Saturday 6 June 2020

මනෝ රූප ශතකය සහ වෙනත් කවි - විමල් දිසානායක


2015 වසරේ හොඳම පද්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්, එ වසරේ රජත පුස්තක අවසන් වටයට ද පැමිණි, විමල් දිසානායක ගේ "මනෝ රූප ශතකය සහ වෙනත් කවි", කෘතියේ කවි කියවීමට යත්න දැරීමි.
කවි පංති හැටකුත්,  කෙටි "මනෝ රූප" ( poetic moments ) ආරේ කවි "ශතකයෙනුත්" කෘතිය පොහොසත් නුමුදු, මෙහි එන "වෙනත් කවි" 60, මා වඩාත් සිත් ගත්තේ ය. කෘතියේ මේ කොටස් දෙක ගැන කෙටි සටහනක් පහත දැක්වේ.


..වෙනත් කවි : මෙම කවි වලින් බහුතරය, මරණයේ සෙවනැල්ල පිළිබඳ ඉගිකිරීම් ය. කවියා ගෙ අන් කාව්‍ය සංග්‍රහයන් පරිශීලනය නොකල දොසින්, මෙය ඔහු නිතර පද්‍යයට නගන මැයක් දැයි නොදනිමි - එහෙත් එය එසේ විය හැකි බවට සැක කරමි.

"ලොවින් සමු ගන්නට කාලයයි දැන්
ඇතුළු හදෙහි සැඟවුණු තරුවක් කියයි

තැත් කළෙමි සරු දිවියක් ගෙවන්නට
බොහෝ විට එම තැත වැරදිණ

මා මිතුරු සුළඟ මා සොහොන අවට කැලි කසළ
අමදින බව දනිමි වරින් වර හමා විත්"
                                  (කෙළවර)



"මගේ ජීවන පොතෙහි
අවසාන පිටු ටිකට
පැමිණ ඇත මා දැනට
කුමක් එහි ලියන්න ද?

...

ජය ලදැයි කියම් දෝ
පැරදි බව කියම් දෝ
බැරිය විසඳන්ට එය
ගැටළුවකි දරුණු මට"
                               ( ජීවන කතා පොත )



"පසිඳුරෝ උරණ වෙති
මා සමඟ රුදුරු ලෙස
ඔවුන් පැන ගොස් තිබේ
මාව තනිකොට ලොවේ

...

රස පහස නොම දැනේ
මහලු සිරුරට කිසිදු
සුවඳ පතුරනු එපා
මල් මිතුරනේ යළිත්
                           (පසිඳුරෝ උරණ වෙති)


පශ්චාත්තාපය විටෙක මහළු විය හා අතිනත ගනී.


"මගේ නිසරු දිවිය
හකුළුවා දක්වන එක සිදුවීමක්
ඔබට දැනගන්ට කියන්නෙමි

මොර සූරන වැස්ස පෙළන රැයක
අහස ගුගුරමින හෙණ හඬ පතුරුවන රැයක
තෙතබරිතව, තරුණියක් මා හදවත දොරටුවට
තට්ටු කොට රැකවරණ ඉල්ලා සිටියාය



...
මම ඇගේ ආයාචනාවට කන් නොදි
දොර තදින් වසා
නින්දට ගියෙමි"
                   ( නිසරු දිවිය )

මේ කවි හැට කියවාගෙන යන කල, සාහිත්‍ය රසයෙන් බොහෝ සතුටට පත් මා, ඇඳිරි නීතිය ඉවත් කල විගස "ගොඩගේ" එකට ගොස් ඔහුගේ "නාගල කන්ද" සහ "කල්ප විනාශය" යන සංග්‍රහන් ද මිල දී ගත්තෙමි. නාගල කන්ද සහ නික වැව ගැන මේ කාව්‍ය සංග්‍රහයේ ද සඳහන් වන්නේ වරක් දෙවරක් නොවේ. ඔහු ගේ ළමාවිය සහ ගැටවර වියේ මතක ආවර්ජනයේ දී මේ දෙතැන ට ඔහු නිතර පැමිණේ.

"පනස් වසරකට පසු
ආමි යළි නිජබිමට
එකල ගුරු ගෙදර අද
අවන්හල වී තිබේ

...

කුඩා කල මල්ලි හා
මහ ඇඳෙහි නිදාගත්
අයුරු සිහියට නගෙයි
සොඳුරු සිහිනයක් ලෙස

....

තුරු මුදුන් අතර සිට
සිනාසෙයි පුරුදු ලෙස
ම මිත් නාගල කන්ද
කලණ මිතු ද විදා"
        ( පුනරාගනමය )

මනෝ රූප ශතකය: නාගල කන්ද ආශ්‍රයෙන් ම කෘතියේ දෙවෙනි කොටසට යොමු වෙමි. ඔහු ට තම ගැටවර විය මතකයන්ගෙන් මිදීමක් නැත. කවියේ ස්වරයෙන්, තමන් ගත් තීරණ පිළිබඳ සැකයක් ද එබිකම් කරයි. මින් මිනිස් සන්තානයේ අතෘප්තිය, සැකය පිළිබඳ ඉඟියක් දෙයි.

"99. කවියක් මම නොලියමි අද
       නැති වූ කවියක් සොයනෙමි
       නාගල කන්දේ මුදුනත
       නිකවැව පිරි දිය කඳ මැද
       පන්සල වෙත යන පාරේ
       කුසුමින් පිරි නෙක ගස් මැද
       නැති වූ ඒ කවිය සොයමි"

වරෙක ඔහු ගේ මනෝ රූපයක්, වචනයෙන් ම රූප මවනාකාරය විස්මිතයි. ඉතා ඖචිත රුපක වලින් කවිය සාරවත් වෙයි.

"87.  හැකි තරම් වැර යොදා
        විසි කරනෙමි මගේ
        වචන දැල දිය ගැබට
        හිඩැස් අතරින් දැලෙහි
        රිංගලා පලා යයි
        කපටි සිතුවිලි මගේ
        කවියෙ සිර නොවන්නට
        සනිටුහන් කර තදින්"

"...වෙනත් කවි", කොටසින් පෙන්වා දුන් පරිදි, මහළු විය ගෙනෙනා සොව, සන්තාපය මනෝ රූප වශයෙන් ද පෙනී සිටී.

"44. දොර කවුළු වැසෙන විලසින්
        පසිඳුරන් වැසී යනු දැනෙයි
        කාලය රකුසෙකි දයාවක් නැති
       නිහැඬියාව රහසක් කියයි මට"

සමස්ත වශයෙන්, කෘතියේ පළමු කොටස, දෙවැන්න ට වඩා රසවත් බවකි මා ගේ අදහස. ඉන් ම ගම්‍ය වන්නේ කුඩා කවකින් බොහෝ දෑ කීම සාපේක්ෂව අපහසු කර්තව්‍යයක් බවයි. එහෙත්, මෙහි පෙන්වා දුන් නිදසුන් ලෙසින්, කවියා සාර්ථකත්වය ලඟා කරගන්නා අවස්ථා, අපිට කවි මිණි ලබා දෙයි - එහෙත් ඒවා එම කෙටි කවි සියය තුල සුලභ නැත.

ඊට සාපේක්ෂව පළමු කවි පංති හැට රස ගුලාවන් රැසකි. කවියා සාපේක්ෂ වශයෙන් අසාර්ථක වන්නේ සිවු පද ආරට සීමා වීමට යත්න දරද්දී ය. සිවු පද විරිත තුල, මා රස විඳි එක දෝ කවියක් හෝ මෙහි  නොවීය. එපමණක් නොව,  සිවු පදය තුල කවියා ගේ බසේ භාවිතය ද බොහෝ සාමාන්‍ය බවකි මා දුටුවේ.

ඉංග්‍රීසි බසේ ඇළුම් කරනා දෙයක් ලත් කල එය "keeper" යන සරල වදන මගින් එය තබා ගත යුතු යමක් යන්න  ගම්‍ය කරයි. මේ කවි පොත ද එලෙස ය. කවියා අන් කවි පොත් පරිශීලනයත් සමඟ ඔහු ගේ කවීත්වය පිළිබඳ වඩා පූර්ණ අදහස් වැඩෙනු ඇත. එහෙත්, මේ කෘතිය තුලින් නම්, මා දුටු කවියාටත්, ඔහු ගේ කවීත්වයටත් මා රුචිය.  සන්ධිගත පද භාවිතය ආදියත්, වදන් සමඟ කෙළිනාරක් ඔහු කෙරෙන් නොදිස්වේ ( එහි වෙසැදුරු වෙඩිවර්ධනයන් ය). එහෙත්  දිසානායක ගේ උපේක්ෂාවත්, මරණය ගැන නිතර මතක් කරනා ආකාරයත් මට රුචිය. ඔහු ඊට ආගමික බරු එකතු නොකර සිටීම එහි වටිනාකම වැඩි කරයි.

මෙහි නිදසුන් වලට රුචි අයෙකුට සොයාගෙන කියවීමට නිර්දේශ කරමි.


No comments:

Post a Comment