සාමාන්‍යයෙන් මා වැඩියෙන් ම කෙටි කතා කියවන්න පෙළඹෙන්නේ මා වඩාත් කාර්‍ය බහුල වද්දිය. ඒ ලැබෙන මද විරාමය, කෙටි කාලයක් ආවධානය තබා, අනතුරුව අනෙක් කියවීමේ දි අලුත් අවධාන අවකාශයකින් පිරිමැසීමට හැකියාවක්, කෙටිකතාව තුලින් මා දකින නිසා ය. එබැවිනි, පසුගිය Man Booker සම්මානය දිනා ගත් මාග්‍රට් ඇට්වුඩ් ගේ The Testament, දෙවතාවක් වැරදුණු තැත් වලින් මග නතරවද්දී, කෙටි කතා පොත් දෙකක් කියවා අවසන් වන්නේ. මෑතක ප්‍රකාශ වූ රජත පුස්තක නිර්දේශ කෙරෙහි නෙතක් යොමු කරන සඳ, දුටුවේ මා මීට කලින් මිල දී ගෙන තුබූ ඉසුරු චාමර සෝමවීර ගේ "ගැහැණු පිරිමි මල් පලතුරු" ( පාඨක ප්‍රතිචාරයන් හේතුවෙන් ), ජයතිලක කම්මැල්ලවීරගේ "කැඩපත් දහයක්" ( ඔහු සිංහල කෙටිකතාවේ වෙසෙස් ස්ථානයක් - ලකුණක් සනිටුහන් කරන්නෙකි ), පී. බී. ජයසේකරගේ "ස්ත්‍රී ද්වේශියාගේ බිරිඳ" ( වර්තමානයේ, එරික් ට පසුව වඩාත් සාධනීය ලෙසත්, සර්ථක ලෙසත්, නවකතා හා කෙටිකතා යන දෙඅංශයේ ම ප්‍රබන්ධ සාහිත්‍යයේ යෙදෙන්නා) යන කෘති තුනම නිර්දේශ වී නොමැති බවකි. ඉලයප්ආරච්චිගේ "විශ්‍රාමික පෙම්වතිය" පමණකි මා මිල දී ගෙන තිබූ කෙටිකතා සංග්‍රහයන්ගෙන් නිර්දේශ වී තිබූ එකම සංග්‍රහය. "ගිහින් එන්න කාර්නිවල්", හි තරමක සාර්ථකත්වයක් දුටුවෙන්, සුමුදු ගේ අලුත් පොත ද ("සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්" ), නිර්දේශ වීමෙන් අනතුරුව මිල දී ගත්තෙමි. ඉතින් මේ කෘති පහය, අද වන විට 2019 ප්‍රකාශ වූ, මා කියවීමට ඉටා සිටින සංග්‍රහන් ටික. රජත සම්මාන දිනුම, ගොඩගේ සහ රාජ්‍ය සාහිත්‍ය නිර්දේශ සහ ජයග්‍රහණයන් අනුවත්, ඊටත් වැඩියෙන් වඩා විශ්වාසදායක පාඨක ප්‍රජාවගෙන් ලැබෙන නිර්දේශ මතත් මෙම පොත් ගණන අනාගතයේ වැඩි විය හැකිය.
මේ කෘති පහෙන් ඉස්සිස්සෙල්ලාම කියවීම ඇරඹුවේ කම්මැල්ලවීරගේ "කැඩපත් දහයක්" වුව, කියවා හමාර කලේ ඉසුරු චාමර සෝමවීරගේ "ගැහැණු පිරිමි මල් පලතුරු" ය. එම කෙටි කතා හත තුල ඉවතලිය හැකි කෙටි කතාවක් නොමැතිය - ඇත්තේ, මා මෙතෙක් කියවා ඇති හොඳම කෙටිකතා, ඉතා හොඳ කෙටිකතා, සහ සාර්ථක කෙටිකතා පමණි. මේ කෘතිය රජත පුස්තකයට නිර්දේශ නොවෙන්න, නිර්දේශ වී ඇති සංග්‍රහයන් මීට සාර්ථක විය යුතුය. එහෙම නේද? එය සිංහල කෙටිකතාව ට මඟුල් ලකුණක් ම ය.
ගැහැණු පිරිමි මල් පලතුරු , හි කෙටි කතා හතකි. කිඳුරු වෙරළ සහ පෙරේරා මහත්මිය මෙහි එන විශිෂ්ඨතම කෙටි කතා දෙකයි. පළමුවැන්න ලිංගිකත්වයේ නිදහස ට ලංකාවේ පවතින අසාධාරණ සීමාවන් පැහැදිලි චිත්‍රයක් ලෙස විදහා දැක්වේ. සමලිංගිකත්වය මුල් කොට ගත් මෙම කෙටි කතාව, එම තේමාව Funny Boy හි විපරම් කරනවා ට වඩා සවිස්තරව සහ අවංක ලෙසත්, වෙසෙසින් තරුණයෙකු ගේ දෘඨිකෝණයෙන් ද ලියැවී ඇත.
"දවසක් අමල් ගිහින් එයාගෙ අතෙ අත හැප්පුව.'ඇනයක් නොවී යනවද? පොන්නයා" කියලා එයා අමල්ව තල්ලු කළා..අමල්ට කඳුළු ආවා, තමනුත් බඩ තඩි මැදි වයසෙ මිනිස්සුන්ට මෙතනදි එහෙම්ම නොකිව්වත් 'වද නොදී යනවකො...' කියලා තියනවා නේද කියලා කියලා අමල්ට පස්සෙ හිතුණා."( 38 පිටුව)
ඒ අතර ම සම්මත විවාහයන් බොහෝමයක ඇති රඟපෑම ගැන ද කතුවරයා තැන් කිහිපයක පෙන්වා දෙයි. පෙරේරා මහත්මිය කෙටි කතාව රසවත් වන්නේ ඒ නිසා ය. "බැඳගත්තු බෙරේ ගහනවා", යන්න අපේ ලාංකීය සමාජය පිළිගත් සම්ප්‍රදායකි. ඉන් ඉවත්වීම, වෙසෙසින් ගැහැනියකට ජීවිතයේ ඉතිරි කාලයටම බලපාන කාරණාවකි.
"දෙයියනේ මේ අවුරුදු ගාණක් තිස්සේ තමුන් බලං හිටපු, ලකලැහැස්ති වෙච්චි දෙයක් නේද වෙන්නෙ කියලා හිතද්දි තමුන්ගෙ මුණට එන හිනාව කණ්ණාඩියෙන් දකිද්දි පෙරේරා නෝනට බය හිතුණා. එයා අඬන මුණක් හදාගත්තා." (65 පිටුව )සම්මත විවාහයන්හි සීමවන් ගැන තව දුරටත් කියෙවන අවස්තාවකි "නිල් මල් ගවුම". සමහර සිහිනයන් හී මනරම් බව ආරක්ෂා වීමට ඒවා සිහිනයන් ලෙස ම තිබිය යුතුය. යථා ස්වරූපයට ඒවා පෙරළුණු කල, අර සිහින මැවූ සුමිහිරියාව වෙනුවට අප්‍රසන්නතාවක් ඇති විය හැක.
කුඩා ළමුන් පැවිදි දිවියට ඇතුලත් කරලීම ඔවුන් කෙතෙරම් ආත්මීය තනිකමකට, අසරණකමකට සහ අතරමංවීමකට ලක් කරන්නේදැයි සියුම් ව පෙන්වා දෙන කෙටි කතාවකි, 'සාන්ත'. මෙහි එන පොඩි හාමුදුරුවන්, සාමාන්‍යයෙන් අපේ සමහර උදවිය බලාපොරොත්තු වන ආරේ වැඩිමල් හාමුදුරුවන්ගේ ගොදුරක් වන්නේ නැත. ඒත්, පොඩි හාමුදුරුවන් ව අතැර දැමීම ඔහුට ඔරොත්තු නොදෙයි.
"නැවත කිසි දිනෙක මා සාන්තව දුටුවේ නැත. මෙය කිසියම් භූත දෝෂයකැයි ඔබ සිතනු ඇත. එහෙත් සාන්ත සහ ඔහු සමඟ කළ කී දෑ අදටත් මට ඉතා පැහැදිලිව සිහිපත් කල හැක." ( 34 පිටුව )
ලාංකීය සමාජය සමාව දෙන්නට අකමැති සමාජයකි. සාමාන්‍ය පෙළ අසමත් එකා ආයේ කෙදිනක හෝ උසස් පෙළ කර, විශ්ව විද්‍යාල ගිය මට්ටමක එකකු හා ගැලපෙන්නේ නැත. ඔහු නූගතෙකි. "අමාරුවේ වැටුණු" එකියක ට ආයේ දිවි සරි කර ගැනීමට කිසිදු අනුකම්පාවක් අප සමාජයේ නැති තරම් ය. සෙමින් සෙමින්, විය යුතු පිළිවෙළට ම මෙහි වෙනසක් නොවෙනවා නොවේ. එහෙත් එතනට ඒමට පරම්පරා කිහිපයක් තව කඳුළු පමණක් නොව ජීවිත ද කැප කොට ඇත. අන් රට ද මෙම සීමා පසු කොට අද වන් තත්ත්වනට පැමිණ ඇති බව සැබවි. සමාජ ජාල මාධ්‍ය භාවිතාවේ එක් යහපතක් මෙය ලෙස දකිමි. ඉතින් "ගැහැණු පිරිමි මල් පලතුරු" තුලින් ද අප දකිනුයේ, අම්මා ලක් වූ පෙළඹීවිමකට තව දිවියෙන් වන්දි ගෙවූ දියණයකගේ කථාවයි. ඇගේ අවාසනාවන්ත ඉරණම ට පෙර ඇය ලොවට පෙන්වූ වෙස්මුහුණයි.
ලාංකීය සමාජය "හමුදා සෙබළා" සහ ඊට අනුයුක්තව ඇති වීරත්වය හමුවේ, එය එම පවුලේ ම අන් අය මත බලපාන අයුරු ඉතා සූක්ෂම ලෙස පෙන්වන නිර්මාණයකි, "සුදු අයියා".
කටකතාව මගින් එක්තරා සුළු සිද්ධියක් "යෝධයකු" කල හැක. "ඌ" එසේ යෝධයකි වූ එකෙකි. කෙටිකතාවේ උත්ප්‍රාසය සිත්ගන්නා සුළුය. සෝමවීර, උත්ප්‍රාසය වෙසරදව තම නිර්මාණ තුලට කාවද්දයි ( පෙරේරා නෝනා, නිල් මල් ගවුම මීට අනෙක් නිදසුන් ය).
මේ පොත පිළිබඳව ඇති එකම චෝදනාව, පොතක් ලෙස එහි නිමාවයි. Grantha ප්‍රකාශයක් ලෙස එළි දැක ඇති මෙහි නිමාව මීට වඩා හොඳ මට්ට්මක තිබීම, පාඨකයින් බලාපොරොත්තු වන්නකි.
පෙර කීවාක් මෙන්, 2019 වසරේ මීට වඩා හොඳ කෙටිකතා සංග්‍රහයක් නිකුත් ව ඇත්තේ නම්, එය සිංහල කෙටිකතාවට මගුල් ලකුණකි.
No comments:
Post a Comment