Thursday, 28 May 2020

ඒ අහඹු අතීත හැන්දෑව - මංජුල වෙඩිවර්ධන

බත්තලංගුණ්ඩුව සහ මගේ ආදරණීය යක්ෂණී නම් වූ ඉතා සාර්ථක නවකතා දෙකින් අනතුරුව, 2018 දී මංජුල වෙඩිවර්ධන ( මෙතැන් සිට වෙඩ්ඩා ) නවකතා දෙකක් පළ කලේය - මෙය ඉන් පළමුවැන්නයි. වෙඩිවර්ධන පවසන්නේ, "මේ වනාහි ම විසින් මැ ලියැවී 'ඇහිලිපිල්ලමක් යට' නමින් ටෙලිගත 'උත්තරාරෝපිත ආදර වියමනේ' නවකතානුරූපකරණය' යි", කියා ය. කෘතියේ නිර්මාණය ගැන වදනක් පවසන 'මූනියැක්', "පරිගණකයේ ආගමනයත් සමඟ සිංහල මුද්‍රිත පොත පතට ආරෝපණය වූ එකාකාරී බවින් මිදී, දිගු කියවුම් වෙනුවෙන්ම සැකසූ නව සිංහල අකුරක අවශ්‍යතාව පූරණය කරමින් නිමවූ 'මනමේ' නව අක්ෂර රටාව පළැමු වරට මුද්‍රණය වන්නේ මේ කෘතිය තුළයි", කියා ය. එසේ වුව ද මට පෞද්ගලිකව එම අකුර එතරම් කියවීමට ප්‍රිය ඉපදවීමක් නොවීය.(1)

නවකතාවේ ආකෘතික කැටයම් බොහෝය. කැමරා ශිල්පය ම මතක් කරලමින් වරෙක එක් දසුනක එය යොමු කර සිටිද්දී, එම දසුන වටා සිටි පාත්‍ර වර්ගයා වෙනස් වෙයි. එය සැබවින් ම ආකර්ශනීය ආකෘතික මෙවලමකි. ඊට, වෙඩ්ඩා ගේ සුපුරුදු කාව්‍යමය වාග් කෝෂය එක් වූ විට, සිදුවන සිද්ධි දාමයන් අවම වුව, සාහිත්‍යකාමියා ට මෙහි රස බොහෝ ය. එම සාහිත්‍යකාමියා වෙඩ්ඩා-රසිකයෙක් නම්, ඇය අනිවාර්‍යයෙන් ම මේ කෘතිය ට කැමති වනු ඇත. එහෙත්, ඇය, 'යක්ෂණී' කියවීමට තරම් ඉවසුමක් නොතිබුනු ඇත්තියක් නම්, "ඒ අහඹු අතීත සැන්දෑව" ඇය තුල අලුත් පහන් හැඟීම් ඇති කරනු ඇතැයි සිතිය නොහැක. අන් වදන් වලින් පවසන්නේ නම්, මේ කෘතිය රසවත් වන්නේ එය විඳීමට ඉවසිලිවන්ත වන සහ, නවකතාවක් තුලින් තමන් අපේක්ෂා කරන දෙය එය තුලින් ම එවෙලේ වඩා ගන්නියක් නම් ය. ඒ අනුව මෙය "වෙඩ්ඩා ෆෑන්ස්" ලා ට නම් රස ගුලාවකි. අන් අය ඔවුන්ගේ කියවීමේ ඉවසීමේ ඉසවු තම තමන් සොයා ගැනීමට අවස්ථාවකි.


පිටු  412 පුරාවට ඇදෙන මෙම නවකතාව, පැහැදිලිව ම දීර්ඝ එකකි. ඒ කඳුකර මද්‍යයේ, මී දුම මද්‍යයේ, ගුරු ගීතය ට තරමක් සමගාමී  යැයි සිතිය හැකි සිදු වීම් පෙළක් ආශ්‍රයෙන් දිගැරෙන ආඛ්‍යානය තුල ආලය, ගුරු චරිතය, ජවිපෙ - චන්ද්‍රිකා තාවකාලික 1998-1999 දේශපාලන එකඟතාව - ඒ පිළිබඳ පක්ෂ - විපක්ෂ කියවීම්, වමේ සමාජවාදි දේශපාලනය සහ එය කෙතෙරම් දුරට අයෙකු ගේ නිදහසට බලපෑමක් කරන්නේ ද යන සියල්ල ඇත. ඒ සියල්ල තියෙනුයේ මීදුම මද්‍යයේ ය. මීදුම පහව යද්දී සෝමවංශ අමරසිංහ ගැන කතාවකි. ඒ කතාව මද්‍යයේ, කැමරාව නාභිගත ව තිබෙද්දී පාත්‍ර වර්ගයා වෙනස් වෙමින් ගෙයින් ගෙට ගොස් පාසැල් නොඑන ළමුන් කැඳවීමට යත්න දරන ගුරුවරයෙකි - නැතහොත් පාපන්දු පුහුණවීමකි. එහෙමත් නැතිනම් වාමවාදී දේශපාලනය අණින් මිදීමට නොහැකි ඔහුගෙන් ආදරය හිඟා සිටිනා තරුණ ගුරුවරියකි. ඉතා සියුම් ලෙස, අප රට තුල ගුරු ගීතය "බයිබලයක්" ලෙස ක්‍රියා කරමින් උත්තම චරිත ගැන හීන මැවීම ගැනත් - එහි ප්‍රායෝගිකත්වයේ සීමා ගැන ද සියුම් කියවීමකි. මේ කෘතිය මීට වසර දහයකටවත් පෙර ප්‍රකාශ වූයේ නම් මීට වැඩි වටිනාකමක් තිබෙන්නට ඉඩ තිබුනේ යැයි මට සිතේ.


ඉතා මහන්සි වී, සෙල්මුවා පිළීමයක් නෙලන්නාක් මෙන් පරීශ්‍රමයෙන් ලියුවකි. ඉන් ශිල්පියා සිත් වූ අදහස් තමන් කීමට කැමති තීර්වතාවෙන් දැක්වෙන්නේ ද යන්න සැක සහිතය. මේඝය සහ තුෂරය උවමනාවෙන් මෙවලමක් ලෙස භාවිත කොට, උල් තැන් වසා දමා ඇති සෙයකි. නවකතාව අවසන් වන්නේ ද එක් අතකින් අවිනිශ්චිතවය - අනෙක් අතින් අංශක 360 ක ගමනක සේයාවකිනි. ඉතින් මෙහි නිර්මාණාත්මක පක්ෂය ගැන පැහැදී සිටීමට නොපිළිවන.


වෙඩ්ඩා ගේ නිර්මාණ හැදෑරීමේදී අනිවාර්‍යයෙන් කියවිය යුතු කෘතියක් යැයි සිතේ. එහෙත්  "එක හුස්මට" නවකතා කියවන ඇත්තියන් ගේ විභවයෙන් සහ, සරල ආඛ්‍යායන තුල සිර වීමට කැමති පාඨක පිරිසකගේ සීමාවෙන් පිට පවතින නිර්මාණයක් බව කිව යුතුය. මේ ලක්ෂණය නිසා ම මට මේ කෘතිය කෙරෙහි යම් ආකර්ශනයක් තිබුන ද, මේ මා කියවූ වෙඩ්ඩා ගේ සාර්ථකම පොතක් නොවේ. එහෙත් වෙඩ්ඩා ගේ නිර්මාණ අවධිය තේරුම් ගැනීමට කියවිය යුතු කෘතියකි.


(1) සත්‍ය වශයෙන් ම මට මතක් වූයේ,  පෙර දවස ගුණසේනෙන් මුද්‍රණය කල The Sun / The Weekend පත්තර වල අපැහැදිලි කූඹි අකුරුය. මා කුඩාවෙකුව කල, එහි ක්‍රීඩා පිටුවේ ක්‍රිකට් ලකුණු පුවරුව ත්, වචන ගලපමින් කියවද්දී මා තුල ඇති කල නොපහන් බවක මතකයක් ගෙන ඒමට එය සමත් විය - එහෙත් weekend / Sun අකුරු  වලට ට වඩා එය බොහෝ ඉදිරියෙන් ය

No comments:

Post a Comment