Sunday 10 December 2023

අල්බොරාදා (අසෝක හඳගම)

 මට මුල්වටයේ අල්බොරාදා මගැරුනා පමණක් නොව, එනමින් චිත්‍රපටියක් වූ බැව් තබා එතරම් මගේ අවදානයට ලක් නොවිනි. එය ඇත්තටම මට ඒත්තු ගියේ, මහේෂ් හපුගොඩ එනමින් පොතක් පළ කල පසුය. මීට දින දෙක තුනකට පෙර,  හඳගමගේ ම මුහුණ පොත් පිටුවේ අල්බොරාදා දෙවන වතාවට පෙන්වන බව ආරංචි විය. එය බලන්නේ ද නැද්ද කියා සිත සිතා සිටිද්දීය, දිවයින පුරා විදුලිය ඇණහිටියේ. මාත්, මගේ බිරිඳත් හනිකට චිත්‍රපටිය බැලීමට තීරණය කලේ එවිට ය.

මෙය එක් වතාවක් බලා වටහා ගට හැකි චිත්‍රපටියක් යැයි නොසිතමි. එහෙත් මට දැනුනු තැන් කීපයක් ගැන අද සටහනක් තබන්නේ අනාගත දිනෙක හපුගොඩ පොත කියවීමට ද ඉඩ තබා ගනිමිනි.




මෙහි එක් දර්ශනයක මිනිසෙකු තම ගැහැනියට ගුටි බැට දෙමින් බැණ වදින්නේ, ඇය කුලහීනයෙකු හා නිදි වැදුනයි කියමිනි.  පැබ්ලෝ ඊට මැදිහත් වී එම ගැහැනිය බේරා ගනිද්දි, එම මිනිසා පවසන්නේ, තමන්ගේ ගැහැනිය තමන් හදා ගත යුතු බවත්, එසේ පහර දුන් විට ඇගෙන් ලැබෙන කාම සුවය තීව්‍ර වන බවත්‍ ය. පැබ්ලෝ එම ගැටුම මැඩපවත්වන්නේ, ගැහැනියකට පහර දීමට ලැජ්ජා නැද්ද යැයි විමසීමෙනි. පැබ්ලෝ එසේ පහර නොදුන්නද, කතුන් තම කාමාශාව පිනවා ගැනීමට භාවිත කිරීමේදී, බොහෝ ආත්මාර්ථකාමි බවට චිත්‍රපටිය දෙස්දෙයි. විටෙක නෙරූඩා ගේ චරිතෝපාදානය ක ඔහුගේ එම හැසිරීම ගැන කියවී තිබෙන්න ට පුලුවන. ආසියානු කත තමන් ව යටත් කරගෙන ජීවිත් වන පිරිමියෙකු ඉවසන බවකි ඇඟවෙන්නේ. මෙහිදී පැබ්ලෝ සමඟ නිදි වදින්නට ඔහුගේ නිවසට එන්නේ, ඔහුගේ කවිකමට වසඟ වීය. ඉන් ජීවිතයේ සියුම් රසවිඳිම් වලට බටහිර ගැහැනිය ප්‍රියකරනා විට, ආසියානු ගැහැනිය තමනට දෛවය ලබාදුන්නේය යැයි විශ්වාස කරනා පිරිමියා සමඟ දුක සැප බෙදාගෙන මියෙන තුරා ජිවත් වීමට දිවිහිමියෙන් බැඳී සිටියි. මෙහි එන ප්‍රධාන කාරණාවක් වූ වැල්ලවත්තේ කුලහීන කාන්තාවකට නෙරුඩා කල බලහත්කාරකම විෂයේ එම කත දැඩි ලෙස කම්පාවට පත් ව, ඇයට එය විඳදරා ගත නොහැකි තත්වයක් ලෙස පෙන්නුම් කරයි (අන් තැනක ඇය එය ඉටිරූපයක් මෙන්, සියළු හැඟීම් වලින් විනිර්මුක්තව විඳදරගත් බවකි අප කියවා ඇත්තේ - එසේ ලු නෙරූඩා තම සටහන් වල ලියා ඇත්තේ).


රත්නායියා නම් වූ සේවකයා පවා, පළමුවරට නෙරූඩා කුලහීනයන් ස්පර්ශයේ යෙදෙද්දී, නැවත නොනා බංගලාවට නොඑන ලෙස කියමින් තල්ලු කර දමයි.  තම හාම්පුතාට එවැන්නක් කිරීමට නම් කෙතෙරම් දැඩි මතයක් කුලය විෂයේ ඔහු වෙත තිබිය යුතුද ?  කුලහීන කාන්තාව හා එක්වීම රත්නයියා ට තව දුරටත් ඉවසීමට නොහැකි තත්වයකි. ඔහු තම පිළිකුල පෙන්වා සිටින්නේ, තම හාම්පුතා තමනට වෙන්කරගත් වැසිකිලිය භාවිතාවෙනි. අන් තැනෙක මධ්‍යසාරය ප්‍රතික්ෂේප කරන රත්නයියා ගේ හිසට එය හැලීමට පැබ්ලෝ නොපැකිලෙයි. ඉන් 'කාන්තාවන්ට අත උස්සන්නා එපා' වැනි ආප්තයක් වෙනුවෙන් පෙනී සිටියා ද, අන් අයගේ විශ්වාසයන්, ස්ථාවරයන්  සුළුකොට තැකීම ඔහුට සුළු දෙයක් බව කි, අපට පෙන්වන්නේ.

සාගරය ආශ්‍රිත දර්ශන, විසි වෙනි සියවසේ මුල් භාගය ප්‍රතිනිර්මාණය කොට පෙන්වීම, සුවිශේෂි රඟපෑම් - මචාඩෝ, ලුයී රොමෙරො, මගින් සුවිශේෂි දෘ‍ෂ්‍යකාව්‍යයක් නිර්මාණය කර ඇති අතර, නැවතත් කීමට ඇත්තේ, මට මෙම චිත්‍රපටියේ තව 'කියවීමට' ඇති දේ මගැරුණා විය හැක.


Tuesday 5 December 2023

'රහස් කියන කඳු' ගැන වචනයක් දෙකක්...

 මිතුරෙකුගේ ආරාධනව සහ සංවිධනාය නිසා ම 'රහස් කියන කඳු' නැරඹුවෙමි. ඒ වාගේ මිතුරන් විටින් විට හමු වීම ම වාසනාවකි. නැත්තං, චිත්‍රපටි නැරඹීම කල් දමා සිට ඒවා කිසිදා නොබැලීම ය.

දශක ගණණාවක් පුරා වරින් වර, අප රට සිදු වූ තරුණ තරුණියන් සමාජ අසාධාරණයන්ට විරුද්ධව නැගිටීම් වලට රාජ්‍ය බලය යෙදවුණු අන්දම ත්, අනේක පැහරගැනීම්, සමූහ මිනි වලවල් ආදිය ත් සැලකිල්ලට ගෙන, ඊට අප සමාජයේ සමස්ත අසංවේදීකම ගන ඇඟිල්ලෙන් ඇහැට ඇන මතක් කරනා ආකාරයේ චිත්‍රපටියකි. පෞද්ගලික සහ සාමාජීය කෲරත්වය, අසංවේදීකම නිසාම එය "දෛනික ජීවිතයේ කොටසක්" වන ලෙසට, අපේ වැඩක් බලාගෙන සිටීම අපට හුරුය. මනුවර්ණගේ චිත්‍රපටියෙන් අපේ සමාජයේ මෙම මානසිකත්වය පිළිඹිබු කිරීමටත්,  කුමන දේ කලත් බලය ඇත්තා ට බේරී සිටීමට ඇති හැකියාවත් ඔහු සාර්ථකව පෙන්වා ඇත.


මෙහි නාභීගත වූ එම රාජ්‍ය බලයේ ආශිර්වාදය රැගත් ත්‍රස්ත මැර කණ්ඩායමේ එක් අයෙකු පමණක් තම ලිංගිකාආසාව, සහ පිරිමි සිරුරේ ශක්තිය ට ඇති කැමැත්ත හමුවේ, ඔහුට ලැබෙන විධානයන්ට එරෙහි වීමට යොමු වේ. එය අභ්‍යන්තර පිපිරීමකට හේතු වන අතර, ඉන් ගම්‍ය වන්නේ කලාව, ලාලිත්‍ය, කාමරසය ආදි සාමාන්‍ය මිනිසුන් විඳිනා, ජීවිතය ට වටිනාකමක් දෙන දේ ට ම වැඩි වැදගම්මක් දීම තුලින් මෙම අනිටු බලපරාක්‍රමයන් සහ කාලයක් තුල අප උර මත පවත්වාගෙන යන සංස්කෘතික අධිභාරයෙන් මිදීමට හැකි බවකි.

මෙහි එන සියළු නළු-නිලියන් ගේ රඟපෑම ගැන අමුතුවෙන් කිව යුතු නොවන්නේ, ඔවුන් සියළු දෙනා තම උපරිම දක්ෂතා විදහා දක්වන නිසාය. මට සාමාන්‍ය රඟපෑමක් ලෙස නෙත ගැටුනු එකම අවස්ථාව සැටලිම ට භාවිත වූ උන බම්බු ටික ගිනි තබා ලොකු හාමුදුරුවන් කල දෙසුම පමණි. එහෙත් මෙහි ප්‍රධාන භික්ෂු චරිතය රඟපානා ලක්මාල් ධර්මරත්න ගේ විශිෂ්ඨ රඟපෑම මා වඩාත් සිත්ගත් අතර, ලාංකීය බහුභාණ්ඩික භික්ෂුවකගේ උභතෝකෝටිය අතිසාර්තකව පෙන්නුම් කරයි.



Saturday 2 December 2023

මං මාවතක මතක මිමිණිල්ල - මලිඳු කාවින්ද කුමාරසිංහ

මෙම කෙටිකතා සංග්‍රහය කියවීමට තෝරාගැනීමට ප්‍රධාන හේතුව වූයේ 2021 වසරේ විද්‍යෝදය සහ ගොඩගේ සම්මාන සඳහා නිර්දේශ වී තිබීමය. පොත මිලදී ගැනීමේදී අප දුටුවේ මෙය කර්තෘ ප්‍රකාශනයක් බවය - කර්තෘ ප්‍රකාශනයක් මෙලෙස සම්මාන දෙකකට නිර්දේශ වී තිබීමද සුවිශේෂීය. 2021 වසරේ කියවීමට කෙටිකතා සංග්‍රහයන් අටෙන් සයවැන්න ලෙස මෙය කියවීමි.


මෙම කෙටිකතා සංග්‍රහයේ ඇත්තේ මිමිණිලි පහළොවකි - එම මිමිණිලි පහලොවට වෙනත් නම් යොදා නැතත්, එම මිමිණිලි හඳුනාගනීමේ පහසුව උදෙසා මා මෙහිදි නම් යෝජනා කරමි.

මෙම සංග්‍රහයේ නෙතට කඳුළක් ගෙන ඒමට සමත්, එලෙසම නොසිතු හැරවුම් මගින් පාඨකයා කම්පනය කිරීමට සමත් නිර්මාණ අපට හමුවිණි. එලෙසම සමහර විටෙක කාව්‍යාත්මක සහ භාවාතීශ රසාස්වාදයක් ඌණනය කිරීමට ම යත්න දැරීම හේතුවෙන්, සමහර නිර්මාණ වල විශ්වාසනීයත්වයට පළුදු ගෙනන අවස්තා ද මතුවේ.

අප මෙහි වඩාත් සාර්ථක නිර්මාණ දෙස යොමු වෙමු. දොලොස්වෙනි මිමිණිල්ල වූ අබ්දුල් නම් සේවකයාගේ කෙටිකතාව මා නෙතට කඳුළක් ගෙනඒමට සමත් වූවකි. ඒ, අනෙකා අප වෙත යොමු කල හෘදයාංගම බැඳීම සුළු කොට තැකූ අවස්ථා තිබූ බවට මෙවන් කතා අපට මතක් කරනා හෙයිනි. එවිට ඒ අනෙකා, තමන් විශ්වාස කල දේ නැති වීම හේතුවෙන්, ඔහු පෙනීසිටි දේ ට විරුද්ධ වූ ඔහුගේම අය හමුවේ අන්තිම අසරණ තත්ත්වයකට පත් වේ. මෙය කෙටිකතාවක ට ඌණනයෙන් ඔබ්බට ගෙනයා හැකි තත්ත්වයකි.

එකොලොස්වැන්න වූ රත්තරන් හදවතක් හිමි ලොකු අයියාගේ මිමිණිල්ල ද මා මහත් රසවිඳි මිමිණිල්ලකි. එහි පාඨකයා නොසිතූ හැරවුමකින් කෙරෙන හෙළිදරව්ව මෙම කෙටිකතා සංග්‍රහයේ එන සුවිශේෂි ලක්ෂණයක ට අපූරු නිදර්ශනයකි. මෙම පාඨකයා විමතියට ලක් කෙරෙන කතාගලනයේ හැරවුම් අනෙක් මිමිණිලි කිහිපයකද අපට හමුවේ. 'සුරංගී නිවෙස' පිළිබඳ මිමිණිල්ලේ සුරංගිගේ රියදුරු හඳුනාගැනීම මගින් ගෙනෙන විමතිය, අටවන මිමිණිල්ල වූ පත්තර පිස්සෙකු ගේ අනාවරණය ගෙනෙන විමතිය, පාලොස්වන මිමිණිල්ල වූ 'වීරේ අයියාගේ' කතාවේ ඔහුගේ සැබෑ අනන්‍යතාව තහවුරුවීම ගෙනෙන විමතිය, සයවන මිමිණිල්ල වූ ඉමා සහ සුපුල්ගේ කතාවේ කතාවේ කර්තෘ කවුද යැයි හෙළිවීමේ දී ගෙනෙන විමතිය,  සාර්ථක නිර්මාණ වලට ද නිදර්ශනයන් ගෙන එයි. එලෙසම මෙම විමතියක් ගෙන ඒමේ තැත් එතරම සාර්ථක නොවූ අවස්තා ද මේ අතර අපට හමු වේ. හත්වෙනි මිමිණිල්ල වූ ටීටර්කාරයකු පිළිබඳ කතාව එවැන්නකි.

මෙහි එන අනෙක් සාර්ථකත්වය මා දුටුවේ, නිර්මාණයන් ට බරක් නොවෙනා ලෙස ජනවර්ග ඇති අතර පරතරයන් පියවීමට යත්න දරා ඇති අවස්ථාවන් හි දී, කතාරසයට කිසිදු අලාභයක් නොගෙන එය එසේ කිරීමට සමත් වී තිබීමයි ( ඉහත අබ්දුල් සහ වීරේ අයියා පිළිබඳ මිමිණිලි). පටු අදහස් ඇති ගුරුවරු හමුවේ සිසුන්ගේ සිප්සැදෑරිමෙන් ඈත් වීම මෙන්ම ( පළමු මිමිණිල්ල - මහසෝනාගේ කතාව), සාර්ථක ගුරුවරුන් ගෙනෙනා ආශිර්වාදයන් ද ( නවවෙනි මිමිණිල්ල - අරලිය) අපට ප්‍රචාරාත්මක නොවී එම පණිවුඩ ගෙන එයි.

කතුවරයා ආදරය වෙනුවෙන් ද තම කෙටිකතාවේ සැලකිය යුතු කොටසක් මිඩංගු කොට ඇත - දහවෙනි මිමිණිල්ල වූ ගල්ටික්කා ගේ කඳුළු ගැන මිමිණිල්ල මෙන්ම, සින්ඩරෙල්ලා ගැන වූ දහතුන්වෙනි මිමිණිල්ලත්, සිව්වෙනි මිමිණිල්ල වූ සුබා අටපිරිකර පිළිබඳ මිමිණිල්ල ද ඊට නිදසුන් ය. පෙර කී ලොකු අයියා ගැන කතාවේ ද ආදරය වෙනුවෙන් සැලකිය යුතු ඉඩක් වෙන් කොට ඇත.

සමස්ත ලෙස කිව හැක්කේ, මෙය 2021 වසරේ ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් අතර සාර්ථක පාර්ශවයට එක්කොට හැකි කෙටිකතා එකතුවක් බවටය. මෙය බොහෝ විට මලිඳුගේ පළමු කෙටිකතා සංග්‍රහය වන්නට ඇතැයි සිතෙද්දි, ඔහු ගැන බොහෝ බලාපොරොත්තු තබා ගත හැකි බව හැඟෙනා අතර, 2022 වසරේ ප්‍රකාශ වූ සහ, විද්‍යෝදය සහ ගොඩගේ සම්මාන වලට නිර්දේශ වූ 'ටෙඩියෙකුගේ චේ හදවත' කෙටිකතා සංග්‍රහය කියවීමටද බලාපොරොත්තු වන බව කිය යුතුය.

ශ්‍රේණිය: ***1/2
2021 වසරේ ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 6
කර්තෘ ප්‍රකාශනයකි (2021)