිංගිකත්වයේ විඳීම ට එරෙහි පටු සීමා ගැන කියවෙන්නේ තැනක දෙකක නොවේ.

නවකතාවේ ආඛ්‍යායනය හැම විටම පූර්ණ විශ්වාසවන්ත නොවන්නට පුළුවන. තැනෙක දෙකක හින්දි චිත්‍රපටයකට නෑකම් කියන උපක්‍රමයන්, අහම්බයන්, දිගු ගැලපුම් නැතුවා නොවේ. එහෙත් ඒ  මධ්‍යයේ, කතුවරයා පාඨකයා ගේ කුතුහලය රඳවා ගනිමින්, ඊළඟ පිටුව පෙරලීමට පෙළඹවීමට සමත් වෙයි.  කතුවරයා පෙර කී පෙරවදනේ පවසන්නේ, මුළු දිවියම දේශපාලනය වෙනුවෙන් ගත කලද, පක්ෂයේ වෙනස් නොවීම, අලුත් වාමවාදි මතවාදි මතුවීම සමග,

"රාමුගත නැති සංකීර්ණ මිනිස් ස්වභාවය කියව ගන්න අපි රාමුවෙලා  හිටිය දේශපාලනයේ තියෙන අසමත්කම",
ගැන ඔහු සෙමීට තේරුම්ගැනීම ගැනයි. ඒ  සමඟ, කල අපූරු වියමනකි මෙම කෘතිය. මෙම ආඛ්‍යායන තුල අවංකකමක්, වැරදි පිළිගැනීමක්, මෙන්ම බලාපොරොත්තු නැති ඉච්ඡාබගත්වයක සේයාවක් සමග ම, ළඟින් කියවන්නෙකුට, ඊළඟ පියවර සකසා ගැනීමට ඉංගිත ද නැත්තේ නොවේ.

"අපේ උපායමාර්ගික උවමනාව වෙනුවෙන් ලෙනින්ට පටහැණිව අපි ලෙනින්ව පාවිච්චි කළා.... රාජ්වීර් සහෝදරයා ඒ වෙනුවෙන් පොතක්ම ලිව්ව. අපි ඒක අපේ මහාවංශය කර ගත්ත.... අපි ජාත්‍යන්තරවාදය ගැන කතා කරමින් ජාතිකවාදයට පල්ලම් බැස්සා... සමාජවාදයේ සෝවියට් ෆැන්ටසියත් වැරදියි... පස් අවුරුදු සැලසුම් ජයගත්ත සොවියට් දේශෙ ඩෙනිම් කලිසමකිනුයි කොකා කෝලා බෝතලයකිනුයි වට්ටන්න ප්‍රාග්ධනය සමත් වුණා. අපි ප්‍රාග්ධනය පරාද කරන්න යන්නෙ ප්‍රාග්ධනයෙ ගැටවලට අහුවෙලා." ( 192 පිටුව )

තැනින් තැන, අපි දන්නා සමහර දේ ගැන  ඇති විවේචන ද  කියවීම රසවත් කරයි.... "දූපත" පත්තරය ගැන විවේචනය එවැන්නකි ( මා ද මීට දස වසරකට පමණ පෙර, එහි පාඨකයෙක් ව සිටියෙමි ); චණ්ඩාශෝක ගේ චීවරයක ඔතන ලද බලහත්කාරය තවෙකකි, කොට තුවක්කු ගැන විචාරය තවෙකකි

"තමුසේ දන්නවද මං දේශප්‍රේමීන්ට ආදරේ ඇයි කියල. උන්ට තියෙන්නෙ කොට තුවක්කු සහ ළඟ ඉලක්ක. උන් කලබලයි. ඒත් කොමියුනිස්ට්කාරයො, උන් හරියට ස්නයිපර් වගේ. උන්ට තියෙන්නෙ දුර ඉලක්ක සහ තියුණු සැලසුම්. උන්ට වරදින්නෙ ඒක අස්සට රිංගල ඉන්න තමුසෙල වගේ දේශප්‍රේමී ගැරඬි හින්ද." ( 118 පිටුව )

කුමන සම්මාන නිර්දේශනට ඇතුලත් වුවද, නොවූවද, මෙය සුවිශේෂි කෘතියකි. කතුවරයා මෙහි කතාකරනා දේශපාලනයේ, ඔහු ගේ බලාපොරොත්තු බිඳවැටීමේ අවංකභාවය ගැන සංශයක් පාඨකයා තුලට කා නොවදියි. මෙහි සමස්ත දේශපාලන කියවීමේ පොහොසත්කම හමුවේ, එය ගොඩනැවීමට කතුවරයා සිදුකර ඇති ආඛ්‍යාන දිගැරීම්, උපක්‍රම ගැලපීම් ආදිය ගැන කියවන්නිය එතරම් වද වෙවී, අඩුපාඩු සොයතැයි සිතිය නොහැක.

මා රසවිඳි කෘතියකි; දේශපාලනය ගැන සංවේදි පාඨකයනට නිර්දේශ කරමි.

( 2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 5 )

****
නවකතා ( 2019)
ප්‍රකාශනය - NINE පබ්ලිෂ්ට්




Sunday, 30 August 2020

පිටකොටුවේ රැයක් - රෝෂන් නිශාන්ත විජේසිංහ

2019 ගොඩගේ අත්පිටපත් තරඟය - විශිෂ්ටතම නවකතාව

2020 ගොඩගේ හොඳම නවාකතාව - දිගු ලයිස්තු නිර්දේශිත

පොතක නමක් හේතුවෙන් හෝ පිටකවරය හේතුවෙන් හෝ මම පොතක් කියවන්න ගන්නේම නැති තරම්. ඉංග්‍රීසි පොතක් නම්, එවන් කුතුහලය අවුලන පොතක් නම්, ඉන්න තැන සිටම අන්තර්ජාලයෙන් කරුණු නොවිමසා එලෙස පොතක් ගැනෙන්නේම නැති තරම්. එම නිසා මේ කෘතියේ නම ට අමතරව, එය ඉහත ලබා ගත් පිළිගැනීම් ද, මේ මීට කලින් නම හෝ අසා නොතිබුණු මේ ලේඛකයාගේ පොත මිල දී ගැනීමට මාව පෙළඹෙව්වා.

ඉතින් පොත කොහොමද ? 

පොතේ නම හැටියට මා වඩාත් බලාපොරොත්තු උනේ, රාත්‍රි කාලයේ පිටකොටුව අඳුරේ දිගැරෙන නිශාචර ජීවිතය තරමක් දුරට විනිවිදින ආරේ ආඛ්‍යායනයක් කියවන්න. වෙනත් වචන වලින් කිවහොත්, අනුරසිරි හෙට්ටිගේ ගේ "කළුවරයි පුරහඳ" නම් විශිෂ්ඨ කෘතියේ සමාජ පසුබිමට යම් සමීප බවක්, එක් රැයක ගලායාම් තුලින් බලාපොරොත්තු උනේ. එහෙත් මෙම කෘතිය එම විෂය දෙස යොමු කර ඇත්තේ ඈත සිට බලන්නෙකුගේ දෑසක් පමණයි. මත් කුඩු වලට ඇබ්බැහිවූවන්, සොරුන්, අඩු මිලකට විකිණෙන වෛශ්‍යාවන්, රෑ ඩියුටියේ යන පොලිසියේ අය සිටියත්, ඒ සියළු දෙනා අප දකිනුයේ රාත්‍රී කළුවර තුලින්, තරමක් ඈතින්. ඔවුන් අවශේෂ චරිත - කිමද මෙහි විශේෂ චරිතයක් ද සිටින්නේ ය. ඒ එදින විශ්‍රාමය දැනුම්දීමේ ලිපිය ලත්, සෙනෙවිරත්නය. ඉතින් ඒ අර්ථයෙන්, මගේ ප්‍රධාන අපේක්ෂාව ඉෂ්ඨ සිද්ධ උනේ නැත.

ඒ වෙනුවට අපි ට හමුවන්නේ, තමන් ව  ස්තිර ලෙස විශාමයෑමේ ලියමන ලැබීම  හේතුවෙන් වික්ෂිප්ත වූ සැට හැවිරිදි සෙනෙවිරත්නගේ  ඒකපාත්‍ර භාෂණය. ඔහු බස් නැවතුම පොළ ආශ්‍රිතව ගත කරන "පිටකොටුවේ රැයක්" ය, අපි කියවනුයේ.  සෙල්ලක්කාර පියෙකුගේ අනියම් භාර්‍යාවකට හමු වූ පුතෙකු, එම පියාගේ නෛතික  පවුලෙන් ලත් දරුවන්ගෙන් මුළු බාල විය පුරාම ලත් උපහාස, අපහාස, පහරදීම් මැද ජීවිතය යම් තාක් දුරකට සරි කොට ගත්තෙකුගේ ආවර්ජ්නයන් ය, අප මේ රාත්‍රිය පුරාවට අහන්න ලැබෙන්නේ. 

"'මෙන්න සෙනෙවි ඔයාගෙ රිටයමන්ට් ලෙටර් එක.'

...ඒක ඇහෙද්දි මට මොකක්දෝ සිද්ධ වුනා... ඒත් එදා ඉඩම ලියලා දෙන මොහොතෙ අපේ තාත්තට සිද්ධවුන දේ මටත් සිද්ධ වෙන්න ඇති. තාත්තට එහෙම වුනේ එයාගේ සියලු ගෞරවය වගේම  අභිමානයත් තිබුණේ එතන හින්දා. සත්තකින්ම තාත්තා හිතුවදේ හරියටම හරි. එයාට තමන්ගෙ ලමයි යන්තමින් හරි සැලකුවෙ ඔය ඉඩම එයාගෙ නමට තියෙන හින්දා විතරමයි... ... ඉතින් උන් කපණ්න බැරි අත ඉම්බා. ඉන් පස්සෙ තාත්තා නිකං අවලංගු කාසියක් බවට පත්වුනා...

... මගෙත් ගෞරවය වගේම ආත්මාභිමානයත් රැඳිලා තියෙන්නෙ මේ රස්සාවත් එක්ක කියලා මට වැඩියෙන්ම හිතෙන්නෙ දැන් තමයි. දැන් ඒකත් නැතිවෙනවා. මම කියන චරිතයෙන් හතරෙන් තුනක්ම කැඩිලා, විසිරිලා, බිඳිලා, කුඩුවෙලාම යනවා."

(98-99 පිටු )

ඉතින්, තමන් ගේ හෙට දවස ගැන අවිනිශ්චය, නැති වූ අවස්ථා, තමන් ට හැම දා හතුරුකම් කරපු සහෝදර සහෝදරියන්ට තමන් කරනා උපකාර, පශ්චත්තාපයන්, වයසට ගිය තනිකඩ මිනිසෙකුට සමාජ ජාලා මගින් ලංවෙන්න කුරුමානං අල්ලන අන් ගැහැණුන් හා පිරිමින්, මෙය ලියැවුණු කාලයේ දේශපාලන වටපිටාව ආදිය ගැන දිගැරෙමින්, පිටු 152 ට සීමා වූ තරමක් කෙටි නවකතාවකි මෙය ( එය ද මෙය මිල දී ගැනිම්මට රුකුල් විය ). මෙහි කථිකයා ගේ මතකය අවදිවීම අනුව ඔහුගේ ජීවිතයේ විවිධ අවදි ඔහු අප ඉදිරියේ තබයි. මෙහි අයෙකුට සාහිත්‍ය කෘතියක් ලෙස් රස විඳිය හැකි කරුණු කාරණා රැසක් හමුවේ. එහෙත්, අපැහැදිලි චිත්‍රයක කොටස් තැනින් තැන මතුවෙන්නාක් මෙන් වූ   ආඛ්‍යාන රටාව සැම විටම සාර්ථක නොවේ. ඔහු හේ ම මතකයන් අවදිවීමක් විනා, අපට ඔහුගේ තතුකීමේ අරමුණකින් සිදු නොවූ නිසාදො, එහි පැහැදිලිබවේ අඩුවක් තැනෙක දෙකක දැනේ - ඒ  ආකෘතියේ රටාව යි. අයෙකුට එහි යම් ස්වභාවික බවක් ඇතැයි කිව හැක. ලියැවී ඇත්තේ බොහෝ සෙයින් සරල කථන භාෂාවෙනි. පිට කොටුවේ විස්තර පමණක් නොව, සෙනෙවිගේ පවුලේ විස්තර පවා සුන්දර කියවීම් නොවේ. පරුෂ වචනයෙන් ම තම මතකයන් ආවර්ජනය කරන අවස්ථා එමටය.

පිටකොටුවේ අහුමුළු ගැන කියවීමේ ආසාවෙන් මිල දී ගත්ත ද, ඒ ගැන එතරම් දෙයක් නොතිබුන ද, සිංහල නවකතාවට යම් නුහුරු ආකෘතියක් මගින් දිගැරෙන රස විඳිය හැකි නිර්මාණයකි. මෙය ගොඩගේ දිගු ලයිස්තුව තුලට පැමිණිමේ දොසක් නොදකිමි.

( 2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 4 )
 
***1/2
ප්‍රකාශනය - ගොඩගේ


Saturday, 29 August 2020

මැරීන් ඩ්‍රයිව් - අනුරසිරි හෙට්ටිගේ

 

මෙය ලේඛකයාගේ මා කිය වූ තෙවෙනි කෙටිකතා සංග්‍රහයයි ( මීට අමතරව ඔහු ගේ නවකතා ද හතරක් කියවා ඇත.) දිමියා සහ සිංහබාහු එනකං, යන ඔහු ගේ මීට කලින් ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් උදෙසා අනේක සම්මාන ඔහු ට හිමි විය. මෙම සටහන තබන්නෙ   හේ "මැරීන් ඩ්‍රයිව්" සඳහා රජත පුස්තක සම්මානය ද, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උදෙසා නිර්දේශ වී ද ඇති වටපිටාවකය ( ලේඛකයා ගොඩගේ සම්මාන සඳහා සම්බන්ධ බැවින් එම සම්මානයට තම පොත ඇතුලත් කර නැතුවා මෙනි ). පෙර කී කෘති දෙකේ, මා රසවිඳි කෙටිකතා මෙන් ම, මා එතරම් ප්‍රිය නොකල කෙටි කතා ද විය. ඔහු වෙසෙසින් පීඩිත පංතියේ මිනිසුන් ගේ චරිත ඉදිරිපත් කරනා අයුරු අපූරු මුත්,  රටේ දේශපාලන තත්ත්වයන් තම නිර්මාණ වලට ඇතුලත් කර කෙරෙනෙ අවස්ථාවන් හි, දේශපාලනය, කෙටිකතාවට ඔරොත්තු නොදෙන අයුරකින් නෙරා ඒම මාගේ රසවිඳිමට බාධාවක් විය ( එය පුද්ගලික රසඥ්ඥතාව පිළිබඳ ගැටළුවක් විය හැකිය ).

අප රට සමාජ දේශපාලන මාතෘකා කතාව ට ගැනෙනා  නිර්මාණ වල ස්වභාවික බව අඩුය. නැතිනම් පණිවුඩය මතුකරලීමට දරණ තැතේ දී, එය නිර්මාණයේ හැඩය විකෘති කරලමින්, එය දේශපාලන පණිවුඩයකට පාරුවක් වෙන අවස්ථා බහුල ය.  තරුණ නිර්මාණකරුවෙකු, විචාරකයකු වන සුදර්ශන සමරවීර ගෙ පැසසුම් කියවා, ප්‍රියන්ත ලියනගේ කොට තුවක්කු කියවීමට ඇරඹුව ද, අප රට සමස්ත සමාජ දේශපාලන ගැටළු තම නිර්මාණය නියෝජනය කරලීමට යත්න දැරීම හේතුවෙන්, රසවත් ආඛ්‍යායනයක්, ඉන් මතුවීමට තුබූ හොඳම නිර්මාණයෙන් මෙපිට අවසන් වූවාදෝ යැයි සිතුණි. මංජුල වෙඩිවර්ධන, ඉසුරු ප්‍රසංග සහ එරික් ඉලයප්ආරච්චි වැනි අය මෙම සමබර කර්තව්‍යය සාර්ථකව මීට පෙර ඉටු කල තිබුන ද, කත්‍යානා අමරසිංහ, ලියනගේ අමරකීර්ති සහ අනුරසිරි හෙට්ටිගේ  මෙම සියුම් ගැලපූම් සූත්‍රය ගොඩනගා ගැනිමේ දී මීට පෙර අභියෝග වලට මුහුණ දී ඇත. බටහිර ලේඛකයින් වඩා සාර්ථක ලෙස උපහාසය සමාජ දේශපාලන විචාරය උදෙසා ඔවුන්ගේ ප්‍රබන්ධ සාහිත්‍යයේ දී භාවිත කරයි. Paul Beatty ගේ The Sellout උපහාස භාවිතාවට කදිම නිදසුනක් වන අතර (අමරකීර්ති ද මෙම උපහාසය තම සමාජ දේශපාලන නිරීක්ෂණයන් ට සාර්ථකව භාවිත කල අවස්ථා නැතුවා නොවේ.) , Anna Burns ගේ The Milkman කදිම ඒකපාත්‍ර ආඛ්‍යානයකට ආනත රටාවක් භාවිතාවෙන්, එවකට මුළුමහත් අයර්ලන්තයම රෝගී කල දේශපාලනය, තම නිර්මාණය තුලට කාවද්දා ගැනීම සාර්ථක ව සිදුකල අයුරු , නිදසුනකි. මෙම නිර්මාණ දෙකම Man Booker සම්මානයෙන් පිදුම් ලත් හ.   ඉතින් මෙවන් අත්දැකීම් මත සිට, මෙම සංග්‍රහය විවෘත මනසකින් කියවා ඇගයීමට යත්න දරන්නෙමි.

මැරීන් ඩ්‍රයිව් කෙසේද ? ඔහු "කෙටිකතාව - කතාන්දරයෙන් ඔබ්බට", ලෙස නම් කල


පෙරවදනක මෙසේ පවසයි;

 

"කෙටිකතාව ඇසුරෙහි කතන්දරයක් සොයන පාඨක සමාජයක, නව්‍ය වින්දන කලාපයක් උත්පාද කළ හැකි හොඳ ම මාර්ගය වන්නේ, මෙය කතාන්දරයක් නොවේ යයි හැඟෙන ඉංගිති සමඟ සිය ප්‍රබන්ධය ගොඩ නැංවීමයි."

පළමු කෙටිකතාවේ දී ම ඔහු මෙම ක්‍රියාව පසක් කරයි. "ජිවිතයට සමීප ව" කෙටි කතාවේ සේනාරත්න මහතා  අවුරුදු හැටක් ම  ආලයක් නොවිඳ සිට, ඒ ගැන පළමු බලාපොරොත්තුව හමුවේ හැසිරුණු අසරණ අයුරු පාඨකයා බොහෝ සංවේදි කිරීමට සමත් ය. කතුවරයා මෙම දසුන් පෙළ අපූරුවට නිමවා ඇත. එහෙත් එතැනින් කතුවරයා කතාන්දරය, වෙනස් මගක ගෙනියන්නේ පෙරවදනේ ඔහු කී පරිදි ය. අයෙක් "සේනාරත්න" ව විහිළුවට ගත්තේ ද? අචලා මනසින් එතරම් වැටීමට මෙම සිද්ධියට ඇගේ සැබෑ සම්බන්ධය කුමක් ද - එය කෙටිකතාවෙන් පරිබාහිරව පාඨකයා පාදා ගත යුත්තක් ද ?

හෙට්ටිගේ, අප රට සමාජ දේශපාලන ගැටළු තම කෙටිකතාවට නතු කරලීමට කැමැත්තේ, මෙම සංග්‍රහයේ පළමු සමාජ-දේශපාලන කෙටිකතාව ලෙස, "තාත්තලාගේ කතාව" හමු වේ. එක් පරපුරක තාත්තලා ට නැති වූ දෙයත්, ඊළඟ පරම්පරාවේ හැසිරීම් හේතුවෙන් විඳිනා වේදනාවනුත් චිත්‍රණය කරමින් ලියූ කෙටි කතාව කි. එහෙත් කාරණාව වන්නේ, කතුවරයා මෙහි ගෙන හැර දක්වන කාරණා සත්‍යය වුව ද, මෙම කියනා මාතෘකාවේ නැවුම් බවක් නොවීම ය.

තාක්ෂණය කෙතෙරම් පිම්මේ ඉදිරියට ඇදුන ද, සමහර සමාජයන් මිත්‍යාවනට ඇති විශේෂ නැමියාව නොවෙනස් වේ. අනෙක් අතට මිනිසුන් අසරණ වූ කල, පිදුරු ගසක හෝ එල්ලීමට ඇති ඉඩකඩ වැඩිය. අන් අය මිත්‍යාවේ ගිල්වීමෙන් මුදල් හම්බ කරගන්නා අය, භාවිත කරන්නේ ම මෙම අසරණකමයි. මෙහි එන "කහපාට මිනිස්සු" කෙටි කතාව ද, මිනිසුන් සහ ගැහැණුන් ඇන්දීමත්, එය කෙරෙන් ක්‍රමවේදයේ සියුම් බවද ප්‍රකට කරලීමට යත්න දරා ඇත. කතුවරයා තම පණිවුඩය ප්‍රකට කරලනු වස් සාර්ථක උපක්‍රමයක් නිමවා ඇත.  භාවිත ප්‍රයෝගයේ විශ්වාසනීයත්වය දෙවෙනි තැනට පත් ව ඇත.

වර්තමාන පවුල් සංස්ථාවන් ඔවුන්ගේ ප්‍රශ්ණ නිරාකරණයට අන් අය භාවිත කරලීමට නො පැකිළේ. එවන් අවස්ථාවක් පාදක කරගෙන ලියූ සාර්ථක කෙටිකතාවකි, "මැරීන් ඩ්‍රයිව්". ජීවිතයට සමීප ව හි දි සිදු කල ආකාරයෙන් පාඨකයා ට හිස් තැන් පිරවීමට ඉඩ තබමින් සිදු කල නිර්මාණයකි.

පීඩිත පංතිය ට ඉතිහාසයේ තිබූ සමාජ සමීකරණයන් ද, වර්තමාන සමීකරණයන් හි ද, අනාගතයේ දී ගොඩ නැගෙන සමීකරණයන් වල දී ද, ඔවුනගේ අවාසිය ම ප්‍රතිඵලයක් වන අයුරින් දිගැරෙන අයුරු පෙන්වා දෙන අපූරු කෙටි කතාවකි, අපට මීළඟට හමු වනුයේ. ඓතිහාසික ගැමුණු-ස්වර්ණමාලි පුරාවෘත්තය ආභාෂය කරගෙන, වර්තමානයට ගැලපුමකි, "බැස පලයන් ස්වර්ණමාලි". කෙටිකතාව  රසවත් ය. මේ පුරාවෘත්තයම භාවිත වූ, මෙම වසරේ මා කියවූ දෙවෙනි කෙටි කතාව මෙයයි ( අනෙක සුමුදු නිරාගි ගේ චිත්ත වග්ගයේ නැති කතාවක් ය).

 

"නමට අගින් උඹ අප්පුහාමි කියලා පාවිච්චි කරන එකට මං කැමතියි... නමකින් ආගම මනින එක ගොත්‍රිකයි කොල්ලෝ... මිනිස්සු තමයි ලෝකය... මිනිස්සු තමයි ආගම... මිනිස්සු තමයි හැමදේම.."
ලේඛකයාගේ ජාතීන් අතර ඇති ගැටුම් ගැන ඉඟි කරන කෙටිකතා පිළිබඳ මා එතරම් කැමැත්තක් නැතත්, ඉම්‍රාන්ගේ භවන්තර චාරිකාව නම් වූ, කෙටි කතාව ට මම ප්‍රිය කරන්නෙමි.  එය සමස්ත වශයෙන් සාර්ථක නිර්මාණයකි. මට නිරායාසයෙන් මතකයට නැගුනේ මෑතක මුස්ලිම් ජාතිකයෙකු අප රට අධිකරණ ඇමති බවට පත් වූ කල, සමාජ මාධ්‍ය ජාල හරහා ඔහු ට නැගුණු විරෝධයයි. අප රට තවම, අන් ජනවර්ගයකට අයත් කෙනෙකු සැලකිය යුතු තනතුරක ට පත් වුවහොත්, ඔහු ගේ හෝ ඇය ගේ අවංකබාවය ප්‍රත්‍යක්ෂ කරනු වස්, බහුතර ජාතියේ අයෙකු ට වඩා වැඩි මහන්සියක් දරීමට අවශ්‍ය වේ. ඒ අතර ම හැම දා තම වාසිය උදෙසා "හැම දා ආණ්ඩුවේ ඉන්නා" දේශපාලඥ්ඥයින් යහමින් වැජඹේ. ඉම්‍රාන් ට තමන් කවුදැයි ඔප්පු කරලීමට තම රහසඟ පෙන්වීම අවශ්‍යවීමේ රූපණයෙන්, මෙම අසාධාරණය, සාමාන්‍ය මිනිසුන් ගේ මට්ටමේ සිට බැලීමට අපට බලකරයි.

මෙම කෙටි කතා සංග්‍රහයේ එන කෙටි කතා හයෙන් බහුතරයක් රසවින්දෙමි.  ඇත්තෙන් ම තරමක් සාම්ප්‍රදායික රටාවක නිර්මාණයක් ලෙස දැකිය හැක්කේ, තාත්තලාගේ කතාවක් පමණි. විටෙක කතුවරයා තම පණිවුඩය ඒත්තු ගැන්විමේ තැත, කෙටිකතාවේ කලාත්මක බවට බරක් වුව ද, ධනාත්මක ලක්ෂණ ඍණාත්මක ඒවා ට වැඩි ය. මා මීට කලින් කතුවරයා ගේ කියවූ සංග්‍රහයන් ට වඩා මෙය රස වින්දෙමි යැයි ද වරෙක සිතේ ( එහෙත් ඒවා කියවා යම් කලක් වේ ). 2019 ප්‍රකාශ වූ, මීට වඩා රසවිඳි  සංග්‍රහයන් මා දැනටමත් කියවා ඇති මුත්, අනේක සම්මාන උදෙසා මේ කෘතිය ලැබූ නිර්දේශයන් ගැන විවේචනයක් කරලීම නොහැකි  තරමට මෙහි සාධනිය ලක්ෂණ ඇති බව කිව යුතුම ය. විශේෂයෙන්, කතුවරයකු ලෙස, ඔහු තමාව ම අතික්‍රමණය කරලීමට යත්න දරා ඇති බවකි හැඟෙනුයේ - එය ම ජයකි.

(2019 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 6 )

***1/2
කෙටිකතා
ගොඩගේ ප්‍රකාශනයක්
2019

 



Saturday, 22 August 2020

ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ - පී. බී. ජයසේකර

පොට ඇණය සහ මුරුච්චිය, මා ලේඛකයාගෙ කියවූ පළමු කෙටි කතා සංග්‍රහයයි.  ඔහු ගේ ඊට කලින් නිකුත් වූ කෙටි කතා සංග්‍රහයන් තුනක් ම මා සතු වෙතත්, ඒවා කියවීම පසුවට කල් තබා, 2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් කියවීමේ මේ ව්‍යායාමයට, කතුවරයාගේ මෙම සංග්‍රහය කියවීම ඇතුලත් කරගත්තෙමි.

පුතා සතුටින්
- වර්තමාන සමස්ත ලෝකය කුමන අයුරකින් සමලිංගිකත්වය පිළිගත්ත ද, දෙමව්පියන් ට තම දරුවා ගේ එවන් "අසම්මතබවක්" පිළිගැනීම, කෙතෙරම් පහසු ද ? වෙසෙසින් අප වන් තවමත් සාම්ප්‍රදායික, සම්මත අදහස් වලින් දිවෙනා රටක් තුල ? මෙහි පියා තම පුතා ට "අහිමි වන" අවස්ථා ගැන දුක් වන අවස්තාවන් ලේඛක මනසට නතු කර ගෙන ඇති අයුරු අපූරුය.

"පුතුට ගැහැනුන් ගෙන් වහනය වන ඒ මිහිරි සුවඳ දැනෙනුයේ දුර්ගන්ධයක් ලෙසින් ද? ...  ඇතැම් විට හැඩගැන්වීම සඳහා ඔහු අතපත ගානා එම පහසින් ඇතැම් කෙල්ලක ආස්වාදයක් විඳිනවා විය යුතුය. එහෙත්, ඔහු සිතනුයේ අරූපී ගැහැනු, දුර්ගන්ධය හමන ගැහැනු තමා හැඩගන්වා සුවඳ කරවන ලෙසිනි...

ඔහු තම රූමත් බිරිඳ දෙස යළි බැලීය. කිසිදාක වත්සුණු නොතවරන ඇයගෙන් හමා එන ඒ මිහිරැති සුවඳ ඔහුට දැනේ... අහෝ! පුතුට අහිමි වන මිහිරැති ලෝකය." ( 111 පිටුව )


කම්පාව වූ කලි, පියෙකු වශයෙන් කියවීම තරමක් අපහසු කෙටි කතාවක් වුව, කෙටි කතාව අවසන ඇති මවිතයක් ගෙනෙන හැරවුම සමඟ සාර්ථක කෙටි කතාවක් යැයි කිව හැකි රචනවාවකි. ඇල්ෆ්‍රඩ් හිච්කොඛ් ආභාෂයකයක ඉවක් එහි ගැබ් ව ඇත.

බිරිඳක් හා පියෙකු අතර ඇති සබඳතාව හෝ එහි බිඳවැටීම ඒ ආරෙන්ම දරුවන් ට ද හැඟේ ද ?  "අසාධාරණයට පත් වූ පාර්ශවය" යන්න ගැන ඔවුන් දෙදෙනා ට ඇති "විශ්වාසය", දරුවන් එලෙස ම සලකයි ද ? වෙසෙසින් නව යොවුන් වියට පා තැබූ දරුවන් යනු, ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ ලෝකයන් ගොඩ නගා ගනා අවදියක වන්නන් ය. එවි ට ඔවුන් වඩා උපේක්ෂකව, වඩා නිරවුල් ස්ථානයක සිට එවන් සබඳවාවන් දෙස බැලීමේ හැකියවෙන් පෝෂිත ය. මේ කරුණු දීර්ඝ ලෙස සිතන්නට පෙළඹෙන කෙටි කතාවකි, "අනියම් දුක නොහොත් අනියම් සතුට".

මොළේ තරම අනුව බාහිර ලෝකයෙන් තමනට වෙන අසාධාරණය, අවමානය මගහරවා ගත හැක. කිමද පුරුෂාධිපත්‍යයෙන් දිවෙන ලොවක වරද යන්න නිරපේක්ෂි නොවෙන දෙයකි. පුරුෂාධිපත්‍යය හේතුවෙන්, ඔවුන් වරෙක තමනට රිසි ලෙස කතුන් තම ආසාවනට භාවිත කොට මගහරිති - එලෙසම පියෙක් නම්, තම දියණිය ගෙන් මිහිබට සුරගනක් ලෙස වෙසෙන පිරිසිඳුබවක් බලාපොරොත්තු වෙති. ඉතින් මොළේ තරමින් යම් රැවටීමක් නොකර, කෙසේ ගැහැණුන් පිරිමි හා වෙසෙන්න ද ?

දරුවෙකු තම බාල වියේ අත්දකින දේ ඔහු ගේ මුළු දිවිය පුරාවටම, එම දිවිසරිය තීරණයට හේතු විය හැක. තම මව හා බැඳි එක්තරා සිදුවීමක් හේතුවෙන්, එම දරුවා වැඩිහිටිව  මානසික ව්‍යාධි තත්ත්වයක ට නතු වූ අයුරුත්, එම බිහිසුනු කතා පුවතත්, ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ කෙටිකතාවෙන් දිගැරේ. පාඨකයකු තිගැස්මට පත් කල හැකි කෙටි කතාවකි. මා ප්‍රති. මා මගින් කතුවරයා පාඨකයාට ගෙන ආ තරමේ කම්පනයට සැසඳිය හැකි කම්පනයක් ගෙන ඒමට සමත් නිර්මාණයකි. පිරිමි දරුවෙකු තම සහකාරිය ඔස්සේ තම මව සොයන්නේ ද ? ෆ්‍රොයිඩ් කියවීමට බල කෙරෙනෙ කෙටි කතාවකි.

අප වාගේ ම නොවන අය කෙරෙහි පූර්ව නිගමනයන් ට අවනතව ක්‍රියා කිරීමත්, ඔවුන්ගේ සුවිශේෂිතාවයන් ට ඇති ඉඩ පිළිබඳ නොදැන සිටීමත් අප ට ජීවිතය පිළිබඳව වඩා සම්පූර්ණ අවබෝධයක් දුරස්ත කරයි. ඒ අනුව මෙම කෙටිකතාවේ "ඇස් ලැබීම" සිදු වූයේ කාට ද යන්න අපූරු විග්‍රහයකි.

මෙම කෙටි කතා හයෙන් දුර්වල යැයි කියා කතාවක් දෙකක් තෝරන්නේ නම්, එය ඇත්තෙන්ම අපහසු කර්තව්‍යයකි. පොට ඇණය සහ මුරුච්චියේ, විටෙක කෙටිකතාවක් දීර්ඝ වැඩි විය; විස්තර වැඩි විය ( සමස්තයක් ලෙස එම සංග්‍රහය ද සාර්ථක වුව ද). පිටු 136 සීමා වූ මෙම පොත කෙටි කතා හයකට සීමිතය. එය කදිම ගැලපීමකි. කතුවරයා තෝරාගෙන ඇති මාතෘකා වුව, වර්තමානයේ නූතන මතයන් හා සාම්ප්‍රදායික මතයන් ගේ ගැටීම, මනෝ විද්‍යාත්මක කාරණා, අසංවේදීත්වය සහ පුරුෂාධිපත්‍යය ආදිය ය. ඒ සියල්ලෙන් කතුවරයා පාඨකයා ට කතා රසයට ඔබ්බෙන් යන කාරණා මතුකර දී ඇත්තේ, තම නිර්මාණ තම මතයනට හොරණෑ වීමට ඉඩ නොදී, ඉතා සියුම් අයුරිනි.


පසු සටහන: මේ වන විට කෙටි කතා සංග්‍රහයන් පහක් කියවා හමාරය. ඉසුරු චාමරගේ "ගැහැණු පිරිමි මල් පලතුරු", කම්මැල්ලවීරගේ "කැඩපත් දහයක්", සුමුදු නිරාගි ගේ "සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්", එරික් ගේ "විශ්‍රාමික පෙම්වතිය" සහ මෙයයි, ඒ. එම පහ අතර සුළු වෙනස්කම් තිබුන ද එම පහ ම කියවීම ගැන සතුටුවෙමි - ඒ වෙනුවෙන් ගත වූ කාලය පිළිබඳ කිසිදු පසුතැවිල්ලක් නැත. එනම් 2019 කෙටි කතාවට සරු වසරකි. මේ වන විට සම්මාන කිහිපයකට නිර්දේශ වූ, එක් සම්මානයක් ජයග්‍රහණය ද කල පොත් දෙකක් කියවීමට මීළඟ සතිය ක දෙකක කාලයේ සිතා සිටිමි. ඒවා ද අවම වශයෙන් මේ පොත් පහ හා පෑහෙන්නේ නම්, 2019 වසර කෙටිකතාවට සරු වසරක් ම වන්නේය

( 2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් කියවීම - 5 )

****1/2
කෙටිකතා - 2019
සුරස ප්‍රකාශකයෝ


Friday, 21 August 2020

විශ්‍රාමික පෙම්වතිය - එරික් ඉලයප්ආරච්චි

මෙය පිටු 160ක් පුරා කෙටි කතා 15කින් සුපෝෂිතය - චයිනා ටවුමෙන් පාඨකයා ට ජනිත වූ යම් අපැහැදීමක්, අවිශ්වාසයක් මේ සංග්‍රහය මගින් මුලුමනින් මුලිනුපුටා දමන්නට සමත් වේ. 2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් අතරින් මා කියා නිම කල සිව්වැන්න මෙයයි - "ගැහැණු පිරිමි මල් පලතුරු" වන්, පරිසමාප්ත සංග්‍රහයක්, මෙම සංග්‍රහය මට "වසරේ හොඳම කෙටි කතා සංග්‍රහය" වීම වලක්වන මුත්, කිසිදු සැකයකින් තොරව, බැග්ඩෑඩ්, ලේ විල සහ ඩාන්ටේ වන්, කතුවරයා ගේ මෑත කාලීන් ඉතා සාර්ථක කෙටි කතා සංග්‍රහයන් සමඟ එක පෙළට තැබිය හැකි කෘතියකි - ඒ අතර පළ වූ එකම තරමක් අසාර්ථක කෙටි කතා සංග්‍රහය වූ චයිනා ටවුම ට පමණක් රජත සම්මානය ලැබීම දෛවයේ සරදමක් මෙනි.

භික්ෂු වාට්ටුව
- අවාසනාවන්ත පස්කු ප්‍රහාර සිද්ධියත්, ඉන් පසුව හට ගත් මුස්ලිම් විරෝධයත් අලලා ලියූවකි. එරික් යම් යම් අදහස් ගම්‍ය කරනු වස් භාවිත කොට ඇති රූපන, හෝ පාත්‍ර වර්ගයාගේ සිතුවිලි ඔහුගේ නිර්මාණ ශක්තියට දෙස් තියයි.

"එම විශාල ලොකය සහරා වාලුකා කාන්තාර දර්ශනයක් ලෙස දස අතේ දුවන හාමුදුරුවන්ගේ මනසේ ඇඳුණේය... රැලි ගැසුණු වැලි පොළොවේ විශාල පඹයින් වැනි පතොක් වැවී ඇත. තෙතමනයක ලකුණක්වත් නැත... ගෙයක් දොරක් කාමරයක් කුටියක් නැතිව දොර පමණක් වැල්ලේ සිටුවා එම දොර ඉබි යතුරු දමා තරයේ වසා තිබේ.... උස බාමියන් පිළිමය එක ඇසිල්ලකින් අළු දූලි වී යනු ඥානාරාම දුටුවේය. ටික වෙලාවකින් ඥානාරාම දැක්කේ තම කහ සිවුර ලේ වැකී රතු වී ඇති බවකි" (16-17 පිටුව )

අභිනික්මන - වෙනස් වූ නගරයක්, පෙර කලෙක මෙන් ලබැඳියාවන් දැන් අඩු වූ නගරයක් ගැන සාංකාවක්, පුද්ගල සම්බන්ධතාවකට සම කරමින් ලියූ vignette ආකාර නිර්මාණයකි. කෙටිකතාව ආරම්බය වෙසෙසින් ආකර්ශනීය ය.
"ඉස්සර මීගමුව ප්‍රමාද වී අඳුර ගලන දුම්කොළ ටවුමක්, බයිස්කෝප් ටවුමක්,   කැවුම් ලෑතර ටවුමකි. එහි සිටි කිසිවකුට දුම්කොළ ගන්ධය මඟ හැර සිටින්නට නොහැකි විය. දුම්කොළ තෝරන පොල් අතු මන්දිර අතිවිශාල ඒවා වූ අතර කිසියම් නිහතමානිකමකින් යුතුව පාරට බෑවුම් වන ලොකු වහලින් යුතු විය. කැවුම් හා ලෑතර තිබුණේ එළවළු මාකැට්ටුවේ විවෘත දොරකඩය. චිත්ත ඇඳ ගත් ගැහැනු වට්ටි, හට්ටි හා බෝතලවල දමා ගෙන විකුණූහ.

හිටිහැටියේ සියල්ල වෙනස් විය. බීඩි බීම හා දුම්කොළ කෑම නතර විය. අංගුලිමාල පෙන්වා විවෘත කර තිබුණු රාජ් හෝල් ගිනි තබන ලද අතර රීගල්, නඩරාජා හා මීපුර තියටර් එකපස එක වැසී ගියේය. රුක්මනී හදිසි රිය අනතුරකින් මිය ගියාය. මඤ්ඤොක්කා හේනේ සිදු කරන ලද භූමදානය වෙනුවෙන් අතිවිශාල ජනකායක් එක්‍ රොක් වුණු අතර මහනගර සභාවට පැමිණි මොහිදින් බෙග් බුද්ධං සරණං ගීය ගායනා කරන්නා සේ හඬ නඟා ඇඬුවේය. ඉන් පසු මීගමුව ටවුම වෙනුවෙන් අඬන්නට කඳුළු නැති විය."
(50 පිටුව )     
එරික් මෙම කෙටි සංග්‍රහය මීගමුව ආශ්‍රිත සංස්කෘතික සිදුවීම් වලට මුල් තැන දී ඇති සේය.  1960 දශකයේ රා පෙරීමට ඉන්දියාවේ සිට පැමිණි තරුණයෙකු අලලා ලියැවුණු අපූරු කෙටිකතාවකි, කමලනාත් නම් වහලා. නැවත ඉන්දියාවට මාසිකව යම් මුදලක් යැවීමට සිදුවීම හේතුවෙන් ද, අප සියළු දෙනා පොදු වේ යම් ආකාරයකින් අන් අයට සේවයක් සැපයීමට බැඳී තිබීම හේතුවෙන් ද, 'වහලා' යන සංකල්පය පිළිබඳ යම් ගැඹුරකින් කතාවෙන නිර්මාණයකි.

එරික් ගේ නිර්මාණ මට රුචි වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඔහු තම නිර්මාණ හරහා ගෙනෙන මනෝභාවයන් ය - එය වරෙක වචානයට නතු කර ගැනීම උගහටය. මෙම කෙටි කතා සංග්‍රහයේ විශේෂයෙන් අප ට හමුවන සම්මතාකාරයෙන් ඈත් චරිත මෙම මනෝභාවයන් හී තීව්‍රතාව වඩවයි. නූතන සිළිඳු කෙනෙකු ලෙස අප කතුවරයා දකින ඔලම්මා ( සිළිඳුගේ දියණිය ) ගෙ පියාවය. ඔලම්මාගේ පියා දඩයක්කාරයකු ව සිට, නීතියේ තහංචි හේතුවෙන් දැදුරු ඔය නිම්නයෙන් කල්පිටියට පැමිණියේ තම ප්‍රියතම කර්තව්‍යයේ යෙදීමට ය.

සරසවි පෙමක් ඇවෑමෙන් දිගු කලකට පසුව පෙම්වතා නැවත පෙම්වතිය වෙත පැමිණීමක් මාතෘකා කොට ගෙන ලියැවුණු විශ්‍රාමික පෙම්වතිය, මෙම සංග්‍රහයේ ප්‍රමුඛ අඳුරු ව්‍යාකූල මනෝභාවයන් හා සංඝත වූවකි. තුන්වන පාර්ශවයක් වන කථකයා ට ඇය හමුවන්නේ සීතල නුවර එළියේ දී ය. ඔහු ගේ ප්‍රේමය ඇය ප්‍රතික්ෂේප කල ද, ඇගේ දසුනකින් ඔහු පිනවන්නට තරම් සෙනෙහසක් තවම ඈ තුල පවතින්නී ද ?

මෙම කෙටි කතා සංග්‍රහයේ එරික් යම් ආකරයකට විවිධත්වයක් ගෙනෙමින්, පර්යේෂණ කොට ඇති බවක් පෙනී යයි. "නාට්‍ය අනුවර්තනය", එවන් නිර්මාණයකි. චොකොෆ්ගේ චෙරි උයන, අසාර්ථක වූ තේ වත්තක් සහ එහි ආර්ථික අහේනියට පත් වූ අයිතිකරුවන් ට අනුවර්තනය කරමින් ලියැවුන්නකි. පර්යේෂණාත්මක ලක්ෂණ හේතුවෙන් එහ් වැදගම්මක් තිබුන ද මා වඩාත් රස විඳි නිර්මාණයක් නොවේ.

නෙරුඩා සහ වැල්ලවත්තේ චණ්ඩාල කුල ස්ත්‍රියක් අතර ඇති වූ සබඳතාව මුල් කොට ගෙන එය නූතන මිඩියකුත්, තම රැකියාව හොඳින් ඉටු කරලීම පිළිබඳ යම් අභිමානයකින් හැසිරෙන කාන්තාවක්, විශ්වාස කල නොහැකි ආරකින් නෙරුඩා ගේ චරිතෝපදානයක් වෙත ඇලීමක් ඇති කරගන්නේ, ඒ අතීත බැඳීමේ සිට ඇදී එන අපැහැදිලි හුයක් නිසා ද ? (යකඩ බාල්දිය )

පශ්චාත් යුද තත්වයේ දැඩි ජාතිකත්වයකට අප රට බහුතර මතය පෙළ ගැසීම, එරික් ගේ මෑත කාලීන සාහිත්‍යයේ වෙසෙස් විචාරයාට නතු වන්නකි. ඇමේසන් ගින්න මගින් ද, වෙසෙසින් විදෙස් රට වල ඉඳිමින් ලාංකීය අනන්‍යතාව කෙරෙහි බැඳීම පිළිබඳ අපූරු දිගැරීමකි. 

පල්ලියවත්ත දූපතේ සිට, කල්පිටියට එන ගමනක හමු වූ අයෙකු, සහ ඔහු විකිණීමට සිත සාදා ගන්න උත්සාහ දරණ යතුරු පැදියට ඇති බැඳීමත්,  එම කටුක මුත් ඊට ආවේණික අලංකාරිත්වය රැගත් පරිසරයේ විස්තරත්, අවාරිස්ගේ යතුරුපැදිය කෙටිකතාව රසවත් කරයි.

මේ කෘතියට කලින් එරික් මෙහි භාවිත සමහර කෙටිකතා ආකාර භාවිත කොට නැත.  මැටි කෝප්පය, ගල් ඔරලෝසුව හා කපුරු බෝල සලකන්න - එහි මිතුරන් තිදෙනෙකු කැස්බෑව-වාද්දුව මාර්ගයේ ගොස් දොඩම්ගොඩින් අධිවේගි මාර්ගයට ප්‍රවිශ්ටව, අනතුරුව ගාලු කොටිව ට යති. මෙහි ඇත්තේ ඒ ගමන'තර ඔවුන්ගේ  අත්දැකීම් ආශ්‍රයෙන් කියූ තරමක් අසාමාන්‍ය කතා තුනකි - අපිට මහදහවලේ තම වයස්ගත අඹුව සමග රති සම්බෝයගේ යෙදෙන කට්ටඩියෙක්, කුල බේදය නො අඩු යාපන කෝවිලක ශබ්ද පූජාව සහ පල්ලි ගොඩනැගිල්ලක තිබූ දීර්ඝ කාලයක් ක්‍රියා විරහිතව තිබූ ඔර්ලෝසුවක් සෑදීමට පැමිණි ස්විස් ජාතිකයකු පිළිබඳ අතුරු කතා තුනක් හමු වේ.

මීගමුවේ ටවුමේ අස්සක් මුල්ලක් නෑර ඇවිද, එහි අතුළු කතා, සරල ලෙස ජීවත් වුවද සැලකිය යුතු චරිත ආදිය මේ සංග්‍රහයේ තරම් අප හට හඳුන්වා දී නැත. පෝසත්තු ද එවන් මීගමු නගරයේ කතාවකි. මුදල් යහමින් තිබීම තමන් ට හුරුපුරුදු ජීවිතය අතැරීමට හේතුවක් නොවේ.  මේ කෙටිකතාවේ කියන දේ ට වඩා අඟවා කොකියන දේ වැඩිය. පිටු 160 ක් පුරා කෙටි කතා පහළොවකින් සපිරිය - ඉන් බහුතරය

කුණුකාරයෝ මගින්, අප කතුවරයා කසල ඇදීම රැකියාවක් ලෙස කරන පිරිස් අනුසාරයෙන්, ඔවුන්ගේ දිනචරියාව අනුසාරයන් නිර්මාණයක් කරලීමට යත්න දරා ඇත. සංග්‍රහයේ එන එතරම සාර්ථක නොවන කෙටි කතාවකැයි සිතුණි.

ලලිත සමය වූ කලි, "මාස්ටර්" ගේ රැස් මඩල යට ජීවත් වෙන අන් චරිතයන්ගේ නවකතාවකි. සංගීත ඊශ්වර විසංතිය ද, එවන් අවශේෂ චරිතයන් ඔහුගේ ඇවෑමෙන්, ඔහුගේ රැස් මඬලක මතකය විකුණමින් ජීවත් වන්නන් ගැන ගෙතූවකි. එනමුදු මෙහි එන සාර්ථක බවින් තරමක් අඩු කෙටි කතාවකි.

රාජ්‍ය තන්ත්‍රයේ සේවය යුක්ත වූවෙකුට හොඳක් අසා ගන්නේ කලාතුරකිනි. ෂයිලොක් නම් කෙටිකතාව ට මුල් වී ඇත්තේ ඉංග්‍රීසි කථිකාචාර්‍ය පුතෙකු සහ විශ්‍රාම වයසෙන් පසුව ද, රාජ්‍ය තන්ත්‍රයේ ව්‍යාපෘති වල නියැළි තාත්තෙකු අතර දිගින් දිගට ගැටෙමින් ඇදෙන පිළිසඳරකි. කියවීමට තුඩු දෙන ලෙස ඇදී යන රසවත් නිර්මාණයකි.

 හුදෙක් අධ්‍යාපනය අයෙකු ගේ ආර්ථික තත්ත්වය තීරණයට හේතු වන්නේ නැත. ඉතා හොඳින් උගත්,  සමාජයේ පිළිගැනෙන අය හා මුසු ව, පසු කාලීනව ආර්ථික අහේණියකින් යුතුව සුළු රැකියා කරන, මත් පැන  ට ලොල් වූ පුද්ගලයින් අප සමාජයේ ඇත. එවන් අයෙකු ගැන, සමාජයේ හැංගී ඉන්නා උගතුන් බුද්ධිමතුන් ගැන අපූරු කියවමකි, ඈබට්.

ඉතින්,  යම් සුවිශීෂි බවක් දරන අප්‍රකට චරිත, සිදුවීම්, කාලයත් සමඟ වූ වෙනස්කම්, තමන් උපන් ප්‍රදේශය වූ මීගමුවේ අපූරු විත්ති ආදියෙන් සුපෝෂිත රස ගුලාවකි, මෙම කෙටි කතා සංග්‍රහය.  මෑත ඉතිහාසයේ බොහෝ අප්‍රකට සිදුවීම් සිදු වූ,  ඇතුලෙහි දැල් වූ  කහ පාට  විදුලි බුබුලක එළිය, පොල් අතු අතරින් පිටතට කාන්දු වන, සවස් යාමයේ පොල් අතු මන්දිරයක දර්ශනයක, ගුප්ත බවක්, කාංසාවක්, නිවීමක් මෙන්ම ව්‍යාකූලභවක් ද, මෙම සංග්‍රහය මගේ මනසේ මවයි. මෙවන් සර්ථක කෘති කියවන කල, ලේඛකයාගේ මුල් කාලින් කෙටි කතා කියවීම දිනෙන් දින කල් දැමීම, අපරාදයක් බවකි හැඟෙන්නේ.

(2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් කියවීම - 4)

****1/2
කෙටිකතා - 2019
ගොඩගේ ප්‍රකාශනයකි.