Saturday 16 May 2020

මං - වීරපොකුණේ උපරතන හිමි

මං - වීරපොකුණේ උපරතන හිමි
--------------------------------
****1/2

"මං ගැන" වචනයක් කියනා අප ලේඛක හිමියන් මෙසේ කියයි. "මවු පිය සම්බන්ධයෙන් ලොවට ජනිත වන දරුවා විපර්යාසයනට හසු කොට මිනිසෙකු බවට පරිවර්තනය කරන්නේ මාර්ගය විසිනි. ඒ අනුව 'මිනිසා' යනු මවුපියන් බිහි කල දරුවා නොව, මාර්ගය බිහි කළ දරුවා ය". උන් වහන්සේ තව දුරටත් කියන්නේ තමන් වහන්සේ ගේ කථාවේ ප්‍රධාන චරිතය ලෙස සැලකිය යුත්තේ 'මාගය' ම බවයි. තවද මෙම නවකථාව පෝෂණය ලා උපකාරි වූ පින්වතුන් හා පින්වතියන් රාශියක් නම් කරයි - ඒ අතර වෛද්‍යවරුන්ම් භික්ෂූන් වහන්සේ, හේවිසිකරුවන්, පාරුකරුවන්, නාටාමින්, කශල ශෝධකයින්, ග්‍රාම නිලධාරින් වෙති.

අප හිමියෝ මාර්ගයේ කථාව කියා පාන අතරේ වෙසෙසින් ඉතිහාසය ඔස්සේ අතුරු මං මාවත් රැසක් හරහා පාඨක අප ගෙන යයි. ඒ අනුව සිරිපා කරුණා කල කොටාගෙ කථාව, උන්මාද චිත්‍රාගේ කථාව (දෙමටවකන්ද ආශ්‍රිතව ආදිම පරයාගේ සොහොන ගැන කියනා අතර ), දිවිදෝසේ හටගත් අයුරු (යක්දෙස්සාගල හි ඉතිහාස කථාවට සම්බන්ධව ), කුරක්කන්බාහු රජුගේ කථාව, හික්ගහ තොටුපළේ කථාව, ගිරංගේ දිස්ඨිය ඇති වූ අයුරු, මුවන්තිස්ස රජුගේ කථාව, 1818 කැරැල්ල, ඇහැළේපොළ කුමාරිහාමිගේ කථාව ඇතුළු තව කථා රාශියකින් මෙම කථාව පෝෂිතයි.

මෙහි එන මල්ලිස් අප්පුගේ චරිතය ප්‍රධාන චරිතය නොවේ - එසේ නැත්තේ ද නොවේ. මල්ලිස් අප්පු ගේ දෙමව්පියන්, උන්ගේ ඇවෑම, සුද්දා හමුවීම, පාරු රස්සාව, රහි හමුවීම හා ඈත් වීම, ඇලිස් කරකාර ගැනීම හා ඔවුන් දෙදෙනාගේ ජීවන දර්ශන අතර ඇති නොගැළපීම ආදිය ඔහුගේ දිවි මගේ ඇති වන විපර්යාස නිසා ඇතිවන ප්‍රතිචාරයන් ය. මල්ලිස් අප්පු නැතුව තවෙකෙකු ගේ ප්‍රතිචාර මීට ඉඳුරා වෙනස් ය. ඒ නිසා මල්ලිස් අප්පුගේ චරිතය වැදගත්ය - එහෙත් මාර්ගය ද වැදගත් ය, කිමද මල්ලිස් අප්පුගේ ජීවිතයට විපර්යාසයන් දායාද කරනුයේ මාර්ගන්මය. මේ තත්ත්වය මෙහි අන් චරිත ගැන වේවා සත්‍යය ය. වෙනත් වචනින් කීවොත් "මාර්ගේ කියන්නේ උන් - උන් කියන්නේ මාර්ගේ". අප ලේඛක හිමියන්ගේ කර්තෘත්වයේ අරමුණ මෙම සිද්ධාන්තය නවකථාවකට උචිත ආකාරයෙන්, උසස් රසාස්වාදයක් ජනිත වන ආකාරයෙන්, සමස්ත වශයෙන් "මාර්ගය"ම පාඨකයාට ගෝචර වන අයුරින් ක්ෂාත් ක්ෂාත් වී ඇති සේය.

මෙය සුවිශේෂි පොතකි. 1994 රාජ්‍ය සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දීපව්‍යාප්තව පැවැත්වූ නවකථා අත් පිටපත් තරඟයෙන් ජයග්‍රහණය අත් කරගත්තේ මේ කෘතියයි.

නූතන සිංහල නවකථාව යනු රාහුබද්ධලා, රාජකරුණානායකලා, ටෙනිසන් පෙරේරා ලා, බටුවන්ගල රහල් හිමියන් යැයි සිතන යුගයක, මෙවන් නිශ්ශබ්ද නිර්මාණ කර්තව්‍යක යෙදෙන හිමි නමකගේ පොත් කියවා, සියල්ලෝ තම මනැස් විවෘත කර ගනිත්වා යැයි ප්‍රාර්තනා කරමි.
(  2013 සැප්තැම්බර් මස 28 වෙනි දින මුහුණ පොතේ 'පොත් කියවන් අය' සමූහයට එක් කල ලිපියක අසංශෝදිත පිටපතකි )

No comments:

Post a Comment