අවස්ථාව 1: මගේ අසල්වැසියෙකු අසත්‍ය ලිපිනයක් තම දියණියගේ ජන්මදින සහතිකයේ ඇතුලත් කර, ඒ දරුවා කොළඹ විශාඛා විදුහලට ඇතුලත්කරලීමෙන් අනතුරුව, පසු ගිය දින වල එම ලිපිනය රැගත් නිවසෙහි තාවකාලිකව විසුවේ, තමන් මුළු පිරූ එම කර්තව්‍යයේ අවසානය සාර්තකත්වයක් දකිනු පිණිස ය. ඔහු ඉතා සූක්ෂම ලෙස සිදුකල එම කර්තව්‍යය, සැලසුම් කල බවට සිතිය හැක.
ඔහු ට එම වැරැද්ද ගැන ආතතියක් වීද යන්න ගැන මම නොදන්නේ ඔහු හා මා අතර ආශ්‍රයක් නොවන නිසාය. ඉහත කථාව ද මා මගේ අම්මාගෙන් දැන ගත්තෙකි.
අවස්ථාව 2: වාහන තදබදයෙන් බෙරීම උදෙසා අනේක ඇතුළු පාරෙන් කාර්‍යාලයට යන මා, මෑතක අපූරු අත්දැකීමක් ලැබීය. ඒ රාජගිරිය ගෝතමි පාරේදී ය ( සාමාන්‍යයෙන් ද පරෙස්සමින් ගමන් ගත යුතු පාරකි.) ඉදිරියෙන් ගිය ත්‍රී රෝද රථය හදිසියේ පාර මැද නැවතීය. නවතා පාරේ, එම රථය ගිය දිශාවට ගමන් කර සිටිමින් සිටි කාන්තාවක් ඇතුලත් කර ගත්තේය. මා එම රථයේ ගැටීම වලක්වා ගත්තේ යම් අපහසුවෙනි.තිරිංග සංඥ්ඥා හෝ පැති සංඥ්ඥා හෝ නොදල්වා හදිසියේ ත්‍රි රෝද රථය මගහිටි හෙයිනි. මා එම රථය පසුකරමින් නළාව නගා අප්‍රසාදය දක්වමින් ඉදිරියට ඇදුනෙමි. ඊට මීටර තුන් හාරසීයකින් පමණ ඈතින් මගේ රථය නතර කලේ මාර්ග සංඥ්ඥා හේතුවෙනි. අර ත්‍රි රෝද රථය ඉදිරියට විත්, රියදුරු පස නවතා, මෙසේ පැවසීය
ඔහු: "මේ මගේ අක්කා. මම මෙයාව දැක්කාම පාරේ නවත්තලා දාගන්නවා. ඔයා හෝන් ගහන්නෙපා. මොකද ඔයා ගවනර් ජෙනරල් ද? පොඩ්ඩක් ඉන්න"
මම: " බ්‍රේක් ලයිට්, සිග්නල්, මොකුත් නැතුව පරේ හිට්ටම හරි යනවද ? තව පොඩ්ඩෙන් වදිනවා"
ඔහු: "ඒකට ඔයා අඩි තුනක් පිටුපස්සෙන් තියං එන්න. පොඩ්ඩක් ඉන්න මම නැවැත්තුවම. මොකද ඔයා ගවනර් ජෙනරල් නෙමෙයි නේ", කියා ඔහු ඉදිරියට ඇදුනේ සංඥ්ඥා මාරු වූ නිසා ය.
ඔහු නෑදෑ කම් පාර මැද සලකද්දී, මම 'ගවනර් ජෙනරල්" නොවන නිසා නළාව නොනගා ඉවසිය යුතුය. ඔහු "දඩස්" ගා නැවතීම, මා ආරක්ෂාකාරීව ඉවසිය යුතුය. මම ගවනර් ජෙනරල් නොව, හමුදාවේ හෝ පොලිසීයේ හෝ වී, වෙනස් ප්‍රතිචාරයක් දැක්වූවා නම් ඔහු ඔළුව කසා වෙනස් යුරකින් මගේ හැසිරීම ඉවසනු ඇත.
ඔහු වරද පිළිගැනීමට හෝ ඒ ගැන සංවේදී හෝ නැත. වැරද්දක් කිරීම ගැන ආතතියක් ඔහු ට නොවීය. රාජගිරියේ ත්‍රී රෝද රථ රියදුරෙකු හා ගැටීම ගැන මට නම් ආතතියක් දිනය පුරාම විය...
අවස්ථාව 3: මේ දින වල ශමෙල් ජයකොඩි ගේ කුරුලු කොබෙයි කියවමිනි. එහි මෙවන් කොටසකි;
"'ඉන්දිකා ඉතින් ආශිර්වාද ඇතුව මේ රටවලට ආව කෙනානේ... මම නිකම්ම නිකම් ගෘහ සේවිකා රස්සාවට සවුදි ආව බදුල්ලේ ගමක කෙල්ලක්... මම කැනඩාවට ආවේ මගේ ක්‍රමයට." අරුන්දති කෝමල හඬින් සිනාසුණාය. "හැම දෙයක්ම කරන් හරි විදිහක් තියෙනවා... වැරදි විදිහකුත් තියෙනවා...ඒත් අපි අමතක කරන්න හොඳ නැහැ අපිට අපේ විදිහකුත් තියෙනවා කියලා..."
ඇය මට ඇගේ රැවටිලිකාර අතීතය ඇද බෑවේ කිසිදු ලජ්ජාවකින් තොරවය.' (128 පිටුව)
මා දන්නා අය අතර ද නීති ප්‍රකාරව සංවර්ධිත රටවලට සංක්‍රමණය වූ අය මෙන්ම, "කෙසේ හෝ ගොස්" පසු ව "නෛතික" පුරවැසියන් වූ අයද වෙති. එම රට වල අධිකාරීන් මේ බැව් දන්නා අතර, ඔවුන් ද ඒ ගැන තොරා බේරා, නීති ක්‍රියාත්මක කරයි. වරෙක ප්‍රංශ ජනාධිපතිවරයෙකු, ජීවිත අවදානමකින් දරුවෙකු බේරා ගැනීම හේතුවෙන්, මෙලෙසෙ අනවසරින් ප්‍රංශයේ විසූවෙකු ට එරට පුරවැසිකම ලබා දුන්නේ ඔහු ගේ වීරත්වයට කෙරෙනෙ පිදුමක් ලෙසය. එනම්, වරදකාරි බව ඉවසාගෙන යම් කාලයක් සිටියහොත්, එම වැරැද්ද, වැරැද්දක් නොවන දවසකුත් උදාවනු ඇත. ක්‍රමය තියෙන්නෙ, යම් කාරණාවක් මගින් තමන් තමන් ව ඒත්තු ගන්වා, තමන්ගේ වැරැද්ද ගැන අසංවේදි වී, ඉවසීම ය. මීට ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ හේතුන් මෙන්ම එසේ නොවෙන කතා ද කිවිය හැක.
අවස්ථාව හතර: මම. මා ද මේ කාරණාවේ දී විවිධ අවස්ථා වල දි වරදකාරී ය. අනේක අවස්ථා වලදි, බිරිඳ ඉල්ලු යම් උදව්වක්, නැතහොත් මා කල යුතු දෙයක්, කල් දැමීමේ දෝෂයෙන්, ඒ ගැන ඇය තම අසන්තෝසය පළ කරන සඳ, එය ඉවසාගෙන සිට ඇත. ඒ, ඉන් කෙටි කාලයකින් ඇගේ එම අසන්තෝසය පහව ගොස් අප අතර යථා තත්ත්වය ඇති වෙන බව දන්නා හෙයිනි. මා ද මෙහි දී කරනුයේ තක්කඩිකමකි. එනම් තාවකාලිකව වැරදි සහගත බව විඳදරා ගෙන සිටීමේ කපටිකමයි.
මා මේ අවස්ථා හතරක් ගෙන පෑවේ, අපි විවිධ මට්ටමින්, දැන දැන වැරදි කරමින්, අන් ලෝකයා ඊට දක්වන ප්‍රතිචාර හමුවේ, අප වෙත එන වරදකාරී හැඟීම ඉවසා පියා සිට, අවසන අප අරමුණු ලඟා කරගත හැකි බව දන්නා නිසා ය. ඉහත කී අවස්ථා හතරේ දී ම, අයෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු ව දඩකෑමක් හෝ සිරබාරයට ලක් වීමේ ඉඩ අඩුය. තෙවෙනි අවස්ථාවේ, එවැන්නකට යම් ඉඩක් තිබුන ද, එම ප්‍රයෝගය සාර්ථක වුවහොත් ලැබෙන මහඟු අවස්ථාව සහ, බැරිම උනොත් නැවත ලංකාවට එවීම යන ප්‍රතිඵළ හමුවේ, යම් අවදානමක් ගත්තාට කමක් නැතැයි සිතන හෙයිනි.දාර්ශනිකයින්, මිනිසා ගේ මෙවන් ක්‍රියාවන් පිළිබඳ තම මනැස් මීට පෙර යොමු කොට ඇති බවට සැක නැත. මට මෙම අදහස් ඇති වූයේ ඉහත කී අවස්ථා හතරින් මුල් තුන ම, මෑතක සිදු වූ හෙයිනි.
මෙය අවංකත්වය පිළිබඳ ගැටළුවකි. අප කවුරුවත් 100% ක් ම අවස්ථා වලදි අවංක නොවේ. අපි අපිට ම අවංක නොවෙන අවස්ථා ද ඇත. එවන් අවස්ථා තිබෙන තාක් කල් අනුන් ඉදිරියේ සැම විටම අවංක වෙතැයි බලාපොරොර්ත්තු විය නොහැකි, යැයි සිතමි. ප්ලේටෝ, කීකෙගා'(ඩ්) ආදීන් මේ ගැන දීර්ඝව කතා කොට ඇති බව අසා ඇතත්, ඒ පිළිබඳ කියවීමට තවම කරුණු යෙදුනේ නැත. මා මෙම ලිපියේ අලුත් අදහසක් ඉදිරිපත් කරන බවක් නොසිතමි. මා වැඩි මනක් අවදානය යොමු කලේ "වාසි සහගත ලෙස, තාවකාලික ව තමන් සතු වරදකාරි හැඟිමට අසංවේදී වීම" ගැන ය.
සංවාදයට විවෘතයි.
No comments:
Post a Comment