Thursday, 8 April 2021

චන්ද්‍රරත්නගේ භවාන්තර චාරිකාව - දයා දිසානායක

 ස්වර්ණ පුස්තක සම්මානය අපට හඳුන්වාදුන්නේ 2007 වසරේදීය. එම වසරේ අවසන් වටයට නිර්දේශ වූ නවකතා පහෙන් එකක ට හෝ ජය ලබා නොදී, ත්‍යාග මුදල ලේඛකයින් පස් දෙනා ( ඇරැව්වල නන්දිමිත්‍ර, කරුණාධීර අල්විස්, කරුණාදාස සූරියාරච්චි, රූපා ශ්‍රියාණි ඒකනායක සහ දයා දිසානායක ), අතර සමසමව බෙදා හැරිණි. පසුව මේ පොත් පහ ම සම ජයග්‍රහාකයින් ලෙස කියූ අවස්තා ද තිබිණි. ඉන් මෙතෙක් මා කියවා තිබුනේ, "කිඳුරා ගොසින් වැටුනා පුර මඬුල්ලේ" සහ, "කන්ද පාමුළ" පමණකි. ඊට දැන් "චන්ද්‍රරත්නගේ භවාන්තර චාරිකාව" එකතු වන්නේය. දයා දිසානායක නම් වූ ලේඛකයා ගත හොත්, මීට පෙර මා කියවා ඇත්තේ, 2011 ස්වර්ණ පුස්තක දිගු ලයිස්තුවට පැමිණි ඔහු ගේ බාබ්ලි පමණකි (එය නම් ඉතා දුර්වල කෘතියකි). කතුවරයා පිළිබඳ එතරම් පැහැදීමක් නොතිබුන ද, 'හැකිනම්' ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණෙන සියළු නවකතා හෝ කියවීමේ  සුව නොවෙන 'උණක්' තවම තිබෙන නිසා දෝ, විශාල වට්ට්මක් සහිතව චන්ද්‍රරත්න භවාන්තර චාරිකාව පොත හමු වූ විටෙක මිල දී ගත්තෙමි. ඉතින් පසු ගිය මසක පමණ කාලයක් හෙමි-හෙමීට එම නවකතාව කියවීමි.




මූලික වශයෙන්, මේ නවකතාව මා බලාපොරොත්තු වූවාට වඩා සාර්ථකය - නවකතාවේ මුල් 2/3 පමණ බෙහෙවින් සාර්ථකය. එහි  විද්‍යා ප්‍රබන්ධයක ලක්ෂණ ද, 2007 ට සාපේක්ෂව තරමක් අනාගත වා දී ද යැයි සිතිය හැකි ලක්ෂණ ද  ( එනම් ඊට වසර 10-12ක් පමණ අනාගතයකට ; එනම් වර්තමානයට ගැලපෙන ) දිටිමි. එවන් ලිවීමකට, ඔහු 2007 දී  බොහෝ තොරතුරු තාක්ෂණික ප්‍රවණතා සහ, අනාගතයේ දී බලාපොරොත්තු විය හැකි වෙනස්කම් ගැන යම් අවබෝධයක් ඔහුට තිබිය යුතුය; එවන් කාරණා නවකතාවේ කතුවරයා මවන 'ලෝකයේ' විශ්වාසනීයත්වයට හේතු වේ.

එලෙසම නවකතාමය උපක්‍රමයේ දුර්වලතා ද ඇත. සඳරුවන් වන් සියළු පැති බලා සැලසුම් හදන්නෙකු, එම සැලසුමේ මූලිකාංගය වන ඔහුගේ පියා ගේ වර්තමාන තත්ත්වය සොයා නොබැලීම විශ්වාස කල නොහැකි තරමේ මූලධර්මීය දොසකි. කතුවරයා, ඒ මගින් සඳරුවන් ලබා ඇති සාර්ථකත්වය හේතුවෙන් ඔහුගේ අධිමානය පෙන්වීමට තැත්කලා විය හැකිය. එහෙත් මගේ කියවීම අනුව නම් එය අධිමානය ගැන කාරණාවකට වඩා මූලික "ගෙදර වැඩ" නොකර ව්‍යාතියකට සැලසුම් කිරීමකි.

අන් තැනෙක නක්ෂත්‍රය ප්‍රධාන විද්‍යාවේ කොටසක් ලෙස සඳරුවන් සලකා ඇත - ඒ ඔස්සේ එය කතුවරයා ගේ කියවීමක් දෝ යැයි හැඟුන ද, කතුවරයා මවනා ලෝකය තුල ඔහුට ඇති බලපත්‍රයක් ලෙස සැලකිය හැකි නිසා ඒ ගැන වැඩිමනක් දේ නොකියමි.

නවකතාවේ අවසන් පිටු 65 පමණ, නවකතාව වඩාත් දාර්ශනික නැඹුරුවක් ගැනීමට උත්සාහ දරා ඇත. එය සාර්ථක වන අවස්ථා මෙන්ම, පාඨකයා තරමක් වෙහෙසට පත් කරන අවස්තා ද සමෝසමව ඇතැයි සිතුණි. නිදසුන් ලෙස මේ කියමන මා සිත් ගත්තේය:

"අද සමාජය තුළ සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම මිරිඟුවක් පස්සේ දිවීමක් ලෙසය  චන්දරේට පෙනුණේ. බුදුන්ගේ කාලයේත් එතරම් දුෂ්කර වූ ක්‍රියාවක් මෙතරම් සංකීර්ණ වූත්,පරිහානියට ලක්වුවාවූත් සමාජයක ජීවත්වෙමින් අත් කර ගන්නට හැකිවේයැයි සිතීම මිත්‍යා මතයක් දැරීම තරමටම අවාසනාවන්ත නොවේද? ඊයේ සුඛෝපභෝගී ලෙස සැලකූ දේ අද එදිනෙදා ජීවිතයට නැතිවම බැරි ඒවා වන්නේය. හෙට ඒවා යල් පැනගිය දේ ලෙස ඉවත ලන්නට වන්නේය. තවත් අළුත් දෙයක් ලබා ගන්නට ආශාව ඇති වන්නේය." (216 පිටුව)

ඉහත සමාජ පරිහානිය ගැන කියමන ට මා එකඟ නොවුන ද, සංකීර්ණත්වය හා වේගවත් වෙනස්වීම ගැන සමස්ත අදහස ඔහු ව්‍යක්තව මෙහි ගෙනහැර දක්වා ඇත.

2006 ට සාපේක්ෂව, 2018-2019 පමණ වන විට සමාජ පරිහානිය වේගවත් ව සිදු වන්නේය යන අදහස, අතීතකාමි අදහසක් බවට ඇති පිළිගැනීම වැඩි යැයි සිතේ. හරාරි වැනි අය දීර්ඝ කාලීන නිරීක්ෂණ හා දත්ත සහිතව, "අපි ජීවත් වන්නේ හොඳම යුගයේය" යන්න ට පෙන්වා දී ඇත. ඒ අනුව කතුවරයා,

"සමාජයීය වශයෙනුත් ලෝකය පුරා වඩ වඩාත් අසංවරවූත්, අවිචාරවත් පරිසරයක් ගොඩ නැගෙන්නේය. ළමා කාලයේ සිටම දරුවන් මුහුණ දෙන්නේ අසභ්‍ය හා දාමරික හැසිරීම් රටාවලටය" ( 208 පිටුව )

                                            ආදි අදහස්, නවකතාවේ දාර්ශනික පාර්ශවය පෙන්නුම් කිරීමට භාවිත කලේද, එය අද වන විට තම බලය නැති වූ  පූජ්‍ය හා පූජක පක්ෂ විසින් කෙරෙන අඳෝනාවක් බවකි මට හැඟෙන්නේ. එහෙත් කතුවරයා 2006 දී මෙය ලියද්දි මෙම අදහස ට අද ට වඩා වැඩි පිළිගැනීමක් තිබුනා විය හැකිය.

සමස්ත වශයෙන් මට කිව හැක්කේ, මෙය සාර්ථක පැත්තට බරැති නවකතාවක් බවයි. බාබ්ලි කියවා, කතුවරයා ගැන එතරම් බලාපොරොත්තුවක් නොතිබුන ද, මෙම නවකතාව මා බලාපොරොත්තු වූවාට වඩා සාර්ථක බව කිව යුතුය. නවකතාවේ අවසන් පිටු 65 පමණ කියවීම අයෙකුට තරමක් ආයාසකාරි විය හැකි මුත්,  මුල් කොටස් වල ඇති අනාගතවාදී ප්‍රවණතාව, විද්‍යා ප්‍රබන්ධයීක ස්වරූපය මා සිත් ගත්තේය. ඇත්තෙන්ම අවසන් පිටු 65 අතර ද මා සිත් ගත් අදහස් බොහෝ විය. එහෙත්, එම කොටසේ බොහෝ දේ කීමට උත්සාහ දරා ඇත. එහි ඔහු මීට වඩා අවශ්‍යම දේ ගැන පමණක් කීවේ නම්, නවකතාව තවත් සාර්ථක වන්නට ඉඩ තිබුණි.

ශ්‍රේණි ගත කිරිම: ***1/2
2006 (සරසවි)
ස්වර්ණ පුස්තක නිර්දේශිත - අවසන් වටය - 2007

No comments:

Post a Comment