Saturday 12 September 2020

විතණ්ඩ සමය - එරික් ඉලයප්ආරච්චි

(පළමු වරට 2016 අගෝස්තු මස 14 වන දින පළ කල ලිපියකි.)

එරික් ඉලයප්ආරච්චිගේ "විතණ්ඩ සමය" කියවූවෙමි. මේ කෘතියේ දෙවෙනි වර කියවීමයි ( පළමුවැන්න මීට සිව් වසරකට පමණ පෙර ය ).

බගන්දරා වලින් පටන් ගන්නා මාහිමගොඩැල්ල නම් මීගමුව ආශ්‍රිත ගම්මානයේ කුසුමාවති සහ ඇගේ පවුලේ උදවියගේත්, ඒ වට පිටාවේ තත්කාලීන රටේ සිදුවීම් අනුසාරයෙනුත් ගෙතුණු  නවකථාව, එහි දෙවෙනු අදියර ට පා තබන්නේ මධ්‍ය ලක්ෂය මීගමුව නගරය කොට ගෙන සේය. මද්දුමිලා, මාඕ මාස්ටර්, නීටා යන චරිත සමඟ නවකථාව තවමත් සුපොෂිත මුත්, කුලසිරි ද ප්‍රධාන චරිතය ද යන්න කුකුසක් වන තරමට ධනවත් බෙල්ලන ව්‍යාපාරික පවුලත්, වෙළඳාම කේන්ද්‍රීය වූ මීගමුවේ, ලයනල්, ඇන්ටනි වන් චරිත පිළිබඳ අවධානය යොමුකෙරේ. 


මේ යුගය විතණ්ඩ සමය නම් ලද්දේ ඇයි දැයි කුකුස් දනවන කාරණාවකි. නවකථාව හැඳුන්වනු වස් සිඛවලද අටුවාවෙන් ගෙනහැර දක්වන්නේ විතණ්ඩවාදය ද ලෝකයාතවාදයකි, සසර දිගු කරනු වස් භාවිත හේතුවාදයකි, වශයෙනි. බගන්දරා කෘතියේ දී සියදෝරිස් දැඩි සමාජවාදි මතයේ එල්බ, අකර්මන්‍ය ජීවිතයක් ගතකරනුයේ මුත්, මෙහි එන නාගරික වෙළඳ ප්‍රජාව, තම අරමුණ සහ ඔවුන් ට දැනෙන අයුරෙන්, තාවකාලික හෝ හිතසුව උදෙසා, ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙන්නෝය ; ඔවුන්ගේ මතවාද යනු වර්තමාන වටපිටාව සහ වාසිය උදෙසා භාවිත එකකි.

මේ නවකථාවේ උක්ත කාලපරාසය අසූව දශකයේ මැද භාගය ය.  කොටි ත්‍රස්තවාදී ක්‍රියා වලින් දකුණ පෙළුණු යුගයකි එය. ඉදින් රටේ තිබුණු අනාරක්ෂිත තත්ත්වය ද මේ නවකථාවේ සැලකිල්ලක් මතු වන මාතෘකාවකි. ලේඛකයා මෙතෙක් කලක් සමගියෙන් විසූ ජන වර්ග සහ ජාතියක් තුලින් එය බිඳි යන්නේ කෙසේ ද යන්න ගැන ද උපෙක්ෂක ව තම විචාරක නෙත යොමු කරන්නේ මීගමුව ම නිදසුනක් කරගෙන ය. සිංහලත්වය වෙනුවෙන් පෙනී සිටින්නෝ සියළුදෙනා බෞද්ධ නොවන වග ට මෙහි කරුණු කියවේ.


මෙහි සමහර සිද්ධීන් සත්‍ය සිදුවීම් යැයි සිතේ. මරදාන බෝම්බය වන් සුපැහැදිලි සිද්ධීන් නොව, මෙහි එන  මීගමුවේ මහින්ද මාර්කැට්ටුවේ ගිනිතිබීම ආදි සිද්ධීන් ගැන ය මා පවසන්නේ. ඒ පිළිබඳ දත් අයෙක් වෙත් නම් අප දන්වනු මැනවි.


විතණ්ඩ සමයෙන් ඔබ්බට ඉලයප්ආරච්චි කියවීම: - මේ නවකථාවේ රිද්මය ගැන ද යමක් කීම උචිත යැයි සිතේ. බගන්දරා හැට හැත්තෑව දශකයේ වේගයෙන්, මන්දගාමීව ගලාගිය යුගයක්   පිළිබඳව ය. එහෙත් ධාවනාකාරි අසූව දශකය මීට සාපේක්ෂව වෙනස් ය ( අසූව දශකය ට සාපේක්ෂව අද යුගය විදුලි කෝච්චිය ක් ආකාරයට ය; නුමුත් එය අනෙකකි, නවකථාව ට අදාළ නැත ).එම යුගයේ වූ වෙනස්කම් රැසකි; ඒවාද වේගයෙන් සිදු වුණි. සමහර වැදගත් සිද්ධියක් තවත් දෘෂ්ඨිකෝණයෙන් නොවැදගත්ය. ඒ අනුව ෂෙල්ටන්ගේ මරණය සිදුවීම නවකථාවට එය සිදුවන විට මාතෘකා නොවේ. එය අතීතකාලයෙන් සාපේක්ෂ වශයෙන් අඩු වැදගත්කමෙන් කියවෙන්නකි.  මරදාන බෝම්බයෙන් පසුව සිදුවීම් ගැන කථා කෙරුණ ද, ඉන් අනතුරට පත් වූවන් කෙලෙස ඊට ගොදුරු වී ද යන්න සඳහන් නැත.පළමු වතාවේ නවකථාව කියවන විට මේ වේගයේ වෙනස මට  නවකථාව රස විඳීමට බාධාවක් විය. සමහර විට මට අවශ්‍ය වූයේ තවත් බගන්දරා වේගයෙන් දිගැරෙන නවකථාවක් වන්නට ඇත. එහෙත් මෙය නැවත කියවන විට කතුවරයාගේ වේගවත් ආඛ්‍යායනය නවකථාවේ යුගයට උචිත බව වැටහේ. එපමණක් නොව කතුවරයා මින් මතුව, මෑත යුගයන් අලලා ලියූ ලලිත සමය සහ පාදයාත්‍රා කෘතීන්හි ද මේ වේගවත් ආඛ්යායන දැකිය හැකිය. එය සැම අයුරින් ම ඒ වකවානුවට උචිතය. විතණ්ඩ යුගයෙන් පසුව ලියැවුණු ආදරයේ සිමෙන්ති ( එය නැවත හැත්තෑව දශකයේ මුල් වකවානුව අලලා ලියැවුණකි - අන් දිනෙක සාකච්ඡා කල යුතු වෙනමම කථාවකි ) නැවත බගන්දරා නවකථාවට ආසන්න වේගයෙන් දිගහැරෙන්නකි. ඉලයප්ආරච්චි තම ආඛ්යායනන් උදෙසා මේ පිළිබඳව සැලකිලිමත බව මම සිතමි. ඔහුගේ කියවන නවකථාවක් පාසා, අද වන විට පරිණතම සිහළ නවකථාකරුවා ඔහුම යැයි මට තහවුරු වේ. මා තවම ඔහුගේ කෙටි කථා කියවා නැති හෙයින් ඒ ගැන නිහඬ මුත්, ඔහුගේ කවි බොහෝ සෙයින් රළු, හැඟීමෙන් අල්ප, උපෙක්ෂක නිරීක්ෂණයන් මෙන් ය. එහි සුන්දරත්වයක් නැත්තේත් නොවේ. එහෙත් ලක්ෂාන්ත අතුකෝරාළ, මංජුල වෙඩිවර්ධන ආදී නව යුගයේ කවියන්ගේ භාෂා පෙළහැර ඉදිරියේ, හේ තවත් එක් කවියෙක් පමණකි.

(  මේ මෙම කෘතියේ දෙවෙනි කියවීමයි - පළමුවැන්න 2012 සැප්තැම්බර පහළොව ලෙස, එදවස ලියූ සටහනක සඳහන් ය. කලක් මේ කෘතිය මුද්‍රණයේ නොතිබීම හේතුවෙන්, මෙම වාර දෙකේ දි ම කොළඹ මහජන පුස්තාලයෙන් ගෙන කියවූවෙමි. පළමු වර කියවීම, එකල මා සේවය කල දෝහා නුවර සිට ඊද් (Eid) නිවාඩුව අලලා ලංකාවට ආ විටය. ඉන් අනතුරුව 2017 මෙහි අලුත් මුද්‍රණයක් නිකුත් ව ඇත. )

****
ගොඩගේ මුද්‍රණයක් ( 2002 / 2017 )

No comments:

Post a Comment