Wednesday 20 May 2020

සාහිත විචාරකයින් සිව්දෙනෙකු ඔස්සේ පියදාස සිරිසේනයන්ගේ සාහිත්‍ය භූමිකාව පීළිබඳ කියවීමක්



   අමරකිර්තිගේ "පියදාස සිරිසේනගේ නවකතාව නමැති සංස්කෘතික උරුමය" ලිපියෙන් ඇරඹී, ඒ ආශ්‍රයෙන් තව ලිපි තුනක් කියවීමට යොමු වූයේ, ඔහු සමහර කරුණු නොවලහා කීමත්, සමහර දෑ අඟවා පමණක් ඇතැයි සිතුණු නිසාය. අමරකීර්ති වඩා නූතන,  ඔහු ගේ  දේශපාලන මතයනට සාපේක්ෂ සහ අද කාලයට වඩා  යෝග්‍ය ස්වරයක් භාවිත කොට ඇති සේ ය. ඒ හේතුවෙන් ම සිරිසේන විසූ යුගයට වඩා ආසන්න කාලයක ලියැවුණු, සරච්චන්ද්‍ර සහ වික්‍රමසිංහ යන වියතුන් සිරිසේන දුටු අයුරු, අමරකීර්ති ගේ ලිපියේ ඇඟවූ කොටස් වඩා වටහාගැනීමට හේතු විය හැකි බව සිතිණි. චින්තක රණසිංහ, පියදාස සිරිසේන පිළිබඳ ලියූ දේ කියවුයේ තවත් සමකාලීන අදහස් දැන ගැනීමේ උවමනාවෙනි.

සමස්ත වශයෙන් මා කියවූ ලිපි හතරෙන් වැඩි බරක් යොමු කිරීම යෝග්‍ය සරච්චන්ද්‍රයන්ගේ පිටු විස්සක ලිපියට බව සිතමි. ඒ, සිරිසේන විසූ යුගයට ආසන්න  කලක සිට හෙතෙම කියවීම පමණක් නොව, වඩා පූර්ණ විග්‍රහයක් ද වූ නිසාය. වික්‍රමසිංහයන්ගේ ලිපිය තරමක් ලුහුඬු එකක් පමණක් නොව, එය ඔහු ලියූ අත්පිටපතක් ආශ්‍රයෙන් මෑතක සම්පාදනය වූ ඔහු ගේ ලිපි එකතුවක තිබූවකි.  (එහෙත් එම ලිපියේ එක් වැදගත් හෙළිදරව්වක් වෙයි.)  සරච්චන්ද්‍රයන් මේ ලියන්නේ 1951 දීය - 1956 ට වසර පහකට පෙරය. එම යුගයේ තම ජාතියේ පුනරුත්ථාපනයක් පිළිබඳ අවශ්‍යතාවක් සරච්චන්ද්‍රයන්  පිළිගත් බවක් එම ලිපියෙන් ඇඟවේ. සරච්චන්ද්‍රයන් මේ බැව් පවසන්නේ සිරිසේනයන්ගේ ඇවෑමෙන් ද වසර පහකට පසුව ය. එවිට සිරිසේන තම "වගකීම" ලෙස දැක ඇත්තේ මෙකී පුනරුත්ථාපනය පමණක් නොව, තම ආගම නැවත ගොඩ නගා ගැනීම බව පැහැදිලිය. සිරිසේන තමන් නවකතාකරුවෙකු ලෙස තමන් ව සැලකුවේද යන්න ම, සිතීමට යෝග්‍ය ප්‍රශ්ණයකි. සිරිසේන තම ප්‍රබන්ධ කතා මගින්   එවක පැවති ප්‍රවණතාවනට යම් ප්‍රතික්‍රීයාවක් දක්වා ඇති බව පැහැදිලි වේ. සරච්චන්ද්‍රයන් මෙසේ පවසයි.
"අයිසෙක් ද සිල්වා යන ආදී මහතුන් ප්‍රබන්ධ කථා මාර්ගයෙන් ක්‍රිස්තියානි ධර්මය ප්‍රචරය කරන්ට වෑයම් කළාක් මෙන් සිරිසේන සිරිසේන  මහතා ද ඒ ප්‍රචාරයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීම සඳහා නවකථාවම ආයුධයක් කොට ගත්තේය" (71 පිටුව: සිංහල නවකතා ඉතිහාසය හා විචාරය  ),
 ද සිල්වා, "වාසනාවන්ත පවුල  සහ කාලකන්නි පවුල" (1886)  ලෙසින් තම නිර්මාණයට නම් දෙද්දි, සිරිසේන 1904 දී ජයතිස්ස සහ රොසලීන් කෘතිය, "වාසනාවන්ත විවාහය" ලෙස නම් කරයි. අමරකීර්ති ද සිරිසේන මුහුණ දුන් තත්වය පිළිබඳ, සරච්චන්ද්‍රයන් ට වඩා සියුම් ලෙසින් ( එය අද අප "politically correct" යයි කියන ආරෙනි ) මෙසේ පවසා ඇත.
"ඔහු (සිරිසේන) එවැනි දෘෂ්ටිවාදි ස්ථාවරයක් තෝරාගත් ඓතිහාසික පසුබිම ගැන ද අපට හොඳ අවබෝධයක් ඇත. ඒ නිසා කළ යුත්තේ ඒ දුෂ්කර ඓතිහාසික පසුබිමේ සිට ඔහු කළ නිර්මාණ විචාර පූර්වක ලෙස මැදහත් සිතින් වටහා ගැනීමය. ( 39 පිටුව - සිතිවිලි සිතිජය ).
අමරකීර්ති ඉහත කියමන ඉතා සංවර සහ  ශිෂ්ඨ ලෙස කියනා අතර,  අනෙක් අතින් ඔහුගේ මෙවන් විශ්වාසයෙන්  කෙරෙනෙ නිගමන පිළිබඳ තව දුරටත් විපරම් කල යුතු බවකි, මගේ නම් අදහස.

"පියදාස සිරිසේන වැනි අය නිසා ලංකාවට ලැබුණේ අද පවා අපට ගැලවි ගත නොහැකි ඒකමානීය වූද සිමාන්තික වූද ජාතිකවාදී  චින්තනයක් බව පෙනේ." 
ධර්මපාල තුමා ගැන විවේච්න මේ කතුවරු තිදෙනාම කල තිබුන ද,  රණසිංහ ගේ ලියවිල්ලෙන්, සරච්චන්ද්‍ර ( විවෘතව, එම යුගයට ඔබින ලෙසින්), සහ අමරකීර්ති ( සියුම්ව, ඔහු වඩා ඔබින්නේ යැයි සිතන අයුරින්, අද කලට උචිත ලෙස ) පවසන දේ නොකියවේ. රණසිංහ තම කෘතියෙන් සිරිසේන ගේ සාහිත්‍ය ලේඛනයේ ධනාත්මක පැති මතු කරලීමට වැඩි වෑයමක් දරා, අවසන දි පමණක් ධර්මපාල කෙරෙහි වූ අන්ධභක්තිය ගැන පවසයි. ඔහු  එම කාලයට උචිත සන්දර්භය අඩු වශයෙන් සැලකූ බවක් පෙනී යයි. 

රණසිංහ, තම කෘතියේ සිරිසේන ගැන නිගමනීය සඳහන කරමින් මෙසේ පවසයි:
"සිරිසේන තුළ පැවති සම්භාව්‍ය සාහිත්‍යය හා ජනශ්‍රැති ඥානයත්,  ඒ ඔස්සේ ගොඩනැඟුණු කතාන්දර කීමේ දක්ෂතාවත් විශිෂ්ටය. එහෙත් බටහිරින් ආභාසය ලබා එය වටිනා සාහිත්‍යකරුවකු සතු පරිචයක් බවට පත් කිරීමට සුදුසු මාවතක් හෝ දැනුමක් හෝ ඔහු ඉදිරියේ නොවුණි. එසේ වූයේ ඔහු අනගාරික ධර්මපාලතුමාගේ අන්ධ අනුගාමිකයෙකු වූ බැවිනි... සිරිසේනගේ මෙහෙවර ජාතික ව්‍යාපාරයට හා පුවත්පත් කලාවේදයට කොටු වූ අතර, ඔහු තුළ සිටි නවකතාකරුවා ඛේදජනක ලෙස මිය ගියේය" (32 පිටුව : නූතන සිංහල සාහිත්‍ය විමර්ශන - 01 )
ප්‍රශ්ණය, සිරිසේන ට කිසි දින රණසිංහ කියන ආරේ නවකතාකරුවෙකු වීමේ උවමනාවක් වීද යන්න ය. සත්‍ය වශයෙන් ම ඒ ගැන යමක් කීමට මා දැනුම් නැත්තෙක් ය.

එනුමුදු, ධර්මපාල විවේචනය සහ ඒ ඔස්සේ සිරිසේන විවේචනය පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහයන් ගේ ලිපි රැගත් "අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය", හි පියදාස සිරිසේන මහතා වෙනුවෙන් ලියූ අත්පිටපතක   මෙසේ කියා තිබෙනු දුටිමි:

"අවිචාර ලෙස ඉංග්‍රීසීන් අනුකරණය කළ සිංහලයෝ, ධර්මපාලතුමා විදේශිකයින් හෙළා දකින සීමාන්තික බෞද්ධයෙකියි කීහ; සිරිසේන ධනවත් උගත් මිනිසුන්ට ද්වේෂයෙන් බැණ වදින්නෙකු  යි කීහ. මේ චෝදනා නොනැගිය හැකි ඉංග්‍රීසි උගතෙක් කළු සුද්දන් වන්ට තැත් කළ සිංහලයන් තරයේ විවේචනය කෙළේ ය. ඔහු අනිකෙක් නොව ආනන්ද කුමාරසාමි ය.

ඔහු මීට අවුරුදු හැට ගණනකට පෙර ලංකාවේ සිටි කාලයේ 'ජාතික අපේක්ෂා පිළිබඳ නිබන්ධ' යන හිසින් ඉංග්‍රීසි පොතක් ලියා පළ කළේ ය....

කුමාරසාමිගේ මව ඉංග්‍රීසි කාන්තාවක්. ඔහු කුඩා කල පටන් උගත්තේ එංගාන්තයේ. ඉගෙනීම සම්පූර්ණ කොට ලංකාවට ආ ඔහු ධර්මපාල, පියදාස සිරිසේන යන මොවුන් මෙන් කෝප විය: කලකිරුණේ ය. ඉංග්‍රීසින් අනුකරණය කරමින් තමන්ගේ උරුමය පිළිකුල් කොට බැහැර කරන සිංහලයන් කුමාරසාමි තරයේ විවේචනය කර තිබේ."
(24 පිටුව : 'පියදාස සිරිසේන' පිළිබඳ වූ අත්පිටපටකිනි, අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය )

වික්‍රමසිංහයන් පවසන කාරණාව විමල් දිසානායකයන් ස්ථිර කරනුයේ ඔහුගේ අපූරු Enabling Traditions කෘතියේ මෙපරිද්දෙනි. ( භූ විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් කුමාරස්වාමි නැවත ලංකාවට එන්නේ  මෙරට ඛණිජ සම්පත ගැන සමීක්ෂණයට ය. )
"While in Sri Lanka, he traveled extensively through the country, and these travels had a profound impact on him. He began to realize with increasing sadness how the traditional culture of the island was being rapidly eroded under the onslaught of Western civilization. This feeling resulted in his spearheading a nationalist revivalist movement much in the manner of that taking place in India except that  it was less political in intention.".
ඉහත කාරණාව නොසලකා හැරිය හැක්කක් නොවේ. ධර්මපාල, වඩා වාචික  වී ද කර්කශ වී ද, අන්තවාදී වීද යන්න පිළිබඳ අපට වාද විවාද කල හැක. එහෙත් කුමාර්ස්වාමි ගේ ක්‍රියාකාරීත්වයෙන් පිළිඹිබු වන්නේ , ධර්මපාල චරිතය ට ක්‍රියාත්මක වීමට සාධාරණ හේතු තිබූ බවකි. 2010 දශකයේ සිට එහි තීව්‍රතාව හෝ සාධරණීයත්වය මැනීම ඉතා අපහසු කාර්‍යයක් වන්නේ   දේශපාලන වාස්තවිකතාව, පමණක් නොව සන්දර්භය තේරුම් ගැනීමේ ගැටළු නිසා ය. 

වික්‍රමසිංහයන් සිරිසේන විවේචනය කරනුයේ, ඔහුගේ සාහිත්‍යයේ දුර්වලතා සහ වෙසෙසින් ආදී කාලීන මත එලෙසම විශ්වාස කරලීමට උත්සක විම හේතුවෙනි. "උපන්දා සිට" කෘතිය උකහන අමරකීර්ති, මේ බව පසක් කරයි.

 "සිංහලයන් පුබුදවනු සඳහා සේවයක් කළ පියදාස සිරිසේනගේ ඇතැම් මතයන්ටත් අපේ අතීතතය පිළිබඳ පුරසාරම් දෙඩුමටත් පැරණි මිත්‍යා ශාස්ත්‍රයන් පිළිබඳ ඔහුගේ අවිචාර භක්තියටත් මම පටහැනි වීමි."
 අමරකීර්ති, දිශානති කිහිපයක් තුලින් සිරිසේන ගේ සාහිත්‍යකරණය ඇගයීමට යත්න දරා ඇත. සන්දේශ කාව්‍ය ආභාෂය , කාව්‍ය භාවිතාව ආදිය ඔහු මතු කරයි. වඩා නූතන ආස්තානයක සිට විචාරන අමරකීර්ති ස්ත්‍රිය පිළිබඳ  ගතානුගතික රූපක ඒ ලෙස ම භාවිත කර තිබීම පෙන්වා දෙන්නේ "මහා වියවුලේ" ජෝර්ජියානා පාඨකයා හමුවේ ඉදිරිපත් කරන අයුරෙනි. "තරුණියකගේ ප්‍රේමය නවකතාවේ" කැරොලයින් ගේ චරිතය ආශ්‍රයෙන් ප්‍රේමයේ රැඩිකල් බවක් පෙන්නුම් කරයි. සිරිසේන එම යුගයේ පැවති වික්ටෝරියානු අදහස් වලට විරුද්ධව , ප්‍රේමය විෂයෙහි කාන්තාවගේ කැමත්ත ට මුල් තැනක් දීම අමරකීර්ති මතු කර දක්වයි.  අමරකීර්ති එය,
"...වික්ටෝරියානු ලිංගික ආචාරධර්මවලින් බර කරන්නට පෙර සිංහල ජනයා භුක්ති විඳි සාපේක්ෂ වශයෙන් නිදහස් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවල ශේෂයක් සිරිසේනගෙ නවකතා තුළට වැද ගැනීමක්.." ( 45 පිටුව )
ලෙස දකියි.  මෙය වැදගත් නිරීක්ෂණයක් වන්නෙ වික්‍රමසිංහ හෝ රණසිංහ හෝ මේ සියුම් කාරණාව මතු කර නති හෙයිනි. සරච්චන්ද්‍ර අතින් සිරිසේන ගේ නිර්මාණයේ කිසිදු සාහිත්‍යමය ධනාත්මක ලක්ෂණයක් නොදකියි.

සරච්චන්ද්‍රගේ  පිටු 20 ලිපියේ, සිරිසේනගේ ගේ නවකතා පිළිබඳ ඇත්තේ කර්කශ විචාරයක් ය. කළු-සුදු චරිත, අභව්‍ය සිද්ධි, කතුවරයා ගේ අදහස් ආඛ්‍යායනයට ඔබ්බවා තිබීම ආදිය ඔහු ගේ විචාරයට දක්වයි. මෙහි තෙවෙනි කාරණාව පිළිබඳ සරච්චන්ද්‍ර මෙසේ කියයි:
"කර්තෘ හැකි තාක් ඈත් ව සිට, කතාවට අයත් සිදුවීම් පමණක් විස්තර කළ යුත්තේ මේ හෙයිනි. තමාගේ අදහස් වුව ද ඔහු පැවසිය යුත්තේ නායක නායිකාවන්ගේ මාර්ගයෙනි." ( 81 පිටුව )
( අතුරු නිරීක්ෂණයකි - සරච්චන්ද්‍රයන් 1951 දී මේ බැව පවසද්දී, මාර්ටින් වික්‍රමසිංහයන් තම නවකතා රැසක් පළැ කොට අවසන් ය. වෙසෙසින්, ගම්පෙරළිය යන වඩා සාර්තක නවකතාවේ  යුගාන්තයේ සාපේක්ෂ ලෙස මෙම ලක්ෂණය බෙහෙවින් අඩුය - ඔහු ඊට තිස්ස කයිසාරුවත්තේ යොදා ගනී   වල කතුවරයාගේ අදහස් ආඛ්‍යායනය තුල තිබීම දැකිය හැකිය. )
සරච්චන්ද්‍රයන් තම පිටු ගණක පුරාවට ඇදෙන සිරිසේන සාහිත්‍යය විවවේචනයන් පසුව, මෙවන් ඇගයීමක් කරයි - ඒ ඇගයීම තුල ද තම විවේචනයේ ස්වරය ගැබ් ව තිබේ.

"පියදාස සිරිසේන මහතා සමකාලීන සමාජය කෙරෙහි පෑ බලය සුළුපටු නොවී ය. ඔහුගේ නවකථා කියවන්නන් මේ කාලයේ දුර්ලභ වුව ද වර්තමාන ජාතික ප්‍රබෝධය බොහෝ සෙයින් ප්‍රබල වූයේ ඔහුගේ කලිකියවිලි වල ආභාසය ලැබීමෙනැයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ වනාහි සිරිසේන මහතා වෙත අපට පිරිනැමිය හැකි අවංක ප්‍රශංසාව ය. ඔහු පැතුවේ ස්වකීය ජාතියේ පුනරුත්ථාපනය පමණක් හෙයින් මීට වඩා ප්‍රශංසාවක් ඔහු බලාපොරොත්තු නොවීය යි සිතිය හැකි ය." (89 පිටුව )

ඊට සාපේක්ෂව රණසිංහ වෙසෙසින්, සහ අමරකීර්ති ද යම් සාධනීය ලක්ෂණ දැකීමට උත්සාහ කොට ඇත. වෙසෙසින් රණසිංහ සරච්චන්ද්‍රයන් ගැන මෙසේ ද පවසයි;
"සරච්චන්ද්‍ර විසින් සිදු කළ එක් බරපතළ වරදක් ලෙස අප විසින් නිරීක්ෂණය කෙරෙනුයේ සිරිසේන නවකතාකරුවෙකු ලෙස් නොසැලකීම නොවේ. ප්‍රබන්ධකරුවකු ලෙස සිරිසේනගේ ආඛ්‍යායනය ප්‍රමාණවත් විශ්ලේෂණයකට ලක් නොකිරීමයි."( 18 පිටුව )
රණසිංහ, තව දුරටත් පවසන්නේ සිරිසේන විෂයෙහි ලා, තමන් 'නවකතාව' යන්න භාවිතයට වඩා 'ප්‍රබන්ධ කථා' යන්න භාවිතාව ට රිසි බවයි. සිරිසේන විශේෂයෙන් අතීත කතා, ජනකතා, සමකාලීන ජනශ්‍රැතියේ පවතින කතා භාවිතාවෙන් රසවත් බවක් ගෙන දුන් ආකාරය නිදර්ශන සහිතව පෙන්වා දෙයි. වික්‍රමපාලගේ 4 වෙනි වික්‍රමය ප්‍රබන්ධය නිදසුනක් ලෙස ඔහු ගෙන හැර පායි. තව ද වික්‍රමපාල චරිතය භාවිතාව මගින් ම 'බස්නායක නිලමේ' පදවිය දැඩි ලෙස විවේචනය ද ගෙන හැර පායි. බස්නායක නිලමේ ලා දේවාල, පන්සල් ආදියෙන් ගසා කෑම හේතිවෙන්, ඒ දෑ භාවිතාවෙන් තමන් සංග්‍රහයක් හෝ විඳීමට අකමැති බවකි ඔහු තව දුරටත් පවසන්නෙ. එවන් පවුකාර කම් හේතුවෙන් මෙලොව දී ම පරංගී ආදී රෝග වලට ගොදුරු වන බව තව දුරටත් පවසයි. එකල පැවති ජන විශ්වාසයන් තම නිර්මාණයන් වලට සිරිසේනයන් යොදා ඇත්තේ ප්‍රත්‍යක්ෂ සත්‍යයන් පරිදිය.  ජයතිස්ස හා රොසලීන් හී ද, රොසලීන් හූනු ශාස්ත්‍රය නොදැනීම ඇගේ අවාසියට සිටි බවක් පවසයි. වික්‍රමසිංහ "පැරණි මිත්‍යා ශාස්ත්‍රයන් පිළිබඳ ඔහුගේ අවිචාර භක්තිය" යන්නෙන් අදහස් වන්නේ මොනවාදැයි පැහැදිලිය.

ඉතින් මේ ලිපි හතර කියවීමෙන් අනතුරුව මට අරුත් ගියේ ඒ ඒ යුගයේ ලේඛණ ශෛලිය, ඒ ඒ යුගයේ වඩා දැවෙන ප්‍රශ්ණ ආදීයත්,  කාලයටත්, ඒ ඔස්සේ ම විචාරකයාටත් සාපේක්ෂ බවකි. එහෙත් අප මෙහි යුගයන් ලෙස සලකන්නේ මහත් කාල පරාසයක් නොව - වසර සියයක් පමණ කලකි. පියදාස සිරිසේන වූ කලි මට කියවීමට මගැරුණු ලේඛකයෙකි - දැන් ඔහු කියවීම නිරර්ථක බව මා පරිශිලනය කල ලිපි සතරින් ම මට කියා දුනි. එහෙත් යම් අයෙක්, කරුණක්, ඓතිහාසික සිද්ධියක්  පිළිබඳ කියවීමේ දී නම්, මූලාශ්‍ර කිහිපයක් භාවිත කිරීම අනිවාර්‍යයෙන් ම කල යුත්තක් බව නැවත වරක් ප්‍රත්‍යක්ෂ විය.

ආශ්‍රේය ග්‍රන්ථ :
1. සිංහල නවකතා ඉතිහාසය හා විචාරය - එදිරිවීර සරච්චන්ද්‍ර (1951; පරිශීලනය, නමවෙනි මුද්‍රණය - 2006 - සරසවි)
2. නූතන සිංහල සාහිත්‍ය විමර්ශන -01 ( සයිමන්, ජී.බී. වික්‍රමසිංහ සහ පියදාස සිරිසේන ) -චින්තක රණසිංහ (2012 - ෆාස්ට් පබ්ලිෂින් )
3. සිතිවිලි සිතිජය - ලියනගේ අමරකීර්ති (2019 - ස්වර්ණ ග්‍රන්ථ  )
4. අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය - සම්පාදානය : මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය (2000 - සරස )
5. Enabling Traditions : Four Sinhala Cultural Intellectuals - Wimal Dissanayake (2005. Visidunu Prakashakayo )



No comments:

Post a Comment