Monday, 25 May 2020

අව පෑළවිය - දීප්ති මංගලා රාජපක්ෂ

2019 ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට  සහ එම වසරේ ම ගොඩගේ  සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උදෙසා ද නිර්දේශ වූ දීප්ති මංගලා රාජපක්ෂ ගේ අව පෑළවිය නවකතාව කියවූවෙමි. 1970 දශකයේ සිට 1990 දශකයේ මුල් භාගය පමණ කාල සීමාවේ, මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල ආසන්නයේ වන වල්පොළමුල්ල ජීවත් වූවන්ගේ ජීවන සුවඳත්, රටේ සිදුවන වෙනස්කම් ඉදිරියේ ඔවුන්ගේ ජන ජීවිත වෙනස් වූ අයුරුත්, ඒ ඔස්සේ යටි පෙළක් ලෙස වෙන්ස්වීමේ නොනිත් ස්වභාවය ගැන සාහිත්‍යමය ගැඹුරු කියවීමක් ලෙසත් මෙය මහත් සේ රස විඳිය හැකි කෘතියකි. දරුවන් දෙමාපියන් හැර ජීවිත සාර්ථක කරගැනීමේ තැතින් ද, ගැමියන් වගා පාළුව හේතුවෙන් ද, වරෙක වල් අලින්ගෙන් බේරීමට ද, විටෙක නීතියෙන් බේරිමට ද,  ආදී හේතූන් මත තම ගම් දනවු හැර දමා යාම නිසා එම පිටිසර දුම්බර ගම දනව් වල ජන අනුපාතය ඉතා අඩු විය. වැඩිහිටි පරම්පරාව පමණක් ඉතුරු වන ස්වභාවයක් පෙනෙන්නට තිබිනි.  අනතුරුව, වනජීවී ආරක්ෂණ නීති රීති හේතුවෙන් තමන් මහත් සේ හිතමිතුරු වූ කැළය ට යාම තහංචි වී, ඉන් ද අනතුරුව, වාරිමාර්ග සංවර්ධන කටයුතු හෙතුවෙන් වන්දි ලබා දී ඉතිරි ගැමියන් ද ගම හැර යාමට උපදේශ ලැබීමත් නිසා ජන ශූන්‍ය කලාපයක් බවට පත් විය.  මෙ කෘතිය කියවීමෙන් අනතුරුව, අන්තර්ජාලයේ කරුණු පිරීක්සු කල, මේ නවකතාවට මුල් වන වල්පොලමුල්ල ගැන සඳහනක් කුසුම්සිරි විජයවර්ධන ගේ ලිපියකින් හමු විය ( . ඔහු  වාර්තා කරන්නේ 2013 දී වල්පොලමුල්ලේ තිබුන්නෙ එකම එක ගෙයක් බවත්, එය ලංකාවේ කුඩාම ගම බවත් ය.  එහි වසන්නේ ද එම ගමේ  ප්‍රාරම්භකයා යෑයි කියන මාපාහාමි මුත්තාගේම පෙළපතේ අය බවත්, ජගත් කණහැරආරච්චි ගේ ලිපියක සඳහන් වේ. මාපා පරපුරේ වෙද පවුලක් මේ නවකතාවේ ද වේ. පහත දැක්වෙන්නෙ එම ලිපියන් ලබා ගත් ඡායාරූප කිහිපයකුත් ය.


ඉදින් නවකතාවට එන්නේ නම්, මෙලෙස දුම්බර අතහැරී ගිය කැළෑ ගම්මාන සහ එහි ජීවත් වූ පොළොවට බරක් නොවූ, වනදහනේ ම කොටහක් ව බද්ද වී ජීවත් වූ අප රට මෑත පරම්පරාව ගැන කතාව මීට පෙර නවකතා ආරකින් කතා වී තිබුනේ දැයි නොදනිමි. ලේඛිකාව, එම පෙදෙස් හි දවස ගෙවී යන වේගයට සමමුහුර්තක තානයකින් ඔවුන්ගේ ජීවිත ද ගෙවී ගිය අන්දම අපූරුවට රචනා කොට ඇත. එම පෙදෙස් හි සුන්දරත්වය අංශුමාත්‍රයක් හෝ අඩු නොවෙන විදිහට එහි විස්තර කොට තිබුන ද, එම ගැමියන් විඳි දුක් ගැහැට ද ඒ අයුරින් ම සඳහන් කරන්නේ එම පෙදෙස් වලට ව්‍යාජ රෝමාන්තික බවක් අත් නොවෙන අයුරින් ය.
"අහස් වියන වසා ගත් ඝන මීදුම් කැරලි සහ පොළෝ තලය වසා ගත් සීතල දිය දහරා  අතර මැද වල්පොලමුල්ලේ මිනිසුන් ගේ ජීවිත නම් ගලා ගියේ රිද්මයකට නොවුණි. ජීවන ගැටලුව හිස මත පටවා ගත් ගම්මු අප්‍රමාණ දුක් අනුභව කළහ. පරිසරයට අනුගත වී ගත නොවුණු තාරුණ්‍ය හැමවිටම ගම හැර ගියහ" ( 236 පිටුව )

තාරුණ්‍යයේ අදහස වූයේ,
"මේ මානිගලෙන් පහළ හතර අතින් වට වෙච්ච කැලෑ ගමක... අපට කොහෙන්ද ජිවිතයක්..." ( 237 පිටුව )
කියාය. එය සාධාරණ ආස්ථානයකි. සංචාරකයින් ලෙස, දුම්බර සීතල, සුන්දරත්වය, පතන්  බලා නැවත කොළඹ ( තේරෙනෙ බසෙන් ම කියන්නේ නම්, 'හැපනින්' ජීවිතයට)  ඒම එකකි. ඒ එන අය සංචාරකයින් ට ඔවුන්ගේ දෛනික ජීවිත රටාව විස්තර කොට, සුපුරුදු දුක් අනුභවයේ නිරත වීම තවෙකකි. එම දුක් අනුභවය ඉවසීම, එක්කෝ  අලසකමකි - නැතිනම් මුනිවර ගතියකි. තරුණයින් එලෙස කරන්නේ නම් එය ඉතාමත් දැනුම් තේරුමෙන් ගත යුතු තීරණයකි.  එලෙසම මෙහි වෙසෙන්නන් ගේ ඉවසීම ප්‍රගුණ කිරීම හේතුවෙන්, ඔවුන් මැදිවිය පසුකරත් ම ස්වභාවයෙන් ම මුණිවර ගතිගුණ යම් පමණක් පිහිටම ද බලාපොරොත්තු විය හැක. කිම ද ඔවුන් ගේ දූ දරුවන්, අසල් වැසියන් ගම් අතැර යාම ඔවුන් උපේක්ෂාවෙන් බලා සිට ඇති නිසා ය. ඔවුන් අවසන තම ගම් බිම් හැර දමා යන්නේ එය ද "වැව් ගම් පත්තුවට, උඩ සිය පත්තුවේ ඇත්තන්ගේ පැන් පූජාවක්", ලෙසින් සිත් සාදා ගනිමිනි.

මෙහි ප්‍රධාන චරිතය වන දිසාරත්න වල්පොලමුල්ලට පැමිණෙන්නේ පතනගම සිටය. ඒ රෙඩ් බානා කොම්පැණිය එන්සාල වගා කල යුගයේ දීය.  එනම් 1970 දශකයේ මුල වාගේ විය යුතුය. එදා සිට ඔහු ගේ මරණය තෙක් ඔහු වල්පොලමුල්ලට මුල්ලැද්දෙකි.  වෙනස් වීම් ඉදිරියේ අනේක දුක් කඳුළු අනුභව කල ඔහු ට එම පොළොව අතැර යාම වාවා ගත නොහැකි විය. වල්පොලමුල්ල, ඇටන්වල, මානිගල, හීන්ගඟ, තෙල්ගමු ඔය ආශ්‍රිත ජීවිතය ඔහුගේ ජීවිතය විය. ( හීන් ගඟ ගැන නිතර සඳහන් වන්නේ, මීමුරේ ගිය මගේ ගමන සිහි කැඳවීමෙනි.)

ලේඛිකාව දුම්බර ඇටන්වල ආශ්‍රිත පෙදෙස් හා වනපෙත විස්තර කර ඇති අයුරින් ඈ එම පෙදෙස් පිළිබඳ සෑහෙන හැදෑරීමක් කොට ලියා අති බව පැහැදිලිය. පිටු 375ක් පුරා දිවෙන නවකතාව, එකල දුම්බර පෙදෙසේ ජනජීවිත මුදු වේගයට අනුගතව ඉවසීමෙන් කියවිය යුතුය - එහෙත් එය ආයාසකාරී කියවීමක් නම් නොවේ. අවසානයේ පවුලක විසිරුණු ඇත්තන්ගේ නැවත හමුව යම් ආකාර අභව්‍ය ගතියක් ඉඟි කල ද, එය නවකතාවේ සමස්ත වටිනාකම පළුදුවට තරම් නොවේ.  මෙවන් කෘති සම්මාන නිර්දේශ අවසන් වට වලට පැමිණීම පාඨකයන්ගෙ උද්දාමයටත්, සම්මානයේ කීර්තියටත් හේතු වේ. නිකිනි කළුවර කෘතියෙන් පසුව, පළ කල මේ කෘතියත් සමඟ ලේඛිකාවා අතිසාර්ථක නවකතා දෙකක් පෙළට පළ කොට ඇත ( ඇගේ ඉන් පළමු පළ කල නවකතා කියවා නැත ).

ආශ්‍රේය ලිපි: දුම්බර කඳුකරයේ සැඟවුණු ගම්මාන - කුසුම්සිරි විජයවර්ධන
https://roar.media/sinhala/main/features/dumbara-forest-isolated-villages/




No comments:

Post a Comment