Wednesday, 14 October 2020

අප දෙදෙන මැද මහ මුහුද - ඉසුරු චාමර සෝමවීර

ඉසුරු ගේ "ගැහැණු පිරිමි මල් පලතුරු" කියවීමෙන් පසු, ඔහු ලියූ කෘති කියවීමේ දොළක් ඉපිද, තවමත් විකිණීමට ඇති කවි පොතක් ලෙස මෙය නෙත ගැටී, මිල දී ගෙන කියවූවෙමි. ඉතා පැහැදිලිව මෑතක කියවූ, මා මහත් රස විඳි කවිපොතකි. 

මෑතක මා 2019 ප්‍රකාශ වූ කවි පොත් සමඟ කල් ගෙව්වෙමි - වරෙක පීඩා වින්දෙමි. ඒ එක්කෝ සම්මානනිය වුව, මොන කවියක්දෝ යයි සිතෙන රළු, නීරස  "ක්වොන්ටම් භෞතික සංඛාරා", හෝ බොහෝ දේ සිතීමට ඉතුරු කල ද තරමක ආකෘතීක ඒකාකාරි බවක් පළ කරන "ඉම තව දුරය", හෝ ගැටපද විවරණයක් ද ඇවැසියයි සිතෙන තරමක කඨෝර බහුශ්‍රැතබවක් නිසා පාඨකයා වෙහෙසන "හම්බාවා" නිසාය ( තරමක් හෝ අපහසුතාවකින් තොරව රස වින්දේ, "මොන තරම් අවුලක් ද?" ය). ඊට හා පුරා වෙනස්, පාඨකයා වෙහෙසට පත් නොකෙරෙන,  මනරම් සුමට බසක් භාවිත කෙරුන,  කවි සිතුවිලි අතින් පොහොසත් "අප දෙදෙන මැද මහ මුහුද" රස වින්දෙමි. 2019 කවි පොත් වලින් පොඩි විරාමයක් සොරාගෙන මෙය කියෙවුවෙමි.  ඇත්තෙන් ම එය කාව්‍යමය විරාමයක් තරමට රසවත් විය. ඒ කෙසේද යත් ;

"...
දන් දෙන්න යන ගමනක් මේ
දන්නේ නැති වයසක මිනිහෙක්ට
දිරාගෙන යන මගේ ඇඟ

හැළි වළං හෝදන්න
තුන් වේල බත් තම්බන්න
ගේ එළිපෙහෙළි කරගෙන
කියන විදිහට ඉන්න
හිත හදං යන ගමනක් මේ
..."
("හතලිස් වියැති මනාලිය"- 67 පිටුව  ) 


බටහිර රට වලින් අද වන අප රට ට ලබා ගත හැකි හොඳම සංස්කෘතික ලක්ෂණයක් නම් කාන්තාවගේ නිදහසයි. එනම් කාන්තාවකට විවාහය තම පවුල් මගින් බල කර සිටින පීඩනයයි. ඇත්තෙන්ම, අඩු තරමින් කොළඹ ආශ්‍රිතව හෝ, මෙම ප්‍රවණතාව දකිය හැක. එහෙත් රටේ බහුතරයක් කාන්තාවන් තවමත් මේ "දන්දීමට" ලක් වේ. අප කවියා හතලිස් වයැසිති මනාලියක් සිතනායුරෙන්, පෝරුවේ "බොරු හිනා පෑම" අවඥ්ඥා සහගත ලෙස බැහැර කරයි.

"රජ මහ වෙහෙර
බෝධිය රකින
නා රජ වරුණ
පතලය සැමත

...

රජ මහ වෙහෙර
පොත් ගුල වසන 
අපමණ නයිය
පෙන ගොබ නගන"
              ( "නයි" - 62 පිටුව)
අප රට ධර්මය කෙරෙහි ඇති ඇල්ම අඩු වීමට ප්‍රධානතම හේතුව අවිචාර ලෙස සියළු ධර්ම කරුණු දොහොත් මුදුනේ තබා පිළිගැනීමට කෙරෙන බල කිරිල්ලයි. සමහර ධර්ම ආචාර්‍ය වරු අටුවා පිළිගන්නේ නැති නම්, ධර්ම සාකච්ඡාවට සහභාගි නොවෙති. නයි නම් කවි පංතිය මගින් මෙ ධර්මය තුලම තිබෙන  නාග පිළිකාමය ස්වරූපය, පොත් ගුල් තුල වෙසෙනාකාරය පෙන්වා දෙයි.

මේ අන්ධභක්තිය රැගෙනෙන බලකිරිල්ල, ඔක්කාරයක් ආකාරයෙන් මතුවිය හැකි අයුරු කවියකට නතු කරන අයුරු "පිච්ච" නම් කවියෙන් පෙන්වා දෙයි.
 

"මංජරි,
අපට නොගොහින් ඉන්නයි තිබුණෙ
ගියදා ඉඳන් ඒකට
පිච්ච මල් ගඳයි මට
ඉස්සර වගේ නෙමේ
වහනවා මං ජනෙල් දොරවල් තදට
පිච්ච මල් සුවඳට"
              (13 පිටුව )
එහෙත් ඉසුරුගේ කවිය ලාභෙට රැඩිකල් ලෙස ධර්මයට විරුද්ධයැයි නොසිතිය යුතු. "ඇතුරුදන් කළ මිනිසෙක්", "නාහිමි ගිලානව" ආදි අපූරු කවි පංති මගින්, ඔහු අප රටේ ධර්මයේ රෝගි බවත්, ඒ පිළිබඳ ඇති සොවත් පළ කරයි.


"හැඬීමට අවසර නැත මට
ඔබේ සැමියා ගෙන එන
නෙස්කැෆේ තිත්තය
ඔබ දෙතොල පෙර මෙන්
මුදු නැත
කළුය වියලිය
මල්වඩම් වගුරන
සුවඳ අපුලය"
                 ("මළගෙදර", 52 පිටුව )

කවියේ මෙම පදපෙළ මූල කතාව පැහැදිලි කරන හෙයින්, එහි ඇති වේදනාව කවියා කෙතෙරම් හොඳින් ප්‍රකාශ කරලීමට සමත්දැයි පැහදිලිය.

පෙමක් ගැන පවසන කල "උඹ" නම් ආමන්ත්‍රණය මගින් එය කවර පාර්ශව දෙකක් අතර පෙමක් ද යන්න ගැන ඉඟිකරන්නේ දැයි සිතමි. මුල් කාලයේ පෙමකට කල ඇරයුමකට ලැබූ අයහපත් ප්‍රතිචාර, පසුකාලීනව හොල්මන් කිරිමක් ගැනය මේ කව් පංතිය.
"ළා ළපටි රෝස පැහැ ළා දල්ල
ඇල්ලුවේ ඉවසලා ඉවසලා
බැරිම වුණු තැන තමයි
පෙති දෙපෙති එකතු වී
ගුලි වෙවී ඇකිලෙද්දි
උඹ නෙමේ හුඟක් ඇඬුවේ මමයි
කන් පෙතිත් රතු වුණ නම් තමයි"
                       ("නිදිකුම්බා", 15 පිටුව )

මීට අමතරව, "ජින්නෝ"," අලුත් ලේකම්වරියට", "තාත්තට පඩි දාට", "අත්තම්මා", "අකුරට වැඩ", "උස සුදු කොල්ලෙකුට",  "සුදු අක්කේ", "අංග රචනා" සහ "වදන් නැති කවි" ආදි තව බොහෝ කවි පංති මා මහත් රස වින්දෙමි.

සිංහල කවියට කැමති රසිකයෙකු කියවිය යුතුම සංග්‍රහයක් ලෙස නම් කරලීමට මැළි නොවෙමි.

 *****
ප්‍රකාශනය - සම (2016)





No comments:

Post a Comment