Saturday 16 May 2020

කුරුලු හදවත - ලියනගේ අමරකීර්ති

අමරකීර්ති, දේශපාලනය, අමරරත්න සහ පාඨක අපි
(හෙවත්, කුරුලු හදවත ගැන පාඨක අදහස් කිහිපයක් )
============================================


***1/2

1- පසුගිය දිනෙක දිණමිනේ රංජන් අමරරත්න විසින් ලියා තිබූ ප්‍රහාරාත්මක විචාරය හේතුකොට ගෙන 2014 දී කියවීමට ඉටා සිටි ලියනගේ අමරකීර්තිගේ "කුරුලු හදවත" 2013දී ම කියවා, පාඨක අදහසක් ලෙස මෙය ලේඛන ගත කරමි.

2- කුරුලු හදවත කෘතියේ ප්‍රධාන සාධකය අප රට කුලය තවම කුමන අයුරකින් සමාජමය බලපෑමක් කරන්නේ ද යන්න බව පැහැදිලිය. මෙම තත්ත්වය කතුවරයා ඉතා තාත්වික ලෙසත්, අව්‍යාජ ලෙසත් තම විෂය කොට ඇති බැව් පැහැදිලිය. මා මේ පොත පිළිබඳ කියූ බොහෝ විචාර වල ( උදා - The Nation , බූන්දි ) දැනටමත් මේ ගැන දිගින් දිගටම කියා ඇති හෙයින්, ඒ පිළිබඳව වැඩි යමක් නොකියමි.

3- මීට කලකට පෙර කියවූ අටවක පුත්තු වේවා, කුරුලු හදවත වේවා මා අමරකීර්ති අප ගම නවකථාවට නගනා අයුරු කියවීමට රුචිය. හේ ඉතා අව්‍යාජ හා තාත්වික අයුරින්, ගැමි සොබාදම ද, එහි ඇති අවිහිංස්කතවය හා කුහකත්වයත්, ගුණ ගරුක කම් හා කුපාඩිකමත් ආදි හොඳ නොහොඳ, තම අත්දැකීම් අනුසාරයෙන් යැයි සිතෙන පරිදි පරිද්දෙන් මන බඳිනා අයුරෙන් ලියයි.

4- පිටු 200න්, 220න් පමණ පසු දිගහැරෙන කථාව අමරකීර්තිගේම අටවක පුත්තුත්, රාජකරුණානායකගේ පොදු පුරුෂයා, සුබෝධාලංකාරය ආදියෙන් කියවෙන පරිසරයෙනුත් වෙනස් වනුයේ ඔහු තෝරාගෙන ඇති ඇෆ්-ඇම් නාළිකාව හා සබැඳි පරිසරයෙන් පමණි ( විශ්ව-විද්‍යාලය, රාජ්‍ය නොවන සංවිධාන ආදි පරිසරය වෙනුවට ). එහෙත් පෙර කී කෘති වලින් සිදු නොවුණු යමක් කුරුලු හදවත හරහා අමරකීර්ති ඉතා සාර්ථකව ඉටු කොට ඇති සේය. ඒ ඔහුගේ දේශපාලන දර්ශනයට සිත්-ඇදගන්නා සුළු වාහකයක් ලෙස තම නව කථාව රචනා කොට තිබීමයි. එම දේශපාලන පණිවුඩය නොවේ නම් මෙයත් නූතන, ව්‍යාජ, මුදල් පසුපස හඹා යන සමාජය පිළිබඳ තවත් කථාවක් වනු ඇත.

5-නවකථාව කියවාගෙන යන කල සරත් තුලින් කථාකරනුයේ අමරකීර්තිමදැයි මට සිතුනු අවස්ථා බොහෝය. බලන්න 295-297 පිටු - සරත් විසින් දිනසිරිට ලියූ ලිපිය:
"..මියිරුඑෆ්-එම් කාරයොයි, එයාලට දැන්වීම් දෙන සමාගමුයි, එව්ව පිටිපස්සේ ඉන්න දේශපාලකයොයි ඔයාගේ වචන මාලාව යොදාගන්නේ උන්ගේ ව්‍යාපෘති ගමට ගෙනියන්න. විවෘත ආර්ථිකේ වැඩ කොටස සම්පූර්ණ කරන්න..."
"ඊටත් වඩා භයානක දෙයක් මට පේනවා. ඔයා ජනප්‍රිය කරපු වචන මාලාව ඉතාම දරුණු ජාතිවාදීන්ගේත් සටන් පාඨ වීම. අපි කාටත් මේ අනතුර දැන්ම පේන එකක් නෑ..."
" අපේ ගම අපේ සංස්කෘතිය දැනටමත් විශිෂ්ඨයි, අපි තමයි හොඳම මිනිස්සු කියලා ,ඒ තරම ළාමක විදිහට හිතන ජනතාවකට අපේ රටේ කිසිම වැදගත් වෙනසක් කරන්න බෑ.."

6-"තමා අයත් පරම්පරවේ හා තමා වසන යුගයේ හදවතෙහි සියුම් තැන් පිරිමදිමින් ද, ඒ හදවත රිදෙන ප්‍රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේශණය කිරීම ප්‍රබන්ධ රචකයාගේ කාර්යයෙන් කොටසකි", ‍යැයි කෘතියෙ පිටුපස සඳහන් ය. ඒ කාගේ අදහස් දැයි නොදනිමි. එහෙත් ප්‍රශ්න ඇසීම යන්න පිළිබඳව ලේඛක තෙමේ තම මුඛ්‍ය අවධානය යොමු කොට ඇති බැව් අවිවාදිතය. විවෘත ආර්ථිකයේ ජාතිකත්වයට ඉල්ලුමක් ඇති බවත්, ඒ හරහා ජාතිකත්ව මතදාරීන් අතකොළු වන බවත් අමරකීර්ති සිතනා සේය. "නලියා" "බයිටක්" වන අර්ථයෙන් ලියැවෙන්නේ එසේය. "අපි මේකව ගෙන්නමු ප්‍රොග්‍රෑම් එකකට. ගෙනැල්ල අනික් පැත්තෙන් නලියව හරි කාව හරි ගෙනැල්ල අන්නමු. විජාතිකයෙක් අරක මේක කියලා ෆෝම් කරල ගත්තම නලියා දෙයි ඇට්ටි හැලෙන්ඩ. මුං මුක්කුද ඌට!" (302 පිට ) විවෘත ආර්ථිකය හමුවේ ජාතිකත්වය පමණක් නොව කවුරු කවුරුත් අතකොළු බවත්, විවිධ මාර්ග හරහා කාගේ කාගේත් දේශපාලනයන්ට කෙකර ගගහා සුජාත බවක් ආරූඩ කරගැනීමට උත්සක වන බවත් පාඨකයාට අවබෝධ කර ගත හැකිය.

7- අමරසේකර තම දේශපාලන මතවාදය දේශපාලන වේදිකාවේ දි ප්‍රකාශ කරයි. ඔහුගේ කොටස් නමයකින් හෙබි මැද පංතියේ කථාන්දරය, ඔහුගේ එම දේශපාලන දර්ශනය ඉතා තනුක කර, අතරමං වෙවී ගමන් ගන්නා කථා නායකයාගේ ජීවන කථාව හරහා උත්පාදනය කිරීමට යත්න දරා ඇත (එහි අවසන් කොටස් තුන තවම මා කියවා නැත.) එහෙත් හේ පෙර කලෙකැ "යළි උපන්නෙමි" ආදි කෘතීන් ලියූ නිසාත්, තම දේශපාලන මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඒ සඳහා පෙනී සිටිනා නිසාත් එය මිම්මක් කරගෙන අප රට සාහිත්‍ය හා බැඳි පිරිස් අමරසේකර ලියන්නේ දේශපලනයයි කියා හංවඩු ගසා අවසන් ය. ඒ පිළිබඳ මගේ සිතේ ඇති වූ අදහස මේ පරිද්දෙනි - "ඉතින් හද්දෙයියනේ දේශපාලන මතය තම ඉලක්කය කොරං අපේ රටේ පොත් ලියන්නේ ඒ වයසක මනුස්සයා විතර ද ? අමරකීරිත් ලා, වෙඩිවර්දන ලා ලියන්නේ ඔවුන්ගේ දේශපාලනය ගෙඩි පිටින්ම නෙමේ ද ? එහෙම නැත්තං මේත් 'ඌත් වලා - මූත් වලා -අපේ වලා අපිට හොඳා' යන්නෙහි 'වල්කම' වෙනුවට 'දේශපාලන මතය' යන්නෙන් ආදේශ කර, ඊට විවෘත මනස - පුළුල් දැක්ම ආදි වදන් වලින් තම මතය 'ඔප්නැංවීමක්' නොවේ ද ? "

8-අමරකීර්ති හා පාඨක මා දේශපාලනිකව දෙතැනක බවත්, ඔහුගේ අරමුණ මට හඳුනාගත හැකි බවත් කීමෙන් මා නොනවතිමි. ඔහු තම පණිවුඩය පාඨකයා කථාවසානය දක්වා රඳවාගත හැකි ආරේ නිර්මාණයක් හරහා ගෙන එයි. එහි නව්‍යතාවක් තියෙන තුරා, විසංවාද මනසකින් යුතුව හෙට දින ද ඔහුව කියවමි. "උන්ටයි, අපිටයි දෙගොල්ලන්ටම හෙනේ විවෘත ආරිතිකේ තමයි", කියා එහි උත්ප්‍රාසය ගැන සිනා සෙමින් මා හෙට දින ද අමරකීර්ති පමණක් නොව වෙඩිවර්ධන ද කියවමි - අමරසේකර ද කියවමි - "නලියා" ද කියවමි. ඒත් මට වඩා සූක්ෂමව කෘතිය කියවූ රන්ජන් අමරත්නයන් තම විචාරය පෞද්ගලික බැට දීමකැයි හැඟෙනා අයුරෙන් ලියා තැබීම මට තරුම් ගත නොහැක. සුසන්ත මහ-උල්පතගේ මනරම් බසට වශී වූ අමරරත්න, අමරකීරිත්ගේ එතරම් මනරම් නොවූ (ඉන්ගිලිසියෙන් not-so delightful යන අර්ථයෙන්) බසට දොස් තැබීම සාධාරණය. එහෙත් ඊට හඩු බසක් යැයි කීම යුක්ති සහගත ද ? කිමද, සිහළ මහැදුරු අමරකීර්ති තෙමේ මනරම් බසක් භාවිත නොකරනුයේ, තම මතවාදයට වඩා ඖචිත ඔහු භාවිත කරන ග්‍රාම්‍ය බස නිසා නොවේ ද ? (බලං ගියහම නලියා විතරක් නෙමෙයි කවුරු කවුරුත් තම තම මතවාද වලට අතකොළු වෙනවා වගේ නේ ? )

9- යමක් කීමේ ක්‍රමයක් ඇත. එම ක්‍රමය, සදාචාරයේ හා කපටිකමේ සියුම් මුසුවක් නිසා විය හැකිය. අමරරත්නගේ ලේඛණයෙන් හේ ආත්මතෘප්තියක් ලැබුවා විය යුතුය. එහෙත් ඔහු කී වලංගු කාරණාද සමාජගත වූවාදැයි යන්න ප්‍රශ්ණාර්ථයකි. සම-මතදාරීන් කෘතිය ඔසවා තබනවා ඇතිය ("කලාකෘතියක් යනු ව්‍යාපෘතියක් බැවින් අමරකීර්තිගේ සමාජ ප්‍රාග්ධනයට අනුව එවැනි ඔසවා තැබීම් සිදුවිය හැකිය" - අමරරත්න ) -බස ග්‍රාම්‍ය බවට වඩා ආනතය, යන්න සත්‍යයන්ය. චරිත වල ඇති ඌණතාව මට එතරම් නොදැනුණු නිසා මා ඒ ගැන කිසිවක් නොදොඩමි. එහෙත් ඔහු ලියා ඇති ස්වරූපය අනුව ඔහුගේ විචාරය කියවීමෙන් අනතුරුව, කථා කරනුයේ අමරකීර්ති ගැන නොව, අමරරත්න ගැන ය - ඒ ද ප්‍රශංසනාත්මක මුඛයෙන් නොවේ. ඒ අර්ථයෙන් අමරරත්න අසමත්ය. අමරකීර්ති, කෘතියට රසාස්වදය, හාස්‍යය, සියුම් ලිංගිකත්වය, දෙබස් සඳහ ඖචිත ග්‍රාම්‍ය බස ආදිය, තම දේශපාලන මතවාදයට තබා, හොඳින් අඹරා, අප හට ප්‍රධානය කොට ඇත. අමරරත්න කී පරිද්දෙන් අමරකීර්තිගේ සමාජ ප්‍රාග්ධනය විසින් ඉතිරි ඇවැසිය ඉටු කරනු ඇත. එ ආර්ථයෙන් අමරකීර්ති දක්ෂය - කපටිය - සමත්ය.



(  2013 දෙසැම්බර් මස 29 වෙනි දින මුහුණ පොතේ 'පොත් කියවන් අය' සමූහයට එක් කල ලිපියක අසංශෝදිත පිටපතකි )


No comments:

Post a Comment