Saturday 16 May 2020

මෑත කාලීන නවකතා පිළිබඳ ඒ ඒ වසර අග ඇගයුමකි



2010
( 2020 ජූලි මස 15 වෙනි දින පළමු වරට ලියූ ලිපියකි )
මා මේ සටහන ලිවීම ආරම්භ කලේ  චම්මින්ද වෙලගෙදරගේ සක්කාරං වෙනුවෙන් ලියූ සටහනක් නෙත ගැටිම හේතුවෙනි. එහි මා මෙසේ සඳහන් කොට ඇත.
"මේත් සමඟ මා ගිය වසරේ ස්වර්ණ පුස්තකේට නිර්දේශ වූ කෘති පහම කියවා ඇත. ඒ අනුව මගේ තේරීම "කළුවරයි පුරහඳ" - අනුරසිරි හෙට්ටිගේ. කවි කඳුර හොඳයි දෙවෙනි තැනට. 3- චුම්භන කන්ද; 4- සක්කාරං; 5- ලලිත සමය"
පසුව මට තේරුනේ මීට අමතරව 2010 ප්‍රකාශ වූ බාබ්ලි, මිත්‍යාදෘටිකයා සහ රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා කියවා ඇති බවෙකි.

  ඒ අනුව එම පොත් අට අද සිට ආපසු බලද්දි මෙසේ පෙළ ගස්වමි.

1-   කළුවරයි පුරහඳ - අනුරසිරි හෙට්ටිගේ ****1/2
2-  කවි කඳුර - සුනේත්‍රා රාජකරුණානායක ****1/2
3-  ලලිත සමය - එරික් ඉලයප්ආරච්චි ****
4-  මිත්‍යාදෘෂ්ටිකයා - උපාලි උබයසේකර ****
5-  චුම්බන කන්ද - ජයතිලක කම්මැල්ලවීර ***1/2
6-  සක්කාරං - චම්මින්ද වෙලගෙදර ***1/2
7-  රන් පාට චිත්‍රයක් අත්න් ගත් මහල්ලා - බටුවන්ගල රාහුල හිමි ***
8-  බාබ්ලි - දයා දිසානායක **1/2

2011
(2013 අප්‍රියෙල් 26 දින ලියූ ලිපියකි ):
2011 වසරේ එළි දැක්වූ නව කථා 7ක් කියවූවෙමි. ඊට ස්වර්ණ පුස්තකයට නිර්දේශ වූ කෘති 5ත්, පල්ලියගුරු සූරීන්ගේ "තොප වරදකින් කෙලෙසින් කිපෙම් ?" කෘතියත්, බටුවන්ගල රහල් හිමියන්ගේ "නයිගලින් උපන් පුත්ර්යෝ" (රාජ්ය සාහිත්ය සම්මානය දිනූ කෘතිය ), ඒ 7යි. මෙම7න් 5ක් මා සිත් ගත්තේය - "පරඬැල්" පතෝල - වැටකොළු ආරේ සාමාන්ය කෘතියකි. කිනම් හේතුවකට සම්මාන සඳහා නිර්දේශ වුවේදයි දන්නේ, එය නිර්දේශ කල ඈයෝම පමණි. "අබිරහස් ජීවිත තරණය", මට නම් කුනුහරුපයකි - දුඟද හමන කුණු කරවල කැබල්ලක් පමණි. එසේ බලනා කලැ, නිර්දේශ වූ කෘති අතරින් "රතු ඉද්ද", "සිටුවර පුවත", "පියැසි කවුළුව" හා "නයි ගලින් උපන් පුත්රයෝ" අතරින් කිනම් කෘතිය සම්මාන දිනා ගත්ත ද මට එකඟ නොවීමට වෙසෙසි හේතුවක් නැත.
"රතු ඉද්ද" මීට පෙර සිංහල පාඨකයා නව කථාවක් තුලින් නොගිය ඉසව්වක් වන සොබා දහම හා සම්බන්ධ වීමක් ගැන නවකථාව ගොතයි. රාජ්ය නොවන සංවිධාන වල ප්රෝඩාව හොඳින් ඉස්මතු කරයි. එහෙත් රාජ්යක නොවන සංවිධාන සිහින කඩා වැටීම කෘතියේ සමස්ත වේගයට ආගන්තුකය - හදිසි වැඩි ගතියක් ඇත.
සිටුවර පුවත ගතහොත් එය හොඳ නවකථාවකි. "දිට්මි නෙතින් කසුප් නිරින්ද්" නම් වූ රසාල්ප , දුර්වල කෘතිය කියවා නැවත කතුවරිය දෙස තැකීමට දෙගිඩියාවකින් සිටි මා ඇගේ කෘතියක් කියවීමට පෙළඹෙන්නේ ඇය "ස්වර්ණ පුස්තකේ" දිනා ගැනීම නිසා ය. එහෙත් මෙවර ඈ මා කළකිරීමට පත් කලේ නැත. ඒ ඇගේ නිර්මාණය හොඳ තත්ත්වයේ එකක් නිසාය - එනුමුදු එහි මීට පෙර සිංහල පාඨකයා අත් නොදුටු ඉසව්වක් නැත. විරාගයෙන් සීරුවට ආභාෂයක් ලැබුවා දැයි සිතේ ( දින පොත් හරහා නව කථාව දිග හැරීම - අරවින්ද ගේ ක්ලේශ හීන බව හා පණ්ඩුල තම කෙලෙස් සිත වරින් වර ජය ගනිමින් තම පෙම්වතියට "සාධාරණයක් ඉෂ්ඨ කිරීමට" යත්න දැරීම ). වරදවා තේරුම් නොගන්න - මෙය හොඳ නවකථාවකි - විශිෂ්ඨ නවකථාවක් නොවේ. විශ්හිෂ්ඨ නව කථා වලට සම්මාන දෙන්නේනම්, වසර දහයකටැ වරක් පමණ ස්වර්ණ පුස්තකය තේරුවාම ප්ර්මාණවත් වේ.
රූපක හා සංකේත බෙහෙවින් භාවිතයත් (උදා- ප්රසිද්ධ ධර්ම දේශකයින් වහන්සේ තම සුපිරි රියේ ආරක්ෂකයින් සමඟින් "සුමධුර" ධර්ම දේශනයක ට ගමේ පන්සලට වඩිද්දි, එම පන්සලේ ලොකු හාමුදුරුවෝ පයින් ම හත් දොහේ බණකට විදුලි පන්දමක් අතැතිව බැහැරට වඩී ) , යථාර්තවාදි වටපිටාවක ඉන්දරජාලික යථාර්තවාදය පිළිබඳ සියුම් ඉඟි පළ කිරීමත් තම කෘතියේ ප්‍රධාන අංග කරගත් බටුවන්ගල රාහුල හිමියන්ගේ නවකථාව, එහි කථාවස්තුව පමනක් සැලකුවහොත් දුර්වල එකකැයි ගිණිය යුතු බවයි මගේ හැඟීම. එහෙත් රෝස සංවිධානය හරහා සියුම් වාමාංශික දේශපාලනයක් ගැන කියා පෑම, රටේ සියළු අතින් කඩා වැටෙනා සමාජය නිරූපනය ආදිය නිසා අවම වශයෙන් ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරී පත්වීමට සුදුසු කෘතියකැයි හැඟේ. එහෙත් එය ස්වර්ණ පුස්තක අවසන් වටයට හොඳ මදියි ලු! - ඊට වැඩිය ටෙනිසන් ගේ කුණුහරුපේ ඉස්සරහින් සිටින බවක් වෙසදරයෝ අපට කියා පාති. රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනුවේ මේ කෘතියයි. එම සම්මානය දිනීම ගැන මගේ අප්‍රසාධයක් නැති.
මා කියවූ කෘති 7න් ඉතා මනරම්ම භාෂාවත්, අව්යාජ බවක් බෙහෙවින් දැනුණු කෘතියත්, හොඳ නිර්මාණ ශීලි බවක් තිබුණු කෘතියක් ලෙසත් "තොප වරදකින් කෙලෙසින් කිපෙම්?", කෘතිය හැඳින්විය හැක. භාවයන් ගැන වැඩි තැකීමක් කර ඇති කෘතියේ මා දුටු එක් දුර්වලතාවක් නම් සිහින දෙකක් ම අන්තර් ගත කිරීමට උත්සක වීමයි.
මේ පොත් 7 දෙස ම සලකා බලන කල මට දැන් හඟෙන්නේ මට පෞද්ගලිව බොහෝ සෙයින් සිතට දැනුණු නවකථාව හා දෝෂ අවම නව කථාව කපිල කුමාර කාලිංග ගේ "පියැසි කවුළුව" බවයි. ඉන්ද්ර ජාලික යථාර්ථවාදය උචිත ලෙස භාවිත මෙම කෘතිය විවිධ මානයන් ඔස්සේ, එනම් සමස්තයක් ලෙස (ලංකාවේ පැරණි බලගතු පවුල් වල බිඳ වැටීම) , ව්යුක්ත ලෙස සහ රූපක හා සංකේත භාවිතාව ඔස්සේ රසවිඳිය හැකි කෘතියකි.
ඒ අනුව නිර්දේශ වූ කෘතීන් අතරින් රතු ඉද්ද , පියැසි කවුළුව, සිටුවර පුවත හා නයි ගලින් උපන් පුත්රියෝ යන කෘති හතරම හොඳ කෘතීන් ය. ඉන් කුමන කෘතියක් ජයග්රහණය කලද එම තීරණයේ වැඩි දොසක් මා නොදකිමි. එහෙත් මා පෞද්ගලිකව පියැසි කවුළුව මේ කෘති අතරින් වඩා හොඳ නවකථාව යැයි සිතමි.

( 2020/05/20: පෙළගැස්ම
1- පියැසි කවුළුව - කපිල කුමාර කාලිංග
2- රතු ඉද්ද - කරුණාදාස සූරියාරච්චි
3- සිටුවර පුවත - රූපා ශ්‍රියානි ඒකනායක
4- නයි ගලින් උපන් පුත්‍රයෝ - බටුවන්ගල රාහුල හිමි
5- තොප වරදකින් කෙලෙසින් කිපෙම් ?- චන්ද්‍රසිරි පල්ලියගුරු
6- අභිරහස් ජීවිත තරණය - ටෙනිසන් පෙරේරා
7- පරඬැල් - ශාන්ති දිසානායක )

2020/07/13 ලියූ සටහනක් නම්; ජයන්ත චන්ද්‍රසිරිගේ ඉතා රසවත් "මහ රජ ගැමුණු" 2011 වසරේ ප්‍රකාශ වූවකි. එය කියවා මහත් රස වින්දමුත්, කිසිදු සම්මානයකට එය නිර්දේශ නොවීමෙ හේතුවෙන් ( එය කොටස් වශයෙන් පුවත්පතක කලින් පළ වූ නිසා යැයි කියවේ ), මට ද එය එම දවස් වල පෙළ ගැසීම් වලින් මගැරී තිබේ. එහෙත් නැවත හැරී බලද්දී, එය 2011 වසරේ ප්‍රකාශ වූ හොඳම නව කතාව බවට මා වෙත සැකයක් නැත ( කිමද සම්මාන කමිටු සීමාවන් මට අදාළ නොවන හෙයිනි ). ඒ අනුව අලුත් පෙළ ගැසීම:

1- මහ රජ ගැමුණු - ජයන්ත චන්ද්‍රසිරි
2- පියැසි කවුළුව - කපිල කුමාර කාලිංග
3- රතු ඉද්ද - කරුණාදාස සූරියාරච්චි
4- සිටුවර පුවත - රූපා ශ්‍රියානි ඒකනායක
5- නයි ගලින් උපන් පුත්‍රයෝ - බටුවන්ගල රාහුල හිමි
6- තොප වරදකින් කෙලෙසින් කිපෙම් ?- චන්ද්‍රසිරි පල්ලියගුරු
7- අභිරහස් ජීවිත තරණය - ටෙනිසන් පෙරේරා
8- පරඬැල් - ශාන්ති දිසානායක


----------------------------------------------------------
2012 (2014 අගෝස්තු 31 දින ලියූ ලිපියකි ):

මේ වන විට මා අදහස් කරගෙන සිටි පරිදි, 2012 වසරේ ඵල වූ ( 2013 වසරේ දී සම්මාන සඳහා නිර්දේශ වීමට සුදුසු ) පොත් නවයක් කියවා අවසන්ය. ( මීට පසුව ඇත්තේ 2013 වසරේ නිකුත් වූ තෝරා ගත් පොත් දහයක් කියවීමය - ඉන් තුනක් කියවා හමාරය ). මගේ කැමැත්ත - අකමැත්ත, අවබෝධයේ හා දැනිමේ සීමා වලට අදාළව එම පොත් නවය පහත ලෙස ශ්‍රෙණි ගත කරමි.
1- සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
2- අත අත නෑර - සුමිත්‍රා රාහුබද්ධ
3- තැප්පා සේම ගිනි - සමරවීර විජේසිංහ
4- කන්දේ වීදිය - කපිල කුමාර කාලිංඝ
5- කාල සර්ප - කීර්ති වැලිසරගේ
6- මම තවම යමි - කරුණාදාස සූරියාරච්චි
7- පර්ජන්‍යා - සුසන්ත මහඋල්පත
8- තරු දූවිලි - අනුරසිරි හෙට්ටිගේ
9- මාගම් සෝළිය - මොහාන් රාජ් මඩවල

මේ පොත් ම කියවීමට තෝරා ගැනීමට හේතුව කිම ? ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට නිර්දේශ වූ නිසා මුල් පොත් පහත්, අවසන් පූර්ව වටයට තේරුණු හා හොඳ විචාර හේතුවෙන් පර්ජන්‍යාත්, මේ කණ්ඩායම තුල ඇතිකල ආන්දෝලනය නිසා ම මාගම් සෝළියත්, පෙර පොත් වලින් කතුවරයා මත ඇති විශ්වාසය නිසා මම තවම යමි සහ තරු දූවිලි ද ලෙස, ලඝුවෙන් දැක්විය හැකිය.
පාඨකයා තුල ඇති කරනා කම්පනය හේතුවෙන්ම සෙංකොට්ටං මුල් තැනට ඒමට සමත් විය. සාමාන්‍යයෙන් කථා නොකරන මාතෘකාවක් ඔස්සේ සෑහෙන දුරට පරිපූර්ණ නවකථාවක් බැවින් අත අත නෑරත්, මා කැමති රචනා ශෛලියකින්, දාර්ශනික විචාර සුදුසු පදමට යොදා ගනිමින් සාර්ථක නවකථාවක් නිර්මාණය කිරීම නිසා තැප්පා සේම ගිනි තෙවෙනි තැනටත් තෝරා ගනිමි.
කන්දේ වීදියත් රසවිඳිය හැකි පොතකි. එහි ඓතිහාසික කරුණු මෙන්ම උඩරට පාත රට භේදයත් සියුම්ව සාකච්ඡා වේ.
කාල සර්ප ඉතා හොඳින් ආරම්භ කොට, පාඨකයා තුල මහත් බලාපොරොත්තු ඇතිවන අයුරින් ගොඩ නඟා මග අතැර දමන පොතකි. ඒත් එහි ධනාත්මක ලක්ෂණ හේතුවෙන්, හා මම තවම යමි ආදි අනෙක් පොත් හතරට සාපෙක්ෂව වශයෙන් ගුණාත්මක යැයි හැඟුණු බැවින් එය පස්වැනි තැනට තේරිණි.
කසුරිගේ අනෙක් පොත් හා සාපෙක්ෂව, මම තවම යමි සාර්ථක දැයි පාථ්ක සිත තුල ප්‍රශ්න ඇතිවේ. නවකථාවේ ශෛලියද කතුවරයාම මීට පෙර භාවිත කල එකක් මෙනි.
පර්ජන්‍යා ගැන යමක් පවසන්නේ නම්, එය සෑහෙන දුරට පරිපූර්ණ නවකථාවකි. අප පෝෂක සංස්කෘතිය, බුදු දහම හා ඉතා තදින් බද්ධ වැ, ලියැවුන්නකි. දොසකට තිබුණේ ප්‍රධාන චරිත දෙක අනුරපුර සම්ප්‍රාප්තියෙන් පසුව නව කථාවේ රිද්මය අඩාල වීමයි.
තරු දූවිලි කෘතිය අද අප රට ටෙලි නාට්‍ය "ව්‍යාපාරයේ" ලිංගික අල්ලස ගැන කථා වුණු, කියවිය යුතු කෘතියකි. ලේඛකයා භාවිත කල රචනා ශෛලිය කෙතෙරම් සාර්ථක වූවාද යන්න විවාදාත්මකය.
මාගම් සෝළිය කියවූ නිසා ම මෙවර ලොවීනා කියවිය යුතු ද, නැද්ද යන ප්‍රශ්නය මා තුල ඇතිවිය. මොකද මට නම් මාගම් සෝළිය තනිකරම මාර්කටිං වැඩකි.
(2020/05/16 - පසුව කියවු ගුණදාස අමරසේකරයන් ගේ "රූපාන්තරය නොහොත් සෝමරත්නගේ" සංක්‍රාන්තිය කියවීමෙ පසුව ඉහත පෙළැ ගැසීම පහත ලෙස වෙනස් විය යුතුය

1- සෙංකොට්ටං - මස්-ඉඹුල
2- අත අත නෑර - රාහුබද්ධ
3- රූපාන්තරය නොහොත් සෝමරත්නගේ සංක්‍රාන්තිය  - ගුණදාස අමරසේකර
4- තැප්පා සේම ගිනි - සමරවීර විජේසිංහ
5- කන්දේ වීදිය - කපිල කුමාර කාලිංඝ
6- කාල සර්ප - කීර්ති වැලිසරගේ
7- මම තවම යමි - කසුරි
8- පර්ජන්‍යා - සුසන්ත මහ-උල්පත
9- තරු දූවිලි - අනුරසිරි හෙට්ටිගේ
10- මාගම් සෝළිය - මඩවල


-----------------------------------------------------------------------------------
2013 (2013 ජූලි මස 5 දින ලියූ ලිපියකි ):
2013 වසරේ ප්‍රකාශිත වැ, 2014 විවිධ සම්මාන වලට නිර්දේශ වීමට සුදුසුකම් ලත් පොත් පොත් දහයක් කියවූවෙමි. 2013 දී පළ වූ වෙනත් නව කථා කියවා නොසිටීමට ද ඉඩ ඇත; ඒ කියවා හමාර කිරීමට ඇති පොත් ගොන්න ඉතා විශාල බැවිනි ( සමහර විට ටෙනිසන් පෙරේරාගේ දණ්ඩභූමි කියවාවි, අවස්ථාවක් ලද හොත් ). ඒ පොත් දහය අතර ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු පොත් පහ ඇතුළු අවසන් පූර්ව වටයට තේරුණු පොත් දහයෙන් හතක් (මීට රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ කෘතිය ද අයත් ය ), ගොඩගේ සම්මානය දිනූ කෘතිය, සහ කිසිදු සම්මානයකට නිර්දේශ නොවුනු කෘති දෙකක් ද අයත්ය. මගේ වැටහීම නම් ස්වර්ණ පුස්තක, රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ හා විද්යෝදය සම්මාන වලට නිර්දේශ වන හා ඉන් යම් ජයග්‍රහණයක් අත කරගන්නා කෘති සාපෙක්ෂ වශයෙන් එසේ නිර්දේශ වීමට අසමත් කෘති වලට වඩා ඉදිරියෙන් ඇති බවයි. එසේ නිර්දේශ වන කෘති අතරින් වඩා හොඳ කුමක් දැ යි ඇසුවොත්, මා ද ඇතුළුව සැම දේනා අතරම ඇත්තේ විසම්මුතියකි. එහෙත් වසරේ හොඳම නව කථා මොනවා දැයි පිළිබඳ සමස්ත අදහසක් ලබා ගැනීමට, මේ සම්මාන වලට නිර්දේශ වන කෘති අතරින් උපකුලකයක් තෝරා ගැනීම සුදුසු බවයි, මගේ වැටහීම. ඒ අනුව මා කියවූ පොත් දහය අතරින් මගේ වැටහීමට අනුව පරිපූර්ණ ම , රසවත්ම, නිර්මාණාත්මක ම යන කාරණා තුන සම්ප්‍රයුක්ත නිර්ණායකයක් ලෙස සලකා, මා කියවූ පොත් දහය පහත ලෙස පෙළ ගස්වමි ( දණ්ඩභූමි කියවන්නට අවස්ථාවක් ලදහොත්, එය මේ ගොඩට කෙසේ එක්කාසු වන්නේ දැයි පසුව දන්වන්නම් )
1- ආෂාඪ පුෂ්පය - සුසන්ත මහ-උල්පත *****
2- මගේ ආදරණීය යක්ෂණි - මංජුල වෙඩිවර්ධන ***1/2
3- ලොවිනා - මොහාන් රාජ් මඩවල ****1/2
4- පාද යාත්‍රා - එරික් ඉලයප්ප-ආරච්චි ****
5- කාල නදි ගලා බසී - නෝබට් අයගම ****
6- තාරා මගේ දෙව්දුව - නිශ්ශංක විජේමාන්න ****
7- කුරුලු හදවත - ලියනගේ අමරකීර්ති ***1/2
8- මරියා සිලෝනිකා වස්තුව - පී. බී. ජයසේකර ****
9- නෑසෙන මානය - කරුණාදාස සූරියාරච්චි ***1/2
10- ගොනානෝ - සේපාලි මායාදුන්නේ **1/2
 ( 2014 දී ප්‍රකාශිත කෘති අතරින් තවම කියවා ඇත්තේ පරාක්‍රමගේ ක්ලැරා පමණි. කැත්ලීන් ජයවර්ධන ගේ මහසෙන් මිලදී ගැනීමට සිතා සිටිමි - ඒ ඇය සම්මාන පොරයෙන් මෑත් ව සිටීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති හෙයින්, ඇගේ පොත් නිර්දේශයට නොගැනෙන නිසා ය. 2014 දී ප්‍රකාශ වූ අනෙක් පොත් මිල දී ගැනීම නිර්දේශ පිට වන තෙක් කල් දැමීම වඩා යෙහෙකි යැයි සිතේ. )                       

(2020 /05/16 - සංශෝධිත පිළිවෙල
1- ආෂාඪ පුෂ්පය - සුසන්ත මහ-උල්පත
2- මගේ ආදරණීය යක්ෂණි - මංජුල වෙඩිවර්ධන
3- පාද යාත්‍රා - එරික් ඉලයප්ප-ආරච්චි
4- ලොවිනා - මොහාන් රාජ් මඩවල
5- මරියා සිලෝනිකා වස්තුව - පී. බී. ජයසේකර
6- කාල නදි ගලා බසී - නෝබට් අයගම 
7-  කුරුලු හදවත - ලියනගේ අමරකීර්ති
8- තාරා මගේ දෙව්දුව - නිශ්ශංක විජේමාන්න
9- නෑසෙන මානය - කරුණාදාස සූරියාරච්චි
10- ගොනානෝ - සේපාලි මායාදුන්නේ )

(2023/06/10 දින සංශෝධිත පිළිවෙල

1- මගේ ආදරණීය යක්ෂණි - මංජුල වෙඩිවර්ධන
2- ආෂාඪ පුෂ්පය - සුසන්ත මහඋල්පත
3- පාද යාත්‍රා - එරික් ඉලයප්පආරච්චි
4- මරියා සිලෝනිකා වස්තුව - පී. බී. ජයසේකර
5- ලොවිනා - මොහාන් රාජ් මඩවල
6- කුරුලු හදවත - ලියනගේ අමරකීර්ති
7- කාල නදි ගලා බසී - නෝබට් අයගම 
8- තාරා මගේ දෙව්දුව - නිශ්ශංක විජේමාන්න
9- නෑසෙන මානය - කරුණාදාස සූරියාරච්චි
10- ගොනානෝ - සේපාලි මායාදුන්නේ )

---------------------------------------------------------------------
2014  (2015 දෙසැම්බර් මස 1 දින ලියූ ලිපියකි )-

2014 මුද්‍රණය වූ, 2015 වසරේ විවිධ වූ සාහිත්‍ය සම්මානයන් සඳහා නිර්දේශ විමට සුදුසුකම් ලත් කෘති 13ක් කියවා හමාර කලෙමි. මම, එම කෘති රස විඳි අයුරු අනුව හා මගේ සීමිත දැනුම අනුව මගේ වර්ග කිරීම පහත පරිදිය:
1- රන් කරඬුව - බටුවන්ගල රාහුල හිමි
2- මහාසාමි - සේපාලි මායාදුන්නේ
3- බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය
4- මේ රහස් කවුළුවෙන් එබෙන්න - කෞශල්‍ය කුමාරසිංහ
5- මහසෙන් - කැත්ලීන් ජයවර්ධන
6- ඇදහිය නොහැකි නිහඬතාව - චම්පා වෛද්‍යතිලක
7- තුරුසමුදා - සුමිත්‍රා රාහුබද්ධ
8- දෛව - කීර්ති වැලිසරගේ
9- බැඳමාරිය - අනුරසිරි හෙට්ටිගේ
10- ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල
11- ක්ලැරා - පරාක්‍රම කොඩිතුවක්කු
12- ස්මරණ - අනුරසිරි හෙට්ටිගේ
13- උං ගියාදෙං - කරුණාදාස සූරියආරච්චි


යම් අයෙකුගේ සුවිශේෂි නිර්දේශයකින් තොරව නැවත 2014 ප්‍රකාශ වූ සිංහල නවකථා කියවීමට බලාපොරොත්තුවක් නැත. කියවීමට මගහැරී තිබූ ඉන්ගිලිසි නවකථා කිහිපයක් හා අප්‍රබන්ධ ගණයට අයත් කෘති කියවීමට ඊළඟ මාස 2-3 යොමු කරන්නට බලාපොරොත්තු වෙමි


(2020 /05/16 - සංශෝධිත පිළිවෙල
1- මහාසාමි - සේපාලි මායාදුන්නේ
2- බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය
3- රන් කරඬුව - බටුවන්ගල රාහුල හිමි
4- මහසෙන් - කැත්ලීන් ජයවර්ධන
5-ඇදහිය නොහැකි නිහඬතාව - චම්පා වෛද්‍යතිලක
6- මේ රහස් කවුළුවෙන් එබෙන්න - කෞශල්‍ය කුමාරසිංහ 
7-  දෛව - කීර්ති වැලිසරගේ
8- තුරුසමුදා - සුමිත්‍රා රාහුබද්ධ
9- බැඳමාරිය - අනුරසිරි හෙට්ටිගේ
10- ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල
11- ක්ලැරා - පරාක්‍රම කොඩිතුවක්කු
12- ස්මරණ - අනුරසිරි හෙට්ටිගේ
13- උං ගියාදෙං - කරුණාදාස සූරියආරච්චි )


-----------------------------------------------------------------

2015
- (2017 අප්‍රියෙල්  9 දින ලියූ ලිපියකි ):
2015 ප්‍රකාශ වූ සිංහල නවකථා, මට කෙසේ වූයේද යත්.....


2015 වසර ඇතුලත ප්‍රකාශයට පත් වූ ද, 2016 වසරේ අනේක සම්මාන උදෙසා නිර්දේශයට සුදුසුකම් තිබුණා වූ ද, කෘතීන් අතරින් පහළොවක් තෝරාගෙන 2015 අග බාගයේදි ,2016 දී ද සහ 2017 මුල ද කියවූවෙමි. ඊට:
- ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු කෘති පහම ද ( අහම්බකාරක, පරදේසි, ෂැංහයියා සහ කොළඹයා, දූල්වල අලංකාරේ, හිතුවක්කාරි )
- ගොඩගේ අවසන් වටයට තේරුණු කෘති අටක් ද ( අහම්බකාරක, පරදේසි, කෘතීම දූපත්, දූල්වල අලංකාරේ, හිතුවක්කාරි, යාරා යාත්‍රිකා, අසන්ධිමිත්තා, සැප්තැම්බරයේ දිගු දවසක් )
රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වූ කෘති සතරක් ද ( අහම්බකාරක, පරදේසි,දූල්වල අලංකාරේ, සැප්තැම්බරයේ දිගු දවසක් )
- ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට පමණක් තේරුණු (අවසන් වටයට නොතේරුණු ) කෘති තුනක් ද ( අවලමා සහ ඇහැටුව, වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්, මාණික්කාවත )
- ගොඩගේ නවකතා අත් පිටපත් තරඟය ජයග්‍රහණය කල නවකතාවත් ( පාප දණ්ඩන )
- සහ, කිසිදු සම්මනයකට නිදේශ නොවී, ලේඛිකාවගේ පෙර කෘතී රසවිඳ ඇති හෙයින් ( මැකී ගිය පෙත් මං ) හෝ විචාර කියවා කෘතිය කියවීමට සිත් ඇති වූ නිසා (සේරංගාව ) හෝ කිය වූ කෘති දෙකක් ද විය.

ඉතින් මෙහි එකතුව කෘති පහළොවකි. නැවත වතාවක්, වසරක පළ වූ සිංහල නවකතා මෙතරම් ප්‍රමාණයක් කියවීම අනවැසි බව ප්‍රත්‍යක්ෂ කර ගතිමි. ඉහත ශ්‍රේණි ගත කිරීම් මත අවම වශයෙන් මුල් කෘති නවයටත්, උපරිමයෙන් මුල් කෘති එකොළහට සීමා වීමට තිබුණා නම් සෑහෙන්න තිබිණි. සමස්ත වශයෙන් එතරම් ඉතා ඉහළ තලයේ නිර්මාණ නොතිබුණු වසරකි. ඒත් මුල් කෘති හතර සෑහෙන මට්ටමක තිබිණි. 5-9 දක්වා කෘති ද රසවත් ය. සිංහල නවකථා කියවන පාඨකයා කියවිය යුතු යැයි සිතමි. 11, (සේරංගාව ) නවකතාවක් ලෙස දුර්වල තැන් තිබුණ ද, අප රට නැසී යන කැළෑ ගම්, වැදි ජනයා, එම සංස්කෘතිය හා බැඳි ඉහළ තලයේ නිර්මාණයකි. එය නොකියවා සිටියා ට වඩා, කියවීම ගැන සතුටු වෙමි. 13, ( යාරා යාත්‍රිකා ) කතුවරයා ගේ ලේඛණ ශෛලියේ පරිපූර්ණත්වය ගැන කියා පාන්නක් වුවත්, විශාල වශයෙන් සංස්කරණය විය යුතු කෘතියකි. කෘතියේ එන පරිසරය අත් විඳි අයට, මේ කෘතිය රසවත් වීමට පුළුවන. 15, ( වුල්ෆන්ඩල් ස්ට්‍රීට් ), කතුවරිය යෙදූ මහා ව්‍යායාමය ගැන ගෞරවයක් ඇති කරනමුත්, පාඨකයකු වශයෙන් එතරම් ප්‍රතිලාභ ලබා දෙන්නක් නොවන්නකි.

කියවීම මගැරුණු කෘති ද තිබෙන්නට පුළුවන. ඒ බොහෝ විට කරුණා පෙරේරාගේ "පාටක් නැති පාටක්" විය යුතුය. එම කෘතිය ගොඩගේ සහ රාජ්‍ය සාහිත්‍ය අවසන් වට වලට තේරි පත් වූ නිසා එසේ සිතමි. ටෙනිසන් පෙරේරාගේ "මහ රාවණ" ද ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට සහ රාජ්‍ය සාහිත්‍ය අවසන් වටයට තේරි තිබුණ ද, ලේඛකයාගේ පොත් කියවා පාඩම් ඉගෙන ඇති හෙයින් නොසලකා හැරියෙමි. කෘතිය කියවූවෝ ද ගුණයක් නොවැයුවෝ ය.

1- පරදේසි - එරික් ඉලයප්ආරච්චි
2- අහම්බකාරක - ලියනගේ අමරකීර්ති
3- දූල්වල අලංකාරේ - සුමුදු නිරාගි සෙනෙවිරත්න
4- කෘතීම දුපත් - සුනේත්‍රා රාජකරුණානායක
5- අවලමා සහ ඇහැටුව - පී. බී. ජයසේකර
6- වැසී ගිය පෙත්මං - අනුලා විජේරත්න මැණිකේ
7- සැප්තැම්බරයේ දිග දවසක් - කපිල කුමාර කාලිංග
8- ෂැංහයියා සහ කොළඹයියා - සුනේත්‍රා රාජකරුණානායක
9- අසන්ධිමිත්තා - සමන් වික්‍රමාරච්චි
10- හිතුවක්කාරි - එච්.බී. ගුණරත්න
11- සේරංගාව - සඳරුවන් ලොකුහේවා
12- මාණික්කාවත - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
13- යාරා යාත්‍රිකා - සේන තෝරදෙනිය
14- පාප දණ්ඩන - නුවන් ඉෂාර මහගමගේ
15- වුල්ෆැන්ඩාල් ස්ට්‍රීට් '48/15' - නදී වාසලමුදලිආරච්චි

------------------------------------------------------------------------------

2016 පළ වූ නවකතා කියවීම -සාරාංශය

(2018 ජුනි 7 දින ලියූ ලිපියකි ):
2016 වසරේ ප්‍රකාශ වූ නවකතා 14 ( දහහතරක් ) කියවා හමාර කලෙමි. සුවිශේෂි කෘතියක් ගැන ආරංචි නොවුනහොත්, නැවත 2016 ප්‍රකාශ වූ සිංහල නවකතා කියවීමේ බලාපොරොත්තුවක් නැත.

මේ කෘති එක්කාසුවට ගොඩගේ ( ඉක්බිති ඔහු මරාපීහ ), රාජ්‍ය සාහිත්‍ය ( ගරුඩ මුහුර්තය ) සහ ස්වර්ණ පුස්තක ( හඳ පළුව තනි තරුව ) ජයග්‍රහකයින් මෙන්ම, එම සම්මාන වලට නිර්දේශ වූ කෘතීන් කිහිපයක් ඇතුලත් වේ. නිර්දේශ වූ කෘතීන් අතරින් කියවීමට කෘතීන් තෝරා ගැනීමේදි චෙසෙසින් මෙම කණ්ඩායමේ ක්‍රියාශීලී කොටසේ අදහස් සලකා බලන ලදී ( නම් වශයෙන් නොකීව ද ඒ කවුරුන්දැයි ඒ ඒ අය දනිතී. ඔවුන්ට මගේ කියවීමට උදවු කිරීම ගැන කෘතඥ්ඥතාව පළකරමි.

ඒ ලෙසම කිසිම සම්මානයකට නිර්දේශ නොවූ, එහෙත් පාඨක ප්‍රජාවගේ ඇගයීම මත ( බැමිණිතිකාලය ), සහ ලේඛක ලේඛිකාවන්ගේ පෙර කෘති කියවා බලාපොරොත්තු විය හැකි සුවිශේෂිත්වය නිසා කියවූ කෘතීන් ද වේ ( අකාල යාත්‍රා, මහිලා වංශය ).

මගේ සීමිත වැටහීම අනුව, කියවිය යුතු යැයි හැඟෙන 2016 පළ වූ කෘතීන් කුලකය මින් නිරූපනය කරන්නේ යැයි සිතමි. ඉතින් ඒ ඒ සම්මාන දෙන කමිටු කුමනාකාරයෙන් සම්මාන ලබා දුන්න ද, සාමාන්‍ය පාඨකයකු ලෙස මා රස විඳි, මට දැනුනු අයුරින්, ඒ ඒ කෘති ශ්‍රේණි ගත කිරීම තුන්වෙනි තීරූවේ දැක්වේ.

-අවසන් වශයෙන් 2016 වසරේ මගේ ජයග්‍රාහි නවකතාව ශමෙල් ජයකොඩිගේ ප්‍රංශ පෙම්වතා ය; එය ට ඉතා හොඳ තරඟයක් සිය සිය පත් සිය ( දෙවෙනි ), ඉක්බිති ඔහු මරාපීහ ( තෙවෙනි ), අකාල යාත්‍රා ( සිව්වෙනි ) සහ ගරුඩ මුහුර්තය ( පස්වැනි ) කෘතීන් මගින් ලැබිණි.

1- ප්‍රංශ පෙම්වතා - ශමෙල් ජයකොඩි
2- සිය සිය පත් සිය - සුමිත්‍රා රාහුබද්ධ
3- ඉක්බිතිව ඔහු මරාපීහ - පී. බි. ජයසේකර

4- අකාල යාත්‍රා - කැත්ලීන් ජයවර්ධන
5- ගරුඩ මුහුර්තය - කීරිත් වැලිසරගේ
6- බැමිණිතිකාලය - අනුරාධ මහසිංහ
7- නිකිණි කළුවර - දීප්ති මංගලා රාජපක්ෂ
8- සුවඳ සන්නිය - සේපාලි මායාදුන්නෙ
9- හඳ පළුව තනි තරුව - නිශ්ශංක විජේමාන්න
10 - වෑ කඩවර - සුජීව කුමාර කෝවිලතැන්න
11- සඳුන්මල් කඩුල්ල - සේන තෝරදෙනිය
12- සප්තපර්ණි - සුසන්ත මහඋල්පත
13- වණ්ණදාසි - කත්‍යානා අමරසිංහ
14- මහිලාවංශය - කේ. කේ. සමන් කුමාර

-----------------------------------------------------------------------------------------

2017 වසරේ ප්‍රකාශිත තෝරා ගත් සිංහල නවකතා කියවීම
(2019 අප්‍රියෙල් 19 දින ලියූ ලිපියකි ):
2017 වසරේ ප්‍රකාශ වූත්, 2018 විවිධ වූ සාහිත්‍ය සම්මාන උදෙසා නිර්දේශයට සුදුසු වූත් කෘති දහයක් තෝරාගෙන කියවූවෙමි. ඒ කෘති තෝරා ගැනීම කාරණා කිහිපයක් මත පදනම් කර ගතිමි. ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු කෘති පහ, රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ යන සම්මාන වලට නිර්දේශ වීම, පෙර කෘතීන් මගින් පාඨකයකු ලෙස මාගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වී තිබීම සහ මෙහි එන අත්දැකීමෙන් යුක්ත වූත්, මට විශ්වාසී වූත් පාඨකයන්ගේ නිර්දේශ ආදි වූ කාරණා මීට හේතු විය.
මීට වසර කිහිපයකට පෙර, වසරක පළ වූ නවකථා 14-15 පමණ කියවීමට යත්න දරුව ද, දැන් දැන් ඇත්තෙන්ම කියවීමට තරමේ වටිනා කෘති 7-8 එහා පළ නොවන බව මා තරයේ විශ්වාස කරමි. එහෙත් මේ වසරේ ද කෘති 10ක් කියවීමි. එහි අවම වශයෙන් නමවෙනි සහ දහවෙනි ස්ථානයට පැමිණි කෘතීන් නොකියවා සිටියා නම් මට පොත් කියවන්නෙක් ලෙස මහත් පාඩුවක් සිදු නොවනු ඇත. අන් කාර්යයන් සහ අන් කෘතීන් නිසා අලුත් සිංහල නවකතා කියවීමට ඇති කාලය තවත් සීමා කෙරෙන්නේ නම්, මුල් කෘති හයෙන් වුව සෑහෙන්නට ඉඩ තිබිණි.
කියවීමට යම් සිතක් පහළ උන ද, කියවීමට තෝරා ගත් කෘති ගොන්නේ විශාලත්වය හේතුවෙන් එසේ නොකිරීමට තීරණය කල කෘතීන් ද අවම වශයෙන් දෙකක් විය. එකක් නම් මෙතෙක් මහත් පාඨකයන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත්ව ඇති, පී. බී. ජයසේකරගේ ලේඛකයාගේ, එතරම් "ඝෝෂාවක්" නොකල කෘතියක් වූ "බලව්, කඳුළු ගිනිගනී" කෘතියයි. අනෙක අප කණ්ඩායමේ ම තරංගනි රසිකා ප්‍රනාන්දු ගේ "දේශද්‍රෝහියෙකුගේ නිර්මල හදවත" කෘතියයි. ඒ කෘති දෙක ම ෆෙයාවේ සම්මානය උදෙසා නිර්දේශ වුව ද, අන් කිසිදු සම්මානයකට නිර්දේශ නොවීම, නොකියවීමට හේතු වන්න ට ඇති, වෙසෙසින් පී.බී. ගේ කෘතිය ගැන මා දැන ගත්තේ ද බොහෝ පමාවෙණි.
ඉතින් ඒ කියවූ කෘති දහය පිළිබඳ සමාලෝචනය මෙපරිදි ය;

1- පේමතෝ ජායති අසෝකෝ - ඉසුරු ප්‍රසංග ( අපේ කාලයේ දේශපාලන සංවාදය, බොහිමියානු චරිතයක ආඛ්‍යායනයක් ලෙස. කියවිය යුතු නවකතාවක්. )
2- බලකොටු සහ නෞකා - භද්‍රජි මහින්ද ජයතිලක (
ඉතිහාස කතාවක් තුලට මිනිසාගේ බලයට ඇති කෑදර කමත්, මිනිස් ස්වභාවයේ අඳුරු කොන් ගැන විමසීමක් කරනා අපූරු නිර්මාණයක් )
3- අසනග වැස්ස - දර්ශනා ශම්මි විජේතිලක (
විසිවෙනි සියවසේ මුල් කතරගම ආලත්ති අම්මා කෙනෙකුගේ චරිතය අපූරු අකාරයකට ඉදිරිපත් කොට ඇත. ආගමික සංවරය සහ ආදරය ඇති ඝට්ටන‍යට කැමැත්තෙමි. )
4- යකඩ සිල්පර - විමල් උදය හපුගොඩආරච්චි (
උතුරු දුම්රිය මාර්ගය ඉදි වූ යුගයේ වන්නිකරයේ අත්දැකීමත්, වන්නිකරයේ දුෂ්කර දිවිපෙවෙතත්, හොඳින් නිරූපනය කෙරෙන රසවත් කතාපුවතකි. )
5- චක්‍ර - ජයතිලක කම්මැල්ලවීර (
අප රට ආදර්ශ වාමවාදියෙකුගේ සමාජ සත්කාරය, අප රට භීෂ්ණය හේතුවෙන් බෝට්ටු මගින් රට හැර යාම ආදිය කතෘගේ සුපුරුදු සංයමයෙන් නිරූපිත සාර්ථක වියමනකි. )
6- ඇමෙරිකා - ශමෙල් ජයකොඩි ( සංවර්ධිත විදෙස් රටක පදිංචියට යාමේදී, එහි සංස්කෘතියේ විවිධතාවන් පිළිගැනීමේ වැදගත්කම, තම ආකල්ප තුලට කිඳා බැස තිබීම අත්‍යවශ්‍ය කාරණාවක් බව, එක්තරා ශ්‍රි ලාංකික පවුලක් ආශ්‍රයෙන් අපූරුවට පෙන්වා දෙන නවකතාවකි.) ( සංස්කරණය - 14/07/2020 )
7- අත්තාණි කණු - සේපාලි මායාදුන්නේ (
යටත්විජිත යුගයේ වන්නියේ පෙවෙත් ගවේෂණාත්මකවත්, ආකෘතික හරඹ මගිනුත් ඉදිරිපත් කරන්නට තැනූ ව්‍යායාමකි. )
8- අප්පච්චි ඇවිත් - සමන් වික්‍රමාරච්චි (
සිංහල නවකතාවට නුහුරු ඉසවු ගැන ලියැවුණු කුතුහුලය දනවන නවකතාවකි. )
9- වරණ - පද්මිණි සෙනෙවිරත්න (
රසවත් ආදර කතවක් වුවද, ඉඟි කෙරෙනා දේශපාලනය න්‍යායපත්‍රයක සේයාවක් බිහි කරයි. )
10- කහපාට උවැසියෝ - චම්පා වෛද්‍යතිලක (
අප රට වෙසේනා අපූරුතම, දක්ෂතම ලියන්නියකගේ දේශපාලන මතයන් හේතුවෙන් තරමක් අවලස්සන වුණු කෘතියකි. )
11- ධාතුසේන - ගුණදාස අමරසේකර (
දේශපාලන පණිවුඩය සාර්ථකව ඉදිරිපත් කෙරෙන, නමුත් නවකතාවක් ලෙස පරිපූර්ණත්වයක් ගැන නොවෙහෙසෙන කෘතියකි. )

( මේ ලිපිය අවස්තානූකුලව සංශෝධනය වන, යාවත්කාලීන වන ලිපියකි )

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------



2018 වසරේ ප්‍රකාශ වූ, මා කියවීමට තෝරා ගත් නවකතා පිළිබඳ සාරාංශය

සෑම වසරකම ඒ වසරේ ප්‍රකාශ වු සිංහල නවකතා වලින් යම් ප්‍රමාණයක් තෝරාගෙන කියවා, මගේ රසාස්වාදය අනුව ඒවා පෙළගැස්සීම මා දැන් වසර 8ක කාලයක සිට කරමින් එන්නකි. ඒ වසර අට පුරා මා කිය වූ අවම නවකතා ප්‍රමාණය අටක් වන අතර (2011), උපරිමය පහළොවකි (2015). පසු ගිය වසර කිහිපය තුල මා මෙය දහයක් හෝ හැකි නම් ඊටත් අඩු සංඛ්‍යාවකට තබා ගැනීමට උත්සාහ දැරුවද, එය මෙතෙක් අසාර්ථක උත්සාහයයක් බවට පත් ව ඇත ( නිදසුන් 2017 ප්‍රකාශන - 11 යි; 2018 ප්‍රකාශන 12 යි).
2019 ප්‍රකාශ වූ කෘතීන් රැගත් ස්වර්ණ පුස්තක නිර්දේශ ලයිස්තුව, පසු ගිය දින වල (දෙවතාවක් ) නිකුත් විය. පාඨකයන් වන අප ස්වර්ණ පුස්තක, ගොඩගේ, විද්‍යෝදය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශ වලින් සහ, අප ට යම් විශ්වාසයක් තැබිය හැකි අන් පාඨකයන්ගේ අදහස් මාර්ගයෙන් කියවිය පොත් ගොන්න තීරණය කරමු. එම නිසා ය සාමාන්‍යයෙන් ඊළඟ වසරේ සම්මාන උළෙල වලට කලින් පසුගිය වසරේ අප කියවීමට තෝරාගත් පොත් ටික කියවා ගුණ දොස් මෙසේ සමාලෝචනය කරනුයේ.

කෙසේ වුවද සම්මාන වලින් ජයගන්නා කෘතීන් සහ එම නිර්දේශ පිළිබඳ පූර්ණ විශ්වාසයක් මා සතුව නැත. ඒ ඇයි යැයි පොත් කියවන ඔබ අප සැම දෙන දනිති - එකක් අපගේ රුචිකත්වයේ වෙනස්කම් ය. අනෙක, ඒ ඒ සම්මාන විනිශ්චය, ඒ ඒ මඬුළු වල සං‍යුතිය, මතය, විශ්වාස මත රඳෙන බැවිනි. ඒ හේතුවෙනි සාහිත්‍ය රසිකයෙකු ලෙස මෙම ව්‍යායාමයේ යෙදෙමින් අප රට පළ වන නවකතා වල යම් ඇගයීමකට නිරත වනුයේ. ඊට අප සමග වසර පුරා මෙම පොත් කියවමින් අදහස් බෙදා ගන්නා බොහෝ දෙනා දායක වේ. ඔබ ගේ ඒ වටිනා අදහස් පළ නොවන්නේ නම්, මට මගේ කියවීමට පොත් තේරීම උදෙසා සම්මාන නිර්දේශ මත පමණක් විශ්වාස කරලීමට සිදු වේ. එය නොවිය යුත්තක් බව මම අත්දැකීමෙන් දනිමි.

වසරක් පුරා ඉතා රසවත් සිංහල නොවන සාහිත්‍ය නිර්මාණ නිකුත් වද්දී, මම මේ ව්‍යායාමයට කාලය මිඩංගු කරන්නේ ඇයි යන ප්‍රශ්ණය සෑම වසරක් පුරා ම මා සිත තුල ම මතු නොවන්නේ නොවේ. එහෙත් අප රට ද නවකතාව යන්න පසුගිය වසර 15-20 තුල අතර බොහෝ වෙනස්කම් වලට මුහුණ දෙමින් ඉදිරිගමනක යෙදෙන බව පැහැදිලිය. වික්‍රමසිංහ, ගුනසිංහ, අමරසේකර, නවගත්තේගම, ජයතිලක ආදීන්ගෙන් පසුව රාජකරුණානායක, රාහුබද්ධ, ඉලයප්ආරච්චි වැනි අය, අප රට නවකතාව පෝෂණය කලා හු ය. වර්තමානයේ නිබද සාර්ථක සාහිත නිර්මාණයේ යෙදෙන සහ අලුත් ඉසවු සොයන මංජුල වෙඩිවර්ධන, ශමෙල් ජයකොඩි, පී. බී. ජයසේකර ආදි කතුවරු සිංහල නවකතාවෙන් ඈත් වීමට අපට ඉඩ නොදෙයි. එපමණක් නොව, සැලකිය යුතු කාලයක් නිර්මාණයේ යෙදුන ද, නව ඉසවු, නව නිර්මාණ පරීක්ෂාවන් හි යෙදෙන එරික් ඉලයප්ආරච්චි ( පේත, පරදේසි ), සේපාලි මායාදුන්නේ ( මහාසාමි, සුවඳ සන්නිය ) සහ සුමිත්‍රා රාහුබද්ධ ( සිය සිය පත් සිය, කන්දක් සේ මා ) ආදි කතුවරුන් ද, තරමක දාර්ශනික අංශයක් වෙත තම නෙත යොමුකරමින් නිර්මාණකරනයේ යෙදෙන කැත්ලීන් ජයවර්ධන ද නිසා සිංහල ප්‍රබන්ධ සාහිත්‍යය සැලකිය යුතු මට්ටමක පවතියි. දැනට පළ කර ඇති පොතක් හෝ දෙකක් නිසා අපට අනාගතයේ බලාපොරොත්තු තබා ගත හැකි කෞශල්‍ය කුමාරසිංහ, චම්පා වෛද්‍යතිලක, විරාජිනි තෙන්නකෝන් වැනි තරුණ ලේඛක-ලේඛිකාවන් ද මා සිංහල නවකතාවේ රඳවනට සමත් ය. මා මේ කීවේ මට සැලකිය යුතු මට්ටමකින් පසු ගිය කාලයේ දැනුනු ලේඛක ලේඛිකාවන් කිහිපදෙනෙකු පමණකි - ලයිස්තුව අසම්පූර්ණ බව සත්‍යය.

ඉතින් මා කිය වූ 2018 ප්‍රකාශ වු කෘති 12 මාගේ රුචිකත්වය අනුව මා මෙසේ පෙළ ගන්වමි
( අගතියෙන් තොරයි ):

1- මා ප්‍රති. මා - පී. බී. ජයසේකර ****1/2 (මිනිසෙකු තමන් ගේ ජීවිතයට අර්ථයක් දීමට යා හැකි දුර ගැනත්, එහෙත් සිය හෘද සාක්ෂියෙන් මිදීමක් නැති බවත් ඒත්තු කරමින් මෑත ඉතිහාසය අලලා ලියූ විශිෂ්ඨ නවකතාවකි.)

2- අව පෑලවිය - දීප්ති මංගලා රාජපක්ෂ ****1/2 ( අද වන අප රට කුඩාම ගම බවට පත් ව ඇති ප්‍රදේශයක් ක්‍රමයෙන් එතැනට පත් වීම ඉතා රමණීය ලෙසත්, රසවත් ලෙස නවකතාමය හැඩයට නගා ඇති නිර්මාණයකි. වසරේ හොඳම නිර්මාණ කිහිපයෙන් එකකි. )

3- වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි ****1/2 (ජීවිතය විඳීම, පසුතැවීම, පසුතැවීම යන්න ම සවිඥ්ඥානක තීරණයක් ද ආදි ඉසවු ගැන පාඨකයා ක්‍රමයෙන් හොඳින් අඳුනාගන්නා චරිත කිහිපයක් මගින් කෙරෙන ගවේශනයක් මෙනි. විස්මිත ගෙත්තමකි.)
4- පැරිස් වලාකුළු - මංජුල වෙඩිවර්ධන **** ( මිය යෑමට පෙර තමලිනි ලියූ කෘතියක් මුල් කරගෙන ඈ ක්‍රියාත්මක වූ ව්‍යාපාරයට හිතැති පැරිසියේ වසන පිරිසකගේ අදහස් උදහස් දීර්ඝව සාකච්ඡා වන නවකතාවකි. ඉතා රසවත් ය. වසරේ හොඳම නිර්මාණයකි.)
5- රතු පලස - එරික් ඉලයප්ආරච්චි **** ( පරම්පරා තුනක් පුරාවට අප රට වෙනස් වන සමාජ දේශපාලන වටපිටාව රසවත් ව දිගැරෙන දීර්ඝ නවකතාවකි. අනාගතයේ අප ආපසු හැරි බලා හදාරන ආකාරයේ නවකතාවකි. )

6- අදිසි නදිය - කපිල කුමාර කාලිංග **** ( වචනාර්ථයෙන් සහ රූපකාර්ථයෙන් ගිලා බසිනා නගරයක් ( රටක්? ) එහි පාලකයන් විසින් අත්තනෝමතික ලෙස පාලනය කෙරෙන අයුරු ගැන ඩිස්ටෝපියානු ආභාෂයකින් ලියැවුන්නකි. )
7- මකරානන්දය - විරාජිනි තෙන්නකෝන් ****( තවත් වැව්ගම් කතාවක් ව ඇරඹීම හේතුවෙන් පාඨක සිත තුල නොපහන් බවක් ඇති විය හැකි මුත්, නවකතාවේ දෙවෙනි අර්ධය අප රට වර්තමානයේ සිදුවන ස්වයං රැවටීම් ආදිය හොඳින් නිරූපනය කෙරෙන, පුළුල් පරාසයක චරිතයන්ගෙන් පෝෂිත කෘතියකි.)

8- ඒ අහඹු අතීත හැන්දෑව - මංජුල වෙඩිවර්ධන ***1/2 (පේමතෝ ජායති අසෝකෝ වලින් පසු ව කිය වූ, සමාජවාදයට ආනත ආස්ථානයක සිට ජ.වි.පෙ. පිළිබඳ කෙරෙන සාර්ථක ගවේශණයකි; නුමුත් විටෙක අඛ්‍යායනය අයාලේ යන ආරක් ද ඇත.)

9- ඉස්කිරිම - දමිත් උදය දහනායක **** ( කතිකයා ගේ අවංක බව පාඨකයා වෙත පසක් කෙරෙන කාව්‍යමය බවකින් යුක්ත නවකතාවකි.)
10- ගුම් - බටුවන්ගල රාහුල හිමි ***1/2 (රූපක භාවිතයෙන් පොහොසත්, එහෙට කතු හිමියන් ගොඩනාගන්නා විභවය උපරිමයෙන් පළ නොදරන, එහෙත් සියුම් සිතිවිලි ජනිත කරවන ආරේ නවාකතාවකි.)

*11 - ඈත දුර ඈත - ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද ***1/2 ( හොංකොං රටේ ජිවන රටාව අලලා, දීර්ඝ කාලීන ආදර සබඳතාවක් බිඳී යාමෙන් පසුව නැවත තම දිවිය ගොඩනගා ගැනීමට යත්න දරණ කාන්තාවක් මුල් කොට ගත් ආඛ්‍යායනයකි. ) ( එකතු කිරීම 03/09/2020)

12- ධරණි - කත්‍යාණා අමරසිංහ *** (අවාසනාවන්ත යුගයක උපත ලද පරපුරක් ඔවුන් දායාද කරගෙන ඈ දිවියන් ගැන ආඛ්‍යායනයකි; එහෙත් එම තත්ත්වයන් මතුකරලීම වෙනුවෙන් නවාකතාවේ ස්වභාවය තරමක් වන්දි ගෙවා ඇත.)

13- සන්තිපරං - චම්මින්ද වෙලගෙදර ***(පිටු 500ක් පුරා දිගැරෙනා, 19 වෙනි සියවසේ රජරට විසූ මුතුන්මිත්තන් ගේ ජීවන අරගලය පිළිබඳ සවිස්තරාත්මක රචනයකි. භාෂාත්මක ගවේෂණ්‍යක් ලෙස කතුතුමාට පැසසිය හැකි මුත්, නවකතාවක් ලෙස පාඨකයා ව විඩාවට පත් කරන්නකි.)

( *2020 සැප්තැම්බර් මස තෙවෙනි දින සංශෝධනය කරන ලදී)


--------------------------------------------------------------------------------------------------------------

2019 වසරේ ප්‍රකාශ වූ, මා කියවීමට තෝරා ගත් නවකතා පිළිබඳ සාරාංශය  



2019 වසරේ ක්‍රමක්‍රමයෙන් කියවීමට තෝරා ගත් සිංහල නවකතා ගණන 16ක් දක්වා වැඩි විය. එතරම් සංඛ්‍යාවක් තෝරා ගැනීමේ නුසුදුසු බව ගැන මට ම දෙස් තබමින් වුව, දහසය ම කියවන්නට ඉටා ගත්තෙමි. එම පොත් සියල්ල කියවා හමාර ව ඒ ගැන විපරම් කරද්දි මෙසේ සිතේ.
- සිංහල සාහිත්‍ය පිළිබඳ උනන්දු අයෙක්  නම්, වසරින් වසර එහි සිදුවන ක්‍රමික වර්ධනයන් ගැන විමසන අයෙක් නම්, අවම වශයෙන්  මුල් පොත් පහ කියවීම අනිවාර්‍ය යැයි සිතමි.
-
සයවෙනි සහ සත්වෙනි ස්ථානයේ  පෙළ ගැසී ඇති නවකතා වල ද සාධනීය ලක්ෂණ බහුලය; කියවීම උචිතය.
- අටවෙනි ස්ථානයේ සිට දහතුන්වෙනි ස්ථානය දක්වා වූ නවකතා අනේක හේතු නිසා රස වින්ද ද (දේශපාලන පෙළගැස්වීම්, ත්‍රාසය, ඉතිහාසය), වසරේ හොඳම නවකතා නොවේ. කාලය ඇත්නම් කියෙව්වට පාඩුවක් නැත. -දහ හතරවෙනි තැන සිට දහසය වෙන් තැන දක්වා පෙළ ගැසුණු නවකතා කියවීම කාලය කා දැමීමක් ලෙස දකිමි.


කියවූ නවකතා වල පෙළගැස්ම මෙසේය.


1-
නිම්නාගේ ඉතිහාසය-කෞශල්‍ය කුමාරසිංහ ***** ( මෑත ඉතිහාසයේ සිංහල සාහිත්‍යයේ බිහි වූ අග්‍රගණ්‍ය ම නවකතාවයි. මෙය ජාත්‍යන්තරයට යා යුතු මට්ටමේ නවකතාවක් යැයි විශ්වාස කරමි. ලාංකික සමාජයේ මෑත කාලීන වෙනස් වීම, වෙසෙසින් ලිංගිකත්වයේ පිළිගැනීම පෙළ ගස්වා ඇති අයුරු ඇත්තෙන්ම අපූරුය.)

2- අතකින් අම්මාය, අතකින් මෙරමාය-පී.බී. ජයසේකර*****(ත්‍රාසය, අප රට සමාජ සංස්කෘතියේ ගැටළු, අලලා ලේඛකයා තවත් අපූරු නවකතාවක් බිහි කොට ඇත. මෙය මේ වසර හොඳම නවකතාව වීම වැලැක්වූයේ නිම්නාගේ ඉතිහාසය වන් කලකින් ලියැවෙනා අග්‍රගණ්‍ය කෘතියකි.)

3- පේත - එරික් ඉලයප්ආරච්චි****1/2
(බගන්දරා, රතු පලස මගින් පටන් ගත් පරම්පරා තුනක් පමණ දිගැරෙන නවකතාවක අවසානයයි. ජාතිකත්වය යන අදහස, බොහෝ අත්දැකීම් විඳි අයෙක් ට කෙතෙරම් අදාළ නොවන්නේ ද, අනෙකා ගේ ජීවිතයක් ඔහු හෝ ඇය ව ගෙන ඇති වාතාවරණය පටු අදහස් වලින් රෝගී වූ සමාජයක් කෙලෙස තේරුම් ගත හැකි දෝ යන ප්‍රශ්ණය, පාඨකයාට වද දෙන ආරෙන් මතු කරමින් මෙම නවකතා ත්‍රිත්වය අවසන් කරයි.)

4- ති හා තා - සුරත් ද මැල්**** (අපේ පරම්පරාවේ කතාවකි. එය ම අප ට ආකර්ෂණැයකි. ලියුම් ලියනා යුගයේ සිට, මැසෙන්ජර යුගයක් දක්වා වෙනස්කම් අත්දුටු අපි, අපේ මිතුරන්ගේ අත්දැකීම්, ඒ අද වන විට වෙනස් වූ පරිසරය, එම දාඩිය පිරි බස් ගමන් ආදිය සියල්ල ඇස් පනා පිට දිවෙනා සේයාවක් මෙන් දිගැරෙන, ඊට ගැලපෙන ජවයක් ඇති ආඛ්‍යාන රටාවකින් පෝෂිත, අප රට නවකතාව ගැන බොහෝ බලාපොරොත්තු ඇති කරනාකාරයේ නවකතාවකි.)

5- රුදු රොන් සුනු- කීර්ති වැලිසරගේ****(88-89 සමයේ එක් සුළු සිදුවීම් පෙළක් නිසා තම ජීවිතය ම කනපිට පෙරළුණු නවයොවුනෙකු, මැදිවියට ලං වූ පසුව තම ජීවිතය පිළිබඳ කෙරුණු පසුවිපරමකි. ඔහුගේ උපේක්ෂාසහගත විපරුම, ජීවිතය පිළිබඳ අපූරු කියවීමක් ගෙනදෙයි.)

6- කුමර කොබෙයි - ශමෙල් ජයකොඩි****(ශමෙල් ගේ පොත් වල චරිත වලට කිඳා බැස ඒවා වල ගැඹුර, ස්ථර පෙන්වනා ආකාරයට මම කැමතිය. ප්‍රංශ පෙම්වතා, වීනස්ගේ උපත මගින් මෙම ලක්ෂණය හොඳින් නිරීක්ෂණය කලෙමි. මෙහි එන කාන්තා චරිතයන්ගේ විවිධත්වය, ගැටළු, ජීවිතය විඳීම අත්නොහරින ස්වරූපය, අමරිකාව හරහා සංචාරයක් පසුපෙළට ගෙන පෙන්වා ඇති අයුරු අපූරුය.)

7- නිෂ්ක්‍රාන්තිය - සුනේත්‍රා රාජකරුණානායක****(මෙය ඇත්තටම වසරේ හොඳම පොත් පහ අතරට ඒමට තරම් විභවයක් හිමි කෘතියකි. ලේඛිකාව බොහෝ පරාසයන් අලලා, මනරම් ආකාරයෙන් ලියූ නවකතාවකි. එහෙත් අවසනට වන්නට හදිසියේ කාලීන අවාසනවන්ත සිදුවීමක් එබ්බ වූ ආකාරය මා සිත් ගත්තේ නැත.)

8- කන්ද උඩ ගින්දර - ජැක්සන් ඇන්තනී****
( නරේන්ද්‍රසිංහ රජු කෙරෙහිත්, සමස්ත ලෙස අප ඉතිහාසයේ රජුන් කෙරෙහි ද තරමක් සානුකම්පිත බැල්මකින් ලියූ කෘතියකි. අප රදළ පරම්පරාව ගැන එතරම් ම ප්‍රශංසනීය චරිත සහතික නොදෙන මෙම නවකතාව ලියැවී ඇති ඓතිහාසික ස්වරූපයේ යම් ආකර්ශනයක් දිටිමි.)

9- කොට තුවක්කු - ප්‍රියන්ත ලියනගේ****(2019 වසරේ කියවූ දේශපාලනයට මුල් තැන දුන් නවකතා දෙකෙන් එකකි; දකුණේ කැරැල්ලත්, උතුරේ කැරැල්ලත්, ඒවායේ පරාජයනුත්, ජාතින් වශයෙන් වෙන්වනු වෙනුවට ආදරයේ දේශපාලනයක් මගින් ඔවුන් එකතුකරලීමේ අරමුණු කියාපානා නවකතාවකි. රසවිඳි කියවීමකි)

10- තම්මැන්නා - සුමිත්‍රා රාහුබද්ධ*** (මෙය අප රට 20 වන සියවසේ දේශපාලනය අලලා ලියවිය යුතු ම ග්‍රන්ථයකි. එහෙත්, ප්‍රවීණ ලේඛිකාවක වුවද සංස්කරණය, සෝදු පත් බැලීම අත්‍යවශ්‍ය ඇයි යන්න ට නිදසුන් පමණක් නොව, වරෙක වාර්තාමය ස්වරූපයක් ද ගැනීම හේතුවෙන් මෙම කෘතියට මීට වඩා ඉහළට ඒමට නොහැක.)

11- දෑවාන - සේපාලි මායාදුන්නේ***1/2
(අප රට බෞද්ධ ශාසන ඉතිහාසය අලලා ලියැවුණු, යම් ශික්ෂණැයකින් කියවිය යුතු ග්‍රන්ථයකි. ලේඛිකාව සැලකිය යුතු පරීශ්‍රමයක් යොදැ ඇති බව පැහැදිලි වුව, නවකතාවක් ලෙස බහුතර පාඨක ප්‍රජාවකගේ රස විඳීම ට භාජනය නොවෙනාකාර කෘතියකි.

12- ඉවුරු... ගඟ සිඳී ගිය දා***1/2
(අප රට සමාජය පෙළෙනා බොහෝ ගැටළු ගැන විමසුම් සහගත, උපේක්ෂාසහගත, විමසුමක් ව පටන් ගෙන, සාර්ථකත්වයක බොහෝ විභවයන් සැල කොට, දෙවෙනි අර්ධයේ වූ ආඛ්‍යාන හරඹයක් හේතුවෙන් මා එතරම් සිත් නොගත් කෘතියක් ලෙස අවසන් වූවකි.)

13- 12.12.12 - මංජුල සේනාරත්න****
(වේගයෙන් පිටු පෙරළමින් කියවීමට යොමු කෙරෙන ත්‍රාසජනක නවකතාවකි; අන් කෘති වල මෙන් හුදෙක් සාහිත්‍යමය රසයම මතු නොවූව ද, පසුව වටහාගත් තාක්ෂණික ගැටළු තිබුන ද, කියවන අතරවාරයේ මා එය රස විඳි බව පිළිගැනීමක් වශයෙන් මෙසේ පෙළ ගස්වමි.)

14- පිටකොටුවේ රාත්‍රියක්-රෝෂන් නිශාන්ත විජේසිංහ***1/2
(එදින විශ්‍රාම ගිය අයෙකු, එදින රාත්‍රිය පිටකොටුවේ ගතකරමින්, කෙරෙනා එක්තරා අන්දමක ජීවිත ආවර්ජනයකි, පසුතැවීම් මෙනෙහි කරන්නකි; පිටකොටුවේ රාත්‍රි කළු ජීවිතය ගැන බලාපොරොත්තුවෙන් පොත කියවීමට ගත්ත ද එම අඳුරු චරිත අඳුරේම සිටීම හේතුවෙන්, හා ආඛ්‍යාන රටාව කියවීමේ වෙහෙසකරබව නිසා එතරම් සිත ගත්තේ නැත.)

15- රතු ඉරි අඳින අත - ලියනගේ අමරකීර්ති ***
( සමාජ දේශපාලන පණිවුඩයටම මුල් තැන දෙමින්, ගෙතුනු එතරම් විශේෂත්වයක් නොමති නවකතාවකි. මෙතෙක් ලේඛකයාගේ කියවූ අසාර්ථකම නවකතාව යැයි සිතුණි. සාහිත්‍යමය රසය සහ විශ්වාසය දෙවෙනි තැනට දැමිම ඊට ප්‍රධාන හේතුවකැයි සිතමි.)

16- සංක්‍රාන්ති සමයක - ගුණදාස අමරසේකර *1/2
( මුල් අර්ධයේ සාහිත්‍යමය් අරසයක් තිබුන ද, දෙවෙනි කොටසේ සිදුවීම් සිදුවීමේ සම්භාවිතාව ප්‍රමුඛ වශයෙන් ඇත්තේ කතුවරයාගේ මනසේ ම පමණක් විය යුතුය. එම ආස්ථානය ද පටු එකකි. මෙවන් නවකතා ලිවීම ගැන දෙවතාවක් සිතිය යුතු යැයි පෞද්ගලිකව විශ්වාස කරමි.)


(2022 මාර්තු දහඅටවෙනි දින පෙළගැස්වූවකි)


-----------------------------------------------------------------------------------------------------------------------

2020 වසරේ ප්රකාශ වූ, මා කියවීමට තෝරා ගත් සිංහල නවකතා පිළිබඳ සාරාංශය, සහ පෙළ ගැස්ම

1- ජීවිතයේ ඔයිල් පැල්ලම්
2- පින් මඳ මහ බිසව්
3- ආරාමදාස
4- මුක්ති
5- මැස්සා
6- භේරුණ්ඩ කැදැල්ල
7- කෝමල මානවක
8- ඩොල්කි
9- මඩරන්
10- කඳ අරණි

සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න
http://me-and-err.blogspot.com/2023/06/2020sinhalanovels.html
(2023 ජුනි මස දසවෙනි දින ලියූවකි)


No comments:

Post a Comment