Saturday 2 December 2023

මං මාවතක මතක මිමිණිල්ල - මලිඳු කාවින්ද කුමාරසිංහ

මෙම කෙටිකතා සංග්‍රහය කියවීමට තෝරාගැනීමට ප්‍රධාන හේතුව වූයේ 2021 වසරේ විද්‍යෝදය සහ ගොඩගේ සම්මාන සඳහා නිර්දේශ වී තිබීමය. පොත මිලදී ගැනීමේදී අප දුටුවේ මෙය කර්තෘ ප්‍රකාශනයක් බවය - කර්තෘ ප්‍රකාශනයක් මෙලෙස සම්මාන දෙකකට නිර්දේශ වී තිබීමද සුවිශේෂීය. 2021 වසරේ කියවීමට කෙටිකතා සංග්‍රහයන් අටෙන් සයවැන්න ලෙස මෙය කියවීමි.


මෙම කෙටිකතා සංග්‍රහයේ ඇත්තේ මිමිණිලි පහළොවකි - එම මිමිණිලි පහලොවට වෙනත් නම් යොදා නැතත්, එම මිමිණිලි හඳුනාගනීමේ පහසුව උදෙසා මා මෙහිදි නම් යෝජනා කරමි.

මෙම සංග්‍රහයේ නෙතට කඳුළක් ගෙන ඒමට සමත්, එලෙසම නොසිතු හැරවුම් මගින් පාඨකයා කම්පනය කිරීමට සමත් නිර්මාණ අපට හමුවිණි. එලෙසම සමහර විටෙක කාව්‍යාත්මක සහ භාවාතීශ රසාස්වාදයක් ඌණනය කිරීමට ම යත්න දැරීම හේතුවෙන්, සමහර නිර්මාණ වල විශ්වාසනීයත්වයට පළුදු ගෙනන අවස්තා ද මතුවේ.

අප මෙහි වඩාත් සාර්ථක නිර්මාණ දෙස යොමු වෙමු. දොලොස්වෙනි මිමිණිල්ල වූ අබ්දුල් නම් සේවකයාගේ කෙටිකතාව මා නෙතට කඳුළක් ගෙනඒමට සමත් වූවකි. ඒ, අනෙකා අප වෙත යොමු කල හෘදයාංගම බැඳීම සුළු කොට තැකූ අවස්ථා තිබූ බවට මෙවන් කතා අපට මතක් කරනා හෙයිනි. එවිට ඒ අනෙකා, තමන් විශ්වාස කල දේ නැති වීම හේතුවෙන්, ඔහු පෙනීසිටි දේ ට විරුද්ධ වූ ඔහුගේම අය හමුවේ අන්තිම අසරණ තත්ත්වයකට පත් වේ. මෙය කෙටිකතාවක ට ඌණනයෙන් ඔබ්බට ගෙනයා හැකි තත්ත්වයකි.

එකොලොස්වැන්න වූ රත්තරන් හදවතක් හිමි ලොකු අයියාගේ මිමිණිල්ල ද මා මහත් රසවිඳි මිමිණිල්ලකි. එහි පාඨකයා නොසිතූ හැරවුමකින් කෙරෙන හෙළිදරව්ව මෙම කෙටිකතා සංග්‍රහයේ එන සුවිශේෂි ලක්ෂණයක ට අපූරු නිදර්ශනයකි. මෙම පාඨකයා විමතියට ලක් කෙරෙන කතාගලනයේ හැරවුම් අනෙක් මිමිණිලි කිහිපයකද අපට හමුවේ. 'සුරංගී නිවෙස' පිළිබඳ මිමිණිල්ලේ සුරංගිගේ රියදුරු හඳුනාගැනීම මගින් ගෙනෙන විමතිය, අටවන මිමිණිල්ල වූ පත්තර පිස්සෙකු ගේ අනාවරණය ගෙනෙන විමතිය, පාලොස්වන මිමිණිල්ල වූ 'වීරේ අයියාගේ' කතාවේ ඔහුගේ සැබෑ අනන්‍යතාව තහවුරුවීම ගෙනෙන විමතිය, සයවන මිමිණිල්ල වූ ඉමා සහ සුපුල්ගේ කතාවේ කතාවේ කර්තෘ කවුද යැයි හෙළිවීමේ දී ගෙනෙන විමතිය,  සාර්ථක නිර්මාණ වලට ද නිදර්ශනයන් ගෙන එයි. එලෙසම මෙම විමතියක් ගෙන ඒමේ තැත් එතරම සාර්ථක නොවූ අවස්තා ද මේ අතර අපට හමු වේ. හත්වෙනි මිමිණිල්ල වූ ටීටර්කාරයකු පිළිබඳ කතාව එවැන්නකි.

මෙහි එන අනෙක් සාර්ථකත්වය මා දුටුවේ, නිර්මාණයන් ට බරක් නොවෙනා ලෙස ජනවර්ග ඇති අතර පරතරයන් පියවීමට යත්න දරා ඇති අවස්ථාවන් හි දී, කතාරසයට කිසිදු අලාභයක් නොගෙන එය එසේ කිරීමට සමත් වී තිබීමයි ( ඉහත අබ්දුල් සහ වීරේ අයියා පිළිබඳ මිමිණිලි). පටු අදහස් ඇති ගුරුවරු හමුවේ සිසුන්ගේ සිප්සැදෑරිමෙන් ඈත් වීම මෙන්ම ( පළමු මිමිණිල්ල - මහසෝනාගේ කතාව), සාර්ථක ගුරුවරුන් ගෙනෙනා ආශිර්වාදයන් ද ( නවවෙනි මිමිණිල්ල - අරලිය) අපට ප්‍රචාරාත්මක නොවී එම පණිවුඩ ගෙන එයි.

කතුවරයා ආදරය වෙනුවෙන් ද තම කෙටිකතාවේ සැලකිය යුතු කොටසක් මිඩංගු කොට ඇත - දහවෙනි මිමිණිල්ල වූ ගල්ටික්කා ගේ කඳුළු ගැන මිමිණිල්ල මෙන්ම, සින්ඩරෙල්ලා ගැන වූ දහතුන්වෙනි මිමිණිල්ලත්, සිව්වෙනි මිමිණිල්ල වූ සුබා අටපිරිකර පිළිබඳ මිමිණිල්ල ද ඊට නිදසුන් ය. පෙර කී ලොකු අයියා ගැන කතාවේ ද ආදරය වෙනුවෙන් සැලකිය යුතු ඉඩක් වෙන් කොට ඇත.

සමස්ත ලෙස කිව හැක්කේ, මෙය 2021 වසරේ ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් අතර සාර්ථක පාර්ශවයට එක්කොට හැකි කෙටිකතා එකතුවක් බවටය. මෙය බොහෝ විට මලිඳුගේ පළමු කෙටිකතා සංග්‍රහය වන්නට ඇතැයි සිතෙද්දි, ඔහු ගැන බොහෝ බලාපොරොත්තු තබා ගත හැකි බව හැඟෙනා අතර, 2022 වසරේ ප්‍රකාශ වූ සහ, විද්‍යෝදය සහ ගොඩගේ සම්මාන වලට නිර්දේශ වූ 'ටෙඩියෙකුගේ චේ හදවත' කෙටිකතා සංග්‍රහය කියවීමටද බලාපොරොත්තු වන බව කිය යුතුය.

ශ්‍රේණිය: ***1/2
2021 වසරේ ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 6
කර්තෘ ප්‍රකාශනයකි (2021)

No comments:

Post a Comment