Saturday 16 May 2020

බැමිණිතිකාලය - අනුරාධ මාරසිංහ

බැමිණිතිකාලය - අනුරාධ මාරසිංහ
=============================
****

( 2016 දී ප්‍රකාශ වු කෘති - 1 )



මේ දින වල මහත් කථා බහටත්, මත බේදයටත් ලක් වන "බැමිණිතිකාලය", නවකථාව දැඩි බලපෑම් හේතුවෙන් කියවුවෙමි.( නැතිනම් "මම නිකං හිටිය මිනිහෙක් මි")


මේ කෘතිය පිළිබඳ මට හැඟුණු ප්‍රධාන කරුණ නම්, කතුවරයා තම ආඛ්‍යයනය හරහා කිසිදු නිගමනයකට නො ඒම පමණක් නොව, පාඨක අපව ද නිගමන වලින් ඈත් කිරීමට ධෛර්‍යමත් කිරිමයි. උපුඨන කිහිපයක් මේ උදෙසා භාවිතයෙමි. පෝරිසාදයා අල්ලා ගත් පසුව, වේලංග ගේ සිතුවිලි විමසන්න

"ඉතින්, සාගත කාලයේ කිසිවකුගේ ඇස නො ගැටී හුදෙකලා වුණු මහ වනාන්තරයක් තුළ සිදු වූ කිසියම් දෙයක්, මනා පාලන සංස්ථාවක් පිහිටුවා තිබෙන මෙදා ජනයාගෙන් පිරුණු ගම්මානයක් තුළ සිදු වූ කිසියම් දෙයක්, මනා පාලන සංස්ථාවක් පිහිටුවා තිබෙන මෙදා ජනයාගෙ න් පිරුණු ගම්මානයක් තුළ තේරුම් ගන්නේ කෙසේ ද? සාගතයත් යුද්ධයත් යන දෙක ම ජයගැනීමට එදා ගත් කිසියම් ක්‍රියාමාර්ගයක්, ඒ දෙකෙන් ම මිදුණා වූ වර්තමානයේ නිර්ණායකවලින් විනිශ්චය කළ හැකි ද?" ( 71 පිටුව )

"පිතිරාජයන්ගේ බොහෝ සේනා කුඩා කණ්ඩායම් වශයෙන් තැනින් තැන ක්‍රියාත්මක වු නිසා, පෙර දා ගාමණි රජ්ජුරුවන්ගේ යුද්ධයේදි මෙන් කෑම් බීම් දෙන්ට කිසිවකු නැති බව වේලංග දැන සිටියේය. සාගත කාලයේ කරන යුද්ධය අතිදුෂ්කරය. සෙනග පිරිවරා, ජය ඝෝෂා රණ බෙර නාද කරගෙන සතුරට එඩි පා, ඇතුන් ලවා බලකොටු බින්දවන්ට කාලය මෙය නොවේ. බොහෝ විට සතුරන්ට මුහුණ දෙන්ට සිද්ධ වන්නේ, කැළෑ - දෙණි - වගුරුවල සැඟව සිට ය. එවන් සටනක මහ යෝධයෝ බිහි නොවෙති. මහ යෝධයන්ගේ වික්‍රම හෝ මහ පුරුෂයන්ගේ යුද්ධ නීති ලා අක්‍රිය වෙයි." (74 පිටුව )

එහි දිගුවක් ලෙස, වෙසෙසින් '89 දී හෝ දෙමළ ඊළාම් යුද්ධයේ හෝ සිදු වූ ඇතැම් සිදු විම්, ඉන් පරිබාහිරව වෙසෙන්නන්, තමන්, එම ව්‍යසනාත්මක අවදියෙන් හෝ අවස්ථාවෙන් හෝ, පරිබාහිර අය, ආචාර විද්‍යාත්මක ප්‍රතිමා තලයක සිට අන් අයගැන තීන්දු දීමේ ඇති නොහැකියාව ගැන ඉඟි කරයි.

අනෙක් කාරණය "පමණට වඩා රා බී ගත්"  ගැමියෙකුගේ අදහස් දැක්වීමයි. හේ මෙසේ පවසයි:

"මොළේ කලඳක් හෝ තිබිච්ච කාවන්තිස්ස අපෙ රජ්ජුරුවො කිවුව මුන් දෙන්නට: තොපි මාගම බෙදාන සාමෙන් හිටපියවු. අනුරාජපුරේ අල්ලන්ට ගියොත් වෙන්නෙ මහ විනාසයක් - රටේ ම මිනිස්සුන්ට කන්ට නැති  වෙන්ට පුලුවන්. හදිස්සියේ හෝ උඹලා ඒ වගේ දෙයක් කරනව නම්, මුලින් ම මාගමත් දිගාමඬුල්ලත් අස්වද්දලා අටු කොටු පුරෝලා බඩ රක්සා කරගෙන ඉඳපියවු... - කොහෙද, අම්මටයි මහ පුතාටයි තිබ්බ තදියම නොවැ අපට අද පල දීල තියෙන්නෙ." ( 22 පිටුව )

මෙම අදහස පසු පරම්පරාවක්, පෙර පරම්පරාවකට දොස් කියනා ප්‍රවණතාව නිදර්ශනය කරන්නකි. පසු පරම්පරාව මුහුණ දුන් මහත් ව්‍යසනයකට පෙර පරම්පරාව වෙත වගකීම බැහැර කිරීමේ ප්‍රවණතාව මින් පිළිඹිබු වේ.  ( අප අසා ඇති ඉතිහාසය අනුව ගැමුණු නිරිඳුන් සංග්‍රාමයට යන්නේ මාගම සහ දිඝාමඬුල්ල සශ්‍රීක කොට, අවශ්‍ය පදනම දැමීමෙන්ත් අනතුරුවය. ගැමුණු රජු ගේ ඇවෑමෙන් සද්ධාතිස්ස රජු  ද වසර තිහක් රාජ්‍ය විචාරන්නේ, සාමකාමි රටක ය.)

පෙර දැක්වූ උපුඨන දෙක අනුව, කෘතිය මුල එන මේ රා බී මත් වූ මිනිසා නන්දෙඩවිල්ල ක යෙදී ඇති බවත්, සන්දර්භයෙන් පිට තීන්දු, තීරණ, නිගමන වල ඇති නුසුදුසු බවත් මේ සමස්තයෙන් ගම්‍ය වන බවත් හඟිමි.

මේ මා එම කෘතිය කියවූ ආකරයයි.  එම කියවීමට මගේ භාවස්වභාවය බලපෑ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

( පිටු අසුවක පොතක විචාරය, පිටු අසූව ඉක්මවීමේ අවදානමෙන් මිදෙනු වස් මේ ලියවිල්ල මින් සමාප්ත කරමි )


(  2016 ඔක්තෝබර් මස 19 වෙනි දින මුහුණ පොතේ 'පොත් කියවන් අය' සමූහයට එක් කල ලිපියක අසංශෝදිත පිටපතකි )

No comments:

Post a Comment