Saturday 15 April 2017

පේරාදෙනියෙ ඉස්ටේසම ටිකැට් දෙන - සේන තෝරදෙනිය




   මෙහි ඇත්තේ 1961 සිට 1994 දක්වා ලියැවුණු කෙටිකතා පහළොවකි. ග්‍රන්ථයක් ලෙස එළි දැක්වෙන්නේ 1997 දී ය. කොළඹ මහජන පුස්තකාලයෙන් ලැබුණු මේ පිටපත, මා හෙමිහෙමිහිට කියෙව්වේ සුදත් විල මහා සුභද්‍රාවෝ සහ බණ්ඩර මැරූ උන් යන විශිෂ්ඨ නවකතා දෙක කියවීමෙන් ලද වින්දනයත්,  කතුවරයා කෙරෙහි ලත් පැහැදීමත් හේතු කොට ගෙනය;  ඔහුගේ මුල් කාලීන නිර්මාණ තුලින් ඔහු මහත් සේ ආලය කරන දුම්බර පෙදෙසත්, කෘතියේ නමෙන් ම ඇඟවෙන පේරාදෙනිය ආශ්‍රිත ප්‍රදේශයත් පිළිබඳ රසවත් වත හොත ලැබෙතැයි යන සිතුවිල්ලත් මුල් කරගෙනය.

1961 තරම් අතීතයක් ඇති "දරු රුවන්/" කෙටි කතාව, පේරාදෙනිය "වළේ" සිංහබාහු නරඹන තරුණ පියෙක්, නාට්‍යය ඔස්සේ තම දිවියේ අත්තිතාවර්ජනයක යෙදීමකි.

"මගේ තල ටික දියෝ !", මෙහි එන රසවත් කෙටි කතාවකි. කැළෑ ආරක්ෂකයෙකු, තම බලය අයුතු ලෙස භාවිත කරන අයුරුත්, ඉන් කැළෑව ආශ්‍රීතව දිවි ගෙවන ගැමියන් මහත් සේ පීඩනයට ලක් කරන අයුරුත්, ගැමියන් ඔහුට විරුද්ධව නැගී සිටින අයුරුත් කියැවේ. එහි භාවිත බසින් ගැමියන් විඳින දුක මෙන්ම, දිවියේ කර්කෂ බව ද ඉඟි කරයි.
"හේන සරු වෙලා අස්සැන්න ගත්තහම අපි නොම්මර පහක් විතර එව්ව කරේ තියාන පොළට යනවාය. පොළේ ඉන්නේ ඈත පළාත්වලින් ආව වෙළෙන්දන්ය. මිනී කාක්කෝය. හුඟ දෙනෙක් කල්මුණේ, මඩකලපුව පැත්තෙන් ආව අයයි. උන් ඔක්කොම එක කතාවය. එකෙක් තුට්ටු දෙකට ඉල්ලල බෑ කිව්වොත් අනික ඉල්ලන්නේ තුට්ටුවටකටය. අපි ඉතින් තුට්ටු දෙකට දෙනවාය. මාස ගාණක් තිස්සේ කැළෑ කොටලා, පුස්සලා, වැට කඬුළු බැඳලා, සත්තුන්ගෙන් බේරගෙන ගත්තු මහන්සිය මහ ගඟේ දියත් එක්ක දියවෙලා යනවාය. අපි කරෝල කෑල්ලයි, හාල් සේරු දෙක තුනකුයි, තුන පහේ ටිකකුයි, චීත්ත කෑල්ලකුයි ඇරගෙන ආපහු ගමට එනවාය. අපිට එව්ව විකුණන්නෙත් මිනී කාක්කෝය. සමහර ගොවියො වට්ටක්කා, පිපිඤ්ඤා ගොඩ ගොඩවල් කපල කපල දාලා ලාඹුතෙල් ඉහළ ගිනි තියනාඅ අපි කොතෙකුත් දැක තියෙනවා ය." (10 පිටුව )
තැනෙක ඔවුන්ගේ  දුක එක්තැන් වුණු කවෙකි:
"යායේ කුරක්කන් දෙහි ගෙඩි විතර      ඇති
මගේ කුරක්කන් කන් ඇඳි විතර            ඇති
කපා කපා ඉස්සරහට යන්ට                 නැති
නවම් මහේ තද අව්වෙන් අප             දැවෙති"  (13 පිටුව )
1968 ලියැවී ඇති මෙවන් කෙටිකතා නිසා මේ එකතුවට අගයක් ලැබේ.

1972 දී ලියැවී ඇති "බන්ධනය", තම පියා මැරූ අලියා බැලීමට අණ කරන නිළමේ ට එකඟ නොවෙන පුතෙකුගේ කථාවයි. ඒ පුතු තමනට අබාග්ගයකට මූණ දෙන්න වෙන බැව් දැන ගන්නේ හීකොණ්ඩයාගේ කෑගෑමෙන් ය.
"හරකා බානත් තොට බාරයි. ගෙයාත් දොරාත් තොට බාරයි. හීකොණ්ඩය ෂියෝ" ( 15 පිටුව )
මෙහි පුතු නිළමේගේ අණ ට විරුද්ධ වන අයුරු අපූරුය.
"'මං හිතල ඉවරයි ආයිබොවන්ට. මගෙ තාත්ත මරල දැම්ම සතා මට බලා ගන්ට බෑ. තාත්ත සතා බලා ගත්තෙ උන්දැගෙ පුතෙක් වයෙ. තාත්ත ඒවයෙ මං බලා ගත්තද කියල මං දන්නෙ නෑ. මාත් සතාට ආදරේ කෙරුව තමයි.' සුන්දරා කීවේ අලියාට 'ඌ' යයි නොකීමට පරිස්සම් වෙමිනි. බලවතෙකුගේ තිරිසෙනුකට වුවද 'ඌ' යයි කිව නොහැකි හෙයිනි."(25 පිටුව )

සමහර දරුවන් පවුලට, ඔවුන්ගේ ජන්මයට පෙර නොතිබූ එළියක් එකතු කරයි. අනාගතය කෙරෙහි ඔවුන්ගේ ජන්මයට පෙර නොතිබූ බලාපොරොත්තුවක් දෙමාපිය සිතේ උපද්දවයි. "සොබනි" (1973)  එවැන්නියකි. එවන් දැරිවියක්, ගමේ බලවතුකෙගේ කීමට ඔහුගේ නෑ ගෙයක අත් උදවුවට යවන්නේ, තම පියා ඒ පිළිබඳ කෙතෙරම් සිතින් මැරි මැරී ඉපදෙන්නේ දැයි අපට පෙන්වාදීමෙන් අනතුරුවය. පියා වන බිළිඳාගේ මායියා වන කළු, සොබනි පාතදුම්බරට යවන සිත්තැවුල මෙසේ දන්වයි:
"පැපොල් ගහට පස් දැම්මේ         එරෙන්ටද
අමු පතනට ගිනි දුන්නේ             නොදන්ටද
කැකුළු බතට හොදි දැමුවේ      නොකන්ටද
මීමුර ගමට මම දුන්නේ                   මරන්ටද" (42 පිටුව )

තම නිළ බලයෙන් අනුන් පීඩනයට ලක් කරන, කුලවාදයෙන් හා ජාතිවාදයෙන් හිස පුරවාගත් සිවලිංගම් නම් මිනින්දෝරුවාට විරුද්ධ ව ඔහුගේ ගෘහ සේවකයා වන සෝමසිරිගේ නැගී සිටීම "හරි-ජනයා" (1973 ) කෙටිකථාවෙන් කියැවේ.

මෙහි එන "සන්තන්තෝනි" (1972) කෙටිකථාව වෙනස් ම ආරක එකකි. එහි ප්‍රධාන චරිතයෝ නොමැත. ඇත්තේ සිත් ඇදගන්නා සුළු පරිසර වර්ණණාවක් සහ ධීවර ජනයා සමූහ දුක් කම්කොටළු ය. සිත් ඇදගන්නා සුළු රචනාවකි.

සැමියා තමන් කෙරෙහි ඇති ආත්ම අවිශ්වාසය ආදිය, පවුළේ ඇති වන සාමාන්‍ය ගැටළු ආදියත් අලලා අඹුසැමියන් විවාහ සංවත්සර පවත්වන ආකාරය පිළිඹිබු කොට ඇති "විවාහ සංවත්සරය" (1987) කෙටි කථාව ද සිත්ගත් කෙටි කථාවකි.

මහළු විය පොදුවේ කාටත් අපහසු ය. මවු වරුන් දියණිවරුන් සමඟ කෙසේ හෝ කල් ගෙවුවද, පියවරුන්, තම බිරිඳෑවරුන් නොමැතිව මහළු දිවි ගත කරයි ද, එය සාපේක්ෂව අපහසු තත්ත්වයකි. මේ තත්ත්වය අලලා ලියැවුන්නකි "මහල්ලෙකුගේ අළුත් අවුරුද්ද" (1988). මා රස විඳි කථාවකි.

"රිය ගැටුම" (1993) හි වචනාර්ථයෙන් රිය ගැටුමක් නැත. රිය මගින් නිරූපිත තත්ත්වයන් හි ගැටුමක් ඇත. පෙරකල පේරාදෙනිය සිප් සැදෑරු කිහිපදෙනෙකු අද ගෙවන තත්ත්වයන් මත නිර්මාණය වූවකි.

"ගුරුපියමාතා" ( 1994 ) , මට බණ්ඩර මැරූ උන් මතකයට නැංවීය. සමහර ගුරුවරුන් දෙවිවරුන් මෙනි. එවන් අය බොහෝ විට හිස් අතින් විශ්‍රාම ගන්නෝය. එවන් ගුරු පියෙකුගේ භාර්‍යාවක්, තම පුරුෂයා හැකි අවස්ථාවේ මුදල් හම්බ නොකිරීම ගැන දෙස් තියන්නේ ඒ අවස්ථාවේ තම සිත්සෑල්ලුවට මිස, සිය සැමියාගේ පිළිවෙත තමන් ද අනුමත නොකරන නිසා නොවේ.

වන්දනාකාරයෝ ( 1994 ) , මීට බොහෝ පෙර කලෙක අප ජනයා අටමස්ථාන වන්දනාමානය ට ගැල් බැඳ ගිය අයුරු ද, ඒ කර්තව්‍යයේ දි මුහුණ පාන්න්නට සිදු වූ නොසිතූ විරු ආරක ඛේදජානක සිද්ධියක් ද අලලා ලියවුන්නකි.
පවුලේ බලාපොරොත්තුව වූ තම බෑණවුන්ගේ ඇවෑම ඉදිරියේ මාමණ්ඩියගේ හඬාවැටුම ලියැවී ඇති අයුරු අපූරුය.
"මයෙ පුතේ... මයෙ යෝදයා... මයෙ පරපුරේ යෝදයා... යෝද බල.... යෝද දහිරිය තිබිච්චි උඹට මොකද මේ උණේ? මයෙ යෝදයා... මයෙ කඩොල් ඇතා...  ඇයි මේකව ඉතුරු කරල මට දඬුවම් නොකෙරෙව්වේ? " (111 පිටුව )

අප රට ඇති වූ '71 සහ '94 කැරැලි සිදූ වූ අයුතුකම් බොහොය. අවස්ථාව උදා වූ විට අවස්ථාවාදිව කටයුතු කලෝ බොහෝ වූවෝය. මාතලෙන් එපිට පල්ලේගම, හෙට්ටිපොළ ආදි දුර බැහැර පෙදෙස් වල ණය හිමියන් දිනකට දෙකකට ණයගත් අයගේ බිරිඳ හෝ පවු කන ඇත්තිය බාරෙ තබා ගන්නා සිරිතක් ගැන කන වැකෙන්නේ මේ කෙටි කතාව ඔස්සේ ය. ඒ පළමුවරට ය. ( අඹුණය -1994 )

මෙතෙක් ලියැවුණු කෙටිකථා වලට වෙනස් ආරක් ගෙන පුහුණුවීමකට ජපානයට පැමිණි, වියට්නාම සහ කැම්බෝඩියානු  තරුණියකු සහ තරුණයකු අලලා ලියැවුණු කෙටිකථාවකි. ලක්ෂ ගණන් දිවි පුදා අමරිකානුවන් පරාජය කල පරම්පාරවකින් පැවතෙන්නන්ගේ ඊළඟ පරම්පරාව නූතන ජීවන රටාව ඉදිරියේ මුදල ට කෙතෙරම් ගිජු ව ඇත්දැයි පෙන්නුම් කරන කෙටි කථාවකි. මේ දින වල මා කියවන ගිය වසරේ පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලත් "The Sympathizer " නවකථාව මේ වියට්නාම අත්දැකීම් අලලා ලියැවූවක් නිසා මේ කෙටි කථාව වඩාත් මා සිත් ගත්තේ ය. ( සුං හා කිම් - 1994 )

මා වඩාත් බලාපොරොත්තු ඇතිව කියවීමට වූ කෙටි කතාව, සංග්‍රහයට නම දුන් "පේරාදෙනියෙ ඉස්ටේසමෙ ටිකැට් දෙන"(1994 ) ය. බලාපොරොත්තු තබා ගත් පරිද්දෙන් ම එය සාර්ථක නොවූව ද, හෙළිදරවු වලින් හෙබි කෙටිකතාවකි. එක් ගණයක් පමණක් වූ "බහිරවයෝ" නම් වූ, නේවාසිකාගාර වල නවාතැන් නොලැබ වටපිට ගම්මාන වල සිට අධ්‍යාපනයේ යෙදුණු  අය ගැන විශේෂ සඳහනක් මෙහි ඇත.  මා මෑතක මිලට ගත් "සප්ත අපධාන කථා වස්තුව" උඩින් පල්ලෙන් පෙරලද්දී ද මේ "බහිරවයන්" ගැන සඳහනක් දිටිමි. කතුවරයාගේ තර්කය, එකල ද පේරදෙනියේ ස්වර්ණැමය යුගයැයි කී කල ද "බහිරවයන්" අලලා මේ දෙබෙදුම තිබුණු බවකි.
එකල පේරාදෙනියේ එකට සිප් සැදෑරු දෙදෙනෙකු දශක ගණණාවකට පසුව හමු වී, මධුවිතක් ඔස්සේ අතීතාවර්ජනය, මේ කෙටිකථාවේ ගලා යාමයි. මේ ඔවුන්ගේ පිළිසඳරේ සමහර රසවත් කොටස් ය.
"මේක තමා සරසවි පද්ධතිය ඇතුළේ ශිෂ්‍ය කොට්ඨාශ දෙකක් අතර ඇති වෙච්චි පළමුවෙනි විභේදනය. දැන් බලන්ට අද එකම විභාගෙ කරල සුළු ලකුණු ගාණක වෙනසක් ඇති එන්.ඩී.ටී. කාරයොයි, ඉංජිනේරුකාරයොයි එක එකාගෙ බෙලි මිරික ගන්නවා." (135 පිටුව )
"අමරසේකර ගුරාට පිටුපෑමෙන් පේරාදෙනි ගුරුකුලයේ අර්බුද ඇතිවී ගුරුකුලය බිඳවැටුණා. අද එබඳු ගුරුකුලයක් තිබුනේ නැතැයි කියන්නේ හරි වැටහීමකින් නොවේ"
 ( 148 පිටුව )
"ඔව්, සයිකෝ, ෆ්‍රස්ට්‍රේෂන් වැනි වචනයක්, අමරසේකර වාගෙ පරාජිතයන්ගේ හුදකලාවාදයක් තමා තිබුණේ. ඒවාට ආදර්ශ චරිත පේරාදින් සාහිත්‍ය ගල් අච්චුවේම වක්කරලා තිබුණා." ( 154 පිටුව )
"'ඉතින් පේරාදෙනිය තාවකාලික නවාතැන්පොළක් පමණයි. ඒක ඉස්ටේසමක් ටිකට් දෙන' උදේනි කීවේය.
'ඒක සුරංගනා ලෝකයක්. ඒක ජීවිතයක ස්වර්ණමය යුගය කියලා කියන්නේ බොරුවට නොවේ.'
'විශ්ව විද්‍යාලේ ස්වර්ණමය යුගය පිරිහීමට පටන් ගත්තේ ඒ කාලෙ කියලා කියනවා'" (162 පිටුව )
මේ කෙටි කතාවේ වටිනාකම නම්, සමකාලීන් වෙත් නම්, මෙහි නම් නොකියා සඳහන් කර ඇති බොහෝ චරිත කවුදෝ යැයි ඔවුනට හඳුනාගැනීමට ඉඩ තිබීමයි. ඔවුන් පසු කලෙක රටේ නමගිය පුරවැසියන් වූවෝය.

මේ කෙටි කතා සංග්‍රහයේ, ඉතා ඉහළ ගණ‍යේ නිර්මාණ නොතිබෙන්නට පිලිවන. අනෙක් අතට සේන තෝරදෙනිය නම් නිර්මාණකරුව හැඳිනගැනීමට ද මින් පිටුවහලක් වෙතැයි විශ්වාස කරමි. අප රට මෑත කාලීන ඉතිහාසයේ සැලකිය යුතු පැතිකඩක් මෙහි ඇත. එනයින් මට මෙහි පිටපතක් දුටුවහොත්, මා මිලදී ගැනීම ට නො පැකිලෙමි.


Sunday 9 April 2017


2015 ප්‍රකාශ වූ සිංහල නවකථා, මට කෙසේ වූයේද යත්.....




 2015 වසර ඇතුලත ප්‍රකාශයට පත් වූ ද, 2016 වසරේ අනේක සම්මාන උදෙසා නිර්දේශයට සුදුසුකම් තිබුණා වූ ද, කෘතීන් අතරින් පහළොවක් තෝරාගෙන 2015 අග බාගයේදි ,2016 දී ද සහ 2017 මුල ද කියවූවෙමි. ඊට:
- ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු කෘති පහම ද ( අහම්බකාරක, පරදේසි, ෂැංහයියා සහ කොළඹයා, දූල්වල අලංකාරේ, හිතුවක්කාරි )
- ගොඩගේ අවසන් වටයට තේරුණු කෘති අටක් ද ( අහම්බකාරක, පරදේසි, කෘතීම දූපත්, දූල්වල අලංකාරේ, හිතුවක්කාරි, යාරා යාත්‍රිකා, අසන්ධිමිත්තා,  සැප්තැම්බරයේ දිගු දවසක් )
රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වූ කෘති සතරක් ද ( අහම්බකාරක, පරදේසි,දූල්වල අලංකාරේ, සැප්තැම්බරයේ දිගු දවසක් )
- ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට පමණක් තේරුණු (අවසන් වටයට නොතේරුණු ) කෘති තුනක් ද ( අවලමා සහ ඇහැටුව, වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්, මාණික්කාවත )
- ගොඩගේ නවකතා අත් පිටපත් තරඟය ජයග්‍රහණය කල නවකතාවත් ( පාප දණ්ඩන )
- සහ කිසිදු සම්මනයකට නිදේශ නොවී, ලේඛිකාවගේ පෙර කෘතී රසවිඳ ඇති හෙයින් ( මැකී ගිය පෙත් මං ) හෝ හෝ විචාර කියවා කෘතිය කියවීමට සිත් ඇති වූ නිසා (සේරංගාව ) හෝ කෘති දෙකක් ද විය.



   ඉතින් මෙහි එකතුව කෘති පහළොවකි. නැවත වතාවක්, වසරක පළ වූ සිංහල නවකතා මෙතරම් ප්‍රමාණයක් කියවීම අනවැසි බව ප්‍රත්‍යක්ෂ කර ගතිමි. ඉහත ශ්‍රේණි ගත කිරීම් මත අවම වශයෙන් මුල් කෘති නවයටත්, උපරිමයෙන් මුල් කෘති එකොළහට සීමා වීමට තිබුණා නම් සෑහෙන්න තිබිණි. සමස්ත වශයෙන් එතරම් ඉතා ඉහළ තලයේ නිර්මාණ නොතිබුණු වසරකි. ඒත් මුල් කෘති හතර සෑහෙන මට්ටමක තිබිණි. 5-9 දක්වා කෘති ද රසවත් ය. සිංහල නවකථා කියවන පාඨකයා කියවිය යුතු යැයි සිතමි. 11, (සේරංගාව ) නවකතාවක් ලෙස දුර්වල තැන් තිබුණ ද, අප රට නැසී යන කැළෑ ගම්, වැදි ජනයා, එම සංස්කෘතිය හා බැඳි ඉහළ තලයේ නිර්මාණයකි. එය නොකියවා සිටියා ට වඩා, කියවීම ගැන සතුටු වෙමි. 13, ( යාරා යාත්‍රිකා ) කතුවරයා ගේ ලේඛණ ශෛලියේ පරිපූර්ණත්වය ගැන කියා පාන්නක් වුවත්, විශාල වශයෙන් සංස්කරණය විය යුතු කෘතියකි. කෘතියේ එන පරිසරය අත් විඳි අයට, මේ කෘතිය  රසවත් වීමට පුළුවන. 15, ( වුල්ෆන්ඩල් ස්ට්‍රීට් ), කතුවරිය යෙදූ මහා ව්‍යායාමය ගැන ගෞරවයක් ඇති කරනමුත්, පාඨකයකු වශයෙන් එතරම් ප්‍රතිලාභ ලබා දෙන්නක් නොවන්නකි.


කියවීම මගැරුණු කෘති ද තිබෙන්නට පුළුවන. ඒ බොහෝ විට කරුණා පෙරේරාගේ "පාටක් නැති පාටක්" විය යුතුය. එම කෘතිය ගොඩගේ සහ රාජ්‍ය සාහිත්‍ය අවසන් වට වලට තේරි පත් වූ නිසා එසේ සිතමි. ටෙනිසන් පෙරේරාගේ "මහ රාවණ" ද ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට සහ රාජ්‍ය සාහිත්‍ය අවසන් වටයට තේරි තිබුණ ද, ලේඛකයාගේ පොත් කියවා පාඩම් ඉගෙන ඇති හෙයින් නොසලකා හැරියෙමි. කෘතිය කියවූවෝ ද ගුණයක් නොවැයුවෝ ය.



කෘතීම දූපත් - සුනේත්‍රා රාජකරුණානායක


  2015 ප්‍රකාශ වූ නවකතා අතරින් කියවීමට තෝරා ගත් අවසන් කෘතිය, හෙවත් පහළොස්වැන්න ලෙස කෘතීම දූපත් කියවූවෙමි. ලේඛිකාවගේ මා කියවූ නමවෙනි නවකතාව මෙයයි ( අනෙක්වා - සඳුන් ගිර ගිනි ගනී; සද්ගුණාකාරය ; නන්දිතය; සුබෝධාලංකාරය ; පොදු පුරුෂයා ; කවි කඳුර ; බුද්ධදාසි ;  ෂැංහයියා සහ කොළඹයා ). ප්‍රතමයෙන් ම කිව හැක්කේ මේ අතරින් "අපරාදේ කියවීමට ගත වෙච්චි කාලය" යැයි පසුතැවීමකින් හමාර කල එකම පොතක් නැති බව යි. ඉතින් කෘතිම දූපත් කෘතිය ද කලින්  කියවීමට නොසිටියත්, කියවීමෙන් අනතරුව 2015 ප්‍රකාශ වූ ඇගේ අනෙක් නවකථාව වූ ෂැංහයියා සහ කොළඹයා ට ද ඉදිරියෙන් තිබෙන්නක් යැයි සිතුණු වග ද  කිව යුතුය. 2016 වසරේ කෘතීම දූපත්, ගොඩගේ අවසන් වටයට තේරුණු පොත දහය ට ඇතුලත් වූ බවත්, ෂැංහයියා සහ කොළඹයා ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු බවත් මතක් කරමි.

  අනාගත දෘෂ්ඨියකින් ලියැවී තිබීමත්,  කෘතීම දූපත් පිළිබඳ කොට ඇති අධ්‍යයනයත්, එය රූපකයක් ලෙස භාවිත කොට මිනිසුන් සහ ගැහැණුන් ගේ හැසිරීම් අධ්‍යයණයත්, ව්‍යූහාත්මක වෙනස්කමුත් සමග සමස්ත වශයෙන් මේ පොත මගේ සිත දිනා ගත්තේ ය. අනාගතය අලලා ලියවීම ලේඛිකාවට තනිකරම අලුත් අත්දැකීමක් නොවන්නේ, ඇය කවිකඳුරේ ද අනාගතය අලලා එහි අවසන් කොටස නිර්මාණය කොට තිබූ නිසා ය. නුමුත් මේ නිර්මාණය එම අනාගතවාදි කොටස ට වඩා ඉතා සාර්ථකය.

  අසාර්ථක, හිස්, රැවටිලිශීලි දේශපාලන සටන් පාඨයකින් ඔබ්බට සිහින මැවූ යහපාලනයක් කෘතීම දූපත් වල දී හෝ,  අනාගතයේ දී ද  අප රට අඩපණ කරන සුව නොවෙන දේශපාලන පිළිකාවක්  හා සටන් වදින අයුරු, අද වන විට දිස්වෙන රෝග ලක්ෂණ හා මැනවින් පෑහේ.  විශ්‍රාමලත් ඉංජිනේරුවකු සහ ව්‍යවසායකයකු ලෙස අපරාජිත් නම් වූ චරිතය ගොඩ නංවා ඇති අපූරුය. දක්ෂ මිනිසෙකු වුව ද, නිර්දෝෂි නොවන මිනිසෙකු ලෙසත්, ඔහු හරහා වියත් මිනිසෙකු වශයෙන් ජීවිතය නම් සරසවිය ඉගැන්වූ පාඩම්  ලෙස ගෙනහැර දක්වා ඇති කියුම් කෘතිය රසවත් කොට ඇත.

සමස්ත කෘතියේ දේශපාලන දිශානතිය වමට බරවූවක් මුත්, යුතෝපියාව ට අකුල් හෙළන මව් දූපතේ ජාගර දේශපාලනයත්, ධනවාදි දිශානතියත් යුතෝපියාව තවත් දුරස්ත බැව් මතක් කර දෙයි.
"මං කිව්වේ පාරිසරික සරණාගතයන් වෙනුවෙන් නව භූමි සොයා දීම ජාත්‍යන්තර වගකීමක් කියලයි.... මං තර්ක කළේ මේ කෘතීම දූපත් ධනවතුන්ගේ පාරාදීස කිරීමට වඩා පාරිසරික සරණාගතයන් වෙනුවෙන් අදාළ රටවල් වටා හෝ ඒ ආසන්නයේ හෝ තැනිය යුතු බව යි. ඒකෙන් කාටවත් වාසියක් නැති නිසා ඒ කාලේ ඒක හුදකලා හඬක් විතරයි." (75 පිටුව )

"මහ දූපතේ තිබුණේ ළමයෙක් ඉස්කෝලෙකට දා ගැනීමේ ඉඳලා විදේශ ශිෂ්‍යත්වයක් ලබා ගැනීම දක්වා දෙමාපියො වංචනික ලේඛන සැලසීමේ ක්‍රමයක්...දූෂණ වංචා නතර කරන්න කියලා කවුරු හරි බලයට ආවම කලින් හිටිය මීයෝ ටික ඒ නැවෙන් මේ නැවට පැනීම සුලභ දර්ශනයක් වුණා. මෙහෙම කෙටියෙන් කියන්න බැරි තරම් හිරිකිත වැඩ සිද්ධ වෙනකොට ඒවා නිරාවරණය කරන්න බැරි තරමේ අවුල් ඇතිවෙලා තිබුණා. එතොකොට අපි මේ කවදාවත් හදන්න බැරි විදියේ කෘතිම දූපතක යෝජනාවක් ගෙනාවේ නව පාලන ක්‍රමයක් එක්කයි." (81-82 පිටු )

"hell hath no fury like a woman scorned" ( William Congreve ) 

කෘතියේ අවසන් පරිච්ඡේදය වෙන් වන්නේ ජයත්‍රි නම් අපරාජිත්ගේ සමීප මිතුරියගේ ආගමනය සහ ඇය අපරාජිත් ගේ සමීපතම නැයින් හා බෙදාගන්නා අදහස් ඔස්සේ ය. ඇය ඇත්තටම අපරාජිත් ට ආදරය කල ද, ඇය ව වෛවාහක බිරිඳ ලෙස තෝරා නොගැනීමේ ආරෝවෙන්, සුව නොවෙන තුවාලයකින් පීඩා විඳින්නිය.

ජයත්‍රි නැන්දාගේ කතාවල ආදරයයි අනාදරයයි හරි හරියට තිබුණා....ඒත් මේ ගෑනු මනුස්සයට ඕන අපේ මාමාගේ කැපවීමයි දායකත්වයි පිත්පස්සෙ එයයි, යොහානුයි, තව කණ්ඩායමකුයි හිටියා කියන එක තහවුරු කරන්න ද ? ඒ වැඩේට සැබවින්ම දායක වෙච්චි මිනිස්සු ඉතිහාසයට මඟ ඇරුණා කියලා කියන්න හදනව ද ?( 158-159 පිටු )

"...යටින් ඉතිරිව තිබුණේ මාමා අන්වීක්ෂයක දමා පරීක්ෂා කරමින් විශාල තුවාලයක් සුවපත් කර ගැනීමේ අසරණ ස්ත්‍රී ප්‍රයත්නයකි. එය හොඳින් වටහා ගත හැක්කේ ද ස්ත්‍රියකට පමණක් ය" (187 පිටුව )

"නවසීලන්තයේ හරි වෙන රටක හරි ඉන්න දෙවෙනි පරම්පරාවට හරිම විහිළුවක් අපි තාම මෙහේ මුල් ගලවලා නැහැ කියලා.....ආර්ථික හේතු හරි  දේශපාලන හේතු හරි  නිසා රට අතඇරලා ගියාට මහ දූපතේ හැම නරක වැඩක්ම මැද ඒක අම්මාගේ උකුලයි, මහ ගෙදරයි, තමන්ගේ ඉස්කෝලෙයි තුනම වගේ දැනෙන එක නැවතුණේ නෑ. දැවිල්ල තියෙනවා." ( 160-161 පිටු ) මේ කථාවට නම් තනි ඇත්ත ය. ස්ථාවර පදිංචියකට නොවුන ද, වසර හයකට ආසන්න කාලයක් රටින් බැහැරව සිටි අයෙක් ලෙස මෙය තහවුරු කරමි. එලෙසින් ම නැවත ආ පසු ද, තමන්ගේ මවුබිම කෙරෙහි ඇති වන කලකිරීම ද සුළුපටු නොවේ. ඇත්තෙන්ම කාලයක් පිට රටක විසූවෙකුට දැනෙන්නේ නැවත ආව ද, නො ආව ද " Damn if you do, Damn if you don't" තත්ත්වයකට මුහුණ පාන්නෝ ය. මේ ටික කියා පාන්නේ දිනෙන් දින මෙහි විසුම ගැන කලකිරෙනා නිසාවෙ නි.


අනාගත ලෝකය්මත දිවෙන නවකතාවක්, ඒ අනාගතයේ දි පවා මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ මුල් ස්වරූපික භාවයන් නොවෙනස් ව ක්‍රියාත්මක වන බැව් පෙන්වීමට කතුවරිය දක්වා ඇති සමත්කම පැසසිය යුතු මට්ටමේ ය. ඉතින් මේ ගැලපීම ලිවිය හැක්කේ මිනිස් ජීවිතය හොඳින් අධ්‍යයනය කල, අත්දැකීම් බහුල, ලොව පුරා සංචාරය කල ඇත්තියක් විසින් පමණකි. මට මේ කෘතිය, මා බලාපොරොත්තු නොවූ අන්දමේ සාර්ථක එකක් වීමට බලපෑවේ මේ ගැලපීමය.