Tuesday, 16 March 2021

තාණ්ඩව - ඉසුරු චාමර සෝමවීර


මීට කලින් මා කියවා තිබුනේ ඉසුරු ගේ "ගැහැණු පිරිමි මල් පලතුරු" නම් වූ කෙටි කතා සංග්‍රහය පමණි. එය 2019 ප්‍රකාශයට පත් වූ, මා කිය වූ කෙටි කතා සංග්‍රහයන් අතරින් විශිෂ්ඨම කෘතිය යැයි හැඟිණි. ඉන් ලැබූ රසය හේතු කොට ගෙන, කතුවරයා මීට වසර කිහිපයකට පෙර ප්‍රකාශ කල තාණ්ඩව නම් කාව්‍ය සංග්‍රහය කියවීමි.

මෙය ඉතා පැහැදිලි ලෙස, බහුතර සාර්ථක රසවත් කාව්‍ය නිර්මාණ වලින් සුසැදි සංග්‍රහයකි. පුළුල් මාතෘකා පරාසයක් ඔස්සේ කාව්‍ය රචනා 74කින් සපිරිය. කාව්‍ය සංග්‍රහයක් ලෙස එහි සාර්ථකත්වය පෙන්වනු වස් නිදසුන් කිහිපයක් ගෙන හැර දක්වමි.

මෙහි එන වඩාත් සාර්ථක් සමහර කවි කෙටි ඒවාය. කාව්‍යමය බව ට හානියක් නොවෙන ලෙස එහි යම් දාර්ශනික අදහසක් ගැබ් වී තිබීම එහි පරිපූර්ණත්වයට හේතු වේ. නිදසුන ක් ලෙස "තාරකා" නම් කවිය අපගේ ක්ෂුද්‍ර බව, මෙහි අල්ප කාලයක් ම සැරිසරණ බව ඒත්තු ගැන්වේ.
 

"අපි බිම බලාගෙන
ලොකු ම ලොකු වැඩකට වගේ
පොඩි පොඩි වැඩවලට
කඩිසර ගමන් යනකොට

වැඩි කඩිසර ගමන් නැති
දිලිසෙන පහන් සිත් ඇති
අපමණ තනිය ඉවසන
ලොකු පොඩි තාරකා
දිලෙනවා අපට නොපෙනී
හිසට ඉහළින් අහසේ"
"ඔයා සතුටින් ද?", කවියත් මා වඩාත් රස විඳි කවියකි. එහි රැගත් ප්‍රතික්ෂේප නොඅකල් හැකි ව්‍යංගාර්ථය එහි රසවත් බවට හේතු වේ.

"ඔයා සතුටින්ද?
ඔව් මං හුඟක් සතුටින්
මඟුලකදී මල ගෙදරකදි
මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි
පොඩි පොඩි විහිළුවලටත්
මහ හඬින් හිනාවෙනවා මං...

රිදෙන්නේ නැතුව
ඉඳිකටු තුඩු මතින් ඇවිද යන හැටි දැන්
දන්නවා හොඳහැටි මං"


ආගමික සිරිතක් ගැන, එම ආගමික විශ්වාසයෙන් බාහිරව හොඳම අර්ථදැක්වීමක්, කවියා ගේ "පහන්" නම් කවියෙන් කියවීමි.

"සැලෙන සිළු එළියට වඩා
පින්බර, දුක් බර මුහුණු

දිවා හිරු එළියට වඩා
සඳ එළිය දනී මිනිසුන් ගැන
ඊටත් වඩා ඒ ගැන
දන්නේ මැටි පහන් එළි

පහන් දැල්වීමෙහි
අරුත් කිම දයි විමසයි
මා සමඟ ආ විදෙස් මිතුරා

ඔබ දකින අරුත හැර
නොමත අන් අරුතක්
ම'මිතුර"

පහත කව සලකන්න. එහි එක් පාර්ශවයක් සතු විශ්වාසය, යම් සබඳතාවක් පරිණත තත්වයට පත් වන  බිහි වන්නකි. සමහර විටෙක පෙරදින වූ යම් මතභේදයක ඡායාවක් එහි තිබෙන්නට පුළුවන. එහෙත් "සරුංගලයේ නූල සවිමත්" ය.

"ඉස්සර වගේ
මා පිට ව එන විට
එන්නේ නෑ ඔබ
පසු ගමන් දොර ළඟට
මඳ මුදු සිනා පා ගෙන

වැතිර ඇඳ පිට
බලා ඉන්නවා දොර දෙස
මා ද පසුකර
ඉතා ඈතක්
නිහඬ ව

ඉගිල්ලෙනවා සරුංගල්
ඉතා ඉහළැට ඈතට
නූල සවි ඇති තෙක්

දන්න්වා ඔබ එය
මට වඩා හොඳට" 
අසම්මත පෙමක් ගැන ලියැවුණු  කවකි, "නුහුරු ඇති ඔබට". එහි, බලාපොරොත්තුව, ආගන්තුක බව සියල්ල ගැබ් ව ඇත.

"වීනස්...
ඔබ සතුව නැත
ම හද පිරිමදින අත්

නැවත පිටතට යන විට
පැළඳ ගන්නා තෙක්
එළියෙන් තබා ආවෙමි
සුපුරුදු වෙස් මුහුණ"
මෙහි එන විශිෂ්ඨතම කවිය ලෙස, දිවි අරුත නම් වූ කවිය දකිමි.  එහි සඟුන් නොමැති කහටගස්දිගිලියේ මූකලන්බද ගමක, අතැරුණු පන්සලක, සිල් සමාදන් වූ මහළු ගොවි මවකගෙන් අප කවියා දිවි අරුත කිම යැයි විමසයි. එහි ඇති සියුම් අරුත, බොහෝ වෙලාවක් විසඳා ගත යුතු කාරණාවකට මුල පුරයි.

"ඇසූ විට නැවත මා
ඈ දකින දිවි අරුත

'පුතේ අපි අතු ගාමු
හැඩි වෙච්චි බෝ මළුව...'
දිවි අරුත නොකියා ම
ඈ කීවේ නිම නොවෙන
මුදු ළදරු සිනාවෙන්"

පෙර කිව් සේ, මෙහි බහුතරයක් කවි රස විඳිය හැක. එහි දුෂ්කර ගැටපද හා තේරුම් ගැනීමට අපහසු, කවියාට පමණක් ගෝචර වෙන ආරේ අරුත් ඇති කවි නැති තරම් ය. එහෙත් ඒ තරමකට සරළ යැයි බැලූ බැල්මට පෙනෙනාකාර කවි පේළි අතර ගැඹුරු අරුත් රැසකි. එය කවියාගෙ කාව්‍යකරණයේ ලක්ෂනයක් යැයි සිතෙනාතරම් ය.

කවියා ගේ කෙටිකතා තරම් ම කවි ද මහත් රස විඳි බවක් නොවළහා කිව හැක.

ශානරය: කාව්‍ය
ශ්‍රේණි ගත කිරීම: ****1/2
2011 ( කර්තෘ ප්‍රකාශනයකි)



No comments:

Post a Comment