Monday, 17 August 2020

ඉම තව දුරය - ආරියවංශ රණවීර

 "ඒ කොහොමද
ගෙදර යට තට්ටුව විතරයි ඉවර
බැංකු ණය එහෙම්මම
ලොකු කෙළී උසස් පෙළ පන්තියෙ
අනික් උන් පොඩියි හොඳටම
වයිෆ් පෙන්ෂන් ගත්තා
කල් ඇතිව
එයාට ප්‍රෙෂර් එක
 
හිත් අමාරුවටම
ලියන්න ගත්තා පොතක්
ඒ කෙනුත් ටිකයි ඉවර
කොහෙද වෙලාවක්
...
වැඩ
වැඩ
වැඩ
ඉතින් කොහොමද
යන්නෙ ?  
              (යන්නට බෑ දැන්ම)"

                            අත් දැකීම් වලින් වර්තමානයේ ඉතා සුලභ යැයි සිතිය හැකි මැයක් අලලා අපූරු කවි පංතියකට පෙරලා ඇති මේ  නිර්මාණය, ආකෘතිමය අතින් මේ මුළු සංග්‍රහයේ සමස්ත ස්වරූපය පෙන්නුම් කලාක් මෙනි. දීර්ඝ කාලයක් තුල, අද කවි පංතියක් -  තව දින දෙකකින් තව කවි පංති දෙකක් -  ආදි වශයෙන් කියවා රස විඳි මේ කාව්‍ය සංග්‍රහයේ, ආකෘතික විවිධත්වයෙන් අඩු බව, මට මුලින් ගෝචර වුනේ නැති තරම් ය.  මේ   පොදු ආකෘති ආර වඩාත් නෙත ගැටුනේ, මුළු කවි පොත කියවා හමාර කොට, නැවත තැනින් තැන මා ලකුණු තැබූ වඩා සාර්ථක යැයි හැඟුණු  කවි පංති දෙස බලනා කලය ( ඒ මේ සටහනට උපුටනට ය). කවියා, කවි මැයන් ලෙස අපූරු මාතෘකා තම නිර්මාණ උදෙසා භාවිත කොට ඇති බවට නම් විවාදයක් නැත.

"තවමත්
මට
ඇහෙනවා
වෙලාවකට
මුළුතැන්ගෙයි
අඩුම කුඩුම
අතගාන විට
නැඟූ හඬ
...
හොරෙන්
හොරෙන්
ගිහින්
බලන විට
ඔහෙ නෑ
ඔහෙ නෑ
කවුරුවත්
ඒ නිකම්
හිතේ 
සාංකාව
             (කිරිල්ලියේ)

එහෙත්, ( එකලෙසකින් රණවීර ලකුණක් යැයි සැලකිය හැකි) , වරෙක වදනක ට- දෙකකට සීමා වූ පද පේලි මගින් නිර්මිත කවි පංති, සුලභය.  බොහෝ ලෙස සාර්ථක යැයි, සිතට දැනෙනා යයි කිව හැකි කවි වලින් සපිරි, මේ කාව්‍ය සංග්‍රහය අවම වශයෙන් ප්‍රධාන සම්මාන දෙකක් තම නිර්දේශ තුලින් මගැරෙන්න මෙම ආකෘතික සුලභත්වයවත්  හේතුවක් වීවත් ද ? 

"ගමන
අතරමග
නතර කළ
ඔවුන්
ළඟ

ඉඳිමියි
සිතීමි
නොගොස්
නොදන්නා
නොපෙනෙන
දුර"
       (පරිපූර්ණත්වය )


පැකිලුනේ
මන්ද
සියලු බැමි
බිඳ
ගලායන
මිතුරු ඕඝයට
පනින්නට
පැන 
නාන්නට"
 (උතුරේ මිතුරාට )


මේ ආකෘති රටාව නැති කවි පංති නැතුව නොවේ - ඒත් ඒවා සුලභ නැත. වැංගෝ ලා, ඔය නිතර හිනැහෙන නෙත් දෙක, ඔබ සඳ ( I සහ II ), හෙරක්ලීස් හෙවත් පොලිස් පුතා ඊට නිදසුන් ය. "නුඹ" යන්න මෙහි ඇති සාරාගධික අපූරුතම කවියකි:

"ගල් සියඹලේ ඇඹුල් පැණියද
ඇඹුල් දොඩමේ තිත්ත ඇඹුලද
කොමඩු ගෙඩියේ ඉහෙන සිසිලද
ගිරා අඹයේ ගිරා රසයද
පැණි රඹුටමේ රස පැනිත්තද
ඉදුණු මාදන් පැණියේ කළුවද
නුඹ"

සමස්ත ලෙසින්, මා බොහෝ  සෙයින් රසවිඳි කෘතියකි.  ආකෘතික විවිධත්වයේ සීමාවන් එතරම් මට පළමු වර කියවාගෙන යන කල නොදැනුනි - එය කවි රසයට බාධාවක් ද නොවුණි. එහෙත් දෙවෙනි වර කාව්‍ය කෘතිය පෙරලන සඳ, කියවන සඳ, සාපේක්ෂ වශයෙන් ආකෘතික සුලභත්වය දැකිය හැක. එවි ට කාව්‍ය සංග්‍රහය සමස්තයක් ලෙස සලකද්දි මෙම ආකෘතික සුලභත්වය සිත ට තරමක් වදයක් දෙයි - එනුමුදු, ඒ,  රණවීරයන් නිතර භාවිත කරනා ආකෘතියක් බවත්, එලෙස අවශ්‍ය ම වදනක ට පද පේළිය සීමා කිරීමේ ශිල්පය ද රස ගුලාවක් ජනනය කරන බව ද ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි.


(2019 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් කියවීම - 1 )

***1/2
කාව්‍ය
අහස ප්‍රකාශනයකි








No comments:

Post a Comment