මහාසාමි වලින් අනතුරුව කතුවරිය ප්‍රකාශ කල කෘති වලින්, මට කියවීමට මගැරුනේ එක් නවකතාවක් පමණි. මහාසාමි, අත්තානි කණු සහ සුවඳ සන්නිය කිය වූ කෘතීන් ය. දෑවාන කෘතිය දුටු විගස එය අප උනන්දුව දිනා ගත්තේ, අප රට ථෙරවාද-මහායාන අතර ඝට්ටනය අළලා ලියූවක් බව පසු කවරයේ වූ සඳහන හේතුවෙනි. කැත්ලීන් ජයවර්ධන ගෙ මහසෙන් මගින් එරජ යුගයේ ථෙරවාදීන් මුහුණ දුන් ගැටළු යම් ආකාරයකින් ප්‍රබන්ධ ගත කර තිබුන ද, මුඛ්‍ය මාතෘකාව ම එම පාර්ශව අතර ගැටුම වීම, ලංකා ඉතිහාසය පිළිබඳ කියවන්නෙකු අතරින්නේ නැත.
නවකතාවේ මුල් පරිච්ඡේද, දෙකට බෙදා, මහායනිකයින්ගේ සෞභාග්‍යයත්, ථෙරවාදීන් ට දානය දීම ද දායකයන් ද දඩ කෑ හැකි වරදක් ද බවට පත් වූ වටපිටාවේ විස්තරයන් ට ය.
එනුමුදු තෙවන පරිච්ඡේදයේ ඇති දීර්ඝ ධාතු පෙරහර විස්තර කියවීම පාඨක කියවීම් වෑයම අභියෝග කරයි. නවකතාව ඉදිරියට ඇදෙන්නේ, මහාවිහාර පාර්ශවය විඳිනා ගැහැට පිළිබඳ විස්තරත්, මහවිහාරයේ රැඳි එකම භික්ෂුව අභයගිරියට ලැබුණා යැයි කියන සර්වඥ්ඥ ධාතු පිළිබඳ අවිශ්වාසය පළකිරීමත්, අභයගිරි පාර්ශවයේ සුඛ විහරනයත්, අභයගිරිය පරිවාර අධ්‍යයන ආයතන වලට ඇදෙන විදෙස් සිසුන් සහ ඉගැන්වෙන ශාස්ත්‍ර පිළිබඳ විස්තරත් සමඟ ය. හුදෙක් සාමාන්‍යය නවකතාවක් සොයනා පාඨකයකුට මෙවන් විස්තර කියවාගෙන යාම පහසු නොවීමට පුළුවන. වෙසෙසින්, නවකතාවේ සැලකිය යුතු කොටසක්, අභයගිරිය සහ උත්තරාරාමය ප්‍රමුඛ පුද පූජා විදි විස්තරයට වෙන් වේ. කතුවරිය මෙ මඟින් අද වන විට දක්ෂිණාව ම ප්‍රමුඛ කොට ගත් ආගමක් බිහිවීමේ මුල් යුගය ගැන වැඩි අවධානයක් යොමු කරනවා විය යුතුය - මෙහි මූලයන් කොහෙන් පැමිණියේද යන්න එත්තු ගැන්වීම කතුවරියගේ අදහස වන්නට ඇත; එහෙත් මගේ අදහස නම්, කතුවරිය මෙවන් විස්තර සඳහා යොදාගත් ඉඩ වැඩි බවත්, ඒ හේතුවෙන් ම නවකතාව කියවීම පාඨකයනට තරමක් වෙහෙසට පත් කරවන බවත් ය. එහෙත් මෙහි ප්‍රධාන මාතෘකාව පිළිබඳ කැමැත්තෙකුට, සෙමීට කියවාගෙන ඉදිරියට යාමට තරම් කාරණා මෙහි අන්තර්ඝතය. ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය කෘතිය, මෙහි එන යම් ඉතිහාස කාරණා පිළිබඳ වැඩිදුර කියවීම උදෙසා මහත් රුකුලක් විය. තවද, තැනෙන් තැන දිගැරෙන සංස්කෘතික කාරණා මගින් මහායානය වර්තමාන සිංහල බෞද්ධ සංකෘතියට බලපෑ ඇති ආකාරය කියැවේ. ගන්ධබ්බයෙකු ගේ අදහස මහායන අදහසක් බවත්, සත් දවසේ බණ සහ සාංඝික දානය ඉන් අවශෝෂණය වූවක් බවත් කියැවේ.
මෙහි එන සමහර ඓතිහාසික කාරණා "ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය" සමඟ ද, ලාංකික මහායන ආභාෂයන් පිළිබඳ මොරටුව ශාසනරතන හිමියන්ගේ, 'ලංකාවේ මහායාන අදහස්' නම් වූ කෘතියෙන් ද පිරීක්සුවෙමි. බෞද්ධාචාර්‍යය බර්ට්‍රම් ලියනගේ මහතාගෙන් ද සමහර විමසුවෙමි. එම සියළු කාරණාකාරණා හා සසඳන විට, ඓතිහාසික සහ සංස්කෘතික කාරණා අතින් බොහෝ දුරට නිරවද්‍ය වුවත්, අවසාන විග්‍රහයේ දී නවකතාවක් ලෙස මෙය පාඨක ප්‍රසාදය දිනා ගන්නේ ද යන ප්‍රශ්ණය මතු වේ. මෙම ප්‍රශ්ණය ට වඩාත් සූක්ෂම ලෙස පිලිතුරු සැපයිය හැක්කේ, මෙම උක්ත කාලය අලලා ම, ප්‍රවිණ ලේඛක කැත්ලීන් ජයවර්ධන මහත්මිය මීට පෙර නවකතාවක් ලියා පළ කර ඇති හෙයිනි. 'මහසෙන්' නම් වූ එම නවකතාව, ඓතිහාසික නවකතාවක් පමණක් නොව, කැත්ලීන් ට ආවේණික අයුරින් දාර්ශනික යටිපෙළක් ද සමගිනි, ලියැවුන්නකි. ඉතින් ඒ හා සසඳද්දී, මහාසාමි, සුවඳ සන්නිය සහ අත්තාණි කණු මගින් කතුවරිය ගෙන ආ සාහිත්‍යයික රසයේ යම් අඩුවක් මෙහි ඇති බව පිළිගත යුතු වේ.
කෙසේ හෝ, අවසන වෙනුවෙන් කියවන්නේ ය යන අදිටනින් කෘතිය කියවා නිම කල හෙයින්, කිව හැක්කේ, කෘතියේ අවසානය කතුවරිය සාර්ථකව නිමවා ඇති බවකි. රජු ද, මහායාන පාර්ශවය ද, ථෙරවාද පාර්ශවය ද තම ගැටීම් හේතුවෙන් ගැහැට ම විඳින්නෝය. මෙකල සිදු වූ සංස්තික අවශෝෂණයන්ගේ සම්ප්‍රයුක්ත බලයන් අද වන තෙක් ඇදී එන බවත්, ඉන් සමහරක් "පිරිසිඳු ථෙරවාදය" යන ලේබලය යටතේ මහායාන සංස්කෘතිකාභාෂයන් බවත් පැහැදිලිය. මොරටුවේ ශාසනාරතන හිමියන් මෙසේ පවසයි:
"කිත්සිරි මෙවන් රජු දවස දන්තධාතුව මෙහි ගෙන ඊම මහායානිකයින් ගේ බලපෑමක් නිසා නොවූ නුමුදු දන්තධාතුව ගෙනා පසු මහායානිකයින් විසින් එය තමන් ගේ බලයට බලවත් ආධාරයක් කරගන්නා ලදි. මුල් කාලයේ පටන් ම දන්තධාතුව අයත පැවතුණේ අභයගිරිකයන්ට ය. මහාවිහාරවාසීහු දන්තධාතූන් වහන්සේට පුද පූජා කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වූහ" ( "ලක්දිව මහායාන අදහස්" 363 පිටුව )
තන්ත්‍රයාන බලපෑම් ගැන පවසන එහිමියෝ;
"බුදුරදුන් දවස නොපැවති පිරිත් කීම ලක්දිව බහුල වූයේ තන්ත්‍රයානයේ බල පැවැත්ම නිසා ය. ඒ නිසා ම පසු කාලයේ බුදුන් දෙසූ අයුරින් යම් යම් අදහස් ඇතුළු කොට ගෙතූ ජිනපඤ්ජරය, ගිනි පිරිත, ජය පිරිත ආදී සූත්‍ර කීපයක් ද වැඩි විය. එසේ ම සීවලීයන්ත්‍රය, රතනයන්ත්‍රය ආදි යන්ත්‍ර භාවිතය ද, තන්ත්‍රයානිකයින් නිසා මෙහි පැතිර ගියේය." ( "ලක්දිව මහායාන අදහස්" 385 පිටුව )
සමස්ත ලෙස, පහත දැක්වෙන කාරණා ලේඛිකාව අපුරුවට නවකතාව තුලට කාවද්දා ඇත;
ථෙරවාදය අර්හත් මාර්ගය ඔස්සේ ම විමුක්තිය සෙවීමට වූ මගක් වෙනුවෙන් කැපවෙද්දී, මහායානය පෘතග්ජන මිනිසුන්ගේ දෛනික උවමනාවන්, විශ්වාස වෙනුවෙන් වඩා විවෘත විය. භාවනාව වඩනවාට වඩා දක්ෂිණාව ම පහසු හෙයින්, තමන් අභයගිරිය වෙනුවෙන් තාවකාලික වහල් මෙහෙයට අයත්වීම මෙකල තිබූ පිළිවෙතක් බවත්, 84000 පුෂ්පෝහාරයන් ආදි පුදපූජා විදි අභයගිරිය මුල්කොටගෙන ඇති වූ බවත් ය.
"...සාමාන්‍ය ජනතාව පරලොවට වඩා අපේක්ෂා කරන්නේ මෙලොව දියුණුවයි... එසේ ඔවුන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කර දෙතැයි සිතා බෝධිසත්ව වන්දනාවේ සහ දේව වන්දනාවේත් යෙදෙන්නට අභයගිරියට ඇදෙනවා..." (226 පිටුව )
අනෙක වාදයෙන් දක්ෂ වූ මහායානිකයින්, භාවනාවට ම යොමු වූ මහාවිහාරිකයින් පරදවීම ද සමස්ත වශයෙන් එහි පැවැත්මටත් ජනප්‍රියත්වයටත් හේතු වූ බවකි;
"සංඝමිත්‍ර භික්ෂුව මහා විහාරයේ දී එහි භික්ෂූන සමඟ වාද කෙළේය, ඔහු ඉදිරිපත්කළ මතවාදයන්ට එදිටිව කිසිත් කියා ගන්නට භාවනාවටම හුරුපුරුදු වුණු ථෙරවාදී භික්ෂූන් සමත් වූයේ ද නැත. එහෙයින්ම ඔහු දිනුවේය" ( 83 පිටුව)
විවිධ දැනුම් පද්ධතීන්ට විවෘත වූ සංස්කෘතයත්, ථෙරවාදයට සීමා වූ පාළියත් යන භාෂා දෙක කෙතෙරම් පිටස්තර ලෝකයට විවෘත ද යන්න ද මෙහි මූලික කාරණාවකි විය.
"...මට ඇති හිත් කරදරය මහායානයට පහර දෙන්නට පාළි බස හෝ හෙළ බස සමත් නොවන බව සිහිපත් වීමයි... ඒආ සංස්කෘතය තරම් පොහොසත් නැහැ..." ( 196 පිටුව )
එලෙසම පිටස්තරයට විවෘත වීම ම අභයගිරියට අවාසි සහගත ද විය. ලොව අනෙක් ධර්මයන්, දැනුම් පද්ධති වලට විවෘත වීම හේතුවෙනි, නීල පට දර්ශනය මෙහි පැමිණ, අභයගිරියේ පැවති යම් විනයක් අභියෝගයකට ලක් වූයේ. එලෙස ම කතුවරිය ඉතා පැහැදිලිව ඉඟිකරන්නේ, අද වාසය කරනා බහුභාණ්ඩික භික්ෂුව, වඩා වටිනා සිවුරු අඳිනා භික්ෂූන්, විහාර ආශ්‍රිතව ගොඩනැඟිලි ඉදි කිරීමේ නිමක් නොවීම ආදියෙහි මූලික අවස්ථාවන් එම යුගයේ ඇරඹුණු වගකි.
කතුවරිය බොහෝ විට සංඝත ලෙස තම ප්‍රබන්ධය නිමවා ඇත ( තැනෙක දෙකක වදන ක දෙකක ගැටළු මතු වුව ද එය සැලිකිය යුතු නැතැයි සිතමි ද ). ඇරත් ඓතිහාසික නවකතාවක් ලෙස මෙහි රසවත් තැන් ද බොහෝය. මින්නේරිය ඉදි කිරීම, ඒ වන විට යක්ෂ ගෝත්‍රික ජනතාව සිංහලයන් තුලට අවශෝෂණය වී තිබීම, ඒ අතර ම ඔවුන් ට සුවීශේෂි වූ විශ්වාසයන් ඔවුන් ආරක්ෂා කරගෙන සිටීමද රසවත් කියවීමකි. මහරජු ඒ වන විටත් යකුන්ගේ කීම අහක නොදැමිය හැකි තැනක සිටීම තැකිය යුත්තකි.
සමස්ත ලෙස කිව හැක්කේ, කාලය මිඩංගු කර කියෙව්වාට පාඩු නොවෙනාකාර නවකතාවකි. එහෙත් අප පාඨකයින් වඩාත් කැමති ආරේ, "එක හුස්මට" කියවීමට හැක්කක් නම් නොවේ. ඇරත්, උක්ත විෂය ගැන උනන්දුවක් නැති අයෙක් මෙය කියවීමට පරීශ්‍රමයක් දරාවී ද, දැරිය යුත්තේ ද යන්න ද විවාද සම්පන්නය. ශික්ෂාවකින්, "ගෙදර වැඩ" ද යම් පමණක කරමින් (එනම් ආශ්‍රේය පොතපත කියවමින්) පොත කියවන්නියක තම ආයෝජනයට ප්‍රමාණවත් දෙයක් ලබා දීමට සමත් ය. එලෙස ම මෙය "රසවත් යැ - නීරස යැ", ආදි තනි වචන වලට ගොණු කරලීමට ද මම නම් නොදන්නෙමි. අප රට මේ වසරේ පැවති ප්‍රධාන සම්මාන තුනෙන් එකක හෝ දිගු ලයිස්තු නිර්දේශයට හෝ මෙය නොතේරිණි. ඊට ද ඔවුන ට කිසි දොසක් කීමට් නොහැක්කේ, මෙම කෘතියේ ස්වභාවයෙන් ම මෙය සීමිත පාඨක පිරිසක් කියවනා ආරේ නවකතාවක් නිසා ය.
2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 7
ගොඩගේ ප්‍රකාශනයකි
No comments:
Post a Comment