Monday 21 September 2020

ගඩ්නේවාලා - සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්

 මීට මාස එකහාමරකට පමණ පෙර, ගොඩගේ ගිය ගල අපූරු කවරයකින් යුත් මේ කෙටිකතා සංග්‍රහය අතට ගෙන නැවත තබා පැමිණියේ, නොදන්නියකගේ කෙටිකතා සංග්‍රහයක් කියවීමට කාලය මිඩංගු කිරීමට ඇති අකමැත්ත නිසා ය. ඒ කාලය සීමිත නිසා, හැකිතරම් පළමුව "හොඳම" පොත් කියවීමේ දොළෙනි. එහෙත් ඈ මෑතක ලත් ඇගයීමත් සමඟ මේ පොත මෑතක මිලදී ගෙන කියවූවෙමි.


එම නිර්මාණ කෙසේද  යත්;

1- ඉතා ලුහුඬින් මුත්, ගැඹුරක් අඟවනාකාරයෙන්   ලිය ඇත්තකි. කෙටිකතාවේ එන අම්මා, තමනට නැති වූ දරුවා වෙනුවෙන් ගහක් හෝ මලක් හෝ වෙත තම අවධානය යොමු කරමින් ජීවීතය ගෙවා ගන්න ට තීරණය කර ඇති සේය. එහෙත් දෙමව්පියන් බහුතරයක ට එය කල හැකි ද ? තම සැමියා ඈ ක්‍රියා කරන සූක්ෂම ආකාරය අවම වචන භාවිතාවෙන් ලියූ අපූරු කෙටි කතාවකි. භවාතීෂය ඉතා අවම තලයක තබා ගනිමින් කතා වස්තුව ඔස්සේ, එය කියවීමෙන් අනතුරුව පාඨක තමන් හා කෙරෙන කතාබහකදි භාවාතීෂය උපද්දවීමට ඉඩ තබා ඇත. (අහවරක් නැති කතාවක් - පිටු 5 1/2 ක කතාවකි )

2- සති පතා පුවත් පතක කොටස් වශයෙන් පළවෙන නවකතාවක්, එක්තරා විවාහක කාන්තාවක් තම පුද්ගලික දිවිය හා සමපාත කරගන්නා, හිච්කොක් ව සියුම්ව මතකයට නැගෙනාකාරයේ අපූරු නිර්මාණයකි, "ප්‍රේම" ( පිටු 8 1/2 ක කතාවකි ).

3- වේදිකා නාට්‍යයක ප්‍රධාන නළුවා සහ නිළිය, සැබෑ දිවියේ ද නාටකීය ජවනිකාවක් අවසන් බසය එන යාමේ, බස් නැවතුම් පොළේ දි අත්දකිති.("ඔක්කොම හරිද?", පිටු 4 1/2 ක කතාවකි )

4- ඓතිහාසික කතාවක ට, විලක්ප අර්ථදැක්වීමක් ලබාදෙමින්, නිර්මාණය වී ඇති කෙටි කතාවකි, හරස් කැපුම. බුද්ධාරාජු යුගයේ ඔහු ට සිටි ශිෂ්‍යයෙකුත්, භේරුණ්ඩ පක්ෂියෙකු ඇති සීතාවක කොඩියත් ය මෙසේ අර්ථ ගැන්වී තිබෙනුයේ. ( පිටු 8ක කෙ


ටි කතාවකි )

5- පුරුෂයෙකු ට තම බිරිඳගෙන් එපිට කායික බැඳීමක් ඇති වන්නේ ද, එම කාන්තාව කෙසේ වුවත් යම් සිත් රිදීම්, මදි පුංචිකම් වලට මුහුණ දෙන්නීය. එවන් අවස්ථාවක්, අවම වචන ප්‍රමාණයක් භාඅවිතාවෙන් පිළිඹිබු වන කෙටිකතාවකි, දුම්. මුළු කෙටි ක

තාවට ම යන්තම් පිටු තුනක් වැය කොට ඇත. ( පිටු 9 1/2 සීමාව යන්තමින් පසුකරන කෙටි කතාවකි)

6- යොවුනෙකුට, සිත ඇදී යන යෞවනියක් හමු වන්නේ නම්, එය සිදු වන තැන, වටපිටාව, සමාජ තල ආදිය ගන්නේ දෙවෙනි තැනකි. එනමුදු, ඒ තරුණයා ගේ මුල් පිරුමේ ස්වභාවය සමාජ තත්ත්වයන් මගින් තීරණය කෙරෙනු ඇත. බොජුන් හළක සේවය කරන තරුණෙකු  හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී හමු වූ තරුණ හෙදියක් හා දිගැරෙන අප්‍රකාශිත ආකර්ශනයක් ගැන කෙටි කතාවකි, පිළිස්සුම් රෝගියා ( පිටු 9 කි )

7- වෙළඳ දැන්වීම් ප්‍රමුඛ කරගත් වර්තමාන ව්‍යාපාරික ලෝකයේ ක්‍රියාකාරකම් හමුවේ තම මානසික සෞඛ්‍යට ද බලපෑම් වූ නිර්මාණශීලි තරුණයෙකු මුල් කොට ගත් කෙටිකතාවකි, සමනල තින්ත ( පිටු 4කි )

8- විද්‍යා ව්‍යාපෘතිය කෙටි කතාවම, අවසන් වන්නේ තරමක විද්‍යා ව්‍යාපෘතියක් ලෙසටය. සිල්කන් වැලි හි ශිෂ්‍යාවන් දෙදෙනෙකු අතර සිදුවන පාසැල් ක්‍රියාකාරකමක් කෙටි

කතාවට මුල් වී ඇත. කතාන්දරයක් ලෙස විශේෂත්වයක් නැතත්, කතුවරිය භාවිත කොට ඇති පෙරළුම, සහ බොහෝ දේ අඟවන අවසානය, කෙටිකතාවට යම් වටිනාකමක් ගෙන දෙයි.

9- කෑම බීමෙන්, ඉඳුම් හිටුමෙන් සහ වස්ත්‍රාභරණයෙන් පරිපූර්ණ වූ පමණින්, බිරිඳකට ජීවිතයක් ලැබේ ද ? පුරුෂයා ට පෞද්ගලිකව තමන් ජීවත්වෙන පරිසරයෙන් ලැබෙන  පිළිගැනීම පිළිබඳ අවිශ්වාසයක් ඇත්තේ නම්, ඔහු ජීවත්වන මවාගත් ලෝකය සහ බිරිඳ ට නුපුරුදු ලෝකය අතර ගැටුම කෙසේ විසඳේවී ද ? අප සමාජයේ අයෙකු "ගොඩයෙකු" ලෙස ලේබල් කරලීමට දක්ෂය - නැත, අප සමාජය ඉතා සියුම් කාරණා මත හෝ, බෙදුම් සීමා මවා ගැනීමට මාන බලන් සිටිති. මෙම කෙටිකතාවට මුල් වන්නේ "චීන වෙසක් පහනකි".

"ඔය තොරොම්බල් දැන උගත් මිනිසුන්ගෙ ගෙවල්වල එල්ලන්න පුළුවන්ද?" ( 71 පිටුව )

"දැන උගත්කම" සමඟ අප වන් සමාජ වලට පැටෙවෙන බඩුපොදියකි, වැඩි රසඥ්ඥතාවක් ඇති විය යුතු බව. මෙය තරමක අසාධාරණ බලාපොරොත්තුවක් වන්නේ, අප රට දැන උගත් අයගෙන් කිසියම් ප්‍රතිශතයක් කුඩා කල සිට, සියළු බාහිර ක්‍රියාකාරකම් වලින් ඈත් ව පොතට ම ගිලී, ඒ තුලින් තම දිවිමග ගොඩ නගා ගැනීම. මට සිතෙනුයේ, මෙම


සංග්‍රහයේ එන සාර්ථක ම කෙටිකතාව, මෙය බවයි. ( පිටු 9 ක ට නො වැඩි කෙටි කතාවකි )

10- අයෙකු ගේ ජීවිතයේ ඇතිවන අවසනාවන්ත අවදියක් හමුවේ, කබලෙන් ලිපට වැටුණායැයි සිතෙන තරමේ කුඩාවකු හා සබැඳි නිර්මාණයකි. විශ්වාසනීයත්වය සියයට සියයක් ම නොවූවත්, පාඨකයා ඇඳ බැඳ තබා ගැනීමට සමත් කෙටිකතාවකි, රස්නේ ( පිටු 11ක් වූ මෙය, මෙහි එන දීර්ඝතම කෙටිකතාවයි )

11 - මනස නොමේරූ කුඩාවෙකු අලලා ලියැවුණු "බෝපෙත්තා" කෙටි කතාව මෙහි එන වඩාත්ම සංවේදි කෙටිකතාව විය යුතුය. ආදරය පමණක් ඉල්ලා සිටින එම අහිංසකයන්ට නොලැබෙන්නේ ද එයම පමණි. (පිටු 5 1/2 ක කෙටි කතාවකි )

මා මේ එක් එක් කෙටි කතාව ලියැවුණු පිටු ගණන සඳහන් කලේ, කතුවරිය කෙතෙරම් අරපරෙස්සමින් වචන භාවිත කලා ද කියා පෙන්වන්න ටය. පිටු 10 ඉක්මවන්නේ එක් කෙටි කතාවක් පමණි. කෙටි කතා 11 ට ම පිටු 82කි.
පෙරවදනේ ඇය පවසා අත්තේ ඇගේ හොඳ මිතුරු කැළ හේතුවෙන් ම තමන් ලියූ කතා, පොතක් බවට පෙරළුණු බවකි. එය පොතකින් නොනැවති අත්පිටපත් තරඟයක් ජය ගැනීමටත්, ගොඩගේ සම්මාන වලදී වෙසෙස් තරුණ දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මානයෙන් ඇගයීමට ද පාත්‍ර වීම, ඇගේ අනාගත ලිවීමට දිරිදෙතැයි සිතමු. අනාගතයේ බිහිවිය හැකි නිර්මාණ වෙනුවෙන් ඈ කෙරෙහි බලාපොරොත්තු තබා ගත හැකියැයි විශ්වාස කරමි.

***1/2
ගොඩගේ ප්‍රකාශනයකි
2019 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 8


Tuesday 15 September 2020

අපරාදේ, ඒ නොවැම්බර් - කපිල එම්. ගමගේ

 ලේඛකයා, කලින් කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් ප්‍රකාශ කර තිබුනු බව දැනගෙන සිටියද, ඒවා කියවීමට මගැරිණි. ඇත්ත ම කියන්නේ නම්, අප රට ප්‍රධාන සම්මාන තුනකට ම නිර්දේශ වීම හේතුවෙන් මෙම කෘතිය මිල දී ගෙන කියවීමට තීරණය කලෙමි. මීට පෙර ද කියා ඇති පරිද්දේන් මට සම්මාන වැදගත් වන්නේ කියවිය යුතු පොත් ගැන යම් අදහසක් ගැනීම පිණිස මිස, ජයග්‍රාහයක කෘති කියවීමට නොව ( ඒත් නිර්දේශ නොවෙනා සාර්ථක කෘති ද ඇති බැව්, 'ගැහැණු පිරිමි මල් පලතුරු' සාක්ෂි දරයි.) 

ඉතින් කෙටිකටා සංග්‍රහය කෙසේද ? 


පළමු කෙටිකතාව "නර්මදා නදියේ දෙ ඉවුර මත", නමි. වාමාංෂ දේශපාලනයේ  දීර්ඝ කාලීනව සිටි අයෙකු වඩා නිල්වන් භූමියක් කරා සංක්‍රමණය වන්නේ, අලුත් ප්‍රියම්බිකාවක් ද සමඟය. දේශපාලන මතවාද අතින් ද ඔහු ගේ වදනින් හළිවන්නේ ඔහු වෙනස්වෙමින් සිටිනි බවකි. එහෙත් තම මුල් මතයේ ම ඉන්නා ඔහු ගේ සගයා අලුත්  බලාපොරොත්තු ද සමඟ , මෙරට දේශපාලනයේ තව දුරටත් ක්‍රියාත්මක වීමට සිතා සිටියි. අපැහැදිලි, එහෙත් සමිප පෞද්ගලික දසුන් කිහිපයක් සහ පිළිසඳරක් දෙකක් මගිනි, කෙටිකතාව ගලා යන්නේ. එම ක්‍රමවේදය, කතාකරුවා කියනා ප්‍රමාණයේ ම කතාවක් පාඨක සිතේ අඳින්නට සමත් වේ.

"ආදරය කියන්නේ අයිති කර ගැනීම නොවෙන වග පිළිගන්න මට හමුවුණ ගැහැනිය මහේෂිකා. මිනිහෙකුට ස්වාධීන ව ඉන්න අයිතියක් සමාජය ඇතුළෙ තියෙන්න ඕනේ කියල කෑ ගහල කියන ගැහැනියක් ඇය... පින්තූර රාමු ඇතුළට අපි ව කොටු කරන්නෙ මොකට ද? මහේෂිකා අහන්නේ මගෙන්" ( 33 පිටුව )
පිරිමියෙකු හා ගැහැනියෙකු අතර ආශ්‍රය සම්මත රීතියක් තුල ම වීමේ කෘතීම බව දීර්ඝව කතා කෙරෙන කෙටිකතාවකි, "ඉවර වෙන්නට කලින්". එනුමුදු, කෙටිකතා ආඛ්‍යානයේ ඇති ලිහිල් බාවය සහ කතිකයා පාඨක අපට කෙරෙන වාදය හමුවේ,  නිර්මාණයක් ලෙස යම් අසම්පූර්ණ බවක් ද නොදැනුනා නොවේ.

සර්ග තුන හතරක් මෙහි එන සාර්ථක ම කෙටිකතාව යැයි සිතමි. කුඩා කල ආර්ථික අපහසුතා මැද ගෙවුණු ජීවිතය, ජීවිතයට මගක් පාදා ගැනීම උදෙසා ශාසනයට ඇතුළු වීම, එහි තව දුරටත් සිටි නොහැකි බව තේරුම් ගත් දා ඉන් ඉවත් වීම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසානයේ රැකියවා - අනතුරුව අයෙක් ඇහුවොත් ඉස්සර ජීවිතය් ද හොඳ, දැන් ද කියා ? ඊට උත්තර කොහොමද හොයන්නේ ? "මං ඒ ගැන හිතන්නේ නෑ", යන්න ඉතා ම සාධාරණ පිලිතුර නොවේ ද ?

අයෙකුට තම ජීවිතය තුල ම විගාමිකයෙකු විය හැකි ද ? ජිතේන්ද්‍ර නම් වූ විගාමිකයා කෙටි කතාව, ඔහු සම්මත ලොවට විගාමිකයකු බව කිමට යත්න දැරීමක් විය යුතුය. ඔහු හා ශාඛ්‍යා ගේ හැසිරීම් සහ පිළිසඳර මගින් එවැන්නක් කීමට යත්න දැරුවද කෙටිකතාවක් ලෙස එහි සාර්ථකත්වය ගැන මට එතරම් විශ්වාසයක් නැත.

යමෙක් තරුණ වියේදී ගන්නා තීරණ මැදි වියට පත් වත් ම පසුතැවිල්ලට හේතුවනු ඇත.  එලෙස ගන්නා තීරණේ බලවත්කම සහ ජීවිතයට කෙතෙරම් තීරක වන්නේ ද යන්න මත බොහෝ සාර්ථකත්වයට මෙන්ම, අවාසනාවට ද හේතු විය හැක. කිරි කිරි බෝලේ - රැලි රැලි මාලේ එවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණු දුන් කාන්තාවක් මුල් කර ගත් කෙටිකතාවකි - මෙහි එන වඩා රසවත් නිර්මාණයකි.

එක්තරා වාමාංශික දේශපාලන පක්ෂයක් සිය දිශානතියේ වෙනස්කිරීම්, ඉමහත් කැපවීම් කල සාමාජිකයින් කෙසේ නම් ඉවසන්න ද ? එම පක්ෂය වෙනුවෙන් ජීවිතය පවා කැප කල අය ? තම පෙම්වතිය ද එවන් එලෙස කැපකිරීමක් කල අයෙක් නම් ? කෘතියට එම නම දුන් කෙටි කතාව මෙම ප්‍රශ්ණය මතුකරලමින් කතාවෙන්නකි.

"'ප්‍රභාකරන්ගේ හැම වැඩක් ම අපි හරියි කියන්නේ නෑ පුතා. ඒත්...

..

.... මොනවා වුණත් දෙමළා ගැන ලොකු අවධානයක් හැමෝගෙන් ම ආවේ ප්‍රභාගෙන් තමයි පුතා. එයා වගේ කෙනෙක් ඇතිවුණේ ඇයි කියන එක තමයි මේකේ හේතුව. ප්‍රභා කියන්නේ ඉෆෙක්ට් එක විතරයි.'" (103 පිටුව )


මේ කතාව සාමාන්‍ය දෙමළ සහෝදරයන් කියනවා මා ද  අසා ඇත. යුද්ධයෙන් පසුව නැවත යාපනයට යන මහළු දමිළ ජෝඩුවක් සහ ඔවුන්ගේ පුතුගේ සිංහල යාළුවෙකුගේ ගමන් අත්දැකීමකි, වසූමති පූජා.

කපිල ගේ ආඛ්‍යාන රටාව පාඨකයා කෙටිකතාවේ රඳවන සුළුය. එය කියවීමේ දි  අලසකාරි රූටන ගතියක් දැනිනි. එක් කෙටි කතාවක් පටන් ගත් කල එය කියවා අවසන් වන තුරු පොත පසෙකින් තැබීමට නොසිතුන ද, ඊළඟ කෙටි කතාව ඇරඹීමට එතරම් හදිසියක් ද නොදැනේ. ඒ, ඒ කෙටිකතාව තුල යම් කුහුලක් තබාගැනීමට කතුවරයා සමත් වෙතත්,  කෙටිකතාවක් අවසන් වන විට එහි සමස්ත ලෙස සුවිශේෂියතාව අඩු නිසා දැයි  සිතුණි.  කෙටිකතා හතෙන් හයක ම, යම්තාක් දුරකට සමාන ආඛ්‍යාන ආරක් - එනම් කෙටි ජවනිකා, දෙබස්  කිහිපයකින්  කෙටි කතාවේ කොටසක් කියා පා, පාඨකයාට ඉඩස මවා ගැනීමට බල කරනා ආරක් - ඔහු භාවිත කොට ඇත. එම භාවිතාව සාර්ථකය - පාඨකයා සොයනුයේ මේ තරමක් වියුක්ත කතා බසින්, ජවනිකාවෙන් ගොඩනැගෙන සමස්තය ගැන කුතුහලයෙනි.   මීට තරමක් වෙනස් වසූමති පුජා ය. එහි ගමන් විස්තරයක්  රැගත් නිසාදෝ තරමක් දීර්ඝ රේඛීය ආඛ්‍යානයක් ලෙස දිගැරේ. මෙම කෙටි කතා හතෙන් බහුතරයක් මතකයේ රැඳෙවියැයි සිතිය නොහැකි මුත්, කියවනා කාලයේදි පාඨකයා එහි තබා ගැනීමට කපිල සමත් වී ඇත.

***1/2
2019 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 7
ෆාස්ට් පන්ලිෂින් ප්‍රකාශනයකි.

Sunday 13 September 2020

කුමර කොබෙයි - ශමෙල් ජයකොඩි

 ප්‍රංශ පෙම්වතා, ශමෙල් ගේ නමවෙනි නවකතාව යැයි සිතමි. එතෙක්, ස්වර්ණ පුස්තක දිගු ලයිස්තුවට ද, අනෙක් සම්මාන දිගු ලයිස්තු වලට ද කිහිප විටෙක ඈ පැමිණ තිබුන ද, ඇගේ පොතක් කියවීමේ දොළක් මා තුල නොවීය. ප්‍රංශ පෙම්වතා ඒ සියල්ල වෙනස් කලාය. ඉන් අනතුරුව ප්‍රකාශ වූ ඇමෙරිකා, වීනස්ගේ උපත සහ කුමර කොබෙයි යන කෘති තුනම මා කියවා මහත් රස වින්දෙමි. මේ ඒ අවසනට කිය වූ, කුමර කොබෙයි ගැන සටහනකි.

මේ නවකතාව, මූලික වශයෙන්, මැදි විය එළිපත්තේ සිටින කාන්තාවක්, විවාහයක් කර ගැනීමේ ආශාවෙන්, මවක වීමේ දොළින්, ඈ පතන ප්‍රේමවන්තයා හමු වීමට වස්, කැනඩාවේ මොන්ට්‍රියෙල් සිට මහද්වීපයේ එහා කොණේ වූ සැන් ෆ්‍රැන්සිස්කු නුවරට යෙදෙන ගමනක් ඔස්සේ දිගැරෙන්නකි.  කෘතිය කිය වූ බොහෝ අය, පොත ගැන සතුටු මුවින් කතා කලෝ ය. අයෙක් මෙය travelogue ගණයට වැටෙනා බැවින් නවකතාවක් ලෙස එහි විශිෂ්ඨත්වය ප්‍රශ්ණ කලේ, කෘතිය රස විඳිබවද පිළිගනිමිනි. මහද්වීපයක් හරහා ගමන් කිරීමෙදී, එහි ගමන් විස්තරයන් නවකතාව රසවත් කලේ නැතිනම් එය අපරාදයකි. එහෙත්, "ශමෙල් ලකුණ" එය නොවේය- ඇගේ සුවිශේෂිබාවය ඇත්තේ, තම නිර්මාණ වල අපට හමුවෙන චරිත, ඉතා ස්වභාවික ලෙස ඔවුන්ගේ හොඳ, නරක, සාධාරණ-අසාධාරණකම්, ඔවුන්ට ආවේණික ජීවිත සූත්‍රය ( සූත්‍රගත කලා-නොකලා, එවැන්නක් අප සැමට ඇත ), පැහැදිලි ලෙස පාඨකයින් ට ගෙනහැර දැක්වීම තුලයි. මා කියවූ නවාකතා හතරේම, ඒ ඒ චරිත වල ආවේණිකත්වයනට යටත් ව මෙම ලක්ෂණය මා ඇගේ කෘති කෙරෙහි පැහැදීමක් ඇති කලේය.

මෙම නවකතාවේ, ප්‍රධාන චරිතය වන ඉන්දිකා ගේ ගමන් සගයින් වන්නේ අරුන්දතී සහ නිර්මලා ය. ඔවුන් පණ පොපියන, ජීවිතය විඳි, අට ලෝ දහමෙහි කම්පා නොවෙනා ලක්ෂණ පෙන්වමින්, ජීවිත් වීමට දැඩි අදිටනින් තීරණය කල කතුන් දෙදෙනෙකි. "සම්මත ඉරක්" දිගේ බොහෝ විට තම ජීවන ගමන ගෙවා තිබූ ඉන්දිකා ට, තම විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් නොලත් ජීවිතය පිළිබඳ ඉගැන්වීමක් මෙම දීර්ඝ ගමන අතර ලැබෙයි. එය දේශනාවක් ආකාරයෙන් නොවේ ( එවන් අවස්ථා ද නැත්තේ ම නොවේ) - එය අරුන්දති-නිර්මලා ජීවිත අන්දර ඇසීමෙන් ඈ ලබන්නකි. එම කතා බොහෝ විට සම්මතයන්ට අභියෝග කරන ඒවාය. පාඨකයා මනසින්, ක්ෂිතජය දක්වා දිවෙන වගා බිම් අතරින්, හෝ කාන්තාර භූමියක් මැදින් ඇදෙන මහමගක ගමන් ගන්නා අතර, එම නිදහස් ජීවන රටාවන්, තමනට හරි යැයි සිතෙන නිසා තමන් සූත්‍ර ගත කරනා ජීවන ආර ගැන කතා වලට ආශක්ත වෙයි. 



"මේ ඇමෙරිකානුවෝ කවදාවත් පරිපූර්ණ වෙන්න හිතන අය නෙමෙයි... ඒ අය
ඉන්නේ සියයට හැටේ සීමාවේ... ඒක තමයි එයාලගේ රහස..." ( 16 වෙනි පිටුව )

"අපි උඩ ඉඳන් පහළට වරද්දගත්ත ගෑනු... අපිට අපි ඉපදුණු රටත් නෑ... අපි බැඳපු පිරිමිත් අපි ළඟ නෑ... අපේ ළමයි අපි ළඟ තව කොයි කොච්චර කාලයක් ඉඳියිද දන්නෙත් නෑ..." ( 126 පිටුව )

මෙහි මා රසවත්බව සහ යම් දාර්ශනිකත්වයක ලඛුණු දකිනුයේ, මේ "වරදවාගැනීම" යනු ජීවිත යාත්‍රාවේ අවසන ලෙස නොසැලකීමේ ධෛර්‍යයි. මෙම නිදහස සහ ධෛර්‍යය  තවම, ලංකාවේ වසන කාන්තාවකට අයිති ද ? ජීවිතය විභාගයක් නොවන හෙයින්, කුමන තත්වයන් යටතේ හෝ හොඳ ජීවිතයකට හිමි කම් කීමේ අයිතිය ය ඔවුන් සමරන්නේ. මෙයයි මා මෙම කෘතියේ විශිෂ්ඨ ලක්ෂණයන් ලෙස දකිනුයේ.

"ජීවිතේ සම්පූර්ණයෙන්ම දිනන්න හිතන්න ඕනෑ නැහැ... එහෙම වුණොත් එතැනින් එහාට වැඩකුත් නැහැ, සතුටින් ඉන්න පුළුවන් තරමට ඒක ගොඩ දාගත්තාම ඇති." (134 පිටුව )

"අපේ ජීවිතේ හැබෑ ලස්සන නොදැක මැරෙන්න වෙනවා කියන්නේ හැබෑ දුකටත් වඩා දුකක්" ( 145 පිටුව )

 "'මේ රටවල කසාදයට වටිනාකමක් නැහැ කියන්න එපා....' නිර්මලා එකට එක කීවාය. ' මෙහේ අපි දන්න කවුරුවත් සෙල්ලමට කසාද බඳින්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ ජීවිතවල තවත් වටින දේවල් තියෙනවා... ගැළපෙන්නේ නැටි කසාදෙකින් අයින් වෙන්න උසි ගන්නන නීතියකුත් තියෙනවා... ගෑනු කැමතියි ළමයි හදාගෙන තනියම ඉන්න... ඒකයි ඇත්ත කතාව.'" (299 පිටුව)

එනුමුදු, මෙම කතුන් තිදෙනාටම තම උපන් රටින් පිට වීමට හේතු කාරණා විය. එය තම මවු පිය සම්බන්ධයක් හෝ, තම පෞද්ගලික දිවියේ හේතුවක් හෝ බිය. ඔවුන් එලෙස පැමිණ වසර 10-20 ගත වුවද, ඔවුන්ගේ ජීවන සූත්‍ර වලට ලංකාවෙන් තනිකර මිදීමක් ද නැත, එක අතකින් ඔවුන් "දෙලොවින් ම හොඳ දෙයින්" ( best of both worlds) සැනහෙති.

 දීර්ඝ ගමනක විඩාව පාඨකයා ට ද ගෙනෙනායුරෙන් පිටු 350ක් පුරාවට නවකතාව ගෙනයාම ඇවැසිදෝ නොසිතුණා නොවේ. එම සුළු දොස ඇරුණු කොට මෙය විවිධ තල වලදි රස විඳි කෘතියකි. මෙය මෙතෙක් ප්‍රකාශ වූ විද්‍යෝදය, ස්වර්ණ පුස්තක සහ ගොඩගේ යන සම්මාන ත්‍රිත්වය උදෙසා ම අවසන් වටයට නිර්දේශ විය. එය සාධාරණ තේරීමකි. වසරේ හොඳම නවකතාව බවට පත්වීමට තරම් ගම්‍යතාවක් නොවූවද, මෙය සිංහල නවකතා පාඨකයින් පමණක් නොව, ජිවීතය විඳීමේ වැදගත්කම සහ ඒ සඳහා තමනට ඇති සාධාරණ අයිතිය ගැන සිතන අය කියවිය යුතු නවකතාවකි.

****1/2
2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 6
විදර්ශන ප්‍රකාශනයකි







Saturday 12 September 2020

ආදරයේ සිමෙන්ති - එරික් ඉලයප්ආරච්චි

( මුල් වරට 2016 අගෝස්තු 22 වෙනි ලියූ පළ කල සටහනකි)


ආදරයේ සිමෙන්ති - එරික් ඉලයප්ආරච්චි
===========================
****


බගන්දරා, විතණ්ඩ සමය යන කෘතීන් ද්වයට, එක්කාසු වන තෙවෙන්නා ලෙස සාමාන්‍යයෙන් සැලකුණ ද, ඒ තරමක් බාහිරින් මෙනි.  පෙර කී කෘති දෙකේ අපට හමු වූ එකම චරිතයක් හෝ මෙහි පාර්ශව කරුවන් නොවන මුත්,වටපිටාව එයමය ( මීගමුව ); කාලපරාසයන් ද ඒවාම ය ( හැත දශකයේ අග සිට අසූව දශකයේ මුල දක්වා පමණ ). නවකථාවේ එන පරිදි, හැත්තැ එකේ කැරැල්ල නවකථාවේ හැරවුම් ලක්ෂ්යකි. උතුරේ යුද්ධය ගැන පැවසෙන මුත්, අසූ තුනේ දී එ.ජා.ප. ආණ්ඩුව විසින් දෙමළ ජනයාට සිදු කල කෝලහාල ගැන නොකියවේ. එනුමුදු මායිම් ගම්ම්මාන ගැනත්, ග්‍රාමාරක්ෂකයින් ගැනත් පැහැදිලිව පැවසෙන හෙයින්, අසූ තුනට පසු යුගය  ද, කෘතිය ට විෂය වූවකැයි ද සිතේ.

පෙර කී කෘති දෙක මෙන් නොව, මාක්ස්වාදි, දැඩි විනයකින් හොබවන පක්ෂයක් තුලට අවධානය යොමු වුණු කෘතියකි. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයීතිය පිළිගන්නා පක්ෂයකි එය. සම්මුඛ යුගයේ එවන් පක්ෂයක් දකුණේ තිබුණේදැයි නොදනිමි. නවකථාවේ ලියා පළ වූයේ 2004 වසරේ නිසා, අප රට පක්ෂ දේශපාලනයේ ඓතිහාසික ප්‍රවණතා පිළිබඳ ඉතා නිරවද්‍ය ස්ථානයක සිට විමසුමකට වඩා,  කෘතිය ලියැවුණු යුගයේ හා ඊට පෙර දශක දෙකක ට පෙර යුගය කෘතියට පාදක වූයේ යැයි සිතමි. එසේ සැලකීම නිවැරදි යැයි සිතීමට පක්ෂ දේශපාලනයට පරිබාහිර සමහර සිද්ධීන් ද රුකුල් දේ. නිදසුනක් ලෙස, සුදේෂ් ගරාජයේ සේවය කල අයූබ් හදිසි අනතුරකින් මිය යාමේ සිද්ධිය සලකන්න.

"පොලිස් පරික්ෂණ අවසන් වීමටත් පෙර මුස්ලිම් තරුණ පිරිසක් රෝහලට පැමිණ බලාත්කාරයෙන් මෙන් මෘතදේහය රැගෙන ගොස් අප නොදන්නා මොහොතක භූමදානය කරනු ලැබීය. අයුබ්ගේ ඡායාරුපයක් සොයාගෙන අවමංගල පත්‍රිකා දෙසීයක් පමණ මුද්‍රණය කරවීමට අප ගත් උත්සාහය ආගමික් විරෝධය නිසා නතර විය." ( 167 පිටුව )

මේ කෘතියෙන් වැඩිමනක් පෙන්නුම් කරනුයේ, දැඩි විනයකකින් පාලනය වුවද, අන් දේශපාලන පක්ෂ මෙන්ම අභ්‍යන්තරයේ ඇති දූෂණයයි.  පක්ෂයේ ප්‍රාදේශීය ශාඛාවේ ආඥ්ඥා චක්‍රය සිරිකුමාර සතු වුයේය. ඔහු තම පක්ෂ සාමාජිකාවන් ද, මිතුරන්ගේ සහෝදරියන් ද තම් වසඟයට ගත්තේ ය. ඔහුගේ ස්ථානය අභියෝග කල ප්‍රදීපා වන් මාක්ස්වාදයට වැඩි වපසරියක් නිමැවීමට යත්න දරන්නියන් හට පහර දුන්නේය. ප්‍රදීපා ගේ මතවාදය එක් තැනෙක ඉතා සොඳින් නිරූපිතය.

"ඒ අයුරින් කිසියම් පක්ෂ සාමාජිකයකුට සංගීත රගකයකු හෝ රසායන විද්‍යාඥයකු හෝ එච්.ගී. වෙල්ස්, ආතර් සී. ක්ලාක් වැනි විද්‍යා ලේඛකයකු හෝ ක්‍රිකත් ක්‍රීඩයකු හෝ ලෙස පක්ෂය තුළ සිටිය හැකිය. එහි සිටින සියල්ලන් එකම අච්චුවක බහා සාදන ලද එක සමාන විකට රූප විය යුතු නැත. ප්‍රහසනයට මෙන්ම ඛේදාන්තයට ද, භාව ගීතයට මෙන්ම වීර කාව්‍යයට ද වාමාංශික දේශපාලනය තුළ ඉඩක් තිබිය යුතුය. එය සතුව තිබිය යුත්තේ නිලධාරිවාදී නායකත්වයක් නොව ජීවිතයේ තිත්ත රස පවා දිවට දැනෙන සංවේදි කලාකාමි නායකත්වයකි. ඇගේ ආදර්ශ රූපය වී තිබුණේ ටොල්ස්තෝයිගේ නවකථා, පුෂ්කින්ගේ පෙම් කවි සහ බේතෝවන්ගේ සංගීතය අගය කල ලෙනින් ය." (144 පිටුව )

බගන්දරා සහ විතණ්ඩ සමයට සාපේක්ෂව මෙය පාඨකයා වේගයෙන් පිටු පෙරලවීමට පොළඹවන ආරේ කෘතියක් නොවේ. අන් තැනෙක ද පවසා ඇති පරිදි, ඉලයප්-ආරච්චි, බගන්දරා වලින් පටන් ගෙන, විතණ්ඩ සමය තුලින් ද අවධානය යොමු කල අප රට වාමවාදි දේශපාලනයේ විවිධ පැතිකඩ, පුද්ගලයින් ආදිය, මේ කෘතිය තුල ආසන්න ඍජු නිරීක්ෂණයකට පාත්‍රවන්නා සේය. ඔහු මීට වසර කිහිපයකට පෙර ලියූ  පාදයාත්‍රා තුලින්, අප රට වාමවාදි දේශපාලනයේ තවත් චරිත ස්වභාවයක් ඔහු තම අවධානයට යොමු කරයි.



අයෙකු ට මෙහි එන චරිතයන් පරිපූර්ණයෙන් ගොඩනගා නැති බවක් හැඟීමට පුළුවන. කථිකයාට අමතරව අපට තරමක් හෝ හොඳින් දැන හඳුනා ගත හැකි චරිතයන් වනුයේ සිරිකුමාර, ප්‍රදීපා, ලතා නංගි සහ ගෞතමදාස ය. ඉන් සිරිකුමාර මෙහි මුඛ්‍ය චරිතය යැයි සැලකිය හැකිය. බිඳුන නිවෙසකින් පැමිණෙන ඔහු, සම්මත ස්ත්‍රී-පුරුෂ සබඳතා පිළිබඳ විශ්වාස නොකරන සේ ය. "ආදරයේ සිමෙන්ති" යන වදන් සම්බන්ධ කරගන්නේ කෙසේදැයි සිතුණු මුත්, ඒ පිළිබඳ සාධාරණ අදහසක් මතුකරගැනීමට නොහැකි වුනැයි සිතමි. පෙරවදනක් සේ සිරි ගුනසිංහගේ කවියන් උපුටා දක්වන්නේ,
"ආදරයේ සිමෙන්තියෙන්
එක්‍ රැස් කොට සිඟිති කැබලි
මගෙ පිලිමය ගොඩනඟන්න
ඔබෙ හද කෝවිල ඇතුලේ"

මේ කවේ තමන් කෙරෙහි අධිතක්සේරුවක ඡායාවක් ඇඟවේ. එනම් මේ කව සිරිකුමාර සිතනායුරු නියෝජනය කරන්නක් ද ? ඊට ඔබ්බෙන්, සම්මතයෙන් අසම්මතයට, සදැසින් නිසදැසට යොමු වූ යුගයක් නිරූපනය ට මේ කව භාවිත කලේ ද ?

****
නවකතා
2004 ගොඩගේ ප්‍රකාශනයකි

විතණ්ඩ සමය - එරික් ඉලයප්ආරච්චි

(පළමු වරට 2016 අගෝස්තු මස 14 වන දින පළ කල ලිපියකි.)

එරික් ඉලයප්ආරච්චිගේ "විතණ්ඩ සමය" කියවූවෙමි. මේ කෘතියේ දෙවෙනි වර කියවීමයි ( පළමුවැන්න මීට සිව් වසරකට පමණ පෙර ය ).

බගන්දරා වලින් පටන් ගන්නා මාහිමගොඩැල්ල නම් මීගමුව ආශ්‍රිත ගම්මානයේ කුසුමාවති සහ ඇගේ පවුලේ උදවියගේත්, ඒ වට පිටාවේ තත්කාලීන රටේ සිදුවීම් අනුසාරයෙනුත් ගෙතුණු  නවකථාව, එහි දෙවෙනු අදියර ට පා තබන්නේ මධ්‍ය ලක්ෂය මීගමුව නගරය කොට ගෙන සේය. මද්දුමිලා, මාඕ මාස්ටර්, නීටා යන චරිත සමඟ නවකථාව තවමත් සුපොෂිත මුත්, කුලසිරි ද ප්‍රධාන චරිතය ද යන්න කුකුසක් වන තරමට ධනවත් බෙල්ලන ව්‍යාපාරික පවුලත්, වෙළඳාම කේන්ද්‍රීය වූ මීගමුවේ, ලයනල්, ඇන්ටනි වන් චරිත පිළිබඳ අවධානය යොමුකෙරේ. 


මේ යුගය විතණ්ඩ සමය නම් ලද්දේ ඇයි දැයි කුකුස් දනවන කාරණාවකි. නවකථාව හැඳුන්වනු වස් සිඛවලද අටුවාවෙන් ගෙනහැර දක්වන්නේ විතණ්ඩවාදය ද ලෝකයාතවාදයකි, සසර දිගු කරනු වස් භාවිත හේතුවාදයකි, වශයෙනි. බගන්දරා කෘතියේ දී සියදෝරිස් දැඩි සමාජවාදි මතයේ එල්බ, අකර්මන්‍ය ජීවිතයක් ගතකරනුයේ මුත්, මෙහි එන නාගරික වෙළඳ ප්‍රජාව, තම අරමුණ සහ ඔවුන් ට දැනෙන අයුරෙන්, තාවකාලික හෝ හිතසුව උදෙසා, ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙන්නෝය ; ඔවුන්ගේ මතවාද යනු වර්තමාන වටපිටාව සහ වාසිය උදෙසා භාවිත එකකි.

මේ නවකථාවේ උක්ත කාලපරාසය අසූව දශකයේ මැද භාගය ය.  කොටි ත්‍රස්තවාදී ක්‍රියා වලින් දකුණ පෙළුණු යුගයකි එය. ඉදින් රටේ තිබුණු අනාරක්ෂිත තත්ත්වය ද මේ නවකථාවේ සැලකිල්ලක් මතු වන මාතෘකාවකි. ලේඛකයා මෙතෙක් කලක් සමගියෙන් විසූ ජන වර්ග සහ ජාතියක් තුලින් එය බිඳි යන්නේ කෙසේ ද යන්න ගැන ද උපෙක්ෂක ව තම විචාරක නෙත යොමු කරන්නේ මීගමුව ම නිදසුනක් කරගෙන ය. සිංහලත්වය වෙනුවෙන් පෙනී සිටින්නෝ සියළුදෙනා බෞද්ධ නොවන වග ට මෙහි කරුණු කියවේ.


මෙහි සමහර සිද්ධීන් සත්‍ය සිදුවීම් යැයි සිතේ. මරදාන බෝම්බය වන් සුපැහැදිලි සිද්ධීන් නොව, මෙහි එන  මීගමුවේ මහින්ද මාර්කැට්ටුවේ ගිනිතිබීම ආදි සිද්ධීන් ගැන ය මා පවසන්නේ. ඒ පිළිබඳ දත් අයෙක් වෙත් නම් අප දන්වනු මැනවි.


විතණ්ඩ සමයෙන් ඔබ්බට ඉලයප්ආරච්චි කියවීම: - මේ නවකථාවේ රිද්මය ගැන ද යමක් කීම උචිත යැයි සිතේ. බගන්දරා හැට හැත්තෑව දශකයේ වේගයෙන්, මන්දගාමීව ගලාගිය යුගයක්   පිළිබඳව ය. එහෙත් ධාවනාකාරි අසූව දශකය මීට සාපේක්ෂව වෙනස් ය ( අසූව දශකය ට සාපේක්ෂව අද යුගය විදුලි කෝච්චිය ක් ආකාරයට ය; නුමුත් එය අනෙකකි, නවකථාව ට අදාළ නැත ).එම යුගයේ වූ වෙනස්කම් රැසකි; ඒවාද වේගයෙන් සිදු වුණි. සමහර වැදගත් සිද්ධියක් තවත් දෘෂ්ඨිකෝණයෙන් නොවැදගත්ය. ඒ අනුව ෂෙල්ටන්ගේ මරණය සිදුවීම නවකථාවට එය සිදුවන විට මාතෘකා නොවේ. එය අතීතකාලයෙන් සාපේක්ෂ වශයෙන් අඩු වැදගත්කමෙන් කියවෙන්නකි.  මරදාන බෝම්බයෙන් පසුව සිදුවීම් ගැන කථා කෙරුණ ද, ඉන් අනතුරට පත් වූවන් කෙලෙස ඊට ගොදුරු වී ද යන්න සඳහන් නැත.පළමු වතාවේ නවකථාව කියවන විට මේ වේගයේ වෙනස මට  නවකථාව රස විඳීමට බාධාවක් විය. සමහර විට මට අවශ්‍ය වූයේ තවත් බගන්දරා වේගයෙන් දිගැරෙන නවකථාවක් වන්නට ඇත. එහෙත් මෙය නැවත කියවන විට කතුවරයාගේ වේගවත් ආඛ්‍යායනය නවකථාවේ යුගයට උචිත බව වැටහේ. එපමණක් නොව කතුවරයා මින් මතුව, මෑත යුගයන් අලලා ලියූ ලලිත සමය සහ පාදයාත්‍රා කෘතීන්හි ද මේ වේගවත් ආඛ්යායන දැකිය හැකිය. එය සැම අයුරින් ම ඒ වකවානුවට උචිතය. විතණ්ඩ යුගයෙන් පසුව ලියැවුණු ආදරයේ සිමෙන්ති ( එය නැවත හැත්තෑව දශකයේ මුල් වකවානුව අලලා ලියැවුණකි - අන් දිනෙක සාකච්ඡා කල යුතු වෙනමම කථාවකි ) නැවත බගන්දරා නවකථාවට ආසන්න වේගයෙන් දිගහැරෙන්නකි. ඉලයප්ආරච්චි තම ආඛ්යායනන් උදෙසා මේ පිළිබඳව සැලකිලිමත බව මම සිතමි. ඔහුගේ කියවන නවකථාවක් පාසා, අද වන විට පරිණතම සිහළ නවකථාකරුවා ඔහුම යැයි මට තහවුරු වේ. මා තවම ඔහුගේ කෙටි කථා කියවා නැති හෙයින් ඒ ගැන නිහඬ මුත්, ඔහුගේ කවි බොහෝ සෙයින් රළු, හැඟීමෙන් අල්ප, උපෙක්ෂක නිරීක්ෂණයන් මෙන් ය. එහි සුන්දරත්වයක් නැත්තේත් නොවේ. එහෙත් ලක්ෂාන්ත අතුකෝරාළ, මංජුල වෙඩිවර්ධන ආදී නව යුගයේ කවියන්ගේ භාෂා පෙළහැර ඉදිරියේ, හේ තවත් එක් කවියෙක් පමණකි.

(  මේ මෙම කෘතියේ දෙවෙනි කියවීමයි - පළමුවැන්න 2012 සැප්තැම්බර පහළොව ලෙස, එදවස ලියූ සටහනක සඳහන් ය. කලක් මේ කෘතිය මුද්‍රණයේ නොතිබීම හේතුවෙන්, මෙම වාර දෙකේ දි ම කොළඹ මහජන පුස්තාලයෙන් ගෙන කියවූවෙමි. පළමු වර කියවීම, එකල මා සේවය කල දෝහා නුවර සිට ඊද් (Eid) නිවාඩුව අලලා ලංකාවට ආ විටය. ඉන් අනතුරුව 2017 මෙහි අලුත් මුද්‍රණයක් නිකුත් ව ඇත. )

****
ගොඩගේ මුද්‍රණයක් ( 2002 / 2017 )

Monday 7 September 2020

වැරදිකාරි ආතතියට අසංවේදී වීම

 


අවස්ථාව 1: මගේ අසල්වැසියෙකු අසත්‍ය ලිපිනයක් තම දියණියගේ ජන්මදින සහතිකයේ ඇතුලත් කර, ඒ දරුවා කොළඹ විශාඛා විදුහලට ඇතුලත්කරලීමෙන් අනතුරුව, පසු ගිය දින වල එම ලිපිනය රැගත් නිවසෙහි තාවකාලිකව විසුවේ, තමන් මුළු පිරූ එම කර්තව්‍යයේ අවසානය සාර්තකත්වයක් දකිනු පිණිස ය. ඔහු ඉතා සූක්ෂම ලෙස සිදුකල එම කර්තව්‍යය,  සැලසුම් කල බවට සිතිය හැක.

ඔහු ට එම වැරැද්ද ගැන ආතතියක් වීද යන්න ගැන මම නොදන්නේ ඔහු හා මා අතර ආශ්‍රයක් නොවන නිසාය. ඉහත කථාව ද මා මගේ අම්මාගෙන්  දැන ගත්තෙකි.

අවස්ථාව 2: වාහන තදබදයෙන් බෙරීම උදෙසා අනේක ඇතුළු පාරෙන් කාර්‍යාලයට යන මා,  මෑතක අපූරු අත්දැකීමක් ලැබීය. ඒ රාජගිරිය ගෝතමි පාරේදී ය ( සාමාන්‍යයෙන් ද පරෙස්සමින් ගමන් ගත යුතු පාරකි.)  ඉදිරියෙන් ගිය ත්‍රී රෝද රථය හදිසියේ පාර මැද නැවතීය. නවතා පාරේ, එම රථය ගිය දිශාවට ගමන් කර සිටිමින් සිටි කාන්තාවක් ඇතුලත් කර ගත්තේය. මා එම රථයේ ගැටීම වලක්වා ගත්තේ යම් අපහසුවෙනි.තිරිංග සංඥ්ඥා හෝ පැති  සංඥ්ඥා හෝ නොදල්වා හදිසියේ ත්‍රි රෝද රථය මගහිටි හෙයිනි. මා එම රථය පසුකරමින් නළාව නගා  අප්‍රසාදය දක්වමින් ඉදිරියට ඇදුනෙමි. ඊට මීටර තුන් හාරසීයකින් පමණ ඈතින් මගේ රථය නතර කලේ මාර්ග සංඥ්ඥා හේතුවෙනි. අර ත්‍රි රෝද රථය ඉදිරියට විත්,  රියදුරු පස නවතා, මෙසේ පැවසීය

ඔහු: "මේ මගේ අක්කා. මම මෙයාව දැක්කාම පාරේ නවත්තලා දාගන්නවා. ඔයා හෝන් ගහන්නෙපා. මොකද ඔයා ගවනර් ජෙනරල් ද? පොඩ්ඩක් ඉන්න"

මම: " බ්‍රේක් ලයිට්, සිග්නල්, මොකුත් නැතුව පරේ හිට්ටම හරි යනවද ? තව පොඩ්ඩෙන් වදිනවා"

ඔහු: "ඒකට ඔයා අඩි තුනක් පිටුපස්සෙන් තියං එන්න. පොඩ්ඩක් ඉන්න මම නැවැත්තුවම. මොකද ඔයා ගවනර් ජෙනරල් නෙමෙයි නේ", කියා ඔහු ඉදිරියට ඇදුනේ සංඥ්ඥා මාරු වූ නිසා ය.

ඔහු නෑදෑ කම් පාර මැද සලකද්දී, මම 'ගවනර් ජෙනරල්" නොවන නිසා නළාව නොනගා  ඉවසිය යුතුය. ඔහු "දඩස්" ගා නැවතීම, මා ආරක්ෂාකාරීව ඉවසිය යුතුය. මම ගවනර් ජෙනරල් නොව, හමුදාවේ හෝ පොලිසීයේ හෝ වී, වෙනස් ප්‍රතිචාරයක් දැක්වූවා නම් ඔහු ඔළුව කසා වෙනස් යුරකින් මගේ හැසිරීම ඉවසනු ඇත.

ඔහු වරද පිළිගැනීමට හෝ ඒ ගැන සංවේදී හෝ නැත. වැරද්දක් කිරීම ගැන ආතතියක් ඔහු ට නොවීය. රාජගිරියේ ත්‍රී රෝද රථ රියදුරෙකු හා ගැටීම ගැන මට නම් ආතතියක් දිනය පුරාම විය...

අවස්ථාව 3: මේ දින වල  ශමෙල් ජයකොඩි ගේ කුරුලු කොබෙයි කියවමිනි. එහි මෙවන් කොටසකි;

"'ඉන්දිකා ඉතින් ආශිර්වාද ඇතුව මේ රටවලට ආව කෙනානේ... මම නිකම්ම නිකම් ගෘහ සේවිකා රස්සාවට සවුදි ආව බදුල්ලේ ගමක කෙල්ලක්... මම කැනඩාවට ආවේ මගේ ක්‍රමයට." අරුන්දති කෝමල හඬින් සිනාසුණාය. "හැම දෙයක්ම කරන් හරි විදිහක් තියෙනවා... වැරදි විදිහකුත් තියෙනවා...ඒත් අපි අමතක කරන්න හොඳ නැහැ අපිට අපේ විදිහකුත් තියෙනවා කියලා..."

ඇය මට ඇගේ රැවටිලිකාර අතීතය ඇද බෑවේ කිසිදු ලජ්ජාවකින් තොරවය.' (128 පිටුව)

මා දන්නා අය අතර ද නීති ප්‍රකාරව සංවර්ධිත රටවලට සංක්‍රමණය වූ අය මෙන්ම, "කෙසේ හෝ ගොස්" පසු ව "නෛතික" පුරවැසියන් වූ අයද වෙති. එම රට වල අධිකාරීන් මේ බැව් දන්නා අතර, ඔවුන් ද ඒ ගැන තොරා බේරා, නීති ක්‍රියාත්මක කරයි. වරෙක ප්‍රංශ ජනාධිපතිවරයෙකු, ජීවිත අවදානමකින් දරුවෙකු බේරා ගැනීම හේතුවෙන්, මෙලෙසෙ අනවසරින් ප්‍රංශයේ විසූවෙකු ට එරට පුරවැසිකම ලබා දුන්නේ ඔහු ගේ වීරත්වයට කෙරෙනෙ පිදුමක් ලෙසය. එනම්, වරදකාරි බව ඉවසාගෙන යම් කාලයක් සිටියහොත්, එම වැරැද්ද, වැරැද්දක් නොවන දවසකුත් උදාවනු ඇත. ක්‍රමය තියෙන්නෙ, යම් කාරණාවක් මගින්  තමන් තමන් ව ඒත්තු ගන්වා, තමන්ගේ වැරැද්ද ගැන අසංවේදි වී, ඉවසීම ය. මීට ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ හේතුන් මෙන්ම එසේ නොවෙන කතා ද කිවිය හැක.

 අවස්ථාව හතර: මම. මා ද මේ කාරණාවේ දී විවිධ අවස්ථා වල දි  වරදකාරී ය. අනේක අවස්ථා වලදි, බිරිඳ ඉල්ලු යම් උදව්වක්, නැතහොත් මා කල යුතු දෙයක්, කල් දැමීමේ දෝෂයෙන්, ඒ ගැන ඇය තම අසන්තෝසය පළ කරන සඳ, එය ඉවසාගෙන සිට ඇත. ඒ, ඉන් කෙටි කාලයකින් ඇගේ එම අසන්තෝසය පහව ගොස් අප අතර යථා තත්ත්වය ඇති වෙන බව දන්නා හෙයිනි. මා ද මෙහි දී කරනුයේ තක්කඩිකමකි. එනම් තාවකාලිකව වැරදි සහගත බව විඳදරා ගෙන සිටීමේ කපටිකමයි.

මා මේ අවස්ථා හතරක් ගෙන පෑවේ, අපි විවිධ මට්ටමින්, දැන දැන වැරදි කරමින්, අන් ලෝකයා ඊට දක්වන ප්‍රතිචාර හමුවේ, අප වෙත එන වරදකාරී හැඟීම ඉවසා පියා සිට, අවසන අප අරමුණු ලඟා කරගත හැකි බව දන්නා නිසා ය. ඉහත කී අවස්ථා හතරේ දී ම, අයෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු ව දඩකෑමක් හෝ සිරබාරයට ලක් වීමේ ඉඩ අඩුය. තෙවෙනි අවස්ථාවේ, එවැන්නකට යම් ඉඩක් තිබුන ද, එම ප්‍රයෝගය සාර්ථක වුවහොත් ලැබෙන මහඟු අවස්ථාව සහ,  බැරිම උනොත් නැවත ලංකාවට  එවීම යන ප්‍රතිඵළ හමුවේ, යම් අවදානමක් ගත්තාට කමක් නැතැයි සිතන හෙයිනි.දාර්ශනිකයින්, මිනිසා ගේ මෙවන් ක්‍රියාවන් පිළිබඳ  තම මනැස් මීට පෙර යොමු කොට ඇති බවට සැක නැත. මට මෙම අදහස් ඇති වූයේ ඉහත කී අවස්ථා හතරින් මුල් තුන ම, මෑතක සිදු වූ හෙයිනි.

මෙය අවංකත්වය පිළිබඳ ගැටළුවකි. අප කවුරුවත් 100% ක් ම අවස්ථා වලදි අවංක නොවේ. අපි අපිට ම අවංක නොවෙන අවස්ථා ද  ඇත. එවන් අවස්ථා තිබෙන තාක් කල් අනුන් ඉදිරියේ සැම විටම අවංක වෙතැයි බලාපොරොර්ත්තු විය නොහැකි, යැයි සිතමි.  ප්ලේටෝ, කීකෙගා'(ඩ්) ආදීන් මේ ගැන දීර්ඝව කතා කොට ඇති බව අසා ඇතත්, ඒ පිළිබඳ කියවීමට තවම කරුණු යෙදුනේ නැත.  මා මෙම ලිපියේ අලුත් අදහසක් ඉදිරිපත් කරන බවක් නොසිතමි. මා වැඩි මනක් අවදානය යොමු කලේ "වාසි සහගත ලෙස, තාවකාලික ව තමන් සතු වරදකාරි හැඟිමට අසංවේදී වීම" ගැන ය.

සංවාදයට විවෘතයි.


Friday 4 September 2020

මොන තරම් අවුලක්ද - අජිත් තිලකසේන

 ( 2020 හොඳම කාව්‍ය සංග්‍රහයට විද්‍යෝදය සම්මාන )








සමහර කවි පොත් තියෙනවා කියවා ඉවර කරන්න බැරි

නෑ, නෑ, අනෙක් සාමාන්‍ය කවි පොත් වලට ත් වඩා..

එක්තරා නිශ්චිත මොහොතක ට, සිද්ධියකට අදාළ හැඟීම් පෙළක්...

එවගේ හැඟීම් පෙළක්, කවියා ගේ ම රළු වචන පාවිච්චි කරලා ලිව්වාම, ඒවා එක පාරට ම වදින්නේ නෑ...

 හතර පස් පාරක් කියවන්න වෙනවා...

එතකොට අමුතු ආස්වාදයක් තැපෑලෙන් වගේ එනවා

 දවස දෙක තුනකට පස්සෙ, කලිං වැදිච්චි නැති කවියක් කියෙව්වාම,  පැහැදිලිව  පෙනෙන්න ගන්නවා ..

නැත්තං කලිං දවසේ පෙනිච්චි ටිකවත් පේන්නැතුව තවත් අසරණ වෙනවා

මොන තරම් අවුලක්ද

එතකොට මේ පිටු 51 ට, කවි පංති 23 ට සීමා වෙච්චි කවි පොත කියවලා ඉවර උනා කියන්නේ ම, මුලාවක් ද

සමහර කවි වැන් ගෝ (  වැන් ගොෆ් / වන් ඛො ) ගේ චිත්‍ර වගේ

ඔහු ම හඳුන්වා දුන් අකුරු ඌරුවක් පාවිච්චි කලා ම,  වියුක්ත බව තවත් දැනෙනවා

ඉතින් මම මට ම කියා ගන්නවා මම කවි පංති 23 කියෙව්වා කියලා..

මං මාව ම විශ්වාස කරයි ද  මට ම විශ්වාස නෑ...

 ඔහුගේ තරුණ කවි වලට  උදාහරණ කීපයක් මේ ලියවිල්ල අස්සෙ  එල්ලනවා, අකුරු රටාවේ අපූරුව මට ලැබිලා තියෙන කීබෝඩයෙන් මවන්න බැරි හින්දා... 

 

 

මොන තරම් අවුලක්ද

මට වඩා තිලකසේන කියවන්න පුලුවන් කෙනෙක් මේ අවුල ලෙහනවා නම්...






****
(2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීම - 3)

සරසවි ප්‍රකාශන (2019)

Thursday 3 September 2020

ඈත දුර ඈත - ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද

 "You say you're lookin' for someone                         
Who will promise never to part
Someone to close his eyes for you
Someone to close his heart
Someone who will die for you and more
But it ain't me, babe
No, no, no, it ain't me babe
It ain't me you're lookin' for, babe"

මෙම ගීතය සුප්‍රසිද්ධ ගායක බොබ් ඩිලන් ගේ මා කැමති ගී ගොන්නෙන් එකක, කොටසකි. නවකතාවේ එක් තැනෙක, එම නම  නොදන්නා කතා නායිකාවගේ පැරණි පෙම්වතා මේ ගීය ඇය වෙනුවෙන් ගයයි. නොසිතා ම වුව, ගීයේ යම් අදාළත්වයක් ද ඇත. නවකතාවේ එක් ප්‍රධාන මාතෘකාවක්,  ඔහු හැර යාමෙන් පසුව අවුරුදු හතරකට වැඩි කාලයක් නැවත ඇය තමන්ගේ දිවිය යථා තත්වයට ගෙන ඒමට දරන වෑයමයි. එම කාලය අතරතුර ඈ  සුළු මොහොතකට, රැයකට යම් ඇසුරක් පතුව ද, දිගු කාලීන සබඳතාවනට, ආදරයට බිය විය. කතුවරිය, හොංකොං රටේ ජන ජීවිතයේ වේගය, ස්ථාවාර සබඳතාවනට රුකුල් නොදෙන ආර ගැන නොයෙක් දේ පවසයි.
මෙහි එන කෙටි කාලීන බැඳීම, අප රට බහුතරයකට නුහුරු වන්න ට පුළුවන; එහෙත් නිදහස් ජීවිත ගත කරන මිනිසුන්, කෘතීම කොටු තුල ජීවත් නොවෙති. කතා නායිකාවගේ මිතුරු මිතුරියන් ආශ්‍රයෙන් ද, ස්ථාවර සබඳතාවනට ඇති බාධාවන් පසක් කරයි. වාණිජ නගරයක් වන හොංකොං දිවි පැවැත්ම, එහි අනේක අවස්ථාවන්, සන්නාම නම් රැගත් බඩු භාණ්ඩයන්, සුර පුර සැප විඳිනා අය මෙන්ම, බලු කූඩු වන් කුඩා පෙදෙස් වල ජීවත්වන පීඩිත පංතිය ආදි බොහෝ දිසාවන් අලලා මෙම නිර්මාණය බිහි වී ඇත.

මෙය කියවාගෙන යන අතර, මෙහි ශානරය පිළිබඳ සහෝදර පොත් කියවන්නියන් අතර වාද ඇති විය. අයෙක් මෙය චික්-ලිට් ( chick-lit), හෙවත් තරුණියන් ට ආකර්ශනය වන ආරේ මාතෘකා මත ලියැවුන්නකයි පැවසීය. එම ශානරයේ පොත් මා කියවා නැති හෙයින් මට ඒ ගැන යමක් කිව නොහැකි ය. යෞවනියන් ට ආකර්ශනීය වන ප්‍රේමනීය, සරාගී ජවනිකා මෙහි ඇති බව සත්‍ය වුවත්, ඒ තරම් ම බරක් හොංකොං දිවි පැවැත්ම වෙනුවෙනුත් වැය කොට ඇති බවකි මට නම් හැඟී ගියේ. එනයින් මෙය chick-lit ලක්ෂණ වලින් හෙබි වුවද, කතුවරිය ට හොංකොං වන් වාණිජත්වයේ ඉහළට ම නගුණු රටක දිවි පෙවෙත කතාකරනා නිර්මාණයක් බිහි කරලීමේ උවමනාව ද තිබූ බවකි මට හැඟෙණුයේ. 

2018 වසරේ ප්‍රකාශ වූ කෘති කියවා අහවරයි යැයි සිතා සිටි අවස්ථාවක, කියවීමට කරූණු යෙදුනෙන් මෙය කියවීමි. වේගයෙන් කියවාගෙන යාමට රුකුල් දෙන සරල ආරකින් ලියා තිබුන ද, කතුවරියගේ ලිවිමේ ශෛලිය පැහැදිලිය, බස නිරවුල් ය.  එය ආඛ්‍යායන ගලා යාමේ වේගයට රුකුලකි. නවාකතාවේ ස්වභාවික ගලායාමේ වේගය ට අනුකූල ලෙස පිටු 372ක් පුරා ඇදුන ද, එය මීට වඩා තරමක් සංක්ශිප්ත වූවා නම් හොඳ යැයි සිතෙනුයේ, මෙහි එන සමහර විස්තර අත්‍යවශ්‍ය ද යැයි හැඟුණෙනි. ඉංග්‍රීසියෙන් මෙම ආරේ නවකතා අනේක ලියවී තිබෙන්නට පුළුවන. එහෙත් සිංහලින් ලියැවුණු මේ ආකාර කෘති අතර මෙය ඉදිරියෙන් ම තිබෙනු ඇතැයි මා අනුමාන කරමි. ප්‍රමුඛ ලෙසින් සිංහලින් කියවන්නියකට, සරල පෙම් කතාවකට වඩා ඉදිරියට ඇදෙන, විටෙක සබැඳියාවන් ගැන සිතන්නට තුඩු දෙන කෘතියකි.

***1/2
නවකතා - 2018
විදර්ශන ප්‍රකාශනයකි

Tuesday 1 September 2020

කොට තුවක්කු - ප්‍රියන්ත ලියනගේ

 මේ පොතේ නම මට ප්‍රථම වරට නෙත ගැටුණේ, 2019 ප්‍රකාශ වූ පොත් ගැන මුහුණුපොත් සංවාදයකදී ජයන්ත කහටපිටිය ගේ ඇගයීමක් හේතුවෙනි. එතනින් ඔබ්බට සොයද්දි, සුදර්ශන සමරවීර පොත දොරටවැඩුම දින කල දෙසුමේ අදහස් කිහිපයක් නෙත ගැටුණි. එහි ඔහු දක්වා තිබූ අදහස් අනුව,  එය දරුණු දේශපාලන කතිකාවතට මගපාදන බවට ඒත්තු ගියේය. මහජන පුස්තකාලයෙන් පිටපතක් බැහැරට ගෙන කියවන අතරේ ය, ගොඩගේ දිගු ලයිස්තු නිර්දේශ අතර ට කොට තුවක්කු එන්නේ. පොත කියවා අනතුරුව මට සිතුනේ, මෙහි පිටපතක් මා සතු විය යුතු බවකි. පොතක් කියවා හමාඅර් වූ පසු එහි පිටපතක් අයෙක් සතු යැයි සිතන්නේ නම්, එහි යම් සුවිශේෂිත්වයක් තිබිය යුතුය.

ලේඛකයා '71 සහ '89 කැරැලි වලට උරුමයක් සහ ඍජු සබඳතාවක් තිබුණු බවක් "කැරලිකාරයකුගේ පුනරාගමනය" හි දි ඔහු පවසයි. මෙය අනිවාර්‍යයෙන් "දේශපාලන උණෙන්" තම දිවියේ වැඩි කොටසක් ගෙවූ අයෙකුගේ නිර්මාණයක් බවට පැහැදිලි

ලකුණු, පළමු පිට කියවන්නටත් පෙර දිස්වේ. සමස්ත වශයෙන්, මෙය  එක්තරා දකුණේ පක්ෂයක් ගත් තීරණත්, ඒ අනුව සිදු වූ ඔවුන්ගේ විනාශයත්, ඊට සමාන්තරව උතුරේ ස්වරාජ්‍යයක් ගැන සිහින මැවූවන්ගේ විනාශයත් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් වැනිය.

"සෝවියට් දේශයට ගිය රාජ්වීර් සහෝදරයා සමාජවාදෙ දැක්කෙ සමූහ ගොවිපොළවල් ඇතුළෙ. අපි හැමෝම ගිනිකණා වැටුණෙ ඒ සමූහ ගොවිපොළව සමාජවාදෙන්, හැබැයි ඒ සාමූහිකත්වය හදලා තිබුණෙ සුළු දේපළ හිමියන්ව බලහත්කාරයෙන් එකතු කරල. 'පෙරළු නැවුම් පසෙන්' සමාජවාදය දැක්ක අපි ඒක ඇතුළෙ තිබ්බ බලහත්කාරය දැක්කෙ නෑ. ...    ඒ ආකෘතිය ඔළුවෙ තියාගෙන මෙහෙ ආවෙ නැතත් රාජ්වීර් සහෝදරය මෙහෙ ඇවිල්ල කම්කරුවො හෙව්වෙ ගොවිජනපද ව්‍යාපාරෙ ඇතුලළෙ....  ගොවි මානසිකත්වය නිතරම බැඳෙන්නේ භූමියත් එක්ක. එතකොට ජාතිකවාදය එන්නේ එයාගෙ අධ්‍යාත්මය ඇතුළෙන්මයි. ඒකෙ තර්කානුකූල ප්‍රතිඵලය අපේ ව්‍යාපාරෙට වෙච්චි විනාසෙ කියලා අහ මට හිතෙනව. අපි කළේ මේ ගොවියො ටික අරන් නොදන්නා අනුරාධපුරයක වන්දනාවෙ යාම. අන්තිමට අපි විප්ලවය වෙනුවට ජාතිය කියන මල් වට්ටිය අරන් එකම වටරවුමක් කරකුණා. ජාතිවාදියො ඒ වට රවුමෙ අටවල තියෙන උගුල්වල අපි පැටලුණා. මේක උතුරට වගේම දකුණටත් පොදු උගුලක්... " ( 285-286 පිටු )

ඉතින් මේ පශ්චාත් මරණ පරීක්ෂණය ට බාහිරව අනාගතයේ බලාපොරොත්තුවක් ලෙස ආදරයේ දේශපාලනය පිළිබඳ ඉඟි කරයි. එය දැනටම යම් පමණකින් අදාළ පක්ෂයේ ක්‍රියාකාරිත්වය තුල දකින්නට ඇත ( ඔවුන් පිළිබඳ වෙනත් අනේක දෝෂ දර්ශනයන් පෞද්ගලික්ව තිබුන ද , මෙය ඊට තැන නොවෙයි ). ජාතිය බොඳ කරලීමේ ආදරයේ දේශපාලනයක් ගැන ඉඟි කරනුයේ, විවාහයේ කෘතීම සීමා පිළිබඳ වඩාත් පුළුල් සංවාදයක ට අර අදිමිනි. ලිංගිකත්වයේ විඳීම ට එරෙහි පටු සීමා ගැන කියවෙන්නේ තැනක දෙකක නොවේ.

නවකතාවේ ආඛ්‍යායනය හැම විටම පූර්ණ විශ්වාසවන්ත නොවන්නට පුළුවන. තැනෙක දෙකක හින්දි චිත්‍රපටයකට නෑකම් කියන උපක්‍රමයන්, අහම්බයන්, දිගු ගැලපුම් නැතුවා නොවේ. එහෙත් ඒ  මධ්‍යයේ, කතුවරයා පාඨකයා ගේ කුතුහලය රඳවා ගනිමින්, ඊළඟ පිටුව පෙරලීමට පෙළඹවීමට සමත් වෙයි.  කතුවරයා පෙර කී පෙරවදනේ පවසන්නේ, මුළු දිවියම දේශපාලනය වෙනුවෙන් ගත කලද, පක්ෂයේ වෙනස් නොවීම, අලුත් වාමවාදි මතවාදි මතුවීම සමග,

"රාමුගත නැති සංකීර්ණ මිනිස් ස්වභාවය කියව ගන්න අපි රාමුවෙලා  හිටිය දේශපාලනයේ තියෙන අසමත්කම",
ගැන ඔහු සෙමීට තේරුම්ගැනීම ගැනයි. ඒ  සමඟ, කල අපූරු වියමනකි මෙම කෘතිය. මෙම ආඛ්‍යායන තුල අවංකකමක්, වැරදි පිළිගැනීමක්, මෙන්ම බලාපොරොත්තු නැති ඉච්ඡාබගත්වයක සේයාවක් සමග ම, ළඟින් කියවන්නෙකුට, ඊළඟ පියවර සකසා ගැනීමට ඉංගිත ද නැත්තේ නොවේ.

"අපේ උපායමාර්ගික උවමනාව වෙනුවෙන් ලෙනින්ට පටහැණිව අපි ලෙනින්ව පාවිච්චි කළා.... රාජ්වීර් සහෝදරයා ඒ වෙනුවෙන් පොතක්ම ලිව්ව. අපි ඒක අපේ මහාවංශය කර ගත්ත.... අපි ජාත්‍යන්තරවාදය ගැන කතා කරමින් ජාතිකවාදයට පල්ලම් බැස්සා... සමාජවාදයේ සෝවියට් ෆැන්ටසියත් වැරදියි... පස් අවුරුදු සැලසුම් ජයගත්ත සොවියට් දේශෙ ඩෙනිම් කලිසමකිනුයි කොකා කෝලා බෝතලයකිනුයි වට්ටන්න ප්‍රාග්ධනය සමත් වුණා. අපි ප්‍රාග්ධනය පරාද කරන්න යන්නෙ ප්‍රාග්ධනයෙ ගැටවලට අහුවෙලා." ( 192 පිටුව )

තැනින් තැන, අපි දන්නා සමහර දේ ගැන  ඇති විවේචන ද  කියවීම රසවත් කරයි.... "දූපත" පත්තරය ගැන විවේචනය එවැන්නකි ( මා ද මීට දස වසරකට පමණ පෙර, එහි පාඨකයෙක් ව සිටියෙමි ); චණ්ඩාශෝක ගේ චීවරයක ඔතන ලද බලහත්කාරය තවෙකකි, කොට තුවක්කු ගැන විචාරය තවෙකකි

"තමුසේ දන්නවද මං දේශප්‍රේමීන්ට ආදරේ ඇයි කියල. උන්ට තියෙන්නෙ කොට තුවක්කු සහ ළඟ ඉලක්ක. උන් කලබලයි. ඒත් කොමියුනිස්ට්කාරයො, උන් හරියට ස්නයිපර් වගේ. උන්ට තියෙන්නෙ දුර ඉලක්ක සහ තියුණු සැලසුම්. උන්ට වරදින්නෙ ඒක අස්සට රිංගල ඉන්න තමුසෙල වගේ දේශප්‍රේමී ගැරඬි හින්ද." ( 118 පිටුව )

කුමන සම්මාන නිර්දේශනට ඇතුලත් වුවද, නොවූවද, මෙය සුවිශේෂි කෘතියකි. කතුවරයා මෙහි කතාකරනා දේශපාලනයේ, ඔහු ගේ බලාපොරොත්තු බිඳවැටීමේ අවංකභාවය ගැන සංශයක් පාඨකයා තුලට කා නොවදියි. මෙහි සමස්ත දේශපාලන කියවීමේ පොහොසත්කම හමුවේ, එය ගොඩනැවීමට කතුවරයා සිදුකර ඇති ආඛ්‍යාන දිගැරීම්, උපක්‍රම ගැලපීම් ආදිය ගැන කියවන්නිය එතරම් වද වෙවී, අඩුපාඩු සොයතැයි සිතිය නොහැක.

මා රසවිඳි කෘතියකි; දේශපාලනය ගැන සංවේදි පාඨකයනට නිර්දේශ කරමි.

( 2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 5 )

****
නවකතා ( 2019)
ප්‍රකාශනය - NINE පබ්ලිෂ්ට්