මෙය ලේඛකයාගේ මා කිය වූ තෙවෙනි කෙටිකතා සංග්‍රහයයි ( මීට අමතරව ඔහු ගේ නවකතා ද හතරක් කියවා ඇත.) දිමියා සහ සිංහබාහු එනකං, යන ඔහු ගේ මීට කලින් ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් උදෙසා අනේක සම්මාන ඔහු ට හිමි විය. මෙම සටහන තබන්නෙ හේ "මැරීන් ඩ්‍රයිව්" සඳහා රජත පුස්තක සම්මානය ද, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උදෙසා නිර්දේශ වී ද ඇති වටපිටාවකය ( ලේඛකයා ගොඩගේ සම්මාන සඳහා සම්බන්ධ බැවින් එම සම්මානයට තම පොත ඇතුලත් කර නැතුවා මෙනි ). පෙර කී කෘති දෙකේ, මා රසවිඳි කෙටිකතා මෙන් ම, මා එතරම් ප්‍රිය නොකල කෙටි කතා ද විය. ඔහු වෙසෙසින් පීඩිත පංතියේ මිනිසුන් ගේ චරිත ඉදිරිපත් කරනා අයුරු අපූරු මුත්, රටේ දේශපාලන තත්ත්වයන් තම නිර්මාණ වලට ඇතුලත් කර කෙරෙනෙ අවස්ථාවන් හි, දේශපාලනය, කෙටිකතාවට ඔරොත්තු නොදෙන අයුරකින් නෙරා ඒම මාගේ රසවිඳිමට බාධාවක් විය ( එය පුද්ගලික රසඥ්ඥතාව පිළිබඳ ගැටළුවක් විය හැකිය ).
අප රට සමාජ දේශපාලන මාතෘකා කතාව ට ගැනෙනා නිර්මාණ වල ස්වභාවික බව අඩුය. නැතිනම් පණිවුඩය මතුකරලීමට දරණ තැතේ දී, එය නිර්මාණයේ හැඩය විකෘති කරලමින්, එය දේශපාලන පණිවුඩයකට පාරුවක් වෙන අවස්ථා බහුල ය. තරුණ නිර්මාණකරුවෙකු, විචාරකයකු වන සුදර්ශන සමරවීර ගෙ පැසසුම් කියවා, ප්‍රියන්ත ලියනගේ කොට තුවක්කු කියවීමට ඇරඹුව ද, අප රට සමස්ත සමාජ දේශපාලන ගැටළු තම නිර්මාණය නියෝජනය කරලීමට යත්න දැරීම හේතුවෙන්, රසවත් ආඛ්‍යායනයක්, ඉන් මතුවීමට තුබූ හොඳම නිර්මාණයෙන් මෙපිට අවසන් වූවාදෝ යැයි සිතුණි. මංජුල වෙඩිවර්ධන, ඉසුරු ප්‍රසංග සහ එරික් ඉලයප්ආරච්චි වැනි අය මෙම සමබර කර්තව්‍යය සාර්ථකව මීට පෙර ඉටු කල තිබුන ද, කත්‍යානා අමරසිංහ, ලියනගේ අමරකීර්ති සහ අනුරසිරි හෙට්ටිගේ මෙම සියුම් ගැලපූම් සූත්‍රය ගොඩනගා ගැනිමේ දී මීට පෙර අභියෝග වලට මුහුණ දී ඇත. බටහිර ලේඛකයින් වඩා සාර්ථක ලෙස උපහාසය සමාජ දේශපාලන විචාරය උදෙසා ඔවුන්ගේ ප්‍රබන්ධ සාහිත්‍යයේ දී භාවිත කරයි. Paul Beatty ගේ The Sellout උපහාස භාවිතාවට කදිම නිදසුනක් වන අතර (අමරකීර්ති ද මෙම උපහාසය තම සමාජ දේශපාලන නිරීක්ෂණයන් ට සාර්ථකව භාවිත කල අවස්ථා නැතුවා නොවේ.) , Anna Burns ගේ The Milkman කදිම ඒකපාත්‍ර ආඛ්‍යානයකට ආනත රටාවක් භාවිතාවෙන්, එවකට මුළුමහත් අයර්ලන්තයම රෝගී කල දේශපාලනය, තම නිර්මාණය තුලට කාවද්දා ගැනීම සාර්ථක ව සිදුකල අයුරු , නිදසුනකි. මෙම නිර්මාණ දෙකම Man Booker සම්මානයෙන් පිදුම් ලත් හ. ඉතින් මෙවන් අත්දැකීම් මත සිට, මෙම සංග්‍රහය විවෘත මනසකින් කියවා ඇගයීමට යත්න දරන්නෙමි.
මැරීන් ඩ්‍රයිව් කෙසේද ? ඔහු "කෙටිකතාව - කතාන්දරයෙන් ඔබ්බට", ලෙස නම් කල
පෙරවදනක මෙසේ පවසයි;
"කෙටිකතාව ඇසුරෙහි කතන්දරයක් සොයන පාඨක සමාජයක, නව්‍ය වින්දන කලාපයක් උත්පාද කළ හැකි හොඳ ම මාර්ගය වන්නේ, මෙය කතාන්දරයක් නොවේ යයි හැඟෙන ඉංගිති සමඟ සිය ප්‍රබන්ධය ගොඩ නැංවීමයි."
පළමු කෙටිකතාවේ දී ම ඔහු මෙම ක්‍රියාව පසක් කරයි. "ජිවිතයට සමීප ව" කෙටි කතාවේ සේනාරත්න මහතා අවුරුදු හැටක් ම ආලයක් නොවිඳ සිට, ඒ ගැන පළමු බලාපොරොත්තුව හමුවේ හැසිරුණු අසරණ අයුරු පාඨකයා බොහෝ සංවේදි කිරීමට සමත් ය. කතුවරයා මෙම දසුන් පෙළ අපූරුවට නිමවා ඇත. එහෙත් එතැනින් කතුවරයා කතාන්දරය, වෙනස් මගක ගෙනියන්නේ පෙරවදනේ ඔහු කී පරිදි ය. අයෙක් "සේනාරත්න" ව විහිළුවට ගත්තේ ද? අචලා මනසින් එතරම් වැටීමට මෙම සිද්ධියට ඇගේ සැබෑ සම්බන්ධය කුමක් ද - එය කෙටිකතාවෙන් පරිබාහිරව පාඨකයා පාදා ගත යුත්තක් ද ?
හෙට්ටිගේ, අප රට සමාජ දේශපාලන ගැටළු තම කෙටිකතාවට නතු කරලීමට කැමැත්තේ, මෙම සංග්‍රහයේ පළමු සමාජ-දේශපාලන කෙටිකතාව ලෙස, "තාත්තලාගේ කතාව" හමු වේ. එක් පරපුරක තාත්තලා ට නැති වූ දෙයත්, ඊළඟ පරම්පරාවේ හැසිරීම් හේතුවෙන් විඳිනා වේදනාවනුත් චිත්‍රණය කරමින් ලියූ කෙටි කතාව කි. එහෙත් කාරණාව වන්නේ, කතුවරයා මෙහි ගෙන හැර දක්වන කාරණා සත්‍යය වුව ද, මෙම කියනා මාතෘකාවේ නැවුම් බවක් නොවීම ය.
තාක්ෂණය කෙතෙරම් පිම්මේ ඉදිරියට ඇදුන ද, සමහර සමාජයන් මිත්‍යාවනට ඇති විශේෂ නැමියාව නොවෙනස් වේ. අනෙක් අතට මිනිසුන් අසරණ වූ කල, පිදුරු ගසක හෝ එල්ලීමට ඇති ඉඩකඩ වැඩිය. අන් අය මිත්‍යාවේ ගිල්වීමෙන් මුදල් හම්බ කරගන්නා අය, භාවිත කරන්නේ ම මෙම අසරණකමයි. මෙහි එන "කහපාට මිනිස්සු" කෙටි කතාව ද, මිනිසුන් සහ ගැහැණුන් ඇන්දීමත්, එය කෙරෙන් ක්‍රමවේදයේ සියුම් බවද ප්‍රකට කරලීමට යත්න දරා ඇත. කතුවරයා තම පණිවුඩය ප්‍රකට කරලනු වස් සාර්ථක උපක්‍රමයක් නිමවා ඇත. භාවිත ප්‍රයෝගයේ විශ්වාසනීයත්වය දෙවෙනි තැනට පත් ව ඇත.
වර්තමාන පවුල් සංස්ථාවන් ඔවුන්ගේ ප්‍රශ්ණ නිරාකරණයට අන් අය භාවිත කරලීමට නො පැකිළේ. එවන් අවස්ථාවක් පාදක කරගෙන ලියූ සාර්ථක කෙටිකතාවකි, "මැරීන් ඩ්‍රයිව්". ජීවිතයට සමීප ව හි දි සිදු කල ආකාරයෙන් පාඨකයා ට හිස් තැන් පිරවීමට ඉඩ තබමින් සිදු කල නිර්මාණයකි.
පීඩිත පංතිය ට ඉතිහාසයේ තිබූ සමාජ සමීකරණයන් ද, වර්තමාන සමීකරණයන් හි ද, අනාගතයේ දී ගොඩ නැගෙන සමීකරණයන් වල දී ද, ඔවුනගේ අවාසිය ම ප්‍රතිඵලයක් වන අයුරින් දිගැරෙන අයුරු පෙන්වා දෙන අපූරු කෙටි කතාවකි, අපට මීළඟට හමු වනුයේ. ඓතිහාසික ගැමුණු-ස්වර්ණමාලි පුරාවෘත්තය ආභාෂය කරගෙන, වර්තමානයට ගැලපුමකි, "බැස පලයන් ස්වර්ණමාලි". කෙටිකතාව රසවත් ය. මේ පුරාවෘත්තයම භාවිත වූ, මෙම වසරේ මා කියවූ දෙවෙනි කෙටි කතාව මෙයයි ( අනෙක සුමුදු නිරාගි ගේ චිත්ත වග්ගයේ නැති කතාවක් ය).
"නමට අගින් උඹ අප්පුහාමි කියලා පාවිච්චි කරන එකට මං කැමතියි... නමකින් ආගම මනින එක ගොත්‍රිකයි කොල්ලෝ... මිනිස්සු තමයි ලෝකය... මිනිස්සු තමයි ආගම... මිනිස්සු තමයි හැමදේම.."ලේඛකයාගේ ජාතීන් අතර ඇති ගැටුම් ගැන ඉඟි කරන කෙටිකතා පිළිබඳ මා එතරම් කැමැත්තක් නැතත්, ඉම්‍රාන්ගේ භවන්තර චාරිකාව නම් වූ, කෙටි කතාව ට මම ප්‍රිය කරන්නෙමි. එය සමස්ත වශයෙන් සාර්ථක නිර්මාණයකි. මට නිරායාසයෙන් මතකයට නැගුනේ මෑතක මුස්ලිම් ජාතිකයෙකු අප රට අධිකරණ ඇමති බවට පත් වූ කල, සමාජ මාධ්‍ය ජාල හරහා ඔහු ට නැගුණු විරෝධයයි. අප රට තවම, අන් ජනවර්ගයකට අයත් කෙනෙකු සැලකිය යුතු තනතුරක ට පත් වුවහොත්, ඔහු ගේ හෝ ඇය ගේ අවංකබාවය ප්‍රත්‍යක්ෂ කරනු වස්, බහුතර ජාතියේ අයෙකු ට වඩා වැඩි මහන්සියක් දරීමට අවශ්‍ය වේ. ඒ අතර ම හැම දා තම වාසිය උදෙසා "හැම දා ආණ්ඩුවේ ඉන්නා" දේශපාලඥ්ඥයින් යහමින් වැජඹේ. ඉම්‍රාන් ට තමන් කවුදැයි ඔප්පු කරලීමට තම රහසඟ පෙන්වීම අවශ්‍යවීමේ රූපණයෙන්, මෙම අසාධාරණය, සාමාන්‍ය මිනිසුන් ගේ මට්ටමේ සිට බැලීමට අපට බලකරයි.
මෙම කෙටි කතා සංග්‍රහයේ එන කෙටි කතා හයෙන් බහුතරයක් රසවින්දෙමි. ඇත්තෙන් ම තරමක් සාම්ප්‍රදායික රටාවක නිර්මාණයක් ලෙස දැකිය හැක්කේ, තාත්තලාගේ කතාවක් පමණි. විටෙක කතුවරයා තම පණිවුඩය ඒත්තු ගැන්විමේ තැත, කෙටිකතාවේ කලාත්මක බවට බරක් වුව ද, ධනාත්මක ලක්ෂණ ඍණාත්මක ඒවා ට වැඩි ය. මා මීට කලින් කතුවරයා ගේ කියවූ සංග්‍රහයන් ට වඩා මෙය රස වින්දෙමි යැයි ද වරෙක සිතේ ( එහෙත් ඒවා කියවා යම් කලක් වේ ). 2019 ප්‍රකාශ වූ, මීට වඩා රසවිඳි සංග්‍රහයන් මා දැනටමත් කියවා ඇති මුත්, අනේක සම්මාන උදෙසා මේ කෘතිය ලැබූ නිර්දේශයන් ගැන විවේචනයක් කරලීම නොහැකි තරමට මෙහි සාධනිය ලක්ෂණ ඇති බව කිව යුතුම ය. විශේෂයෙන්, කතුවරයකු ලෙස, ඔහු තමාව ම අතික්‍රමණය කරලීමට යත්න දරා ඇති බවකි හැඟෙනුයේ - එය ම ජයකි.
(2019 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 6 )
***1/2
කෙටිකතා
ගොඩගේ ප්‍රකාශනයක්
2019
No comments:
Post a Comment