Showing posts with label කාව්‍ය. Show all posts
Showing posts with label කාව්‍ය. Show all posts

Sunday, 16 May 2021

එකමත් එක පිටරටක - ලියනගේ අමරකීර්ති

 වසර 2009 හෝ 2010 විය යුතුය.  පරාක්‍රම කොඩිතුවක්කු කවියා, මතක පමණින් ම කවියෙන් ම අමරකීර්තිගේ ගේ "එකමත් එක පිටරටක" කාව්‍ය සංග්‍රහය ගැන විචාරන්න ට විය. ඊට ප්‍රතිචාරයක්  අමරකීර්ති දක්වා තිබුනේ, කොඩිතුවක්කු ගේ යම් දේශපාලන ස්ථාවරයක් ( ජාතිකවාදී ?), විවේචනයට ද මතු කරලමිනි. මට මතක තරමින් කියවන්න ට ලැබුනේ අමරකීර්තිගේ පිලිතුර පමණකි; මතක විදිහට ඒ දිවයින පත්තරයෙනි. එකල වන විට අමරකීර්තිගේ පොතක් ලෙස කියවා තිබුනේ අටවක පුත්තු පමණකි ( අදටත් එය ඔහුගේ විශිෂ්ඨතම නවකතාව යැයි සිතමි )  - එයද මහජන පුස්තකාලයෙන් ලබාගත් පිටපතකිනි. පෙර කී කොඩිතුවක්කු-අමරකීර්ති සංවාදය සම්පූර්ණයෙන් කියවීමට මට අවස්ථාවක් නොලැබිණි. එහෙත් "එකමත් එක පිටරටක" කාව්‍ය සංග්‍රහය කියවීමේ දොළක් මට එදා උපන. එහි පිටපතක් මට ඒ ආසන්න කාලයේ නොලැබිණි. ලේඛකයාගෙන් ම මැසෙන්ජරය හරහා එහි පිටපතක් සොයා ගත හැකිදෝයි විමසුවේ මීට වසර 3-4 ට පමණ පෙර විය යුතුය. එහි පිටපතක් නැති බවකි ඔහු කීවේ. නොසිතූ ලෙස, මෑත දිනක එහි පිටපත් දෙකක් ලැබුනේ, එතෙර සිට පැමිණි පොත ට දැඩි සේ ලොල් මිතුරෙකු සමඟ එක් දිනක් ම මරදානේ පොත් කඩ වල රෝන්දෙ ගහපු දිනක, විජේසූරිය එකේ "ඩිස්කවුන්ට්" කොටසෙන් ය. ඉතින් දැන් ඒ කවි පොත එක් වරක් මුල සිට අගට කියවා හමාරය ( කවි පොතක් කියවා හමාරයි කීම, සුදුසු කීමක් යැයි නොසිතේ - කෙසේ හෝ ). මේ ඒ ගැන මට අවංකව  සිතුනු දෑ ය. 



මේ සංග්‍රහට අමතරව අමරකීර්ති ලියා ඇත්තේ, "හමු වේද අපේ වෙණ තත" යන සංග්‍රහයයි ( එය මීට කලකට පෙර "කියෙව්වෙමි " - නැවතත් අර නුසුදුසු වචනය! ). මට හැඟෙන්නේ, කෙටි කතාවට, නවකතාවට සහ ශාස්ත්‍රීය කෘතීන්ට කතුවරයා දෙන කාලය, කවිය ට නොදෙන බවකි. මා වැරදි වීමට පුළුවන. එහෙත් මට සිතෙන්නේ, ඔහු ගේ අවංක කාව්‍ය අදහස්, මගින් බිහිවෙන කවි පද, කාලයාගේ ඇවෑමෙන් නැවත ඔප මට්ටම් වී, අත්‍යවශ්‍ය ම - එනම් අඩුත් නැති, වැඩිත් නැති - පැදි පෙළක් ලෙස මුහුකුරා නොවැඩෙන බවකි. කවිය ගැන මෙලෝ හසරක් නොදන්නා මාගෙ මේ කීම, විවේචනයට සුදුස්සෝ එසේ කරත්වා ! එහි දොස් පෙන්වා දෙත්වා ! ඊට කම් නැත - මට එම කවි කියවද්දී දැනෙන දේය මා පැවසූවෙ.

එනුමුදු ඔහුගේ කවි වලට පාදක වූ අදහස් වල මා රස විඳි තැන් බොහෝ ඇත. මේ ඒ ගැන සටහන් කිහිපයක් වෙත යොමු වෙන අවස්ථාවයි.

ලංකාවට ඔබින කවි පංතියක් ලෙස මා "මේ නියං කාලෙ" දකිමි. කවි පංතිය පළ වී වසර 12ටත් පසු ව ත් එය තනිකරම පාහේ අදට ත් අදාළ වීම දුකට කාරණයකි.

"අපි කාගෙවත් හොඳ කියන්නේ නෑ
හොඳ ගැන බන කියනවා විතරයි
'එහෙම කොහොමද?'
ඒ හොඳ අපිට නැති බව පේනවනෙ!'

.....

අපි කාවත් පිලිගන්නෙ නෑ
දැක්ක බව නොපිලිගන්නවා විතරයි.
'අපි මොකටද සෙකන්ඩ් වෙන්නෙ'
වැස්සත් නැතුව යන්නෙ ඒකයි"

මේ කවිය ගැන ඇති දුක්මුසුම කාරණාව හරි හැටි පද පේළි සකස් වී නොතීබිමයි. කර්තෘ ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශ වී ඇති මේ සංග්‍රහයේ මෙවන් දොස් රසාස්වාදයට ඉන් යම් බලපෑමක් සිදු විය. එහෙත් මා වඩාත් කම්පනයට ලක් කල කවි පංතිය නම් මෙයයි -එය අර්ථ රසය හේතුවෙනි. ඒ ශිෂ්ඨ සම්පන්න සමාජයක් පතන අපි සැම තවම කොපමණ එයින් ඈත ද යන්න ගැන මෙ කවි පංතියෙන් ඇඟවෙන නිසා ය.

සංග්‍රහයට නම දෙන "එකමත් එක පිටරටක" කවි පංතියත් මා තුල යම් තිගැස්මක ඇති කලේය. ජාතින්ගේ වෙනස නොතේරෙන තම කුඩා පුතු, පියා ගේ මුහුණේ ලක්ෂණ කියවීම මගින්, එම "කෘතීම" වෙනස්කම් ගැන කවියාගෙන් ප්‍රශ්ණ කරයි. එය නම් අපූරු ම ආස්ථානයකි -

"කම්පියුටර් තිරය මත
මතුවෙන කරුනා රුව
'තාත්තා' යැයි කීය
මපුතු මගෙ හිසට ඉහලින්.

ඇත්තටම කරුනා මං වගෙමය
මගේ බිරිඳත් කීයෙන්
කුමටද තවත් සහතික"


"මා හද කෆීරය" මට ප්‍රශ්ණයක් ඇති කල කවි පංතියකි. දරුවාගේ විපත ගෙනෙන කම්පනය ගැන විවාදයක් නැත. එහෙත් එහි කියවෙන ගාන්ධි රූපය, කවුරුන් විසින් හෝ මගින් තබන ලද්දක් යැයි ප්‍රශ්ණ කරලීමට කවියා උත්සක වෙයි. එසේ කලේ ඔහු එවන විට යම් දේශපාලන මතවාදීව සංක්‍රාන්ති සමයක වූ නිසා ද ? අද වන් දිනෙක එවන් කවියක්, අතීත වෙබ් පිටුවක් දෙස බලා ලීවේ නම්, එම කුකුස ඇති වේවි දෝ යැයි මට සිතිණි?  ඒ අප සැම තම අදහස් මගින් වඩා ඉහළ ට යද්දී, සමහර ප්‍රශ්ණ කරලීම්, "නොතරම්" යැයි ස්ටිහිය හැකි බැවිනි.  මා එම කවි පංතියට කැමතිය- ඒ, එහි එන අවංක සැකය හේතුවෙනි.

"ටැමිල් නෙට් වෙබ් අඩවියේ අය
එතන තබුවෙද ගාන්ධිගෙ පොත
ලෝකයාගේ හිත රිදෙන ලෙස
ඔබෙ ෆොටෝ එක අරගන්න පෙර.
ඔබෙ ගෙල වෙස කරල පලඳන
අත් ම කෙලෙසක ගති ද ඒ පොත"

පොතේ ඇත්තේ "අත් ම" ලෙස නොව, "අත්ම" ලෙස ය - එය කවි රසයට බාධවකි. මෙහි එන "ගති" නම් වදන ද, මට අරුචිය.  පැදි මේරිමට, නැවත සකස් කොට, එය ලියැවිය යුතු සුදුසුම අයුරෙන් ලියවුනේ දැයි මට සිතෙන්නේ මෙවන් අවස්ථා වලය.


"අපි සහ අපි", "කන්නාඩිය සහ කන්නාඩි දෙක", "වදකාර මිත්‍රයා", "ආදරෙ, ශෝක වංගුව", "සරාගෙ දෙවෙනි ලියුම", "කොල්ලා", "'වස්තුව' මම",  "අපරාධය සහ දඬුවම"  සහ "අරුන්දතී" ආදි කවි පංති, ඊට විෂය වූ සාහිත්‍ය, සමාජ දේශපාලන ගැටුම්, ප්‍රේමය කෙරෙහි වූ ලොල්කම, වරදකාරි හැඟීම ආදි විවිධ විෂයන් ඔස්සේ මට විඳීම් පරාසයක් ගෙනාවේය.  සමහර කවි අදහස් එතරම් සාර්ථක නොවෙන අවස්තා නැත්තේ නොවේ ( "බෝ සහ කරපිංච", "පිලිතුරු ලියුම",); සමහර පබැඳුම් රසවත් අවස්තා ද නොතිබ්බා නොවේ ( "දුක්බිය", "අනගි මැනික"). එහෙත් මෙය, එක් අතකින් කවියාගේ යම් වෙසෙස් කාලයක අදහස් ගෙනහැර දැක්වෙන හෘද සාක්ෂියේ කැඩපතක් වැනිය ( එක්සත් ජනපදයේ යම් ස්ථාන වල විස්තර; ඔහු ට එතැන සිට ලංකාව පෙනුනු අයුරු ආදිය) -ඒ අතින් මෙය තරමක ඓතිහාසික කාව්‍ය සංග්‍රහයක් යැයි කිව හැක. සමස්ත වශයෙන්, මෙය කියවීමට ලැබීම භාග්‍යයක් කොට සලකන අතර, රස විඳි කවි පංති ගණන, එසේ නොවිඳි ගණනට වඩා වැඩි බව ද හැඟේ. සමස්ත ලෙස මෙම පැදි වල යම් රළු ගතියක් නැත්තෙ නොවේ; එහෙත් එය යම් තරමකින් "හමුවේද අපේ වෙණ තත" වල ද තිබූ බවකි මගේ මතකය.

කාව්‍ය
ශ්‍රේණිගත කිරීම: ***1/2
ප්‍රකාශ වූ වසර: 2009
කර්තෘ ප්‍රකාශනයකි



පසුවදන: 

( පහත කවිය, ඉහත ලිපියේ පරාක්‍රම කවියාට පිලිතුරු ලෙස අමරකීර්ති ලියූ කවියයි. එය මෙම ලිපිය මුහුණු පොතේ පළ වූ කල, අමරකීර්ති විසින් ම, අදහස් පළ කරන කොටසේ, පළ කෙලෙන්, එහි පිටපතක් තබා ගනු කැමැත්තතේ, පහත අමුණමි.)

 

Liyanage Amarakeerthi

පරාක්රම කොඩිතුවක්කුට පිළිතුරක්
(මැයි 30 දා දිවයිනට කොඩිතුවක්කු ලියූ ලිපිය හා බැඳේ)
ලියනගේ අමරකීර්ති

හිතුවෙමි ලියන්නට
පැරකුම් කිවිඳුන්ට
ලියු මගෙ කවි පොතට
විමසුමක් හරි හොඳ

අනෙකා කරන දෙය
අගයන්ට තෙත ඇතිව ළය
හැකිවුන් නැති රටක
ඔබ වදන සංගීතයකි මට

තමාමය පඬි යැයි
අනුන් මැඩියන් යැයි
හූ කියන සුචරිත
වැන්නවුන් ඇති රට

මෙයැයි වැඩිහිටිකම්
හඬ ගා කියන මෙන්
ඔබ දුන් යහවදන්
ගන්නෙමි සවන් දෝතින්

ඒත් කිවිඳූනි තුම්
මම එකඟ නැත්තෙම්
ඔබේ ජාතිකවාදෙ හා නම්
අහෝ කෝ අර පැරණි පැරකුම්!

ලංකාව නම් දිවයින
“සිංහල” නම් ගත්තවුන
හා උනගෙ බුදු බණ
රැකෙන දිවයින කියන අදහස
කරන වියසන කිවිඳ දුට මැන

ජාතිකවාදෙ නම්
විසක් අප බටහිරින් ගත්
කියන්නට මේ බැව්
අහෝ තාගෝර් කෙනෙක් වී නම්

කිවිඳ පෙන්වුව මැන
කොයිද ජාතික චින්තන
පාරිභෝගික රැළක් හැමතැන
ගිහි ගෙදර හා පන්සල

ජාතිවාදී රැළක් හැම තැන
ගිහි ගෙදර හා පන්සල
චින්තකයනගෙ ජාතික
දරුවො කොයි වෙද මිසක් බටහිර

දෙමළාට මේ රට
ඇති ප්රශ්නයේ මුල
දෙමළ වීමම මිස
අන් කුමක්දැයි කිව මැන

අපට අවැසිය කවියක්
අපටම රිදෙන කවියක්
හිතට සුවයක් විතරක්
දෙන්නෙ කවියක්
නෙමේ බොරුවක්

හෙළයා කරන පිස්සෙක්
ජාතිවාදෙට පහරක්
නොගහනා කවියක්
කවියක් නෙමේ බොරුවක්

මෙන්න දුට මැන කිවිඳුනි
අටවක පුත්තු පොතෙහි
මා කියූ කියුමක්:

කවිය යනු අවියක්
අපි අපෙම යකුන් හා
යුද වදින විදියක්
කඩුවක් කපයි අනෙකා
“සතුරා” “ද්රෝහියා” නම් ලත්

කවියක් කපන්නේ තමා
“මම” “අපි” “ජාතිය” නම් ලත්

කඩුවෙන් කපන කල එද
පියව යයි දෙනෙතක්
කවියෙන් කපන කල නම්
පිබිද එයි නව නෙතක්
කවියෙන් කැපූවත් සතුරන්
පිබිද එයි නව දෙනෙතක්



Tuesday, 16 March 2021

තාණ්ඩව - ඉසුරු චාමර සෝමවීර


මීට කලින් මා කියවා තිබුනේ ඉසුරු ගේ "ගැහැණු පිරිමි මල් පලතුරු" නම් වූ කෙටි කතා සංග්‍රහය පමණි. එය 2019 ප්‍රකාශයට පත් වූ, මා කිය වූ කෙටි කතා සංග්‍රහයන් අතරින් විශිෂ්ඨම කෘතිය යැයි හැඟිණි. ඉන් ලැබූ රසය හේතු කොට ගෙන, කතුවරයා මීට වසර කිහිපයකට පෙර ප්‍රකාශ කල තාණ්ඩව නම් කාව්‍ය සංග්‍රහය කියවීමි.

මෙය ඉතා පැහැදිලි ලෙස, බහුතර සාර්ථක රසවත් කාව්‍ය නිර්මාණ වලින් සුසැදි සංග්‍රහයකි. පුළුල් මාතෘකා පරාසයක් ඔස්සේ කාව්‍ය රචනා 74කින් සපිරිය. කාව්‍ය සංග්‍රහයක් ලෙස එහි සාර්ථකත්වය පෙන්වනු වස් නිදසුන් කිහිපයක් ගෙන හැර දක්වමි.

මෙහි එන වඩාත් සාර්ථක් සමහර කවි කෙටි ඒවාය. කාව්‍යමය බව ට හානියක් නොවෙන ලෙස එහි යම් දාර්ශනික අදහසක් ගැබ් වී තිබීම එහි පරිපූර්ණත්වයට හේතු වේ. නිදසුන ක් ලෙස "තාරකා" නම් කවිය අපගේ ක්ෂුද්‍ර බව, මෙහි අල්ප කාලයක් ම සැරිසරණ බව ඒත්තු ගැන්වේ.
 

"අපි බිම බලාගෙන
ලොකු ම ලොකු වැඩකට වගේ
පොඩි පොඩි වැඩවලට
කඩිසර ගමන් යනකොට

වැඩි කඩිසර ගමන් නැති
දිලිසෙන පහන් සිත් ඇති
අපමණ තනිය ඉවසන
ලොකු පොඩි තාරකා
දිලෙනවා අපට නොපෙනී
හිසට ඉහළින් අහසේ"
"ඔයා සතුටින් ද?", කවියත් මා වඩාත් රස විඳි කවියකි. එහි රැගත් ප්‍රතික්ෂේප නොඅකල් හැකි ව්‍යංගාර්ථය එහි රසවත් බවට හේතු වේ.

"ඔයා සතුටින්ද?
ඔව් මං හුඟක් සතුටින්
මඟුලකදී මල ගෙදරකදි
මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි
පොඩි පොඩි විහිළුවලටත්
මහ හඬින් හිනාවෙනවා මං...

රිදෙන්නේ නැතුව
ඉඳිකටු තුඩු මතින් ඇවිද යන හැටි දැන්
දන්නවා හොඳහැටි මං"


ආගමික සිරිතක් ගැන, එම ආගමික විශ්වාසයෙන් බාහිරව හොඳම අර්ථදැක්වීමක්, කවියා ගේ "පහන්" නම් කවියෙන් කියවීමි.

"සැලෙන සිළු එළියට වඩා
පින්බර, දුක් බර මුහුණු

දිවා හිරු එළියට වඩා
සඳ එළිය දනී මිනිසුන් ගැන
ඊටත් වඩා ඒ ගැන
දන්නේ මැටි පහන් එළි

පහන් දැල්වීමෙහි
අරුත් කිම දයි විමසයි
මා සමඟ ආ විදෙස් මිතුරා

ඔබ දකින අරුත හැර
නොමත අන් අරුතක්
ම'මිතුර"

පහත කව සලකන්න. එහි එක් පාර්ශවයක් සතු විශ්වාසය, යම් සබඳතාවක් පරිණත තත්වයට පත් වන  බිහි වන්නකි. සමහර විටෙක පෙරදින වූ යම් මතභේදයක ඡායාවක් එහි තිබෙන්නට පුළුවන. එහෙත් "සරුංගලයේ නූල සවිමත්" ය.

"ඉස්සර වගේ
මා පිට ව එන විට
එන්නේ නෑ ඔබ
පසු ගමන් දොර ළඟට
මඳ මුදු සිනා පා ගෙන

වැතිර ඇඳ පිට
බලා ඉන්නවා දොර දෙස
මා ද පසුකර
ඉතා ඈතක්
නිහඬ ව

ඉගිල්ලෙනවා සරුංගල්
ඉතා ඉහළැට ඈතට
නූල සවි ඇති තෙක්

දන්න්වා ඔබ එය
මට වඩා හොඳට" 
අසම්මත පෙමක් ගැන ලියැවුණු  කවකි, "නුහුරු ඇති ඔබට". එහි, බලාපොරොත්තුව, ආගන්තුක බව සියල්ල ගැබ් ව ඇත.

"වීනස්...
ඔබ සතුව නැත
ම හද පිරිමදින අත්

නැවත පිටතට යන විට
පැළඳ ගන්නා තෙක්
එළියෙන් තබා ආවෙමි
සුපුරුදු වෙස් මුහුණ"
මෙහි එන විශිෂ්ඨතම කවිය ලෙස, දිවි අරුත නම් වූ කවිය දකිමි.  එහි සඟුන් නොමැති කහටගස්දිගිලියේ මූකලන්බද ගමක, අතැරුණු පන්සලක, සිල් සමාදන් වූ මහළු ගොවි මවකගෙන් අප කවියා දිවි අරුත කිම යැයි විමසයි. එහි ඇති සියුම් අරුත, බොහෝ වෙලාවක් විසඳා ගත යුතු කාරණාවකට මුල පුරයි.

"ඇසූ විට නැවත මා
ඈ දකින දිවි අරුත

'පුතේ අපි අතු ගාමු
හැඩි වෙච්චි බෝ මළුව...'
දිවි අරුත නොකියා ම
ඈ කීවේ නිම නොවෙන
මුදු ළදරු සිනාවෙන්"

පෙර කිව් සේ, මෙහි බහුතරයක් කවි රස විඳිය හැක. එහි දුෂ්කර ගැටපද හා තේරුම් ගැනීමට අපහසු, කවියාට පමණක් ගෝචර වෙන ආරේ අරුත් ඇති කවි නැති තරම් ය. එහෙත් ඒ තරමකට සරළ යැයි බැලූ බැල්මට පෙනෙනාකාර කවි පේළි අතර ගැඹුරු අරුත් රැසකි. එය කවියාගෙ කාව්‍යකරණයේ ලක්ෂනයක් යැයි සිතෙනාතරම් ය.

කවියා ගේ කෙටිකතා තරම් ම කවි ද මහත් රස විඳි බවක් නොවළහා කිව හැක.

ශානරය: කාව්‍ය
ශ්‍රේණි ගත කිරීම: ****1/2
2011 ( කර්තෘ ප්‍රකාශනයකි)



Saturday, 16 January 2021

රිදුම් පිරි පිරිමැදුම් - අනුරාධා නිල්මිණි

 2019 වසරේ ප්‍රකාශිත කාව්‍ය සංග්‍රහයන් දහයක් කියවීමට තෝරා ගත්ත ද, 2020 අවසන් වද්දී ද මා කියවා තිබුනේ ඉන් පහක් පමණි ( මෙය පස්වැන්නයි). ඉතිරි පහ,  2021 දී කියවීමට හැකි වේ දෝ යන්න සැක, පැරණි කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් කියවීමට ද සිතා ඉන්නා නිසා ය. 2020 ප්‍රකාශ වූ සංග්‍රහයන් ද තව ටික දොහකින් මේ ගොන්නට එකතු වනු ඇත. මේ සියල්ල අඟවන්නේ, 2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීමට තෝරා ගත්තා වැඩිය කියා ය. 2020 කාව්‍ය සංග්‍රහයන් තෝරා ගනිද්දි ඒ ගැන අවධානය යොමු කල යුතුව ඇතත්, කාව්‍ය සංග්‍රහයන් පිළිබඳ නිසි ඇගයීමක් අප රට නොවෙනා හෙයින්, පාඨකයකු තෝරා බේරා කාව්‍ය සංග්‍රහයන් කියවන්නේ කෙසේ ද යන්න ම ගැටළුවකි - ඒ සීමිත කාලයක් තුල, සහ අන් විවිධ වර්ගයේ පොත් අතර කවි පොත් වලට කොපමණ ඉඩක් යොමු කල යුතු ද යන කාරණාවේ දිගුවකි. වෙසෙසින් පොතක් කියවා අවසානයේ, ඉන් රසයක් නොලබන්නේ නම්, එම කාල ආයෝජනය පිළිබඳ පාඨකයකුට පහන් සිතක් ඇති නොවේ. පෙර කී, මා කියවූ පොත් 5 අතර අවම වශයෙන් එවන් පහන් සිතුවිලි ඇති නොකල, සම්මාන නිර්දේශ ලත් එක් පොතක්  වෙයි. එහෙත් අනුරාධා නිලිමිණි ගේ මේ සංග්‍රහය කියවීමට තෝරගැනීම ගැන නම් මා මහත් සතුට ට පත් වෙමි. එය යම් සම්මානයක් දිනූ බව මතක මුත්, එය කුමක් දැයි මතකයට නොනැඟේ.

ඉදින් එම සංග්‍රහය කෙසේ ද ? නිදසුන් කිහිපයකින් සහ, සමස්ත අදහස් කිහිපයකින් ඒ ගැන මෙසේ අදහස් දක්වමි;


 තරමක ගුප්ත, එහෙත් යම් හුරුකමක් ද ඉඟිකරන ස්ථානයක් ගැන කවි පංතියකි, "එය කුඩා වන පෙතකි".

"මේ වනපෙතට පිවිසුම
යතුර හා රහස් අංකය
ඇතත්, හැම හදක ම
අනබිරහස් මංජුසා තුළ
ඒ, දෙස බලා නිහඬ ව
හිත හදාගනු මිස"
අප සැම ගේ සිත් වල ම ඇති වඩාත් ගැඹුරු තැනක් ගැන, එහි ඇති පසුතැවීම් හේතුවෙන් ම බොහෝ කෙනෙකු එය සැමදා වසා තබා ගැනීමට කැමති තැනක් ලෙස කිවිඳිය කියා පායි. කිමද, එහි ගිය අයෙක් කෙසේද යත්:

 "කලාතුරකින්වත් හමුනොවෙයි
සංචරණයට යන කෙනෙකු
එහි,
සතුටු මුහුණින්
කිසි දින"
තරමක කෙටි කවක් වුව, ඒ තුල බොහෝ දේ කියවෙන අපූරු කවියකි, "හුදකලාවත් හොඳ ම, මිතුරෙක් තමයි කෙනෙකුට"

"ජීවිතේ දුක අහන, මතුපිට
 කතා නැතුවට
 හුදෙකලාවත්, හොඳම මිතුරෙක්
 තමයි කෙනෙකුට"
අප රට තවමත් අයෙක් ගේ ජීවිකාව අනුව, ඔහු ට හෝ ඇයට හෝ කෙරෙන සැලකිල්ල තීරණය වේ. දැන් දැන් එළිපිට එය එතරම් නොපෙන්වුව ද, ඔවුන් කොන් කරන තීරුව හිත් කොන් වල ඇත.
"තණකොළ කපන
තණකොළ වගේ පොඩිවෙන 
අති බිම හෙළන
ළිඳ, වසුරු වළ ඉහදෙන
ගස් ඇද නමන
කම්බි නූලෙන් බැඳ දෙන
අය කොන් කරන
තීරුව තිබුණෙ හිත්වල"
තමන් නොලබන, අන් කෙනෙක් ලබන අසම්මත පෙමක රසයක් පීළිබඳ ඉවකින්, හිත කීරි ගැසීමක් කියැවෙන කවියකි, "නා මෙණෙවියක් වෙසෙයි හද තුළ"
"කන්තෝරු අහවර ව
එ'ගෙහිමි එන්නට
අඩහෝරාවකට පෙර
'හෙට වෙනකම් පාළුයි පැටියෝ' යි
මුමුණන
ඇගේ උන්මාද ස්වරය
කන්බෙරය කීතු කොට
හදවට ඇතුළු වන විට"

 කාන්තාවක් බොහෝ විට වට පිට සංඥ්ඥා මගින් බොහෝ දේ කියවයි. ඊට ප්‍රතිචාර දැක්වන්නේ තෝරා බේරා, ඉඳහිට වුවද, එම සංඥ්ඥා සමූහය අප වන් සංස්කෘතික පරිසරයක එය සැම දා අත්දකින විචිත්‍ර වූ  අත්දැකීම් ගොන්නක් විය යුතු යැයි සිතමි. සංඥ්ඥාවන් දීමේ පාර්ශවයේ අයෙක් ලෙස, විටෙක කාන්තාවක් තරම් සංඥ්ඥාවන් ගැන ඉවක් අපට නැති වීමට ද පුළුවන් බව,  මේ කෙටි කව මට  සිහිපත් කලේ ය.

"වැහුණු දොරවල් ඇරගෙන
කැඩුණු බස්වල හොටගෙන
මුහුණු මත ඇවිත් ලි්‍වෙන
හැඟීම් තිබේ, සමහර

ගැහැනු විතරක් ම කියවන!"

ගජමන් නෝනා හා ඩොයිලි අතර වූ තරඟයට කවි ලිවීමක් විෂය කොට ගෙන නිමැවුණු "ඩොයිලිට හිතෙනවා" රසවත් කවියක් වන්නේ, දයානන්ද ගුණවර්ධනගේ "ගජමන් පුවතේ" සමහර ජවනිකා සිහියට නංවමිනි.

 "ඩොයිලි: පිරුවට හොඳයි, කහටක් නැති අඟනුන්ට                  
                   කොරතොට හොඳයි, තව සිංහල උගනින්ට
                   උඩරට මාල බෝගම්බර ගිල්වන්ට
                   ඩොයිලිට හිතෙනවා, පාත ම ඉඹගන්ට

 ගජමන්: ලැබිණි මෙ' ලියමන යළි ලියමි, නොලියමි
                 ඔබින කතා දැයි සුද්දෙකුට නොඅසමි
                 රකින ඒජන්තකම්, මෙහව් කවි බැඳි
                 ඉඹින තැන පසුව මා ලියා දන්වමී."


මෙවන් රස ගුලාවන් වන් කවි සංකල්පයන් ට අමතරව සම කාලීන සමාජ දේශපාලන කාරණා නිමිති කල ගත් කවි  රැසක් ද මෙහි අපට හමු වේ. පාස්කු ප්‍රහාරය පසුව ඇති වූ උග්‍ර "සිංහල" කම ( "පපුවෙන් සිංහල ගලනව"), ගල්කිස්සේ රැඳවුම් මධ්‍යස්ථානයක සිටි රොහින්ග්‍යා සරණාගතයින් පිරිසකට එරෙහිව 2017 දී ඇති වූ  ප්‍රහාරය ("ඉතින්, සමා ඉල්ලමි"), අප රට ජ්‍යේෂ්ඨ ගායකයකු තරුණ කාන්තාවක් විවා පත් කොට ගත් විට ඔහුගේ පුතුන්ගේ ප්‍රතිචාරය  ("ඉනාව ම එක හිනාවකි පුත") පීලීබඳ එම ගායකයාගේ දෘෂ්ඨිකෝණය, ලක්ෂ්මි අගාර්වාල් මුල් කොට ගෙන ලියැවුණු "අග්නි දෙවඟන", දකුණින් යන අය උතුරේ දකින්නට බලාපොරොත්තු වන්නේ කුමක් ද යන ප්‍රශ්ණය මතු කෙරෙන "නන්දිකඩාල් පසු කොට" කවි පංතියත් මීට නිදසුන් ය. මේ සෑම මාතෘකාවක් ම කවි සිතක් තුලින් දකින ආරෙකින්, තෙතමනයකින් ලියැවී ඇත්තේ පාඨකයාට එම කාරණා පිළිබඳ සියළු පැති වෙත බලන මෙන් කෙරෙන නිහඬ බලකිරීමක් සමගය.


පෙර කී පරිදි 2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන්  5ක් කියවා ඇත ( ඉම තව දුරය, ක්වොන්ටම් භෞතික සංකාරා, මොන තරම් අවුලක්ද , හම්බාවා, අනෙක්වා ය). ( සන්තාන ගීතිකා, පිපී අනවැති නුරා මල් තරු පෙති, රන්වන් පත්, සරමිණි සුමුගුව සහ එහෙම වරදක් කරලා නෑ මම,  කියවීමට ඉතුරුව ඇත ). මෙය කියවීමට පෙර මොන තරම් අවුලක් ද සහ හම්බාවා, මා වඩාත් රස විඳි සංග්‍රහයන් විය එනුමුදු, මෙහි කවීත්වය, මැයන් හි විවිධත්වය, වරෙක මතුවන ස්ත්‍රීත්වය 2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන්ගෙන් ම මෙතෙක් වඩාත් රස විඳි සංග්‍රහය මෙය බව පැවසීමට පුළුවන.  ඒ අනුව, 2019 ප්‍රකාශ වූ විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහයක් බව කීමට කරුණු කාරණා දැනට යෙදී ඇත.


ශ්‍රේණි ගත කිරීම - ****1/2
කාව්‍ය
සන්ථව ප්‍රකාශනයකි (2019)

Monday, 30 November 2020

පොඩි මල්ලියේ - පරාක්‍රම කොඩිතුවක්කු

 "70-80 දශකයේ නව කවියේ පිපුරුම් තුන", නමින් වූ කොඩිතුවක්කු කවියාගේ කාව්‍ය සංග්‍රහයන් තුනක එකතුවකි. මීට පෙර ලොවි කහට සහ දිවමන් ගජමන් පමණක් කියවා තිබූ හෙයින්, මේ සංග්‍රහයන් තුන ද ගෙන කියවීමට සිතුවේ, ඔහු 70 දශකයේ ජනතාවාදී කවිය වෙනුවෙන් සැලකිය යුතු සේවයක් කල අයෙක් ලෙස අසා සිටි බැවිනි.  පොඩි මල්ලියේ කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් විචාරයක් ලියනා කුලතිලක කුමාරසිංහයන් පවසන්නේ.

"..පොඩි මල්ලියෙ කාව්‍ය සංග්‍රහයත් සමග ම සිංහල කවියේ මහත් පරිවර්තනයක් වූ බව අප කවුරුත් පිළිගත යුතු සත්‍යයකි.  ... අත්දැකීම් අතින්  පටු ක්ෂේත්‍රයක ගමන් කළ සිංහල කවියේ වස්තු විෂය ක්ෂේත්‍රය පුළුල් කිරීමේ ලා මෙතෙක් කවීන්ගේ අවධානයට යොමු නොවූ අංශ කීපයකට සිත් යොමු කිරීම, කොඩි තුවක්කුගේ කාව්‍ය නිර්මාණවලින් වූ වැදගත් සේවයකි... අලංකාරවලින් විමුක්ත නග්න වූ රළු වූ කාව්‍ය භාෂාවකින් සමාජ හා පෞද්ගලික ප්‍රශ්න දෙස නිර්භය ව බැලීමට කළ උත්සාහයක් ලෙස කොඩිතුවක්කුගේ පොඩි මල්ලියෙ සංග්‍රහය හැඳින්විය  හැකිය",

කියා ය. කුමාරසිංහ මතු කරනා මේ  කාරණාවන් වැදගත් යයි සිතමි.   ඉතින් මා මේ කාව්‍ය සංග්‍රයය කියවීමට හේතුව ම, මා නොදත් එම යුගය, එම යුගයේ කවිය ගැන යම් විඳීමක්, අත්දැකීමක් ලැබීමටය. කුමක් ද කුමාරසිංහ මේ කියනා නැවුම් අත්දැකීම් ? 70 දශකයේ මුල දුක් විඳිනා මිනිසුන්, ගැහැනුන්, කුඩා කල සිට දුක් විඳිනා ළමුන් ගැන කියවෙන මේ කවි වල, රළු බව නිසා ම කැළෑ මල් වල හෙබි අලංකාරත්වය වන් අලංකාරත්වයක් වේ.

"කුරුල්ලො අඹලා
සත පනහේ කුලිය ගන්ට
ගල් දුන්නත් අතට අරන්
දවස පුරා වෙලේ රකින 
පොඩි මල්ලියෙ;

උඹෙ කකුල් රිදෙනව නම්
වෙල අද්දර ගල් ඇන්දේ වාඩි වෙයන් ගල එතකොට පුටුවක් වෙයි"
මෙහි පොඩි මල්ලි දෛනිකව කරනෙ ක්‍රියාව, යම් ස්වභාවිකවත්වයකින් අප කවියා දකියි. ඔහුට තම කෙළි ලොල් බව විඳීමට සිදු වන්නේ ද මේ දෛනික රටාවේ රළුගතිය සමඟය. කවියා, එම යුගයට අනුරූපව ඔහුට අහිමි වන ළමා කාලය ගැන දුක් නොවෙයි - කිමද එවන් සංකල්පයන් පවා හද්දා පිටිසරට එකල් හි ගොස් නැති නිසා ය. ලංකාවට ද එම අදහස් ආගන්තුක විය යුතුය. ඉතින්, කවියා පොඩි මල්ලිට ස්නේහය පාන්නේ ඔහුට දායාද වූ දිවියේ සියුම් තැන් විඳිනටත්, ස්වභාවික අලංකාරත්වයත් විඳිනටත් ඔවදන් දෙමින් ය. අප දන්නා පරිද්දෙන් කවි‍යා රත්නපුර අයෙකි. හැත්තෑව දශකය මුල රත්නපුරය ඊට ආවෙණීක බොහෝ ස්වභාව සෞන්දර්‍යයෙනුත්, කටුක දිවි පෙවෙතෙකෙනුත් හෙබි වන්නට ඇති බව සිතිය හැක. ඒ සියල්ල, අද සිට බලනා කල පාඨකයා ට මවා ගත හැක. ඒ අයුරින් බලනා කල මේ කවි පංතිය කාලයත් සමඟ වටිනාකමින් වැඩි වී ඇත.

2000 දශකයේ මුල මම මිතුරන් කිහිපදෙනකු සමඟ කුරුවිට - එරත්න පාරෙන් අවාරයේ සිරිපා කරුණා කෙරුවෙමි. අප ගියේ අප මිතුරෙකුගේ කාරයෙනි. එහෙත් කුරුවිටින් හැරී ටික වේලාවකින් කොල්ලන් පස් දෙනෙකු සමඟ කාරයේ එම පාරේ යාමට නොහැකි තරම් පාර අබකන් වී ඇති බැව් ඒත්තු ගියෙන් අප තිදෙනෙකු කාරයෙන් බැස එරත්නට යන තනි දොර ලංගම බසයකට ගොඩවිය. මට මේ ගමන මතක් වුනේ මෙහි එන "එහා ලොවට ටිකැට් එකක්" කවි පංතිය කියවන විට ය. ඊටත් අවුරුදු තිහකට පෙර යුගයක් ගැන සිතද්දි, එකල එවන් පාර වල දිවෙන බසයක් ගැන සිතා ගත හැක.

"තනි ඇන්දේ පාලම ළඟ
සිරි අයියා සිරිත් පරිදි
බස්එක හිටවා
ගෙදර දුවනවා...
මැණිකෙට මොනවද දීලා
පුංචි පුතුට අත වනමින්
විනාඩියට දුව ඒවි...."


 අතුරු පාරවල් වල ලංගම බසයන් රෑට රියදුරුගේ නිවසේ නතර කර, උදේ ගමන් වාරය ඇරඹීම අලුත් දෙයක් නොවීය.

"වර්ණ ගල...
හුණු දියගල ...!
බෑණ සමනල...! සමනල!

මහා පුරුෂයින් සත් දෙන
අහස උසට අත්වැල් බැඳ
තුන් ලෝක තිලක වූ
පා පියුම් රැක ගන්ට"
මෙම කවි පංතියේ එම ප්‍රදේශයේ බොහෝ චරිත ගැන පැවසේ - ගුරුවරුන්, පී.එච්. අයි. මහත්තයා, වංශවතුන් - මෙම කවි පංතිය රසවත් කරයි. කවියා කවි පංතිය අවසන් කරන්නේ "මෙහි සැබෑ චරිත ප්‍රතිනිර්මාණිතය"යන කියමනෙනි. ඉන් කවියා යමක් අඟවන බව වැටහේ.

මේ කියනා කාලයේ, අලුත උපන් බිළිඳෙකු ගැන සිය දෙමාපියන් ට  සුබ  අනාගතයක මහා බලාපොරොත්තුවක් නොතිබුණු බව කියවෙන අපූරු කවියකි, "මෙපවත් දැන වෛර නොවන්".

"පියා නුඹේ සිංහල ගුරු
මව ලිප ගිනි මොළවන්නී
ක්‍රිස්තු වරුස දෙදාහේ සමාජෙට
කවුරුන් ලෙස නුඹ යවම්ද?

ඥාන ධනය - ශිල්ප ධනය
තේජො බල පරාක්‍රම ද
නුඹට කෙසේ සලසන්නේ?"


සම්මත මිම්මෙන් නොමැනෙන, වෙසෙස් පුද්ගලයන් ද අප ගම් වල සිටිති. "හිත හොඳ ගෑනියක්" මගින් එවන් අයෙක් ගැන කියැවේ.

 

"ගේ පුරාම මහත්තුරුන් ගාල්වෙලා
උපාසක මහත්තයගේ වලව්වත්
බෝඩිමක් උන වගයි 

....

උඩ තට්ටුවෙ පලඟ බැඳන්
නව ගුණ වැල ගණන් කරන
උපාසක මහත්තයට ඇහුනෙ නැද්ද
ඇසුනත් නො ඇසුනා මෙන්ද ?

....

එපා මහත්තය, එහෙම හිතන්නෙපා
හිඹුටු වැලෙන් උපන්න නෙවි
කාගෙ උනත් දොළොස් දෙනා
මගේ පුත්තු"
රිය අනතුරකින් තම ප්‍රයම්බිකාවගේ වියෝවා වාවා ගත නොහැකි, රෝහලේ ප්‍රතිකාර ලබන මිතුරෙකු ගැන ලියැවුණු කවිය ද මා සිත් ගත්තේ ය.

"....ඇයත් සමඟ පොඩිවී ගිය
 ජීවත්වන ශක්තිය, මට හිමි කර දෙන්නෙ කුමක්ද?

...වළක් තුළ වැළකෙන්න ඇයට හැකි වූ නමුත්
ඇඳක් මත
මිනිහෙකුට
වැළලෙන්න බැහැ මිතුර"

පවුල් වලින් විශේෂයෙන් තරුණියන් වෙත එන පීඩන, ඔවුන්ගේ නිදහස ට බාධා කිරීම අද පවා නැත්තටම නැති වී නැති බව සත්‍යය. එනම් මීට වසර හතලිස් හතකට පමණ පෙර එය කවර ආකාරයෙන් තිබෙන්නට ඇති ද? තමන් ට අහිමි වූ ජීවිතය ගැන දුක් ව සියදිවි අහිමි කර ගත් තරුණියක් ගැන, ඇගෙ පෙම්වතා ආවර්ජනයේ යෙදෙන්නේ ඇගේ පෙම්පත් කිහිපයක් දෙස බලමනි.

"සහසැස් ගෙන ඔබේ දිහෑ බලන්න වැර දරන    මදෙස

දෑසින්වත් බලන්න ඔබ නොසිතුවේ කිමද           අනේ?"


මා අවංකවම පවසන්නේ නම්, මා ඉපිද නොතිබූ කලක ජන ජීවිතය ඉතා ස්වභාවික ලෙස ගෙන හැර දැක්වීම,  මේ කාව්‍ය සංග්‍රහය ට මා ආකර්ශනය කර ගත් ප්‍රධාන හේතුව විය යුතුය. අද වන විට වඩා ස්වභාවික ආරකින්, අලංකාරකරණය අතින් අවම කාව්‍ය සංග්‍රහයන් සුලභය. ඉංග්‍ර්‍රීසි වදන් සිංහලයට එලෙසෙම හැරවීම ද සුලභ ඉන් ද යම් ස්වභාවිකත්වයක් පිළිඹිබු වන හෙයිනි. එවන් යුගයක් අද ඇති වීමට පරාක්‍රම කොඩි තුවක්කුගේ මේ, බොහෝ විට දිගු,  කවි පංති තිස් ගණනින් හෙබි මෙම  සංග්‍රහය හේතු වූවේද ? මා තවම කියවා නැති අකීකරු පුත්‍රයකුගේ ලෝකය ( 1974) , සහ අළුත් මිනිසෙක් ඇවිත් (1975)  සංග්‍රහයන් ද එවන් මෙහෙවරකට හේතු වීද ?

සිංහල කවිය සහ එහි මෑත කාලීන පරිණාමය ගැන උනන්දු රසිකයන්ට නිර්දේශ කරමි.

මුල් මුද්‍රණය 1973
ශ්‍රේණිය: ****1/2



Tuesday, 27 October 2020

ඉතා කෙටි කලබල සිහින - යශෝධා සම්මානි ප්‍රේමරත්න

 අවුරුදු 3ට පමණ පෙර මිල දී ගෙන, කියවීම මගැරෙච්චි කාව්‍ය කෘතියකි. පොත් කියවන මිතුරියක්, මෙහි එන වෙඩිවර්ධනගේ "විප්‍රලාපි කවි" මුල් කර ගත් "බසු කවිය" ගැන රචනාවක් පිළිබඳ හටගත් සාකච්ඡාවක් හේතුවෙන්, උඩින් පල්ලෙන් බලලා, මෙහි එන කව් නිර්මාණ කිහිපයක රසය විඳ, "ඔහේ කියවලා දානවා", කියා සිතී, කියවූවකි.



පෙර කීවාක් මෙන් කවි පොත ඇරඹෙන්නේ "විප්‍රලාපි කවියෙහි හැඩතල සහ 'බසු' කවියෙහි බස", මැ ඇති හරවත් ලිපියකිනි ( එය, මේ වන විට  වෙඩිවර්ධන සමඟ "විප්‍රලාපි කවිය" පිළිබඳ පිලිසඳරකට හේතු වී ඇත.). යශෝධා ගේ සමහර කවි වල ඇති විප්‍රලාපි කාව්‍ය ලක්ෂණ වෙඩිවර්ධන මතුකර ඇත. ඒ විප්‍රලාපි ඉංග්‍රීසි කවියේත්, සිංහල කවියේත් නිදසුන් සමඟය. වෙඩිවර්ධන ගෙනහැර දක්වන නගා මැරූ අල කාව්‍ය සංග්‍රහය මා සතු වුව ද, එය කවරයෙන් කවරයට කියවා නැත. ඒ අතරේ කුමාර හෙට්ටිආරච්චි විප්‍රලාපි කවියේ කොතැන රැඳෙන්නේ ද යන්න ද සිතිය යුතුය. කිම ද වෙඩිවර්ධන විප්‍රලාපි කවිය ගැන කියූ පමණින් ( සහ එම වදනේ අරුත් වටහා ගත් සැනින් ) මා මතකයට නැගුනේ හෙට්ටිආරච්චිගේ කවිය යි. එය තවම දිගැරෙන කතාවකි. දැන්, "බස්සි" වෙතට යොමු වෙමි.

මෙම කවි පොත කියවන්නියකට, සංග්‍රහයේ එන විප්‍රලාපි කාව්‍ය නිර්මාණ  කිහිපය ගැන වෙඩිවර්ධන අපූරු රචනාවක් කොට ඇති නිසා, මා මෙහි යොමු වන්නේ එම ලක්ෂණ වලින් තොර, මා රස විඳි කවි පංති කිහිපයක්  නිදසුන් කර ගන්නට ය.

පිරිමින් ට ගැහැනු හිසරද "පුරුදු" ය. කෝකටත් තෛලයක් වීමේ අවස්ථා එමට ය. කිවිඳිය ගැහැණු හිසරද ගැන කියන්නේ මෙසේය:

"පමණ දැන හිසේ තැවරිය යුතු
බිඳු දෙකක් හිතේ ඉහිරිය යුතු
පිරිමි ඇස්වලින් සැඟවිය යුතු
මිහිරි රහසක්ව පැවතිය යුතු"

                 කවි පංතියෙන් වෑහෙන "කොලොප්පම්කාරීකම", ගැහැණියගේ "ඇතුවත් බැරි -නැතිවත් බැරි"  කමටත්, ස්නේහවන්ත හුරතල්කමටත් සාක්ෂි දෙන්නාක් මෙනි. අපූරුතම කවි පංතියකි.

රාජකාරියේ නියැලෙන කාන්තාවන් තම දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ පාසැල් වැඩ වෙනුවෙන් වෙහෙසෙන්නේ ඇත්තෙන්ම, ඊටම ආවෙණීක "ස්මාට්" කෙටි ක්‍රම භාවිතයෙනි. එම වැඩ ටික පියෙකුට කියූ විට, ඉතා පහසුවෙන්, "මට වෙලා නෑ" කියා ඇඟ බේරා ගන්නා අවස්ථා ඇත.  පැරණි කවි පංතියක රීතිය පවත්වමින්, නූතන කවක් නිමවන්නි, එම ස්මාට් අම්මා ගැන මෙසේ පවසන්නීය.       

"ඔන්ලයින් කඩවීදි  ගානේ
පැකට් කල ඔළිඳ, මදටිය හොයා ඇහිදිම්මා
දොළොස්වෙනි තට්ටුවෙන්
ගෙවත්තේ සුවඳ මල් පුබුදුවා ගන්න හැටි
දහ අතේ කල්පනා කරන්නී ගෙල නම්මා"               

කලබලකාරි මොහොතවල් තත්පර අතර සිතුවිලි දිවෙනා දිශාවන් අනේකය. ඒවා තුල කවි නිමිති ද බොහෝය. ඒත් ඒවා පෝෂණයට ඉවරයක් වෙද ?

"ශීත ඍතුව එළඹි කාලෙක,
මටත් මවතැකි දිග සිහින,
ගෙලෙහි මෆ්ලරයක් බැඳ,
කිමිදෙමින් උණු උණු සිහින,
 
අතැඟිලි වාරු තිබුණොත්,
අකුරු කර අමුණා තියන්නම්,
දුම් දාන උණු උණු සිහින."
    ( ඉතා කෙටි කලබල සිහින )

වාර්ෂිකව සැප්තැම්බරයේ පැවැත්වෙන  පොත් සල්පිල කවදා පටන් ගත්තේ දැයි මට් අමතක නැත. 2011-2015 අතර කාලය ඇර, වසරක් පාසා ම එහි ගිය බව නම් දන්නේ ය. අයෙකුගේ ජීවිත කාලයෙන් එය සැලකිය යුතු කාලයකි. සමහර කියවන්නියකගේ වෙනස්වීම් එම සල්පිලේ ගන්නා පොත් වලින් වුව මිණිය හැකිය.

"'සයිබ සාහිත්‍යෙ වයිබර් ලකුණ'
අතට ගෙන බලමි, ආපහු තබමි
රජ කතා, යුද කතා, බොළඳ ආදර කතා
නොදැක්කා වගේ ඔහෙ සැරිසරමි

'හිනාවෙන සාදුගේ' දේශනා පොත් දෙකක්
'ත්‍රිපිටකේ සිංහලෙන්' වෙළුම් හතරත් අටත්
තුරුළු කරගෙන දාහෙ පටි ගනිමි
'නිවන් මඟ' මගහැරීමෙන් තැවෙමි."

                                 ( චාරිත්තරෙට වගෙයි )

මේ ලිපිය කියවන්නියකට, කවි පොත කියවීමට උත්තේජනය උදෙසා  සඳහන් කල නිදර්ශන සෑහේ යයි සිතමි. නූතන සිංහල කවියක අපූරත්වය විඳ ගන්න මෙම කවි පොත නොපැකිල කියවන්න. 2016 වසරේ නිර්මාණශීලී නවක දායකත්වය වෙනුවෙන් ගොඩගේ සම්මානය දිනා ගත් නම් මෙය ඇත්තෙන් ම අපූරු ම කාව්‍ය සංග්‍රහයකි. ඇගේ බුහුටි වදන්, තත්කාලීන සිදුවීම්, උපහාස රසය, සමාජ විවේචන වලින් සපිරි මෙම කවි අතර ඉවත දැමිය හැකි යැයි සිතිය හැකි අවමය. කවි පංතියෙන් කවි පංතියට අලුත් මැයකි. 2019 ප්‍රකාශ වූ කවි පංති කියවිම් දුක් විඳිමින් සිටි මා හට සෝමවීර ගේ "අප දෙදෙන මැද මහ මුහුද" සහ යශෝධාගේ "ඉතා කෙටි කලබල සිහින" හේතුවෙන්, රස විඳීමට කවි කියවීමක් අවස්තාවක් උදා විය. කවි පංති 41කින් සපිරි මෙම කාව්‍ය සංග්‍රහයත්, චොකලට් පෙට්ටියක් වැනිය.   අර, ෆොරස්ට් ගම්ප් ගේ අම්මා කිවූ පරිදි, "You never know what you're gonna get" ම ය - කවි පංතියෙන් පංතිය එතරම් විචිත්‍රවත් ය. 

****1/2
කාව්‍ය - 2015 දෙසැම්බරයේ 
කර්තෘ ප්‍රකාශනයකි.


 

 






Wednesday, 14 October 2020

අප දෙදෙන මැද මහ මුහුද - ඉසුරු චාමර සෝමවීර

ඉසුරු ගේ "ගැහැණු පිරිමි මල් පලතුරු" කියවීමෙන් පසු, ඔහු ලියූ කෘති කියවීමේ දොළක් ඉපිද, තවමත් විකිණීමට ඇති කවි පොතක් ලෙස මෙය නෙත ගැටී, මිල දී ගෙන කියවූවෙමි. ඉතා පැහැදිලිව මෑතක කියවූ, මා මහත් රස විඳි කවිපොතකි. 

මෑතක මා 2019 ප්‍රකාශ වූ කවි පොත් සමඟ කල් ගෙව්වෙමි - වරෙක පීඩා වින්දෙමි. ඒ එක්කෝ සම්මානනිය වුව, මොන කවියක්දෝ යයි සිතෙන රළු, නීරස  "ක්වොන්ටම් භෞතික සංඛාරා", හෝ බොහෝ දේ සිතීමට ඉතුරු කල ද තරමක ආකෘතීක ඒකාකාරි බවක් පළ කරන "ඉම තව දුරය", හෝ ගැටපද විවරණයක් ද ඇවැසියයි සිතෙන තරමක කඨෝර බහුශ්‍රැතබවක් නිසා පාඨකයා වෙහෙසන "හම්බාවා" නිසාය ( තරමක් හෝ අපහසුතාවකින් තොරව රස වින්දේ, "මොන තරම් අවුලක් ද?" ය). ඊට හා පුරා වෙනස්, පාඨකයා වෙහෙසට පත් නොකෙරෙන,  මනරම් සුමට බසක් භාවිත කෙරුන,  කවි සිතුවිලි අතින් පොහොසත් "අප දෙදෙන මැද මහ මුහුද" රස වින්දෙමි. 2019 කවි පොත් වලින් පොඩි විරාමයක් සොරාගෙන මෙය කියෙවුවෙමි.  ඇත්තෙන් ම එය කාව්‍යමය විරාමයක් තරමට රසවත් විය. ඒ කෙසේද යත් ;

"...
දන් දෙන්න යන ගමනක් මේ
දන්නේ නැති වයසක මිනිහෙක්ට
දිරාගෙන යන මගේ ඇඟ

හැළි වළං හෝදන්න
තුන් වේල බත් තම්බන්න
ගේ එළිපෙහෙළි කරගෙන
කියන විදිහට ඉන්න
හිත හදං යන ගමනක් මේ
..."
("හතලිස් වියැති මනාලිය"- 67 පිටුව  ) 


බටහිර රට වලින් අද වන අප රට ට ලබා ගත හැකි හොඳම සංස්කෘතික ලක්ෂණයක් නම් කාන්තාවගේ නිදහසයි. එනම් කාන්තාවකට විවාහය තම පවුල් මගින් බල කර සිටින පීඩනයයි. ඇත්තෙන්ම, අඩු තරමින් කොළඹ ආශ්‍රිතව හෝ, මෙම ප්‍රවණතාව දකිය හැක. එහෙත් රටේ බහුතරයක් කාන්තාවන් තවමත් මේ "දන්දීමට" ලක් වේ. අප කවියා හතලිස් වයැසිති මනාලියක් සිතනායුරෙන්, පෝරුවේ "බොරු හිනා පෑම" අවඥ්ඥා සහගත ලෙස බැහැර කරයි.

"රජ මහ වෙහෙර
බෝධිය රකින
නා රජ වරුණ
පතලය සැමත

...

රජ මහ වෙහෙර
පොත් ගුල වසන 
අපමණ නයිය
පෙන ගොබ නගන"
              ( "නයි" - 62 පිටුව)
අප රට ධර්මය කෙරෙහි ඇති ඇල්ම අඩු වීමට ප්‍රධානතම හේතුව අවිචාර ලෙස සියළු ධර්ම කරුණු දොහොත් මුදුනේ තබා පිළිගැනීමට කෙරෙන බල කිරිල්ලයි. සමහර ධර්ම ආචාර්‍ය වරු අටුවා පිළිගන්නේ නැති නම්, ධර්ම සාකච්ඡාවට සහභාගි නොවෙති. නයි නම් කවි පංතිය මගින් මෙ ධර්මය තුලම තිබෙන  නාග පිළිකාමය ස්වරූපය, පොත් ගුල් තුල වෙසෙනාකාරය පෙන්වා දෙයි.

මේ අන්ධභක්තිය රැගෙනෙන බලකිරිල්ල, ඔක්කාරයක් ආකාරයෙන් මතුවිය හැකි අයුරු කවියකට නතු කරන අයුරු "පිච්ච" නම් කවියෙන් පෙන්වා දෙයි.
 

"මංජරි,
අපට නොගොහින් ඉන්නයි තිබුණෙ
ගියදා ඉඳන් ඒකට
පිච්ච මල් ගඳයි මට
ඉස්සර වගේ නෙමේ
වහනවා මං ජනෙල් දොරවල් තදට
පිච්ච මල් සුවඳට"
              (13 පිටුව )
එහෙත් ඉසුරුගේ කවිය ලාභෙට රැඩිකල් ලෙස ධර්මයට විරුද්ධයැයි නොසිතිය යුතු. "ඇතුරුදන් කළ මිනිසෙක්", "නාහිමි ගිලානව" ආදි අපූරු කවි පංති මගින්, ඔහු අප රටේ ධර්මයේ රෝගි බවත්, ඒ පිළිබඳ ඇති සොවත් පළ කරයි.


"හැඬීමට අවසර නැත මට
ඔබේ සැමියා ගෙන එන
නෙස්කැෆේ තිත්තය
ඔබ දෙතොල පෙර මෙන්
මුදු නැත
කළුය වියලිය
මල්වඩම් වගුරන
සුවඳ අපුලය"
                 ("මළගෙදර", 52 පිටුව )

කවියේ මෙම පදපෙළ මූල කතාව පැහැදිලි කරන හෙයින්, එහි ඇති වේදනාව කවියා කෙතෙරම් හොඳින් ප්‍රකාශ කරලීමට සමත්දැයි පැහදිලිය.

පෙමක් ගැන පවසන කල "උඹ" නම් ආමන්ත්‍රණය මගින් එය කවර පාර්ශව දෙකක් අතර පෙමක් ද යන්න ගැන ඉඟිකරන්නේ දැයි සිතමි. මුල් කාලයේ පෙමකට කල ඇරයුමකට ලැබූ අයහපත් ප්‍රතිචාර, පසුකාලීනව හොල්මන් කිරිමක් ගැනය මේ කව් පංතිය.
"ළා ළපටි රෝස පැහැ ළා දල්ල
ඇල්ලුවේ ඉවසලා ඉවසලා
බැරිම වුණු තැන තමයි
පෙති දෙපෙති එකතු වී
ගුලි වෙවී ඇකිලෙද්දි
උඹ නෙමේ හුඟක් ඇඬුවේ මමයි
කන් පෙතිත් රතු වුණ නම් තමයි"
                       ("නිදිකුම්බා", 15 පිටුව )

මීට අමතරව, "ජින්නෝ"," අලුත් ලේකම්වරියට", "තාත්තට පඩි දාට", "අත්තම්මා", "අකුරට වැඩ", "උස සුදු කොල්ලෙකුට",  "සුදු අක්කේ", "අංග රචනා" සහ "වදන් නැති කවි" ආදි තව බොහෝ කවි පංති මා මහත් රස වින්දෙමි.

සිංහල කවියට කැමති රසිකයෙකු කියවිය යුතුම සංග්‍රහයක් ලෙස නම් කරලීමට මැළි නොවෙමි.

 *****
ප්‍රකාශනය - සම (2016)





හම්බාවා - එරික් ඉලයප්ආරච්චි

 එරික් ගේ කවිය කියවීමේ යතුර ඔහු ටී. ඇස්. එලියට් ගෙ  The Wasteland වෙනුවෙන් ලියූ දීර්ඝ විවරණය ඔස්සේ ලැබුවෙ යැයි සිතුවෙමි. ඇත්තෙන්ම "දස බිම්බරා" මහත් රස විඳීමට එය හේතු වූවා විය යුතුය. එහෙත් එරික් තම මිම්ම තවත් ඉහළ නංවා ඇති සේය. එරික් ගේ කවිය තව දුරටත් සාමාන්‍ය පාඨකයාගෙන් දුරස්ව ඇත.ෙහි මනෝමූල බව වැඩිව ඇත. වරෙක එය බහුශ්‍රැතය; තවත් වරෙක ඔහු හා කරනුයේ ඈත ඇති සංස්කෘතීන් දෙකකි ( ස්කොන්ක් - squonk  සහ ගජමන් නෝනා ; Alan Ginsberg ගේ howl කාව්‍ය සහ අනුරාධපුරයේ පරණ බඩු මිලදී ගන්නා ලොරි රථය ); සතුන් අලලා ම කවි  11 කි ( ඉන් සමහරක් අපිට දුරස්‍ය ; සමහරක්වා රසවත් ය) ; බොහෝ කවි වලට උත්තේජනය වී ඇත්තේ අන් සාහිත නිර්මාණයකි ( Shape of Water; Sixteen Dead men - W.B. Yeats ; Mayakovsky ගේ how I became a dog ). ඉතින් මේ බොහෝ කවි අපට දුරස් ය. ඒ අපේ සීමිත කියවුම් පරාසයෙන් ඔබ්බේ තිබෙන නිසාය. අතරින් පතර සමහර කවියක් යෝජනා කරනා අදහස් වල තරමක් විකාර රූපිබවක් නැත්තේ නොවේ - විටෙක ඔහු තමන්ව පාලනයක් නොකරන්නේද යන්න ද සිතට නැගේ. අමරකීර්ති, ඔහුගේ "නව කවි සලකුණ" මගින්, එරික් නම් ප්‍රතිභාපූර්ණ කවියා සාමාන්‍ය පාඨකයාගෙන් වේගයෙන් දුරස් වන බවක් පැවසීය. මේ කෘතියත් සමඟ එම කාරණාව වඩා පැහැදිලි වන බවකි, මට නම් හැඟෙනුයේ.

එහෙත්  මම මේ කවි පොත වැර වෑයමෙන් කියවුවෙමි ( හෝ එසේ කලා යැයි සිතමි ). එහි බොහෝ මූල කතා මතුපිටින් හෝ සොයා බැලුවේය. එහෙත්, අනිවාර්‍යයෙන් කවියෙන් ලැබිය හැකි පූර්ණ රසය ලැබුවෙදයි සැක සහිතය. එනුමුදු සමහර ආභාෂයන් ගැන කියවා, අදාළ කවි පංති කියවද්දී, ඇත්තෙන්ම එම ආභාෂයන් කියවීමට යොදන කාලය අපතේ යාමක්දෝ කියා නොසිතුනා නොවේ. නිදසුනක් ලෙස squonk සහ ගජමන් නෝනා -  මේ දෙක ඈඳීම එක්කෝ මතුපිට තලයකය ; නැතිනම් මට ගෝචර වී නැත ("හසු වී නැත" ). 







"සඳ එළියේ නුඹ සිටිතත් පෙනෙන ලෙස
අතලූ සැණින් උණු කඳුළකි මැලවී යන
ගජමන් නමින් සිටි කිවිඳිය නුඹට සම
නොපැවති පැවති මන සතෙකිය නුදුටු ඇස"

                               ( "කඳුළු බොන්නා", 71 පිටුව )

අප සංස්කෘතිය හා විදෙස් සංස්කෘතීක කාරණාවක් යා කෙරෙන්නට තැත් කල තවත් අවස්තාවකි, "ඉසින්බැස්සගල" කවි පංතිය. එහි, අරහත් මිහිඳු හිමියන් ලැඟුම් ගත් තැනක් ලෙස සැලකෙන මැදවච්චියේ ඉසින්බැස්සගල, සිසිෆස් ගේ සදාතනික දණ්ඩනය එලියට් කාව්‍යයට නැගීම හා එක්කොට නිර්මාණය කෙරී ඇත. එහෙත් මෙහි දී ද එම බැඳීම, සුළු යැයි මට හැඟේ ( පෙර කීවාක් මෙන්, එය මගේ කියවීමේ දොසක් විය හැක )

"පුළුල් පියගැට නඟින්නෙමි මම
හිසින් නොබසින හිසට උසුලා
ගැනුම් නොකළකි විසල් ගල ගෙන
අනූනව පෙර රහත් හැඟුමෙන්"

                                            ( 42 පිටුව )


එහෙත් තැනින් තැන  ඍජුව රසවිඳිය හැකි ආරේ කවි පංති ද වෙත්. නාගොල්ලේගොඩ බෙනඩික් කවියා ගැන ඔහු ලියා ඇහි කවි පංතිය එවැන්නකි; එය  මා රස වින්දෙමි. උත්ප්‍රාසය නම් ඔහු මෙම කවි පංතියේ නගන කාරණාවක්, ඔහුට විරුද්ධව ම අයෙකුට නැගිය හැකි වීමයි.

"හද බස කවිය නම්
මස්තිෂ්ක දෙවෙනි වේ,
පළමුවෙන් හද මඩල
කුණු මොළය ඉන් පසුව"

                        ( "ගුළි කළ කවිය", 27 පිටුව )

 

එරික් ගේ සුපුරුදු කොළොම්පුර වැනුම් සපිරි කවි ද ඇත. ඒව ද රසවත්ය.

"පාළමේ කඩ පෙළකි
වෙළඳාම පහළ ගිය,
බාල රෙදිපිළි රබර්
සීල් වෙසඟන උලන
සබන් පුයර ද සමඟ
එහි තිබේ අඩු මිලට
මහලු ටේලර් කෙනෙකි
එතැන ජාතික ඇඳුම්
සරොම් සල්වර් මසන"
               ("මරදාන ගුවන් පාලම", 41-42 පිටු )

 

ඉතින් මෙම කවි පොත සෑම කවි රසිකාවියකට ම ගෝචර සංග්‍රහයක් යැයි නොසිතමි. විටෙක, ඉහත පෙන්වා දුන් පරිදි, කවියා ගේ සංස්කෘතික කලා ගැලපුම් දුරස්ත බවත්, කවියාට බොහෝ මනෝමූල බවත් හැඟේ. එම මනෝමූල කාරණාව, පාඨකයකු, එය වටහා ගන්නට යොදන වෑයමට කෙතෙරම් වටිනා ප්‍රතිඵල ගනෙන්න්නේ ද යන්න ගැන මට එතරම් පැහැදිලි ඇගයීමක් නැත. ඔහු ගේ අනාගත කවි ගන්නා මාර්ගය පිළිබඳ විමසීමෙන් පසුවෙමි.

***
2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීම - 4
ගොඩගේ ප්‍රකාශනයකි.


 


Friday, 4 September 2020

මොන තරම් අවුලක්ද - අජිත් තිලකසේන

 ( 2020 හොඳම කාව්‍ය සංග්‍රහයට විද්‍යෝදය සම්මාන )








සමහර කවි පොත් තියෙනවා කියවා ඉවර කරන්න බැරි

නෑ, නෑ, අනෙක් සාමාන්‍ය කවි පොත් වලට ත් වඩා..

එක්තරා නිශ්චිත මොහොතක ට, සිද්ධියකට අදාළ හැඟීම් පෙළක්...

එවගේ හැඟීම් පෙළක්, කවියා ගේ ම රළු වචන පාවිච්චි කරලා ලිව්වාම, ඒවා එක පාරට ම වදින්නේ නෑ...

 හතර පස් පාරක් කියවන්න වෙනවා...

එතකොට අමුතු ආස්වාදයක් තැපෑලෙන් වගේ එනවා

 දවස දෙක තුනකට පස්සෙ, කලිං වැදිච්චි නැති කවියක් කියෙව්වාම,  පැහැදිලිව  පෙනෙන්න ගන්නවා ..

නැත්තං කලිං දවසේ පෙනිච්චි ටිකවත් පේන්නැතුව තවත් අසරණ වෙනවා

මොන තරම් අවුලක්ද

එතකොට මේ පිටු 51 ට, කවි පංති 23 ට සීමා වෙච්චි කවි පොත කියවලා ඉවර උනා කියන්නේ ම, මුලාවක් ද

සමහර කවි වැන් ගෝ (  වැන් ගොෆ් / වන් ඛො ) ගේ චිත්‍ර වගේ

ඔහු ම හඳුන්වා දුන් අකුරු ඌරුවක් පාවිච්චි කලා ම,  වියුක්ත බව තවත් දැනෙනවා

ඉතින් මම මට ම කියා ගන්නවා මම කවි පංති 23 කියෙව්වා කියලා..

මං මාව ම විශ්වාස කරයි ද  මට ම විශ්වාස නෑ...

 ඔහුගේ තරුණ කවි වලට  උදාහරණ කීපයක් මේ ලියවිල්ල අස්සෙ  එල්ලනවා, අකුරු රටාවේ අපූරුව මට ලැබිලා තියෙන කීබෝඩයෙන් මවන්න බැරි හින්දා... 

 

 

මොන තරම් අවුලක්ද

මට වඩා තිලකසේන කියවන්න පුලුවන් කෙනෙක් මේ අවුල ලෙහනවා නම්...






****
(2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීම - 3)

සරසවි ප්‍රකාශන (2019)

Wednesday, 19 August 2020

ක්වොන්ටම් භෞතික සංඛාරා - කුමාර හෙට්ටිආරච්චි

අන් කලා කෘතීනට සාපේක්ෂ ව කවියක ගුණ-අගුණ කීම අපහසු ය. එක, කවියක් කියවා හමාර කරලීම අපහසු නිසා ය; දෙක, එය වටහාගැනීමට පාඨකයන් වන අප ප්‍රාමාණික කියවන්නන් ද යන්න ප්‍රශ්ණය මතුවීම හේතුවෙනි. ඒ නිසා කවි කියවීමේදී මා වඩාත් ඉවසිලිවන්ත වෙමි - වරද ඇත්තේ මගේ පැත්තේ ය යන පූර්ව නිගමනයක් වැන්නක් මා මනසේ හොල්මන් කරයි.  ඉතින් කියවීම සෙමිනි. කියවාගෙන යද්දි මාත්‍රා ගණණට බෙදූ කවියක් ලෙස පෙනෙන්නේ නම්, එය පිට පැන්න විගස එය දැනෙන්නේ ය. නිසදැස් ආරක් නම්, එය තුලින් ම රසය සොයමි. එහෙත් විටෙක මේ කුමන දේ කරත්, කවිය තුලින් මනා රසාස්වාදයක් සොයා ගත නොහැකි වේ. පසු ගිය වසරේ රජත සම්මානය දිනූ සහෝදර මුහුණුවර එවන් කවි පොතකි; ආඛ්‍යාන කවිය විෂයෙහි වෙසෙසින් අන් කවීන්ගේ පැසැසුම් ලත් කුමාර හෙට්ටිආරච්චිගේ උක්ත කවි පොත එවන් තවෙකකි. එය මෙවර මෙතෙක් රජත සහ විද්‍යෝදය සම්මාන අවසන් වටයට නිර්දේශ විය. එහෙත් මට ඔහු ගේ මෙම සංග්‍රහයේ කවි අන්ත දෙකක ට වැටුණි - එම කවි වල අවංකබවක් ගම්‍ය වන විට භාවිත භාෂාව සහ ආකෘතියේ සුවිශේෂි බවක් නොවීය. අනෙක් විට, මනරම් බසකින් ලියූ කවි වල අරුත් අතින් සුවිශේෂි බවක් නුදුටුවෙමි.

ඇත්තෙන් ම මට මේ කවි සංග්‍රහයේ සිතට ඇල්ලු කවි පංති එක අතක ඇඟිලි ගණනක් තරමවත්  නොතිබුණි. කබුකි මැද්දේ මහසෝනා, යක්කල හන්දියේ ඉඳං සේකරත් එක්ක සහ පැදුර ඉන් සුවිශේෂිය. 

"කබුකි දැහැනට ම සමවැද                                               
මා නිහඬ ව සිටින අතර
මෙන්න මගේ යටිහිත තුළ
යක්කු තොවිල් නටති
 
...
කබුකි නාඩගම බොඳ වී
තොවිලෙ ම පපුවට වදිනා
මගෙ ලේ ඇටමිදුළු පුරා
දහාට පාලිය දුවනා"
              කබුකි මැද්දේ මහසෝනා

 

 බොහෝ කවි පංති, යම් නිදහස් අදහස් ගලා ඒමක්, පැමිණි වේගයෙන් ම ලියූ ඒවා  වැනිය. ඉන් කවි පංති රැසක කවියක, දෙකක අපූරු ප්‍රතිභාවන් දුටුව ද, හදිසියෙන් ලියා සංස්කරණයකින් තොරව පළ කල බවක් ඇඟවේ.

"ඊළඟට ධන රේඛාව මත
ඇගේ අතැඟිලි දුවන මොහොතෙ ම
වරායේ සිට හමන සුළඟ ද
දැනෙයි භගවත් ගීතාව ලෙස

 

එ ළඳ සුමියුරු හඬින් ඉරණම
කියාගෙන යන විට තාලෙකට
ලබන සුබපලවලට වැඩියෙන්
අපල තිබුණ ද මට කමක් නැත

හපොයි කරුමෙක මහත අම්මප
තිබෙන රේඛා ගණන මදි විය
හස්ත රේඛා ලක්ෂ ගණනක්
තුබුණ නම් හොඳ නේ ද සිහිවිය
          ( සාත්තර කියනා සොඳුරු ළඳ)"

විවෘතව ම පවසන්නේ නම්, මේ කෘතිය අප රට ප්‍රධාන සම්මාන දෙකක ම අවසන් වටයට නිර්දේශ වීමට තරම් දැයි මට නම් ගැටළුවක් මතු වේ.

(2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීම - 2 )

**
කාව්‍ය
සන්ථව ප්‍රකාශනයකි
2019




Monday, 17 August 2020

ඉම තව දුරය - ආරියවංශ රණවීර

 "ඒ කොහොමද
ගෙදර යට තට්ටුව විතරයි ඉවර
බැංකු ණය එහෙම්මම
ලොකු කෙළී උසස් පෙළ පන්තියෙ
අනික් උන් පොඩියි හොඳටම
වයිෆ් පෙන්ෂන් ගත්තා
කල් ඇතිව
එයාට ප්‍රෙෂර් එක
 
හිත් අමාරුවටම
ලියන්න ගත්තා පොතක්
ඒ කෙනුත් ටිකයි ඉවර
කොහෙද වෙලාවක්
...
වැඩ
වැඩ
වැඩ
ඉතින් කොහොමද
යන්නෙ ?  
              (යන්නට බෑ දැන්ම)"

                            අත් දැකීම් වලින් වර්තමානයේ ඉතා සුලභ යැයි සිතිය හැකි මැයක් අලලා අපූරු කවි පංතියකට පෙරලා ඇති මේ  නිර්මාණය, ආකෘතිමය අතින් මේ මුළු සංග්‍රහයේ සමස්ත ස්වරූපය පෙන්නුම් කලාක් මෙනි. දීර්ඝ කාලයක් තුල, අද කවි පංතියක් -  තව දින දෙකකින් තව කවි පංති දෙකක් -  ආදි වශයෙන් කියවා රස විඳි මේ කාව්‍ය සංග්‍රහයේ, ආකෘතික විවිධත්වයෙන් අඩු බව, මට මුලින් ගෝචර වුනේ නැති තරම් ය.  මේ   පොදු ආකෘති ආර වඩාත් නෙත ගැටුනේ, මුළු කවි පොත කියවා හමාර කොට, නැවත තැනින් තැන මා ලකුණු තැබූ වඩා සාර්ථක යැයි හැඟුණු  කවි පංති දෙස බලනා කලය ( ඒ මේ සටහනට උපුටනට ය). කවියා, කවි මැයන් ලෙස අපූරු මාතෘකා තම නිර්මාණ උදෙසා භාවිත කොට ඇති බවට නම් විවාදයක් නැත.

"තවමත්
මට
ඇහෙනවා
වෙලාවකට
මුළුතැන්ගෙයි
අඩුම කුඩුම
අතගාන විට
නැඟූ හඬ
...
හොරෙන්
හොරෙන්
ගිහින්
බලන විට
ඔහෙ නෑ
ඔහෙ නෑ
කවුරුවත්
ඒ නිකම්
හිතේ 
සාංකාව
             (කිරිල්ලියේ)

එහෙත්, ( එකලෙසකින් රණවීර ලකුණක් යැයි සැලකිය හැකි) , වරෙක වදනක ට- දෙකකට සීමා වූ පද පේලි මගින් නිර්මිත කවි පංති, සුලභය.  බොහෝ ලෙස සාර්ථක යැයි, සිතට දැනෙනා යයි කිව හැකි කවි වලින් සපිරි, මේ කාව්‍ය සංග්‍රහය අවම වශයෙන් ප්‍රධාන සම්මාන දෙකක් තම නිර්දේශ තුලින් මගැරෙන්න මෙම ආකෘතික සුලභත්වයවත්  හේතුවක් වීවත් ද ? 

"ගමන
අතරමග
නතර කළ
ඔවුන්
ළඟ

ඉඳිමියි
සිතීමි
නොගොස්
නොදන්නා
නොපෙනෙන
දුර"
       (පරිපූර්ණත්වය )


පැකිලුනේ
මන්ද
සියලු බැමි
බිඳ
ගලායන
මිතුරු ඕඝයට
පනින්නට
පැන 
නාන්නට"
 (උතුරේ මිතුරාට )


මේ ආකෘති රටාව නැති කවි පංති නැතුව නොවේ - ඒත් ඒවා සුලභ නැත. වැංගෝ ලා, ඔය නිතර හිනැහෙන නෙත් දෙක, ඔබ සඳ ( I සහ II ), හෙරක්ලීස් හෙවත් පොලිස් පුතා ඊට නිදසුන් ය. "නුඹ" යන්න මෙහි ඇති සාරාගධික අපූරුතම කවියකි:

"ගල් සියඹලේ ඇඹුල් පැණියද
ඇඹුල් දොඩමේ තිත්ත ඇඹුලද
කොමඩු ගෙඩියේ ඉහෙන සිසිලද
ගිරා අඹයේ ගිරා රසයද
පැණි රඹුටමේ රස පැනිත්තද
ඉදුණු මාදන් පැණියේ කළුවද
නුඹ"

සමස්ත ලෙසින්, මා බොහෝ  සෙයින් රසවිඳි කෘතියකි.  ආකෘතික විවිධත්වයේ සීමාවන් එතරම් මට පළමු වර කියවාගෙන යන කල නොදැනුනි - එය කවි රසයට බාධාවක් ද නොවුණි. එහෙත් දෙවෙනි වර කාව්‍ය කෘතිය පෙරලන සඳ, කියවන සඳ, සාපේක්ෂ වශයෙන් ආකෘතික සුලභත්වය දැකිය හැක. එවි ට කාව්‍ය සංග්‍රහය සමස්තයක් ලෙස සලකද්දි මෙම ආකෘතික සුලභත්වය සිත ට තරමක් වදයක් දෙයි - එනුමුදු, ඒ,  රණවීරයන් නිතර භාවිත කරනා ආකෘතියක් බවත්, එලෙස අවශ්‍ය ම වදනක ට පද පේළිය සීමා කිරීමේ ශිල්පය ද රස ගුලාවක් ජනනය කරන බව ද ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි.


(2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීම - 1 )

***1/2
කාව්‍ය
අහස ප්‍රකාශනයකි








Saturday, 6 June 2020

මනෝ රූප ශතකය සහ වෙනත් කවි - විමල් දිසානායක


2015 වසරේ හොඳම පද්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්, එ වසරේ රජත පුස්තක අවසන් වටයට ද පැමිණි, විමල් දිසානායක ගේ "මනෝ රූප ශතකය සහ වෙනත් කවි", කෘතියේ කවි කියවීමට යත්න දැරීමි.
කවි පංති හැටකුත්,  කෙටි "මනෝ රූප" ( poetic moments ) ආරේ කවි "ශතකයෙනුත්" කෘතිය පොහොසත් නුමුදු, මෙහි එන "වෙනත් කවි" 60, මා වඩාත් සිත් ගත්තේ ය. කෘතියේ මේ කොටස් දෙක ගැන කෙටි සටහනක් පහත දැක්වේ.


..වෙනත් කවි : මෙම කවි වලින් බහුතරය, මරණයේ සෙවනැල්ල පිළිබඳ ඉගිකිරීම් ය. කවියා ගෙ අන් කාව්‍ය සංග්‍රහයන් පරිශීලනය නොකල දොසින්, මෙය ඔහු නිතර පද්‍යයට නගන මැයක් දැයි නොදනිමි - එහෙත් එය එසේ විය හැකි බවට සැක කරමි.

"ලොවින් සමු ගන්නට කාලයයි දැන්
ඇතුළු හදෙහි සැඟවුණු තරුවක් කියයි

තැත් කළෙමි සරු දිවියක් ගෙවන්නට
බොහෝ විට එම තැත වැරදිණ

මා මිතුරු සුළඟ මා සොහොන අවට කැලි කසළ
අමදින බව දනිමි වරින් වර හමා විත්"
                                  (කෙළවර)



"මගේ ජීවන පොතෙහි
අවසාන පිටු ටිකට
පැමිණ ඇත මා දැනට
කුමක් එහි ලියන්න ද?

...

ජය ලදැයි කියම් දෝ
පැරදි බව කියම් දෝ
බැරිය විසඳන්ට එය
ගැටළුවකි දරුණු මට"
                               ( ජීවන කතා පොත )



"පසිඳුරෝ උරණ වෙති
මා සමඟ රුදුරු ලෙස
ඔවුන් පැන ගොස් තිබේ
මාව තනිකොට ලොවේ

...

රස පහස නොම දැනේ
මහලු සිරුරට කිසිදු
සුවඳ පතුරනු එපා
මල් මිතුරනේ යළිත්
                           (පසිඳුරෝ උරණ වෙති)


පශ්චාත්තාපය විටෙක මහළු විය හා අතිනත ගනී.


"මගේ නිසරු දිවිය
හකුළුවා දක්වන එක සිදුවීමක්
ඔබට දැනගන්ට කියන්නෙමි

මොර සූරන වැස්ස පෙළන රැයක
අහස ගුගුරමින හෙණ හඬ පතුරුවන රැයක
තෙතබරිතව, තරුණියක් මා හදවත දොරටුවට
තට්ටු කොට රැකවරණ ඉල්ලා සිටියාය



...
මම ඇගේ ආයාචනාවට කන් නොදි
දොර තදින් වසා
නින්දට ගියෙමි"
                   ( නිසරු දිවිය )

මේ කවි හැට කියවාගෙන යන කල, සාහිත්‍ය රසයෙන් බොහෝ සතුටට පත් මා, ඇඳිරි නීතිය ඉවත් කල විගස "ගොඩගේ" එකට ගොස් ඔහුගේ "නාගල කන්ද" සහ "කල්ප විනාශය" යන සංග්‍රහන් ද මිල දී ගත්තෙමි. නාගල කන්ද සහ නික වැව ගැන මේ කාව්‍ය සංග්‍රහයේ ද සඳහන් වන්නේ වරක් දෙවරක් නොවේ. ඔහු ගේ ළමාවිය සහ ගැටවර වියේ මතක ආවර්ජනයේ දී මේ දෙතැන ට ඔහු නිතර පැමිණේ.

"පනස් වසරකට පසු
ආමි යළි නිජබිමට
එකල ගුරු ගෙදර අද
අවන්හල වී තිබේ

...

කුඩා කල මල්ලි හා
මහ ඇඳෙහි නිදාගත්
අයුරු සිහියට නගෙයි
සොඳුරු සිහිනයක් ලෙස

....

තුරු මුදුන් අතර සිට
සිනාසෙයි පුරුදු ලෙස
ම මිත් නාගල කන්ද
කලණ මිතු ද විදා"
        ( පුනරාගනමය )

මනෝ රූප ශතකය: නාගල කන්ද ආශ්‍රයෙන් ම කෘතියේ දෙවෙනි කොටසට යොමු වෙමි. ඔහු ට තම ගැටවර විය මතකයන්ගෙන් මිදීමක් නැත. කවියේ ස්වරයෙන්, තමන් ගත් තීරණ පිළිබඳ සැකයක් ද එබිකම් කරයි. මින් මිනිස් සන්තානයේ අතෘප්තිය, සැකය පිළිබඳ ඉඟියක් දෙයි.

"99. කවියක් මම නොලියමි අද
       නැති වූ කවියක් සොයනෙමි
       නාගල කන්දේ මුදුනත
       නිකවැව පිරි දිය කඳ මැද
       පන්සල වෙත යන පාරේ
       කුසුමින් පිරි නෙක ගස් මැද
       නැති වූ ඒ කවිය සොයමි"

වරෙක ඔහු ගේ මනෝ රූපයක්, වචනයෙන් ම රූප මවනාකාරය විස්මිතයි. ඉතා ඖචිත රුපක වලින් කවිය සාරවත් වෙයි.

"87.  හැකි තරම් වැර යොදා
        විසි කරනෙමි මගේ
        වචන දැල දිය ගැබට
        හිඩැස් අතරින් දැලෙහි
        රිංගලා පලා යයි
        කපටි සිතුවිලි මගේ
        කවියෙ සිර නොවන්නට
        සනිටුහන් කර තදින්"

"...වෙනත් කවි", කොටසින් පෙන්වා දුන් පරිදි, මහළු විය ගෙනෙනා සොව, සන්තාපය මනෝ රූප වශයෙන් ද පෙනී සිටී.

"44. දොර කවුළු වැසෙන විලසින්
        පසිඳුරන් වැසී යනු දැනෙයි
        කාලය රකුසෙකි දයාවක් නැති
       නිහැඬියාව රහසක් කියයි මට"

සමස්ත වශයෙන්, කෘතියේ පළමු කොටස, දෙවැන්න ට වඩා රසවත් බවකි මා ගේ අදහස. ඉන් ම ගම්‍ය වන්නේ කුඩා කවකින් බොහෝ දෑ කීම සාපේක්ෂව අපහසු කර්තව්‍යයක් බවයි. එහෙත්, මෙහි පෙන්වා දුන් නිදසුන් ලෙසින්, කවියා සාර්ථකත්වය ලඟා කරගන්නා අවස්ථා, අපිට කවි මිණි ලබා දෙයි - එහෙත් ඒවා එම කෙටි කවි සියය තුල සුලභ නැත.

ඊට සාපේක්ෂව පළමු කවි පංති හැට රස ගුලාවන් රැසකි. කවියා සාපේක්ෂ වශයෙන් අසාර්ථක වන්නේ සිවු පද ආරට සීමා වීමට යත්න දරද්දී ය. සිවු පද විරිත තුල, මා රස විඳි එක දෝ කවියක් හෝ මෙහි  නොවීය. එපමණක් නොව,  සිවු පදය තුල කවියා ගේ බසේ භාවිතය ද බොහෝ සාමාන්‍ය බවකි මා දුටුවේ.

ඉංග්‍රීසි බසේ ඇළුම් කරනා දෙයක් ලත් කල එය "keeper" යන සරල වදන මගින් එය තබා ගත යුතු යමක් යන්න  ගම්‍ය කරයි. මේ කවි පොත ද එලෙස ය. කවියා අන් කවි පොත් පරිශීලනයත් සමඟ ඔහු ගේ කවීත්වය පිළිබඳ වඩා පූර්ණ අදහස් වැඩෙනු ඇත. එහෙත්, මේ කෘතිය තුලින් නම්, මා දුටු කවියාටත්, ඔහු ගේ කවීත්වයටත් මා රුචිය.  සන්ධිගත පද භාවිතය ආදියත්, වදන් සමඟ කෙළිනාරක් ඔහු කෙරෙන් නොදිස්වේ ( එහි වෙසැදුරු වෙඩිවර්ධනයන් ය). එහෙත්  දිසානායක ගේ උපේක්ෂාවත්, මරණය ගැන නිතර මතක් කරනා ආකාරයත් මට රුචිය. ඔහු ඊට ආගමික බරු එකතු නොකර සිටීම එහි වටිනාකම වැඩි කරයි.

මෙහි නිදසුන් වලට රුචි අයෙකුට සොයාගෙන කියවීමට නිර්දේශ කරමි.


Saturday, 9 May 2020

සම්මිශ්‍රණ - ආරියවංශ රණවීර



සම්මිශ්‍රණ කාව්‍ය සංග්‍රහය මුලින් ම නිකුත් ව ඇත්තේ 1986 වසරේ දී ය. රණවීරයන්ගේ දෝතක් කවි එකතුවේ, සම්මිශ්‍රණ කෘතියෙන් තෝරා ගැනුනු කවි 18 මා රස වින්දෙමි. ඒ තෝරා ගෙන තිබූ කවි දහ අට තුල දුර්වල කවි ඇත්තේ ම නැති තරම් ය.  පසුව දවසක ගොඩගේ පොත් මැදුරේ එහි 2006 මුද්‍රණයක් දුටුවෙන්, ඉන් පිටපතක් මිලට ගත්තෙමි.  වෙසෙසින් මීට පෙර රණවීරයන් පළ කල තිබූ "කවි කිහිපයක්" සංග්‍රහයට ගව් ගණනක් 'සම්මිශ්‍රණ' ඉදිරියෙන් යැයි සිතුණි ( 'කවි කිහිපයක්' හි කවි කිහිපයක් ද දෝතක් කවි හි තිබුන ද, එය එතරම් නොදැනිනි.)

මා වඩාත් සිත් ගත් කවි කිහිපයක් ගැන පමණක් නිදසුන් සපයන්නේ නම්;

විටෙක මිතුරෙකුගේ ජීවිතයේ අභිප්‍රායයන් සහ අප ගේ අභිප්‍රායයන් වෙනස් ය. එවිට අපි ජීවිතයේ අප අමන්දානන්දයට පත් කරන දෙයක් ගැන ඔහුට හෝ ඇයට පහදා දීමට තැත් කල ද, ඔවුන් ට ඒ ගැන ආචාරශීලි උනන්දුවකට මෙහා දෙයක් පුද දීමට නැත. මෙහි එන විසි වසරකට පසු කවි පංතිය කියවද්දි එවැන්නක් සිත් විය.

"..
මා ළඟම හිඳන් සිටි මිතුරේ
හමුවී විසි වසරකට පස්සේ
ඔබ අසයි.
'මොකදෑ කළේ මෙපමනා කල්?'

නැත මන්දිරයක් බැන්දේ
නැත කළේ කලා වැවක්
පැකිලි පැකිලී දෙමි ඔබට
මා සතු ධනය / මා ලියූ කවි

එපා කලබලයෙන් කියවන්න හදිසියේ
සියළු හඬ නිහඬව
අඳුර රැකවල් ලන විට
දල්වා කුටියෙහි පහන
කියවන්න සෙමෙන් මා කවි
විහිදෙන මුදු එළියේ
තනියෙන් ම හිඳ"





"කන්දෙමින් උර හිස උඩින්
බලමින් වරින් වර මා මුහුණ කෙලින්
සොලවමින් හිස එකඟ වෙමින් මා හා
දුව යමින් ගෙන බාමින් ලිප මත වෑංජන
අදහමින් තුටින් මා, ඔබ වදියි
මා මවන ලෝකයට මා අත්ගෙන
නිදමි ඉන්පසු එතුළ සැනසී නිවී"
  (බිරිඳ )
    මේ කව් පද පේළි කිහිපය තුල බොහෝ දේ පැවසී ඇත. ඒ පවසා ඇති ලෙන්ගතු බව මිශ්‍රිත සංයමය, කවියාගේ කවීත්වයේ ආදර්ශයක් සේය.

අමරසේකරුන්ගේ "නගරයට පෑවු දේදුන්න" කවියට උත්තර කවියක් බඳින ආරයවංශයන්, "පිස්සන්" ඇයි ඒ දේදුන්න දෙස නොබලන්න්නේ කියා උචිත ස්වරයකින් ම පබැඳියි;

"වැටෙයි බය හියෙයි රිය මරුසේ ය ය
හැපෙයි හපය සේ මිරිකෙයි මිරි මිරිය
අතෙයි බස් පොල්ල අනෙකක අදු වැඩිය
නැතෙයි දේදුන්න නැරඹීමට පිරි ය"

ජීවිතයේ අනියත බව, තේරෙන බාසාවෙන් ම පවසන්නේ නම්, 'පොල්ලෙන් ගැහුවා' වාගේ දැනෙන කවියකි, ජීවිතය;

"ඊයේ සෙත් සලෙන් එන අතර,
ළයට අත තබාගෙන ඔබ කීවේ
සිනාසෙමින් (එය සිනාවක්ද?)
'පුදුමයි නේද අනේ
ඇයි මෙසේ උනේ
මගේ පපුවටම'
කිනිස්සකින් පසාරු කළ මෙන්
දැදුරු වුවද මහද
නොකිම් කිසිවක්"

මෙහි එන "පිය බඳට ගෙයි දැවටුන", "තොරන් හා පුවක් කොටන්", "ප්‍රතිමා මත කපුටෝ නොහොත් වීරයෝ" (වෙසෙසින් මෙය ලියැවී වසර තිස් තුනකට පසුව අද වන විට එය වඩාත්  උචිත කවියකි ), "නගරයයට වුණු කවියෙක්" ( මෙය 1986 වන විට එනම් ගම නාගරිකරණය නොවූ අවදියක බෙහෙවින් සිතට දැනුන්නක් විය යුතුය ), සැඳෑ සෙවනැල්ලට,  ආදිය ඉතා ඉහළ නිර්මාණ ලෙස දුටිමි.

ආරියවංශ රණවීර මින් පසුව ද කාව්‍ය සංග්‍රහයන් රැසක් පළ කොට ඇත. මා සංග්‍රහයන් වශයෙන් ඒවා සම්පූර්ණයෙන් කියවා නැත ( දෝතක් කවි, හි එන කවි කියවීම හැර ). එහෙත් මෙය කවියාගේ සාර්ථක ම, සිතට දැනෙන ම  කවි රැසක් ම රැගත් සංග්‍රහයක් බැව් නොපැකිළව කිව හැක.

Wednesday, 22 April 2020

සහෝදර මුහුණුවර - රංජිත් මල්ලියාවඩු

2019 වසරේ රජත පුස්තක සම්මානයෙන් දිනුම් ලත් හෙයින්, යම් කිසි විශ්වාසයකින් මිල දී ගත්තෙමි. එහෙත් වෙසෙසින් පසුගිය වසර දෙකෙහි පමණ රජත/ස්වර්ණ පුස්තක සම්මාන සහ එහි නිර්දේශයන් ගෙන් පාඩම් නූගත් හෙයින් දෝ,  මා මෙතෙක් කියවූ මහත් අයාසකාරි සහ රසවත් බවින් හීන කාව්‍ය සංග්‍රහයක් කීයවීමෙන් වන්දි ගෙවීමට සිද්ධ විය. වරෙක මේ සංග්‍රහය කියවීම දඬුවමක් ලෙස දැනිණ. මා ‍යමක් ආයාසකාරී කියවීමක් වූ හෙයින් ම එය අතැරින්නෙක් නොවේ -  ඒ ආයාසකරි ශ්‍රමයෙන් යම් ප්‍රතිඵලයක බලාපොරොත්තු ඇතිව ඉදිරියට යාම මගේ පුරුද්දයි . එහෙත් මේ කෘතිය ඔස්සේ නම් ඒ එවන් ප්‍රතිඵලයක් නොලත්තෙමි. නිදසුන් කිහිපයකට, ඉඩ;

"මිණි කිරුළු පළන් සැලසුම්වල අගය        මැකෙන්නට
උඩු සුළඟ රාම සර එවාවි බිතු                      පුපුරන්නට
වැහි වතුර පීලි මඟ හරීවි හිත්                        රිදවන්නට
පැපරාසි ඇවිත් හොට දමාවි ගිනි                අවුලන්නට"
                                                                                   ( දක්ෂිණ පාය )

මට මෙහි කිසිදු කලාත්මක නැත; පේළි වල පද බහුල ය - මෙය මේ සංග්‍රහයේ එන බොහෝ කවි පංතිවල දොසකි. කෙටි පේළි ඇති පද වැල් කිහිපය සාපේක්ෂ ලෙස කියවිම රුචිය. මෙවන් බොහෝ පද පේළි තුන් තේරවිලි නැතිනම් ගැට ලිහා කියවිය යුතු සේය. කවියා ගේ මනසේ ඇති කවි සිතුවිල්ල අරපිරිමැස්මෙන්, අවම වදනෙන් සුඛුම වී, සුමුදු වී නැත. මා මේ සංග්‍රහය කියවීමට පැමිණියේ සුහර්ශිණි ධර්මරත්නගේ "ගිරිහිස තරණය" කියවීමෙන් අනතුරුවය. එහි ඈ භාෂාව හා පෑ කෞෂල්‍යය හා සසඳද්දි මෙය වරෙක දඬුවමක් ලෙස පෙනීම අරුමයක් ද ?

යම් රසවත් බවක නැතහොත් කාව්‍ය අදහසක් ගැබ් වූ කවි පංති පවා, කවියට ඇවැසි වචන අරපිරිමැස්ම තොර වීමෙන් දීර්ඝ ගද්‍ය පේළි ලෙස පෙනෙන්නෝය.

"සතර පෝරුවෙන් එපිටහ ජනයින්ටත් පින් පුරන්ඩ
තොටගමු වෙහෙරේ සඟ ගණ උක් සකුරින් පුද දෙවන්ඩ
ලද ඉඩවර සිහි කටයුතු නියංගමට ගොඩ වදින්ඩ
නොලැබුණි නම් ලියැවුණේ ද කාරදියරේ මිය ඇදෙන්ඩ"
                                                         (දේවාරාධනාව )

මෙහි අවසන් පේළිය සළකන්න:
 "නොලැබුණි නම් ලියැවුණේ ද කාරදියරේ මිය ඇදෙන්ඩ" - මෙවන් කවි කියවන විට ඊට වඩා කොරෝනා සැදී මියැදෙන එක සැපක් වෙතැයි සිතුණි.

"උකුසැසැ'ති කැමරාව අත දරා
කුටුම්බයෙ ඉර දෙවුර හිස අරා
කුණු ගඳැ'ති පෙදෙශි ම සැරිසරා
ගෙදර එන වෙලාවක් කියනු බැරි පෙම්බරා"
                                                       (පැපරාසි )

මුල් පද පේළි තුනේම මාත්‍රා පහළොව බැගින් පබැඳිව, අවසන් පේළිය බිරිඳ අල්ලපු ගෙදෙරට තම හිමියා එන වෙලාවක් කියන්න බෑ යැයි වාචික බසින් දොඩන්නාක් මෙන් මාත්‍රා 20ට දිගු කොට ලියැවී ඇත. මෙවන් සංග්‍රයන් නිර්දේශ කලෝ, කවුරුන් ද ? මේවාට සම්මාන දුන් අය කවුරුන් ද ? පාඨකයෝ නොමග යවන සුළු මෙවන් සම්මාන පිළිබඳ විශ්වාසයක් මා නම් ඉදිරියේ තබා ගන්නේ නැත.


තැනෙක කවියා කෙටි වැකි වලින් රසවිඳිය හැකි ආරේ කවි පංති කිහිපයක් තනා ඇත. පළමු කවි පංතිය වූ "අම්ලකර දන්සල" මෙහි එන හොඳම කවි පංතියකි. "හීලෑ අලි", "කළුවර" ද රස විඳිය හැක. එහෙත් "බුන්දල කවි", "මාතලී පුත්තු", "සේරිවාණීජ ස්ටෝර්ස් හෙවත් වණික් සූත්‍රය" ආදි කවි පංති තුල, හොඳ කවි පංති බවට පත් වීමේ විභවය තිබුන ද, කවි කිහිපයක් සාර්තක වුවද, එකවිට රජයේ ලිපියක් වගේ කවක් විත් කවි පංතියේ ලාලිත්‍ය ට පයින් ගසයි.

සේරිවාණීජ ස්ටෝර්ස් හෙවත් වණික් සූත්‍රය හි එන මේ කව බලන්න:
"නීතිගත ය අලෙවි ප්‍රවර්ධනය
වට්ටම් නොවේ ම ය අත්ලස්
විකිණෙන්නේ ද කඩදාසි බරට ය
පාරිභෝගික අණ පනත්"

මෙවන් දුර්වල කවියක්, යම් දාර්ශණිකත්වයක් ගැබ් කොට ඇති පහත සඳහන් ආරේ කවි වල වටිනාකම නසති.
"සොයා යාමත්
කිසිවක් කිසිදා නොවිකුණූ
ගෙදරක් දොරක්
සොයා යාමකි
කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක්"

සමාවෙන්න; මට මේ කාව්‍ය සංග්‍රහය ගැන මුදු වදන් වලින් වලින් එහි රස අල්ප බව වසා මා වන් අන් පාඨකයින් මුලා කල නොහැක. මෙය මා මෙතෙක් කියවා ඇති රස හීන ම කාව්‍ය සංග්‍රහය විය යුතුය.

ශ්‍රේණිය: *1/2



Friday, 17 April 2020

ගිරිහිස තරණය - සුහර්ෂිණී ධර්මරත්න

කිවිඳියගේ කාව්‍ය සංග්‍රහයන් සොයාගෙන කියවීමට මුඛ්‍ය හේතුව,  ලියනගේ අමරකීර්ති ගේ "නව කවි සලකුණ" මගින් කිවිඳිය ලැබූ මහත් පැසසුම් සහ, අමරසේකරුන් ගේ දුලභ විචාරයක්, කිවිඳියගේ කෘතියක් වෙනුවෙන් ලියැවී තිබීමයි. ඒ විශේෂඥ්ඥයින් දෙදෙන ම පසසා තුබුනේ කිවිඳියගේ භාෂා භාවිතාව, සහ අපට බොහෝ හුරු පුරුදු සිවු පද ආර ඉතා දක්ෂ ලෙස නූතන කවිය අරභයා භාවිතා කොට ඇති බුහුටි බවයි. ඒ අර්තයෙන් නම් සුහර්ෂිණී කවිය මනරම් ය. ඇය අත සිහළය ඇඹෙන්නෙ, මෙලෙකින් ඇගේ ම කවියේ උවමනාවට සූදානම් වීමට මග බලා සිටියා වැන්න.

නිදසුන් කිහිපයකින් මෙය පෙන්වමි;




"පින්සර මහිමි සඳ සොඳ සඳ   කිඳුරු යුරා 
පෙම් බැඳ එකට ආමුත් දිගු සසර        පුරා
හිස් වචනයක පැටලී සිත සසල        වෙලා
මල්සර දුන්න විසි කර ගොසිනි     මල්සරා
                                                 ( විරසකයට පසුව )"

මෙහි මුල් පදයේ සම ශබ්ද පද ශූර ලෙස භාවිතාවෙන් ගෙනෙනා ශබ්දරසය, අප සම්භාව්‍ය කාව්‍යයන් මතක් කරලීමට සමත් ය.

"ආලයෙ ලියකමින් හැඩ කළ රජ    දහනේ
කැටයම් මැකුණු රූ සිරි සඳකඩ    පහණේ
පෙර ඉසුරුමත් බව අද නැති මුත් රැඳුණේ
 බැතිබර වන්දනාවක මම හිමි        සඳුනේ
                                                                (අතැර ගිය හිමිසඳුනට )"

"සැටක් සිවු කපටකම් ඇති සළෙල ලියේ
ගෙටත් බඹර කැළ කැන්දන සමනළියේ
මටත් පෙනෙන්නට සවුදම් ගහපු ලියේ
රටක් වටින මව්කම නො වෙ ද වළ ගියේ
                                                         ( වැරදුණ තානම )"

        
මේ වැරදුණ තානම කවි පංතිය සංග්‍රහයේ මා මහත් සිත් ගත් කවි පංතියකි. ඒ අපූරු බස හැසිරවීමට අමතරව තරමක් අලුත් මානයක මැයක් කවි සංකල්පනාවට ලක් කිරීමෙනි. එනම් නිදහස් හැසිරීමකට ප්‍රිය කල මවක වෙත චෝදනා මුඛයෙන් කතාකරනා දියණියකගේ දෘෂ්ටිකෝණයයි. මේ කාරණාව, එනම් නවුම් මැයක ඇති වටනාකම මතු කලේ, මා මේ සංග්‍රහයේ දුටු සාපේක්ෂ  සීමිතබවක් මතු කරලීමේ අටියෙනි. එනම් අපූරු බස් භාවිතාව සහ කවිකම වෙනුවෙන් ඈ ඉහත ලකුණු ලබා ගත්ත ද, විටෙක කවි සංකල්පනාවන් එතරම් නැවුම් නොවන අතර, විටෙක සමහර කවි පාඨකයා තුල සසල වීමකට අසමත් ද   යන ගැටළුව මතු කරලීමටයි. නිදසුනක් ලෙස "අවිනිශ්චිත විනිශ්චය" ගනිමි. මෙහි නිමිත්ත ගුරුවරියක විසින් දුෂ්කර පාසලක දරුවන් තරග සඳහා අගනුවරට රගෙන ඒම හා ඔවුන්ගේ විනිශ්චයන් ය. මීට ආසන්න කාරණාවක්, "තිරය ඇරෙනව - තිරය වැසෙනවා" ගීයෙන් ද කියවේ. සිරිපා කරුණාවේ බැඳෙන ප්‍රේමයන් නැවුම් මාතෘකාවක් නොවේ ("මාතර ලිය මමයි "). සිප් හදාරා දරුවන් විදෙස් රටවල විකුම් පානා කල දෙමව්පියන් මෙහි තනි වීම මීට පෙර බොහෝ කවි වලට නිමිත්තක් වී ඇති සංකල්පනාවකි ("දොස්තර පුතා කෝ කෝ"). "සමිඳ ඔබ දිටිමි" ද අපූරුවට ගෙතී තිබුන ද නැවුම් බවක් නොදුටිමි. මේ සියළු අවස්තාවන් හී පාහෙ කවි බැඳීම, බස භාවිතාව මනරම් ය. එහෙත්, ඉන් නැවුම් බවක් වහනය නොවෙ.

එනුමුදු ළාබාල අහිංසාවියක් බලය හා ධනය ඇති සල්ලාලයෙකුගේ ගොදුරක් වීම මී පැටික්කියකට සරි කොට බැඳ ඇති කවි පංතිය නැවුම් ය.
"සූරා නිය පහුරු දත්වලින්
පාරා ඇඟ මස ද යක් වෙසින්
හාරා සිළිටි ගත මිරිකාගෙන වැරෙන්
ඉරා විසිකර ගොසිනි වියරුවෙන්

සාක්කුවට විසිවුණ රන්මසු ගොට්ටේ
සාක්කියට මොනවද මහතුනි ඇත්තේ
කිරිදත් ලකුණු සටහන් ඇති පිට පොත්තේ
පාන් වාටියක් ඇත වෙල ඉස්මත්තේ"
                                     (බිළාල දඩයම)

කිවිඳිය ඉතා අපූරුවට අප රට ධනය හා බලය හමුවේ යට යන අපරාධ, දුකෙන් සියල්ල ඉවසන්නට බල කරනා මී මවක ට ආදේශ කරයි.

තැනෙක ඇති කවි පංති මගින් කිවිඳියගේ කාන්තාවාදි අදහස් මතු වෙයි. මෙහි එන අපූරු කවි පංතියක් වන "සයුර හා නදිය" තුලට එය සං‍යමයෙන් ගිල්වා ඇත.

"සයුර නුඹ හා බැඳුණු දා සිට
මම නුඹ වීමි
නුඹ නුඹ ම විය
මට මා අහිමි විය"

"මදුරුවත" තුලින් ද මෙම අදහස් පසක් වේ. කවියේ අලංකාරත්වය තුල, ඉතා සියුම් අයුරින් මෙම අදහස් ගිල්වා තිබීම කිවිඳියගේ දක්ෂතාව ට පෙන්නුම් කරයි.

"ගැහැනුන්ගේ හුරුව නිතර ම ලේ බොන්ටයි
ගරහන්නේ පිරිමි කළැ පව් වහ          ගන්ටයි
මෝරන්නේ කුසේ බිජු දරුපල           දෙන්ටයි
ලේ බොනේ එවන් දරු ගැබ රැක        ගන්ටයි"

  මෙහි  එන "සයුර සහ නදිය", "වැරදුණ තානම", "තාත්තාගේ සිහිනය", "පුතු අවදියෙනි", "දාසියක් නොවූ නුඹට", "කළල රුව හා විද්‍යා පාඩම",  "මං බාලයි", "නාටාමි වත", "ප්‍රේමය පශ්චිම යානය" ආදි කවි පංති මා මහත් රස වින්දෙමි.

මේ සංග්‍රහය තුල තරු හතරාමාරක් හෝ පහක් තරම් ඇගයුමකට විභවය තිබෙනු මට දැනිනි. එහෙත් වරෙක කවි නිමිති, මීට පෙර බොහෝ භාවිත කර ඇති තැනෙක නතර වීම  හේතුවෙන් තරු හතරකට සීමා කෙරුණු බවට පාපෝච්චාරණය කරමි. කිවිඳියගේ අන් සංග්‍රහයන් කියවීමේ දොළෙන් පෙළෙමි.

ශ්‍රේණිය: ****


Thursday, 26 March 2020

කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි - සනත් බාලසූරිය

මේ සංග්‍රහය ගැන මා මුලින් ම ඇසුවේ, මාගේ පොත් කියවන මිතුරෙකු වන පැතුම් පුංචිහේවා ගේ මුවිනි. පසුව සම්මානයනට නිර්දේශ වුවද, පැතුම් ආරේ පොත් කියවන මිතුරන් ගේ නිර්දේශයන් තැකීම මෙතෙක් වැරදී නැති තරම් ය. 

"හිතග්ගිස්සේ නැතක් මොට්ටු", "තෙමි තෙමි ම මම", "මා මිනිසෙක් ඔබ ගඟක් නිසා" ආදි, මාතෘකා හා ආකෘති අතින් යම් විවිධත්වයක් පෙන්වුවද, 'සැමදා කියවිය හැකි කවි පොත්' කිහිපයට  මා මෙය එක්කාසු කර ගැනීමට නො පැකිලෙමි. කවි කිහිපයක් ආශ්‍රයෙන් මෙහි මා ලත් ආස්වාදය ඔබ වෙත ඉඟි කරලීමට මාගේ සුපුරුදු, අවියත් මුත් ඍජු වෑයම දරමි.

(අවතාර නගරය)
"රන් සොයා ආ සෙනඟ/
රන් පතා කොල්ල කා/ අනුන් ගේ මහපොළොව/
රන් ගරා පොදි බැඳන්/ ගිය පසුව
රන්වනින්/ දැවී යන මුඩුබිමක/
රන් සුණක් හෝ නැතිව/ අතහැරුණු
'අවතාර/ නගරය'යි අවමාන/ නාමය ද පටබැඳුණු/
හුදෙකලා නගරයයි/"

කැලිෆෝර්නියාවේ බෝඩි අවතාර නගරය අලලා ලියැවී ඇති කවි පංතියේ පළමු පද පේළි, බෝඩි ගේ කාලයේ රන් උකහාගැනිමට තිබූ දඩිබිඩිය (rush) හැඟෙනාකාරයෙන් නිමැවී ඇත. එකම වචන ගෙනෙන ශබ්දාලංකාරයත් (alliteration),  මාත්‍රා දහයෙන් දහයට පද බෙදෙන අතර, එය ලියැවී ඇති පද පන්නා ඇති  බෙදීම හේතුවෙන්  ('/' මගින් නිරූපිතයි ) පද පේලියට ගෙනෙන "හදිසියත්", එම නගරයේ ඇවෑමත් හෙළි කරයි. මෙය අපූරු කවි කමකි. කවිය හමාර වන්නේ සංචාරකයෙකු ට පමණක්, සහ සංවේදී කවියෙකුට පමණක් ඇති විය හැකි පැණයන් කිහිපයකට ඉඩ දෙමිණී.

"එසේ නැතිනම්
ජම්මයෝ සොහොන් පල්ලෙන් නැගිට
කොල්ල කෑ උරුමය ම සොය සොයා ඇවිදිත් ද?
අදත් උන් පොළු ගැසී වැනසෙත් ද?

බලන්නට එන අයට
එ වැනි දේ නැරඹීම නො හොබීද?"

(අහා කොලරාඩෝව...!)
"උහු ද නො දකිති
වසර මිලියන ගණන් වෙහෙසී
මේ මහා කැටයම නිමාකොට
ගැඹුරු පතුලක වැදී නිදනා නුඹ.
කැපූ කෙනෙකුන් නැතැයි සිතනා
මහා කැටයම මිස"

මහා කැනියමේ ගැඹුරු අලංකෘත කැපුමේ නිර්මාතෘ වූ සැංගී ගලනා කොලරාඩෝ නදියේ වික්‍රමයන් දකිනුයේ කවි ඇසක් මුහු වූ සංචාරක සිතක් විසිනි. ඉන් නිමැවෙන කවි පංතිය, මහා කැනියම කිසිදා පියෙවි නෙතින් නොදුටු අප වැන්නන් හට ද රූපවාහීනියේ පාරිසරික සහ භූගෝලීය නාලිකා වල දසුන් අප නෙත් ඉදිරියේ මවයි.

(කළු වනය මැද සිදුහත් සිරිත)
හර්මන් හෙසගේ ජන්ම නගරය වන කල්ව් හි සිට සිදුහත් චරිතය කෙසේ මැවුනේදැ යි විමසන්නේ,  නාගෝල්ඩ් ගඟ  ඉවුර සිටය.

"ඉදින් හිඳගමි ඇතිරි ගල් මත/
ඔබේ ලෝකඩ දෙපා සවිවුණ/
රැයේ සුළඟට, අන්දකාරෙට/,
නදී ගීයට සවන් යොමුකර/

සියුම් සසැලුම්
සුළං දහරකි/
ඔතාගෙන
අප
ලිහී විසිරෙන/

ලිහී යයි
ඒ සුළං දහරෙ ම/
අඳුර
කැටි වී තිබුණු
අප'තර/.."

කවියා මෙහි සඳහන් දෙවෙනි සහ තෙවෙනි පද්‍ය  වල මාත්‍රා 14 න් පද පේළි බෙදීම සුළඟක් අඟවන ආකාරයෙන් විසුරුවයි.

මරණයේ කම්හල, සිඟිති මිරිවැඩි ආදී නාසි ජර්මන් සමයේ  මහා අපරාධ සිදු වූ ස්ථාන සිට කවියා ප'බැඳින කාව්‍යයෝ අඳුරුය - මරණයේ අඳුර හා සොව ඒ තරමක් දීර්ඝ කාව්‍යයන් තුලින් වහනය වෙති.

"සෙමෙන් පියමැන පිටවෙනා විට
මරණයේ ෆැක්ටේරි දොරටුව
ඔය ඔබ ඉදිරියේ ඇත්තේ
නාඳුනන මළවුන්ගෙ සොහොන ය"
             ("මරණයේ කම්හල )


මා මෙහි එන බහුතරයක් කවි පංති රස වින්දෙමි.බොහෝ කවි පංති වලට අත්වැලක් සැපයෙන්නේ, කාව්‍යයෙන් මැවෙනා රූපපෙළේ තීව‍්‍රතාව වැඩිකරලමිනි. ඇත්තෙන්ම මෙහි එන සෑම කවියක් පාසාම, කවියාගේ මනෝභාවය නම් පෙරහනය හරහා දකිනා දසුන් පෙළක් සේය.

කිසිදු පැකිලීමකින් තොරව කවිය රස විඳිනා ඔබ සැමට නිර්දේශ කරමි.