Sunday 30 August 2020

පිටකොටුවේ රැයක් - රෝෂන් නිශාන්ත විජේසිංහ

2019 ගොඩගේ අත්පිටපත් තරඟය - විශිෂ්ටතම නවකතාව

2020 ගොඩගේ හොඳම නවාකතාව - දිගු ලයිස්තු නිර්දේශිත

පොතක නමක් හේතුවෙන් හෝ පිටකවරය හේතුවෙන් හෝ මම පොතක් කියවන්න ගන්නේම නැති තරම්. ඉංග්‍රීසි පොතක් නම්, එවන් කුතුහලය අවුලන පොතක් නම්, ඉන්න තැන සිටම අන්තර්ජාලයෙන් කරුණු නොවිමසා එලෙස පොතක් ගැනෙන්නේම නැති තරම්. එම නිසා මේ කෘතියේ නම ට අමතරව, එය ඉහත ලබා ගත් පිළිගැනීම් ද, මේ මීට කලින් නම හෝ අසා නොතිබුණු මේ ලේඛකයාගේ පොත මිල දී ගැනීමට මාව පෙළඹෙව්වා.

ඉතින් පොත කොහොමද ? 

පොතේ නම හැටියට මා වඩාත් බලාපොරොත්තු උනේ, රාත්‍රි කාලයේ පිටකොටුව අඳුරේ දිගැරෙන නිශාචර ජීවිතය තරමක් දුරට විනිවිදින ආරේ ආඛ්‍යායනයක් කියවන්න. වෙනත් වචන වලින් කිවහොත්, අනුරසිරි හෙට්ටිගේ ගේ "කළුවරයි පුරහඳ" නම් විශිෂ්ඨ කෘතියේ සමාජ පසුබිමට යම් සමීප බවක්, එක් රැයක ගලායාම් තුලින් බලාපොරොත්තු උනේ. එහෙත් මෙම කෘතිය එම විෂය දෙස යොමු කර ඇත්තේ ඈත සිට බලන්නෙකුගේ දෑසක් පමණයි. මත් කුඩු වලට ඇබ්බැහිවූවන්, සොරුන්, අඩු මිලකට විකිණෙන වෛශ්‍යාවන්, රෑ ඩියුටියේ යන පොලිසියේ අය සිටියත්, ඒ සියළු දෙනා අප දකිනුයේ රාත්‍රී කළුවර තුලින්, තරමක් ඈතින්. ඔවුන් අවශේෂ චරිත - කිමද මෙහි විශේෂ චරිතයක් ද සිටින්නේ ය. ඒ එදින විශ්‍රාමය දැනුම්දීමේ ලිපිය ලත්, සෙනෙවිරත්නය. ඉතින් ඒ අර්ථයෙන්, මගේ ප්‍රධාන අපේක්ෂාව ඉෂ්ඨ සිද්ධ උනේ නැත.

ඒ වෙනුවට අපි ට හමුවන්නේ, තමන් ව  ස්තිර ලෙස විශාමයෑමේ ලියමන ලැබීම  හේතුවෙන් වික්ෂිප්ත වූ සැට හැවිරිදි සෙනෙවිරත්නගේ  ඒකපාත්‍ර භාෂණය. ඔහු බස් නැවතුම පොළ ආශ්‍රිතව ගත කරන "පිටකොටුවේ රැයක්" ය, අපි කියවනුයේ.  සෙල්ලක්කාර පියෙකුගේ අනියම් භාර්‍යාවකට හමු වූ පුතෙකු, එම පියාගේ නෛතික  පවුලෙන් ලත් දරුවන්ගෙන් මුළු බාල විය පුරාම ලත් උපහාස, අපහාස, පහරදීම් මැද ජීවිතය යම් තාක් දුරකට සරි කොට ගත්තෙකුගේ ආවර්ජ්නයන් ය, අප මේ රාත්‍රිය පුරාවට අහන්න ලැබෙන්නේ. 

"'මෙන්න සෙනෙවි ඔයාගෙ රිටයමන්ට් ලෙටර් එක.'

...ඒක ඇහෙද්දි මට මොකක්දෝ සිද්ධ වුනා... ඒත් එදා ඉඩම ලියලා දෙන මොහොතෙ අපේ තාත්තට සිද්ධවුන දේ මටත් සිද්ධ වෙන්න ඇති. තාත්තට එහෙම වුනේ එයාගේ සියලු ගෞරවය වගේම  අභිමානයත් තිබුණේ එතන හින්දා. සත්තකින්ම තාත්තා හිතුවදේ හරියටම හරි. එයාට තමන්ගෙ ලමයි යන්තමින් හරි සැලකුවෙ ඔය ඉඩම එයාගෙ නමට තියෙන හින්දා විතරමයි... ... ඉතින් උන් කපණ්න බැරි අත ඉම්බා. ඉන් පස්සෙ තාත්තා නිකං අවලංගු කාසියක් බවට පත්වුනා...

... මගෙත් ගෞරවය වගේම ආත්මාභිමානයත් රැඳිලා තියෙන්නෙ මේ රස්සාවත් එක්ක කියලා මට වැඩියෙන්ම හිතෙන්නෙ දැන් තමයි. දැන් ඒකත් නැතිවෙනවා. මම කියන චරිතයෙන් හතරෙන් තුනක්ම කැඩිලා, විසිරිලා, බිඳිලා, කුඩුවෙලාම යනවා."

(98-99 පිටු )

ඉතින්, තමන් ගේ හෙට දවස ගැන අවිනිශ්චය, නැති වූ අවස්ථා, තමන් ට හැම දා හතුරුකම් කරපු සහෝදර සහෝදරියන්ට තමන් කරනා උපකාර, පශ්චත්තාපයන්, වයසට ගිය තනිකඩ මිනිසෙකුට සමාජ ජාලා මගින් ලංවෙන්න කුරුමානං අල්ලන අන් ගැහැණුන් හා පිරිමින්, මෙය ලියැවුණු කාලයේ දේශපාලන වටපිටාව ආදිය ගැන දිගැරෙමින්, පිටු 152 ට සීමා වූ තරමක් කෙටි නවකතාවකි මෙය ( එය ද මෙය මිල දී ගැනිම්මට රුකුල් විය ). මෙහි කථිකයා ගේ මතකය අවදිවීම අනුව ඔහුගේ ජීවිතයේ විවිධ අවදි ඔහු අප ඉදිරියේ තබයි. මෙහි අයෙකුට සාහිත්‍ය කෘතියක් ලෙස් රස විඳිය හැකි කරුණු කාරණා රැසක් හමුවේ. එහෙත්, අපැහැදිලි චිත්‍රයක කොටස් තැනින් තැන මතුවෙන්නාක් මෙන් වූ   ආඛ්‍යාන රටාව සැම විටම සාර්ථක නොවේ. ඔහු හේ ම මතකයන් අවදිවීමක් විනා, අපට ඔහුගේ තතුකීමේ අරමුණකින් සිදු නොවූ නිසාදො, එහි පැහැදිලිබවේ අඩුවක් තැනෙක දෙකක දැනේ - ඒ  ආකෘතියේ රටාව යි. අයෙකුට එහි යම් ස්වභාවික බවක් ඇතැයි කිව හැක. ලියැවී ඇත්තේ බොහෝ සෙයින් සරල කථන භාෂාවෙනි. පිට කොටුවේ විස්තර පමණක් නොව, සෙනෙවිගේ පවුලේ විස්තර පවා සුන්දර කියවීම් නොවේ. පරුෂ වචනයෙන් ම තම මතකයන් ආවර්ජනය කරන අවස්ථා එමටය.

පිටකොටුවේ අහුමුළු ගැන කියවීමේ ආසාවෙන් මිල දී ගත්ත ද, ඒ ගැන එතරම් දෙයක් නොතිබුන ද, සිංහල නවකතාවට යම් නුහුරු ආකෘතියක් මගින් දිගැරෙන රස විඳිය හැකි නිර්මාණයකි. මෙය ගොඩගේ දිගු ලයිස්තුව තුලට පැමිණිමේ දොසක් නොදකිමි.

( 2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 4 )
 
***1/2
ප්‍රකාශනය - ගොඩගේ


Saturday 29 August 2020

මූදු පුත්තු නව නිෂ්පාදනය ඔස්සේ එහි ඉතිහාසයට ගමන් කිරීම

 ( නව නිෂ්පාදනය - දීප්ති සාගරිකා ගලපත්ති )

ගුණසේන ගලප්පත්ති ගේ මූදු පුත්තු අප සිත් හි රැඳී පවතින්නේ "මුහුද පතුල යට ඉඳලා..." ගීතය හේතුවෙනි.  මා සතු සං‍යුක්ත තැටියක එම ගීතය ඇතුලත් වන අතර, එහි ගායනය මැණිකේ අත්තනායක ගේ යැයි මම සිතමි. මෑතක් වන තුරු එය ප්‍රදර්ශනය නොවන නාට්‍යයක් ලෙස සැලකුණ හෙයින්, ඒ ගීතය රසවිඳ ඉන් සෑහුනේ, එම ගීතයේ කියවෙන "සුල මුල" ගැන හෝ අවදානයක් නොකොටය. එහෙත්, කෙනෙකුන් වෙරළෙන් කිරිකවඩි ගෙනෙන්නේත්, තවත් අයෙක් කඩෙන් පාට පබළු ගෙනෙන්නේත් ඇයිදැයි යන කතා වස්තුව ඔස්සේ ප්‍රකට වේ. ඒ, පසුගිය දිනෙක දුටු පෝස්ටරයක් හේතුවෙන් අද දින, බිරිඳ ද සමඟ බොරැල්ලේ පුංචි තියටර් හි දි නාට්‍ය නැරඹීම හේතුවෙනි. 




මෙම නාට්‍යය 60, 70, 80 හෝ 90 දශකයේ නිෂ්පාදනයන් හා සැසදීමකට මට නොහැක්කේ, මා ඒ පෙර නිෂ්පාදනයන් දැක නැති නිසා ය. කෙසේ වෙතත්, සංගීතය,  භාව ප්‍රකාශනය සහ නාට්‍ය පසුබිම්  ආදිය අතින් නාට්‍යය අප රස වින්දනය පෝෂනයට දායක විය ( දෙබස් පුහුණුව තව දුරටත් සිදු විය යුතුය).  නාට්‍යයේ සැලකිය යුතු කොටසක් සංගීතානුසාරයෙන් ගොඩනැගී තිබීමත්, එම කොටස් ගායක මඩුල්ල අතින් සාර්ථකව සිදු කිරීමත් නාට්‍යයේ රසවත් බවට හේතු වූ බව සිතමි. මූදු පතුල යට ඉඳලා ගීතය, මා මෙතෙක් අසා තිබූ ආකාරයට වඩා වෙනස් සංගීතයකින් සහ හඬකින් අසුණු බව සැබවී. මුල් නිෂ්පාදනයෙන් දෙබස් කිසිවක් වෙනස් නොවී ඇතැයි සිතිය හැක - ( මාළු වෙන්දේසියේ දි තේගිරිස් ට ලැබෙන්නේ තම මාළු විකිණීමෙන් රුපියල් දෙකක මුදල, කේන්දර කෙරෙහි ඇති දැඩි විශ්වාසය සහ බාරහාර කෙරෙහි ඇති විශ්වාසය මෙම නාට්‍ය පිටපත, ගලප්පත්ති එය නිෂ්පාදනය කල යුගයට ම ඇද බැඳ තබනා බවකි, මට හැඟෙන්නේ. )

තේගිරිස් : කාරණාකාරණා සොයද්දි මතු වූයේ, තේගිරිස් ගේ චරිතය මුලින් ම රඟපා ඇත්තේ සිරිල් වික්‍රමගේ බවත්, ඔහු ව ගලප්පත්ති විසින් තෝරා ගන්නේ ලද්දේ අප විදුහල හැටේ දශකයේ නිෂ්පාදනය කල නාට්‍යයක, වික්‍රමගේ රඟපානවා දැකීමෙන් බවත් ය. ( හැට හැත්තෑව දශක වල වෙස්ලි විද්‍යාලය සිංහල කලාවට යම් සේවයක් ඉටු කොට ඇත්තා සේය. හැත්තෑව දශකයේ කමල් අද්දරාරච්චි සිසුවෙකු ලෙස නාට්‍ය ලෝකයට ඇතුළු වෙද්දි, ගාමිණි සමරකෝන් ආචාර්‍ය මණ්ඩලයේ සිටියේ ය.)  මූදු පුත්තු වික්‍රමගේ ට තම කලා දිවියේ කඩ ඉමක් වූ බවත්, පසු ව මූදු පුත්තු මුල් කරගෙන, ප්‍රවීණයන් රැසකගේ ( ඩී.බී. නිහාල්සිංහ, සිරි ගුණසිංහ, වසන්ත ඔබේසේකර,   තිස්‌ස ලියනසූරිය, මහගම සේකර සහ සෝමදාස ඇල්විටිගල සබඳතාවෙන් නිෂ්පාදනය වූ සැඩසුළං වලට ද සිරිලි වික්‍රමගේ දායකත්වය ලබා දුන් බවත් මා දැනගත්තේ ඔහු 2013 දී දිවයින පත්‍රය ට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඔස්සේය.



දීප්ති ගලපත්ති මහත්මිය සරසවිය පත්තරය හා සාකච්ඡාවක් ලබා දෙමින් පවසන්නේ;

විශේෂයෙන්ම ස්ටැන්ස්ලවුස්කිගේ රංග රීතිය ලංකාවට හඳුන්වලා දුන්නා. එහිදී සිද්ධ වෙන්නේ නළුවා චරිතයට බැහැලා රඟපාන එකයි. උඩින් හෝ මතුපිට රඟපෑමක් නෙවෙයි කරන්නේ. ඒ ඔස්සේ මුලින්ම ‘මූදුපුත්තු’ නාට්‍යයයි තාත්තා ලංකාවේ ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙන්නේ. ඔහු එහි රඟපාන සෝමලතා සුබසිංහ, සිරිල් වික්‍රමගේ, නෙල්සන් කරුණාගම, සමන් බොකලවල, ලයනල් හේමසිරි, නිමල් විජේසිරි, සෝමසිරි බැද්දේගම කියන අයට මේ සියලු ක්‍රමවේද උගන්වලයි නාට්‍යයට සහභාගි කර ගත්තේ. තාත්තා ඒ ඉගැන්වුව විදිය ඔවුන් අදත් පවසනවා.’

ඔහු මෙම රංග නීතීන් ඉගෙනගන්නේ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් දිනා යේල් විශ්වවිද්‍යාලයට ගොස් කල හැදෑරීම් හේතුවෙනි. 

ඇය තව දුරටත් පවසා සිටින්නේ, නාට්‍යය පෝෂණය කල චරිත හමුවූයේ ගලප්පත්ති විසූ මුහුදුබඩ ගම් පියසෙන් ආදියෙන් ම වුවත්, කතාවට මූලාශ්‍රය ගර්ෂියා ලෝකාගේයෙර්මා නාට්‍යයෙන් ඔහු උකහා ගත් බවත් ය.

පෙර කීවාක් මෙන්, මෙම නව නිෂ්පාදනය පෙර නිෂ්පාදනයන් හා සැසඳීමට මට නොහැකිය. එහෙත්, මීට වසර 50 ට පමණ පෙර මුලින් ප්‍රදර්ශනය වූ නාට්‍යයක් නැවත නව නිෂ්පාදනයක් හේතුවෙන් නැරඹීමට අවකාශය ලැබීම ගැන මා සතුටු වෙමි.