1950 දශකයේ සිට, 2020 දක්වා පමණ වූ කාලය තුල ලංකාවේ සමාජය ගැන එක්තරා කියවීමක් ලෙස ද, අවම වශයෙන් 1970 මුල සිට 2010 දශකය දක්වා දේශපාලන කියවීමක් ද අප ට මෙ කෘතිය හරහා උකහා ගත හැක. එම හෙළිදරව්ව ඉතා ම වැදගත් ය - ඇත්තෙන් ම, කම්මැල්ලවීරයන් විඳි දුක් ගැහැටයන් ගැන විස්තරයන් වලට වඩා, මින් ලැබෙන සමාජ කියවීම ඉතා වටින බවකි, මගේ අවංක අදහස. ඔහු ගේ දිවිගමනේ දුෂ්කරතා හමුවේ පවා, ඔහු පසුගිය අවුරුදු 35 පමණ කාලය තුල, අප රට ඉදිරියෙන් ම සිටින ලේඛකයකු බවට පත්වීම මගින් පැවසෙන්නේ, අයෙකු ගේ උත්සාහයත්, ජීවත් වීම ගැන ඇති උනන්දුව ඇත්තේ නම්, අයෙකු සාර්ථක වීමට ඇති ඉඩකඩ මකා නොහැකි බවකි.
පොතේ අවස්ථා කිහිපයක් පමණක වෙත යොමු වෙමි;
1950 දශකයේ ජීවිතය කෙසේ ද යන්න තේරුම් ගැනීමට පහත උපුටනය ප්‍රමාණවත් ය.
"තාත්තාගේ මුහුණුවර මතක නැතැයි මා කියන විට තාත්තාගේ ඡායාරූපයක්වත් නැත්දැයි කිසිකකුට ප්‍රශ්නයක් මතු වන්නට පුළුවන. ඒ කාලයේ අප උපන් ගම්වල දුප්පතුන් මඟුල් පින්තූරයක්වත් නොගත් බව ද මා ෆොටෝ එකක් ගත්තේ වසර දාසයේ දී විභාගයකට පෙනී සිටීම සඳහා තැපැල් හැඳුනුම්පතක් වෙනුවෙන් බව ද සටහන් කළ යුතු ව ඇත." ( 8 පිටුව )මේ කියනා ගම, මිනුවන්ගොඩ ආශ්‍රිත ගමකි.
පෞද්ගලික විස්තරයක් ඔස්සේ කෘතියේ කොටසකට යොමු වෙමි. මා මැණියන් කුඩා කල තම පවුලේ උදවිය සමඟ රඹුක්කන ආශ්‍රිතව කලක් ජීවත් වී ඇත. අප කුඩා කල, ඇය අපට රඹුක්කන එක්තරා මගක වංඟු හතක් ඇති බවත්, කලකට පෙර එහි බසයක් පෙරළි කිහිප දෙනෙකු මිය යාම හේතුවෙන් ඒ අසල හොල්මන් සිටින බවත් රාත්‍රියේ ඒ මගේ ඔස්සෙ ගමන් කරද්දි හාවුන් පාර හරහා පනින බවත් පවසා ඇත. ඒ අප කුඩා කල ඈ කී කතාවකි. මා හා නැගණිය ඒ ඔස්සේ මවා ගත් මනෝ චිත්‍රයන් ඔබට සිතා ගත හැක. අනතුරුව අප නව යොවුන් වියේ දී පවුලේ සිව්දෙනා යම් ගමනක් යද්දී ඒ මග ඔස්සෙ ගමන් ගත්තෝය. එම මග ගැන විස්තරයක් මෙහි කියවීමෙන් ඒ මතකය ආවර්ජනය විය.
"මා යන පාරේ කන්දක එක ළඟ පිහිටි වංගු හතක් ඇති බවත් වසර කිහිපයකට පෙර එතැන බස් රථයක් පෙරළී කීපදෙනෙකු මියගිය බවත් දැන සිටියෙන් මා ඇවිද්දේ එතැන දී හොල්මනක් මුණගැසෙන බවත් එසේ වුවහොත් කුඩාකල ඉගෙන ගත් ලොකු ම කුණු හරුප කියන්නට පටන් ගත යුතු බවත් සිතමිනි. එහෙත් එතැන නම් හොල්මනක් නොවී ය. වංගු හත නිරුපද්‍රිත ව පසු කළත් ටික දුරක් යන විට පාරේ එක් පසෙක සිට අනෙක් පසට මාරු වෙන්නට එන මිනිසෙකු මුණ ගැසිණ. ඔහු අත ලොකු කුඩයක් ද විය. ඒ මිනිසා කිසිදු කතාවක් නැති ව මට සමීප වී, මගේ මුහුණට එබී බලා, පාර පැන බෑවුමට බැස ගියේය. කළු බල්ලෙක් ද ඔහු සමඟ විය. මා අම්මලා ජීවත් වූ වත්තේ මුරමඬුවට යන විට රාත්‍රී දොළහට ආසන්න ය." ( 59 පිටුව )
1956 න් පසු ව අති වූ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගැන මෙසේ සඳහන් වේ:
"අප සාමාන්‍ය පෙළ විභාගයට ලියන්නට කලින් අවුරුද්දේ අපේ පාසලේ ද එතෙක් අනිවාර්‍ය විෂයයක් ලෙස තිබුණු ඉංග්‍රීසි ඒ අනිවාර්‍ය ලයිස්තුවෙන් ඉවත් කෙරිණ. එය පීඩිත සිංහල පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහත් සහනයක් ලෙස දැනුණ ද පසුව එය බලපෑවේ ඔවුන්ගේ අනාගතය අඳුරු කරන ප්‍රතිපත්තියක් හටියටය." ( 63 පිටුව )
කතුවරයා තරුණ වියේ දී තමන් පෙම් කල තරුණියක් මතක් කරලමින් ඇය වෙත කෙරෙන ගෞරව පූජාව මා සිත් ගත්තේය. එය මෙසේ ය;
"ඇය මට ආදරය කළේ කවදා හෝ මා මේ රටේ ලොකු ලේඛකයකු වන බවක් දැනගෙන නොවේ. දෙමාපියන්ගෙන් ගුටි කමින් ඇය වසර හතක් ආදරය කළේ නිකමෙකු, අනාථයකු ලෙස සිටි කොල්ලෙකුට ය. එහෙයින් ඇයට ගරු කළ යුතු යයි මම සිතමි." ( 91 පිටුව )පළමුව වෘත්තීය සමිති මගින් ද, අනතුරුව ඍජුව වාම දේශපාලනය සඳහා ද තම දිවියෙන් වසර පහළොවක් පමණ ඔහු කැප කර ඇති සේය. මේ ගැන යම් කියවීමක් ඔහු ගේ "මාංචු" කෙටි කතා සංග්‍රහයේ එන "පාර මැද" කෙටිකතාව මගින් ඉඟි කරන බවය මගේ අදහස. මේ පොත කියවන්නියක්, එම කෙටි කතාව ද අනතුරුව කියවන්න ට ආරාධනා කරමින්, යම් කුහුළක් රඳවමින්, ඉදිරිය ඇදෙමි. එහෙත් එම කාලයේ අප කතුවරයා වෙසෙසින්, එකල මන්ත්‍රි ආරක්ෂකයකු ව සිටි රෙජී රණතුංග, ඇන්. ඇම්. පෙරේරා, වාසුදේව ( ඔහු වාසු ගැන වෙසෙස් අප්‍රසාදයකින් කතා කරයි ), මහින්ද රාජපක්ෂ ආදීන් සමඟ මුසු බව කියවෙන අතර, වෙසෙසින් 1971 කැරැල්ල ගැන ඔහු ගේ කියවීමෙ මෙහි සඳහන් කිරීම වැදගත් යැයි සිතමි.
"පේෂකර්ම සංස්ථාවට අයත් විශාල රෙදි කම්හල් තුනක් ඒ කාලයේ තිබුණි. එහි තුල්හිරියේ පමණක් සේවකයෝ 14000ක් රැකියාව කළහ. ඉන්ජිනේරු සංස්ථාවේ සේවක සංඛ්‍යාව 25000 ඉක්මවීය. මේ සංස්ථා නිසා විශාල තරුණ පිරිසකට රැකියා ලැබුණු අතර ඒවායේ නිෂ්පාදනවලින් රට ස්වයංපෝෂිත වෙමින් තිබිණි. එසේ තිබියදී වුව ද කැරැල්ලක් නිර්මාණය වන තරමේ තරුණ අසහනයක් රටේ පැවති බව 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලෙන් ප්‍රදර්ශනය විය. කැරැල්ල මර්දනය කළ ආකාරය ගැන එකඟතාවයක් නැතත් මගේ දේශපාලන දැක්මේ හැටියට එම කැරැල්ල අදූරදර්ශි නායකත්වයක් විසින් මෙහෙයවන ලදුව රට ආපස්සට තල්ලු කළ එකක් විය." ( 123 පිටුව)
වෙසෙසින් 1975න් පසුව පූර්ණ කාලීන් දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස දේශපාලන පොරපිටියේ විස්තර වලින් මෙම පිටු පිරී තිබුන ද, එය කියවන්නියකට විඳ ගැනීමට ඉඩ තබමි. ඊට සමගාමීව, මහත් දුක්ගැහැට අනුභව කරමින් දරුවන් දෙදෙනෙකු සමඟ දිවි ගෙවූ අයුරු ඇත්තෙන්ම පුදුමාකාරය. වරෙක නදී කුඩා දැරිවියක් කාලයේ බස් රථ අනතුරකින් තම පාදය අහිමි නොකර ගැනීම ආශ්චර්‍යක් බඳු වූ විස්තරය කියවන විට, ඉබේ ම මොහොතකට මා හුස්ම පහත හෙළීමට නොහැකි විය. එකල වමේ දේශපාලනයේ නියැළුණු නලීන් ද සිල්වා ට ද අප ලේඛකයා ස්තූති පූර්වක වන්නේ, කළු සපත්තු නම් තම පළමු කෙටි කතා සංග්‍රහය පළ කරලීමට කල උදවු මතක් කරලමිනි. වාසු වෙත පල කලාක් මෙන් වර්තමාන විවේචනයක් නලින් වෙතෙ මේ කෘතියේ සඳහන් නොවේ.( ඔහු අද මහින්දවාදියෙකු බවට පත් ව ඇති බව පමණක් පවසන්නේ, ඔහු ගේ එකල උදව් වලට ස්තූති පූර්වක වන ගමන් ය). එකල ගොඩගේ මුදලාලි ගැන සොඳුරු මතකයන් ද මෙහි ඇතුලත් වන්නේය.
මේ කෘතියේ එන වැදගත් කොටසක් ලෙස, අප ලේඛකයා තම සාහිත්‍ය නිර්මාණ භාවිතාව ගැන කරන විස්තරය දකිමි. සමහර ලේඛකයන් වෙත පාඨකයන් ඇදී යාමත්, සමහර ලේඛකයන් කෙතෙරම් උත්සාහ දැරුව ද, යම් විචිකිච්ඡාවකින් ඔවුන් දෙස පාඨකයින් බැලීමට ඇති නැඹුරුතාවෙත් වෙනස මෙය යැයි සිතමි.
"ඒ වන විට අපේ රටේ සාහිත්‍ය ක්ෂේත්‍රය අරක් ගෙන සිටියේ දේශපාලන ප්‍රචාරකවාදයයි. පටු දේශපාලන කෙටිකතා ඉහළින් අගය වෙමින් තිබිණි. ප්‍රචාරකවාදයෙන් බැහැර ව දේශපාලන කෙටිකතා ලියන්නේ කෙසේ ද යන්න පෙන්වීම මගේ උත්සාහය විය. මා ලිවේද නිර්ධනයන් ගැනය. එහෙත් මා ඒ චරිත මුහුණ දෙන ප්‍රශ්න මානුෂික කෝණයකින් ඉදිරිපත් කළා මිස ඔවුන් වීරයින් බවට පත් කළේ නැත." ( 156 පිටුව )'87-'88 භීෂණ යුගයේ ඉන්දියාවට පලා යාම, හා ඒ ඔස්සේ ඇති වූ මිතු දම් මුල් කරගෙන බිහි වූ අපූරු කෙටිකතා කිහිපයක් ඔහුගේ මාංචු සහ කැඩපත් දහයක් ඔස්සේ අපට හමුවේ. මා තවම නොකියවූ සංග්‍රහයන් තුල තවත් "ඉන්දියානු කතා" තිබිය හැක.
අද මා කවුද යන කොටසින්, මෙම මතක සටහන් අවසන් කරන කතුවරයා "සැබවින් ම මා තෘප්තිමත් මිනිසෙකි" බවට පවසයි. මට ඊට එක් කල හැක්කේ, ඔබ ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලා, එය ජයගත් මිනිසෙකි කියා ය. ඒ අනුව ඔබ සතුව අද යම් සතුටක් ඇති බවට මා විශ්වාස කරමි.
අප රට ලේඛකයන්ගේ චරිතෝපාදාන, මතක සටහන් අතරින් මා තවම කියවා ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහ සහ සරච්චන්ද්‍ර යන දෙපළ ගේ පොත් පමණකි. ජී.බී. සේනානායක සහ කේ. ජයතිලක ගේ මතක සටහන් කියවීමට ද ඉටා ඉන්නෙමි. වික්‍රමසිංහ ගේ සහ සරච්චන්ද්‍රගේ මතක සටහන් කියවීමෙන් ලත් වින්දනයට සමාන වින්දනයක් මා මෙම කියවීමේ ක්‍රියාවලිය ඔස්සේ ලදිමි.
ශානරය : මතක සටහන්
ශ්‍රේණිගත කිරීම : *****
ප්‍රකාශනය: විජේසූරිය ග්‍රන්ථ ප්‍රකාශකයෝ (2021)
No comments:
Post a Comment