Saturday, 16 May 2020

බුද්ධදාසි - සුනේත්‍රා රාජකරුණානායක

බුද්ධදාසි - සුනේත්‍රා රාජකරුණානායක
================================
****1/2
මෙතෙක් මා ලේඛිකාවගේ කියවා ඇති පොත් වලින් කැමතිම පොත සද්ගුණාකාරයයි. එහෙත් කෙනෙකුන් ලේඛිකාවගේ මා කියවා ඇති පරිපූර්ණම නවකථාව කුමක්දැයි විමසුවහොත්, ඒ බුද්ධදාසි බව මට පිළිගැනීමට සිදුවේ ( සැ.යු- මා ලේඛිකාවගේ මුල් කෘති කිහිපයක් කියවා නැත. )

නවකථාවේ බොහෝ සාධනීය ලක්ෂණ ඇත. දුර්වල තැන් ද නැතුවා නොවේ. ලේඛිකාවගේ පස්වන මිහිඳු යුගයේ අනුරාධපුරය පිළිබඳ විස්තරය සිත්ගන්නා සුළුය. එය කෙතෙර්ම් නිවැරදි යන්න මතභේදාත්මකය. අදට වසර නවසියයකට දහකට පෙර යුගයක සමාජමය වටපිටාව ගෙතීම පහසු නැත. එය ලේඛිකාවගේ ඒ යුගයේ කියවීම, හා පාඨකයා ඒ යුගය යැයි බලාපොරොත්තු වන සමාජ පසුබිම යන්න අතර සිදුවන දෝළනය කි. "විශ්වාසනීයත්වය" යන්න මේ දෙක අතර සමපාත වීමේ ප්‍රතිශතයයි. දෙදෙනා ගේම කියවීම වැරදි වීමට අපමණ ඉඩ ඇත. එහෙත් ලේඛිකාව ගෙන හැර දකවන දේශපාලන වටපිටාව - ගැටීම්, පාවාදීම් ආදි වූ කටුක දේශපාලනය ඈ ඉතා සාර්ථකව ගෙන හැර දක්වයි. සමහර විතෙක වර්තමාන දේශපාලන හැළහැප්පීම් ඈත මහඟු ආභාශයක් වන්නට ඇත. නන්ද පරුමකයා වේවා, කාලිංග සේනාපති වේවා, ඔවුන් තම දූවරුන් තමන්ගේ අභිමථාර්තයන් ක්ෂාත්ක්ෂාත් කරගනු වස් භාවිත කරනායුරු ආදිය පාඨක සිත ඇදගන්නා අයුරෙනුත්,අද සිට ඉතිහාසය දෙස අප බලනා සාපේක්ෂ ඇසට විශ්වාසනීයත්වයක් ඇතිකරවනායුරෙනුත් ගෙත්තම් කොට ඇත.

නවකථාවේ පළමු පිටු 60-70 කියවීම පමණක් ආයාසකාරීය. එහෙත් මේ මුල් ආයාසකාරී අවදිය පසුකල ඇත්තෙකු නිරායාසයෙන් අනුරාධපුර වැසියෙකු වන්නේ තමනුත් නොදැනීමය. කතුවරිය ඉදිරිපත් කරනා අනුරාධපුරය පිළිබඳ මට අවිශ්වාස එක් සාධකයක් වන්නේ ඈ කියනා පමණින් අන් වර්ග වල ජනතාව ඔය කියනා යුගයේ අප රට වැසියන් ව, ප්‍රධාන සංස්කෘතික ධාරාවට බද්ධ නොවී, ස්වීකරණය නොවී සිටියාද යන්නයි. ඉතිහාසය පිළිබඳ යම් දැනුම් ඇත්තෙක් මේ පිළිබඳ අදහස් දැක්විය යුතුය. ඒ පිළිබඳ අදහසක් නැති පුහු බහු-ජාතික වාදි බහු-ආගමික වාදි අයගේ අදහස් වලින් මේ කරුණ විසදීමට වෙන සෙතක් නැත.

චරිත ඉදිරිපත් කිරිම අතින් සැලකූ කල ලේඛිකාව බෙහෙවින් රූපසරාගේ චරිතයට සාධාරණයක් ඉටුකොට ඇත. පොත නම අනුව නම් ඇය කථානායිකාව නොවූ වද, "ඔරුව පෙරළෙන" තෙක් ම අවධානය යොමු වන චරිතය ඇය යැයි සිතෙන සුළුය. එහි දොසක් ද නොදකිමි. සමස්තයක් ලෙස ගතහොත්, මේ කෘතිය පුරාවට ම බුද්ධදාසි තරම් ම හෝ එම චරිතයත් අභිබවා රූපසරා නම් චරිතය පෝෂණය කොට ඇත. ඇත්තෙන්ම ඔරුව පෙරලීම මේ නවකථාවේ හැරවුම් ලක්ෂයකි. ඉතා ඉක්මනින් වෙනස් වන දේශපාලන ප්‍රවාහයක් තුල ගමන් ගනිමින් තිබූ නවකථාව එක්වර එම ගම්‍යතාව අතැර, "ආත්මගවේශි" ( සම්මත අදහසින් ) නතහොත් වඩාත් නිරවද්‍ය ලෙස කිවහොත් අනාත්ම ලක්ෂණය විචාරණ ආනතියක් කෙරේ ඇදී යයි. මේ වන විට මේ දීර්ඝ නවකථාවේ 75% පමණ කියවා හමාර කල සිටි පාඨකයා එකවිට නැවත මන්දගාමි කරවන සුළු ගතියක් මෙම "චෝල මණ්ඩලම් ආල මණ්ඩලම්" පරිච්ඡේදය පමණ වන විට ඇති වේ.

එහෙත් මේ කොටසේ ගත යුතු වටිනා කියුම් කිහිපයක් හමුවුණ හෙයින් ඒවා ඉදිර්පත් කරන්නෙමි:
"අනුන්ගේ රටක, අනුන්ගේ ගෙදරක වැඩක් පලක් කරගෙන පවුලේ කෙනෙක් වගේ ඉඳීම, පුෂපලතාට පහසු වුණාට රූපසරාට අසීරුයිනේ. ජීවිතය බේරීමේ අක්ම්පනය තුනීවෙනකොට ගේ දොර, වතුපිටි, දැසි දසුන් පාලනය කළ රජ පවුලට ඥාඉ ප්‍රභූ ස්ත්‍රිය මතු වුණාම, රූපසරාමූණදුන් අභියෝගය බුද්ධදාසිට හොඳින් වැටහුණා. කවර පරිසරයක හරි නැවතත් ප්‍රභූ ස්ත්‍රියක් විමේ උවමනාවටත් තමුන්ගේ ස්වාමියා මිය ගිය සෝචනීය ස්වභාවයත් එකට පෑහිලා මාතා නිවාසය බිහි වෙන්න ඇති. ඒත් උතුම් කටයුත්තක යෙදෙන කෙනෙක් තුළ තිබිය යුතු මෛත්‍රි ප්‍රඥ්ඥාව අම්මාගේ හිතේ නැති බව දුවට දැනුනා" (552 පිටුව )."
""නැන්දේ තනිකම කියන්නේ, තමා එක්ක ඉන්න නොදැන සිටීම විතරයි." (555 පිටුව )

ඓතිහාසික කරුණු විමසුමකින් අවසන් කරමි. ඉතිහාසයේ සැම තන කියවෙන්නේ පස්වන මිහින්ද්ධු රජු අතිසය දුර්වල පාලකයකු බවයි. අප ලේඛිකාව පවසන්නේ දේශපාලන‍ය පසුබට, එහෙත් ජීවිතයේ සුන්දර තැන් පිළිබඳ ලෝලිතවයක් තිබූ කෙනෙකුන් බවයි. එනම් හේ ද එක අයුරකින් දේශපාලන සිරකරුවකු බවයි. අනෙක් කරුන අප රට සංඝයා වහන්සේ කෙතෙරම් තීරක ලෙස දේශපාලන‍ය ට මදිහත් වී තිබුණේද යන්නයි. මෙය මෑතක් වන තුරුම තිබිණි - දැන්නම් එය එසේදැයි සැක සහිතය. අනෙක් කාරණය නිලධාරි පැලන්තිය සැමදා සාමාන්‍ය ජනතාව තැලීමට පෙළීමට නොපසුබට වූ බවයි. අද ද එසේ මය.
(  2014 අගෝස්තු මස 9 වෙනි දින මුහුණ පොතේ 'පොත් කියවන් අය' සමූහයට එක් කල ලිපියක අසංශෝදිත පිටපතකි )

No comments:

Post a Comment