Sunday 30 October 2022

භේරුණ්ඩ කැදැල්ල - රූපා ශ්‍රියානි ඒකනායක

සැ. යු. ( පොත කියවීමට බලාපොරොත්තු වන අයට, එය කියවා අවසන් වන තුරු මේ අදහස් ගැන්වීම කියවීම අධෛර්‍යමත් කරමි).


මට මේ ලේඛිකාවගේ ලිවීම් සමඟ දීර්ඝකාලීනව පැහැදීමක් තිබී නැත. ඒ මා ඇගේ කියවූ පළමු ග්‍රන්ථය නිසා විය හැකිය ( 'දිට්මි නෙති කසුප් නිරින්ද්'). එහි ඇය කාශ්‍යප රජුගේ කාලයට යාමට භාවිත කල විධික්‍රමය පිළිබඳව ඇති වූ අපැහැදීම අදටත් පහව නැත. අවාසනාවකට මෙන් මෙම ග්‍රන්ථයේදී ද කතුවරිය තම කතාවට පදනම වන අත්පිටපත් හොරකම සංඝත ලෙස, පාඨක විශ්වාසය රැකෙනාකාරයෙන් සිදු කර නොමැති බවය මගේ විශ්වාසය. වරුණ, ඔහුගේ අතිජාත මිත්‍රයා විසින් බොහෝ සෙයින් වර්ණනා කල පිටපත, මිතුරාගේ ඇවෑමෙන් සම්පූර්ණයෙන් නොකියවා තම නමින් මුද්‍රණයට පත් කිරීම මට නම් පාඨක විශ්වාසය පළුදු කරන අවස්ථාවකි. කිම ද වරුණ පිටපත කියෙව්වේ නම්, කුමන විදිහකින් හෝ, ඒ අයුරින් ම එම පිටපත තම නමින් නම් මුද්‍රණය නොකරනු ඇත. සොරකම් කිරීම් එකකි - එහෙත්, සාහිත්‍යයකරණයේම රැඳී සිටියෙකු, අපරික්ෂාකාරීව එය මුද්‍රණයට යොමු කිරීම විය හැකි ලෙස මට පිළිගත නොහැක. කෙනෙකුට, එසේ නම් මෙම පොත  ද නැති බවට වාද කල හැක. කතුවරිය සාර්ථක විය යුත්තේ, එවන් අවස්ථා පාඨක විශ්වාසය පළුදු නොවෙනාකාරයෙන් නිර්මාණයේදී ය. නැතිනම් තමනට සාර්ථකව ලිවිය හැකි කොටස් එසේ ලියා, අභියෝගාත්මක තැන් වලට පැලැස්තර දැමීම, මුළු නවකතාවට ම ගෙන එන්නේ අවැඩකි. ඉතින් හිතවත් පාටකයෙනි, මේ පොත ගැන විශ්වාසය එම මුල් පදනේම ම බිඳ වැටුණි. කතුවරියට අවශ්‍ය මතුමහල සෑදිමට තරමක් විකෘති තර්කයෙන් යුත් අඩිතාලමක් භාවිත කොට ඇත. එහෙත් එම මතුමහල නම් ඈ බොහෝ සාර්ථකව "තනා" ඇත.

බිඳී විසුරුණු පවුල්, එහි දරුවන්, දෙමව්පියන්ගේ අලුත් සම්බන්ධකම්, දරුවන් දෙමාපියන් කෙරෙහි සිත් බිඳුණු පසු ක්‍රියාකරනාකාරය ආදිය කතුවරිය ලියා ඇත්තේ ඉතා ගැඹුරු ජීවන දෘෂ්ඨියක්, අවබෝධයක් ඇතිවය. මෙහි එන නන්දිතා ගේ චරිතය කතුවරියගේ සාර්ථකම චරිත ගොඩනැගීම් වලින් එකක් විය යුතුය.  නාමලි, රාහුල්, වරුණ ආදි චරිත ද සාර්ථකව ගොඩනගා ඇත. ඇත්තෙන්ම මට නම් හැඟෙන්නේ මෙම කතුවරියගේ ශූරතාව ඇත්තේ පුද්ගල සම්බන්ධතා, පවුල් සබඳතා, එහි ගැටුම්,  ආදිය ගැන ලියනාකාරයේ කියාය. කතුවරියගේ මා කියවූ අනෙක් කෘතිය වන සිටුවර පුවත හි වුව මෙම දක්ෂතාව දිටිමි. නන්දිතා, වරුණ හා මධුමතී විෂයෙහි ක්‍රියාකරනාකාරය පමණක් නොව, නාමලි, ජිනපේම "දෙවියකු" ලෙස දකිනාකාරයේ ද මා දුටුවේ සාර්ථක සාහිහ්‍ය නිර්මාණකරණයකි.

"..දෙවිවරු ඉන්නේ ඔය කඩවසම්, තරුණ, බඩ මහත, ගෑනියෙක් දැක්ක ම දපනෙ වැටෙන පිරිමි සරීරවල නෙමේ මහත්තය... මේ වගේ අජුත, මළ පෙරේතයො වගේ පෙනෙන මිනිස්සු අතරෙ..." ( 206 පිටුව)

එලෙසම, උපනුවන් නාමලී ට ලියූ ලියුමේ ඇති කොටසක් ද මා සිත් ගත්තේ, එය ද කතුවරිය මිනිස් හැඟීම් ගැන විවෘතව කතාකරනා අවස්තාවක් පමණක් නොව, අවබෝධය ට සාකිෂියක් නිසාය.

".. එහෙත් මා ද සුදනෙකු යැයි, උපාසකයෙකු යැයි, සාධුවරයෙකු යැයි සිතන්නට එපා.. නුග සිසිලක් ලෙස මා අත්දුටු විරාගය ක්‍රමයෙන් රාගයක් බවට පත් කළේ ඔබමයි... ඔබ සමග සිතින් රමණයේ යෙදුණා.. කයෙන් ආශ්වාදයල් ලැබීම වගෙ ම, සිතින් ආශ්වාදයේ වෙළිමත් එක ම සංසිද්ධියේ දෙපැත්තක් කියලයි මං හිතන්නේ..
....
 එහෙත් ඔබ ප්‍රේමවන්තයෙකු සොයාගත්තේ මා විසින් ම ඉතා අපහසුවෙන් සීමා මායීම්වලට හිර කරගත් රාගය ඔබේ සිතේ උත්සන්න වී, පිටාර ගලන්නට පටන්ගත් නිසා ද?.. ඔබේ සිතේ උතුරා යන සිතිවිලි හා හැඟීම්වලට කායික පිටිවහලක් මගෙන් නොලැබුණු නිසාද ? මානුෂික ධර්මතාවක් වන රාගය ඔබේ සිතේ ඇවිස්සීමට මා ද දායක වී ඇතැයි දැන් මට සිතේ." ( 230 පිටුව)

මෙම නවකතාව 2021 සඳහා වූ ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගන්නා ලදී. වසරේ හොදම නවකතාව ද යන්න විවාදපන්න වුවද, අප රට බොහෝ සම්මාන වල දිගු ලයිස්තු ( ඔවු, සමහර විට කෙටි ලයිස්තු වලට පවා ) තේරිමට තරම් විභවයක් මෙම නවකතාව තුල, පෙර කී දෝෂය අභිබවා යමින් මම දකිමි. මා සාමාන්‍යයෙන් මෙම කතුවරියගේ පොත් කියවීම මග අරිමි. එහෙත් ප්‍රධාන සම්මාන දිනූ, නිර්දේශ වූ නවකතාවක්, තත්කාලින නවකතා කියවන්නෙකු ලෙස මගේ කැමති/අකමැතිකම් මත අතැරීම නොකල යුත්තක් ලෙස සිතමි. ඒ නිසා ම ය කියවූයේ. කතුවරිය  ලේඛනයේ දී දක්ෂතා පෙන්වන අවස්ථා ඇති  බවට මෙම කෘතිය සාක්ෂියකි.
( තරු හතරක පොතකින් තරු බාගයක් කපා හරින්නේ පෙර කී අඩිතාලම් දුර්වලතා ප්‍රශ්ණය නිසා ය)

ශ්‍රේණිය: ***1/2
2020 වසරේ ප්‍රකාශ වූ නවාකතා කියවීම - 7
ස්වර්ණ පුස්තක සම්මානය - 2021
රාජය සාහිත්‍ය සම්මාන - අවසන් වටය - 2021
ගොඩගේ සාහිත්‍ය සම්මාන - අවසන් පූර්ව වටය - 2021
සූරිය ප්‍රකාශනයකි ( 2020)



Wednesday 26 October 2022

කැත ගැහැනියගේ හීනය - සරද සමරසිංහ

 2017 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් එකොළහක් කියවා, ඒ ගැන සටහනක් ද ලියා පළ කලේ මීට වසර තුනහමාරකට ත් පෙර ය ( https://me-and-err.blogspot.com/2019/02/2017-sinhalashortstory.html ). එනුමුදු මෙම කෙටි කතා සංග්‍රහය මිල දී ගත්තේ ගිය වසරේ හෝ, ඊට පෙර වසරේ විය යුතුය. එය කියවන්න ට යොමු වූයේ දැන් ය.


කෘතියට නම දුන් "කැත ගැහැනියගේ හීනය", මෙහි එන සාර්ථකම නිර්මාණය බව සැක නැත.
"නිලූ බැල්මකින් දෙකකින් එහෙමත් නතිනම් තොදොලයකින් අනතුරුව හරි පහසුවෙන් කරගන්න කන්තෝරුවේ පුංචි පුංචි වැඩ ප්‍රීති ට මහමෙරක් වගේ වෙන්නේ ඇයි කියලා බොරු කරන්නේ නැති කණ්ණාඩිය වගේම ප්‍රීතිත් දන්නව." ( 22 පිටුව)

කැත ගෑනුන්ට ගොඩාක් අවස්ථා හම්බුවෙන්නේ නැති බව ප්‍රීති තමාටම කියාගත්ත. ආයෙත් පාර්ක්. (29 පිටුව)

මෙහි එන ප්‍රීති, තමන්ගේ යථා තත්වය තෙරුම් ගෙන, සියුම් තරඟයක් දෙන්නේ, තමනට ද අවස්ථා ලැබෙන බව අන් ලෝකයාට පෙන්වන්න ට ය. කියවන්නිය තුල සානුකම්පිත සිතුවිලි ජනිත කරවනා සුළු කෙටිකතාවකි.

"දෙමළාගේ පරක්කුව", මෙහි එන තවත් රසවත් නිර්මාණයකි. මෙහි "පරක්කුව" වචන පෙරළියකි - එම පරක්කුව, අන්තිම මොහොතේ සැලූනයට රිංගන කොලුවාගේ සිතා මතා පමාව ද ? නැතිනම්, රාජා ගේ ප්‍රමාදය ද ? "දෙමළා ට" සිංහල සමාජය මධ්‍යයේ පමාවීමට ඉඩක් නැති බැව් අමතකන නොවී ඒ පීඩනයෙන් තව කොපමණ කලක් ජීවිත් වන්න ට සිදු වේවි ද ?

"තාත්තා සහ තවත් පිරිමි":

"තවත් කවුරුහරි මිනිහෙක්. තාත්ත වෙනුවට ආපු." (19 පිටුව)

අංජු, ක්‍රමක්‍රමයෙන්  තම වර්තමාන ජීවිතයට පුරුදු වීමට සිදු වූ ආකාරයත්, ඊට තාත්තා නොවෙන අනෙක් පිරිමි වරින්වර අංජු ට කල හදියත්, අංජුගේ බසින් කියවෙන කතාවකි. එහෙත් ලාංකිය කෙටිකතාව තුල මෙවන් නිර්මාණ එතරම් දුලභ නොවෙන නිසා, කතුවරයා බලාපොරොත්තු වූ ආකාරයේ තිගැස්මක් පාඨකයා තුල ඇති වේවි ද යන්න සැකසහිතය.

පොළේ එළවළු වෙලඳාමෙන් "ගැලවී" සීතල කාමරයක "මේසයක් මත පුටුවක වාඩිවි" කෙරෙන රස්සාවකට ඇති දුර ගැන කියවෙන "හීතල හීනෙකට පස්සේ"; අලුත් ආරේ ප්‍රදර්ශනාත්කමක හසිරීම් තිබුන ද, "සෙන්ටෙනියල් දෝණි" සහ ඈට පෙර පරම්පරා අතර එතරම් ම වෙනසක් නැති බව පසක් කරවන කෙටිකතාව ද, තමනට උරුම වූ ධීවර ජීවිතයේ "වීරයෙකු" වීමට ලැබෙන සීමිත අවස්ථා ගැන කියවෙන "ජෝතිපාල නොදුටු වම සහ වම නොදුටු ජෝතිපාල" ද, 'වරදක් නැති' කෙටිකතා ය.

"ආරක්ෂාව" නැමති කෙටිකතාව ද, තරුණ පරමපරාවේ අපේක්ෂා භංගත්වයත්, කෙසේ හෝ ශරීරය වෙහෙසා තම පියාණන් දුන් ආරක්ෂාව තමන් පෙරළා ලබා දෙන්නේ කෙසේ ද යන ගැටළුව ද මතු කෙරෙන අපූරු කෙටිකතාවකි.

ඕර්වෙල් ගේ Animal Farm කෙටිකතාව අවසන් වන්නේ සමහර සතුන් ට අනෙකුන්ට වඩා සමාන අවස්ථා ලැබිය යුතු බව ට කෙරෙන අවධාරණයෙනි. ඒ අයුරෙන් මෙහි එන සාධාරණ "ප්‍රජාතන්ත්‍රවාදී ඩෝසරය" ගමේ ඉස්කෝලේ මහත්තයට, ග්‍රාම සේවකට අන් අයටත් වඩා "හරි සාධාරණ මනුස්සයෙකු" ලෙස පාර තැනීමට සීමා මායීම් කිරීමේදි ක්‍රියා කොට තිබිණි.

පිටු 56ක් ඇතුලත කෙටි, කෙටි කතා 8ක් දිගැරෙන්නේ, සරද ගේ අවම ලිවීමේ ආරකින් බොහෝ දේ කියවෙන අරුමය විහුදවාලමිණි. හෝරා කිහිපයක් තුල, අප රට ජීවත් වීමේ අරගලයේ පැතිකඩ කිහිපයක් ගැන කියවෙන්නකි. හැකිනම් හොයං කියවන්න - වෙලාව අපතේ නොයෑමකි.

ශ්‍රේණිය: ***1/2
ප්‍රකාශණය: අහස (2017)
2017 පළ වූ කෙටිකතා කියවීම : 12





Thursday 20 October 2022

මුක්ති - සෝමරත්න බාලසූරිය

 කතුවරයාගේ මා කිය වූ පළමු නිර්මාණය මෙයයි ( මෙය කියවනා අතර තුර වප්මගුල ඇතුළුව තව පොත් 2-3ක් මිල දී ගත්ත ද තවම කියවන්න ට වුනේ නැත). එහෙත් සාහිත්‍ය හා සබැඳිව මාගේ මතකයට කතුවරයා නැගෙන අවස්ථා දෙකක් ඇත. එකක්, ඔහු කැමූගේ The Outsider පොත පිටස්තරයා නමින් සිංහලට පෙරළා පළකර තිබීමයි. මම එම පරිවර්තනය කියවා නැත - එහෙත් Outsider මට ඉතා රුචි ග්‍රන්ථයකි. ඊට අමතරව, මීට වසර 10 ට ත් වැඩි පෙර කලෙක, විරාගය වනාහි යම් විදිහකට සාන්දෘෂ්ඨිකවාදි නවකතාවක් බවට පුවත් පත් ලිපියක, හෝ සම්මුඛ සාකාච්ඡාවකදී ඔහු කියා තිබුනා මතකය. එනම් සාන්දෘෂ්ඨිකවාදය ට යම් තැකීමක් කතුවරයා තුල ඇතැයි එකල ද මට සිතුණි. එය යම් තාක් දුරකට තහවුරු වන්නේ මෙම නවකතාව ද යම් තාක් දුරකට එවන් පදනමක පිහිටා ලියා තිබීම නිසා ය. කැමූ ගේ The Fall කෘතිය ඒකපාත්‍ර භාෂණයකි. මුක්ති වල විශාල කොටසක් එලෙසය. අප කතා නායකයා, අප රට එක්තරා යුගයක තිබූ භීෂණ යුගයක ඇති වූ ජීවිත තර්ජනයක් හේතුවෙන් සැඟවී කල් ගෙවන්නෙකි. කෘතියේ වැඩි කොටස එසේ වසද්දී ඔහු ගේ මතකයන් ආවර්ජනයන්, රහස් පොලිසිය ඔහු ව ප්‍රශ්ණ කල ආකාරය ආදිය ගැන විස්තර වලින් සපිරිය. එහෙත් ඒ අතර අපූරු දාර්ශනික සිතුවිලි වලින් පොහොසත් ය.

"මිනිසුන්ගේ සිත සියුම් වෙන්නේ යහපත් කල්පනා එන්නේ විපතකට වැටුණාම. ඇයි හිඟන්නෝ වැඩියෙන් ගැවසෙන්නේ රෝහල් ලඟ. රෝගියා අම්මා, තාත්තා, එක්කෝ දියණිය නැත්නම් පුතා. දොස්තරගේ සැත්කම් වරදින්න පුළුවන්. ඒ වෙලාවට හිඟන්නාගේ යහපත් ප්‍රාර්ථනාව වටිනවා. වෙනදා කරදරයෙන් බේරෙන්න දෙන රුපියල වෙනුවට රුපියල් පහක් දෙනවා. කෝවිල ගාව වෙන්නෙත් ඒකයි. මුදල දෙන්නාගෙත් හිඟන්නාගේත් මනසේ වෙනසක් නෑ. දෙන්නම අසරණයි. හැබැයි දෙන්නම බලාපොරොත්තු අතහරින්නේ නෑ. හිඟන්නත් රුපියල් දහයක් එකතු වුණාම ස්වීප් එකක් ගන්නවා." ( 171 පිටුව)
කැමූ ගේ යම් ආභාෂයක් තිබුන ද මෙය හුදෙක් ම ලංකාවේ සිදු වූ සිද්ධීන් හා දේශපාලන වටපිටාව භාවිත කොට ලියූවකි. ඒ අනුව, කිසි පක්ෂයකට අගතිගාමී නොවී, ව්‍යාකූල කාලපරාසයක සිදු වූ අවාසනාවන්ත සිදුවීම් සියල්ල පිළිගනිමින් ම ලියූ අපූරු කෘතියකි. මෙම කෘතිය කියවාගෙන යාමේදී, අප කතානායකයා කෙරෙහි යම් පැහැදීමක් ඇතිවීම වැලැක්විය නොහැක. ඒ ඔහු ආදර්ශ චරිතයක් නිසා නොවේ ( එවන් ආදර්ශයකට ගත යුත්තක් ඔහුගෙන් පිළිඹිබු වන්නේ ද යන්න කියවන්නිය විමසිය යුත්තකි.) එහෙත්, ඔහු ජීවිතය විඳින, නිදහස ට ආදරය කරන, නිදහසට ගරු කරන, කාන්තාවන් ගේ සුන්දරත්වය රුචි, එහෙත් එම ඇසුර හි සීමාවන් ගැන ද හොඳින් අවබෝධ කරගත්, වඩා ශිෂ්ඨ නිදහස් සමාජයක් පතන්නෙකු වශයෙනි. එම ආත්ම භාෂණය කියවන්නියට රුචි වන්නේ ද ඒ නිසා ය. මෙහි මහා සිදුවීම් පෙළක් - එනම් සාම්ප්‍රදායික ආරේ කතාවක් නැති තරම් ය. එහෙත්, මෙය අපුරු නවකතාවකි. කියවීම ට නිර්දේශ කරලීමට නො පැකිලෙමි.

පසුව ලියමි: හමු වූ මුද්‍රණ දෝෂ ප්‍රමාණය පිලිගත නොහැකි පමණ ට වැඩිය. ප්‍රකාශකයා මෙවන් පොතකට සාධාරණයක් කරලීමට නම් මේ ගැන විමසිල්මත් විය යුතුය.

ශ්‍රේණිය: ****
2020 ප්‍රකාශ වූ නවකතා කියවීම - 6
ප්‍රකාශනය: සරසවි


Saturday 15 October 2022

ලෝටස් රිපබ්ලිකය - නදී වාසලමුදලිආරච්චි

 පසුගිය සැප්තැම්බරයේ ලේඛිකාව විසින් ලියා පළ කල ලොටස් රිපබ්ලිකය කියවුවෙමි. ඇගේ වුල්ෆැන්ඩාල් ස්ට්‍රීට් ද කියා ඇති මුත්, එම කෘතියේ සාහිත්‍යමය රසය ගැන එතරම් පැහැදීමක් නැතත්, එවන් ව්‍යායාමයක  යෙදීම ගැන ඈ කෙරෙහි යම් ගෞරවයක් ඇති විය ( එම පොත ගැන ඇති වූ මගේ තක්සේරුවේ එතරම් වරදක් නැති බව හැඟුනේ, ඒ පිළිබඳ දීප්ති කුමාර කල කතාවකට සවන් දීමෙන් අනතුරුව ය). කෙසේ හෝ ඊට වඩා ලිහිල් බසකින්, කෙතෙරම් ලිහිල් ද කිවහොත්, සමහර විට කියවා ගැනීමට පවා "අපාසු කතාකරන අමු බාසාවකින් මේ පොත ලියා ඇත. ඒ ලේකිකාව ඇගේ පරණ පොත ට ඥං පචං ගාපුඅයට දෙන කනේපාර වෙන්නොපුලුවංදෝයි හිතුනා.. මොකද ලෝටස්රිපබ්ලිකේ අය,  අර පොත අමාරුයි මේපොත අමාරුයි, කියොලා තේරුංගන්නබෑ කියන්න දස්සයි".  කොහොම හරි වුල්ෆැන්ඩාල් ස්ට්‍රීට් ගැන ඇති.... දැන් ලෝටස් රිපබ්ලිකය...


ධනාත්මක ලක්ෂණ: මෙතරම් විවෘතව අමුවෙන්ම කියන්නෝන ටික කියාපු පොතක් ගැන මං නං අසාවත් නැත... තරමක් නීරස උනත්, වුල්ෆැන්ඩාල් ස්ට්‍රීට් ලියුවාට ගෞරවයක් ඇති උන අයුරෙන්ම, ඒ ගෞරවය අලුත් උනා, "තුමාපඋල" ගැනත්, ##විරුවා ගැනත්, චෞරමයිනා ගැනත්, ##කපුටා ගැනත් විවෘතව ම ලියපු ටිකට - මේ අපේ රටේ අති බහුතරයක් දන්න කතාවක්, එදිනෙදා විඳවාපු ඉවසාපු කටවල් (හැටනම ලක්ෂෙන් බහුතරය ද ඇතුළුව) වලින් දිගැරෙන නොසරුප් භාෂාවෙන්  කියවෙන්නක්.   මානවකයා, ලිලිත්, කල්දේරා, භූමි, ජලා, සිල්වා ආදි චරිත මෙම "ප්‍රබන්ධමය නවකතාවට" (මෙය නවකතාවක් කියා තැනක හඳුන්වා තිබේ), මූල කතාවක්, අතුරු කතාවක් බඳිනවා. ජලා ල ගේ, ලිලිත්ලා ගේ, භූමිලා ගේ විඳවීම් ඔස්සේ ඇවිලපු  ඇවිලිල්ල නොබෝ දිනකින් රට ම ඇවුළු බවත්, එහෙත් අටවනාධිපති මගින් තාවකාලික යටපත්කිරීමකට ලත් කල බවකුත් තවමයි මෙහි සාරාංශය. එය ලියා ඇති හාස්‍ය සහිත ආර, නිතැතින් නැගෙන අසම්මත බස මේ පොත කියවීමට රුකුලක් දෙනවා. ( යම් හෙයකින් මානවකයා, කල්දේරා, ජලා ලා ගේ අතුරුකතාවක් ඇතොත්, සහ එය දත් අයෙක් මෙය කියෙව්වොත්, මට වඩා දෙයක් මෙම පොතෙන් ලබා ගනු ඇත.)

ඍණාත්මක ලක්ෂණ: මෙම කෘතිය කියවිය යුත්තේ අර පෙර කී දේශපාලන කතාව, ඔබත් මාත් අත්දුටු දේශපාලන කතාව ලුණු ඇඹුලෙන් රස විඳීමේ දොළක් සන්සිඳුවා ගැනීමට මිස,සම්මත ලෙස නවකතාමය සාහිත්‍ය රස විඳීමට නොවේ. කතුවරියගේ අරමුණ ද එය ම වන්නට ඇතැයි සිතමි. එහෙත් හාසකානුකරණ ශානර ආන්තයකින් මෙම පොත බැලුවහොත්, මෙම පොතේ එතරම් වරදක් නැත. ( ඒ අතින් නම් ඉතින් හාසකානුකරණ ශාණරය ද සාහිත්‍යයක් ම වේය.) එනුමුදු එම හාස්‍ය තුල යම් සුළු හෝ වාර්තාකරණ ආරක් ද, යම් තරමකින් ඉක්මනින් ලියා පළ කිරීමට දැරූ ව්‍යායාමයක් බවට ද හැඟේ. ඒ නිසා ම අර පෙර කී මානවකයා, කල්දේරා ප්‍රමුඛ චරිත, මේ අප දන්නා දේශපාලන අලකලංචිය කීමට භාවිත කරපු චරිත කිහිපයක ට වඩා කිසිවක් නොවේ. ඒ නිසා ම දේශපාලන කතාව යම් ස්ථානයකට පැමිණිය ද, අර චරිත වලට සාධාරණයක් නොවන්නේ, කතුවරිය ට එම චරිත තම ව්‍යායාමයට භාවිත කල අය ම පමණක් නිසා විය යුතුය ( සමහර විට මා මෙය කියවීමට උවමනාවට වඩා උත්සාහ කරනවා ද විය හැක ).

තමන් බලාපොරොත්තු වන දේ ගැන යම් අදහසක් ඇතිව කියවන්න තීරණය කල අයෙකුට මෙහි යම් රසයක් විඳිය හැකිය. ලාංකේය දේශපාලනයේ අතුරුකතා ගැන හොඳින් දන්නා අයෙකුට නම්, අප නොදකිනා අහුමුළු ද දැක ගත හැකි වනු ඇත. එපමණකි.

ශ්‍රේණිය: **1/2
ශානරය: හාසකානුකරණ නවකතා
ප්‍රකාශනය: විදර්ශන
2022 ප්‍රකාශ වූ නවකතා කියවීම - 1

Sunday 9 October 2022

රන්වන් පත් - සුනන්දා රණසිංහ

 කිවිඳියගේ මා කියවූ පළමු සංග්‍රහය වුව, ඇගේ අන් කෘතීන් ලයිස්තුව දුටු කල, බොහෝ කාලෙක පටන් කවි නිර්මාණයේ සිටි අයෙකු බව දැක ගතිමි. මේ කවි පොත කියවීමට ආසන්නම හේතුව, 2019 ප්‍රකාශ වූ මෙම සංග්‍රහය 2020 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි ගොඩගේ සම්මානය දිනා ගැනීමයි. 

එහෙත් කාව්‍ය සංග්‍රහය කියවීමේදී මට හැඟුනේ මෙහි සම්මානයක් දිනීමට තරම් අරුමැසි නිර්මාණ අවම බවයි. ඈ අපූරු ලෙස බස හසුරුවා ඇති බවත්, පද පේළි වල රිද්මයක් පවත්වාගෙන ලියා ඇති බවත් සත්‍යය. එහෙත් මා නම් කවියකින් බලාපොරොත්තු වන්නේ, යම් සියුම් විදුලි සැරක්, තිගැස්මක්, දෙයක් පිළිබඳ ප්‍රශ්ණ කිරීමක්, ක්‍රීඩාශීලිත්වයක්, හෝ අවම වශයෙන් වෙඩිවර්ධන කරන්නා සේ වචන සමඟ අඩවු අල්ලන ගමං අපහැදිලි හෝ චිත්‍රයක් ඇඳිමය. ඒ නිසාය, අදටත් අජිත් තිලකසේන ගේ "මන්දා" මට කෙදිනවත් අමතක නොවෙන කවියක් වන්නේ. ඒ නිසාය, ඊයේ හවස පිටු පෙරළන ගමන් කියවූ සුදර්ශන සමරවීරගේ "වොලිබෝල සෙල්ලම නම් අපේ ප්‍රේමය" කවියේ අඟර පෑම සහ යොවුනෙකුගේ  පෙම් බැල්ම අමතක නොවන්නේ. එහෙත් රන්වන් පත් හී එවන් අපූරු අවස්තා අවමය.

නිදසුනක් ලෙස වී බිසක වැලපුම කව ගනිමි. අපූරු පද පේළි බෙදීමකින් පොහොසත් වුව, අපූරු රූපක තිබුන ද,
මෙවන් කවි වල නැවුම් බවක් නැති තරම් ය.



"දිරා බඩවත වේ හුඹස් යට
පුපුර පුපුරා හැලෙන නහරය
බිඳී ගිය පා වාරු නතියෙන්
හිඳී අවසඟ වෙමින් දින දින"

සිත ට බරක් ගෙනෙන "ළමා නිවසයේ අවුරුදු උළෙල"  කවි පංතිය ට උක්ත මාතෘකාවද බොහෝ විට මීට කලින් ලියැවුණු ආරේ එකකි. ගැබ් පෙළහර, දුෂ්කර පාසලේ ගුරුතුමිය, පබා, මලක මළගම, සසර, කොස් ගස, කුල්ලේ විස්සෝපය අදි කවි මෙම නැවුම් බවින් තොර හෝ අඩු කමට තවත් නිදසුන්ය. මේ සියළු කවි කියවන අතරතුර රසවිඳිය හැක. එහෙත්, හෙට දවසේ මෙම සංග්‍රහය මට විශේෂයක් ගෙන දේමට තරම් මතකයේ රැඳීමක් කිරීමට තරම් බලපෑමක් නොකරනු ඇත. එතැනය මෙම කාව්‍ය සංග්‍රහයේ සුවිශේෂියත්වයක් මා නොදකින්නේ. උත්ප්‍රාසය නම්, කිවිඳිය ම මේ ගැටළුව අන් ආරකින් තම කවකට මතුකලීමය. ඒ "සිර ගත වීම" කවිය ඔස්සේය.

"වසාලම්
දොරකවුළු
තනිව ඉමි
ලියන්නට අලුත් කවියක්
ලබනු වස් ඉඩ හසර

...

උස් තුරෙකින් නෙළූ
වියළි පත්
අනවසරයෙන් එබෙයි කුටියට
කටු කිණිත්තක පිපුණු
මල් සුවඳ ඇබින්දක් හා මුහුව

කුමන අරුමයක් විද
කවි තිඹිර ගෙයට වැද
විලි රුදාවෙන් හඬයි
පන්හිඳ"
මට නම් සිතෙන්නේ අනවසරයෙන් එබෙන කටු කිනිත්තකට වඩා ( මොකද සුලභ මාතෘක රැසක් මෙහි ඇත) ගවේෂණයක යෙදෙන්නේ නම්, ඇගේ බස හැසිරවීමේ බුහුටිකමත් සමඟ වඩා කම්පණයක් ගෙනේමට සමත් නිර්මාණ ඇගේ පන්හිඳ අග මතුවනු ඇතැයි කියාය. කිමද ඊට ආසන්න අවස්තා දෙක-තුනක් ද මෙහි නැතුවා නොවේ. ගාමිණී හෝල්, ළමයි හිරිපොද වැස්සට අකමැති, කොතැන හරි තියෙන්නැති නිමාවක්,   ආදි කව් මෙන්ම නුඹත් මමත් යන කවි වල යම් වඩා විවෘත වීමට දැරූ ප්‍රයත්නයක සේයාවක් දැකිය හැක.

"නොගිලිහුණු කඳුළක් නෙතින් ගෙන
ගුරු මේසයට හිස නමා ගෙන
බියෙන් තැති ගත් මුවැත්තිය නුඹ
සෙනේ සුවඳක් ළඟ මුවා වුණ

...

එදා මහපට ඇඟිල්ලෙන් බිම
හාරලා සඟවන්න බැරි වුණ
සෙනේ කොළ අද නැති වුනත්
අකුරු අමුණා යැවූ පණිවුඩ
කොතෙක්දැ යි මම දන්නවා
                   ( නුඹත් මමත්)"

ඉදින්, සමස්ත වශයෙන් අපූරු ලෙස බස මෙහෙයවීම හේතුවෙන්, කියවන විට යම් ආශාවකින් කියවිය හැකි මුත්, සාර්ථක කවියක ලකුණක් යැයි සිතිය හැකි, මතකයේ රැඳෙනාරේ සිතුවිලි කැළබිල්ලක් ගෙන ඒමට බොහෝ අවස්ථා වල දී අසමත් වීම නිසාත්, මීට කලින් අප රට බොහෝ කවීන් නිර්මාණයට මුල් කර ගත් මාතෘකා ම මුල් කරගැනීම නිසාත්, මට මේ කාව්‍ය සංග්‍රහය "හොඳ" කාව්‍ය සංග්‍රහයක් වුව, සුවිශේෂි, මතකයේ රැඳෙනාකාරයේ එකක් නොවනු ඇත.

ශ්‍රේණිය: ***
කවිවර (2019)

 

 

Saturday 8 October 2022

ගිනි සෝමෙ සහ තවත් කෙටිකතා - උපාලි උබයසේකර

 මීට කලින් ලේඛකයාගේ "මිත්‍යාදෘඨිකයා" නම් වූ නවකතාව කියවා රස විඳ ඇති මුත්, ඔහු ගෙ අන් නවකතා කියවීම දිනෙන් දින පමා විය. ගිනි සෝමෙ... මෙවර සම්මාන මෙවර විද්‍යෝදය සම්මානයට නිර්දේශ වීමත් සමඟ එය කියවීමට ඉටා ගත්තෙමි.


මෙහි එන කෙටි කතා ලේඛකය 1965 සිට 2013 අතර කාලා අතර වරින් වර ලියවුණු ඒවාය. කතුවරයා ගේ කෙටිකතාවේ ප්‍රගමනය දකිනු පිණිස, පොතේ පළ වන පිළිවෙල ඉවත ලා ඒවා ලියූ පිළිවෙල ට කියවීට ඉටා ගත්තේමි.

කතුවරයා පාසැල් ශිෂ්‍යයෙකුව සිටි සමයේ ලියූ "බොර වතුර" කෙටි කතාව, වැසි දිනයක නව යොවුන්වියේ හැඟීම් සමඟ තනි වූ තරුණයෙකුගේ සිහින මැවීමකි. එහි විස්තර කියවන විට එය කුමන වර්ගයේ සිහින මැවීමක් දැයි පැහැදිලි වේ. අයෙකුට මෙහි එතරම් අරුමයක් නැතැයි කිව හැකි මුත් පාසැල් සිසුවකු කල එතරම් සුමට ව තරුණයෙකුගේ ස්වභාවික අවදිවීමක් හා හැඟීම් මාලාවක් ලිවීමේ හැකියාවෙහි ය අරුමය ඇත්තේ.

වීරවර්ධන අපට හමුවන්නේ වියෙනා නුවර සීතකාලයේ, හෝටල් කාමරයක තනි ව, අතීතය මෙනෙහි කරනාතාරය. තමන් ට පණ මෙන් ආදරය කල තරුණිය, විප්ලවයක සිහිනයක් නිසා අතැර දැමූ ඔහු ඒ ගැන කෙරෙන පශ්චාත්පායය මෙම කතාවේ පදනමයි. (විප්ලවවාදියා )

දෙබිඩි ජීවිතයක් ගත කිරීමට, අවාසනාවන්ත ලෙස තම ඉරණම මෙයැයි ජීවිත කාලයක් ඉවසන්නට, කෙල්ලක් කාන්තාවක් වූ පසුව තම ජීවිතය තමනට කැමති ලෙස විසඳා ගත නොහැකැයි, සිතන්නට පුරුදු කෙරුණු වටපිටාවක නොසිතූ ලෙස තමනට "ගැලවීමක" බලාපොරොත්තුවක් දල්වා, කෙටි කලකින් ම එම බලාපොරොත්තුව නැති වීම මානෙල් ට විඳ දරා ගත නොහැකි කම්පනයක් වීද ? 1991 තරම් කාලෙක ලියැවුණු, සාම්ප්‍රදායික සිතුවිලි අභියෝග කරනා කෙටි කතාවකි.

අප රට තිබූ භීෂණ කාලයකදී තමන් ලැබූ අසීමිත වදහිංසා නිසා, මරුවා සමඟ සටන් කොට පුත්‍ර ස්නේහය හා තම පියඹ ට ඇති බැඳීම හේතුවෙන්, නැවත මෙලොව රැඳීමට වරම් ලැබූ ලාල් ගේ කතාවයි, "අත්දැකිම්". කතුවරයා මරණාසන්න අවස්ථාව නිර්මාණාත්මකව පෙන්වා තිබෙන අයුරෙයෙහි මෙම කෙටිකතාවේ ආකර්ශනය තිබෙන්නෙ.

ඇත්තටම "හඳුනාගත්තොත් ඔබ මා", මා කෙරෙහි ඇති යම් බැඳීමක් ඒ අයුරෙන් ම ඔබට තබා ගත හැකි ද? එය ඔබ කෙරෙහි ද මා වෙතින් එසේම විය හැක. ඉතා සරල මතුපිට අඹු-සැමි කතාබහක් තුලින්, සියල්ල දැන නොගැනීමේ, තේරුම් නොගැනිමේ සැනසුම ගැන කියාපානා අපූරුම නිර්මාණයකි. අයෙක් තව කෙනෙක් ට ඇත්තම ඇත්ත කිසිදා කිව නොහැක්කේ මන්ද යැයි සිතන්න ට යොමු කරනා, දාර්ශනික සිතුවිලි පහළ කෙරෙනා කෙටිකතාවකි.

"අපේ කාලයේ කතාවක් නොවේ" ලියැවී ඇත්තේ 1992 දී ය. එකල අප රට පාලනය කල නායකයන් ගැන හොඳ කියවීමක් ලෙස එකල පෙනුන ද, එදායින් පසුව අප රට ට පත් වූ නායකයන් හා සසඳද්දි, ඊට අවුරුදු 23 ට පසුව පත් වූ නායකයන් නම් සැබෑ ම "බකමූණන් ය"

"මේ කාලෙ වෙස්සන්තර" කෙටිකතාව දෙදිශාවකින් විඳිය හැක. එකක් වෙස්සන්තර චරිතය වඩා යතාර්ථවාදී ලෙසටය. අනෙක කීවාක් මෙන් අප පසු කරන සමයේ "සුද්ධෝදනලා" බොහෝ හිටියට, වෙස්සන්තර කෙනෙකු ඇති විය හැක්කේ මෙවන් වටපිටාවක පමණක් නිසාය. මෙහි එන බොහෝ නිර්මාණ වල වාගේ උත්ප්‍රාසය මුල් කොට ගත් නිර්මාණයකි.

කතාකරුවා තම ජීවිතයේ යම් කාලයක් වෘත්තීය මට්ටමින් සිංගප්පූරුවේ සේවය කරන්නට ඇතැයි සැක කරමි. මෙහි සිංගප්පූරු කතා හතරක් ම ඇත - හතරම අප රටින් එහි යම් සංචාරයකට ගිය දේශපාලඥ්ඥයින් හා බැඳිය. එක් "රටක් වටින ඇමැත්තෙක්" ඇරෙන්න අනෙක් අය අප බලාපොරොත්තු වන ආකාරයේ අන් අයට ද කරදරයක් වන, රටේ නමට ද කැලැලක් වන, "අපේ මොඩල්" දේශපාලඥ්ඥයින් ය. මෙම කතා කියවීම රසවත් වූ මුත්, මෙතෙක් කියවාගෙන ආ නිර්මාණ වල තිබූ යම් උත්ප්‍රාසය රැඳි රසයක් වෙනුවට, පල් ගඳක් වහනය වන නිසා දෝ ( මෙහි එන දේශපාලන චරිත නිසා), පොතේ මෙතෙක් තිබූ වටිනාකමට අඩුවක් වූවා දැ යි සිතේ. මේ කතා හතර උබයසේකර ඔහුගේ චරිතාපදානයකට එක්කාසු කලා නම් වඩා ඔබින බවකි මගේ පෞද්ගලික අදහස.

"පත්වීම" කෙටිකතාව යථාර්තවාදයේ සීමා පසු කරමින් ලියැවුණු රසවත් රචනයකි. එක් අර්ථයකින් මෙරට කලා අංශයේ උගතුන්ගෙන් හරි හැටි වැඩක් නොගැනීම පිළිබඳ උත්ප්‍රාසාත්මක කියවීමක් ආරම්භයේ වූව ද, "එලොව" යෑම පිලිබඳව ද රසවත් ගෙතීමක් මෙහි අපට හමු වේ.

වෘත්තීයවේදය උත්ප්‍රාසාත්මක ලෙස අර්ථගැන්වෙන කෙටිකතාවකි, "ගිනි සෝමේ". දක්ෂ මංකොල්ලකරුවෙකුට, මිණීමරුවෙකුට, සොරෙකුට, පාතාල ක්‍රියාකාරික්‍යෙකු ට ඔහුගේ "වෘත්තීයවේදය" ගැන සැඟවුණු හෝ ආඩම්බරකමක් නැද්ද ?

මෙහි එන කෙටිකතා සියල්ලම පාහේ රසවිඳි මුත්, සිංගප්පුරු කතා හතර, අයිස් පමණක් දමා යමක් පානය කරමින් සිත් සේ විඳිමින් සිටින අතර, කෝක් ශැන්ඩි කර බීමට බල කෙරුණු අවස්තාවකට සම කර හැකියැයි සිතේ - එනම් රසයේ වෙනසකට බල කෙරේ - එය මට ගෝචර නොවන මුත්, ඔබට එසේ නොවිය හැක.  එනුමුදු, මිත්‍යාදෘඨිකයා නවකතාවත්, මෙහි එන හොඳම නිර්මාණ වලත් තත්ත්වය අනුව, ලේඛකයාගේ "ලෝක සිතියමේ අප ගම තියෙනවද"" "දෙදහස් විසිහයේ මහල්ලා", යම් දවසක කියවිය යුතු යැයි ඉටා ගත්තෙමි ( හැකිනම් 2026 ට පෙර ). අප සහෝදර පාඨකයින්ට කියවිමට අනුමත කිරීමට හැකි මට්ටමේ කෙටිකතා එක්කාසුවකි. මෙම සංග්‍රහය හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි විද්‍යෝදය සම්මානය ට ද නිර්දේශ විය.

ශ්‍රේණිය: ***1/2
කෙටිකතා (2021) ; සූරිය ප්‍රකාශකයෝ