Saturday, 16 May 2020

මගේ ආදරණීය යක්ෂණී - මංජුල වෙඩිවර්ධන

මගේ ආදරණීය යක්ෂණී - මංජුල වෙඩිවර්ධන
=============================
***1/2

( 2020 මැයි පසළොස් වැනි දින : මෙය 2014 නොවැම්බර් මාසයේ හත් වැනි දින ලියූ ලිපියකි. ඍජුවම පවසන්නේ නම් එදත්, අදත් අතර වසර පහාමාර තුල, මට මේ නවකතාවේ අපූරත්වය වැඩි වී ඇත. ඉන් පහත දක්වා ඇති ඓතිහාසික කාරණා පිළිබඳ වෙඩ්ඩා සමඟ එකඟ වීමක් ගම්‍ය නොවේ. නැත, ඒ වසර පහ තුල ඔහු කී පෑ දේ පිළිබඳ ඇවිස්සීම මගේ පැසීම සමඟ අඩු වී ඇති බැවිනි.  මේ පොත කියවීමෙන් පසු ව මම එක ල සිටි දෝහා නගරයේ සිට පැරිසියේ විසූ මංජුලයන් සමඟ skype ඇමතුම් කිහිපයකට ද සම්බන්ධ වීමී. ඒ සංවාද වල එක් තැනෙක ඔහු මට ආරාධානා කලේ  යම් දිනෙක අප දෙදෙනා ම තුලාවෙල්ලිය ට ගොස් ඔහු කියන කාරණා නිරීක්ෂණය කරමු කියාය. එය මේ වන තෙක් සිද්ධ නොවුන් ද, ඔහු හා දොඩමළු වීම ප්‍රසන්න අත්දැකීමක් විය. ලෝකය වෙනස් වේ - මතවාද වෙනස් වේ - යුවාල් හරාරි ආදීන් ගේ පොත් පරිශීලනය කිරීමෙන් පසුව අයෙක් තවමත් ජාතිකත්වය පිළිබඳ පමණක් නොව ලිබරල්වාදය පිළිබඳ ව හෝ වාද කිරීමට පෙළඹෙන්නේ නම්, ඒ පොත් කියවීමෙන් පළක් නැත. එම මතවාදී වෙනස්කම් මංජුල පැත්තෙන් ද යම් තරමක් ඇතැයි බලාපොරොත්තු වෙමි. මම මෙ දින වල ඔහු ගේ 'ඒ අහඹු අතීත හැන්දෑව' කෘතිය කියවීමි; පැරිස් වලාකුළු ද කියවීමට නියමිතය. වසර පහාමාරකට පෙර මුහුණු පොත ට පමණක් සීමා වූ ලියැවිල්ලක් මගේ බ්ලොගයට මෙසේ ගෙන එන්නේ, එය සං‍රක්ෂණයේ අටියෙන්. වසර පහමාරකට පෙර සිටි මා ගැන එය කැඩපතක් හෙයිනි. මුළු විචාරයේ සෑම කරුණක්, චෝදනාවක් ගැන එකින් එක නැවත ගමන් කරලීමේ උවමනාවක් නැතත්, මෙම විචාරයෙන් කතුවරයාට යම් අපහසුතාවක් එ දවස වුනි නම්, මා ඒ ගැන කණගාටු වෙමි. ඒ ඔහු කියූ සියල්ල පිළිබඳ දැන් එකඟ වන නිසා නොව, වර්තමානය සහ අනාගතයේ වටිනාකම අබියස, අතීත පිළිබඳ ගැටළු වල සිර වී සිටීම එතරම් නොවටින බවක් දැන් සිතෙන හෙයිනි.)

ආ.. තව දෙයක්... මම මේ කෘතිය නැවත නොකියවා, ආවර්ජනයෙන් පමණක් අද වන විට අවම වශයෙන් තරු හතරක් දෙමි. නැවත කියෙව්වොත්, එය තරු හතරාමක් වීමට ඉඩ ඇත.  එලෙසම 2013 පළ වූ, 2014 අනේක සම්මාන නිර්දේශයනට සුදුසු පොත් වසර අග අගැයීමේදී,  මේ පොත තෙවෙනි තැන අත් කර ගත්තේය. ඒ මීට වැඩි තරු ගණනක් තිබූ පොත්, මෙයට පසු පසින් පෙළ ගැසෙද්දීය. ඒ පිළිවෙල මෙසේය ( මෙය 2015, ජූලි පස් වන දින ලියූ මුහුණුපොත් සටහනකින් උකහා ගත්තෙමි):
1- ආෂාඪ පුෂ්පය - සුසන්ත මහඋල්පත *****
2- මගේ ආදරණීය යක්ෂණි - මංජුල වෙඩිවර්ධන ***1/2
3- ලොවිනා - මොහාන් රාජ් මඩවල ****1/2
4- පාද යාත්‍රා - එරික් ඉලයප්ප-ආරච්චි ****
5- කාල නදි ගලා බසී - නෝබට් අයගම ****
6- තාරා මගේ දෙව්දුව - නිශ්ශංක විජේමාන්න ****
7- කුරුලු හදවත - ලියනගේ අමරකීර්ති ***1/2
8- මරියා සිලෝනිකා වස්තුව - පී. බී. ජයසේකර ****
9- නෑසෙන මානය - කරුණාදාස සූරියාරච්චි ***1/2
10- ගොනානෝ - සේපාලි මායාදුන්නේ **1/2


මෙහි මුල් කෘති හතර තවම මුල් තැන් හතර ට සුදුසු බව ඇඟුණ ද, එහි පිළිවෙල වෙනස් විය යුතු බව සිතමි ( අංක එක වෙනස් නොවැතයි සිතමි - තුන හතර මාරු විය යුතු යැයි අද සිතමි). එලෙස ම ඒ වසර වූ කලි නැසී ගිය සුසන්ත මහඋල්පතයන්ට ඓතිහාසික අසාධාරණයක් සිදු වූ වසරකි.


මෙතැන් සිට පළ වන්නේ ඒ 2014 නොවැම්බර් මස පළ වූ විචාරයයි ===============


පළමු කොටස ( නවකථාමය ලක්ෂණ වලට සීමිත වූ අදහස් දැක්වීමකි )




(13 පිටුව ) "ඔයා දන්නවා ද අක්ෂර සෙල්ලම, ස්වර වලින් වෑංජන හදලා, සෙල්ලම් බත් එක්ක කන එක"
මේ පාඨය කියවූ සැණින් සිතුනේ, මෙය නම් මංජුල තම කවිකම පිළිබඳ තමන්ම දකිනා ආකාරය, අර්ථ දැක්වීමක යෙදීමක් බවයි. ඔහු එම අර්ථයෙන් එය සිදු කළා හෝ, නැතුවා හෝ, මා දකින්නේ ඔහුගේ කවිකමේ ප්‍රධාන ඔද ( සහ, සමහර විට දොස - අධික භාවිතාව හේතුවෙන් ) පවතින්නේ මේ ලක්ෂණයේ බවයි. ඔහු අඩු නැතුව මේ අක්ෂර සෙල්ලම, නවකථාවක් වුවද මෙහි දී ද භාවිත කරයි. මට හැඟුණු විදිහට, එය මූලික වශයෙන් නවකථාව රසවත් කිරීමට තුඩු දෙයි. නවකථාව තුල ඇති අනේක කවි වලට අමතරව, ඔහු යම් යම් කොටස් ගද්‍යකාව්‍යයක අලංකාරය මතුවෙනාකාරයෙන් ලියා දක්වයි. 383-386 පිටු තුල ලියැවුණු ඉර ගැන දහස් වාක්ය මීට නිදසුණකි. කවිකාර නෙතකින් හිරු දෙස බලන්නෙකු අතින් එම දහස් වැකි ලියැවුණු වග පැහැදිලිය.
බිරිතානියේ සහ ප්‍රංශයේ අනවසරෙන් දීර්ඝ කාලයක් දිවි ගෙවන ශ්‍රී ලාංකිකයින් ගේ උපසංස්කෘතිය නවකථාවේ යම් තාක් දුරකට සාකච්ඡාවට බඳුන් කරනා මාතෘකාවකි. මගේ අදහස නම් මෙය නවකථාවකට වැදගත් මාතෘකාවක් බවයි. එහෙත් අප ලේඛකයා එය භාවිත කොට ඇත්තේ අවම වශයෙනි. කිම ද ඔහුගේ සැබෑ අරමුණ අනෙකක් බැවිනි. ඔහුට ඉතිහාසය ප්‍රශ්ණ කිරීමට ද අවශ්‍යය. අලුත් ඉතිහාස ප්‍රබන්ධයක් සමාජ ගත කිරීමට ද ඇවැසි ය. තෝරාගත් අයවලුන්ට ටොකු ඇණීමට ද අවශ්‍යය. ඉහත කී බිරිතානියේ සහ ප්රංශයේ අනවසරෙන් වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ උප්-සංස්කෘතිය භාවිත කිරීමට ද ඇවැසිය. තම කවි කමට නිදැල්ලේ සැරිසැරීමට ඉඩ ප්රස්ථා ඉතුරු කර ගත යුතු ද වන්නේ ය. ලේඛකයා මේ සියල්ල මේ පිටු 399 තුල ඉටු කර ගන්නේ ය. කොයිකටත් කියා "සිංහලෙන් ම" කතුවරයා පිට කවරයේ "A Novel" කියා ලියා ඇත. මෙහි නවකථා ශෛලිය අත් හඳා බැලීමක ඇතැයි සිතේ.
මට ලැබෙන ආරංචි අනුව නම්, ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයේ සිටි එක් විනිසුරුවෙකුට අනුව මෙය නොබෙල් ත්යාගය ලැබීමට උචිත කෘතියකි. මෙය කියවූ අති මහත් බහුතරයකට මෙය ප්‍රහේලිකාවකි. මට හැඟෙන්නේ මෙය පෙර කී කොටස් වලින් හෙබි කොලාජ් චිත්‍රයකි. එහි යම් අපූරත්වයක් නැතුවා නොවේ. එහි යම් ආකර්ශනයක් ඇත.
ලේඛකයා ප්රංශ හෝ බිරිතානි වටපිටාව භාවිත කරනුයේ, මෙහි එන මේඝවන්න වේගා නම් වූ චරිතය හා නේත්රබිම්බා යන කාන්තාව අතර ඇති සම්බන්ධතාව විස්තර ඇතුව කියා පානුයේ, ඔහුගේ ඉතිහාස විවේචනයට හා ප්‍රබන්ධයට අත්තිවාරමක් තනා ගැනීමට ය. අන් සියළු කාරණා "තුන-පහ ය" (කවීත්වය ); "දෙහි-ඇඹුල් ය" (කාමය ) , "රස-කාරකය" ( විදෙස් වටපිටාව - හාස්ය ). කතුවරයා ගේ මුඛ්ය අරමුණ තම දේශපාලන මතිමතාන්තරයනට යම් අනුකූලතාවයක් දැක්වෙන ඉතිහාස ප්‍රබන්ධයක් ඉදිරිපත් කිරීමයි. ඊට සුදුසු පරිද්දෙන් දැනට පිළිගත් ඉතිහාසය, "ගෙඩිය පිටින්ම" බැහැර කරයි (හෙවත් සාක්ෂි සහිත කොටස්, හා ගැටළු සහගත කොටස් යන දෙකොටසම, අවප්‍රමාණ වන ලෙසට පහර දීම ).
මෙහි එන මුඛ්ය චරිතය වන මේඝවන්න වේගා ගැන ද යමක් කිව යුතුය. මධ්‍යසර, විජයපත්‍ර, රොත්මානු ආදියෙන් "පෝෂණය" වන "ශරීරයේ අභ්‍යන්තරය නාස්ති කරගත්", බෙදුම්වාදි මතවාදයට ආනත, ඉතිහාස ගවේශකයකි. "I walk on the wild side" යන්න ප්‍රචාරාත්මකව,රොමෑන්තිකව ඔහුගේ චරිතේ පුරාවට කියැවී ඇත. ඔහු ලේඛකයාගෙන් පරිබාහිර අන් චරිතයක් බව එකහෙළාම කිව යුතුය. ඔහු වෙඩ්ඩා නොවේය - වේගා ය. නැවතත් කියමි, "ජීවත් වන පුද්ගලයන්ට කිසියම්ම හෝ සමානත්වයක් ඇත්නම් එය මුළුමනින්ම අහම්බයකි".
දෙවෙනි කොටස ( නවකථාවේ ඉතිහාස හා දේශපාලන කියවීමකි )
----------------------------------------------------------------------
* මංජුලගේ මහාවංශ විරෝධය, හා මෙරට ඉතිහාසඥ්ඥයින්ගේ මැදහත් මහාවංශ කියවීම ( මේ කොටසට පාර කපන්නේ ලේඛකයා ම ය. කියවන අපි නොවේ. )
අප රට ඉතිහාසය හා අශ්‍රිත කරුණු පිළිබඳ උක්ත කෘතියේ සඳහන් අහඹු තේරිම් කිහිපයක්:
-"'ඉසුරුමුණියෙහි... පැතලි ගලක ඒ... ආලය ...ලීලය පෑ...' ලබ්බ තමයි" (295 පිටුව )
-"හින්දි සිනමාවෙන් පිට මෙවැනි දෛවෝපගත අභව්ය අබග්ගයක් තිබුණේ නම් තිබුණේ, නිස්කාරණේ වර නගා සත්‍ය බවට සනාථ කරන්න තතනන සිංහලේ ප්‍රබන්ධකාර ඉතිහාසය තුලම පමණයි" (87-88 පිටු)
-"කුළුමීමෙකු රැගත් කොඩියක් පෙරටුකරගෙන අගෝස්තු අකල් මහා වරුසාව අතරින් පැමිණි, හිසෙන් අඩක් බූ ගෑ, මායාවී තරුණයෝ හත්සියය, ත්‍රොකදෙරෝවේදි යකඩ උත්තමාවිය අබියස දණින් හිඳ... " (207 පිටුව )
......
මහාවාංශය පිළිබඳ අප රට ඉතිහාසය ගැන උනන්දු පාර්ශවයන් දරණ මත, පහත ලෙස දැක්විය හැකියැයි සිතමි.
(අ ) අවම වශයෙන් දෙවනපෑතිස් යුගය දක්වා ලියැවුන කොටස වචනාර්ථයෙන්ම පිළිගන්නා, ඉතා සුළු කොටසකි. ඊට, ඉතිහාසඥ්ඥයින් එක අතක ඇඟිලි ගණණටත් වඩා අඩු සංඛ්යාවකුත්, එය බුද්ධ භාෂිතයට නොදෙවෙනි ලෙසට සලකන බෞද්ධයින් සුළුතරයකුත් අයත් ය. ඇත්තෙන්ම මෙම කොටසට අප රටේ මතවාදි අරගලයක් තියා ඉතිහාස පිළිබඳ හැදෑරීම් කරන ප්‍රජාව අතර හෝ බලපෑම් කර හැකි තත්ත්වයක් නොමැත.
(ආ ) තව කොටසක්, ක්‍රි.පූ. සවැනි සියවසේ රචනා වූ මහාවංශය සාරාංශ වශයෙන්, අවම වශයෙන් දෙවෙනි පෑතිස් යුගය දක්වා සිදු වූ දෑ සංකේතාශ්‍රයෙන් කියවෙන බවත්, ලංකා ඉතිහාසය හැදෑරීමේදී මහාවංශය නැතුවම බැරි මූලාශ්රයක් බවත්, එය මහා විහාරය මූලික කොට ගෙන රචනා වූ, සිංහලේ ස්ථාපිත කිරීමට වසර දහස් ගණණාවක් පුරා මහඟු කාර්යයක් ඉටු කල ග්රන්ථයක් ලෙසත් සලකන්නෝ ය. එහි බොහෝ කොටස් පුරාවිද්යාත්මක සාක්ෂි මඟින් සනාථ කිරීමට හැකි බව ඔවුන් පිළිගන්නා මුත්, එහෙත් එහි එන හැම වචනයක් ම වචනාර්ථයෙන් සත්යයක් ලෙස නොසලකන්නෝය. හෙවත්, මීට වසර එක්දාස් පන්සියයකට පමණ පෙර ලියැවු කෘතියක් ඊට සුදුසු වටිනාකම දෙමින් මධ්‍යස්ථ කියවීමකට යත්න දරන්නෝය.
(ඇ ) තවත් කොටසක් වෙති. ඒ විශෙෂයෙන් දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් ඍජුව හා වක්‍රව පෙනී සිටින කොටසය. ඔවුනට තිබෙන ලොකුම හිසරදය මේ සිංහලේ ඉතිහාසය යි. එම නිසාය ඔවුන්, 1736දී එවකට සිටි ලන්දේසී ආණ්ඩුකාරයා " සිංහලයාගේ ඉතිහාසේ නම් තියෙනවා, කෝ උඹලාගේ ඉතිහාසේ" යැයි දෙමළාගෙන් විමසන සඳ ලියැවුණු "යාල්පාන වෛපව මාලෛයි" ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ කෙළ පොදක් නොහළා, සිංහලුන් මෙහි ඒමට ප්‍රථම මෙහි දෙමළුන් විසූ බව කියමින් එය දේව වාක්යයක් ලෙස පිළිගන්නේ. ඉතින් මොවුන් මහාවංශය "ගෙඩිය පිටින්" පථික්ෂේප කරන්නේ නැතුව වෙන මොනා කරන්න ද ? වෙඩිවර්ධන ට අප රට වෙහෙර විහාර ලොකු ප්‍රශ්නයකි.... "මං අහන්නේ... හරියට වඳිනවා නම් ථුපාරාමේ උනත් මදි ද ? " (286 පිට ) ( සමාවෙන්න... වේගා ට... වේගා යනු වෙඩ්ඩා නොවේ.. වේගා යනු "I walk on the wild side" ගණයේ මිනිසෙකි ) වත්මනෙහි පවුල් 15-20 ක් රැස් වූ තැන පල්ලි අටවාගනිද්දී නොදැක්කා සේ ඉඳ, වසර දහස් ගණණක් පුරාවට ඉදිකෙරුණු වෙහෙර විහාර ගැන මොහු කටමැත දොඩවන්නේ ඒ යුගය තේරුම් අරගෙන වත් ද ? ඒ යුගයේ රජය හා රාජ්‍යාගම අතර පැවති බඳීම අද සංකල්ප අනුව මනින්න පුළුන් ද ? එකල එම වෙහෙර විහාරස්ථාන වල වැඩ සිටි භික්ෂූන් ලත් බුදුදහම පිළිබඳ හැදෑරීම ,අද විශ්ව විද්යාල වල මාපංකිත අධ්‍යාපනයට සාපේක්ෂ කොට විචාර කරන්නේ නම් ඔහු කොතරම් අඳබාලයෙක් විය යුතු ද ? අද අප රට නූතන විච්චුර්ණ සමාජයේ මෙන් නේක විනෝදාස්වාද නොවූ යුගයෙක මහජනයා කෙතෙරම් ආගම දහම වෙනුවෙන් කාලය ගත කලාදැයි තරම් වත් තේරුම් ගනන්ට බැරි ද ? නැත. මේ එකක් වත් නොතේරෙන කම නොවේය. මේ වෑයම විකල්ප අදහසක් සමාජගත කිරීමට ප්‍රයත්න දැරීමය. ඊට සුදුසු ම ආරම්භය වර්තමාන පදනමට හැකි තරම් පහර දී දුර්වල කිරීම ය. එම ප්‍රය්ත්නය දැරීමේ පූර්ණ අයිතිය ඔහුට ඇත. එහි ඇති අසංඝත බව, දෝෂ සහිත බව පෙන්වා දීමට අපට ද අයිතියක් ඇත - මේ සිදුවන්නේ එයයි. විජය හා සත් සියයක් පිරිසකගෙන් පැවැතෙන ආර්ය ජාතියක් ගැන විශ්වාස කරන ජාතිවාදියෙකු හෝ අද සිටින්නේ දැයි මට නම් විශ්වාස නැත. "කෙප්පවංශයක්" රචනා කලා යැයි අවලාදයට පත්වන මහානාම හිමියන් ට විජය ගේ ආර්ය ලේ ම දිගට ම ඇද ගෙන යාමට තිබිණි. කිම ද උන් වහන්සේ ප්‍රබන්ධයක් පමණක් ම ගොතා අත්තේ නම්, කුමකට ද පඬුඅබා යුගයේ මෙහි සිටි යක්ෂ පිරිස් සමඟ සාමකාමි වීමක් අඟවන්නේ ? හුදෙක් ප්‍රබන්ධ ගොතන්නෙකුට මෙතරම් දියාරු කර ප්‍රබන්ධ ගෙතීමට ඇවැසි ද ? මහාවංශය රචනාවන්නේ මේ සිදු වීම් වලින් වසර 800-900කින් පමණ පසුව ය. එහෙත් කිනම් හේතුවක් නිසා හෝ කතුවර හිමියන් පණ්ඩුකාභය රජතුමා ස්වදේශීය ජනයා සමඟ සම්මුතියකට ඒමක් ගැන ලියා ඇත. එ හිමි එලෙස ජාතිය ගොඩ නැඟීම එතනින් අවසන් කොට නැත. ගැමුණු යුගයේදී , වට්ටගාමිණි අභය යුගයේ දී, සමහර ස්වදේශික පිරිස් අතර එවකට ද විරෝධයක් තිබූ බව සඳහන් කොට ඇත. මේක නම් මාර ම ප්‍රබන්ධයකි. අදටත් වඩා "අන්-බයස්" (unbias) ය... වර්තමාන රජයේ මාධ්‍ය වලට වඩා "අනෙකා" ගැන වනති... වඩාත් ම විසිළුව වන්නෙ එළාර දැහැමි රජෙකු බව මොවුන් කයිවාරු ගාන්නේ ද මේ "කෙප්පවංශේ" කියවා ම ය. ඉන්දියාවේ ඉතිහාසේ වැසුණු දොර විවෘත කල යතුර සිංහලේ මහාවංශයයි. ඒ මහාවංශය ඓථිහාසික කාර්යයක් ඉටු කල ග්‍රන්ථයකි. ඒ අර්ථයෙන් මහානාම හිමියන් තුන්කල් බලා ලියූ ග්‍රන්ථයක් වැනිය. පුරා වසර දහස් ගණණාවක් මුළුල්ලේ වෙසෙසින් දකුණු ඉන්දියාවෙන් එල්ල වන තර්ජන , දේශීය යක්ෂ ප්‍රජාව ගේ නැඟී සිටීම ආදිය ගැන සිතා ජයග්‍රාහක පාර්ශවය අතින් ලියැවුණු කෘතියකි. යකුන් ගැන ද යමක් කිව යුතු ය. ඔවුන් දක්ෂ මිනිසුන් කොටස් ව සිටින්න ට ඇත. එහෙත් ඔවුන් පරාජය වීය. රාවනාවෙකු හිටියානම්, ඔහු ද රාමා ට පරාද වී ඇත. ඉතිහාසය රචනා කරන්නේ ජයග්‍රාහකයාය. මහානාම හිමි රචනා කලේ ඒ ජයග්‍රාහකයාගේ ඉතිහාසය. මංජුල පෙනී සිටින්නේ පැරදුණ අයගේ ඉතිහාසේ වෙනුවෙනුත් නොවේ. මිත්‍යා නිජබිමකට ජීව වායුවක් සැපයීම වෙනුවෙනි.මොහොතක් සිතන්න, අද වන් දිනක මහාවංශයේ බොහෝ විස්තර පුරාවිද්‍යාත්මකව ඔප්පු කර ගැනීමට හැකිව ඇති වටපිටාවක ඊට මෙවන් විරුද්ධතාවක් ඇති නම්, මහාවංශය නොතිබුණේ නම් මංජුල ල, විගේෂ්වරම් ලා කොච්චර ඩෙගා නටා වී ද ? මහාවංශය රචනා වුයේ පෙර යුගයක ඊට අවශ්යතාවක් දුටු උගත් භික්ෂුවක් අතිනි. එහි දේශපාලන හා සමාජ අරමුණු තිබුණු බව සත්යයකි. එය අළුයම ලූ කෙළ පිඩක් තරමින් විසී කිරීමට කැස කවන්නේ දේශපාලන අරමුණු වලින් විනිර්මුක්ත සාධුවරුන් නොවේය. "කොටියා" පරිසර හිතවාදීයෙකු දකින අයවළුන් ය. රටේ හමුදාව "එක් ජාතියක" හාමුදාවක් ලෙස සීමා කොට රටේ හතුරන් භාවිත කරන වදන් ම පාවිච්චි කරන්නවුන්ය. මොවුනට අනෙක් හැම විටම මේ රට බහු-ජාතික, බහු ආගමිකය ; එහෙත් හමුදාව ගැන කියද්දි එය "සිංහල ය" ( 37 පිටුව - "සිංහල නාවික හමුදාවේ ඩෝරාවකින් පැන ගුවනින් පැරීසියට පලා ආ නාවික සංඥා නිලධාරියෙකු වූ.... ").
වන්නි සිංහලයින් ගැන වචනයක්...
------------------------------------------
මට හැඟෙනා පරිදි මංජුලගේ ව්‍යායාමයේ මුඛ්‍ය අරමුණ තුලාවෙල්ලිය ඇතුළු වන්නි-සිංහල ගම්මාන වල වෙසෙන්නන්ගේ ආදි කාලීන සම්භවය දෙමළ බවට යෝජනා කිරීම - අර්ධ-ප්රබන්ධ, අර්ධ-ඓතිහාසික ලෙස ඉදිරිපත් කිරීම බව පෙනේ. සාලිය කුමරු, ගැමුණු රජුට විරුද්ධව නැඟී සිටියේය යන මංජුලගේ ප්‍රබන්ධය,මහාවංශය පාච්චල් කර මේච්චල් කිරීමට යත්න දැරීම, ප්‍රේම ජවනිකා, විදෙස් ගත ලාංකිකයින්ගේ කථා ආදිය සියල්ල මේ මුඛ්‍ය අරමුණ උදෙසා භාවිත වන අවශේෂ ජවනිකා ය - ඉන් නවකථාවේ රසපූරණයට සම්ප්‍රයුක්ත බලයක් නොලැබේ යැයි මින් නොකියවේ. තුලාවෙල්ලිය පිළිබඳ ලස්සන විස්තරයක් මේ කෘතියේ ඇතුලත් ය. එහි සාරාංශය මෙලෙස ඉදිරිපත් කල හැක.
- ඔවුන් කුවේණිලැත්තන්ගේ උදවිය බව
- ඔවුන් කලවම් නැති "සිංහලයින්" බව
- ඔවුන් අන් සිංහලයින් හිංගලයන් ලෙස සලකන බව
- ඔවුන්ගේ සමහර ග්‍රාම නාම වල දෙමළ හාමුවක් ඇති බව
- ඔවුන් දෑත් එක්කොට මදක් නැමී ආචාර කල ද, "ව්‍යාජ" ලෙස ආයුබෝවන් නොකියති (මට සිහියට ආවේ ඉළව් ගෙයකට ගිය කල අප සිහළුන් මදක් නැමී, දෑසට දෑස යොමු කරමින් නිස්සද්දව දෑත් එක්කාසු කොට ආචාර කිරීමයි. මේ කාරණාව අපිට නොගැලපෙන "deepest sympathies" ට වඩා මට දස-දහස් වතවක් වටී )
- සිරිමාබෝ වන්දනාව හා බැඳි බොහෝ චාරිත්‍ර මොවුන් සතුය
- ඔවුන් සිරිමාබෝ රජුන් වන්දනා මාන කරනුයේ සිහලෙනුත් නොවන පාළියෙනුත් නොවන බසකිනි (!!!!! )
- ඔවුන් බුදු දහමට වඩා පූර්ව බෞද්ධ වන්නි බණ්ඩාර ආදි දෙවියන් අදහති. අය්යනාර් හෙවත් අයියනායක නමින් ද හැඳින්වෙන මෙම දෙවියන්, දෙමළ දෙවියෙකි.
- 399 පිටුව අවසන් කරමින් කියනුයේ කුවේණි යනු දෙමළ ගැහැනියක් බවයි.
මම මේ පිළිබඳ කරුණු ටිකක් විමසුවෙමි. වන්නි සිංහළුන් කියන්නේ ඔවුන්ගේ ගම් නියම සිංහල ගම් බවත්, තම ගම්මාන අනුරාධපුරයට ද වඩා පැරනි බවත් ය. ඔවුන් තවදුරටත් කියන්නේ ඔවුන්ගේ ගම්මාන වලට දෙමළ ඌරුවට නම් ආවේ එකල මිනුම්දෝරු වැඩට ආපු දෙමළ නිලධාරීන් දෙමළ ඌරුවට ඇති නම් සිතියම් වල ලකුණු කල බැවින් බවත් ය (http://www.mawbima.lk/56-47210-news-detail.html ) තවද වන්නි සිංහලයින් වැව් ඉහත්තාවේ ද, වෙල්ලස්සේ කැරැල්ලෙන් පසු පහළට පැන ආ සිංහලුන් ගොයිතැන්බත් ආදිය කිරීමට වැව් දිය බෙදෙන පෙදෙස් වල පදිංචි වුණු බවත්, මේ දෙපිරිස අතර වැඩි පෑහිල්ලක් නැති බවත් ය. එලෙසම ඔවුන් ගම් වැද්දන් ලෙසද සැලකේ. මෙම වන්නි සිංහළුන් දඩයක්කාර හා කැළෑ ඵල වැල නෙළා ගනිමින් තම ජීවිකාව ගෙනයාමට වැඩි නැඹුරුතාවක් දක්වන්නෝ බවත් විමසන කල හෙළිදරව් විය. ඔවුන් තමන් දෙමල බව විශ්වාස නොකරන අතර, දේව ඇදහිල්ල වෙසෙසින් වන්නි බණ්ඩාර දෙවියන් ඇදහීම කරති. අය්යනායක දෙවියන් ද අදහති. මේ දෙවියන් දෙදෙනා දෙදෙනෙකු ද එක්කෙනෙකු ද යන්න අපැහැදිලිය. අදට ත් කෙම් හා සිංහල වෙදකම බොහෝ සෙයින් ඇත්තේ මොවුන් සතුව යැයි කියවෙන අතර ඔවුන් යක්ෂ සම්භවයක් සතු මිනිසුන් බව ඔවුන් විශ්වාස කරති. මා මීට වසර දෙකකට පමණ මීමුරේ ගොස් එහි වැසියන් හා කථාබහ කිරීමේදී හෙළි දරව් කර ගත්තේ, සිංහල ඔවුන් ද නාමික බෞද්ධ ය. වන්නි බණ්ඩාර දෙවියන් වැඳීම මූලික කොට සලකන, අස්වනු කපා ගැනීමෙන් අනතුරුව පවත්වන නානුමුර මංගල්ලේ ප්රධාන සංස්කෘතික උත්සවේ ලෙස සලකන්නට, හුරුපුරුදු වූවෝ බවයි. ඔවුන් ද ඉතා පැරණි මිනිසුන් ලෙස, ඔවුන් අදහන වන්නි බණ්ඩාර දෙවියන් හා වන්නි සිංහලුන් අදහන වන්නි බණ්ඩාර දෙවියන් එක්කෙනෙක් ද ? හුන්නස්ගිරි, නකල්ස් රක්ෂිතය හා මයියංගනේ වට කොට අති මීමුරේ ට දෙමළ දෙවියෙකු වැඩීමට අවකාශ නැත. මේ පිළිබඳ තව දුරටත් කරුණු සෝදිසි කල යුතුය. "ජොයින්ට් එකක් ඔතාගෙන, සංසාරේ ලිහා ගන්න " යත්න දරන්නෙකු ගේ විකෘති , නවකථාවක කඩතුරාවකින් සමාජගත වීම සිදු වුණා හෝ නැතුවා, ඔහු ගේ අනුගාමික බෙදුම්වාදි කන්ඩායම මීට නුසුදුසු ශාස්ත්රීය අගයක් අනාගත දිනෙක එකතු කිරීමට ඉඩ ඇත. මේ වන්නි සිංහළුන් ගැන අදට ලියැවී ඇති කෘති මොනවා දැයි විමසූ කල, එළිදරවු උනේ James Brow ගේ Vedda Villages of Anuradhapura පොතත්, මහවැලි වංශය දෙවෙනි කාණ්ඩයේ ලිපි කිහිපයකුත් ඊට අදාළ සාහිත්ය බවයි. මම විශ්ව විද්‍යාල මට්ටමේ මේ විෂය පිළිබඳ දැන උගත් අයගෙන් මේ තොරතුරු සොයා ගත්තේ ය. මහවැලි වංශය දෙවෙනි කොටස සොයා ගැනීමට අපහසු පොතක් වුවත්, මා සතුව ඒ පොත තිබූ බවක් මතකය ( ඒ පොත තව මාස ගණණකට මට පාවිච්චි කරන්නට නොලැබෙනු ඇත - පොත ලංකාවේ නිසා ). James Brow ගේ Vedda Villages of Anuradhapura පොත අන්තර්ජාලයෙන් ඇණවුම් කර ගෙන්නා ගත්තෙමි. එය මේ කියනා ගම්මාන ගැන වූ මානව විද්යාත්මක වැ කල ගවේශණයකි. ඔවුන් ගම් වැද්දන් බවත්, මොවුහූ තම රාජ්ය උරුමය හේතුකොටගෙන, පිට පළාත්වලින් පැමිණි සිංහලයින්ට තම ඉඩකඩම් ස්වකැමැත්තෙන් දුන් බවත් කියැවේ. (ඉහත ඡේදයේ කරුණු සොයා ගැනිමට මට ඉමහත් පිටුවහලක් වූ Chandima Ambanwala සොයුරාට බොහෝ පිං! ) පහත දක්වා ඇත්තේ සුදුසු යැයි සිතෙන පරිදි ඉන් උපුටා ගත් කොටස් ය. එම කොටස් සිංහලට නැගීමට කල් නොමැති හෙයින්, ඒව එලෙසම ඉදිරිපත් කර ඇත්තෙමි.
"The district's population contains minority communities of Tamils and Moslems but the Veddas, who speak Sinhalese and profess Buddhism, are more closely integrated into the dominant Sinhalese culture. The most immediately evident sign of Vedda distinctiveness is their relative poverty. Their village conform to the general pattern, but with few their tanks are smaller and less reliable than tose of other castes. When discussing this state of affairs the Veddas draw on the myths that I have mentioned previously. They claim that, as the original inhabitants of the area, all the land formerly belonged to them. The people of other varigas came to settle in the area and the Veddas were asked to give them tanks and land to cultivate. Their royal descent entailed the regal obligation to be genorous in providing the means of livelihood, and they could not refuse. They gave the new settlers the best tanks and eventually left with only the smallest and least desirable for themselves" (Page 42)
මෙම ගම්මාන වලින් කිහිපයක් ම වර්තමාන වවුනියා දිස්ත්රික්කයට අයත් වන අතර, පසුගිය අවුරුදු හත්-අටසීය තුල උතුරේ දෙමළ ප්‍රජාව සමඟ සම්බන්ධකම් තිබූ බැව් සැබෑවකි. සමහර විචාරකයින් පවසා ඇත්තේ මොවුන් දෙමළ-සිංහල දෙපිරිස අතර "පටියක්" ලෙස වෙන්කරනා මෙන්ම, දෙපිරිස සමඟ ම ආශ්රය කරන ස්වභාවයක් පැවතුණු බවයි. (ඉහත පින්තූර වලින් එකක ඇත්තේ මේ වන්නි ගම්මාන පිළිබඳ පොතේ ඇතුලත් කර ඇති සිතියමකි.)
"Certainly within the last two hundred years the Veddas have come to be largely confined within the broad arc that separates the Sinhalese from the Tamil part of the country, a kind of cultural no man's land within which it is perhaps structurally appropriate to find a group of people who can present themselves as neither Sinhalese or Tamil"(Page 38)
අද ඔවුන්ගේ සංස්කෘතිය සම්භවය පදනම් කරගෙන දේශපාලන දෘෂ්ඨියකින් ඉතිහාස-ප්‍රබන්ධීකරණයට යොමු වූ අය, මෑත ඉතිහාසයේ ඔවුන් ක්රියා කොට ඇති අන්දම පිරීක්සීම
වටී.
"Separated from the capital by dense jungle, Nuvarakalavia became increasingly independent of Royal authority. The local aristocrats, the Vanniyars were able to play off their nominal superiors in Kandy against the Tamils in Jaffna, and later the Dutch. When the British annexed the Kandyan provinces in 1815 Sir John D'Oyly, the first British Resident, wrote that "the government of the province of Nuvarakalaviya is hereditary in the family of Kumarasinhe Vanniya and his brother". A few years before this the Vanniyar chief, the Vanni Unnehe, had been in revolt against the Kandyan king and had recieved British aid. In 1817, however, he jined the rebellion of dissident Kandyan chiefs against the British and was arrested and imprisoned in Galle. "(page 45)
වැදගත් ම ප්රශ්නය කුමක් ද ? ඔවුන් විශ්වාස කරනුයේ ඔවුන්ගේ සම්භවය කිම් යැයි සිතා ද ? කිමද මොවුන් මෙන් බාහිර ලොව සමඟ සබඳතා අඩු අයවළුන්, තම පරම්පරාගත දැනුමේ විකෘති කරගැනීමට ඉඩ අඩු අය වූවන් ය. Brow ගේ කෘතියෙන් මේ අද වැදි සම්භවයක් පෙන්වන මිනිසුන් කොට්ඨාශය පිළිබඳ මෙවන් අදහස් කිහිපයක් සොයා ගතිමි:
"Accounts of the yakkhas , or demons, in the Mahavamsa and in other ancient texts have commonly been taken to describe the ancestors of the Veddas, and the myth of their royal and demonic descent given in the Mahavamsa still serves to validate thier position in the caste hierarchy" (Page 18)
"After the Mahavamsa was made available, the Veddas were quickly identified as the descendants of the Yakkhas, the aboroginal demons whom Prince Vijaya, the legendary founder of the Sinhalese Nation, encountered when he arrived on the island.(Page 11)."
"The central myth is that of Prince Vijaya, the legendary founder of the Sinhalese nation, whose story is thoroughly familiar to the Veddas of Anuradhapura District as well as to the Sinhalese, although it was apparently unknown to the Veddas the Seligmanns described (i.e. the "pure" Veddas, found in the districts of Badulla, Monaragala and Madakalapuwa ).... As the reputed descendants of the incestuous union of siblings, the Veddas lay claim to royal ancestry and the high status appropriate to it.
The myth neatly defines the flexible and ambiguous relationship between the Sinhalese and the Veddas. By stressing descent from Vijaya, the common origins of the two people can be brought to the forefront, while descriptions of the Veddas as "the children of Kuweni" accentuate their separateness. In this connection it is worth pointing out that it is precisely the wild Veddas who are reputed to have been organized matrilineally and for whom descent from Kuweni, had they been aware of the myth, would have given them structural priority. The Veddas of Anuradhapura District, on the other hand who reckon kinship bilaterally, can claim equal claim to both Vijaya and Kuweni, and do in fact vary among themselves in the relative weight they give to the ancestors. These internal differences provide a further expression of their disagreements as to whether they should be considered Sinhalese or as a seperate people. (page 31)"
ජනප්රවාදය කෙසේ වේවා, විද්‍යාත්මකව වැද්දන්ට වඩා සම්බන්ධයක් ඇත්තේ කා සමඟින් ද ?
"To take racial variation first, while myth sustains the notion tha all the Veddas are descendants from Vijaya and Kuweni, it is evident that Vedda populations may, in fact, have quite varied genetic histories. Physical anthropologists have established a biological affinity between certain groups of recent Veddas and an aboroginal population known as the Balangodese. The Balangodese specimens display a polyptypic pattern thhhat is not characteristic of Sinhalese, Tamil or any other major population living in Sri Lanka today, but the frequency of phenotypic characters that they share with the Vedda specimens that were studied is significantly high" (page 33)
ඉතින් අප නිගමනය කිම ? අප ලේඛකයා කර ඇත්තේ, වන්නි සිංහලුන් නැතහොත් අනුරාධපුඅ වැදි සම්භවයක් ඇති සිංහල මිනිසුන්ගේ අද පවතින තත්ත්වය අනුව, අද පවතින චර්යාවන්, ගැන සඳහනක් කොට , ඒ ඔස්සේ අප ලේඛකයා "ග්රේනේඩයක් අතැර" පොත අවසන් කිරීමට ඉඩ ප්‍රස්ථාවක් සදාගෙන ඇත. ඔහු කර ඇත්තේ, එහෙන් මෙහෙන් අද ඇති තත්ත්වය පිළිබඳ අඟවා, "කුවන්නා කියන්නේ දෙමළ ගෑනියක්" යන ප්රබන්ධය සමාජ ගත වන අයුරින් පොත නිමවා තිබීමය. කිමද කතුවරයා ට අවශ්ය "මේ යකා කියන්නේ ඇත්තක් ද" යන කුකුස සමාජ ගත කිරීමට ය.එය ලියූ හේ ද එය ඔහුගේ ප්‍රබන්ධයක් බැව් දනී.

(සමාප්තය )
-------------
සමස්ත ස්වර්ණ පුස්තක නිර්දේශයන් පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්:
නිරීක්ෂණ කිහිපයකින් හා අර්ධ-හාස්ය කාරණාවකින් මේ දීර්ඝ ලියැවිල්ල නිමා කරමි. මේ දින වල මා එරික් ඉලයප්-ආරච්චිගේ පාද යාත්රා කියවමින් සිටින්නෙමි. පාද යාත්රත් සමඟ ස්වර්ණ පුස්තකේට නිර්දේශ වුණු ... නැහැ, නිර්දේශ කල, කෘති පොත් පහම කියවා හමාර කරන්නෙමි. මේ කෘති අතරින් කුරුලු හදවත, පාදයාත්‍රා පොත් තුල හමුදාව ගැන යම් අයහපත් වචනයක් හෝ ඇත. පාදයාත්‍රා, තාරා මගේ දෙව්දුව හා මරියා සිලෝනිකා වස්තුව තුල දෙමළාට සිංහලයා අතින් වුණු මැර ප්‍රහාර ඇතුලත් ය. මගේ ආදරණීය යක්ෂණී තුල ශ්රි ලාංකික හමුදාව සිංහල එකක් කොට, පූර්ව විජය වාසීන් දෙමළ බවට පත් කිරීමට යත්න යොදා ඇත. මේ නිරීක්ෂණ කිහිපයක් ලෙස පමණක් සඳහන් කරමි. ඒ පිළිබඳ කිසිදු විචාරයක් නොකරමි. "Five out of five, isn't bad at all" කියා පමණක්, ප්‍රශංසා මුඛයෙන් කාට කාටත් කියමි.
මේ වසරේ ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු කතුවරුන්ට නැතුවම බැරි මනුස්සයා කවුදැයි අනාවරණැය වී ඇත. ඒ පිරබාහරන්වත්, විජය වත්, කුවේණි වත් වෙන කවුරුවත් නොවේ. එහෙනම් ඒ කවුරු ද ? අමරකීර්තිගේ කුරුළු හදවතේ "නලියා" ගැන වචනයක් ඇත. එහි එය ඇත්තේ "Back hand compliment" එකක් ලෙසට ය. ( මීට අමතරව "අර මිහිරි සීනු නාදේ" තුලත් " නලියා" වැඩ වාසය කරති ). මගේ ආදරණීය යක්ෂණි තුලත් නමින් නොකියවුන ද, එතන ද මේ වයසක මනුස්සය වාසය කරන්නේය " එතැන්දි අලුත් ජාතියක් බිහිවීම කියන සංකල්පෙට අලුත් අර්ථකතනයක් එනවා. අපේ දාර්ශනික මහාචාර්යතුමා විතරයි ඒ ඉතිහාසෙ හරියට ඇල්ලුවෙ. වෙන මොකෙක්වත් නෑ. මගේ ඔහුට තියෙන ගෞරවය ගොඩැ නැගුණේ අන්න එතනින්" (255 පිටුව ). එතනින් ඒ මනුස්සයා "මට මහළු වයසේ - හැකිය වෙණ වායනා පෙර සේ " කියන්නේ නැතුව වෙන මොන කියන්න ද ? ( මෙහෙම ලියන මං, ඒ මනුස්සයා ගැන මේ දිනවල අප්‍රසාදයෙන් පසුවන්නේ ඔහු මහින්ද වෙනුවෙන් පෙනී ඉන්න නිසා ය ). මතවාදි අනෙකාට ඔහු නැතුවම බැරි ය. එක් වසරක ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු පොත් පහෙන් දෙකකම, "මේ යකා ය". සභාවෙන් සිනා ය!


No comments:

Post a Comment