Wednesday, 10 June 2020

අදිසි නදිය - කපිල කුමාර කාලිංග

2019 ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගත්තේ වූද, එම වසරේ ම රාජ්‍ය සාහිත්‍ය සහ ගොඩගේ සම්මාන උදෙසා නිර්දේශ වූ ද, කපිල කුමාර කාලිංග ලියූ, "අදිසි නදිය" නවකතාව කියවා හමාර කලෙමි.

මීට පෙර කතුවරයා ගේ නවකතා තුනක් කියවා තිබුණි - පියැසි කවුළුව, කන්දේ වීදිය, සහ සැප්තැම්බරයේ දිගු දවසක් ඒවාය. මේ සෑම නිර්මාණයක ම අඩු වැඩි වශයෙන් වූ ගුප්ත ආර ( එය කන්දේ වීදිය හි, බෙහෙවින් අඩු ය), මෙහි උපරිමයෙන් ඇත. ලංකාවේ මධ්‍යම පළාත ට අයත් නගරයකට යම් භූ විෂමතාමය සමානතාව දැක්වෙතත්, කතුවරයා අවධානය දිනා ගැනීමට බලාපොරොත්තු වූ විෂය එවන් එක් නගරයකට වඩා බෙහෙවින් පුළුල් ය. දීර්ඝ කාලයක් මිනිසුන්ගේ නිදහස සීමා කිරීම හේතුවෙන් මිනිසුන්ගේ වීරිය බිඳලෑම,  ඉහළ නිලධාරි මඬුල්ල ට සහ ඔවුනගේ පවුල් වලට  පමණක් සීමා වූ විශේෂ අවස්ථා පැවතීම, අන්ධ භක්තියෙන් යුතු තම ජීවත් වෙන නගරයට පෙම් බැඳීම,  සුරාව භාවිතය ට නගරවාසීන් ව වැඩි වැඩියෙන් රුකුල් දී ඔවුන්   ඊට බැඳ තබා ගැනීම, මාධ්‍ය නිදහස සීමා කිරීම සහ මාධ්‍ය වේදීන්ගේ නිර්මාණ ශක්තිය විවිධාකාරයෙන් අඬපණ කිරීම මේ නගරයේ දීර්ඝකාලීන ලක්ෂණ ය. මෙහි වෙසෙසින්, මාධ්‍ය කරුවන් ගේ නිර්මාණ කටයුතු වලට ස්වයංක්‍රීය බවක් යන්ත්‍රාණුසාරයෙන් ගෙන ඒමේ කාරණාව මා අවධානය දිනා ගත්තේ, එය ඍජුව ජෝර්ජ් ඕ'වෙල් ගේ 1984 නවකතාවේ එක්තරා අවස්තාවක්  මතකයට නැග ඒමට සමත් විම හේතුවෙනි.
"මාධ්‍යවේදියාටත් පෙර ලිපිය ලියැවෙන්නට ගනී. මුල දී මාධ්‍යවේදියාට දැනුණේ මෙය මඳක් පහසුවක් මෙනි. එහෙයින් ඔවුහු අලස වූහ. යන්ත්‍රයටම සිය රාජකාරිය පවරා දුන්හ. කීප දෙනෙක්, යන්ත්‍රයට වහල් නොවී, නිදහස් මතික ලෙස කටයුතු කරන්නට පෙළඹුණ නමුදු, ක්‍රමයෙන් ඔවුනට වැටහී ගියේ එය 'වාරණ මණ්ඩලයක්' ලෙස ද ක්‍රියා  කරන බවය."
(250 පිටුව)

සිය රාජකා1984 කෘතියේ, කම්කරු පංතිය තෘප්තිමත් ව තබා ගනු වස් යන්ත්‍ර්‍රාණුසාරයෙන් ලිංගිකත්වය හුවා දැක්වෙන බාල නවකතා ආදිය නිමැවේ. එම කර්තව්‍ය උදෙසා "ප්‍රබන්ධ දෙපාර්තමේන්තුවක්" ද විය. මාගේ කියවීම ට අනුව නම්, කතුවරයා ඉන් ගම්‍ය කරනුයේ "ඩිස්ටෝපියානු" නවකතාවකින් කොටසකින් ආභාෂයක් ලබා ගැනීමට වඩා, අනාගතයේ බිහි විය හැකි "ඩිස්ටෝපියානු" දේශයක් කුමනාකාරයෙන් ඉන් ආභාෂයක් ලබන්නේ ද යන්න විය යුතුය.

එනුමුදු, මෙම නවකතාව හුදෙක් 1984 හි සිංහල ආදේශයක් නොවේ. නැත; අප ලේඛකයා මවනා ප්‍රබන්ධමය නගරය වඩවඩාත් මතක් කරනුයේ ඔබ අප සැම දන්නා කුඩා දිවයිනකට ය. නගරයෙන් පිටවීමේ වාරණය යන කාරණවෙන් වෙනසක් වී ද, "රට වෙනුවෙන්" සියල්ල විඳ දරා ගැනීමේ ප්‍රවණතාව උසස් ලෙස රාජ්‍ය අනුග්‍රහ කරලීමේ ප්‍රවණතාව ඇතුළු අනේක කියුම් කෙරුම් ඊට දෙස් දෙයි. ප්‍රබන්ධමය නවකතාවක ට උචිත ලෙසින්, එහි අතිශයෝක්තියක් ඇති බැව් සැබවි - එහෙත් සමස්ත ප්‍රවණතාව යන්න පිළිබඳ එහි "අප පාඨකයන" ට 2084ක පණිවුඩයක් නොගෙන්නේ යයි කිව නොහැක. එහෙත් මේ කියනා 2084 ද පාඨකයා මවා ගත යුත්තේ වර්තමාන පරිසරයක් තුල දී ය. එවන් "තාක්ෂණික" ප්‍රශ්ණ මෙම ආඛ්‍යායනයේ වුවද, සමස්ත ආකෘතිය හා පණිවුඩය පැහැදිලිය. අනෙක් අත ට අප ට මෙහි හමුවන නගරය විනාශය කරා ඇදෙන එකකි. එය ගොඩගත නොහැකි එකකි. නාය යන, ජලයෙන් යට වෙන, පණුවන් ගසන එකකි - කතුවරයා සාර්ථක රූපක භාවිත කොට ඇති බවට සැක නැත. එහෙත් ඔවුන් ට බලෙන් පෙවූ වට්ටෝරූ කතාන්දර හේතුවෙන් ඔවුන් ව අවසන් මොහොත දක්වාම අකර්මන්‍ය කොට තිබිණි.
"අවසානයේ දී මිනිසුන් නගරය අතහැර යාමට පටන් ගෙන ඇත. අතීත ශ්‍රී විභූතිය, උදාර සංස්කෘතිය, නගර ප්‍රේමය වැනි මන්ත්‍රණයන්ගෙන් මත්කොට, මුලාකොට රඳවාගෙන සිටි ජනතාව ජීවිතාශාව විසින් දැන් අවදි කරනු ලැබ ඇත." ( 304 පිටුව )

 නවකතාවේ ගලා යාම, මුල් භාගයේ තරමක් අඩාල වේගයකින් වුව ද, ඉන් අනතුරුව නවකතාව වඩ වඩාත් කියවීමට රුචියක් වඩවයි. නගර වාසීන් ගේ අසරණබව නිරූපනය, පාලනාධිකාරියේ අසංවේදීකම, හමුදාවේ ක්‍රියාකාරීත්වය, මාධ්‍ය සහ අනෙක් රාජ්‍ය ආයතන "යථාතත්වය" නිරූපනය ට දරණ කෘතීම තැත, ආදී සියළු තැන් වල අප ලේඛකයා සාර්ථකය. නගරවාසීන් ගේ අසරණකම හමුවේ, පිටතින් ඔවුන් බේරා ගැනීමේ මානූෂීය මෙහෙයුමක් ගැන ද, එවන් ව්‍යායාමයක ට ඇති ප්‍රායෝගිකත්වයක ගැන ද ලුහුඬින් හෝ සාකච්ඡා කරනුයේ  R2P, අප ට මතක් කරමිනි.

2018 ප්‍රකාශ වූ කියවීමට මා තෝරා ගත් නවකතා ගොන්න කියවා හමාර වන තෙක්, නවකතාව පවතින්නේ "කුමන ස්ථානයේ ද?" යන්න ගැන කීම ට නොහැකි වුව ද, අවම වශයෙන් 2019 වසරේ සම්මාන අවසන් වට වලට පැමිණීමේ  විභවයක් ඒ තුල ඇති බව පිළිගත යුතුය.එනුමුදු පිටු 328ක් පුරාවට දීර්ඝ නොකරමින්, තීව්‍රතාව වඩා හොඳින් දැනෙනාකාරයෙන් මීට පිටු හැට-හැත්තෑවක් පමණ අඩු කොට මෙම නිර්මාණය ඉදිරිපත් කරලීමට අවකාශ නොතිබුණ් ද ? කතුවරයා මෙලෙස ම "සැප්තැම්බරයේ දිග දවසක්" දිගු කලා ක්, මෙන් මෙම නවකතාව ද එම අඩුපාඩුවෙන් පෙළෙයි. අනෙක මුද්‍රණ දෝෂ ය. පොත් කියවන මිතුරියක්, මෙම මුද්‍රණ දෝෂ ගැන සඳහන් කල විට, මා පොත මිල දී ගැනීම පමා කරමින් දෙවෙනි මුද්‍රණයෙන් පිටපතක් ගත්තේ ම, එවන් දුර්වලතා දෙවෙනි මුද්‍රණයේ හෝ නැති වෙතැයි බලාපොරොත්තුවෙනි. නැත -ප්‍රකාශක ට එලෙස පෙර මුද්‍රණයක දොස් නිවැරදි කරගැනීමට ඉවරයක් නැත - පාඨක අප හට මුදල් ගෙවා පොත මිලට ගෙන  එම දොස් නිවැරදි කරලමින්,  කියවාගෙන ඉදිරියට යාමට ඉවරයක් ඇතැයි ප්‍රකාශක බලාපොරොත්තු වනවා විය යුතුය.

මේ ඉහත සුළු අඩුපාඩු නොතකා, මෙය සාර්ථක නිර්මාණයක් බවට කිව හැක්කේ, ඉන් අප රට ගිල ගන්නා අදිසි නදියකින් බේරා ගෙන, වඩා විවෘත මනැස් ඇතිව ජීවත්වීමේ වගකීමක් ද ඇති බව මෙම කෘතිය මතක් කර දෙන හෙයිනි.

No comments:

Post a Comment