ලේඛිකාවගේ පළමු කෙටි කතා සංග්‍රහය වූ "ගිහින් එන්න කාර්නිවල්" ප්‍රධාන සම්මාන දෙකක් ජය ගැනීමට සමත් වුව ද, ඒ පිළිබඳව මා සතු වූයේ මිශ්‍ර හැඟීම් ය. එහි සාරවත් විභවයන් තිබුන ද, ඒ විභවයන් ආශ්‍රයෙන් ඈට ලිවිය හැකි හොඳම නිර්මාණ එහි නොතිබූ බවකි මගේ අදහස. එවන් වටපිටාවක, ඇගේ දෙවෙනි කෙටිකතා සංග්‍රහය ද කියවීමට පෙළඹුනේ, එක, මෙය රජත පුස්තක සම්මාන නිර්දේශයට සුදුසු ද යන්න සොයා බැලීමටත්, පළමු නිර්මාණ ගොන්නේ වූ පෙර කී විභවයන් හේතුවෙන්, ඈව නොසලකා සිටීම ද නොහැක්කක් යැයි සිතට දැනුනු නිසා ය. මා මිත්‍ර සහ විශ්වාසී අනෙක් පොත් කියවන්නියන් ද, මෙම පොත කියවීමට එතරම්
මනාපයක් පෙන්නුම් නොකර වටපිටාව මෙය කියවීම තෝරා ගැනීමට අනෙක් හේතුව වන්නට
ඇත. ඒ අනුව මේ සංග්‍රහය ද අසාර්ථක වුවොත්, සුමුදු නිරාගි පොත් වලට මද හෝ දීර්ඝ හෝ නිවාඩුවක් ලැබෙනු ඇතැයි යන්නේ මගේ යටි සිතේ සිතුවිල්ල වන්න ට ඇත.
ඉතින් කෙටි කතා හත කෙසේ ද ?
මචං, සර්! - කෙටි කතාව '88-'89 යුගය මුල් කරගෙන ය. එකල පැවති දේශපාලන ව්‍යාකූලතවාය භාවිත කරමින්, ගම් වල නව යොවුන් වියට පා තබන වයස් වල කොල්ලන් ද මංකොල්ලකරුවන් ලෙස යම් වාසි ලබා ගත් අවස්ථා තිබිණි. එවන් අවස්ථාවක් භාවිතයෙන් ලියූ, ආකර්ශනීය, "coming of age" ( එනම් නව යොවුන් විය ට වැඩිහිට බවට පත් වන සංක්‍රාන්ති යුගය ) කෙටි කතාවකි. රස වින්දෙමි.
මවු කිරි ප්‍රශ්ණය - ලංකාවේ දේවාල ආශ්‍රිත පරිසරය භාවිත කොට නිර්මාණය වී ඇති මෙම කෙටි කතාව, ඒ පිළිබඳ විවේචනයකි. දේවි දේවතාවුන් අතැර යන පෙදෙසක් ලෙස අප කතුවරිය පෙන්වා දී ඇත. එහෙත් සාහිත්‍ය නිර්මාණයක් ලෙස මට එහි එතරම් අපූරත්වයක් නොදැක්කෙමි.
මෙහි එන වෑගං දෙවියන් හා සබැඳි කතාවේ මූලය (දෙවියක් සහ පිළිමයක්) සත්‍යයක් දැයි නොදනිමි. ඒ කෙසේ වුදු, ඉතා සාර්ථක මෙන්ම රසවත් කෙටිකතාවක් ලේඛිකාව නිර්මාණය කොට ඇත. සාමාන්‍ය මිනිසුන් සත්‍යය බාර ගැනීමට කෙතෙරම් සූදානම් ද යන්න ගැඹුරින් හිතන්නට පොළඹවන ආරේ කෙටිකතාවකි. මෙම සංග්‍රහයේ එන වඩාත් රසවත් නිර්මාණයකි.
වෙසෙසින් 2009න් පසුව, ජාතික වීරයින් සහ ඉතිහාසය කෙරෙහි අප ජනතාවගේ උනන්දුව වැඩි විය. වීර මණ්ඩලේ එම ඉතිහාස උනන්දුව උත්ප්‍රාසයට නංවන රසවත් කෙටිකතාවකි. ඇත්තෙන්ම මෙවන් කෙටිකතාවක් අමරකීර්තිගේ පොතකින් මා වඩා බලාපොරොත්තු වෙමි. මායාදුන්නෙ චරිතය මුල් කොට ගැන නිර්මාණය වූවක් මුත්, මෙය සමස්ත ලෙස අප රට ඉතිහාස උනන්දුව පිළිබඳ ලියූවකි. ඉතිහාසය හා සබැඳි රැකියාවක නිරත අයෙකු, ඔබේසේකරයන් ගේ පොතක් ගැන නොදන්න බව කියූ පමණින් අවිශ්වාසයක් ඇති වුණු මුත්, වැඩිදුර කල්පනා කරන විට හැඟුණේ, එවන් නිලධරීන් ගේ පොත් පරිශිලනය ගැන කීමට තරම් මම තතු නොදන්නා නිසා, එය විය නොහැක්කක් බවට කිව නොහැකි බවය.
නූතන ස්වර්ණමාලී කතාවක් වන් "චිත්ත වග්ගයේ නැති කතාවක්" ද, ඉතිහාසය හා පුරාවිද්‍යාව, අප රට මිනිසෙකුගේ පෞද්ගලිකව ප්‍රශ්ණ හමුවේ ඔහු ට වැදගම්මෙන් බොහෝ අල්ප බවත්, පින පව පවා සමීකරණයට ඇතුල් වන්නේ ම, තමන් ට හානිදායක නොවන මට්ටමේ පවතින්නේ නම් පමණක් බවත් ඉඟි කරන නිර්මාණයකි.
සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්, මෙහි එන වඩාත් සංකීර්ණ කෙටිකතාවයි. එහි බොහෝ විට රූපක භාවිතය සාර්ථකය. සිතුවමක ට ගැලපෙන ආකාරයෙන් ගමත්, ගමේ සැබෑ ජීවිතයත් විස්තර කර ඇති ආකාරය අපූරුය. එහෙත් එහි විසිරුණු බවක් ඇත. "ඈ", මෙම නිර්මාණය ම නුපුරුදු බවකින් ප්‍රශ්ණ කරයි - එය හිත් ඇදගන්නා වර්ණ සංකලනයන්ගෙන් යුත්, එහෙත් යම් අසම්පූර්ණ, අසංඝත බවකින් බාල කෙරී ඇති බවකි මට හැඟුණේ.
අප රට මිනිසුන් වර්ග දෙකකි. තමන්ට ලැබෙන විවේකි අවස්ථාවෙන් හෝ කුමන අවස්ථාවෙන් හෝ "කීයක් හරි හම්බ කරගන්න" උත්සාහ දරණ අය එක් කොට්ඨාශයකි. රැකියාව හෝ ව්‍යාපාරය හෝ කොට, හැකි ඉක්මනින්, තම ජීවිතය විඳීමට අවකාශ සාදා ගන්නා අයවළුන් අනෙක් කොට්ඨාශයයි. අප ට "සොඳුරු - අඳුරු සර්ගයක්" හි හමුවෙන්නේ මින් පළමු වර්ගයේ මිනිසුන්ගෙන් අතරින් ද "ඇවිදින ලාභ අලාභ ගිණුමක්" බඳු අයෙකි. තරුණ විශ්ව විද්‍යාලය ශිෂ්‍යයෙකුව අවධියේ සිටි විප්ලවකාරී සිසුවා, ඇවිදින ලාභ අලාභ ගිණුමක් බවට පත් වූ වග කියාපාන මෙම කෙටිකතාව මෙහි එන සාර්ථක නිර්මාණයකි.
ගිහින් එන්න කාර්නිවල් හි සමහර කෙටිකතා වල තිබූ අසම්පූර්ණ බව මෙහි බොහෝ දුරට නැත. වෙසෙසින්, අප රට ජනප්‍රිය සංස්කෘතියේ සියුම් තැන්, ඒ මත පිහිටා ම ලියන බවට ඒත්තු ගැන්වෙන ආරක සිට සියුම් නිරීක්ෂණ වලට, සියුම් විමර්ෂණයට ලක් කෙරෙන කෙටි කතා සංග්‍රහයකි. මේ නිරීක්ෂණයන් ම, විමර්ෂණයන් ම වඩා රැඩිකල් බසකින්, ආස්ථානයක සිට ලියුවහොත් එහි පිළිගැන්ම මීට අඩු වනු ඇත. ඒ අනුව අප ලේඛිකාව ඉතා අපූරු ගැලපුම් ගෙන ඒමට සමත් වි ඇත. මා මේ පොත කියවන්නේ ඉසුරු චාමර ගේ හා කම්මැල්ලවීරගේ පොත් කියවා හමාරව, එරික් සහ පී.බී. ගේ පොත් කියවීම හා සමගාමීව ය. මේ පොත එම පොත් තරම් නූතන මතවාදි තැනෙක සිට ලියැවෙන හැඩක් බැලූ බැල්මට නොපෙනේ (එරික් ගේ පොත හැර - එහි ආකර්ශනීය සාංකාවක් මෙතෙක් කිය වූ නිර්මාණ තුලින් අත් දුටුවෙමි ) - සුමුදු ගේ ලේඛන ආස්ථානය ඊට සියුම් ය; විවේචන සියුම් ය, එහෙත් මනා අවබෝධයෙන් කෙරෙන ඒවාය; ඒවා ප්‍රඥාගෝචර ය. එලෙස ම කෙටි කතා හතෙන් පහක ම පෙර පොතේ වූ අඩුපාඩු යැයි මට හැඟුණු ස්ථාන සුමට කොට ඒවා අනගි නිර්මාණ බවට පෙරළී ඇත. නියත වශයෙන් ම "ගිහින් එන්න කාර්නිවල්" ලියද්දී සිටි තැනින්, ඈ තම නිර්මාණ කෞශල්‍යය ඉදිරියට ගෙන ගොස් ඇත. ඉතින් මිතුරනි, "සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්" නොපැකිළී කියවන්න.
( 2019 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් කියවීම -3 )
කෙටිකතා
****
විදර්ශන ප්‍රකාශකයෝ
2019
this is a gem.. a gem of a blog...wish I found this earlier. please keep writing....
ReplyDeleteThank you, Kassa, for the kind words.
DeleteThis is a really good blog.i found many good books by reading your blog. thanks for your time and effort. Keep up the good work...
ReplyDelete