සම්මිශ්‍රණ කාව්‍ය සංග්‍රහය මුලින් ම නිකුත් ව ඇත්තේ 1986 වසරේ දී ය. රණවීරයන්ගේ දෝතක් කවි එකතුවේ, සම්මිශ්‍රණ කෘතියෙන් තෝරා ගැනුනු කවි 18 මා රස වින්දෙමි. ඒ තෝරා ගෙන තිබූ කවි දහ අට තුල දුර්වල කවි ඇත්තේ ම නැති තරම් ය. පසුව දවසක ගොඩගේ පොත් මැදුරේ එහි 2006 මුද්‍රණයක් දුටුවෙන්, ඉන් පිටපතක් මිලට ගත්තෙමි. වෙසෙසින් මීට පෙර රණවීරයන් පළ කල තිබූ "කවි කිහිපයක්" සංග්‍රහයට ගව් ගණනක් 'සම්මිශ්‍රණ' ඉදිරියෙන් යැයි සිතුණි ( 'කවි කිහිපයක්' හි කවි කිහිපයක් ද දෝතක් කවි හි තිබුන ද, එය එතරම් නොදැනිනි.)
මා වඩාත් සිත් ගත් කවි කිහිපයක් ගැන පමණක් නිදසුන් සපයන්නේ නම්;
විටෙක මිතුරෙකුගේ ජීවිතයේ අභිප්‍රායයන් සහ අප ගේ අභිප්‍රායයන් වෙනස් ය. එවිට අපි ජීවිතයේ අප අමන්දානන්දයට පත් කරන දෙයක් ගැන ඔහුට හෝ ඇයට පහදා දීමට තැත් කල ද, ඔවුන් ට ඒ ගැන ආචාරශීලි උනන්දුවකට මෙහා දෙයක් පුද දීමට නැත. මෙහි එන විසි වසරකට පසු කවි පංතිය කියවද්දි එවැන්නක් සිත් විය.
"..
මා ළඟම හිඳන් සිටි මිතුරේ
හමුවී විසි වසරකට පස්සේ
ඔබ අසයි.
'මොකදෑ කළේ මෙපමනා කල්?'
නැත මන්දිරයක් බැන්දේ
නැත කළේ කලා වැවක්
පැකිලි පැකිලී දෙමි ඔබට
මා සතු ධනය / මා ලියූ කවි
එපා කලබලයෙන් කියවන්න හදිසියේ
සියළු හඬ නිහඬව
අඳුර රැකවල් ලන විට
දල්වා කුටියෙහි පහන
කියවන්න සෙමෙන් මා කවි
විහිදෙන මුදු එළියේ
තනියෙන් ම හිඳ"
"කන්දෙමින් උර හිස උඩින්මේ කව් පද පේළි කිහිපය තුල බොහෝ දේ පැවසී ඇත. ඒ පවසා ඇති ලෙන්ගතු බව මිශ්‍රිත සංයමය, කවියාගේ කවීත්වයේ ආදර්ශයක් සේය.
බලමින් වරින් වර මා මුහුණ කෙලින්
සොලවමින් හිස එකඟ වෙමින් මා හා
දුව යමින් ගෙන බාමින් ලිප මත වෑංජන
අදහමින් තුටින් මා, ඔබ වදියි
මා මවන ලෝකයට මා අත්ගෙන
නිදමි ඉන්පසු එතුළ සැනසී නිවී"
(බිරිඳ )
අමරසේකරුන්ගේ "නගරයට පෑවු දේදුන්න" කවියට උත්තර කවියක් බඳින ආරයවංශයන්, "පිස්සන්" ඇයි ඒ දේදුන්න දෙස නොබලන්න්නේ කියා උචිත ස්වරයකින් ම පබැඳියි;
"වැටෙයි බය හියෙයි රිය මරුසේ ය ය
හැපෙයි හපය සේ මිරිකෙයි මිරි මිරිය
අතෙයි බස් පොල්ල අනෙකක අදු වැඩිය
නැතෙයි දේදුන්න නැරඹීමට පිරි ය"
ජීවිතයේ අනියත බව, තේරෙන බාසාවෙන් ම පවසන්නේ නම්, 'පොල්ලෙන් ගැහුවා' වාගේ දැනෙන කවියකි, ජීවිතය;
"ඊයේ සෙත් සලෙන් එන අතර,
ළයට අත තබාගෙන ඔබ කීවේ
සිනාසෙමින් (එය සිනාවක්ද?)
'පුදුමයි නේද අනේ
ඇයි මෙසේ උනේ
මගේ පපුවටම'
කිනිස්සකින් පසාරු කළ මෙන්
දැදුරු වුවද මහද
නොකිම් කිසිවක්"
මෙහි එන "පිය බඳට ගෙයි දැවටුන", "තොරන් හා පුවක් කොටන්", "ප්‍රතිමා මත කපුටෝ නොහොත් වීරයෝ" (වෙසෙසින් මෙය ලියැවී වසර තිස් තුනකට පසුව අද වන විට එය වඩාත් උචිත කවියකි ), "නගරයයට වුණු කවියෙක්" ( මෙය 1986 වන විට එනම් ගම නාගරිකරණය නොවූ අවදියක බෙහෙවින් සිතට දැනුන්නක් විය යුතුය ), සැඳෑ සෙවනැල්ලට, ආදිය ඉතා ඉහළ නිර්මාණ ලෙස දුටිමි.
ආරියවංශ රණවීර මින් පසුව ද කාව්‍ය සංග්‍රහයන් රැසක් පළ කොට ඇත. මා සංග්‍රහයන් වශයෙන් ඒවා සම්පූර්ණයෙන් කියවා නැත ( දෝතක් කවි, හි එන කවි කියවීම හැර ). එහෙත් මෙය කවියාගේ සාර්ථක ම, සිතට දැනෙන ම කවි රැසක් ම රැගත් සංග්‍රහයක් බැව් නොපැකිළව කිව හැක.
No comments:
Post a Comment