Saturday 24 April 2021

බවදුක - කේ. (කාශ්‍යප) එස්. පෙරේරා

 ධර්මසිරි බණ්ඩාරනායකගේ බවදුක සහ බවකර්ම චිත්‍රපටි බැලීම ට පෙර, ඊට මුල් වූ නවකතාව කියවමියි සිතුවේ මීට වසර 4ට 5ට පමණ පෙර විය යුතුය. එම අදහස ඇති ව අවසානයේ, වසර ගණණාවක් තුල මගැරී,  බවදුක, සහ බව කර්ම ලෙස කොටස් දෙකකින් සපිරි, 1964 හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ බවදුක නවකතාව කියවීමි. තරමක් අදට නුහුරු බසකට, ආසන්න ( තරමක් පැරණි; වරෙක බණකතා සාහිත්‍ය මතක් කරවන සුළු ) බසකින්  ලියැවී ඇති. එම බස නිසාම කියවීමේ වේගය අඩාල විය. එහෙත් එම බස නිසා ම රසවිඳිය හැකි අවස්ථා බොහෝ විය.



  "උපනුන් මරා දැමීම පාපයෙකැයි ඇදහූ හෙයින්, කිරි දරුවන් ගේ කුළල් ඔවුන්ගේ දෑතින් නොමිරිකුණාහ. යේසුස් වහන්සේගේ උපත පමා වනු කැමති සර්වබලධාරි යෙහෝවං වහන්සේ යෙරුසලමේ ගැබිනි මාතාවන්ගේ ගැප් සිර කළාක් මෙන්, තමනට දරුවන් නො වදා කුස තුළ ගල් කරගැනීමේ හැකියාවක් තුබුණේ නම්, බත්ගම එකියකුදු දරුවන් නො වදන්නට ඉඩ තුබුණේය." (192 පිටුව)
අදාළ යුගය 1900 සියවසේ දෙවෙනි දශකයයි. පේදුරු නම් ගුණවත්, නැටුමට දක්ෂ, පොලිස් සේවයේ බැඳී සිටි අප කතා නායකයා ය.  ඔහු විශ්වාස කල අයුරෙන් පූරුවේ කරුමයක් පළ දිමෙන්,  එම කාලය ගෙන ආ යම් සමාජ නොපනත්කමක් හේතුවෙන්, යම් අඩුවක් ඇති කාන්තාවක් සමග විවා පත් වැ, එම අඩුව පිළිබඳව සිත් සදා ගැනීමට අසමත් වන්නේ, ඇය අතැර යාමට නොහැකි තරම් ඈ වෙත කාමුකාශාවෙන් ද පෙළෙන්නේ, කෙමෙන් තම දිවි අසාර්ථක කොට ගෙන, තම අඹුවගෙන් යැපෙන්නත්, ඒ හේතුවෙන් ම ඇගෙන් මහත් අවඥ්ඥාවටත් ලක් වන්නේය. අප කතුවරයා මුලදී,  කර්මය යැයි සිතා, තමන් වෙත එන දුක් අනුභවයෙන්, අතීරණයෙන් පෙළීමේ මුග්ධබව අපූරුවට  කියාපාන්නක් මෙනි.

එහෙත් නවකතාව කෙමෙන් වඩා පුළුල් පරාසයකට පැතිරෙන්නෙ, පේදුරු ව පසුබිමට යොමු කරමිනි. අප ගම් වල පන්සල් වලින් ගැමියනට විය යුතු කාරිය නොවීමෙන්, අනේක ක්‍රිස්තියානි නිකායන් ගම් වල පැතිරීම, කුල පීඩනය හේතුවෙන් අඩු කුලයේ ඇත්තන්, අඩ-මිනිසුන් තරමින් තැකීම, 1915 දී මුස්ලිම් කෝලහාල, ගම්මුලාදෑනි-ආරච්චි පැලැන්තියේ අසාධාරණකම් ආදිය තුලින් නවකතාව ඉදිරියට ඇදෙයි.  පේදුරු ගේ දරු පරම්පරාව තුරුණු වියට පත් වත්ම ඔහු තම පුතුන්ගේ පවා ගැරහුමට ලක්වේ. අප කතුවරයා අයෙකු ගුණවත් වීම සහ තරමක හෝ නැණවත් වීම යනු අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන බවකි අඟවන්නේ. 

නවකතාව අවසානයට ලක්වත් ම, අපට වඩා ක්ෂාත්ක්ෂාත් වන්නේ, කතුවරයා ජාතක කතා ආර  ආභාෂයට ගෙන තම නවකතාව නිමවා ඇති බවකි. මේ කොටස, සලකන්න:

"ගෙදර සිටි තරුණ මෙහෙකරුවන් වහා ඔවුන්ගේ ගම්වලට පිටත් කළ හේ, ගෙදරින් පිට කිසිම ගෙදරකට නොයන ලෙස ඇයට උවදෙස් දුන්නේය. තමා හැර ලෝකයේ සිටින සෑම තරුණ මහලු මිනිසෙකුම උපදංස රෝගයෙන් පෙළෙන බව කියා, මිනිසුන් දුටුවිට ආසාවට වඩා භීතියක් උපදින අන්දමේ දුරාවබෝධයක් ඇය තුළ පැළකරවන්න ඔහු ගත් උත්සාහය බෙහෙව....'සූතිකා චිකිත්සා' නම් පොතක සමාජරෝග පිළිබඳ  කාණ්ඩය ඇයට ඇසෙන සේ ඔහු කියැවූයේ, භීතිය හා සැකය ඇයගේ හද තුළ වගා වඩා පතිභක්තියත්, ඇදහීමත් නඟාලීමේ බලවත් ආසාවෙකිනි." (277 පිටුව )
එහෙත් නවකතාවේ අවසන් පිටු 15 තුල සිදුවීම් පෙළගැසෙන්නේ, තරමක් අභව්‍ය ලෙස ය. වසර ගණණාවක් කොහේ සිටියේදෝයි නොදැන සිටි කිහිප දෙනෙකුගේ අහඹු හමුවීමත්, ලෝභ දෝෂ මෝහ යන තුන හේතුවෙන් විඳිනා මිනිස් භවයන් ගැන කියවෙනා ධර්ම පාඩමක් ලෙසිනි. මෙම දුර්වල, ප්‍රචාරාත්මක අවසානය පොතේ සමස්ත වටිනාකමින් සැලකිය යුතු අගයක් අඩු කලේය ( අවසන් විග්‍රහයේ වර්ග කිරීම තරමක් අඩු එම නිසාය). එහෙත් එම අවසානය කරා එන තෙක් උක්ත යුගය ගැන අපූරු විස්තරයන් රැගත් නිර්මාණයකි. එම යුගයේ බත්ගම කුල ඇත්තන් එතරම් ම සමස්ත සමාජයෙන් පිළිකෙව් කලේ ද යන්න මම නොදනිමි (එය විශ්වාස කරලීමට අපහසු තරම් ය - එහෙත් තතු නොදැන තිරණයකට නො එමි ).

මෙම නවකතාව 1964 හොඳම නවකතාව තේරුම් ගත හැක ( එහෙත් ඒ වනවිට ද කරුමක්කාරයෝ, විරාගය අප සාහිත කෙතේ බිහි වී ඇති බව අමතක කල නොහැක ).  එම කාලයට සාපේක්ෂව මෙය රසවත් නවාකතාවකි. එනුමුදු වර්තමානයේ ද ඉතා සාර්ථක නවකතාවකට ඇවැසි වස්තු බීජ ඕනැ තරම මෙහි ඇත. බණ්ඩාරනායකයන් එම සුදුසු බීජ පමණක් ගෙන වඩා සාර්ථක චිත්‍රපටියක් සාදන්නට ඇතැයි විශ්වාස කරමි ( නොබෝ දිනකින් එය නැරඹීමට සිතා සිටිමි. 'පනාපුත්‍රගේ මතක වස්තුවේ', ඇන්තනී බවදුක ගැන කරන ආවර්ජනයන්ද එම ආශාව එකල වැඩීය )

මීට වසර පනස් පහකටත් පෙර යුගයක අප නවකතාවේ විකාශනයේ එක් අවස්ථාවක් ලෙස මෙය කියවිය යුතු බව විශ්වාස කරමි. යම් දුර්වලතා ඇතත්, රස විඳිය හැකි අවස්තා ඊට වඩා බහුල බව නොකියාම බැරි ය.

ශානරය - නවකතා
මුල් මුද්‍රණය - 1964; මෙම පිටපත, තුන්වෙනි මුද්‍රණැයෙනි (2016 - සූරිය )
ශ්‍රේණිගත කිරිම - ***1/2

No comments:

Post a Comment