"70-80 දශකයේ නව කවියේ පිපුරුම් තුන", නමින් වූ කොඩිතුවක්කු කවියාගේ කාව්‍ය සංග්‍රහයන් තුනක එකතුවකි. මීට පෙර ලොවි කහට සහ දිවමන් ගජමන් පමණක් කියවා තිබූ හෙයින්, මේ සංග්‍රහයන් තුන ද ගෙන කියවීමට සිතුවේ, ඔහු 70 දශකයේ ජනතාවාදී කවිය වෙනුවෙන් සැලකිය යුතු සේවයක් කල අයෙක් ලෙස අසා සිටි බැවිනි. පොඩි මල්ලියේ කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් විචාරයක් ලියනා කුලතිලක කුමාරසිංහයන් පවසන්නේ.
"..පොඩි මල්ලියෙ කාව්‍ය සංග්‍රහයත් සමග ම සිංහල කවියේ මහත් පරිවර්තනයක් වූ බව අප කවුරුත් පිළිගත යුතු සත්‍යයකි. ... අත්දැකීම් අතින් පටු ක්ෂේත්‍රයක ගමන් කළ සිංහල කවියේ වස්තු විෂය ක්ෂේත්‍රය පුළුල් කිරීමේ ලා මෙතෙක් කවීන්ගේ අවධානයට යොමු නොවූ අංශ කීපයකට සිත් යොමු කිරීම, කොඩි තුවක්කුගේ කාව්‍ය නිර්මාණවලින් වූ වැදගත් සේවයකි... අලංකාරවලින් විමුක්ත නග්න වූ රළු වූ කාව්‍ය භාෂාවකින් සමාජ හා පෞද්ගලික ප්‍රශ්න දෙස නිර්භය ව බැලීමට කළ උත්සාහයක් ලෙස කොඩිතුවක්කුගේ පොඩි මල්ලියෙ සංග්‍රහය හැඳින්විය හැකිය",
කියා ය. කුමාරසිංහ මතු කරනා මේ කාරණාවන් වැදගත් යයි සිතමි. ඉතින් මා මේ කාව්‍ය සංග්‍රයය කියවීමට හේතුව ම, මා නොදත් එම යුගය, එම යුගයේ කවිය ගැන යම් විඳීමක්, අත්දැකීමක් ලැබීමටය. කුමක් ද කුමාරසිංහ මේ කියනා නැවුම් අත්දැකීම් ? 70 දශකයේ මුල දුක් විඳිනා මිනිසුන්, ගැහැනුන්, කුඩා කල සිට දුක් විඳිනා ළමුන් ගැන කියවෙන මේ කවි වල, රළු බව නිසා ම කැළෑ මල් වල හෙබි අලංකාරත්වය වන් අලංකාරත්වයක් වේ.
"කුරුල්ලො අඹලාසත පනහේ කුලිය ගන්ටගල් දුන්නත් අතට අරන්දවස පුරා වෙලේ රකිනපොඩි මල්ලියෙ;උඹෙ කකුල් රිදෙනව නම්වෙල අද්දර ගල් ඇන්දේ වාඩි වෙයන් ගල එතකොට පුටුවක් වෙයි"
2000 දශකයේ මුල මම මිතුරන් කිහිපදෙනකු සමඟ කුරුවිට - එරත්න පාරෙන් අවාරයේ සිරිපා කරුණා කෙරුවෙමි. අප ගියේ අප මිතුරෙකුගේ කාරයෙනි. එහෙත් කුරුවිටින් හැරී ටික වේලාවකින් කොල්ලන් පස් දෙනෙකු සමඟ කාරයේ එම පාරේ යාමට නොහැකි තරම් පාර අබකන් වී ඇති බැව් ඒත්තු ගියෙන් අප තිදෙනෙකු කාරයෙන් බැස එරත්නට යන තනි දොර ලංගම බසයකට ගොඩවිය. මට මේ ගමන මතක් වුනේ මෙහි එන "එහා ලොවට ටිකැට් එකක්" කවි පංතිය කියවන විට ය. ඊටත් අවුරුදු තිහකට පෙර යුගයක් ගැන සිතද්දි, එකල එවන් පාර වල දිවෙන බසයක් ගැන සිතා ගත හැක.
"තනි ඇන්දේ පාලම ළඟසිරි අයියා සිරිත් පරිදිබස්එක හිටවාගෙදර දුවනවා...මැණිකෙට මොනවද දීලාපුංචි පුතුට අත වනමින්විනාඩියට දුව ඒවි...."
අතුරු පාරවල් වල ලංගම බසයන් රෑට රියදුරුගේ නිවසේ නතර කර, උදේ ගමන් වාරය ඇරඹීම අලුත් දෙයක් නොවීය.
"වර්ණ ගල...හුණු දියගල ...!බෑණ සමනල...! සමනල!මහා පුරුෂයින් සත් දෙනඅහස උසට අත්වැල් බැඳතුන් ලෝක තිලක වූපා පියුම් රැක ගන්ට"
මේ කියනා කාලයේ, අලුත උපන් බිළිඳෙකු ගැන සිය දෙමාපියන් ට සුබ අනාගතයක මහා බලාපොරොත්තුවක් නොතිබුණු බව කියවෙන අපූරු කවියකි, "මෙපවත් දැන වෛර නොවන්".
"පියා නුඹේ සිංහල ගුරුමව ලිප ගිනි මොළවන්නීක්රිස්තු වරුස දෙදාහේ සමාජෙටකවුරුන් ලෙස නුඹ යවම්ද?ඥාන ධනය - ශිල්ප ධනයතේජො බල පරාක්‍රම දනුඹට කෙසේ සලසන්නේ?"
සම්මත මිම්මෙන් නොමැනෙන, වෙසෙස් පුද්ගලයන් ද අප ගම් වල සිටිති. "හිත හොඳ ගෑනියක්" මගින් එවන් අයෙක් ගැන කියැවේ.
"ගේ පුරාම මහත්තුරුන් ගාල්වෙලාඋපාසක මහත්තයගේ වලව්වත්බෝඩිමක් උන වගයි....උඩ තට්ටුවෙ පලඟ බැඳන්නව ගුණ වැල ගණන් කරනඋපාසක මහත්තයට ඇහුනෙ නැද්දඇසුනත් නො ඇසුනා මෙන්ද ?....එපා මහත්තය, එහෙම හිතන්නෙපාහිඹුටු වැලෙන් උපන්න නෙවිකාගෙ උනත් දොළොස් දෙනාමගේ පුත්තු"
"....ඇයත් සමඟ පොඩිවී ගිය
ජීවත්වන ශක්තිය, මට හිමි කර දෙන්නෙ කුමක්ද?
...වළක් තුළ වැළකෙන්න ඇයට හැකි වූ නමුත්ඇඳක් මතමිනිහෙකුටවැළලෙන්න බැහැ මිතුර"
පවුල් වලින් විශේෂයෙන් තරුණියන් වෙත එන පීඩන, ඔවුන්ගේ නිදහස ට බාධා කිරීම අද පවා නැත්තටම නැති වී නැති බව සත්‍යය. එනම් මීට වසර හතලිස් හතකට පමණ පෙර එය කවර ආකාරයෙන් තිබෙන්නට ඇති ද? තමන් ට අහිමි වූ ජීවිතය ගැන දුක් ව සියදිවි අහිමි කර ගත් තරුණියක් ගැන, ඇගෙ පෙම්වතා ආවර්ජනයේ යෙදෙන්නේ ඇගේ පෙම්පත් කිහිපයක් දෙස බලමනි.
"සහසැස් ගෙන ඔබේ දිහෑ බලන්න වැර දරන මදෙස
දෑසින්වත් බලන්න ඔබ නොසිතුවේ කිමද අනේ?"
සිංහල කවිය සහ එහි මෑත කාලීන පරිණාමය ගැන උනන්දු රසිකයන්ට නිර්දේශ කරමි.
මුල් මුද්‍රණය 1973
ශ්‍රේණිය: ****1/2
බොහොම අගේ ලිපියක්. ඉස්කෝලේ යන කාලේ පොඩි මල්ලියේ කියවලා තිබුණා. නමුත් ඔබ කියනා පරිදි වස්තු විෂයයන් හි පුළුල් බව ඒ කාලේ අපට වැටහුණේ නෑ. මේ ලිපිය කියවලා ආයෙත් පරාක්‍රම කොඩිතුවක්කු ලේඛකයාග් පොත් කිියවන්න ආසා හිතුණා. ඔබ දිගටම මෙවැනි ලිපි පල කරන්න. ජය වේවා!
ReplyDelete